Sunday, July 28, 2019

අපේ පුද්ගලික ගමනාගමනයේ අනාගතය




පෙරේදා මම පළමුවරට app කුලී රථයක ගමනක් යාම පිළිබඳව බ්ලොග් එකක් ලිව්වෙමි. ඊයේද මට එලෙසම ගමනක් යාමට සිදුවිය. ඒ මිතුරෙකුගේ පුතෙකුගේ වෙඩින් එකක් සඳහාය.
වෙඩින් වලදී මත්පැන් බීමට සිදුවන නිසා මෙදිනද app වාහනයකින් ඒ සඳහා යාමට තීරණය කලෙමි. පෙර දිනයේ වාහනය ඉක්මනින් පැමිණි නිසා උත්සවයට යාම සඳහා පිළියෙළ වී පික් මි app එකට ගියේ වාහනයක් ඇනවුම් කිරීම සඳහාය.
මුලින්ම ගිය පික්මි හි අවට සියලුම වාහන බිසී කී නිසා තරමක ව්‍යාකූලතාවයක් ඇති වුවද, උබර් එකට ගිය විගසම ඇනවුම සාර්ථක විය. විනාඩි 7 කින්; ඇනවුම් කරන විට කියූ ලෙසටම වාහන පැමිණියේය. රියදුරු ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙකු වූ අතර, මුස්ලිම් මිනිසුන් අතරද වශී ගුරුකම් ආදිය පවතින බව දැනගත්තේද, ඔහුත් සමග කතාවෙනි. උබර් කුලියද පික්මි එකට වඩා 5% ක් පමණ අඩු බවද පෙනුනි. නගරයේ නැගෙනහිර පැත්තේ පිහිටි මගේ නිවසේ සිට පේරාදෙණිය රෙස්ට් හවුස් එකට ගොස්, ආපසු පැමිණීමට ගියේ රුපියල් 1050 කි.
ආපසු එන ගමනේදී මත්පැන් වලින් අපගේ නිර්මාණශීලි බාවය වැඩිකරන බව මොනවට වැටහුණි. මම රියදුරු සමග ඕනවට වඩා කතාවට නොගියෙමි. මෙම app වලින් අප රටේ සමාජයේ සහ ගමනාගමන පද්ධතිය තුල අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම් මොනවාදැයි, මම කල්පනා කරන්නට පටන් ගත්තෙමි. පහත සඳහන් වෙනස්කම් මගේ සිතට පැමිණින. මම ඉන්පසු එකින් එක බිරිඳ සමග සාකච්ඡා කලෙමි. ඇයද එකඟ වූ ඒවා මෙහි ලැයිස්තු ගත කරමි.
1.    ඉදිරි වසර 5 තුල පාරවල වාහන ප්‍රමාණය සෑහෙන දුරට අඩුවනු ඇත.
2.    නගරවල වාහන නැවතීමේ ඉඩකඩ අවශ්‍යතාවය බොහෝ දුරට අඩුවනු ඇත.
3.    ත්‍රි වීලර් නගරවලින් සීග්‍රයෙන් ඉවත්වනු ඇත.
4.    ත්‍රි වීලර් ගම්බද කුඩා පාරවලට, කෙටි ගමන් වලට සහ ලිහිසි බඩු ඇදීම් සඳහා සීමාවනු ඇත.
5.    මෙලෙස ත්‍රි වීලර් සඳහා ඉල්ලුම අඩුවන විට, ඒවා රටට ගෙන්වීමද අඩුවනු ඇත.
6.    වාහන ගෙන්වීමද අඩු වනු ඇත. (ලක්ෂ 40 ක වාහනයක් ගැනීමට සිතන කෙනෙකු එම මුදල බැංකුවේ දැම්මොත් මසකට රුපියල් 40000 පමණ ලැබෙයි. එම මුදලෙන්, වාහනයක තිබෙන අනෙක් වියදම්ද කරදරද නොමැතිව, පහසුවෙන්ම දිනපතා වැඩට යාමට පවා උබර් මගින් වාහනයක් ලබා ගැනීමට පුළුවන)
7.    app වාහන පදවන බොහෝ දෙනෙක් වෙනත් යමක් කරන්නන්ය. මට දැනට හමුවුන 4 දෙනාගෙන් දෙදෙනෙක්ම හෝම් ස්ටේ එකක් සහ ග්‍රොසරි එකක් කරන්නන්ය. මෙලෙස ද්විත්ව ව්‍යාපාර වල යෙදීමෙන් ඔවුන්ටද වැඩි ආදායමක් ලැබෙන අතර, නිෂ්පාදන ශ්‍රම බලකායටද වැඩි පිරිසක් එකතු වෙයි.
8.    මෙතෙක් කල් කිසිම අයුරකින් බදු ලබාගත නොහැකි වූ කුලී රථ සේවයේ, අඩු තරමින් ප්‍රධාන ආයතනයෙන් වත් යම් බදු මුදලක් රජයට ලැබෙනු ඇත.
රජයට මේ සඳහා කළ හැකි හොඳම දෙය මෙයට ඇඟිලි නොගසා සිටීමයි. පුද්ගලික ව්‍යාපාරිකයන් මෙය ලස්සනට කරගෙන යනු ඇත.
රජයට මොනව හරි කරන්න ඕනෑම නම් රජයේ වැඩකටයුතු වලටද app නිර්මාණය කරවා; නොයෙකුත් අනුමැතියන් සහ පදිංචි සහතික වැනි කටයුතු වලට, තව දුරටත් මිනිසුන්ට වාහන වල ගමන් යාමට ඇති අවශ්‍යතාවය අඩු කිරීමයි.

Saturday, July 27, 2019

කුලී රථ app සහ රජය






ඊයේ මම මුල් වතාවට app එකක් භාවිත කර වාහනයක් ගෙන්වාගෙන ගමනක් ගියෙමි. ඇත්තටම මම ලංකාවේ කුලී රථයකින් ගමනක් ගිය මුල්ම වතාවත් මෙය විය යුතුය.
මම මිතුරෙකුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට දහවල් 11 ට නුවර කුවින්ස් හෝටලයට යාමට සිතා සිටියෙමි. 10 ට පමණ නිවසට පැමිණි මිතුරෙකු සෙනසුරාදා නගරයේ වාහන පාකින්ග් ඉතාමත් අපහසු බවත්, මට බොහෝ වෙලාවක් ඒ සඳහා ගත වන බවත් කීවේය. මෙවිට මෙම සෙනසුරාදා ප්‍රශ්නය සත්‍යයක් බව මට මතක් විය.
මේ නිසා මම දැනටමත් ඩවුන් ලෝඩ් කරගෙන සිටි උබර් app එක පාවිච්චි කිරීමට උත්සාහ කලද, එහි වාහන තෝරා ගැනීමට නොහැකි බව පෙනුනි. මේ නිසා පික් මි app එක ඩවුන් ලෝඩ් කරගෙන එයින් කුඩා වාහනයක් තෝරාගෙන ඇනවුම් කලෙමි.
සාමාන්‍යයෙන් වාහනයක් ඒමට ගතවන වෙලාව ගණනය කර, මම ඇනවුම් කලේ වොෂ් එකක් දමා ඇඳ ගන්නට පෙරය. වොෂ් එක දමා අවසන්වන විටම වාහනය ගෙදරට පැමිණින. බිරිඳටත් ඉක්මනට අන්දවාගෙන වාහනයට යනවිට විනාඩි 5 ක් පමණ ගත වී තිබිණ.
අපි ප්‍රදර්ශනය නරඹා මුණගැසුණු තවත් මිතුරෙකුත් සමග බේක් හවුස් පබ්  එකට ගොස් දහවල් ආහාර ගෙන, තවත් පික්මි එකක් ගෙන්වා ගෙන නිවසට ආවෙමු. ආපසු යාමට වාහන එලවන්නට නොමැති නිසා මට මිතුරා සමග pre-lunch drink එකකුත් ගත හැකිවිය.
මෙම අත්දැකීම ඉතාමත් පහසු එමෙන්ම මිහිරි අත්දැකීමකි. මෙතරම් පහසුවෙන් මෙවැනි ගමනක් මම කවදාවත් ගොස් නැත. දෙපැත්තට ගමන අවසානයේදී එම රියදුරන් රවුම් ගානට පැමිනිමේදීද,  ඔවුනට පාඩු වන පැත්තට යාමට තරම් කාරුණික විය. 307.61 ට ඔහු ගත්තේ රුපියල් 300 ක් පමණි.
අපි නගරයට ගියේ එක පාරකින් වූ අතර, පැමිණියේ වෙනත් පාරකිනි. බිල් දෙකෙන් මම ඒ පාරවල් දෙකෙන් නිවසට වඩා ළඟ පාර කුමක්දැයි දැනගත්තෙමි.
මෙලෙස වාහනයේ එද්දී මට විශේෂ කාරණයක් සිහිවුනි. ඒ මෙම කුලි රථ app එක වන්නක් රජයෙන් සංවිධානය කලේ නම්, එය කොපමණ සීරියස් වනු ඇතිද යන බවය.
එසේනම් ඒ සඳහා පාවිච්චි කරන වාහන වලට අයදුම් පතක් බාරදීම සඳහා වෙනම ලියා පදිංචියක් ඉල්ලනු නොඅනුමානය. රියදුරු පදිංචිය පිලිබඳ ග්‍රාම සේවා සහතික ලබාගෙන ප්‍රාදේශීය කාර්යාලයට ගොස් අත්සන් කරගෙන, ඉන්පසු පොලිසියට ගොස් දවසක් රස්තියාදු වී පොලිස් වාර්තාවක් අඩු තරමින් ලබාගැනීමට නියම කරනු ඇත. දවස් දෙක තුනක් රජයේ කාර්යාලවල රස්තියාදුවී, ඇඳුරුම් කමක් නැත්නම් කීයක් හෝ අත මිටි මොලවන්නටත් අවශ්‍ය වනු ඇත.
අනික් පැත්තෙන් අපටද ගමන යාමට කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ පැල මිලදී ගැනීමට ගිය විට මෙන්, පෙර එම කාර්යාලයට ගොස් මුදල් ගෙවා  කුවිතාන්සියක් ලබාගෙන, එය රියදුරුට පෙන්වා වාහනයට නැගීමට සිදුවනු ඇත.
මේ සම කරුණකටම වඩා මට මෙතැනදී දැනුනු දෙය හෙට්ටු කිරීමට අවස්තාවක් නොවීමය. app එකෙන් දෙන අවසාන කුලිය ගෙවීමෙන් කර්තවය අවසන් වෙයි.  "සර් කැමති ගණනක් දෙන්න" වැනි ඇන්දීම් වලින් තොරව දෙදෙනාම සතුටු සිතින් විසිර යාමය. 
රජය අඩු ගනනේ මෙවැනි සේවා වලින් වත් ඈත් වී සිටීම, අපට කරන කොතරම් සේවයක්ද?

Saturday, July 13, 2019

එච් ආර් ජෝතිපාල





මම කුඩා කාලයේ අපේ ගමේ නිවසක් කුලියට ගෙන පවුලක් පදිංචි විය. උස කඩවසම් පුද්ගලයෙකු වූ එම පවුලේ  පියා ටික කලකින් මගේ පියා හා මිතුරු විය. ඔහු තම දරුවන් දෙදෙනාත් සමග සතියකට වරක් දෙවරක් අප නිවසට පැමිණීමට පුරුදුවිය. අප නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටා තිබුණු ඔවුන්ගේ නිවසේ සිට ඔවුන් බොහෝවිට පැමිණියේ සරමක් සහ කමිසයක් ඇඳගෙනය.

ඔහු කලකට පෙර ප්‍රසිද්ධ නළුවෙකු වී සිටි බව ඔහු අපට කී නිසා, අප ඔහුගේ කතා අසන්නට බලවත් කැමැත්තක් දැක්වුයෙමු. ඔහු කිහිප වතාවක්ම පොටෝ ඇල්බම් එකක්ද රැගෙන පැමිණියේය. එහි ඓතිහාසික චිත්‍රපට ඇතුළු චිත්‍රපට  කිහිපයක ඔහු රඟපාන කොටස් වල ඡායාරුප බොහොමයක් විය.

ඔවුන් තරමක් අමාරුවෙන් ජීවත්වූ බවත්, ගෙදරට පැමිණි විට අම්මා කොස්  පොල් හෝ එළවලු වැනි අපේ අවශ්‍යතාවයනට වැඩියෙන් තිබුණු ආහාර වර්ග ඔවුනට දීමටද යුහුසුළු විය. අපට මෙන්ම ඇයටද මූවි ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙකු දැනගන්නට ලැබීම මෙන්ම ඔහුගේ කතා අසා සිටීමද, කැමති වුවා විය හැක. මගේ පියා සහ මව ඔහුගේ නම දැනසිටියා වෙන්නට පුළුවන. නමුත් කුඩා අපට එවැන්නක් දැනගන්නට නොලැබුණි.
ගුරුවරියක වූ මගේ මව සමහරවිට මෙම නළුවා පිළිබඳව ඔහු කියූ නොයෙකුත් විස්තර, ඇයගේ ස්ටාෆ් එකේ මිතුරියන්ට කියන්නට ඇත. වරෙක ගැලවූ කොස් මඩුලු වගයක් ඔහුට දුන්විට,

“අද තුන හමාරේ බස් එකේ මඩවල ගිහිල්ලා මස් ටිකක් අරන් එන්න ඕනෑ” යනුවෙන් ඔහු කියූ කතාවක් මට අද ඊයේ වගේ මතක තිබේ. මේ කතාවෙන් පසු අප නිවසේද කොස් උයන දවසට මස් ඉවීම පුරුද්දක් තරමටම පත්විය. මේ දෙක ඉතාමත් හොඳින් ගැලපෙන භෝජනයන් දෙකකි.

ඇත්තෙන්ම මම කතාව පටන් ගත්තේ ජෝතිපාල ගැන යමක් කීමටය. ඒ කතාවත් මට මතක් වුයේ you ටියුබ් එකේ ඔහුගේ නින්ද නොයන රාත්‍රියේ සින්දුව ඇසීමෙන් පසුවය. ඒ සින්දුව ඇසීමෙන් පසුව එක්වරම මෙම විශ්‍රාමලත් නළුවා පිළිබඳව මතකය සිහියට පැමිණියේය.
දවසක් මොහු තම දරුවන් දෙදෙනා සමග අපේ ගෙදරට පැමිණෙන විට, මගේ පියා රැකියාව අවසන් වී නිවසට පැමිණ තිබුනේ නැත. ඔවුන් පැමිණි පසු මගේ මව තේ හදා දුන් අතර, මම ඔවුන් සමග ගෙදර සාලයේ ඉඳගෙන සිටියෙමි. ඒ වෙලාවේ අපේ කහපාට ගෘන්ඩිග් රේඩියෝ එකේ ජෝතිපාලගේ සිංදුවක් ප්‍රචාරය වුනු අතර, මමද ජෝතිපාල ෆෑන් කෙනෙකු වූ නිසා එම සින්දුව එක්ව ගයන්නට වුයෙමි.

සින්දුව අවසන් වූ පසු ඔහු මගෙන් මෙසේ ඇසීය.

“පුතා කැමතිම ගායකයා කවුද?”

මම ගත් කටටම “ජෝතිපාල” යැයි කීවෙමි. කුඩාකල සිට මේ දක්වා මගේ ප්‍රියතම ගායකයා වුයේ ඔහුය.

“අයියෝ පුතා, පුතා ජෝතිපාලට කැමති වුනත් කවුරුවත් ඇහුවොත් කියන්න එපා කැමතිම ගායකයා ජෝතිපාල කියලා, කියන්න අමරදේව කියලා, නැත්නම් මිනිස්සු හිතයි පුතා කිසිම රසයක් නැති කෙනෙක් කියලා ” ඔහු කීවේය.

ජෝතිපාලට අප රටේ ලැබුණු තැන එය වෙයි. තවමත් රටේ වැඩියෙන්ම අහන්නේ ඔහුගේ සිංදුය. අමරදේවගේ සිංදුවක් රේඩියෝ එකක අසන්නට ලැබෙන්නේවත් නැත. එහෙත් ගෞරව ලැබෙන්නේ ඔහුටය.

අපේත් බටහිර සමාජයේත් වෙනසත් ඒ විදිහෙන්ම බැලිය හැක. ඔවුහු සත්‍ය පිළිගනිති. යතාර්තයට ගෞරව කරති. අපි මවාගත් ලොවක ජීවත් වෙමු.

මෙහි කතා නායකයා වූ චිත්‍රපට කලාවේදියා ටික කලකින් එක්වරම නිවස අතහැර ගොස් තිබිණ. ඔවුන් පිළිබඳව කිසියම්ම ආරංචියක් අපට ලැබුනේ නැත.

එහෙත් අපි තවමත් කොස් උයන දවස් වලට බීෆ් කාරියක් ද හදාගන්නෙමු. ජෝතිපාලට හදවතින්ම  ආදරය කරන්නේමු.

Thursday, July 4, 2019

වර්ල්ඩ් කප් - සම්පුර්ණ කෙටි කතාව




 සමරවීර සහ  චාමර මුහුදු වෙරළේ ඇති ඔවුන්ගේ මිතුරෙකුගේ ආපන ශාලාවේ බියර් එකක් බොමින් සතුටු සාමීචියේ යෙදී සිටියහ. ඔවුන් මෙලෙස නිතරම එකතු වී දැල්ලන් බයිට් එකක් දා ගෙන කතා කරන්නේ දේශපාලනයය, එසේත් නැත්නම් නව සොයා ගැනීම් පිලිබඳවය. නමුත් මේ දිනවල ඔවුන්ගේ සාකච්ඡාවේ මාතෘකාව අනිවාර්යයෙන්ම ක්‍රිකට් වෙයි. වෙන දෙයකින් පටන් ගත්තත් අවසානයේ කෙලවර වන්නේ ක්‍රිකට් වලිනි. ක්‍රිකට් මාතෘකාව මේසයට පැමිණෙන විට අනිවාර්යයෙන්ම තවත් කෙනෙකු මේසයට පැමිණෙයි. ඒ අන්කිසිවකු නොව ඔවුන්ගේ මිතුරෙකු වන ආපන ශාලාවේ අයිතිකරු නිමල්ය.
“උඹටත් ක්‍රිකට් කියන එක ඇහුනු විට ඉන්ට බැහැ නේද?”  සමරවීර ඇසුවේ සිනාසෙමිනි.
“නැතුව නැතුව ඒක, ලංකාවේ අපිට මොන ඉන්ටනැෂනල් ක්‍රීඩාව බලලා සන්තෝෂ වෙන්ටද?, අපි අන්තර් ජාතිකයට ගියේ මේ ක්‍රිකටුයි, තේයි, කුරුදුයි හින්දනේ, වෙන මොනවගෙන්ද ලෝකේ අපි ගැන දන්නේ.” ඔහු කීවේ සතුටකින්ද දුකකින්ද යන්න මුහුණෙන් සොයා ගැනීමට බැරි වන ආකාරයෙන්ය.
“ඒකනම් ඇත්ත නිමල් අයියා,” අවුරුදු 35 ක් වන එහෙත් 25 කවත් පෙනුම නොමැති  චාමර සිනාසෙමින් කීවේය. “ඉන්ටර්නැෂනල් චැනල් එකක ලංකාවේ එවුන් මොනවා හරි කරනවා පෙනෙන්නේ ඔය අපේ ක්‍රිකට් ටීම් එකයි, අර පීටර් කුරුවිටගේ කුකින් ප්‍රෝග්‍රෑම් එකයි විතරයි.” ඔහු එකතු කළේය. මග් එකට බියර් එකක් පුරවා ගත්තේය.
“නිමල් බ්‍රැන්ඩි ටිකක් ගන්ඩ තියෙයිද?” වයස 55 ක පමණ පෙනුම ඇති සමරවීර බියර් බෝතලය අවසන් වෙනු දැක නිමල් ගෙන් ඇසුවේය.
“මේකයි ඒක මහත්තයා; සමරවීර රජයේ වැදගත් රැකියාවක් කර ලඟදි විශ්‍රාම ගත් නිසා, නිමල් සැමවිටම ඔහුගේ නම අගට මහත්තයා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට පුරුදුව සිටියේය. අපිට මෙතන ලිකර් ලයිසන් නැති නිසා එහෙම බෝතල් තියා ගන්න බැරි බව ඔයා දන්නවානේ. තියාගෙන හිටපු බෝතල් දෙක ඊයේ ගෙස්ට්ලා වගයක් ඉල්ලලා දුන්නා. ඕනනම් අපි එකක් ටවුමෙන් ගෙන්නා ගමු.
ත්‍රීවීල් කරුවෙකු අත රිට්ස් බ්‍රැන්ඩි බෝතලයක් ගෙන්වා ගනු ලැබූ අතර, පසුදින උදයේ ඔවුන් නිවසට ගිය අන්දමවත් ඔවුනට මතක තිබුනේ නැත. එහෙත් තිදෙනාට එතැනදී සාකච්ඡා කල එක කාරණයක් මතක තිබිණි. ඒ එක දිගටම අවුරුදු ගණනක් පරාජය වන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම, ජයග්‍රහණය සඳහා යොමු කරන්නේ කෙසේදැයි ඔවුන් සාකච්ඡා කල ක්‍රමයයි.
“මේක හරියට කර ගත්තොත් අපේ ටීම් එක ගොඩම ගොඩ.” එදින අහම්බයෙන් ඇතිවුනු සාදයේදී, සමරවීර අවසාන වශයෙන් කියනවා තුන්දෙනාට හොදින් මතකයේ ඇඳි තිබුණි.
අවසානයේ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්නට පුළුවන් විය. එය සෙන්සර් එකක ඇතුලට දමා  කොන්ටක්ට් ලෙන්ස් එකක් ඇතුලට දමාගෙන එය ඇහැ ඇතුලට සවිකර ගත යුතුය.  සමරවීර ගේ අයියාගේ පුතකුට අයත් වීරසිංහ ඔප්ටික්ස් ආයතනයෙන් මෙය කරගත හැකි විය. මෙහි ඇති අනතුරුදායක තත්වයද හොඳින් දැන සිටියද,  චාමර තමන්ගේ ඇසක එය සවිකර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.
මෙම ප්‍රෝග්‍රෑම් එකෙන් සිදුවුයේ බෝලය පන්දු යවන්නාගේ අතින් මිදුණු අවස්ථාවේ සිට, මීටර 3 ක් දුර ට්‍රැක් කර ඉන්පසු බෝලය කොයි අතට කොතරම් වේගයෙන් ගමන් කරයිද යන්න, සැම මිලි තත්පරයකටම ගණනය කරමින් කාචය පැළඳ සිටින්නාට බෝලයේ අනාගත ස්ථානය පෙන්වා දීමයි.
මේ අනුව පැයට හැතැප්ම 100 පමණ වේගයෙන් තමන් වෙතට පැමිණෙන බෝලයක, පිච් එක මැද හරියේ සිට අනාගත ස්ථානය පිතිකරුට හැකියාව ලැබෙන අතර, බෝලය තමන් අසල පිත්තේ සීමාවට ඒමට පෙර, එය තිබිය යුතු ස්ථානයට පහර එල්ල කර ලකුණු ලබාගැනීම මෙම ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රියාකාරිත්වයයි.
දැන් නව නිපැයුමේ අම්ල පරික්ෂාවයි, දැන් නිපැයුම ප්‍රායෝගිකව ඔප්පු කල යුතුය.  සමරවීර සහ චාමර මේ සඳහා කුමක් කලයුතු දැයි දින ගණනක් කතා කළහ. චාමර බිරිඳ මේ දෙදෙනා නිතරම එක්ව සිටීමට කැමති වුයේ නැත, සිතුවේ චාමර මෙලෙස කාලය නාස්ති කිරීමෙන් ඔහු තම ව්‍යාපාරික කටයුතු වලට අවධානය යොමු කිරීම අතපසු වන බවය. කුරුඳු තෙල් ව්‍යාපාරය අයිතිකරුගේ අවධානය නොමැතිව ඔටෝ දුවන්නට පුළුවන් ව්‍යාපාරයක් නොවේ. ඇයගේ එම අදහසත් නව නිපැයුම් වලට බාධාවක් වුවත්, ලොකු වැරද්දක් ඇති බව කිව නොහැක.
අවසානයේ දෙදෙන කර්නල් වෙතට යාමට තීරණය කළහ. සමරවීර ගේ හොඳ මිතුරෙකු වූ ඔහු තරුණ කල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. ටෙනිස්, බැඩ්මින්ටන්, ස්කොෂ්, මේස පන්දු ඔහුගේ ක්‍රීඩාවන් විය. මෙයින් ක්‍රීඩා තුනකටම තම පොල් වත්ත මැද පිහිටි නිවස තුල හා අවට පහසුකම් හදාගෙන සිටි ඔහු, දැන් දිනපතා මේස පන්දු ක්‍රීඩා කළේය.
“අපි අලුත් වැඩක් පටන් ගත්තා, ඒකට පොඩි උදව්වක් ඉල්ලාගෙනයි ආවේ” සමරවීර තම මිතුරාට පැහැදිලි කලේ ආ ගිය ගමන් කතා කිරීමෙන් පසුවය.
“හරි ඒක කියන්ට ඉස්සල්ල කියමු, කෑම කාල යන්ට වෙලාව තියෙනවද?” කර්නල් ඇසුවේ කෑම ටිකක් ලැහැස්ති කිරීමට තම බිරිඳට කියන්නට පෙරය. කෑමට නවතින්නට තීරණය කරගෙන ඔවුහු සාකච්ඡාව ඇරඹුහ.  සමරවීර තමන් දෙදෙනා විසින් කරන ලද නව නිපැයුම පිළිබඳව පැහැදිලි කළේය. ඒ අතරතුර චාමරද අතරින් පතර පැහැදිලි කිරීමට එකතුවිය. කර්නල් වරයා පැහැදිලි කිරීම මුල සිට අග දක්වා කිසිම බාධා කිරිමකින් තොරව අසා සිටියේය. විස්තරය 75%ක් පමණ අසා සිටින විට ඔහුට ඔවුන්ගේ සොයාගැනීම පිළිබඳව හොඳින් පැහැදිලි විය.
“හරි, මට තේරුනා, ඇති, මේක නියම වැඩක්. ඕගොල්ලෝ දන්නවද ක්‍රිකට් බෝලයක් බෝල් කරද්දී ගමන් කරන්නේ කොච්චර වේගයකින්ද කියලා”  සමරවීර සහ චාමර මාරුවෙන් මාරුවට එකිනෙකාගේ මුහුණු දෙස බැලුහ.
“සාමාන්‍යයෙන් ඒ වේගය පැයට හැතැප්ම; ඔහු තවම සිතන්නේ ඉම්පීරියල් ක්‍රමයටය, 100 ක් විතර වෙනවා, නමුත් ඒ වගේ වේගයකට ඕක ක්‍රිකට් පිච් එකක පරීක්ෂා කරනවට වඩා පහසු ක්‍රමයක් මගේ ළඟ තියෙනවා,  අපි මේක ටෙස්ට් කරමු TT ගේමක් ගහලා, TT බොලේ සෙල්ලම් කරන කොට යන වේගය පැයට හැතපුම් 25 ක් විතර ඇති, හැබැයි මෙතෙන්දි ඕගොල්ලන්ගේ ගැජට් එකට වේගය මානාගෙන අනාගතයට ප්‍රක්ෂේපනය කරන්න තියෙන වෙලාව හුඟක් අඩුයි, මොකද TT මෙසේ දිග අඩි  9 යයි. ක්‍රිකට් පිච් එකේ දිග අඩි 66 යි. තේරුනාද?”
මිතුර දෙදෙනාම මීට පෙර මේස පන්දු ක්‍රීඩාකර නොතිබුණු හෙයින්, මුලින්ම චාමරට පැය භාගයක පමණ පුහුණුවක් ලැබිණ. ඉන්පසු කාචය සවිකර ක්‍රීඩාව පටන් ගත්හ. විනාඩි දහයක් යාමට පෙර චාමර කර්නල් වරයාව පරාජය කළේය. ඔහුට මෙය අදහාගත නොහැකි විය.
“වැඩේ හරි, ඕගොල්ලෝ  යකාගේ වැඩක් කරලා තියෙන්නේ. හැබැයි මේකෙන් යම් දවසක රැකට් ගේම්ස් ලෝකෙන් නැති වෙලා යන්ටත් පුළුවන්” කර්නල් කීවේය.

                                                         

                                                   2 වෙනි කොටස

තව ගේම් කිහිපයක් ක්‍රීඩා කෙරින. සද්දය ඇසි කර්නල් ගේ බිරිඳ TT මේසය තිබු මැද කාමරයට ආවාය. පාසල් කාලයේ සිටම මේස පන්දු ක්‍රීඩාකර ඇති ඇය, දැන් සෑම දිනකම ඔහුත් සමග හවස 1730 සිට 1815 දක්වා TT සෙල්ලම් කලාය. කර්නල් සමග ක්‍රීඩා කරද්දී ඇයට සාමාන්‍යයෙන් ලබාගත හැකි වුයේ ලකුණු 5/1 පමණ ප්‍රමාණයකි. ඔවුන් මුලින් ටික වෙලාවක් නිකන් සෙල්ලම් කර දවසකට සාමාන්‍යයෙන් තරඟ  15 ක් පමණ ක්‍රීඩා කරන අතර, ඇයට එයින් දිනන්නට ලැබුනේ දිනකට එක ගේම් එකක් පමණි. එම තරඟයත් ඔහු ඇයට දිනන්නට ඉඩ හරිනවා දැයි සැකයක් ඇයට ඇතිවී තිබුනද, ඇය එය ඔහුගෙන් ඇසුවේ නැත. ඇත්තෙන්ම ඇය ක්‍රීඩාවට උද්යෝගිමත්ව තබාගැනීමට කර්නල් වරයා තරඟ එකක් හෝ දෙකක් ඇයට දිනන්නට ඉඩ හැරියේය.
ඇය මෙතරම් දක්ෂ තම සැමියා ක්‍රීඩාවෙන් පරදින අන්දම පුදුමයෙන් බලා සිටියේය. “සමහරවිට මෙම තරුණයා දක්ෂ පාසල් ක්‍රීඩකයකු විය යුතුය” ඇය සිතුවාය.
දහවල්  ආහාර ගෙන මිතුරන් දෙදෙනා පිටත්වූහ. මෙයට සම්බන්ධ වූ ඕනෑම කෙනෙක් දන්නා පරිදි නව නිපැයුමක්; එය කොතරම් ප්‍රයෝජනවත් දෙයක් වුවත්, නිර්මාණය කිරීම පහසුය, එහෙත් එය නිෂ්පාදනය සඳහා හෝ එසේත් නොමැති නම් ව්‍යාපාරික තත්වයට ගෙන ඒම හිතන තරම් පහසු නැත. ඇමෙරිකාව වැනි නව නිපැයුම් හඹා යන ආර්ථිකයක පවා එරට ලියාපදිංචි පේටන්ට් නිපැයුම් අතරින් 95% ක් කවදාවත් වාණිජ නිෂ්පාදන තත්වයට එන්නේ නැත, 97% ක් කවදාවත් මුදල් උපයන්නේ නැත.
අනෙක් අතින් මෙම නිපැයුම කෙසේවත් පේටන්ට් ලබාගත හැකි නිපැයුමක් නොවේ. මෙය ඇත්තෙන්ම ක්‍රීඩාවල නීති කඩා වංචාකාරී ලෙස ජයග්‍රහණ ලබාගැනීමට තැත් කිරිමකි. දවස් දෙකකට පසු  සමරවීර සහ චාමර, සමරවීර ගේ වාහනයෙන් ක්‍රිකට් ආයතනය වෙත ගියහ. පැය දෙකක ගමනකින් පසුව එම කාර්යාලයේ තොරතුරු නිලධාරිනිය වෙත ගොස් එහි සභාපති වරයා මුණගැසීමට අවශ්‍ය බව දන්වා සිටියහ. ඔහු එලෙස මුණගැසීමට නොහැකි බවත්, ඒ සඳහා වෙලාවක් වෙන් කරගත යුතු බවත් දන්වන ලදුව, ඔවුහු හැකි ඉක්මනින් ඔහු මුණගැසීමට වෙලාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.
“ඔබට ඔහු හමුවීමට අවශ්‍ය කුමන කාරනයකටද?” ඇය ඇසුවාය. ඔවුහු කාරණය කියන්නට මැලි වුහ. පසුව ඇගේ බලකිරීම නිසා ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීම සඳහා ඔවුන් උපකරණයක් සාදා ඇති බවත්, එය ඔහුට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත්, කියා සිටියහ. ඔවුන්ගේ දුරකථන අංක ලබාදී යන ලෙසත් දින කිහිපයකින් කැඳවීමක් ලැබිය යුතු බවත්, ඔවුනට පැවසු ඇය වෙනත් වාදයක යෙදුනාය. දෙදෙනා ආපසු මාතර ගිය අතර දින තුනකින් ක්‍රිකට් ආයතනයෙන් කැඳවීමක් නොලැබුන හෙයින්, සමරවීර එම ආයතනයට කතා කලවිට සභාපති වරයා හමුවීමට නොහැකි බවත්, හැකිනම් තාක්ෂණික අධ්‍යක්ෂක වරයා හමුවීමට වෙලාවක් ලබාදිය හැකි බවත් දැනගන්නට ලැබිණ.
එලෙස ලැබුණු වෙලාවට දෙදෙනා නැවත කොළඹ ක්‍රිකට් ආයතනය වෙත ගියහ. කියූ වෙලාවට පැයක් ප්‍රමාද වී අධ්‍යක්ෂක වරයා මුණගැසෙන්නට ලැබිණ. ඔහු එක්වරම සිතුවේ  චාමර පාසල් සිසුවෙකු බවත්, ඔහු විසින් සාදන ලද යම් සුකුරුත්තමක් මෙතනට ගෙනවිත් ඔහුගේ කාලය කා දමන්නට මොවුන් උත්සාහ කරන බවක්ය. මුලින් බොහෝ කම්මැලි කමෙන්  සාකච්ඡාවේ යෙදුනු අධ්‍යක්ෂක වරයාට, නිපැයුම ගැන එක්කෝ හරියට නොතේරෙන බවත් එහෙම නැත්නම් මොවුන් දෙදෙනා කියන්නේ බොරුවක් බව සිතන බවත්  පෙනුනි. සාකච්ඡාව කිසිම ප්‍රතිපලයකින් තොරව අවසන් විය.
 සමරවීර සහ  චාමර බැන බැන ආපසු ගෙදර ගියහ. මෙම නිපැයුමෙන් කිසිම වැඩක් නොගෙන මුහුදට විසිකලත්, ක්‍රිකට් ආයතනයට නම් නොදෙන බවට ඔවුහු ශපත කළහ.
මේ අතර අගනුවර රාත්‍රියේ මිල අධික හෝටලයක ඉන්දියානු ආහාර ගනිමින් සිටි දෙදෙනෙකු, මේ නිපැයුම ගැන බොහෝ උනන්දුවෙන් කතා කරමින් සිටියහ.
“එහෙනං ඔයා බලල වැඩේ ඇත්ත නම් සද්ද නොකර ඕක සල්ලි වලට ගන්න, ඒ දෙන්නව මේකෙන් අයින් කරගන්න ඕන, ලක්ෂ තිහක් වුනත් කමක් නැහැ, ඕකෙන් හොඳ ගානක් අපට හොයාගන්න පුළුවන්, ඉන්දියන් බුකි කාරයෙකුටම ඒ වගේ 10 ගුණයකට වත් දෙන්න පුළුවන්, මට විශ්වාසයි” එතන සිටි බලා සිටින්නෙකුට බලයෙන් වැඩි යයි සිතෙන  තැනැත්තා අනිකාට කීවේය.
පහුවෙනිදාම සමරවීරට තාක්ෂණික අධ්‍යක්ෂක වරයා ගෙන් දුරකථන පණිවුඩයක් ලැබිණ. ඔහු උපකරණය මිලදී ගන්නට කතා කළේය. ලක්ෂ 5 සිට 25 දක්වා මිල වැඩි කෙරින. අධ්‍යක්ෂකවරයා රවටන්නට උත්සාහ කලේ වැරදි මිනිසාය. සමරවීර තදින් බැන වැදී දුරකථනය විසන්ධි කළේය. කෝටියකටවත් ඔවුනට මෙම උපකරණය විකුනන්නේ නැති බව කියමිනි.
සතියක් පමණ ගතවිය. කර්නල් වරයාගෙන් සමරවීරට දුරකථන ඇමතුමක් ලැබිණ. ආගිය කතාවලින් පසු නව නිපැයුම දෙසට කතාව ඇදී ගියේය.
“ඇයි ඕගොල්ලෝ ක්ලබ් එකකට ඕක දාගෙන ක්‍රිකට් ගහන්ට ට්‍රයි කරන්නේ නැත්තේ?” කර්නල් වරයා අවසානයේ ඩොලර් 64000 ප්‍රශ්නය ඇසුවේය. එය ඉතාම හොඳ මීලග පියවර බව සමරවීරටද හැඟින. තමන්ට පෙර වෙන කෙනෙකුට මෙතරම් අනගි අදහසක් ඒම ගැන තරමක නොසතුටක් හිතේ ඇතිවුවද, ඔහු එය ක්‍රියාත්මක කරන්නට සිතුවේය.
පසුදින  සමරවීර සහ  චාමර නැවත වැඩ පටන්ගත්හ.  
ඔවුන් මුලින්ම ගියේ අනුර මොහොට්ටි හමුවීමටය. චාමර ක්‍රිකට් ගැසීමට උනන්දු බවද, ඒ සඳහා මොහොට්ටි ලේකම් වරයා ලෙස කටයුතු කරන ඊලවන් ස්ටාර්ස් ක්‍රිකට් සමාජයට බැඳී ක්‍රීඩා කිරීමට හැකියාව සොයා බැලීමට, ඔවුන් පැමිණි බව ඔවුහු දන්වා සිටියහ. චාමර ගැන තරමක් දැන සිටි මොහොට්ටි ඔවුන් මුණගැසී කතා කිරීමට කැමති වුවද,
“කොහොමද ඉස්කෝලේ ක්‍රිකට් ගහපු නැති කෙනෙක් එක පාරටම ක්ලබ් එකට ගහන්නේ?” යනුවෙන් පවසමින්  චාමරට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් දීමට කැමති වුයේම නැත.
“එහෙනම් අපි මෙහෙම කරමු, ඔයාගේ ඉන්න හොඳම බෝලර් දාල අපේ මේ චාමරට දවසක් බැටින් ප්‍රක්ටිස් ටිකක් දෙන්න, මෙයා ගහන විදිහ බලල තීරණයක් ගන්න”
ඔහු එම යෝජනාවට කැමති විය. ඊලවන් ස්ටාර්ස් කණ්ඩායම පුහුණු වන මැච් එකේ මෙම පරීක්ෂණය කිරීමට, ඊළඟ ඉරිදා දිනය යොදාගත්තේ එදින පාසල් පුහුණුවීම් නොමැති දිනයක් නිසාය.
සමරවීර සහ චාමර මේ පිළිබඳව සාකච්ඡා කලහ. ධම්මිස්සර විදුහලේ අඳුරන ගුරුවරයෙකු ගෙන් ලෙදර් බෝලයක් දින කිහිපයකට ඉල්ලා ගෙන, එයට චාමර හුරුවීමට දෙදෙනා එකතු වී කැච් ඇල්ලුහ.
“ග්‍රෑම් 160 ක් කියන්නේ ලේසි බරක් නෙවෙයි කැච් එකක් ගන්න කොට, අපි හාන්සි පුටුවේ ඉඳගෙන TV එකේ ප්ලේයර්ස්ලට බැන්නට නේද චාමර?”
සමරවීර චාමර ගෙන් අසා සිනාසුනේය. සාමාන්‍යයෙන් එතරම් දුරට නොයා යුතු බවත්, බෝලය ඒ ආකාරයට පෙනෙන්නේ නම් ඕවර් එකකට සික්සර් දෙකකට වඩා නොගස යුතු බවත්, මුළු ඕවර් එකකට ලකුණු 20 කට වඩා කෙසේ වත් නොගත යුතු බවටත්, ඔවුන් එකඟ වුහ. නැතිනම් මේ එක්වරම බැටින් චැම්පියන් කෙනෙකු ඇතිවීම සැකයට පාත්‍ර වනු ඇත.
ඉරිදා බැටින් පරීක්ෂණය පැවැත්වින. ඉන්පසු සිදුවූ දෑ ලංකාවේ ක්ලබ් ක්‍රිකට් ඉතිහාසය උඩු යටිකුරු කළේය. එම වසර අවසානයේ  චාමරගේ බැටින් සාමාන්‍යය 165 ක් විය. මෙය ක්‍රිකට් ලෝක ඉතිහාසයේද වාර්තාවක් විය. ඔහුගේ බෝල රැකගැනීමේ හැකියාවන් නම් ඉතා පහල මට්ටමක තිබුණි. එහෙත් බැටින් කර අවසන් වූ පසු නිතරම ආබාධයන්ට ලක්වීම නිසා, ඔහුට රැකගැනීමේ අවස්ථාවන් අඩුකර ගැනීමට හැකිවිය. වසර දෙකක් තුල  චාමර ලංකාවේ ජනයා අතර නිවැසි නාමයක් බවට පත්විය. කොළඹ ක්‍රීඩා සමාජ ඔහු ඔවුන්ගේ සමාජ වලට බඳවා ගන්නට, ඔහු සොයාගෙන නිවසට පවා පැමිණියහ. රුපියල් මිලියන ගණනක කොන්ත්‍රාත්තු වලට ඔහු ගිවිසුම් ගත කරගැනීමට බොහෝ දෙන වෙහෙසුනහ. ඔහුට ලැබුණු දුසිමකටත් වැඩි රුපවාහිනි දැන්වීම් අතර වසරකට ලක්ෂ 10 ක් ගෙවූ මදුරු දඟර දැන්වීමක්ද විය. දේශපාලන පක්ෂ දෙකකින් චාමරට ඡන්දය ඉල්ලීමට ආරාධනා ලැබුනද, ඔහු ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.
ඔහුට යම් මන්ත්‍ර බලය ලැබී ඇති බව ප්‍රකාශ කරමින්, එවැනි බලයක් වෙනත් ක්‍රීඩකයන්ට  තමන් ආශිර්වාද පූජාවකින් ලබාදිය හැකි බවට, කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මන්ත්‍ර ගුරුකම් කරන කාන්තාවක් ඉදිරිපත් වූ අතර, බොහෝ දෙමව්පියන් තම ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් මෙතනට රැගෙන යන බවද, ඇය මෙම පුජාව සඳහා එක දරුවෙකුගෙන් රුපියල් 30000 ක් අය කලාය.
ඊලවන් ස්ටාර්ස් ක්‍රීඩා සමාජයද චාමර සමග පළමුවෙනි වසර තුල සියලුම තරඟ ජය ගත්තේය. වසරින් වසර ඩිවිෂන් එකිනෙකට උසස් කෙරින.
එහෙත් බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි චාමර ජාතික කණ්ඩායමට තෝරා ගැනුනේ  නැත. මුහුණු පොතේ මේ පිළිබඳව නොයෙකුත් සාකච්ඡාවන් ඇරඹුණු අතර, 90% පමණ පෝස්ට් ඔහු වහාම කණ්ඩායමට තෝරා ගතයුතු බව දැක්වෙන ඒවා වූ අතර, කිහිප දෙනෙකු මොහු යම් වංචාකාරී ප්‍රයෝගයක් උපයෝගී කරගෙන මෙම හපන්කම කරන්නේ යයි ප්‍රකාශ කළහ. කෙසේ වුවත් අවසානයේ චාමර ජාතික කණ්ඩායමට තෝරාගන්නා ලෙසට බලකරමින් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකින් පසුව, එම වසරේ ඔහු ජාතික කණ්ඩායමට තෝරා ගැනින. එම වසරේ ඉන්දියාවේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය එකතුව ලෝක කුසලානය පැවැත්වීමද මෙම තෝරාගැනීමට අපූරත්වයක් එකතු කළේය. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයට මෙලෙස ලෝක කුසලානයක් සඳහා දායකවීමට හැකිවීම, සාමයේ සුවිශේෂී ජයග්‍රහණයක් බව ලොව පුරා විචාරකයන් පැවසුහ.
තරඟ 45 න් 15 ක් ලංකාවේදීද 5 ක් ඇෆ්ගනිස්තානයේදීද ඉතිරිය ඉන්දියාවේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. ශ්‍රී ලාංකික තරඟ හැකිතරම් ලංකාවේ පැවැත්වෙන ලෙස සංවිධානය කර තිබුනද තරඟ දෙකක් සඳහා; එක බැගින්, ඇෆ්ගනිස්තානයට සහ ඉන්දියාවට යාමට ලංකා කණ්ඩායමට සිදුවිය. එම මුල්වටයේ තරඟ දෙකම පහසුවෙන් ජයගැනීමට අප කණ්ඩායමට හැකිවිය.
මෙම තරඟ දෙකේදීම චාමර ඉතා පහසුවෙන් ලකුණු 74 ක් සහ 89 ක් වාර්තා කල අතර, ඔහුගේ කඩුල්ල දෙවරම බිඳ වැටුනේද ඉතාමත් අපරික්ෂාකාරී පහර වලින් බව පෙනින.
මේ අතර ඩුබායිහි ඇට්ලන්ටිස් හෝටලයේ ඉහලම මිල කාමරයක ඉන්දියානුවන් 9 දෙනෙකු නොයෙකුත් අධි මිල බිම පානය කරමින්, යම් විශේෂ කාරණයක් ගැන සාකච්ඡා කරමින් සිටියහ. මෙම සාකච්ඡාව කොතරම් රහස්‍ය එකක් වුයේද යත්, රැස්වීමට පෙර දෙදෙනෙකු කාමරය පුරා උපකරණයක් ගෙනයමින් කිසියම් සවන්දීමේ උපකරණ සවිකර තිබේදැයි පරීක්ෂණයක් කරන ලද්දේය.
“එහෙනම් අපි සියලු දෙනාම පිලිගන්නවා, මේක ලොකු ප්‍රශ්නයක් කියලා, එකම ක්‍රීඩකයා සහ රට, ඕනෑම ඔට්ටු අල්ලන්නෙකුට මේ තරම් පහසු ලෙස කියන්න පුළුවන් නම්, ක්‍රිකට් ඔට්ටු වලින් වැඩක් නැති වෙනවා කියන එක කියන්නත් දෙයක් නෙවෙයි. අපිට එක්කෝ මේ මනුස්සයා අපිට ඕන විදිහට පාලනය කරන්න ක්‍රමයක් හදාගන්න ඕන, නැත්නම් මොන හරි ක්‍රමේකින් මේ මනුස්සයව නවත්තන්න ඕන, නැතිනම් අපේ මේ ඇමෙරිකානු ඩොලර් බිලියන් 150 ව්‍යාපාරේ සම්පුර්ණයෙන් විනාශ වෙන්න පුළුවන්, මතක තියාගන්න මේ ගණන ලංකාවේ දළ ජාතික ආදායම වගේ දෙගුණයක් කියලා”. මුම්බායි ඉපදුනද දැන් ඩුබායිහි වාසය කරන කුමාර් අගර්වාල් මහතා පැවසුවේ බොහෝ සාකච්ඡා වලින් පසුවය. ඔහු මෙම කණ්ඩායමේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කලේ, ක්‍රිකට් ඔට්ටු ව්‍යාපාරයේ විශාලතම පංගුව පාලනය වන්නේ ඔහු නිසාවෙන් විය යුතුය.
                                                    
                                                                    4

“අපිට මෙහෙම කරන්න පුළුවන්, මගේ හොඳ මිත්‍රයෙක් ලංකාවේ බුකි ව්‍යාපාරේ පාලනය කරන්නේ, අපට ඔහුගෙන් අහන්න පුළුවන් මේ ක්‍රීඩකයා ගැන, අපිට පාවිච්චි කල හැකි යම් අඩුපාඩුවක් ගැන” දකුණු ඉන්දියාවේ ඔට්ටු ව්‍යාපාරය පාලනය කරන සුන්දරම් අයියාර් පිළිතුරු දුන්නේය.
සියලු දෙන එයට එකඟ වුහ. සුන්දරම් අයියාර් අත ගැහුවොත් ප්‍රශ්නයට හරි පිළිතුරක් සොයාගන්නා බවට ඔවුනට විශ්වාසයක් තිබුණි.
“මමම හෙට කොළඹට යන්නම්, මොකක් හරි හොයාගන්නට බැරිවෙන එකක් නැහැ” අයියාර් ඔවුන්ගේ විශ්වාශය තවත් වැඩි කළේය.
ලංකාවට පැමිණ එක දිනයකින්ම ඔහුට අවශ්‍ය සියල්ල දැනගන්නට ලැබුණි. ඔහුගේ වියදම මිලියන 200 ක් වූ අතර ඉන් ලක්ෂ 5 ක් තාක්ෂණ අධ්‍යක්ෂකවරයාටද ලැබුණි.
ඉතාමත් පහසුවෙන් අවසාන පුර්ව තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණුනි. මෙම තරඟාවලියේදී අප කණ්ඩායම ලබාගත් ලකුණු වලින් 50% ක්ම ලබාගෙන තිබුනේ  චාමර වීම මෙම තරඟාවලියේ විශේෂ සිදුවීමක් විය.
අවසාන පුර්ව තරඟයට පෙර දින හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු සමරසිංහ හමුවීමට ඔහුගේ නිවසට පැමිණියේ අලුත්ම පන්නයේ බෙන්ස් රථයකිනි. ඔහු සමරසිංහට යෝජනාවක් කළේය.
“ඔබ අවසන් පුර්ව තරන්ගයටත් ගහලා ෆයිනල්ස් වලට ගහන්න ඉන්නවා වගේ ඉඳලා, මැච් එකට ඔන්න මෙන්න කියලා අසනීපයි කියන්න. එහෙම නැත්නම් අපි ICC එකට ඔබ දෙදෙනා මේ කරපු සම්පුර්ණ වැඩේ මාට්ටු කරලා දෙනවා, දෙන්නටම ලොකු ලැජ්ජාවක් වෙන්නේ, වංචාවට හිරේ යන්නත් පුළුවන්”  සමරසිංහ මෙම තර්ජනය සාවධානව අසා සිටියේය.
“මම මේක චාමර ගෙනුත් අහන්න ඕනෑ, මම එහෙනම් අහල කියන්නම්” ඔහු කීවේය.
“මම ඔබතුමාට පැයක් දෙන්නම්, මම මෙතනම ඉන්නවා මට අහල දැන් මම පිළිතුරක් දෙන්න” ක්‍රීඩකයා ඔහුගේ පතෙක් පිලිප් නෝටිලස් ඔරලෝසුවෙන් වෙලාව බැලුවේය.
සමරවීර චාමර සමග සාකච්ඡා කළේය. පැමිණි අමුත්තා සමග එකඟ විය. අමුත්තා ස්තුති  කර පිටව ගියේය.
ඔවුන් මෙලෙස අවසාන තරඟයට මොහොතකට පෙර තරඟයෙන් ඉවත්වන්නට කියන්නේ, ඒ වනතෙක් ඔට්ටු චාමර සහ ශ්‍රී ලංකාව සඳහා බාරගෙන, චාමර නැතිවු විට සහ ඒ නිසා ශ්‍රී ලංකාව පැරදුනු විට, බිලියන ගණනක් සොයා ගැනීමට බව ඔවුනට රහසක් වුයේ නැත.
“අපි හොඳ වැඩක් කරමු, බුකිකාරයන්ට හොඳ පාඩමක් උගන්නමු, සෙමි ෆයිනල් මැච් එක ඉවරවුණු ගමන් චාමරට යම් අසනීප තත්වයක්, දනිහේ අමාරුවක් වගේ එකක් නිසා, ඉස්සරහට තරඟ කරන්නේ නැහැ කියමු” එතකොට උන්ට අහිංසක මිනිස්සු රවට්ටන්ට බැහැ”  චාමර පැහැදිලි කිරීම ඉවර කරන්නටත් පෙර සමරසිංහ සමග එකඟ විය.
දිල්ලි නුවර ෆෙරෝස් ශා කොට්ලා ක්‍රිකට් පිටියේ පවත්වන අවසන් පුර්ව තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 8 ක ඉතාමත් තියුණු ජයක් වාර්තා කලේ චාමර ඉක්මන් ලකුණු 9 ක් ලබාගෙන සිටියදීය. එම තරඟයේ ඔහුගේ 93 වන ලකුණ සඳහා දුවද්දී  චාමර පිච් එකේ ඇදවැටුණු අතර ඔහු නැගිටගත්තේද ඉතාමත් අමාරුවෙනි. තරඟය නැරඹු සමරසිංහ පවා ටික වෙලාවකට සිතුවේ ඔහු ඇත්තටම ඇද වැටුණු බවය.
එම වැටීමෙන් ඇතිවූ කොන්දේ අමාරුව නිසා, තමන්ට ටික කාලයකට ක්‍රීඩාවේ යෙදිය නොහැකි බව චාමර ප්‍රසිද්ධියේ කියා සිටි අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලයන් දශක තුනකට පමණ පසු, ලෝක කුසලානය ලබාගැනීමට තබා තිබු බලාපොරොත්තුද ඒ සමගම බිඳ වැටුණි.
ජුලි 16 වන ඉරිදා තිබු අවසන් තරඟය ලාංකික ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු නොබැලුවේ, ඒ තරම් බලාපොරොත්තු තබා තිබු කුසලානය චාමර නොමැතිව කෙසේවත් අපට දිනාගත නොහැකි හෙයිනි. ඒ සියලු දෙන පසුදින උදයේ මහත් ලැජ්ජාවටත් පුදුමය මුසු සතුටටත් පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයේදී කඩුලු දෙකකින් ඉන්දියානු කණ්ඩායම පරදා තිබුණි. අපගේ සියලු ක්‍රීඩකයන් ලකුණු 25, 30 ලබා ගනිමින් ඉන්දියාව ලබාගත් ලකුණු 307 පසුකර ගොස් තිබුණි.   

Sunday, June 30, 2019

වර්ල්ඩ් කප් - කෙටි කතාව





 සමරවීර සහ  චාමර මුහුදු වෙරළේ ඇති ඔවුන්ගේ මිතුරෙකුගේ ආපන ශාලාවේ බියර් එකක් බොමින් සතුටු සාමීචියේ යෙදී සිටියහ. ඔවුන් මෙලෙස නිතරම එකතු වී දැල්ලන් බයිට් එකක් දා ගෙන කතා කරන්නේ දේශපාලනයය, එසේත් නැත්නම් නව සොයා ගැනීම් පිලිබඳවය. නමුත් මේ දිනවල ඔවුන්ගේ සාකච්ඡාවේ මාතෘකාව අනිවාර්යයෙන්ම ක්‍රිකට් වෙයි. වෙන දෙයකින් පටන් ගත්තත් අවසානයේ කෙලවර වන්නේ ක්‍රිකට් වලිනි. ක්‍රිකට් මාතෘකාව මේසයට පැමිණෙන විට අනිවාර්යයෙන්ම තවත් කෙනෙකු මේසයට පැමිණෙයි. ඒ අන්කිසිවකු නොව ඔවුන්ගේ මිතුරෙකු වන ආපන ශාලාවේ අයිතිකරු නිමල්ය.
“උඹටත් ක්‍රිකට් කියන එක ඇහුනු විට ඉන්ට බැහැ නේද?”  සමරවීර ඇසුවේ සිනාසෙමිනි.
“නැතුව නැතුව ඒක, ලංකාවේ අපිට මොන ඉන්ටනැෂනල් ක්‍රීඩාව බලලා සන්තෝෂ වෙන්ටද?, අපි අන්තර් ජාතිකයට ගියේ මේ ක්‍රිකටුයි, තේයි, කුරුදුයි හින්දනේ, වෙන මොනවගෙන්ද ලෝකේ අපි ගැන දන්නේ.” ඔහු කීවේ සතුටකින්ද දුකකින්ද යන්න මුහුණෙන් සොයා ගැනීමට බැරි වන ආකාරයෙන්ය.
“ඒකනම් ඇත්ත නිමල් අයියා,” අවුරුදු 35 ක් වන එහෙත් 25 කවත් පෙනුම නොමැති  චාමර සිනාසෙමින් කීවේය. “ඉන්ටර්නැෂනල් චැනල් එකක ලංකාවේ එවුන් මොනවා හරි කරනවා පෙනෙන්නේ ඔය අපේ ක්‍රිකට් ටීම් එකයි, අර පීටර් කුරුවිටගේ කුකින් ප්‍රෝග්‍රෑම් එකයි විතරයි.” ඔහු එකතු කළේය. මග් එකට බියර් එකක් පුරවා ගත්තේය.
“නිමල් බ්‍රැන්ඩි ටිකක් ගන්ඩ තියෙයිද?” වයස 55 ක පමණ පෙනුම ඇති  සමරවීර බියර් බෝතලය අවසන් වෙනු දැක නිමල් ගෙන් ඇසුවේය.
“මේකයි එක මහත්තයා;  සමරවීර රජයේ වැදගත් රැකියාවක් කර ලඟදි විශ්‍රාම ගත් නිසා, නිමල් සැමවිටම ඔහුගේ නම අගට මහත්තයා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට පුරුදුව සිටියේය. අපිට මෙතන ලිකර් ලයිසන් නැති නිසා එහෙම බෝතල් තියා ගන්න බැරි බව ඔයා දන්නවානේ. තියාගෙන හිටපු බෝතල් දෙක ඊයේ ගෙස්ට්ලා වගයක් ඉල්ලලා දුන්නා. ඕනනම් අපි එකක් ටවුමෙන් ගෙන්නා ගමු.
ත්‍රීවීල් කරුවෙකු අත රිට්ස් බ්‍රැන්ඩි බෝතලයක් ගෙන්වා ගනු ලැබූ අතර, පසුදින උදයේ ඔවුන් නිවසට ගිය අන්දමවත් ඔවුනට මතක තිබුනේ නැත. එහෙත් තිදෙනාට එතැනදී සාකච්ඡා කල එක කාරණයක් මතක තිබිණි. ඒ එක දිගටම අවුරුදු ගණනක් පරාජය වන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම, ජයග්‍රහණය සඳහා යොමු කරන්නේ කෙසේදැයි ඔවුන් සාකච්ඡා කල ක්‍රමයයි.
“මේක හරියට කර ගත්තොත් අපේ ටීම් එක ගොඩම ගොඩ.” එදින අහම්බයෙන් ඇතිවුනු සාදයේදී, සමරවීර අවසාන වශයෙන් කියනවා තුන්දෙනාට හොදින් මතකයේ ඇඳි තිබුණි.
අවසානයේ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්නට පුළුවන් විය. එය සෙන්සර් එකක ඇතුලට දමා  කොන්ටක්ට් ලෙන්ස් එකක් ඇතුලට දමාගෙන එය ඇහැ ඇතුලට සවිකර ගත යුතුය.  සමරවීර ගේ අයියාගේ පුතකුට අයත් වීරසිංහ ඔප්ටික්ස් ආයතනයෙන් මෙය කරගත හැකි විය. මෙහි ඇති අනතුරුදායක තත්වයද හොඳින් දැන සිටියද,  චාමර තමන්ගේ ඇසක එය සවිකර ගැනීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් විය.
මෙම ප්‍රෝග්‍රෑම් එකෙන් සිදුවුයේ බෝලය පන්දු යවන්නාගේ අතින් මිදුණු අවස්ථාවේ සිට, මීටර 3 ක් දුර ට්‍රැක් කර ඉන්පසු බෝලය කොයි අතට කොතරම් වේගයෙන් ගමන් කරයිද යන්න, සැම මිලි තත්පරයකටම ගණනය කරමින් කාචය පැළඳ සිටින්නාට බෝලයේ අනාගත ස්ථානය පෙන්වා දීමයි.
මේ අනුව පැයට හැතැප්ම 100 පමණ වේගයෙන් තමන් වෙතට පැමිණෙන බෝලයක, පිච් එක මැද හරියේ සිට අනාගත ස්ථානය පිතිකරුට හැකියාව ලැබෙන අතර, බෝලය තමන් අසල පිත්තේ සීමාවට ඒමට පෙර, එය තිබිය යුතු ස්ථානයට පහර එල්ල කර ලකුණු ලබාගැනීම මෙම ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රියාකාරිත්වයයි.
දැන් නව නිපැයුමේ අම්ල පරික්ෂාවයි දැන් නිපැයුම ප්‍රායෝගිකව ඔප්පු කල යුතුය.  සමරවීර සහ චාමර මේ සඳහා කුමක් කලයුතු දැයි දින ගණනක් කතා කළහ. චාමර බිරිඳ මේ දෙදෙනා නිතරම එක්ව සිටීමට කැමති වුයේ නැත, සිතුවේ චාමර මෙලෙස කාලය නාස්ති කිරීමෙන් ඔහු තම ව්‍යාපාරික කටයුතු වලට අවධානය යොමු කිරීම අතපසු වන බවය. කුරුඳු තෙල් ව්‍යාපාරය අයිතිකරුගේ අවධානය නොමැතිව ඔටෝ දුවන්නට පුළුවන් ව්‍යාපාරයක් නොවේ. ඇයගේ එම අදහසත් නව නිපැයුම් වලට බාධාවක් වුවත්, ලොකු වැරද්දක් ඇති බව කිව නොහැක.
අවසානයේ දෙදෙන කර්නල් වෙතට යාමට තීරණය කළහ. සමරවීර ගේ හොඳ මිතුරෙකු වූ ඔහු තරුණ කල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. ටෙනිස්, බැ ඩ්මින්ටෝන්, ස්කොෂ් මේස පන්දු ඔහුගේ ක්‍රීඩාවන් විය. මෙයින් ක්‍රීඩා තුනකටම තම පොල් වත්ත මැද පිහිටි නිවස තුල හා අවට පහසුකම් හදාගෙන සිටි ඔහු, දැන් දිනපතා මේස පන්දු ක්‍රීඩා කළේය.
“අපි අලුත් වැඩක් පටන්ගත්තා, ඒකට පොඩි උදව්වක් ඉල්ලාගෙනයි ආවේ” සමරවීර තම මිතුරාට පැහැදිලි කලේ ආ ගිය ගමන් කතා කිරීමෙන් පසුවය.
“හරි ඒක කියන්ට ඉස්සල්ල කියමු, කෑම කාල යන්ට වෙලාව තියෙනවද?” කර්නල් ඇසුවේ කෑම ටිකක් ලැහැස්ති කිරීමට තම බිරිඳට කියන්නට පෙරය. කෑමට නවතින්නට තීරණය කරගෙන ඔවුහු සාකච්ඡාව ඇරඹුහ.  සමරවීර තමන් දෙදෙනා විසින් කරන ලද නව නිපැයුම පිළිබඳව පැහැදිලි කළේය. ඒ අතරතුර  චාමරද අතරින් පතර පැහැදිලි කිරීමට එකතුවිය. කර්නල් වරයා පැහැදිලි කිරීම මුල සිට අග දක්වා කිසිම බාධා කිරිමකින් තොරව අසා සිටියේය. විස්තරය 75%ක් පමණ අසා සිටින විට ඔහුට ඔවුන්ගේ සොයාගැනීම පිළිබඳව හොඳින් පැහැදිලි විය.
“හරි, මට තේරුනා, ඇති, මේක නියම වැඩක්. ඕගොල්ලෝ දන්නවද ක්‍රිකට් බෝලයක් බෝල් කරද්දී ගමන් කරන්නේ කොච්චර වේගයකින්ද කියලා”  සමරවීර සහ චාමර මාරුවෙන් මාරුවට එකිනෙකාගේ මුහුණු දෙස බැලුහ.
“සාමාන්‍යයෙන් ඒ වේගය පැයට හැතැප්ම; ඔහු තවම සිතන්නේ ඉම්පීරියල් ක්‍රමයටය, 100 ක් විතර වෙනවා, නමුත් ඒ වගේ වේගයකට ඕක ක්‍රිකට් පිච් එකක පරික්ෂා කරනවට වඩා පහසු ක්‍රමයක් මගේ ළඟ තියෙනවා,  අපි මේක ටෙස්ට් කරමු TT ගේමක් ගහලා, TT බොලේ සෙල්ලම් කරන කොට යන වේගය පැයට හැතපුම් 25 ක් විතර ඇති, හැබැයි මෙතෙන්දි ඕගොල්ලන්ගේ ගැජට් එකට වේගය මානාගෙන අනාගතයට ප්‍රක්ෂේපනය කරන්න තියෙන වෙලාව හුඟක් අඩුයි, මොකද TT මෙසේ දිග අඩි  9 යයි. ක්‍රිකට් පිච් එකේ දිග අඩි 66 යි. තේරුනාද?”
මිතුර දෙදෙනාම මිට පෙර මේස පන්දු ක්‍රීඩාකර නොතිබුණු හෙයින්, මුලින්ම චාමරට පැය බාගයක පමණ පුහුණුවක් ලැබිණ. ඉන්පසු කාචය සවිකර ක්‍රීඩාව පටන් ගත්හ. විනාඩි දහයක් යාමට පෙර චාමර කර්නල් වරයාව පරාජය කළේය. ඔහුට මෙය අදහාගත නොහැකි විය.
“වැඩේ හරි, තමුසෙලා යකාගේ වැඩක් කරලා තියෙන්නේ. හැබැයි මේකෙන් යම් දවසක රැකට් ගේම්ස් ලෝකෙන් නැති වෙලා යන්ටත් පුළුවන්” කර්නල් කීවේය. ........අවසාන කොටස මීළඟ බ්ලොග් එකෙන්  

Tuesday, June 25, 2019

ඔටුන්න හිමි කුමාරයා - කෙටි කතාව




කැරැල්ල අවසන් වීමට තව එතරම් කලක් ගතවන්නේ නැති බව රාජසිංහ රජ්ජුරුවෝ විශ්වාස කළහ.

“ඔය පායලා තියෙන  වල්ගා තරුව බැහැපු ගමන්ම ඔවුන් එක එකා ඇන  කොටාගන්නවා, මං  දන්නැද්ද අපේ සිංහලයාගේ හැටි , අනික වල්ගා  තරුව බැස්සහම අපල  කාලේ ඉවරයි කියල මිනිස්සු රජ්ජුරුවෝ පැත්තට හැරෙනවා”  රාජසිංහ රජතුමා උඩගම්පහේ රාළට කීවේය.
“පස්වාන් දහසකට, උන් අපේ කුමාරයාට ඔටුනු පලඳලා  කියල ආරංචියක් පැතිරෙනව ” රජුට වඩා තරමක් මිටි එහෙත් ඔහුට වඩා තරුණ එමෙන්ම ශක්තිවන්ත පෙනුමක් ඇති, උඩගම්පහේ රාල පිළිතුරු දුන්නේය.
 මුහුණ පුරා තරමක් අව පැහැයට  වැවුණු රැවුලක් සහිත රාජසිංහ රජතුමා, දුර්වල දනිස් වලට අත් තබමින් හෙමින් තමන් ඉඳගෙන සිටි ගලෙන් නැගිට්ටේය. ඒ ලඟින්ම කෙලින් කටින් වාඩිවී සිටි උඩගම්පහේ රාල, එක්වරම කිසිම අපහසුවක් නොමැතිව නැගිට සිටියේය. රජුට පසුව නැගිටින්ට පටන් ගත්තත් ඔහු රජුට පෙර හිටගත්තේය.
“අපි දෙන්න එක පලොලේ නේද උඩගම්පහේ ?”  රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල පරීක්ෂාවෙන් බලන ගමන්  ඇසුවේය. “එහෙමයි මං අපේ දෙයියන්ට වැඩිය පෝය දෙකක් වැඩිමල් කියලා අපේ අප්පොච්චා කියනවා මට ඇහිලා තියෙනවා”
 රාජසිංහ රජතුමා කල්පනාවට වැටුනේය. “බලපන් දැන් උඹ නැගිටපු ආකාරෙ, ඊ ගහක් වාගේ, මම හිට ගන්නකොට උඹට තුන් පාරක් හිටගෙන ඉඳගන්ට තිබ්බා, මොකද ඒකට හේතු  කාරණේ උඩගම්පහේ  
“මගෙත් දනිස් පොල්කටු ගාවින් ඇදුම් දෙනවා ඩිංගක් වෙලා ඉඳගෙන ඉඳලා නැගිටිනකොට, ඒ වුනාට දෙයියන්නාන්සේ ඉස්සරහ එව්ව පෙන්නන්ට පුලුවනෑ” උඩගම්පහේ රාල ඒ පිළිබඳව කතා කිරීම මගහැරියේය. රාජසිංහ රජතුමා සමග කතාකරන විට බොහෝ ප්‍රවේසම් විය යුතුය. ඔහුත් සමග කතා කරමින් සිටින විට වචනයක් වැරදීමෙන් ජීවිතය නැති කරගත්  කිහිප දෙනෙකු ගේ මුහුණු ඔහුට සිහිවිය.
රජතුමා කියූ පරිදිම කැරැල්ල කැරලිකරුවන් විසින්ම මැඩ පැවැත්විනි. මේ අතර රජුගේ සහෝදරිය, කුමන්ත්‍රණ කරුවන් විසින් රජු වෙනුවෙන් ඔටුනු පැළඳවීමට පිළියෙළ කරමින් සිටි රජුගේ පුත් කුමරුද රැගෙන, සෙන්කඩගල රජ වාසලෙන් පැනගොස්, ගල උඩ පරණ  බලකොටුවේ සැඟව සිටි රජු හා එකතුවුවාය.
“තවත් පෝයක් යන්ට අරිමු, එතකොට උන් ටික එක එකා මරාගෙන ඉවර කොරගයි” රජතුමා ආපසු මහනුවරට යාමට ඔහු උනන්දු කරන රාජපාක්ෂික නිලධාරින්ට පිළිතුරු දුන්නේය.
මසකින් පමණ කැරැල්ලේ සැර අහවරව ගොස්, රාජසභාව නැවත අගනුවර ස්ථාපිත කෙරින. කැරලි නායක අඹන්වෙල රාල යදම් දමා ලන්දේසීන් වෙත පිටමන් කෙරුනේ, කන්ද උඩරට මෙතෙක් අසා නොමැති , නොදැක ඇත්තාවූ  දඬුවම් ඔහුට ලන්දේසින් මඟින් ලබාදීමටය.
“උඩගම්පහේ රාල, රජකම රජ පවුලෙන් උදුරාගන්ට හයියක් ඇති එකෙක් මේ රාජධානියේ ඇත්තේ නෑ, ඒ වුනාට රජ්ජුරුවෝ ඉවත් කරලා රජපවුලේ කෙනෙක් රජකමට පත්කරගන්ට පාරම්බාන එව්වෝ ඕනෑතරම් ඉන්ට පුළුවන්” ටික දිනකට පසුව රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල සමග සාමීචියේ පසුවන අවස්ථාවක කීවේය.
“පස්වාන් දහසකට, අපි දෙයියන්ට පන වාගේ විශ්වාස කොරන්ට පුළුවන් නිලමෙලා කණ්ඩායමක් දිසාවානි බාරව පත් කොරගන්ට ඕනෑ” උඩගම්පහේ රාල තරමක් කල්පනා කර පිළිතුරු දුන්නේය.
“උඩගම්පහේ රාල උඹට ඇත්තම කියන්ට, මට මේ කන්ද උඩ පස්රටම එහෙම විස්වාස කරන්ට පුළුවන් එව්වෝ දෙන්නයි ඉන්නේ, ඒ මහා වාසල අපේ අක්කන්ඩියි උඹයි විතරයි. වෙන එකෙක් වත් මට විශ්වාස නෑ”
“දැන් උඹ කියපන් මම අනාගතේට මේ පෙරලි  නවත්ත ගන්ට මොකක්ද කරන්ට පුළුවන් කියලා”  රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල දෙස ඇසිපිහ නොහෙලා බලා සිටියේය.

සාමාන්‍යයෙන් තමන් කතා කරන පුද්ගලයා දෙස එක එල්ලේ නොබලා, ඔහුගේ ඔලුවට තරමක් ඉහල ලක්ෂයක් දෙස බලා කතාකිරීම, රාජසිංහ රජතුමාගේ පුරුද්ද වුවද  උඩගම්පහේ රාල සමග නිදහසේ කතා කරමින් සිටින විට ඒ රාජකීය සිරිත ඔහු අමතක කළේය.
සාකච්ඡාව යන අත ගැන උඩගම්පහේ රාලට කිසිම පැහැදීමක් නැත. එය යන්නේ යැයි ඔහු සිතන රජුගේ තර්කයත් සමග එකඟවිය හැකි අවසානය, ඔහුට අවබෝධ වනවිට ඔහුගේ කොඳු නාරටිය දිගේ පහලට සිතල දහඩිය බිඳක් ගලා යනවාක් මෙන් ඔහුට දැනුනි.
“කැරලි කාරයන්ට මම අයින්කොරලා  රජ කොරන්ට ගැලපෙන කුමාරයෙක් රජ පවුලේ නැත්තං?” ටික වෙලාවක් පිළිතුරක් බලා සිට එය නොලැබෙන විට, රජුම පිළිතුරු දුන්නේය. තමන්ගේ  දරුවාගේම වයසේ පසුවන රජුගේ පුත් කුමරාගේ අහිංසක මුහුණ උඩගම්පහේ රාල ගේ සිහියට ආවේය. රජවරු තමන්ගේ බලය රැකගන්නට නොකරන දෙයක් නැත. එය අතීතයේත් එලෙසම විය, අනාගතයේත් වෙනස් වන්නේ නැත. ඔහුට හොඳ අදහසක් සිතට ආවේය.
“පස්වාන් දහසකට, අපුරු අදහසක් නම් තියෙනවා,, අපි අස්තානේ කුමාරයා හංගමු, රාජධානියේ කිසිම කෙනෙකුට නොදැනෙන විදිහට” ඔහු කිවේය.
රජුගේ මුහුණ ආලෝකමත් විය.
 “ඕන් ඕකමයි මගේ හිතෙත් තිබ්බේ, අපි කුමාරයා හංගන්ට ඕනෑ, ඒ කොරලා පරසිද්ද  කරන්ට ඕනෑ, කුමාරයා මියගොහිල්ල කියලා. ආන් එතකොට මට මිය ඇදෙන තුරාවට කැරැල්ලකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ”
“එහෙමයි, මෙච්චර කාලෙකට එකක් ආවෙත් නෑ, මේකෙන් පස්සේ ආයේ එකක් එන්නෙත් නෑ” උඩගම්පහේ රාල රජු සිතන පැත්තට ඔහුව තවත් ධෛර්යමත් කළේය.
“එහෙනං උඩගම්පහේ  හෙට උදේ ගොම්මනටම කුමාරයත් ඇරගෙන, අලුත්නුවරට පිටත් වුනොත් හොඳයි, කුමාරයාට තමුන්ගේ දරුවට වාගේ අන්දලා එකතු කරගෙන ගිහාම කාටවත් තේරෙන්නේ නැහැ, අනික උඹේ දරුවත් මේ පලෝලෙම හින්ද තවත් හොඳයි, කවුරුහරි නිකමටවත් ඇහුවොත් කියන්ට පුළුවන් ඒ තමුන්ගේ දරුවයි කියලා, මොකද මේක එකෙක් හරි දැනගත්තොත් කටින් කට යනවා, පෝයක් යන්ට ඉස්සර මුළු රටම දැනගන්නවා, උඹ දන්නවනේ මුන්ගේ කටවල් වල හැටි” රාජසිංහ රජතුමා පැහැදිලි උපදෙස් ලබා දුන්නේය.
මහවාසලම නැවතුනු උඩගම්පහේ රාල, රාත්‍රී දෙකට පමණ පල්ලෙහා මාලේ කුමරාගේ කුටියට යනවිට, ඔහු නින්දෙන් අවදිකර ගමනට ලක ලැස්ති කර සිටි අතර, මව් බිසව හෝ වෙනත් කිසිවකු අසල මානයක සිටියේද නැත. එහෙත් දරුවා සමග කාමරයෙන් පිටවන විට, කාන්තාවක් කොරිඩෝවේ කෙළවරක සිට බලා සිටිනවා ඔහු දුටු  බව ඔහුට හැඟුනි. එහෙත් මේ හැඟීම් හෝ සැකයන් පසුපස සොයා යාමට වෙලාව නොවේ. දරුවා දකුණු අතින් අල්ලාගෙන වම් අතින් ඔහුගේ පන් මල්ලද රැගෙන, වේගවත් පියවරෙන් උඩගම්පහේ රාල බූ වාහල්කඩ දෙසට පියමං තැබුවේය. එදින රාත්‍රියේ මැද  මහනුවර උඩගම්පහේ රාලගේ  වැඩිමහල් සහෝදරියගේ නිවසේ ගතකල දෙදෙනා, පසුදින මහියංගන තොට වෙත ලඟා වුහ. ගඟ දුටුවිට මෙතෙක් වෙලා නිශ්ශබ්දව සිටි කුමරු
“උඩගම්පහ මාමණ්ඩි, මේ අපි කොහාටද යන්නේ” යනුවෙන් එක්වරම විමසුවේ සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු කඩවූ  ආකාරයෙනි. පසුගිය දවස් දෙකේම ඔහු කවර පළාතකට රැගෙන යන්නේද, කවර හේතුවක් සඳහා මෙලෙස යන්නේද, යන කිසිවක් කුමරා විසින් නොඇසීම ඇත්තෙන්ම උඩගම්පහේ රාලටද පුදුමයට කාරණයක් විය. කුමරු පසුගිය දිනවල සිදුවූ අසාමාන්‍ය සිදුවීම් වැල නිසා, බලවත් කම්පනයට පත්ව ඇතැයි උඩගම්පහේ රාල සිතුවේය.
“අපි මේ යන්නේ අලුත්නුවර පන්සලට, ගඟෙන් එගොඩට ගිය හැටියේ පන්සල ආයේ වැඩිදුරක් නෑ, පන්සලට ගිය ගමන්ම අපිට දවාලට බත් ඩිංගක් කන්ට පුළුවන්” උඩගම්පහේ රාල කුමරුන්ට බඩගිනි ඇද්දැයි අනුමාන කර, ඔහු සැනසීමට පිළිතුරු දුන්නේය.
“මට එහෙව්වට බඩගින්නක් නෑ” කුමරු පිළිතුරු දුන්නේය. එහෙත් පිළිසඳර එතනින් කෙලවර විය.
අලුත්නුවර පදුමජෝති හිමියන්ට කුමරු බාරදුන් උඩගම්පහේ රාල, රජුගේ උපදෙස් පැහැදිලි කළේය. උපදෙස් සාවධානව අසා සිටි හාමුදුරුවෝ
“හොඳයි උඩගම්පහේ රාල මට වැටහුනා, කුමාරයාට ලොකු අසාධාරණයක් වුනාට, මේ වාගේ අසීරු කාලයක එහෙම රාජධානියේ ආරක්ෂාව බලාගෙන වැඩ කොරන එක හොඳයි, රට වටේටම රාජධානිය විනාශ කොරන්ට ඒරොප්පෙ උන් බලාගෙන ඉන්නවා මදිවට, දැන් පස් රට ඇතුලෙත් හතුරෝ” කීවේය.
“කුමාරයාට මොන දීපන්කරේ පන්සලක ඉඳුම් හිටුම් සලස්සනවද කියලා, මට වත් නොකියා ඉන්න එක හොඳයි. තමුන්නැහේ සුදුසු විදිහක් කලොත් ඒ ඇති. එහෙනම් අපි ගොහිල්ලා එන්නම්” යැයි පැවසු උඩගම්පහේ රාල අසල කුඩා පුටුවක වාඩිවී සිටි කුමරු දෙසට ගොස්, ඔහුගේ ඔලුව අතගා හාමුදුරුවන්ට වැඳ කාමරයෙන් පිටවිය.
මාස හයකට පමණ පසු රජුගේ උපදෙස් මත කුමාරයාගේ තනි නොතනියට උඩගම්පහ රාලගේ පුතනුවන් ද බොහෝ රහසිගතව මහියංගනයට පිටත් කෙරින.
                                                            

                                                      2.
අඹන්වෙල රාල කොළඹට ගියපසු සිදුවූ දෙයින්, කුමාරයා රහසිගතව තබාගැනීම තවදුරටත් වැදගත් විය. ලන්දේසි අඹන්වෙල වැනි ප්‍රසිද්ධ කැරලි කාර නායකයකු තමන් අත තබාගැනීමේ ප්‍රයෝජන දැක, ඔහුට දරුණු වධ  දී මරා දමනු වෙනුවට, ඔහුට ඉඩකඩම් යනාදිය ලබාදී ඔවුනට හිතවත් ධනපතියෙකු ලෙස කොළඹ ජීවත්වීමට කටයුතු යෙදුවූහ. මොහු කොළඹ සිටිනතාක් කල්  රාජසිංහ රජතුමා නිරන්තර සැකයෙන් තබාගත හැකි බවද, මේ මඟින් යම් තරමකට රාජසිංහ රජතුමා පාලනය කල හැකි බවද, ඔවුනට පෙනීම මෙයට හේතුවයි.
ලොකු බලයක් සහිතව යම් පාලනයක සිටින පුද්ගලයෙකුට, තමන්ට එම ක්‍රියාකාරකම් වල යෙදෙද්දී යම් වැරදීමක් සිදුවී ඇති බව තමන් යටතේ සිටින්නන්ට හැඟීම  , පාලකයෙකුට දරාගන්නට බැරි අපහාසයකි. මීට පෙර ලන්දේසින් සමග ගනුදෙනු කිරීමේදී ඔහුට සිදුවූ මෙවැනිම මදිපුංචි කමක්, ඔහුගේ ජනයා අතරේ සාමාන්‍ය වහරේ ප්‍රස්ථා පිරුලක් බවට පත්විය. ඒ “ඉඟුරු දී මිරිස් ගත්තා වැනිය” යන කියමනයි.
අඹන්වෙල රාලගේ සිද්දියද එයට නොදෙවෙනි එකක් බව, රාජසිංහ රජතුමාට  පෙනුනේය. මේ නිසාවෙන් ඔහු කෝපයෙන් වියරු වැටුනේය.
සමහරවිට මේ නිසාවෙන්ම රාජසිංහ රජතුමා දියතිලක නුවර මාලිගාවේ සිටියදී,  රාජසිංහ රජතුමා රෝගාතුර වී ඇඳට වැටුනේය. දැනටමත් වයස 70 කට කිට්ටුව සිටි මොහු, තව වැඩි කාලයක් ජීවත්වන්නේ නැති බව කාටත් පැහැදිලි වුනි. ඔටුන්න හිමි කුමාරයකු නොමැතිවීම නිසා රාජසභාව කොටස් කිහිපයකට කැඩී, නොයෙකුත් රාජ්‍යත්වයට හිමිකම් ඇත්තන් ඉදිරියට ගෙන ඒමට තැත් කිරීම නිසා, මහත් බල අරගලයක් රහසින් ක්‍රියාත්මක විය. මෙලෙස ක්‍රියාත්මකවූ කල්ලි තුනටම සම්බන්ධ නොවී සිටි, එකම රාජ සභාවේ සාමාජිකයා වුයේ උඩගම්පහේ රාල පමණි.
උඩගම්පහ රාල රජු වැඩ හිටින මාලිගා සංකීර්ණයට ඇතුලුවන විට, මුරට සිටි හේවායන් දෙදෙනා ගෞරවයෙන් ඔහුට ඇතුලට යාමට ඉඩ දුන්හ. කොරිඩෝවක් සහ කාමර පේලියක් පසුකරගෙන යද්දී, ඔහු තවත් හේවා යුගල දෙකක් පහු කළේය. රජුගේ සයනාගාරයට ඇතුළුවන තැන සිටි මල්පිටියේ රාල, උඩගම්පහේ රාලට ආචාර කර ඇතුලට යාමට ඉඩ හැරියේය.
 “හකිම් වෙද රාලහාමි දැන් තමයි බැහැර වුනේ” ඔහු ද්වාරය අසලදී  උඩගම්පහේ රාලට කීවේය. පත්තුකර තිබු කුරුඳු තෙල් ඉටිපන්දම් සුවඳින් කාමරය පිරි තිබුනේය. රජු සයනයේ කකුල් දෙපසට දමා වහලය දෙස බලාගෙන නිසොල්මන්ව සිටියේය. උඩගම්පහේ රාල ටික වෙලාවක් රජු දෙස බලා සිටියද, ඔහු පැමිණි වග දුටු බවක් රජු පෙන්නුවේ නැත. ඔහු රජුගේ මුහුණ කිට්ටුවටම තම මුහුණ කිට්ටුකර පරීක්ෂාවෙන් බැලුවේය. රජු එක්වරම එක් අතක් ඇඳට තබා ඉහලට එසවී, එක අතකින් උඩගම්පහේ රාලගේ බෙල්ල අල්ලා ගත්තේය.
“උඩගම්පහ රාල මොකද කිට්ටුවෙල බලන්නේ, අන්තිම හුස්ම ටිකත්  ගිහිල්ලා කියලද?”   රාජසිංහ රජතුමා සිනහවන්නට පටන් ගත්තේය. “උඹත් බලාගෙන ඉන්නේ රජ්ජුරුවෝ මැරෙන කන්ද?” ඔහු වියලි කැස්සක් පටන් ගත්තේය, හුස්ම ගන්නට අපහසු වනතෙක් කැස්ස නවතාගත නොහැකිව, උඩගම්පහේ රාලගේ  අතක් අල්ලා ගත්තේය.
“උඹට කියන්ට උඩගම්පහේ රාල, මට ඉතුරු වෙල තියෙන්නේ තුන් හතර දොහක්, අපිට ආයේ වැඩි කාලයක් නෑ කුමාරයාට ඔටුනු පළඳවන්ට” ඔහු කීවේය. “කාටවත් නොදැනෙන්ට සඟරාජට දන්වල කුමාරයා හෙට අනිද්දම මෙහාට ගෙනෙන්ට ඕනෑ”
උඩගම්පහ රාල යමක් කියන්ට උත්සාහ කළේය. රජු අත උස්සා එය නවතා නැවත නින්දට වැටුනේය.

                                                 3
එක දිසාවක් හැරෙන්නට සියලුම දිසාව වරුන්ද, මහාධිකාරමද, තවත් වාසල නිලමේ වරුන්ද, ඇතුළුව නිලමේ වරුන් දහසය දෙනෙකු රජුගේ සයනය වටා ගෞරවයෙන් රැස්වී සිටියහ. වයෝවෘධ මහ තලේ  දිසාව හැරෙන්නට අනෙකුත් සියලු ප්‍රධානින් සිටියේ සිටගෙනය.
මේ සියලු දෙනාට අමතරව එදින රජුගේ සයනාගාරයේ සයනයට දකුණු පැත්තෙන් කාමරයේ කෙලවරට වන්නට වයස 15 වක පමණ ප්‍රසන්න පෙනුමක් ඇති තරුණයෙකු කාමරයේ සිටි සියලු දෙන දෙස  ඉතා උවමනාවෙන් බලා සිටියේය.
කුමක් වන්නට යන්නේදැයි අවිනිශ්චිත බාවයෙන් සභාවේ සිටි සියලු දෙන, රජතුමා ගේ ඉරියව දෙස බලාසිටියේය. ඔහුගේ නළලට තෙත සුදු පැහැති රෙදි කඩක් සෙමින් තැබූ හකීම් වෙද තැන, තම සහායකයන් දෙදෙනාගේද සහය ඇතිව රජතුමාගේ ඉහල කොටස තරමක් ඔසවා, ඔහු ගේ ඔලුව එසවෙන පරිදි කොට්ට දෙකක් කොන්දට තැබුවේය. සියලුදෙනා පෙනෙන තරමට තම හිස එසවුණු පසු, රජු එසවීම ප්‍රමාණවත් බව පෙන්වීමට සංඥාවක් කළේය.
“හොඳයි” රජු අමාරුවෙන් වචනය පිටකළ සැනෙන්ම වෙද රාල සහ ඔහුගේ ගෝලයන් කාමරයෙන් පිටවිය.
 රාජසිංහ රජතුමා තවත් ටිකක් කොට්ටය මත හරිබරි ගැසුනේය. “මගේ මේ අන්තිම කාලේ කියලා කියන්ට වැඩක් නෑ, අද තමුන් හැමෝටම  එන්ට කිව්වේ මයෙන් පස්සේ රජකමට අපේ පුත් කුමාරයා පත්කරගන්ට, ඕන් ඔතන ඉන්නේ කුමාරයා”, ඔහු ඇසෙන් තම දකුණු පැත්තේ හිටගෙන සිටි තරුණයා පෙන්වීය. “හෙට හොඳ නැකතක් තියෙනවා, හෙට කුමාරයට ඔටුනු පළන්දන්ට ඕනෑ, එහෙනම් මාතලේ, සියලු කටයුතු සංවිධානය කරන්න ඕනෑ” ඔහු මහත්  අපහසුවෙන් එහෙත් කටහඬ ලැබුණු වෙලේ කියා අවසන් කළේය.
ගම්පහේ රාල කලබල වී යමක් කියන්නට උත්සාහ කළේය. රාජසිංහ රජතුමා අත උස්සා එය නැවැත්විය. මුළු සභාවම කණ්ඩායම් කිහිපයකට වෙන්වී රහසින් කතා කරන්නට පටන්ගත්හ. රාජසිංහ රජු හොඳ සෞක්‍යයෙන් සිටියදී ඔහු ඉදිරියේ වචනයක් කතාකිරීමට බිය වූ  නිලමේ වරු, අද ඔහුගේ ලෙඩ ඇඳ  අසල ඒ බිය ඒ අයුරෙන්ම පෙන්වුයේ නැත.
“පස්වාන් දහසකට බුදුවන්ට, මුළු රටම මෙච්චර කාලෙකට හිතාගෙන හිටියේ කුමාරයා මිය ගිහිල්ලා කියලා, අපිට, යම් ලකුණක් නැතිව මේක පිළිගන්ට දුෂ්කරයි, මෙතන ඉන්න අපි ඔක්කොම ඒ මතයේ තමයි ඉන්නේ” පහලපිටියේ රාල රාජ සභාව වෙනුවෙන් තම අදහස් ප්‍රකාශ කළේය. පහලපිටියේ මෙලෙස  මෙම එඩිතර කමෙන් මුළු සභාවටම නව පණක් ලැබු අතර, රජුගේ සිතැඟි ඉටු කරගන්නට එතරම් පහසු නැති බව පෙනුනි. ඊළඟ රජු ලෙස තමන් කැමති කෙනෙකු පත්කර ගැනීමට සැලසුම් අඳිමින් සිටි කණ්ඩායම් තුනම, මේ අවස්ථාවේ ඔවුන්ගේ විරසක අමතක කර එකතු වුහ.
 රාජසිංහ රජතුමා අසල කනප්පුව මත තිබු කුඩා සීනුව නාද කළේය. වෙදරාළ සහ ඔහුගේ සහායකයන් කඩිනමින් ඇතුලට පැමිණියහ. වෙදරාළ ඔහුගේ කන රජතුමාගේ මුවට කිට්ටු කළේය. ඔහු යමක් කී පසු සහාකයන්ද සමග රජතුමා ඔසවාගෙන, කුමාරයා අසලට ගෙන ගියහ. රජතුමා සංඥා කල පසු ඔවුහු රජතුමා  කුමාරයා අසල බිම තැබුහ. රජතුමා ටික වෙලාවක් කුමරු දෙස බලාසිටියේය. ඔහු සිතට ධෛර්‍යයක් ගත්තේය.  කුමාරයා අසල එකත්පස් වී ඔහුට වැන්දේය.
සයනය අසල සිටි නිලමේ වරුන්ගෙන් ඇසට කඳුලක් නොනැගි කෙනෙකු නොසිටිය තරම්ය. ඔවුහු සියලු දෙනාද දණගසා රජතුමාට ආචාර කළහ.
පසුදින හිමිදිරියේ පැවති චාම් උත්සවයකින් කුමාරයා රාජත්වයට පත්කරන ලද්දේය.  ඔහු තම සීයා ගේ  සහෝදරයා විසින්  ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත්කරගත් , මහනුවරදී , දිවි ඇතිතෙක් පරසතුරන් ගෙන් එම රාජ්‍යය බේරාගන්නට සටන් කල විමලධර්මසුරිය නාමය, තමන්ගේ රාජකීය නාමය ලෙස තෝරා ගන්නා ලද්දේය.
 රාජසිංහ රජතුමාගේ අවමඟුල සෙන්කඩගල නුවරදී මහත් හරසරින් සිදු කෙරිණ. කුමන හෝ හේතුවකට; බොහෝවිට රාජ්‍ය තාන්ත්‍රික උවමනාවන් නිසා, කොළඹ ලන්දේසි අගනුවරද රජුට ගෞරව කර රාජ්‍ය උත්සවයක් පැවැත්වින.
අවමඟුල් උත්සවයට සෙන්කඩගල නුවරට පැමිණි පදුමජෝති හාමුදුරුවෝ  ආපසු යන ගමනේදී දුම්බර පිහිටි, උඩගම්පහේ රාලගේ නිවසට පැමිණියේය.
“මහරජතුමා මාස තුනකට සැරයක් මාව, උන්නැහේ බැහැදකින්ට ගෙන්නුවා, කුමාරයා ගැන අහන්ට. මම කුමාරයා ගැන විස්තර කියන කොට ඈත බලාගෙන අහගෙන හිටියා. බොහොම කණගාටුවකින් වාගේ, කුමාරයා හීනෙන් බයවෙන එව්වා, බලාගත් අතේ බලාගෙන ඉන්න එව්වා, එක පාරටම වෙව්ලලා වැටෙන එක, කටින් සෙම දාන එක ඔය ඔක්කොම මං කිව්වා, මට අන්තිම පාර මුණ ගැහුනම තමයි කිව්වේ”,

“එහෙනම් සාමි ඔය වැඩේ හරියන්නේ නෑ, කන්ද උඩ පස්රටට හතුරෝ  බොහොම වැඩියි, රටට ඕනෑ දක්ෂ පාලකයෙක්, කුමාරයත් එක්ක ගිය උඩගම්පහේ රාල ගේ දරුවා කොහොමද?”  උන්නාන්සේ මගෙන් ඇහුව.
ඇස්වහක් කටවහක් නෑ, බොහොම දක්ස දරුව, කල්පනා ශක්තියත් හොඳයි, කය වෙහෙසල වැඩක් පලක් කොරන්ටත් පුළුවන්” මං උත්තර දුන්නා
ඊට පස්සේ තමයි උන්නාන්සේගේ අදහස කිව්වේ, මට මුලින්ම තෙරුන් ගියෙත් නෑ, නමුත් මට තේරුණා ඔටුන්නට කා කොටා වැටෙන එක වලක්වන්ටයි, රාජ වංශයේ චිරස්තියටයි ඒක තමයි කොරන්ට තියෙන එකම වැඩේ කියලා”
“ඕන් ඔහොම තමයි උඹේ කොල්ල රජවුණේ, දැන් මේක දන්නේ උඹයි මමයි විතරමයි, දරුවා යහපත් පාලකයෙක් වෙන එක නම් මට විශ්වාසයි ”  පදුමජෝති හිමි කීවේය.

My house is my castle

 මේ මගේ කාර්සල් එකට( my house is  my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි.  සතියකට පමණ පෙර එතන...