Saturday, July 31, 2021

රජෙන්ද්රම් රාජමහෙන්ද්රම්

 


මම බොහොකලක සිට සිරස රුපවාහිනිය නරඹා ඇත්තෙමි. එහි මුල් කාලයේ තිබු සුපර් ස්ටාර්ස් වැඩ සටහන සහ දැන් ප්‍රචාරය වන ලක්ෂපතිය එහි මගේ ප්‍රියතම වැඩසටහන් විය. මම බොහෝවිට ප්‍රවෘති බැලීමට පුරුදුව සිටින්නේද සිරස චනලයේය. එහෙත් මම කවදාවත් එහි අයිතිකරුවා වන රාජමහෙන්ද්‍රන් මහතා ගැන කිසිවක් අසා තිබුනෙවත් දැක තිබුනෙවත් නැත. එහෙත් ඔහු මියගිය පසු ඔහුගේ බොහෝ ගුණයහපත්කම් සහ සමාජයට සේවය කිරීම් ගැන අහන්න ලැබුණි. 

පසුව මට දැනගන්නට ලැබුනේ ඔහු ප්‍රසිද්ධියක් පිලිබඳ බලාපොරොත්තුවක් නොමැතිව තමන්ට හොඳ යයි සිතන ආකාරයට සමාජයට සේවය කල දැන් අප සමාජයේ කලාතුරකින් දක්නට ලැබෙන වර්ගයේ පුද්ගලයකු බවයි. පහත විස්තරය එයට කදිම උදාහරණයකි.

මා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකව සිටියදී හඳුනා ගත් ප්‍රේමලාල් විජේරත්න මහතා ඉන්පසුවත් බොහෝ කලක් යනතුරුත් ලඟින් ආශ්‍රය කලෙමි. මහා රාජ සභාපතිතුමා ලඟදි මියගිය පසු ප්‍රේමලාල් මට සභාපතිවරයා ගැන බොහෝ කෘතඥාතාවයකින් දුරකතනයෙන් ඉතාමත් සංවේදීව විස්තර කළේය. ඒවා මා  කිසි දිනෙක අසා නැති තරමේ යහපත් ක්‍රියාවන් නිසාත්, ප්‍රේමලාල්ගේ ශෝකය තුනී කර ගැනීම සඳහාත්, ඔහු මෙය ලියා ප්‍රසිද්ධ කරන්නේ නම් යහපත් බව මම කීවෙමි. ඔහු එය පිටු හතරක අතින්ම ලියා  වට්ස්ඇප් අංකයකින් ඡායාරුප කර මා වෙත එවීය. මේ ඒ ලිපියයි.   

පසුගිය 26 දා උදේ කණකොකා මගේ නිවස අසලින් ඉගිල ගියේ කිසියම් දුක්බර පණිවිඩයක සේයාවක් ඉඟිකරමින්ය. කණකොක් හඬේ සෝබර කථාවල පැරණි කියමන් අදටත් වලංගු බව වැටහුනේ තවත් හෝරා කිහිපයක් පසු කරද්දීය. ඒ අසුභ ආරංචිය මගේ කනට වැටුනේ සිරස මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානියෙකු වූ මා මිත්‍ර මාධ්‍යවේදී සුසාර දිනාල්ගේ දුරකථන පණිවිඩයෙනි.

ඒ දුක්බර පණිවිඩයත් සමග මගේ හදවත තුල ගැලු කදුළු තවමත් වියලී  නැති සේය. එදා සිට මා අදටත් හදවතින් හඬා වැටෙන්නෙමි. කැපිටල් මහා රාජා සංවිධානයේ සභාපති රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් මහතා පෞද්ගලික රෝහලකදී මෙලොවින් සඳහටම සමු ගැනීම ඒ දුක්බර පණිවිඩයට මුල පිරුවේය. ඒ දුක්බර පණිවිඩය මගේ හඳවතේ වේදනාවෙන් වියැකී ගියේය. රාජ මහේන්ද්‍රන් නමැති මේ අපුරු මාධ්‍ය ප්‍රධානියා වසර 16 ක් තිස්සේ අප ප්‍රධානියා වශයෙන් කටයුතු කලේ  මගේ පියාටත් වඩා නොදෙවෙනි පිය සෙනෙහසකිනි. මා සිරස මාධ්‍ය ජාලයේ සිරස ගුවන් විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක වශයෙන් සේවය කරද්දී ඒ හිත හොඳ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරී යන ගුණ සුවඳ හඳුනා ගත්තෙමි.

 

ඒ අවදියේ මා හට හදිසි හදවත් සැත්කමක් සිදු කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණි. ඒ සිද්ධියේදී මේ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරුණ කරුණා ගුණය මම හඳුනා ගත්තෙමි. එම අවස්ථාවේ මේ අපුර්ව මිනිසා එසේත් නොමැතිනම් මේ දෙවියන් අතර දෙවියා, එය දැනගත් විගස පැය 24 ක් ඇතුලත මා නවලෝක රෝහලට ඇතුලත් කර සැත්කමට යන සියලු බර පැන ආයතනය සතු කර ගනිමින් මගේ ජිවිත සටනට උර දුන්නේය. මේ අවස්ථාවේ මගේ දරුවන් දෙදෙනා විදේශ ගතව සිටි නිසා හදවත් සැත්කම සිදුවන අවස්ථාවේ රෝහලේ සිටි මගේ බිරිඳ හා ඥාතියාට ශල්‍යකර්මය අවසන් වී මා හඳවත් ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවට යනතෙක් සියලු පහසුකම් ලබා දුන්නේද, මේ ගුණගරුක මිනිසාය.

2018 වසර දක්වා දිවයන ඒ අතීත සිද්ධිය නිසාම මම අද ජීවතුන් අතර සිටින්නේ ඒ මහඟු මිනිසාට පින්සිදු වන්නටය. හදවත් සැත්කමෙන් පසු දින 19 ක් රෝහලේ ගතකර නිවසට පැමිණි පසුවද, ඔහු මගේ දුක සැප සොයා බැලුවේය.

දිනක් උදේ 8 ට පමණ මා පදිංචිව සිටි පන්නිපිටියේ නිවසේ ගේට්ටුව ඇරගෙන අමුත්තෙක් ඇතුළු වුනි. ඒ අමුත්තා අන් කවරෙකුවත් නොව මේ මම කියන දෙවියන් මෙන් අදහන රාජ මහේන්ද්‍රන් සභාපතිතුමාය. ඔහු එදින මා නිවසට පැමිණියේද මාධ්‍යවේදී සුසාර දිනාල් සමඟය. නිවසට පැමිණි ඔහු මා හිඳගෙන සිටින තැනට පුටුවක් ඇදගෙන ඉඳගත්තේය. මගේ බිරිඳට කියා අඩු සීනි ප්ලේන්ටි එකක් බි මගේ දුකසැප විමසමින්, අවශ්‍ය ඕනෑම දෙයක් තිබේනම් එවකට සිරස මාධ්‍ය ජාලයේ සේවය කල විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මිත්‍ර ආරියසිංහ මහතා අමතන ලෙසට බිරිඳට උපදෙස් දුන්නේය.

මගේ නිවසේ පැය කිහිපයක් රැදී සිටි ඒ අපුරු  මිනිසා, ආපසු පිටව යෑමට පෙර,මගේ බිරිඳට උපදෙස් දුන්නේ මා හට හරියට සුවවන තුරු මාස හතරක් හෝ නිවසේ රදවා ගන්නා ලෙසයි.

වසර 48 ක මාධ්‍ය ජීවිතය තුල කිසිදිනක දැක නැති මේ අපුර්ව කාරුණික මාධ්‍ය ප්‍රධානියා දිනක් මා සේවය කරමින් සිටි දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පැමිණියේය. ඔහු එලෙස පැමිණෙන  අවස්ථාවල  මම ඔහු සමීපයට ගොස් රටේ තොරතුරු බිඳක් පැවසීම සිරිතක්ව තිබුණි. ඒ අවස්ථාවේ ඔහු මගෙන් විමසා සිටියේ එකල ඇමරිකාවේ පදිංචිව සිටි මගේ දියණියගේ සැපදුක් ගැනය. ඔවුනට කුඩා දරුවෙකු  සිටින බව ඔහුට පැවසු විට ඒ බිලිඳා සියැසින් දැක ඇත්දැයි ඔහු මගෙන් පෙරලා විමසුවේය. ඒ ප්‍රශ්නය හමුවේ මා නිහඬ වූ අවස්ථාවේ ඉවතට හැරුණු මේ අපුරු මිනිසා, ඔහු සමඟ පැමිණි සිටි අධ්‍යක්ෂක මනෝ වික්‍රමනායක මහතාට පවසා සිටියේ මට ගුවන් ටිකට් පතක් හා මාසයක නිවාඩුවක්ද ලබා දී, ඇමරිකාවේ මගේ මුනුබුරා බැලීමට යවන ලෙසයි. මා ඒ විදේශ ගමන ගොස් ආපසු පැමිණ දරුවාගේ ඡායාරුපයද සමග සභාපතිවරයාට ස්තුතිපුර්වකව මල් කලබක් පිළිගැන්වූ  අවස්ථාවේ ඔහු ඒ මගේ මුණුබුරාගේ ඡායාරුපය කාර්යාලයේ මේසය මත තබාගෙන, සතුටු වූ ආකාරයද මට සැමදා මතකයට නැගේ. මගේ මාධ්‍ය ජීවිතය තුල මා පොලිසිය ත්‍රිවිධ හමුදාව පිලිබඳ ප්‍රවෘත්ති සංස්කරණය කිරීම නිසාවෙන් ඔහු මා හට ‘පොලිස් මෑන්’ යන නමක්ද පටබැඳ  තිබුනේ පවුලක පියෙකු ලෙසටය.

ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර එය ‘චෙක් ඩබල් චෙක් ට්‍රිපල් චෙක්’ යන සිද්ධාන්තයේ පිහිටා ඒවායේ නිවැරදිභාවය සොයන ආකාරය ගැන මාධ්‍යවේදීන් නියම මඟ යවන ලද ප්‍රධාන නියමුවා වුයේ ඔහුය. ‘ඇත්ත කියන්නයි බිම හිඳ ගන්නයි’ බිය විය යුතු නොවන්නේ යයි කියන අභීත අධිෂ්ටානයේ සෙවනැල්ල සිරස ජාලයේ පදනම කරන ලද්දේ  ඔහු විසිනි. ඒ සිද්ධාන්තයේ සිට සිරස මාධ්‍ය ජාලය මෙහෙය වූ අභීත සෙන්පතියාද අපටද රටටද  අහිම විය. එවැනි නිර්ව්‍යාජ  මාධ්‍ය හිමි කරුවෙකු කිසි දිනෙක යලි ශ්‍රී ලංකාවට  හිමි වෙතැයි සිතිය නොහැක.

16 වසරක් සිරස මාධ්‍ය ජාලයේ සේවය කරමින් සිටි මා යලිත් අලුතින් පිටවන පුවත්පතකට සම්බන්ධ වීමට ආශාවෙන් සේවයන් ඉවත්වීමට ලිපියක් ලියා සභාපතිවරයා මුණගැසී  සමුගැන්මට ගිය අවස්ථාව, අද දිනයේදේ මතක් වනවිට මා හද සොවින් පිරෙයි. මගේ ඉල්ලා අස්වීම දැනගත්තේද ඔහු එම මොහොතේය. ඒ මොහොතේ ඔහු මගෙන් විමසු වදන් වැල මගේ හඳවතින් කදුළු වැල් කඩා හැලෙන්නාක් මෙන් විය.

“ඇයි ප්‍රේමලාල් ඔයා මාව දාල යන්නේ” කියන වචන ටික ඇසුණු විට ඉල්ලා අස්වීම ආපසු ගැනීමට පවා මට සිත්විය. මා එසේ සමු ගනිද්දී වචනයෙන් ප්‍රකාශ නොකලද ඔහු ඉතා දුක්බර වූ බව මට වැටහුණි. ඔහු මාත් සමගම කාමරයෙන් පිටතට පැමිණ මා විදුලි සෝපානය වෙත එකතු කරගෙන ගොස් මා සෝපානයට ගොඩවන තුරු එහි දොර අසල රැදී සිටි ආකාරය සිහියට එනවිට දැනෙන වේදනාව අපමණය. සිරස මාධ්‍ය ජාලයේ ඒ අපූරු මිනිසා මට මුණ ගැස්වුයේ එවකට අප  අධ්‍යක්ෂකව සිටි මගේ කල්‍යාන මිත්‍ර ටිරෝන් ඩි වොටා මහතාය.    

Wednesday, July 28, 2021

නමක් නොමැති ශාන්තුවරයාගේ කතාව

 


අපූරු චිත්‍රපටියක් බැලුවෙමි. මේ චිත්‍රපටිය නරඹන්නට මූලික හේතුව වූයේ ඒ කුමන ආකාරයේ එකක්ද ගූගල් වලින් පරීක්ෂාකර බලන විට එහි rotten tomatoes අගය සියයට අනු තුනක් තිබුණ නිසාය. අනෙක් කාරණය වූයේ මෙම චිත්‍රපටය මොරොක්කෝ රටේ නිෂ්පාදනයක් නිසා විය. මම මීට කලින් මොරොක්කෝ චිත්‍රපට බලා නොතිබූ නිසා එහි චිත්‍රපට කුමන වර්ගයේ ඒවාදැයි බලන්නට මට සිත් විය. 

චිත්‍රපටයේ නම the unknown saint වීම සහ එය ඉස්ලාමීය රටක නිපදවා තිබීම යම්තාක් දුරකට  කුතුහලය දනවන්නක් ද විය.


චිත්‍රපටය පටන් ගන්නේ තරුණ හොරෙකු ඔහු විසින් සොරකම් කරන ලද ිශාල මුදල් ප්‍රමාණයක් රැගෙන පලා යන ජවනිකාවකි නි. ඔහු කාන්තාරයක් මැද මෙසේ යන විට මාර්ගය අසල තිබෙන විශාල වැලිකන්දක් දැක මුදල් බහාලූ පෙට්ටිය ද රැගෙන ඒ වැලි කන්ද මුදුනට ගොස් එය කන්ද මුදුනේ කුඩා වළක් හාරා සඟවයි. එසේ මුදල් සැඟ වූ තැන පසුව පැමිණ සොයා ගැනීමට පහසු කරනු පිණිස ඔහු එතන මිනියක් වළලු ආකාරයට ගල් කිහිපයකින් වටකර සලකුණක් තබයි.


මුදල් සඟවා තමන්ගේ වාහනය වෙතට පැමිණි විගසම පොලිස් වාහන කිහිපයක් පැමිණ ඔහු අත්අඩංගුවට ගනී. ඉන්පසු අප දකින්නේ සිරගෙදරින් නිදහස් වී එළියට එන සොරා ය. ඔහු ඕනෑම හොරෙකු මෙන් සිරගෙදරින් නිදහස් වූ වහාම තමන් මුදල් සැඟ වූ තැනට පැමිණෙයි. එතනට පැමිණි පසු ඔහු අති මහත් පුදුමයට පත්වෙයි. 

ඒ ඔහු මුදල් සැඟ වූ ස්ථානය මත, තරමක දේවාලයක්  සාදා ඇති බව දැකීමෙනි. ඒ දේවාලයේ නම නොදන්නා ශාන්තුවරයාගේ දේවාලය යන්නයි. දැන් ඒ ඒ වටා පහත් භූමියෙහි තරම ක ගමක් ද ගොඩනැගී ඇත. දැන් මිනිසුන් තමන්ගේ ප්‍රශ්න සහ රෝග සුව කර ගැනීමට යන්නේ මේ දේවාලය වෙතටය.


ගමට අලුතෙන් පැමිණෙන වෛද්‍යවරයෙකු හා සම්බන්ධව ද, වෙනත් එහි ජීවත්වන්නන් පිළිබඳවද නොයෙකුත් ාස්‍ය ගත සිදුවීම් සිදුවන අතර ඒ හොරා සහ ඔහුගේ තවත් සගයකු දේවාලය ඇතුලේ සැඟවී තිබෙන ුන්ගේ මුදල් ලබා ගැනීමට කරන උත්සාහය චිත්‍රපට ප්‍රධාන කතාව වෙයි.

මේ අතර ගමේ වාසය කරන ගොවියෙකු සහ ඔහුගේ පුතෙක් වර්ෂාව නොමැති වීම නිසා ගොවිතැන් කර ගැනීමට නොහැකිව දෙවියන්ට කොතරම් කන්නලව් කළ ද ඒ නොලැබීම හේතුවෙන් බොහෝ දුක් විඳ පියා මියයයි.


ගොවියා ගේ පුතා මේ සම්බන්ධව දේවාලය සමඟ කෝප වී, ඒ කාලයෙ  ගමේ පාරක් සෑදීමට ගෙනැවිත් තිබෙන ෙඩිබෙහෙත් යොදා රාත්‍රියේ හොරෙන්ම දේවාලය පුපුරවා හරියි.

මෙලෙස දේවාලය පුපුර වන විට හොරා ද තමන්ගේ මුදල් ආපසු ගැනීමට දේවාලයට ඇතුළු වීමට පිළියෙල කරමින් සිටි නිසා ඔහු ද පිපුරුමට අසුවෙයි. 


ගොවියගෙ පුතාට මුදල් හමුවන අතර පසුව ඔහු එම මුදලින් කොටසක් යොදවා නැවත දේවාලයක් ගොඩ නංවයි. ඒ දේවාලයේ නම ibrahim ශාන්තුවරයාගේ දේවාලයයි. ibrahim යනු ඔහුගේ පියාය.

නමක් නොමැති දෙවියකුට වඩා තමා හොඳින් දන්නා තමාගේ පියා ශාන්තුවරයකු කිරීම තරුණයා ගේ තීරණයෙන් අවසන් වන චිත්‍රපටය ඉතාමත් අපූරු එමෙන්ම එඩිතර නිර්මාණයක් වෙයි. 

විශේෂයෙන්ම ආගම් සම්බන්ධව නිදහසේ කතා කිරීමටත් ඉඩනොදෙන ඉස්ලාම් ආගම තිබෙන රටක මෙවැනි ිත්‍රපටයක් සෑදීම ද පුදුම සහගත ය. 

Sunday, July 25, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ




අපේ ගෙදර ගෙවත්තේ  'වැටේ මුරුංගා' ගස් දහයක් පමණ තිබේ.  නමුත් මෙයින් හොඳට කරල් එන්නෙ මිදුලේ තියෙන පැරැණිම ගසෙනි. මේ ගස සාමාන්‍යයෙන් සියවස් භාගයක් පමණ පැරණි ගසකි. 


මුරුංගා ගස් හැදෙන්නේ සාමාන්‍යයෙන් වියළි කාලගුණයක ජලය රඳා පැවතීම අඩු භූමියකය.  අපේ ගෙවත්තේ හොඳින් වැවෙන ගසට ඒ අවශ්‍ය දේවල් අවැසි අයුරෙන්ම තිබෙනවා වන්නට පුලුවන. මක්නිසාද මේ ගස තිබෙන්නේ අපේ ගෙදර තිබෙන කන්දේ බටහිර පැත්තට වන්නට ඇල්ල පල්ලේ සාමාන්‍යයෙන් ඉක්මනට වියළි බවට පත්වෙන කෙළවරක ය.


මේ ගසේ හැම වාරයකටම සාමාන්‍යයෙන් මුරුන්ගා කිලෝ තුන හතරක් කඩා ගන්නට පුළුවන. ගිය සතියේ මම කුණ්ඩසාලේ ෆුඩ් සිටි වෙළඳසැලට ගියවිට දුටුවේ මේ දවස් වල මුරුන්ගා කිලෝ එකක් රුපියල් දාහකට පමණ මිල වී ඇති බවය. 


මම දැනට අවුරුද්දකට පමණ පෙර මාතලේ යාලුවෙකුට කියා මහ ඉලුක්පල්ලම ගොවිපළෙන් මුරුන්ගා පැල 50ක් ගෙන්වා ගත්තෙමි. එයින් භාගයක් තවත් මිතුරෙකුට දී ඉතිරි භාගය මගේ ගෙවත්තේ තැන් තැන් වල ද මැල්සිරිපුර ඉඩමක ද පැළ කළෙමි. එයින් ද මැල්සිරිපුර ඉඩමේ හිටවපු පැළ සියල්ල මැරී ගිය අතර ගෙදර වත්තේ සිටවූ පැළ වලින් 5ක් පමණ; ඉඩ වරයට අසුවූ විට පැළවලට වතුර දැමූ නිසා වන්නට පුළුවන, හොඳින් වැඩුණි.  එහෙත් එම ගස් ඉතා සරුවට වැවුණු නමුදු ඒවායේ කරල් එන බවක් පෙනෙන්නට තිබුණේ නැත. 


මේ අතර දැන් මුරුංගා ලෝකයම පිළිගත් ,විශේෂයෙන් බටහිර රටවල පවා පිළිගැනීමට ලක් වූ වයස්ගත වීමේ වේගය අඩු කරන ඖෂධයක්  ලෙස පිළිගැනීමට ලක් වෙමින් පවතින බව කිහිප තැනක කියෙව්වෙමි.

මේ මුරුන්ගා කරල් නොව කොළ බව මම දැනගත්තෙමි. 

බොහෝ විට මෙම ඖෂධ හදන්නට මුරුංගා කොළ යොදා ගන්නේ ඉන්දියාවේ වවන මුරුංගාවලිනි.

ඉන්දියාවේ අක්කර දස දහස් ගණනක් මුරුංගා වවා ඒවායේ කොළ කපා වේලා බටහිර රටවලට මෙම ඖෂධ සෑදීමට යවන බව මම දුටුවෙමි. 

සමහර විට අපට ලැබුණු මුරුංගා පැල එලෙස මුරුංගා කොළ සඳහා වවන මුරුන්ගා වර්ගයක් ද යන්න මට පැහැදිලි නැත. ඒවගෙනුත් ප්‍රයෝජනයක් ලබාගත යුතු නිසා මම ඒ ගස් හොඳින් වැවුණු විට අතු පිටින්ම කපා කොල වෙලා දැන් දවසක් හැර දවසක් තේ කෝප්පයක් ලෙස පානය කරන්නට පුරුදු වුණෙමි. නිකං ලැබෙනවා නම් දෙමළ පුවත්පතක් වුණත් කියවන්නට පුරුදු විය යුතුය. 

දිනපතාම බොන්න සිතුනත් එසේ නොකරන්නේ ඒ අවස්ථාවේ The Curious Case of Benjamin Button චිත්‍රපටය මතක් වූ නිසාය.



 අපේ ගෙදර තිබෙන හොඳින් කරල් එන මුරුංගා ගසෙහි අතු ඉතා උසට වැවේ. කරල් කඩා ගන්නට යන විට බොහෝ කරදර වන්නට සිදුවේ. මේ අතර ලඟකදී ඒ මුරුංගා ගස ළඟ තිබූ පොල් ගසක අත්තක් වැටීමෙන් උසට තිබුණු මුරුංගා අත්තක් පහතට නැමුණි. එහි කෙළවර හොඳ මල් කිනිත්තක් ද තිබුණු නිසා මෙය තවත් අකරතැබ්බයක් සිදුවී සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නට හැකි නිසා ත් මම ඒ අත්ත ලඟින් තිබූ star fruit ගසකට ගැට ගැසුවෙමි. එය දැන් දුන්නක් ඇද්දා සේ ඡායාරූපයෙ හැටියට තිබේ. 

මෙලෙස සති දෙකක් පමණ ගත වන විට අපූරු යමක් සිදු විය. ඒ එම නැමී ඇති අත්ත පුරාම සිරස් අතට කුඩා අතු දහයක් පමණ ඇතිවීමයි.

තවත් සති දෙකක්  පමණ යන විට ඒ අපූර්වත්වය උත්කෘෂ්ටයට පැමිණියේය. ඒ කෙසේද යත් ඒ හැම කුඩා සිරසට වැවුණු අත්තකම ලොකු මල් කිනිත්තක් ඇතිවීමයි. දැන් මුරුංගා එක අත්තකින් අතු දහයක පමණ අස්වැන්න ලබා ගැනීමට පුළුවන.

මම මේ දැක තවත් මුරුංගා අතු කිහිපයකට මේ වැඩේම කළෙමි. ඒවායේ ප්‍රතිඵල තව කීප දවසකින් මට දැනගන්නට පුළුවන් වනු ඇත.


තමන්ගේ ගෙවත්තේ මුරුංගා ගස් තිබෙන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් වාණිජව මුරුන්ගා වවන අප ගොවියන්ට මේ ක්‍රමයට ගස් පුරුදු කර ගැනීමෙන් හත් අට ගුණයක අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් යැයි මට සිතේ.

Thursday, July 22, 2021

සෙන් කතා 2 - සරල ලෙස ජීවත් වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම

 ඉතාමත් සැප පහසු ජීවිතයක් ගත කළ තරුණයෙක් ආචාර්ය වරයෙකු වෙත පැමිණ ධර්මය අවබෝධ කර ගැනීමට කොතරම් කලක් ගත වනු ඇද්දැයි ප්‍රශ්න කළේය. 


"ඔබගේ ඉතිරි මුළු ජීවිත කාලයම" ආචාර්යවරයා පිළිතුරු දුන්නේ ය


"මට ඒ තරම් කාලයක් බලා ඉන්නට බැහැ" තරුණයා කීවේය. "මම ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දෙමින් ඔබගේ සුවච සේවකයා ලෙස වැඩ කිරීමට කැමතියි, ඒ විදිහට මට කොතරම් කාලයක් ගත වෙයි ද?"


"අවුරුදු දහයක් පමණ" පිළිතුර විය.


" එයත් ඉතාමත් දීර්ඝ වැඩියි"  තරුණයා තරමක් උස් හඬින් පිළිතුරු දුන්නේය.. "මගේ මවට ගොඩක් වයසයි මට ඇය බලා ගන්නටත් තියෙනවා, මම ඉතාමත් උවමනාවෙන් ඉගෙන ගත්තොත් මට කොච්චර කාලයක් යයිද?" 


"අවුරුදු තිහක් පමණ" ආචාර්යවරයා පිළිතුරු දුන්නේය.


" මොනවා?" ඔබ මුලින් 10 කිව්වා දැන් තිහක් කියනවා, මෙතෙක් ධර්මය අවබෝධ කරගන්න කිසිම කෙනෙක් මහන්සි නොවුන ලෙසට මහන්සි වෙන්න මං ලෑස්ති යි, අවබෝධ කරගන්න කෙටිම කාලය කොපමණක් වෙයිද?" 


" එහෙමනං ඔබට අවුරුදු හැත්තෑවක් පමණ ගතවෙයි, ඉවසීම අඩු කෙනකුට කාලය ගත වෙනවා වැඩියි" 


දීර්ඝ සුසුමක් හෙළමින් ආචාර්යවරයාට නැමී ගෞරව කළ සිසුවා ඔහු ආචාර්යවරයාගේ සේවකයෙකු ලෙස වැඩ කරමින් ධර්මය ඉගෙන ගැනීමට කැමැත්ත පළ කළේය.


අවුරුදු කිහිපයක් සිසුවා ආචාර්යවරයා සමග වැඩ කළේය. එහෙත් ඔහුට ධර්මය එතරම් ඉගෙන ගැනීමට ලැබුනේ නැත. ඔහු පන්සලේ ගෙවත්ත පිරිසිදු කළේය ආචාර්යවරයාගේ ආහාර පිස දුන්නේය ඇඳුම් සෝදා දුන්නේය, මිදුල අතු ගෑම කළේය.


කල් ගතවන විට ඔහු ධර්මය අවබෝධ කර ගැනීම ගැන සිතීම අඩුවී තමන් කරන දෛනික සරල කටයුතු වලින් සතුටක් ලබන්නට පටන් ගත්තේය. ඔහු වරින් වර තමන් වැරදි තීරණයක් ගත්තේ දැයි සිතුවද, දෛනිකව කරන වැඩ වලින් මහත් සතුටක් ලැබීය. අවුරුදු තුනකට පසුව ආචාර්යවරයා ඔහුට සරල භාවනා කටයුතු හුස්ම ගැනීමේ ව්‍යායාම වරින් වර ස්වල්ප ලෙස කියා දුන්නේය.

මෙම උපදෙස් සිසුවා උදේ සහ හවස පිළිපැද භාවනාවේ යෙදුණේය.


තවත් අවුරුදු තුනකට පසුව සිසුවා දිනක උදේ අවදිවී බලන විට තම ආචාර්යවරයා පන්සලේ නැති බව දැක්කේය. එසේම ඔහු නිතරම පාවිච්චි කළ ඔහුගේ සැරයටියට ගැටගසා තිබූ කුඩා ලිපියක් දුටුවේය.


" ඔබ දැන් මගේ ආශ්‍රමයේ ප්‍රධානියා වීමට සුදුසුකම් ලබා තිබෙනවා,

ඔබ තමන්ට නියමිත වැඩ ඉතාමත් ඕනෑකමින් කරන බවත් මා විසින් පවරනු ලැබූ සියලු කාර්යයන් උනන්දුවෙන් කරන බවත් මා දුටුවා"


,"මට දැන් ආපසු මගේ ගමට ගොස් තේ බොමින් දැලෙන් මාළු අල්ලමින් කාලය ගත කිරීමට පුළුවන, ඔබ දැන් ආචාර්ය වරයෙකු වීමට සුදුසුකම් සම්පූර්ණ කර තිබේ, මගේ සුභ පැතුම් පිළිගන්න"


එතැන් සිට, නුවණින්  වැඩුණු සිසුවා නොඉවසිලිවන්ත අලුත් සිසුනට ධර්මය කියා දීමට පටන් ගත්තේය. ඒ ඔහුත් මුහුකුරා ගොස්, ආපසු තම ගමට ගොස් තේ බොමින්, දැලෙන් මාළු ඇල්ලීමට කාලය පැමිණෙන තෙක් ය.









Wednesday, July 21, 2021

අපූරු සෙන් බුද්ධාගම

 



Hui neng පන්සලේ මුළුතැන්ගෙයි වැඩ කලත් අකුරු බැරි ඒ තරම් බුද්ධියක් නොමැති මහණෙකු නිසා අනෙක් හිමිවරුන් එතරම් ගණන් ගත්තේ නැත. 

නිකායේ පස්වන ප්‍රධානියා වූ Heng Jen ,  තමන්ගෙන් පසු නායකයෙකු සොයා ගැනීමට තමන්ගෙ ගෝලයන් අතර ාව්‍ය තරගයක් පැවැත්වීමට තීරණය කළේය.

ඔහු තමාගේ සියලු සිසුන් කැඳවා නිර්වාණය ලබන විට ලැබෙන අත්දැකීම් පිළිබඳව ාව්‍යයක් ලියන ලෙසට උපදෙස් දුන්නේ ය.

ඔහුගේ ජ්‍යෙෂ්ඨ සිසුවා වූ Shen xiu භාවනා ශාලාවට යන කොරිඩෝවේ බිත්තියේ පහත කාව්‍ය ලිව්වේය.


අපේ ශරීරය බෝ ගස වෙයි

මනස දිලිසෙන කැඩපතයි

එයට දූවිලි එකතු නොවන ලෙස

අපි පැයෙන් පැයට එය පිරිසුදු කරමු


අනෙක් සියලු සිසුන් ඔහුගේ කාව්‍ය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව සිතූහ. එහෙත් hung Jen එසේ සිතුවේ නැත. 


Hui neng තම සහෝදර සිසුන්ගේ ආහාර  බෙදමින් සිටියදී ේ කාව්‍ය පිළිබඳ සිසුන් උස් හඬින් සාකච්ඡා කරනවා ඇසුණි.


එක් රාත්‍රියක ඔහුට සියල්ල පැහැදිලි වූ අතර  මේ තරගය සඳහා කාව්‍යයක්ද සිතට ආවේය. ඔහුට අකුරු ලියන්නට බැරි නිසා ඔහු තම අදහස ලියවා ගත්තේ තරුණ සිසු නමකට කියාය.

ඔහුගේ කාව්‍ය මෙසේ විය.


බෝගසක් නොමැත

කැටපතක් ඇත්තේද නැත

සෑම තැනකම කිසිවක් නොමැති නිසා

දූවිලි තැන්පත් විය හැක්කේ කොතනද?


නිකාය අධිපති මේ කාව්‍ය දුටුවිට, ඔහු සොයමින් සිටි සිසුවා hui neng බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය.


එදින රාත්‍රියේම hung Jen , hui neng , වෙත 'ක්ෂණයකින් ධර්මය අවබෝධ කරගත් ගුරු', යන ගෞරව නාමය පුදකර , අනෙක් සිසුන් කෝපයට පත් වී ඔහුට කරදර කරන්නට හැකි  යැයි සිතා, පදවියට අයත් සියලු දේ ලබා දී,විහාරයෙන් පිටත් කර හැරියේය.


පසු කලෙක hui neng ආචාර්යවරයා දකුණු චීනයේ චැන් බුද්ධාගමේ විහාරය පටන්ගෙන පසු කලෙක එහි ප්‍රධාන ආචාර්යවරයා බවට පත් විය.


ක්‍රිස්තු වර්ෂ 638 චීනයේ උපත ලද Hui neng චැන් බෞද්ධ නිකායේ හයවන ප්‍රධානියා විය.




Monday, July 19, 2021

trial and error

මට මේ සියල්ල ලියන්නට සිතුනේ මේ ලඟකදි මට සිදු වූ යම් සිදුවීමක් නිසාය. අපේ මිදුලේ වර්ග අඩි පන්සීයක පමණ තණ පිටියක් තිබේ. දැන් අවුරුදු දහයකට පමණ පෙර එහි තිබුනේ කොළය ලොකු දේශීය තණකොළ වර්ගයකි.

මම පොඩි කාලේ මෙම තණකොළ මිදුලේ වවන්නට කුඹුරු වල සිට පිඩලි ගෙනාවා මතකය. නමුත් කාලයක් ගිය පසුව මේ තණකොළ වර්ගයේ තිබුණු ලොකු ප්‍රශ්නයක් අපට අත්දැකීමට සිදුවිය. ඒ කුඹුරු වල මෙන්ම මිදුලේද කූඩැල්ලන් ව්‍යාප්ත වීමයි. මුලදී ගෙදර මිදුලේ කූඩැල්ලන් සිටි නැති නමුදු, හොඳින් වැවුණු පසු මිදුලේද ව්‍යාප්ත විය. එහෙත් මීට වඩා බොහෝ කුඩා පත්‍ර සහිත අලුත් තණකොළ වර්ගයේ එසේ කූඩැල්ලන් හැදෙන්නේ නැති බව මට දැනගන්නට ලැබුණි.

මම එවැනි තණකොළ වර්ගයක් සොයමින් සිටින විට, ඒ වර්ගයේ පිඩලි විකුණන ස්ථානයක් දියත උයනේ දැක, පිඩැල්ලක්  රුපියල් හැත්තෑවකට මම මිලදී ගත්තෙමි. ඉන්පසු ඊළඟ සති අන්තයේ ගෙදර පැමිණි පසු, මිදුලේ එක කොටසක ලොකු තණකොළ පිඩලි ලෙස ඉවත් කර, ඒවාට පස් පුරවා මිලදී ගත් වල් කිහිපය බැගින් ගලවා එම ස්ථානවල හැදැව්වෙමි.

අවුරුද්දක් පමණ යනවිට තණකොළ වර්ගය සම්පූර්ණයෙන්ම මාරු කර ගන්නට හැකි වුණි. එහෙත් තවමත් මෙම ක්‍රියාවලිය අවසන් වී නැත. තවත් සියයට දහයක් පමණ work in progress  ලෙස පවතී.

ඇත්තෙන්ම මේ වල්වල කූඩැල්ලන් සෑදෙන්නේ නැත. මෙය මහනුවර ප්‍රදේශයේ ගෙදරකට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයකි. නමුත් අවුරුදු කිහිපයකට පසු මගේ ලෝන් එකට උඳුපියලිය ආක්‍රමණයක් සිදු විය. තැනින් තැන එක දෙක උඳුපියලිය පැල, සමහර කොටස් වල තණකොල වසාගෙන ඉතාමත් සරුවට වැවෙන්නට පටන් ගත්තේය. අනෙක් වල් මෙන් නොව උදුපියලිය ගලවා දැමීමත් ඉතාමත් අපහසු වන්නේ ඒවා පොළොවට සමාන්තරව, ඉතාමත් ඉක්මනින් සීග්‍රව වැවෙන නිසාය. ඒවා ගලවා දැමූවත් මුල් එළියට එන්නේ නොමැති නිසා, නැවත වරක් දළු දාගෙන වැවෙන්නට පටන් ගනී.

අපි ගෙදර අය මෙය ගලවා ඉවරයක් කිරීමට උත්සාහ කළද, එසේ කිරීමට හැකියාවක් ලැබුනේ නැත. මේ සඳහා වෙනම උපකරණද බංකු දෙකක්ද සාදා ගත්තෙමු. එහෙත් අපි එක් පැත්තකින් පටන්ගෙන උදුපියලිය ගලවාගෙන යනවිට, අනෙක් පැත්තෙන් නැවත වැවෙන්නට පටන් ගනී. කාන්තාවක් දවසට රුපියල් 800 පඩියට කුලියට ගෙන මේ වැඩේට යෙදෙවුවද, ඇය දවස් තුනකින් පැමිණීම නතර කළාය. ඇය නොයෙකුත් නිවෙස් වල කෑම සෑදීමට බාරගන්නා නිසා, මෙලෙස එක් තැනක දිගටම වැඩ කිරීම අපහසු බව ඇය මට කීවාය.
තවත් කාන්තාවක් මේ සඳහා යොදවා ගත්තද, ඇයද දවස් දෙකකට පසු ආපසු පැමිණියේ නැත. සමහර විට මේ වැඩය ඉතාමත් ඒකාකාරී එසේම බංකුවක ඉඳගෙන කළ යුත්තක් නිසා, එපා වනවා වන්නට පුළුවන.

උඳුපියලිය ඉවත් කිරීමට හැකියාවක් තිබේ යැයි මට හැඟුණු කුඩා මැෂිමක්, මම අලිබබා ආයතනයෙන් ගෙන්වා ගතිමි. එහෙයින් වැඩය තරමක් ඉක්මන් වුවද, උඳුපියලිය වගාවෙන් ඉවත් කිරීමට නම් හැකියාවක් ලැබෙන්නෙ නැති බව මට පෙනුණි. මේ අතර දවසක් අපේ මිදුලෙ තිබෙන වරකා ගහ යට වැටී තිබෙන කොස් කොළ ඉවත් කරමින් සිටින මට, එම කොස්කොළ යට අව්ව නොමැති නිසා අවපැහැ ගැන්වී ඇති වල්වල, උඳුපියලිය වඩාත්ම විනාශයට පත්වී ඇති වල් වර්ගය බව දුටුවෙමි. තණකොළ සාමාන්‍යයෙන් කහපාට පමණක් වී තිබුණු අතර උඳුපියලිය දුඹුරු පාට වී මියයන තත්ත්වයට පත්ව තිබුණේය.

මගේ යුරේකා අදහස පැමිණියේ මේ නිරීක්ෂණයෙන් පසුවය. මම ලොකු පොහොර ගෝනියකින් උඳුපියලිය වැඩිපුර තිබෙන ප්‍රදේශයක් වසා තැබුවෙමි. 

දිනකට වරක් ගෝනිය ස්වල්පයක් උස්සා (මෙය කියද්දී මට අර චර්චිල්ගේ ස්කර්ට් එකේ කතාව මතක් වුනි.) බැලුවෙමි. දවස් තුන හතරක් යන විට සියලුම යටවී තිබුණු වල් වර්ග අවපැහැ ගැන්වී තිබුණි. දවස් අටක් ගිය තැන උදුපියලිය සම්පුර්ණයෙන් විනාශ විය. මට අවශ්‍ය වල් වර්ගය ඉතිරි වී තිබුණි. ඒවාද අවපැහැ ගැන්වී තිබුනද සති දෙකක් විවුර්තව තැබූ පසු සාමාන්‍ය පැහැයට පත්වී නැවත ව්‍යාප්ත වීමට පටන් ගත්තේය.

ඉන්පසුව මම ගෙදර තිබු පරණ කොලපාගන විට පාවිච්චි කරන ලොකු කළු ප්ලාස්ටික් රෙද්දකින් වැසුවෙමි. සතියකටත් [පෙර උඳුපියලි සමුලගාතනය විය.

 

මෙය අපගේ දිනපතා ජීවිතයේ නොයෙකුත් වැඩ කටයුතු විද්‍යාත්මකව සිතීමෙන් සහ අහඹු නිරීක්ෂණයන් වැඩදායක අන්දමින් යොදා ගැනීමෙන් පහසුකර ගැනීමේ සරල උදාහරණයකි.

 

මෙම සරල යොදා ගැනීමෙන් මට මසකට රුපියල් 5000 ක පමණ ඉතිරියක්ද, පැය 10 ක පමණ මගේ කාලයද, ඉතිරි විය. ඒ සියල්ලටම වඩා මට ඕනෑ කරන තෘණ වලින් පමණක් සමන්විත වූ lawn එකක් දිනපතා මිදුලේ දැකීම ඒ මත ඇවිද යාම කොතරම් සතුටක් ගෙන දෙන්නේද?   


  

Sunday, July 18, 2021

අපේ මහා මාර්ග පද්ධතියේ පියා

 



1867 වර්ෂයේ ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් ලංකාවේ අලින් පිළිබඳ ලියූ ග්‍රන්ථය පිළිගන්වන ලද්දේ ංග්‍රීසි හමුදාවේ මේජර් ස්කිනර් ට ය. 

ලංකාවේ මාර්ග පද්ධතියේ පියා යැයි කිව හැකියි මේජර් ස්කිනර් පිළිබඳව ්‍රීමත් එමර්සන් ටෙනන්ට් විසින් ලියන ලද පහත විස්තරය මේජර් ස්කිනර් ගෙන් ලංකාවේ ගමනාගමනයට සිදු වූ සේවය මනාව විස්තර කරනු ලබයි.


' ඉංග්‍රීසීන් විසින් ලංකාව තම පාලනයට ගන්නා විට පාරක් හෝ පාරක් කියයි කිව හැකි යමක් ලංකාවේ තිබුණේ නැත. දුර ගමනක් යන්නන් බොහෝවිට ගියේ  වනය මැදින් දෝලාවන්  වලින් ඔසවා ගෙන යාමෙනි. හමුදා සේනාංක බොහෝ දුෂ්කර ලෙස තම බර ආයුධ ඇදගෙන ගියහ, වෙඩි උණ්ඩ සහ අනෙකුත් සැපයුම් රැගෙන ගියේ මිනිසුන්ගේ කරවල් මතය.

එහෙත් දැන් කොළඹ සිට කඳුකරයේ අගනුවර වන මහනුවර දක්වාත් එතනිනුත් ඉහලට nuwaraliya දක්වාත් අලුත් මාර්ග සැකසී ඇත. නුවරඑළිය මුහුදු මට්ටමේ සිට අඩි හයදාහක් පමණ උසින් පිහිටා ඇති බව මෙහිදී කිව යුතුය.


එපමනක් නොවේ සැලකිය යුතු සෑම ප්‍රධාන නගරයක් ම පාහේ රටේ ප්‍රධාන නගර දෙකට මහා මාර්ග වලින් සම්බන්ධ කර ඇත්තේය. හැතැප්ම 769 ක මහා මාර්ගයක් දූපත වටා දැන් තිබේ. මේ මාර්ගයේ ප්‍රධාන නගර කිට්ටු වන විට අශ්ව කරත්ත වලට යාමට හැකි අතර ග්‍රාමීය ප්‍රදේශ හරහා අසුන් පිට සහ ඇවිදගෙන යා හැකිය.


අප ප්‍රධාන යටත්විජිතය වන ඉන්දියාව කිසිම තැනක මෙවන් මහා මාර්ග දකින්නට නොහැක. මේ සියලු මහා මාර්ග පද්ධතිය එක් මිනිසෙකුගේ සැලසුම් සහ දක්ෂතාවයද තවත් මිනිසෙකුගේ හැකියාවන් සහ උද්‍යෝගයත් නිසා සිදු වූයේ යැයි කටපුරා කියන්නට පුළුවන.


1820 වසරේ යටත්විජිත පාලකයා ලෙස පැමිණි පසු,  දූපතේ තැනින් තැන ඝණ වනාන්තර වල සහ කඳුවල බලකොටු සහ හමුදා ඛණ්ඩ පිහිටුවා ඒවා නඩත්තු කරන්න ට යන වියදම, අවශ්‍යතාවයකදී ඉක්මනින් හමුදාවට යාමට හැකියාව ලැබෙන ලෙස, මාර්ග පද්ධතියක් සකස් කිරීමෙන් බොහෝ අඩු කර ගත හැකි බව ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් හට පෙනුණේය.


ඔහු යුද හමුදාව යොදවා ඉහත සඳහන් කළ පරිදි මාර්ග පද්ධතියක් නිර්මාණය කර සංවර්ධනය කළේය. මෙය දූපතේ ආරක්ෂාවට පමණක් නොව එහි සංවර්ධනයට ද බොහෝ ඉවහල් විය. ඔහුගේ අග්‍රාණ්ඩුකාර ධුරයේ කාලය අවසන් වීමට පෙර  මෙම සිහිනය ඉතාමත් සාර්ථක ලෙස ඔහුට සැබෑ කරගැනීමට හැකි විය.


ඔහුගේ මෙම ්‍යාපාරය සැලසුම් කරන්නට පටන් ගත් දා සිට එහි සෑම අවධියක දී ම තවත් නිලධාරියෙක් ඔහු පසුපසින් සිටියේය. ඒ දැනට ලංකාවේ මාර්ග කොමසාරිස්වරයා වන මේජර් ස්කිනර් ය.


මෙම යටත් විජිතය එහි සශ්‍රීකත්වයට වඩාත්ම ණයගැති වන්නේ මේ මිනිසාටය."

ඔවුන් ඒ එක පාරක්වත් සාදන ලද්දේ ණයට අරගෙන නොවේ. 

"

බන්ධනාගාර කළමනාකරණය සම්පූර්ණයෙන් වෙනස් කරමුද

 බන්ධනාගාර ප්‍රතිසංස්කරණය: රාජ්‍ය වගකීම සහ පෞද්ගලික කාර්යක්ෂමතාව සුසංයෝග කරන "PPP" ආකෘතිය ​මෑතකදී මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව වාර්ත...