Saturday, July 13, 2019

එච් ආර් ජෝතිපාල





මම කුඩා කාලයේ අපේ ගමේ නිවසක් කුලියට ගෙන පවුලක් පදිංචි විය. උස කඩවසම් පුද්ගලයෙකු වූ එම පවුලේ  පියා ටික කලකින් මගේ පියා හා මිතුරු විය. ඔහු තම දරුවන් දෙදෙනාත් සමග සතියකට වරක් දෙවරක් අප නිවසට පැමිණීමට පුරුදුවිය. අප නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටා තිබුණු ඔවුන්ගේ නිවසේ සිට ඔවුන් බොහෝවිට පැමිණියේ සරමක් සහ කමිසයක් ඇඳගෙනය.

ඔහු කලකට පෙර ප්‍රසිද්ධ නළුවෙකු වී සිටි බව ඔහු අපට කී නිසා, අප ඔහුගේ කතා අසන්නට බලවත් කැමැත්තක් දැක්වුයෙමු. ඔහු කිහිප වතාවක්ම පොටෝ ඇල්බම් එකක්ද රැගෙන පැමිණියේය. එහි ඓතිහාසික චිත්‍රපට ඇතුළු චිත්‍රපට  කිහිපයක ඔහු රඟපාන කොටස් වල ඡායාරුප බොහොමයක් විය.

ඔවුන් තරමක් අමාරුවෙන් ජීවත්වූ බවත්, ගෙදරට පැමිණි විට අම්මා කොස්  පොල් හෝ එළවලු වැනි අපේ අවශ්‍යතාවයනට වැඩියෙන් තිබුණු ආහාර වර්ග ඔවුනට දීමටද යුහුසුළු විය. අපට මෙන්ම ඇයටද මූවි ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙකු දැනගන්නට ලැබීම මෙන්ම ඔහුගේ කතා අසා සිටීමද, කැමති වුවා විය හැක. මගේ පියා සහ මව ඔහුගේ නම දැනසිටියා වෙන්නට පුළුවන. නමුත් කුඩා අපට එවැන්නක් දැනගන්නට නොලැබුණි.
ගුරුවරියක වූ මගේ මව සමහරවිට මෙම නළුවා පිළිබඳව ඔහු කියූ නොයෙකුත් විස්තර, ඇයගේ ස්ටාෆ් එකේ මිතුරියන්ට කියන්නට ඇත. වරෙක ගැලවූ කොස් මඩුලු වගයක් ඔහුට දුන්විට,

“අද තුන හමාරේ බස් එකේ මඩවල ගිහිල්ලා මස් ටිකක් අරන් එන්න ඕනෑ” යනුවෙන් ඔහු කියූ කතාවක් මට අද ඊයේ වගේ මතක තිබේ. මේ කතාවෙන් පසු අප නිවසේද කොස් උයන දවසට මස් ඉවීම පුරුද්දක් තරමටම පත්විය. මේ දෙක ඉතාමත් හොඳින් ගැලපෙන භෝජනයන් දෙකකි.

ඇත්තෙන්ම මම කතාව පටන් ගත්තේ ජෝතිපාල ගැන යමක් කීමටය. ඒ කතාවත් මට මතක් වුයේ you ටියුබ් එකේ ඔහුගේ නින්ද නොයන රාත්‍රියේ සින්දුව ඇසීමෙන් පසුවය. ඒ සින්දුව ඇසීමෙන් පසුව එක්වරම මෙම විශ්‍රාමලත් නළුවා පිළිබඳව මතකය සිහියට පැමිණියේය.
දවසක් මොහු තම දරුවන් දෙදෙනා සමග අපේ ගෙදරට පැමිණෙන විට, මගේ පියා රැකියාව අවසන් වී නිවසට පැමිණ තිබුනේ නැත. ඔවුන් පැමිණි පසු මගේ මව තේ හදා දුන් අතර, මම ඔවුන් සමග ගෙදර සාලයේ ඉඳගෙන සිටියෙමි. ඒ වෙලාවේ අපේ කහපාට ගෘන්ඩිග් රේඩියෝ එකේ ජෝතිපාලගේ සිංදුවක් ප්‍රචාරය වුනු අතර, මමද ජෝතිපාල ෆෑන් කෙනෙකු වූ නිසා එම සින්දුව එක්ව ගයන්නට වුයෙමි.

සින්දුව අවසන් වූ පසු ඔහු මගෙන් මෙසේ ඇසීය.

“පුතා කැමතිම ගායකයා කවුද?”

මම ගත් කටටම “ජෝතිපාල” යැයි කීවෙමි. කුඩාකල සිට මේ දක්වා මගේ ප්‍රියතම ගායකයා වුයේ ඔහුය.

“අයියෝ පුතා, පුතා ජෝතිපාලට කැමති වුනත් කවුරුවත් ඇහුවොත් කියන්න එපා කැමතිම ගායකයා ජෝතිපාල කියලා, කියන්න අමරදේව කියලා, නැත්නම් මිනිස්සු හිතයි පුතා කිසිම රසයක් නැති කෙනෙක් කියලා ” ඔහු කීවේය.

ජෝතිපාලට අප රටේ ලැබුණු තැන එය වෙයි. තවමත් රටේ වැඩියෙන්ම අහන්නේ ඔහුගේ සිංදුය. අමරදේවගේ සිංදුවක් රේඩියෝ එකක අසන්නට ලැබෙන්නේවත් නැත. එහෙත් ගෞරව ලැබෙන්නේ ඔහුටය.

අපේත් බටහිර සමාජයේත් වෙනසත් ඒ විදිහෙන්ම බැලිය හැක. ඔවුහු සත්‍ය පිළිගනිති. යතාර්තයට ගෞරව කරති. අපි මවාගත් ලොවක ජීවත් වෙමු.

මෙහි කතා නායකයා වූ චිත්‍රපට කලාවේදියා ටික කලකින් එක්වරම නිවස අතහැර ගොස් තිබිණ. ඔවුන් පිළිබඳව කිසියම්ම ආරංචියක් අපට ලැබුනේ නැත.

එහෙත් අපි තවමත් කොස් උයන දවස් වලට බීෆ් කාරියක් ද හදාගන්නෙමු. ජෝතිපාලට හදවතින්ම  ආදරය කරන්නේමු.

3 comments:

  1. අනේ මන්දා, මේ ලංකාවේ අපි කොයිතරම් හීන ලෝකවල ජීවත් වෙනවද කියලා හිතෙනවා මේ වගේ කතා දැක්කාම.
    ඉරාජ් ගේ කෙස් එකත් ආපහු ජෝතිපාල ගැන කතා කරන්න ගත්තු එක වටිනවා.
    වැදගත්කම තියෙන්නේ, මෙච්චර කල් ජෝතිපාල වන්දනා කරපු මේ රට ඒ කාලේ ජෝතිපාලට සැලකුවේ කොහොමද කියන එක ලස්සනට එලියට ආපු එකයි.

    හීන මාලිගා වලින් බිමට බහින්න අපිට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු මචන්.

    ReplyDelete
  2. http://thattayagekolama.blogspot.com/2019/07/145.html

    ReplyDelete
  3. කවුද කතා නායකයා ?

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...