Monday, August 22, 2016

පොදු ජනතාව සදහාම සෞඛ්‍යය සේවයක් ඇතිකිරීම ; කියුබාවට අත තබමුද?






පොදු ජනතාව සදහාම සෞඛ්‍යය සේවයක් ඇතිකිරීම ; කියුබාවට අත තබමුද?


මම මේ ලගදි CNN රූපවාහිනියේ වෛද්‍ය සංජය ගුප්තා (Vital Signs) විසින් කියුබාවට ගොස් එහිදී එහි සෞඛ්‍යය සේවාව පිලිබදව කරන ලද වැඩසටහනක් නැරඹුවෙමි. ඔහු එහිදී කියා සිටියේ ලෝකයේ අනිත් රටවලට අනුගමනය කලහැකි, උදාහරණයට ගත හැකි සෞඛ්‍යය සේවයක් කියුබාවේ පවතින බවයි.
එලෙසෙම ඉතාමත් මෑතකදී ලෝක සෞඛ්‍යය සංවිධානයේ මහාලේකම් වරයා විසින්ද, ඇය කියුබාවට සංචාරය කල අවස්ථාවේ එහි සෞඛ්‍යය සේවය තුන්වන ලෝකයේ රටවලට පමණක් නොව, ලෝකයේ ඕනෑම රටකට පාඩම් ඉගෙන ගත හැකි සෞඛ්‍යය සේවයක් බව පවසා ඇත.
කියුබාව ඇත්තෙන්ම ලෝකයේ තිබෙන දුප්පත් රටවලින් එකකි. ලංකාවටත් වඩා දුප්පත්ය. ලෝකයේ 135 වෙනියට පොහොසත් රට ලංකාව වන අතර, කියුබාවේ ස්ථානය 137. එනමුත් සාමාන්‍ය රටේ සෞඛ්‍යය සේවයේ කැඩපතක් සේ සැලකෙන, උපතේදී ළදරු මරණ සංඛ්‍යාව කියුබාවට වඩා ලංකාවේ දෙගුණයක් වේ.
තව දුරටත් සොයා බැලූ විට මට දැනගන්නට ලැබුනේ, කියුබාවේ සෞඛ්‍යය සේවයේ ප්‍රධාන පරමාර්ථය සනීප කරගන්නවාට වඩා, රෝග ඇති වෙන්නට ඉඩ නොදීම බවයි. 

ඔවුන් මේ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන්නේ ගම් සහ නගර වල යම් නිශ්චිත ජනගහන කණ්ඩායමක් සදහා, එම භූගෝලීය ඒකකයේම පදිංචිව සිටින වෛද්‍ය වරයෙකු සහ හෙද සේවකයෙකුගෙන් යුත් කණ්ඩායමක් යෙදවීමයි.
ඔවුන් කුඩා කාර්යාලයක සිට තම වැඩකටයුතු මෙහෙය වන අතර, සංජය ගුප්ත සම්මුඛ සාකච්ඡාවකට භාජනය කල එවැනි ජන වෛද්‍යවරියක්, ඇය සහ ඇගේ සහකරු මිනිසුන්  1500 කගේ සෞඛ්‍යය පිළිබද වග කියන බවත්, ඔවුන් සියලු දෙනාගේම සෞඛ්‍යය වාර්තා තමා ලග තිබෙන බවත් පැවසූ අතර, ඇය එක් නිවසක වෙසෙන රෝගී තත්වයේ පසුවන කාන්තාවක බැලීමට යන විට සංජය ගුප්තාද රැගෙන ගියාය. මෙලෙස නිවෙස් වලට ගොස් ලෙඩුන් බැලීම ඔවුන්ගේ දෛනික රාජකාරියක්  බව පෙනුනි.
මෙලෙස සෑම වෛද්‍ය අවධානය අවශ්‍ය පුද්ගලයන්ගේ ගෙවල් වලට ගොස් මුණගැසී, ඔවුන්ගේ තොරතුරු විමසන බවත් ප්‍රාථමික ප්‍රතිකාර සහ උපදෙස් ලබා දෙන බවත් විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය වූ විට රෝහල් පද්ධතිය කරා යොමු කරන බවත් ඇය කීවාය.
මෙලෙස ජනගහනයේ සෑම පුද්ගලයෙකුම වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය යටතේ ජීවත් වෙන්නට සැලැස්වීමෙන්, කියුබානු රජය එහි ජනතාවට ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුට ලබාගත හැකි හොදම සෞඛ්‍යය සේවාවක් ලබා දී ඇත. එවැනි සේවයක් අපටත් ඇති කරගන්නට කිසිම බාධාවක් නැත.
තිබෙන එකම බාධාව සෞඛ්‍යය සේවය පවත්වාගෙන යන්නේ ජනතාව සදහා බව බොහෝ දෙනෙකු අමතක කිරීමයි. සුපර් මාර්කට් තිබෙන්නේ සුපර් මාර්කට් එකේ සේවකයන්ගේ සුභසාධනය සදහා යැයි සිතන්නාක් මෙන් කල්පනා කලහොත් කවදාවත් අපට කියුබාවේ තත්වයට යාමට සිත්තනටවත් බැරිය.
පොදු ජනයාගේ සෞඛ්‍යය ගැන මේ තරම් ඔලුවට ගෙන වර්ජනය කරන සෞඛ්‍යය සේවකයන් සිටින රටක, කියුබාවේ වැනි සෞඛ්‍යය සේවා මොඩලයක් ලංකාවේ ඇති කරන්න යැයි ඉල්ලන සංවිධානයක් නම් නැත්තේය. කියුබාවට අත නොතියනු කියා පෙලපාලි ගිය වාමාංශිකයනුත් කියුබාවේ වැනි සෞඛ්‍යය සේවයක් ඇති කරනු කියා, පෙලපාලි ගියේත් නැත. යන්නේත් නැත.
ඊයේ මම ප්‍රවෟත්ති බලන විට මේ සම්බන්ධව තවත් තොරතුරක් දැක්කෙමි. ඒ ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය මුලිනුපුටා දැමීමට මේ වසරේ හැකි වී ඇති බවයි. කියුබාවේ මැලේරියාව මුලිනුපුටා දමා ඇත්තේ 1967 ය. අවුරුදු 45 කට පෙරය.
මෙවැනි පද්ධතියක් ගැන සිතන්නටවත් අපට බැරි අපේ වෛද්‍යවරු හිඟය නිසා බව මෙයට පිලිතුර ලෙස කියනු ඇත. එය ඇත්තය. ඒක පුද්ගල වෛද්‍ය වරුන්ගේ ප්‍රමාණය කියුබාවේ ලංකාවේ මෙන් 10 ගුනයකි. ඇත්තටම අපේ 0.68/1000 ඉන්දියාව වැනි දුප්පත් රටකටත් වඩා අඩු ප්‍රමාණයකි.


එහෙත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පිටරටින් පුහුණුව ලබා එන වෛද්‍යවරුන්ට, කෙනෙහිලිකම් සහ කුහක කම් නොකර මෙවැනි ජන සෞඛ්‍යය වෛද්‍යවරුන් ලෙස පත් කිරීමෙන්, අවුරුදු 3 නක පමණ කාලයකට, මේ ප්‍රශ්නයත් විසදාගත හැක. රජයේ සේවයට බැදෙන සියලුම වෛද්‍යවරුන්ට මුල් අවුරුදු 3 න සදහා මෙවැනි community heath care ක්‍රමයක් ඇති කිරීමෙන්, නිදහස් සෞඛ්‍යය සේවය සත්‍ය වශයෙන්ම ජනතාව සදහා වූ සේවයක් බවට පත්වනු ඇත. 


10 comments:

  1. එහෙත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පිටරටින් පුහුණුව ලබා එන වෛද්‍යවරුන්ට, කෙනෙහිලිකම් සහ කුහක කම් නොකර මෙවැනි ජන සෞඛ්‍යය වෛද්‍යවරුන් ලෙස පත් කිරීමෙන්, අවුරුදු 3 නක පමණ කාලයකට, මේ ප්‍රශ්නයත් විසදාගත හැක.////// but our system does not allow this

    ReplyDelete
    Replies
    1. අපට කල අපහාස දුෂ්ඨකම් ඉවසාගනු නොහැකිව 55න් එලියට ආවෙමි !

      Delete
  2. ජනතාව එය ඉල්ලා සිටියොත් නොදී සිට්ය බැරිවනු ඇත

    ReplyDelete
  3. ප්‍රෂ්නය රජය සහ අනෙකුත් වගකීමක් ඇති අය ක්‍රමයක් යෝජනා කර ජනතාව දැනුවත් නොකිරීමයි

    ReplyDelete
  4. අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පදනම් කරගනිමින් මෙවැනි වැඩලිපිවෙලක් ආරම්භ කලහැකියි. නමුත් GMOA මාෆියාව මර්දනය කිරීමට ක්‍රමයක් සොයාගත යුතුයි.

    ReplyDelete
  5. ඇත්තෙන්ම අපිට අවුරුදු දෙකක පමන පුහුනුවක් ලබන community doctors 10000 ක් පමන වහාම අවෂ්‍යයි

    ReplyDelete
  6. සෟක්ය සේවය කෙසේ පැවතිය යුතුද යන තීරනය ගතයුත්තේ එයට මුදල් ගෙවන අප මිස එහි රැකියාව කරන්නන් නොවේ.

    ReplyDelete
    Replies
    1. බෑ නොවැ, දොස්තර කම බාල්දු කරල කොහොමද? එතකොට දරුව බලවත් දොස්තර වරයෙන් කරවන හීනෙට මොකද වෙන්නේ, පවුලේ ඔක්කොම කැපවෙලා ඉන්නේ ඒ වෙනුවෙන්නේ.

      Delete
    2. i think it is the supply and demand curve for PP more than anything else

      Delete
  7. ලංකාවේ ලෙඩ රෝග ඇතිවීම වලක්වා ගන්න ගෙවල් ගානේ ගිහින් උපදෙස් දෙන්න වෛද්‍යවරැ මදි බව ඇත්තය. එය දීර්ඝ කාලීනව සංවිධානයකළ යුතු වැඩසටහනකි. නමුත් ඒ මට්ටමටම නොගොස් දැනට සිටිනා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සේවාව තවදුරටත් බලාත්මක කලොත් ලෙඩ රෝග ඇතිවීම සෑහෙනදුරකට වලක්වාගත හැකිය.

    ReplyDelete

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්

මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝ...