Sunday, April 19, 2020

හෙන්රි පාකර් 1900 දුටු ලංකාවේ අහිකුන්ටකයෝ







අවුරුදු දෙකකට පමණ වරක් තෙලිඟු, කැඩිච්ච සිංහල සහ දෙමල කතා කරන අහිගුන්ටක කණ්ඩායමක් මාර්ගයේ පැමිණ, පාර අයිනේ වැවක් අසල එලිමහනක කඳවුරු බඳිති. ඔවුන්ගේ කුඩා කූඩාරම් සැදීම සඳහා යොදාගන්නා වේවැල් සහ තල් අතු බූරුවන් පිට රැගෙන එන අතර, අනෙකුත් ඉවුම් පිහුම් උපකරණ කාන්තාවන් සහ ළමයින්ගේ ඔලුව උඩ ගෙනෙති. මෙවැනි සමහර කණ්ඩායම් එළුවන් රංචුවක්ද රැගෙන පැමිණෙති.
ඔවුහු අඩි 4/5 පමණ උස කුඩාරම් ටික තෝරාගත් පිටියේ තනා  ඉවරවූ පසු, කුඩා  දරුවන් ළමයින්ගේ සහ වයසක කාන්තාවන්ගේ බාරයේ තබා, මුදල් සහ ආහාර එකතු කරන්නට අවට ගම් වලට යති. පිරිමි කළු පාට වේවැල් පෙට්ටියක් රෙද්දකින් කරේ එල්ල ගෙන යති. එහි නයෙකු හෝ දෙදෙනෙකු දමාගෙන යන්නේ නැටවීම සඳහාය. නටන බව කීවද එම නයි රවුම් ගැසී අඟල් 15 ක් පමණ තම පෙනය ඔසවාගෙන, නලාවක් පිඹිමින් ඉඳගෙන සිටින අයිතිකරු ගේ රිද්මයකට සොලවන දනිහට හෝ අතට, තම පෙනයෙන් පහරදීමට උත්සාහ කරති. කාන්තාවන් මේ අතර අල්ලේ රේඛා කියවමින් මිනිසුන්ගේ වාසනාව කියති.
මේ අතර තරුණ ලඳුන් හතරවෙනි හෝ පස්වෙනි වතාවට තමන්ට කඩවසම් හරකාබාන යහමින් ඇති කඩවසම් තරුණ සැමියෙකු ලැබෙන බව අසාගන්නට, මෙම සාස්තර කාරියන්ට ගෙවිය යුතු පැන්ස බාගයක් ගේ පුරා සොයති. වැඩිහිටියන් නයි නැටුම බලා සහල් ටිකක් දෙති. අසල ගම් වලින් යමක් එකතුකර ගැනීමේ හැකියාව අවසන් වූ පසු අහිකුන්ටකයන් පිරිස, වෙනත් තැනකට පිටත්වෙති. ආහාර සඳහා සතුන් අල්ලා ගැනීමට ඔවුනට උදව්වන බල්ලන් කිහිප දෙනෙකු ඔවුන් සමග සිටිති. කකුල් ඇති හෝ නැති කන්නට පුළුවන් ඕනෑම සතෙකු ඔවුන් ආහාරයට නොගෙන ඉන්නේ නැත. ලොකු කූඹින්, මීයන්, බකමුනන්, මුගටියන් සහ ගමකින් එලියට පැමිණි හොරෙන් අල්ලා ගන්නා කුකුලන්ද මේ අතර වෙයි.
මෙම අහිකුන්ටකයන් කෙනෙකුගේ සිත්ගන්නා පිරිසකි[1]. මම ඔවුන් සම්බන්ධව කුඩා විස්තරයක් කියන්නට සතුටුය. ඔවුන් මෙම දුපතේ ස්ථිර පදිංචි කරුවන් වන අතර, වැඩියෙන් දක්නට ලැබෙනුයේ නැගෙනහිර සහ උතුරු දිස්ත්‍රික්කවලය. සිංහල දිස්ත්‍රික්කවල ඔවුන් අමුතුම භාෂා ව්‍යවාහරයක් ගොඩනඟා ගෙන තිබේ. උදාහරණයකට තෙලිඟු භාෂාවෙන් කුකුලන්ට කියන්නේ කොල්ලු යන්නයි, සිංහලෙන් එය කුකුලා වන අතර ඔවුන් කියන්නේ ගුග්ලු යන වචනයයි.
යම් මුදලක් දීම නිසා මා සමග මිත්‍ර වූ අහිගුන්ටකයෙකු; පසුව පන පිටින් අල්ලා ගත් නයෙකු දීමෙන්, එම මිත්‍රත්වය තවත් වැඩි විය, ඔවුන් මෙතරම් දුෂ්කර ජීවිත ගත කලද, හොඳ සෞඛ්‍යයෙන් ජීවත් වන බව දැනගන්නට ලැබුණි. ඔවුන් මෙයට හේතුව ලෙස කියන්නේ නිතරම පානීය ජලය වරින් වර මාරු වීමත්, දවස් 7 කට වඩා එක් තැනක ජීවත් නොවීමත්ය. නැගෙනහිර ප්‍රදේශයේ සමහර කණ්ඩායම් හරක් 500 ක පමණ රැලක අයිතිකරුවන් වන අතර, එවැනි අය එක් තැනක් මාසයක් පමණ ජීවත්වෙති.
ඔවුන් තම සර්පයන් මසකට වඩා තමන් ළඟ, තබා ගන්නේ නැත. ඒ ඔවුන් කලක් යනවිට නටන්නට කම්මැලි වන නිසා බව කියති. තවත් වැදගත් හේතුවක් නම් එවැනි කාලයක් යනවිට සතුන්ගේ විස දත් නැවත වර්ධනය වීමය. සර්පයන්ට කෑමට දෙන්නේ කුකුල් බිත්තර වන අතර, ඉඳ හිට මීයෙකුත් ආහාරයට ඇතුළු වෙයි.
විස දත් නොගැලවූ නාගයන් මෙලෙස නැටවීම නොකළ හැක්කක් යැයි ඔවුන් කියති. මේ පිළිබඳව සර් බාට්ල් ෆ්රෙර් ගේ old Deccan days නම් පොතෙහි, 329 පිටුවෙහි විස දත් නොගලවා නයින් නැටවූ ළමයා ගැන කතාව කියවිය හැක. අවසානයේ ඔහු නටවන නයෙකු දෂ්ට කිරීමෙන්ම ළමයා මිය ගියේය.


[1] වර්තමානයෙද මෙම අහිකුන්ටකයින් 25000 ක පමණ ජනතාවක් ලංකාවේ ජීවත්වෙති. එම ජනතාවට නායකයෙකුද සිටියි. ඔහුගේ නම කන්දසාමිගේ රමසාමිගේ අනවත්තු මසන්නා වෙයි. දැන් ඔවුන් අතර බෞද්ධයන් සහ ක්‍රිස්තියානි ආගම් අදහන්නන් සිටිති.ඔවුන් සියල්ලන්ම එකතුවන අවස්ථාවට වරිගසභා යයි කියනු ලබන අතර එය අවසන්වරට පවත්වා ඇත්තේ 2011 වසරේ රාජාන්ගනයේදීය.

Sunday, April 12, 2020

අවුරුදු 150 කට පෙර අවුරුදු කෑම




මෙම නිරීක්ෂණයන් අවුරුදු 130 කට පමණ පෙර හෙන්රි පාකර් නම් ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩකළ ඉංජිනේරුවෙකු විසින් ලියන ලද්දකි.

සාමාන්‍ය ගැමි ජීවිතය කිසිම විනෝදයක් නැති එකකි. ඔවුනට යම් හෝ සතුටක් ලැබෙන්නේ අසනීප සඳහා කෙරෙන බලි තොවිල්, ඉඳහිට ඇතිවන නඩු හබ සහ විවාහ මංගල්‍යය වලිනි. විවාහ උත්සව හොඳ ආහාර වේලක් ගන්නට, ඇඳුම් සහ ආභරණ ප්‍රදර්ශනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ වුවද, කුල ප්‍රශ්න සහ පවුල් අතර ඊර්ෂ්‍යාව නිසා ඉඳහිට ආරවුල් ඇති නොවන්නේද නොවේ.

ප්‍රසිද්ධ විහාරස්ථාන වලට වන්දනාවේ යාමද කණ්ඩායම් වශයෙන් සිදු කරති. එංගලන්තයේ මෙන්ම එවැනි කණ්ඩායමක සංයුතිය සාමාන්‍යයෙන් දහයෙන් නමයක් පමණ කාන්තාවන් වෙයි.

ගැමි ජීවිතයේ එක් ප්‍රසන්නම අවස්ථාවක් වනුයේ පවුල එකට එකතු වීමය. මෙය සිදුවනුයේ අප්‍රේල් මස 11 හෝ 12 වන දිනය. මේ සඳහා සියලු දෙන තමන්ගේ මහගෙදරට එකතු වෙති. ඒ සමගම ත්‍යාග හුවමාරු කර ගනිති. ඔවුන්ගේ මිතුරන් සහ නෑදෑයන් ගේ නිවෙස් වලට අලුත් ඇඳුමෙන් සැරසී යති. පිරිමි මෙලෙසටම තම ගම් ප්‍රධානින් හමුවන්නටද, ඔවුන් තමන්ගේ ඉහල නිලධාරින් හමුවන්නටද යති. සැතපුම් 90 ක් දුර දුවිලි සහිත මාර්ගයේ මෙවැනි හමුවක් සඳහා පවුල් පිටින් පයින් ගමන් කරන, පවුල් මම දැක ඇත්තෙමි.

උත්සවයට සති 3 කට පමණ පෙර සිට, මුළු ගමම මේ සඳහා ලක ලෑස්ති වෙති. නිවෙස් අලුත්වැඩියා කෙරෙති, කෙසෙල් කන් සහ සීනි; සමහරවිට බොහෝ දුර සිට, එකතු කරති. දෛනික වැඩ කටයුතු සියල්ල යටපත් වී, සියලු දෙන සිතන්නේ මෙම පැමිණෙන උත්සවය පිලිබඳවය. මේ කාලය නැකත් බලන්නන්ටද වැඩ අධික කාලයකි. ඔවුහු ලිප ගිනි මෙලවිමට, ආහාර පිසීමට සහ දවස් තුන හතරකට පසුව හිස තෙල් ගෑමට දිනයන් සහ වේලාවන් ගණනය කල යුතුය. මෙම උත්සවයට පිළියෙළ වෙද්දී වෙනත් කිසිම වැඩක් හෝ ගමනක් ආරම්භ කරන්නේ නැත.

බොහෝ ගම් වල කාන්තාවන් අඳුරු සැගවුම් ස්ථානයකින්, මේ කාලයට කුඩා අවපාත 14 ක් ඇති ලෑල්ලක් එලියට ගනිති. මෙම අවපාත සාදා තිබෙන්නේ 7 බැගින් පේලි දෙකකටය. පෞරාණික ක්‍රීඩාවක් වන ඔලිඳ නමැති ක්‍රීඩාව කරන්නේ මෙම ලෑල්ල මතය. ලෑල්ල දෙපස ඉඳ ගන්නා කාන්තාවන් දෙදෙනෙක්; මෙම ක්‍රීඩාව කරන්නේ කාන්තාවන් පමණි, රතු ඔලිඳ ඇට මෙම අවපාත මත දමති. ඔවුන් මෙම ක්‍රීඩාවේ අති දක්ෂ වන අතර, සමහර විට පැය 4 ක් පමණ එක දිගටම ක්‍රීඩා කරති. අවුරුදු උත්සවය අවසන් වූ පසු එම ලෑල්ල සඟවන ස්ථානයට ආපසු යන අතර, නැවත එලියට එන්නේ ඊළඟ අවුරුද්දටය. පහත රට බලපෑම ඇතිවී ඇති ගම්වල දැන් සුදු කෙලිම පැතිරී ඇති අතර, පිරිමි මෙයින් මහත් ආශ්වාදයක් ලබති.

අවුරුදු දෙකකට පමණ වරක් තෙලිඟු, කැඩිච්ච සිංහල සහ දෙමල කතා කරන අහිගුන්ටක කණ්ඩායමක් මාර්ගයේ පැමිණ, පාර අයිනේ වැවක් අසල එලිමහනක කඳවුරු බඳිති. ඔවුන්ගේ කුඩා කූඩාරම් සැදීම සඳහා යොදාගන්නා වේවැල් සහ තල් අතු බූරුවන් පිට රැගෙන එන අතර, අනෙකුත් ඉවුම් පිහුම් උපකරණ කාන්තාවන් සහ ළමයින්ගේ ඔලුව උඩ ගෙනෙති. මෙවැනි සමහර කණ්ඩායම් එළුවන් රංචුවක්ද රැගෙන පැමිණෙති.


ඔවුහු අඩි 4/5 පමණ උස කුඩාරම් ටික තෝරාගත් පිටියේ තනා  ඉවරවූ පසු, කුඩා  දරුවන් ළමයින්ගේ සහ වයසක කාන්තාවන්ගේ බාරයේ තබා, මුදල් සහ ආහාර එකතු කරන්නට අවට ගම් වලට යති. පිරිමි කළු පාට වේවැල් පෙට්ටියක් රෙද්දකින් කරේ එල්ල ගෙන යති. එහි නයෙකු හෝ දෙදෙනෙකු දමාගෙන යන්නේ නැටවීම සඳහාය. නටන බව කීවද එම නයි රවුම් ගැසී අඟල් 15 ක් පමණ තම පෙනය ඔසවාගෙන, නලාවක් පිඹිමින් ඉඳගෙන සිටින අයිතිකරු ගේ රිද්මයකට සොලවන දනිහට හෝ අතට, තම පෙනයෙන් පහරදීමට උත්සාහ කරති. කාන්තාවන් මේ අතර අල්ලේ රේඛා කියවමින් මිනිසුන්ගේ වාසනාව කියති.


Friday, April 10, 2020

අනර්ත්යා සෙන් සහ ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ ප්‍රශ්නය




ඉන්දියාවේ ආර්ථික විද්‍යාඥයෙකු වන අමර්තයා සෙන්,  ලෝකයේ මේ කොනට  ඉතාමත් කලාතුරකින් ලැබෙන ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය. ඔහු බංගලි ජාතිකයෙකු වුවද ,  දෙමව්පියන් කල්කටාවේ ජීවත් වූ නිසා තම පුරවැසියෙකුට මෙලෙස නොබෙල් තෑග්ගක් ලැබීමේ ගෞරවය බංගලා දේශයට හිමි නොවී, ඉන්දියාවට හිමිවීම බංගලාදේශ ජාතිකයන්ට මහත් කනගාටුවට කාරණයක් වන්නට ඇති බව සිතන්නට පුළුවන.
ඔහුට අමර්ත්‍ය යනුවෙන් නම තබන ලද්දේ රබින්ද්‍ර නාත් තාගෝර් බව කියනු ලැබේ.
එංගලන්තයේ සහ ඇමරිකාවේ බොහෝ විශ්ව විද්‍යාලවල ඉහල තනතුරු දැරූ ඔහු දැන්, හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයාද වෙයි. 1981 වර්ෂයේ සෙන් දුර්භික්ෂයන් සම්බන්ධව කරන ලද පර්යේෂණ සම්බන්ධව පොතක් ප්‍රකාශ කළේය. ඔහු එම පොතෙන් තර්ක කලේ දුර්භික්ෂය ඇති වන්නේ ආහාර හිඟයන් ගෙන් නොව, ආහාර බෙදා හැරීම සඳහා ඇති යාන්ත්‍රණයේ ඇති වී තිබෙන යම් අඩුපාඩු නිසා බවය.
දුර්භික්ෂයක්ම කියන්නට බැරි වුනත්, දැන් පවතින පුරවැසියන්ට තමන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට ඇති දුෂ්කරතාවය සහ නිෂ්පාදනය කරන්නන්ට, තමන්ගේ නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට නොහැකි වීම, යම් තරමකට අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයේ කඩා වැටීමක් බව පෙනේ.
සෙන් ඔහුගේ අධ්‍යයනයට යොදා ගත් බෙංගාලි දුර්භික්ෂය සිදු වන්නේ 1943 වසරේදීය. නමුත් අප දැන් ජීවත්වන්නේ 2020 වසරේය. මෙම කාල වකවානු දෙක අතරේ අවුරුදු 80 ක පමණ කාල වෙනසක් ඇත්තේය. මෙය අවුරුදු 80 ක කාලය පමණක වෙනසක් නොවේ. එම කාල වෙනස ලෝකයේ බොහෝ ශීඝ්‍ර අන්දමින් අප ජීවත් වන්නට යොදා ගන්නා තාක්ෂණ දියුණු විය, වෙනස් විය. විශේෂයෙන්ම සන්නිවේදනයේ දියුණුව කිසිම කෙනෙකු අනාවැකි පල නොකල, එසේම නොසිතු විරූ අයුරින් දියුණුවට පත් විය. විශේෂයෙන්ම මිනිසුන්ට තනි තනිව, තනියම කණ්ඩායමක් සමග සහ කණ්ඩායමක් අතර සන්නිවේදනය, ඉතාමත් පහසුවෙන් ක්ෂණිකව ඉතාමත් සුළු  මුදලකට එසේත් නැත්නම්, මුදලක් වියදම් නොකරම කරගන්නට හැකිවන තරමට දියුණු වී ඇත්තේය.
උදාහරණයකට මම සහ බිරිඳ මේ ලඟකදී (කොවිඩ් වසංගතයට පෙර) දඹදිව වන්දනාවේ ගොස්, එහි ගතකල දවස් 10 ටම නිවසට සහ පිටරට සිටින දුවට දිනපතා සන්නිවේදනය කිරීමට සත 5 ක් වත් වියදම් වුයේ නැත. අපි whatsapp සහ හෝටල් වල නොමිලේ wifi වලින්ම වැඩේ දුන්නෙමු.
අපේ රටේ රජයන් බොහෝ දියුණු රටවලට වඩා වෙනස් ආකාරයෙන් ආහාර සහ වෙනත් සැපයුම් සඳහා නිෂ්පාදකයන් සහ පාරිභෝගියන් අතර අතරමැදියෙකු වන්නට සැමවිටම උත්සාහ කළේය. වී අලෙවි මණ්ඩලය, සමූපකාර ව්‍යාපාරය, සතොස එසේම සේවා සඳහා දුම්රිය, ලංගම, ශ්‍රීලන්කන්, වැනි ආයතන හරහාද, එම භාණ්ඩ සහ සේවා සැපයීමට අතරමැදියෙකු වීමට උත්සාහ කළේය. මේවායේ දේශපාලනීකරණය වීමෙන් සහ දූෂණ වංචා, අප රට කාන්තාවන් බැල මෙහෙවරට පිටරට යැවීමට තරමට අප දුප්පත් විය.
දැන් අප මෙම කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමේ අරමුණෙන් මේ කරන්නාවූ lockdown එකෙහිදීද, ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රනය මෙවැනි අසාමාන්‍ය අවස්ථාවකට මුහුණදීමට වෙනස්කර ගන්නේ නොමැතිව, නැවත වරක් රජයේ යකඩ හස්තය යොදා ගැනීමට කල්පනා කිරිම, කිසිසේත්ම කරන්නට සිතිය යුතු නොවේ.
එසේනම් මේ සඳහා කලයුත්තේ කුමක්ද? අප වෙත ලැබී ඇති තාක්ෂනය මේ සඳහා පාවිච්චි කිරීමය. ඇත්තෙන්ම ඊමෙල්, වට්සැප්, වයිබර්, වැනි තාක්ෂණයන් යොදාගෙන, නිෂ්පාදකයන් සහ පාරිභෝගකයන් අතර පාලමක් එසේත් නැත්නම් දැන් කියනා පරිදි වේදිකාවක් හදා දීමය.
මේ සඳහා හමුදාව යෙදවීම, එසේත් නැත්නම් අතරමැදි වෙළෙන්දන් අල්ලා සිරගත කිරීම, වැනි දරුණු තදබල ක්‍රියාවන් කරන්නට කිසිම අවශ්‍යතාවයක් නැත. ආහාර නිෂ්පාදනය කරන්නන් සහ පාරිභෝගකයන් කතා කරන්නට සැලැස්වීම පමණි. ඔවුන් කතා නොකරන තාක් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත. රජය කලයුත්තේ ඔවුනට කතාකර හෙට්ටු කර, දෙපැත්තටම සාධාරණයක් වන පරිදි ඔවුනට ගනු දෙනුවක් කරගන්නට ඉඩ සැලැස්වීමය. 
 මේ වැඩේ කරන්නට අමර්ත්‍යා සෙන් ගෙන්නන්නට අවශ්‍ය නැත. ඒ තරම් ලොකු මුදලක් වියදම් වෙන්නෙත් නැත. මට දෙනවා නම් මම මිලියන දෙකක පමණ මුදලකින් කර පෙන්වමි.

Monday, April 6, 2020

2- ඉංග්‍රීසි ඉංජිනේරුවෙකු 1900 යේ දුටු කඳුරට ගමක් - 2



https://lakshmanillangakoon.blogspot.com/2020/04/1900.html සිට 


වනය සහ කැලෑව හරහා යන පාරේ නොයෙක් ආකාර ජීවිත වල ලකුණු දකින්නට පුළුවන. හුඹසක් තුලට තම දිග දිව ඇතුළු කර කෘමින් කමින් සිටින, අඩි 4 ක් පමණ දිග තලගොයෙකු අප දැක බියවී තුඹසේ පැත්තක ගුලකට රිංගයි. උසින් බොහෝ වැඩි ගසක මුදුනේ අත්තක සිට හීන් කොට්ටෝරුවෙකු  තම ඇඟ දෙපැත්තට වනමින් ටොක් ටෝක් හඬින් කෑ ගසයි. කොට්ටෝරුවෙකු මහ හඬින් කෑ ගසමින් පාර හරහා පනියි. ඌ තෙවරක් එසේ කෑ ගසයි. ඒ ඇරෙන්නට නිසලතාවය බිඳින්නට කිසිවක් සිදු වන්නේ නැත.
 මෙලෙස හේන් සඳහා ගිනි නොතැබූ වන ප්‍රදේශයකට පැමිණීම මහත් අස්වැසිල්ලකි. එහි වෘක්ෂලතා නොයෙකුත් විවිධාකාරයෙන් යුක්තය, උස ගස් පඳුරු කැලෑවෙන් බොහෝ ඉහලට උස්වී ඇත. ගිනිතැබීම් නිසා විනාශ වී ඇති කැලයෙන් මෙම කැලයට ඇතුලුවන විට දැනෙන්නේ මහත් සහනයකි.
මේ අලින්ගේ වාසස්ථානය බව විශාල පිය සටහන් වලින් සහ තැනින් තැන කඩා දමා ඇති කුඩා අතු වලින් පෙනේ. තරමක් පැත්තකට නැමුණු ගසක අලියෙකු තම පිට අතුල්ලා ඇති බව එහි තැන තැන හමගිය පොත්තෙන් පෙනේ.
තවත් හේන සඳහා සුද්ද කර ඇති කැලෑ ප්‍රදේශයක් පසුකල පසු මාවත ගමේ වැවේ එක බැම්මක් වෙතට දිවෙයි. මෙවැනි වැවක  සාමාන්‍යයෙන් අක්කර දෙකේ සිට සියය දක්වා ප්‍රමාණයක විසිරී ඇති; සාමාන්‍යයෙන් අක්කර 20 ක් 50 ක් පමණ වන, තුනී ජලය තට්ටුවක් දකින්නට පුළුවන.
වැව් බැමි වල මිටි තණකොළ වැවී තිබුණු අතර, බැමි සාමාන්‍යයෙන් සැතපුමකින් 1/8 සිට සැතපුමක් පමණ දිගින් යුතු විය. උසින් අඩි 9 සිට 16 දක්වා වූ මෙම බැමි මුදුනේදී පළලින් අඩි 6 ක් පමණ වූ අතර, ජලය පතුලේ මට්ටමෙන් අඩි කිහිපයක් ඉහලට එසවී තිබිණ.
අප මෙතෙක් පැමිණි පිළිස්සුනු බිම හා සසඳන විට වැව් දර්ශනය ඊට හාත්පසින්ම වෙනස් මනරම් දර්ශනයක් ලබාදෙයි. මේ හා සමකල හැකි අලංකාර දර්ශනයක් පෘතුවිය මත තවත් ඇත්තේදැයි කියන්නට නුපුළුවන. මෙහි කෙනෙකුට ගසක සෙවනේ ඉඳගෙන ස්වභාවික පරිසරය පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන. ඝෝෂාකාරී කර්මාන්තශාලා, වේගයෙන් දුවන දුම්රිය සහ වාහන, ජනයාගෙන් පිරුණු, නගර වලින් පිරුණු, කලබල සහ පීඩනයෙන් පිරුණු කෘතීම ලෝකය, භයානක සිහිනයක් මෙන් සම්පුර්ණයෙන්ම නොපෙනී යන්නට හැරිය හැක.
මෙහි පවතින්නේ නිශ්ශබ්ද වූ සාමයයි; අවුරුදු 2000 ක් පමණ වෙනසක් නොවූ, තවත් එවැනිම කාලයක් එලෙසම පැවතිය හැකි සාමයයි. කලබලයෙන් පිරුණු බටහිර ශිෂ්ටාචාරය එතරම් කාලයක් පැවතිය හැකිදැයි කෙනෙකුට සැක සිතෙයි. එය එහි තාපයෙන්ම පිලිස්සී ගොස් එයට පෙර තිබු මියගිය ශිෂ්ටාචාරය නැවත පැමිණෙන්නට පුළුවන.
අවට පරිසරය විසින් සිතට ඇතුලු කරන එවැනි දහවල් සිහින වලින් අවදිවන අප වටපිටාවට සිත යොමු කරමු. වැවේ දෙපැත්තේ සහ බැම්මේ පිට පැත්තේ මහා වෘක්ෂයන් වැවී ඇත. සමහරක් විශාල කඳන් වල ශක්තිය වැඩිකර ගැනීමට ඝන මුල් එම ශක්තිය අවශ්‍ය පැත්තෙන් වැවී ඇත. ඉර ආලෝකය ලබාගැනීමට විශාල අතු එක පැත්තකින් වැවෙන විට, එම අතු කඩා නොවැටෙන්නට මුල් වැනි ආධාරක බොහෝ ඝනකමට අඩි 10 ක් 15 ක් උසට වැවී තිබේ. හරියට ඉංජිනේරුවෙකු විසින් නිර්මාණය කලාක් මෙන් මෙවැනි අධික බරක් ඇති අතු නොවැටී තබාගැනීමට එවැනි මුල් දෙකක් පමණද අතු තිබෙන පැත්තට විරුද්ධ පැත්තේ කඳේ  උදව්වට තවත් එවැනි මුල්ද වර්ධනය වනු දැකිය හැක.
එහිද නොයෙකුත් වර්ගයේ සත්වයන් ගෙන් අඩුවක් නැත්තේය, වැවෙන් වතුර බීමට පැමිණි වඳුරන් රැලක් ගස් වල සිට, ආගන්තුකයන් වන අප  උනන්දුවෙන් නිරීක්ෂණය කරති. එසේත් නැත්නම් ගස්වල අතු මත නිවිසැනසිල්ලේ ඇවිදිති. සමහරක් වඳුරන්ගේ සිරුරේ පැටවුන්ද එල්ලී සිටිනු පෙනේ.
 සමහර වැව් වල මැද ඇති කළු ගල් මඩ පැහැති කිඹුලන්ට නිවාසයක් වෙයි. කුඩාම වැව් කිහිපයක හැරෙන්නේට අනික් සියල්ලේම පාහේ කිඹුලන් වාසය කරති. උන් අතරමංවූ පර බල්ලන් ලෙසට එම ගල් මත නිදාගෙන සිටිති. උෂ්ණත්වයෙන් බේරීමට මෙන් කටවල් අරගෙන සිටියද, එම උෂ්ණත්වයෙන් බේරෙන්නට ඔවුන් කිසිම උත්සාහයක් ගන්නා බවක් නම් නොපෙනේ.
කළු පැහැති ලොකු දියකාවන්  කිහිප දෙනෙකු සහ කුඩා රාජාලින්  දෙතුන් දෙනෙකු ඒ ගලේම තවත් පැත්තක විඩා  හරිති. ඒ අතරම කළු ඉබ්බන් කිහිප දෙනෙකු ; ආහාරයට ගන්නා දුර්ලභ කිරි ඉබ්බන් නොවේ, ජලයට කිට්ටුවෙන් සිටිනු දැකිය හැක. වතුරේ ඇති කෝටුවක ඉඳගෙන සිටිනා මාළු අල්ලන කුරුල්ලෙකු වතුර දෙස බලා සිටි. නයෙකුගේ මෙන් දිග බෙල්ලකින් යුත්, මාළු ගොදුරට වඩා වේගයෙන් පිහිනිය හැකි ඌ තම පළල පියාපත් අව්වෙන් වේලා ගනියි. උගේ සහකරු තම ඔලුව සහ බෙල්ල පමණක් ජල මට්ටමෙන් උඩට තබා ගනිමින් මාළුවෙකු පසුපස පිහිනයි.

Saturday, April 4, 2020

ඉංග්‍රීසි ඉංජිනේරුවෙකු 1900 යේ දුටු කඳුරට ගමක් - 1







ලංකාවේ උතුරු මැද සහ වයඹ ප්‍රදේශ ඉහල මුදුනක සිට නරඹන විට, පහතින් දිස්වන  දර්ශනය තද හරිත වර්ණ මුහුදක් සේ පෙනෙයි. ඒ හරහා සුළඟක් හමා යනවිට, ගස් මුදුන් එයට ඉඩදී නැමෙන විට, මහා මුහුදේ රැලි පෙරළෙනවා සේ පෙනෙයි. මෙම වන සාගරය සහ හිරු අතර වලාකුළු පාවෙන විට, තවත් තද කොලපාට වලාකුළු සෙවනැලි සීමාවක් නැති සාගරය මත එකිනකා පසුපස යන්නාක් මෙන් දිස්වෙයි. භුමියේ උසෙහි වෙනස්කම් නොපෙනී යන අතර, තැනින් තැන ඉහලට එසවී ඇති දුපත් ලෙස පෙනෙන කළුගල් පර්වත හැරෙන්නට, මුළු වනයම එකම උසක තිබෙන, එසේම දිය රැලි ඒ මත ගමන් කරන සාගරය ලෙස පෙනෙයි.
අපට පහතින් එසේම  ඉදිරියෙන් තිබෙන කඳු, අඟුටු මිට්ටන් වී පෙනෙන අතර, අපට පසුපසින් තිබෙන අපට වඩා උස කඳු තවත් විශාල වී පෙනෙයි. අපට කිට්ටුව තැනින් තැන වටේ වනයට වඩා, කොළ පැහැයෙන් අඩු, කුඹුරු ඉඳ හිට දකින්නට පුළුවන් අතර, ගමක වැව මතට වැටුණු හිරු එලිය ලා නිල් පැහැයෙන් පරාවර්තනය වනවා දැකිය හැක. නමුත් දුරට යනවිට වනයේ, සාගර පෙනුම එලෙසම පවතී. නිවෙස්  කිසිවක් නොපෙනෙන අතර නිශ්ශබ්දතාවය රජයයි, ඉදිරියෙහි ඇති මුළු දර්ශනයම මිනිසුන් පදිංචියක් නොමැති වන ප්‍රදේශයක් බව ඕනෑම කෙනෙකුට සිතේ.
එවැනි උස් කණු මුදුනෙන් පහතට බැස, හරිත සාගරය, හොඳින් නිරීක්ෂණය කරමු. මගේ මේ පොත කියවන්නා මමත් සමග කඳුකර ගමකට පැමිණෙන බව මම උපකල්පනය කරමි. එහිදී අපට  එකතුව ඔවුන්ගේ ජීවිත, ජිවත්වන ආකාරය සහ අදහස් පරීක්ෂා කර බලන්නට ඉඩ ලැබේ.
අප ගමන් කරන්නේ පස් මතුපිටක්‌ ඇති වංගු ගහන වූ, තනන්නන්ට වැරදීමකින් නොවන්නේ නම්, භුමියේ ස්වභාවය නිසා,යාර 100 කට වඩා දිගට  කෙලින් කොටසක් නොමැති මාර්ගයකය. අඩි 12 ක් දෙපැත්තට සුද්ධ කර දෙපැත්තේ තණකොළ වැවී තිබුණු මෙම මාර්ගය, අවුරුදු 30 ක් මෙහි සේවය කරද්දී නිතරම මුණගැසුණු දෙපැත්තෙන් පාරට නැමුණු අතු යනාදිය නිසා, කොන්ද නමාගෙන ඇඳුම් ඉරාගෙන යාමට සිදුවන පාරවලට වඩා  වෙනස්ය.
අප බොහෝ දුරක් තද හිරු අධිකඋෂ්ණත්වයෙන් පීඩා විඳිමින් ඇවිද්දෙමු. මෙලෙස දවසේ මධ්‍යම යාමයේ  මෙහි ඇවිදින විට කොතරම් හිරු දෙස නොබලා සිටියත්, එහි පීඩාව දැනේ. තාර දමා නොමැති පාරෙන්ද, හිරු රශ්මිය නැවත ඉහලට පරාවර්තනය වෙයි. පාර දෙපැත්තේ කැලයෙන්, ඉඳ හිට ඇති ගස් සහ අඩි 10 ක් 15ක් උසට වැවුණු කටු සහිත වැල් වලින් වලක්වන  නිසා, දෙපැත්තෙන් එන සිසිල් මඳ පවනෙන් ලැබෙන සහනයද ගමන් කරන්නන්ට නොලැබෙයි. මෙම සුළු වනය බොහෝවිට අවුරුදු කිහිපයකට හේන් ගොවිතැන සඳහා එළිපෙහෙළි කරන  ලද කැලෑව විය යුතුය. තවත් අවුරුදු කිහිපයකින් මෙම ඉඩම හේන් ගොවිතැන සඳහා යලි  කපා හෙලනු  ඇත.
ලඟකදී එලි කරන ලද මෙවැනි කැලෑවක් අපි දැන් පසුකරන්නෙමු. ගිනිගත් ලොකු ගස් කිහිපයක් තැනින් තැන තිබෙන මෙම හේනෙහි කුරහන් වගාකර තිබේ. මෙම ඉඩම වටා ලොකු කණු කිහිපයක් අතර කුඩා කණු සිටුවා වැටක් බැඳ තිබෙන්නේ වගාව ඌරන්ගෙන්, මුවන්ගෙන් සහ මී හරකුන්ගෙන් බේරා ගැනීම සඳහාය.
මෙම හේනේ මැද පිහිටි උස ගස් දෙකකට අසලින් කණු දෙකක් සිටුවා ඒ මත අඩි දහයක් පමණ උසින් ලී සහ වියලි අතු යනාදිය යොදාගෙන, කුඩා පැලක් සාදා ගෙන තිබේ. පැලේ පතුලේ මැටි දමා තලා වියලෙන්නට හැර, ගිනිගැනීමේ අවධානමක් නොමැතිව  කුඩා ගිනි මැලයක් පත්තු කර ගැනීමට පුළුවන් ලෙස හදාගෙන තිබේ. මේ ශීතල දිනවල උණුසුම් වීම සඳහාය.මෙම කුඩා පැලෙහි මිනිසෙකු හෝ දෙදෙනෙකු රාත්‍රියට වැට බිඳගෙන ගොවිතැන පාලු කිරීමට ඇතුලට එන සතුන් එළවීමට රාත්‍රිය ගත කරයි.
මෙවැනි හේන්වල සාමාන්‍යයෙන් වගා කරන්නේ කුරහන්ය. එයට අමතරව මුං, අබ සහ නොයෙකුත් පලාවර්ග වගා කරන අතර, හුඹස් අසල සරු පසෙහි බඩ ඉරිගු, මිරිස්, කැකිරි වැනි භෝග වගා කෙරේ. කුඩා ගස් වල එල්ලී වැවෙන අමුතු පෙනුමක් ඇති බෝතල් වැනි හැඩයක් ඇති කරවිල නම්  ගෙඩි, එම වැල් වල එල්ලී තිබෙනු දක්නට පුළුවන.

ඊළඟ කොටස 

https://lakshmanillangakoon.blogspot.com/2020/04/2-1900-2.html

Monday, March 16, 2020

1900 වසරේ පමණ උඩරට ගමක දර්ශනයක්

1900 පමණ අවුරුදු 30 ක් පමණ ලංකාවේ  වාරිමාර්ග ඉංජිනේරුවෙකු ලෙස සේවය කල ඉංග්‍රීසි ජාතිකයෙකු ගේ නිරීක්ෂණයන් ගෙනි


අපගේ සත්කාරක නිවසේ සිටි දුර බැහැරකින් පැමිණ සිටි ඔවුන්ගේ නෑයා උදයට කිරි බත් අහරට ගෙන බුලත් විටක්ද කා, නැවත ඔහුගේ නිවසට යාමට “එහෙනං මං යන්නම් “ කියමින් පිටව යයි.
“හොඳයි ගිහිල්ල එන්ට” යනුවෙන් එයට පිළිතුරු දිය යුතුය. එන්ට යන වචනය මෙතැනදී නොකිව්වොත්, ඔහුගේ නැවත පැමිණීම අපේක්ෂා නොකරන බවට හැඟීමක් ඇතිවනු ඇත.

ඔහු වැට ලඟට යන තෙක් ගෙහිමියා ඔහු සමග ගමන් කර ආපසු නිවසට එයි. නමුත් ටික වෙලාවකින් අමුත්තාද නැවත ආපසු පැමිණෙයි. තමන්ට යම් බාධාවක් මුණ ගැසුණු නිසා, ගමන පරක්කු කල යුතු බව ඔහු පවසා සිටියි. බාධාව ඔහු යන මඟ බල්ලෙකු රැඳී සිටීමයි. ඔහු ඌ එලවා දැම්මද ඌ එතනම සිට ඇත. ගෙහිමියාද ඒ සමග එකඟ වන අතර, අමුත්තා දහවල් මෙම නරක වෙලාව පසුවූ පසු, ගමන ආරම්භ කලයුතු බවට එකඟ වෙයි.

මෙලෙස කඳුරට මිනිසුන් තම මුළු දිවි ගමනේම නොයෙකුත් දෛනික අසුභ දෑ වලට සහ නරක වේලාවන්ට බිය වෙමින් කල් ගත කරයි. ඔහුට සිදුවීම් කිහිපයක් සිදුවන්නට යන සුභ දෙයක් පෙන්නුම් කලද, බහුතර දෑ පෙන්වන්නේ, සිදුවන්නට යන අසුභ සිදුවීම් වල පෙර නිමිතය.

සෑම කරදරයක්ම සිදුවන්නේ යම් භූතාත්මයක් නිසාය, එය සමහරවිට මන්ත්‍රකරුවෙකු විසින් විශේෂයෙන්ම කරන ලද්දකි, එසේ නැත්නම් ලැබුණු අවස්තාවකින් ප්‍රයෝජනයට ගන්නා යක්ෂ ආත්මයකිනි. භුතාත්මයන් අසීමිතය, ලැබෙන සෑම අවස්තාවකම ප්‍රයෝජනයට ගෙන මිනිසුන්ට කරදර කරති, තුවාල කරති. ඒ නිසා මෙවැනි කරදර ගැන ලැබෙන කුඩා හෝ අනතුරු ඇඟවීම් ගණන් නොගෙන සිටීම මෝඩ කමකි.  

එක් දිනෙක තමනට දවසේ වැඩ අවසන් කර හවස තම හේනේ සිට එලියට යාමට පාර සොයාගැනීමට නොහැකි වී, මුළු රාත්‍රියම වැඩ අවසන් නොවූ හේනේ ගතකිරීමට සිදුවූ බව  වරෙක මිනිසෙකු මා සමග පැවසිය. එයට හේතුව ලෙස ඔහු කිව්වේ, ඔහුට අකමැති භූතාත්මයක් ඔහුට කරදර කිරීමට ඔහුගෙන් පාර සැඟවූ බවය. හිරු උදාවූ පසු ඔහුට හේනෙන් පිටවන කඩුල්ල සොයාගත හැකි වී තිබුණි.

තවත් වරෙක මා දන්නා මිනිසෙකු වෙළඳාම සඳහා බොහෝ දුර යන්නට පිළියෙළ කළේය. එහෙත් පෙර දින රාත්‍රියේ ඔහු නරක යමක් සිදුවිය හැකි යයි අනතුරු හඟවන සිහිනයක් දැක, ඔහුගේ එම සැලසුම් කර තිබු වෙළඳ ගමන නොගොස් සිටියේය. මෙවැනි සිදුවීම් පිළිබඳව කියා ගම්මු සිනාසෙති, එහෙත් බොහෝ මිනිසුන් එලෙස කරණ බව ඔවුන් හොඳින් දනිති.

මේ ගම්මුන්ගේ නිවාඩු කාලයයි, ඔවුහු මෙකල වී සහ කුරහන් වැවීම පිළිබඳව නොයෙකුත් සාකච්ඡා කරති. නමුත් ඊළඟට එන්නේ කුඹුරු සහ හේන් වැඩ කිරීමට ඇති මහන්සි වන කාලයයි. කටු අකුල් සහිත කැලෑව කපා දැමීම, පඳුරු මුලිනුපුටා ගිනි තැබීම, බිම උදලු ගා සී සෑම සහ හේන වටා වැටක් බැඳීම කාෂ්ටක අව්වේ උදේ සිට හවස දක්වා සිදුකරති. මෙම වැඩ කටයුතු ඇට පළකිරීම සඳහා වැස්සක් දෙකක් වැටෙනතුරු සිදු කරති. ඉන්පසුවත් නැවත පැලවල වල් සුද්ද කල යුතුය.

තද වැස්ස ගල් ගැසී තිබුණු කුඹුරු වල පස් බුරුල් කල වහාම හේනේ  වැඩවලින් නිදහසක් ලැබෙන්නට පෙර, කුඹුරු වැඩ පටන්ගත යුතුය. සෑම උදෑසනකම තමන්ගේ කුඩා නගුල කර තබාගෙන කුඹුරට යන පිරිමි, එයට මී හරකුන් දෙදෙනෙකු ගැට ගසා, පසුගිය කන්නයෙන් පසු වැවී ඇති තණකොළ මත උදේ සිට සවස් වන තුරු සී සාති. පසුගිය කන්නයේ සිට කැලෑ වී ඇති කුඹුරු අඟල් 8 ක් පමණ ගැඹුර ඇති, මෘදු මඩ තලාවක් බවට පත්කරන්නට දරන වෙහෙස සුළුපටු නොවේ. එය සිදුකිරීමෙන් පසු කුඹුරු ලියදි වටා ඇති නියර පිළිසකර කර මැටි වලින් බැඳිය යුතුය.

මෙලෙස බිම පිළියෙළ කර අවසන් වූ පසු, ඉක්මනින්ම දැනටමත් මුල් ඇද ඇති වී ඇට අතින්ම එම මඩ පෘෂ්ටය මත ඉසිය යුතුය. ඒවා ඉක්මනින්ම මුල් ඇද දළු දමන්නට පටන් ගනියි. මෙලෙස ඉසීමට වී සකස් කිරීම ගැහැණුන්ට අයත් වැඩකි. ඔවුහු මේ සඳහා වී ජලයෙන් තෙමා මඩුවේ හෝ සාලයේ පැදුරු වල අඟල් කිහිපයක් උසට ගොඩ ගසති. දින තුනකින් ඒවා මුල් ඇද ඉහින්නට හැකි තත්වයට පත්වෙයි. වී ඉස අවසන් වූ පසුද කුඹුරු වටා ගොයම හරකුන්ගෙන් සහ සමහර ප්‍රදේශ වල, මුවන් ගෙනුත් ආරක්ෂා කරගැනීමට වැටක් ගැසිය යුතුය.


මෙම කුඹුරු වැඩ වලින් සාර්ථක ප්‍රතිපල ලැබීමට නම්, එහි සෑම ප්‍රධාන අදියරක්ම ප්‍රදේශයේ කට්ටඩියා ගෙන් ලබාගත් සුබ වෙලාවන් වලදී පටන්ගත් යුතුය. කිසිම අවස්තාවක ග්‍රහයන් අසුබ ලෙස පිහිටා ඇති විටක එවැනි වැදගත් කටයුතු පටන් නොගත යුතුය. මෙම ග්‍රහයන් සෑම ලෞකික වැඩකටයුත්තක් මතම ඉතාමත් අසුබ බලපෑම් ඇති කරන්නට හැකිය. ග්‍රහ බලපෑම් කෙසේ වුවත් සමහර දවස්, වැඩක් පටන් ගැනීමට කෙසේ වත් සුදුසු නොවන බව තරමක් හෝ මොලයක් ඇති සියලු දෙන විශ්වාස කරති.

එලෙස සුබ වෙලාවක් තෝරාගත් පසු එම පැයේදී හේනේ හෝ කුඹුරේ සුළුවෙන් හෝ එම වැඩය  පටන් ගතයුතුය; ඇත්ත පටන්ගැන්ම එදිනම සිදුවිය යුතු නොවේ. උදාහරණයක් වශයෙන් හේනේ වැඩ ඇල්ලීමේදී කැත්තෙන් අතු කිහිපයක් කපා දැමීම සෑහෙන අතර ඇත්තම වැඩය  තමන්ට පහසු දිනයක කරන්නට පුළුවන. එවැනි නැකතකට වැඩ ඇල්ලිමකින් තොරව, පටන්ගත් ගොවිතැන් කටයුත්තක් වැස්ස අඩු හෝ වැඩි වීමෙන්,වල් සතුන්ගෙන් හානි වීමෙන්, වී කරලට මැස්සන්ගෙන් හානි වීමකින් සිදුවන පාඩුවක් පිලිබඳ ගොවියෙකු පුදුම වන්නේ නැත. පුදුම වන්නේ එවැනි ගොවිතැනක් විනාශ වීම පිළිබඳව නොව අල්ප හෝ අස්වැන්නක් නෙලා ගැනීමට ලැබුනොතින්ය.

Friday, March 13, 2020

ගැලීලියෝ මුහුණ දුන් වසංගතය

ගැලිලියෝටද ඒ කාලයේ දැන් අපට මෙන්  වසංගතයකට මුහුණදීමට සිදුවිය. ඔහුට එයින් පසු රෝමයට ඒමට පෙර, සති දෙකක නිරෝධායනයකට භාජනය වන්නටද සිදුවිය. මේ ඒ පිළිබඳව බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ඔහුගේ ගැලීලියෝගේ ජීවිතය නම් නාට්‍යයේ ලියු ආකාරයය.



 යුරෝපයේ මහා වසංගතය පවතිද්දීත් ගැලීලියෝ තම පරීක්ෂණ දිගටම කරගෙන යයි.

ගැලීලියෝ :- වර්ජිනියා! මොකද උනේ?

වර්ජිනියා :- කොන්වන්ට් එක කිට්ටුව වසංගත රෝගීන් පස් දෙනෙක් හොයා ගෙන, කොන්වන්ට් එක වැහුවා.

ගැලීලියෝ :- අඬ ගසයි, සාර්ටි!

වර්ජනියා :- ඊයේ මාකට් වීදියත් සම්පූර්ණයෙන් වහලා දැම්මා, පරණ ටවුම පැත්තේ ඊයෙත් දෙන්නෙක් මැරිලා, තව දෙන්නෙක් රෝහලේ පණ අදිනවාලු.

ගැලීලියෝ :- ඔවුන් සාමාන්‍යයෙන් කරනවා වගේම, මේ සැරෙත් බොහෝ කාලයක් යනකං දන්වන්නේ නැතුව ඔය වසංගතය ගැන හංගා ගෙන හිටියා.

සාර්ටි මහත්මිය :- ඔබ මොකද මෙතන කරන්නේ - වර්ජිනියා ගෙන් අසයි.

වර්ජිනියා :- වසංගතය ඇවිල්ලා.

සාර්ටි :- මම වහාම බඩු පැක් කරන්නම්.

ගැලීලියෝ :- මොනවත්ම පැක් කරන්න එපා. වර්ජිනියා සහ ඇන්ඩ්‍රියාඇරන් පිටවන්න, මම මගේ ලියවිලි අරන් එන්නම්.
ඔහු මේසය වෙතට ගොස් ඉක්මනින් ඔහුගේ ලියකියවිලි පිළියෙල කරගයි. සාර්ටි මහත්මිය ඇන්ඩ්‍රියාට ඔහුගේ කබාය අන්දවයි, ආහාර සහ ඇඳ ඇතිරිලි එකතු කරයි. රාජ පුරුෂයෙකු ඇතුළු වෙයි.

රාජ පුරුෂයා :- වසංගතය පැතිරීමේ හේතුවෙන් අති උත්තම ග්‍රෑන්ඩ් ඩියුක් උතුමා නගරයෙන් ඉවත්වී බොලොන්නා වෙත ගොස් ඇත. ගැලීලියෝ මහත්මයාටද, එලෙස ආරක්ෂාව ලබාදිය යුතු යැයි ඔහු කියා නියෝග කර ඇත. තව විනාඩි දෙකකින් ඔබ සඳහා අශ්ව කරත්තය ඔබ නිවස ඉදිරිපිටට එනු ඇත.

සාර්ටි :- ඉක්මනින්ම එළියට යන්න, වර්ජිනියාට සහ ඇන්ඩ්‍රියාට කියයි.

ඇන්ඩ්‍රියා :- ඇයි මොකක්ද හේතුව, ඔබ හේතුව කියන්නේ නැත්නම් මම යන්නේ නැහැ.

සාර්ටි :- වසංගතය පැතිරෙනවා ඒකයි හේතුව ළමයො.

වර්ජිනියා :- අපි පොඩ්ඩක් තාත්තා එනකං ඉමු.

සාර්ටි :- ගැලීලියෝ මහත්මයා ඔබ ලෑස්තිද?

ගැලීලියෝ :- දූරේක්ෂය මේස රෙද්දකින් ඔතමින්, වර්ජිනියා සහ ඇන්ඩ්‍රියාරැගෙන කරත්තයට යන්න. මම ටිකකින් එන්නම්.

වර්ජිනියා :- නැහැ, ඔබ නැතුව අපි යන්නේ නැහැ. ඔබ පොතක් ලියන්න පටන් ගත්තහම ඉවර කරන්නෙම නැතිව මෙහෙට වෙලා ඉඳියි.

සාර්ටි :- අශ්වකරත්තය ඇවිල්ලා.

ගැලීලියෝ :- යන්න වර්ජිනියා, ඔබ ඉක්මනින් කරත්තයට නැග ගත්තේ නැත්නම්, කරත්තය යයි.වසංගතේ කියන්නේ විහිළුවක් නෙවෙයි.

 වර්ජිනියා :- පිටවීමට අකැමැත්තෙන් - ඔහුට පොත් ඉක්මනින් ලැහැස්ති කරගන්ඩ උදව් වුණේ නැත්නම්, ඔහු එන එකක්ම නැහැ.

සාර්ටි :- ප්‍රධාන දොරටුවේ සිට - අශ්ව කරත්තකරු කියනවා, ඔහුට ගොඩක් වෙලා මෙතන ඉන්න බැරි බව, ගැලීලියෝ මහත්මයා.

ගැලීලියෝ :- මට යන්ට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, මම මාස ගානක් පිළියෙල කරපු ලියවිලි තව දවස් දෙක තුනකින් සම්පූර්ණ කරේ නැත්නම්, ඒ සියල්ලෙන් වැඩක් නැති වෙනවා, කොහොමත් මේ වසංගතය දැනටත් හැමතැනම පැතිරිලා තියෙන්නේ.

සාර්ටි :- ගැලීලියෝ මහත්මයා ඔබ වහාම පැමිණිය යුතුයි, ඔබට පිස්සුද.

ගැලීලියෝ :- ඇන්ඩ්‍රියාසහ වර්ජිනියා සමඟ පිට වෙන්න, මම පසුව එන්නම්.

සාර්ටි :- තව පැයක් ගියොත් ඔබට කොහොමටවත් එන්න හම්බ වෙන්නේ නැහැ, ඉක්මනට එන්න - ඇය සවන් දෙයි - අන්න කරත්තය පිටත් වෙනවා එන්න, මම ඔහු නවත්වා ගත යුතුයි.
- ඇය පිටවෙයි, ටික වෙලාවකින් සුදුමැලි වී ඇති ඇය නැවත ඇතුළු වෙයි. ඇගේ අත තිබූ පොට්ටනිය නැත -

ගැලීලියෝ :- ඇයි ඔබ තවමත් මෙතන ඔබට ළමයි සමග යන්න බැරි වෙයි.

සාර්ටි :- කරත්තෙ පිටත් වුණා, වර්ජිනියාව ඔවුන් අල්ලගෙන තමයි රැගෙන ගියේ, ළමයින්ව බොලොන්නා වලදී හොඳින් බලාගනී, නමුත් මමත් ගියොත් ඔබට ආහාර ලබා දෙන්නේ කවුද?

ගැලීලියෝ :- ඔබට නම් පිස්සු, කෑම හදන්නට වසංගතයක් තියෙන නගරයක නවතින්නේ කවුද, ඔහුගේ ලියකියවිලි එකතු කරයි - මම සම්පූර්ණයෙන්ම මෝඩයෙක් කියලා හිතන්න එපා සාර්ටි, මට බොහොම දරුණු සතුරන් ඉන්නවා, ඒ නිසා මම මගේ උපකල්පනයන් ඔප්පු කරන්නට කරන්න සාක්ෂි එකතු කර ගත යුතුයි.

සාර්ටි :- ඔබට ඔබගේ තීරණය සාධාරණීකරණ කරන්නට අවශ්‍ය නැහැ, නමුත් ඔබ මීට වඩා යථාර්ථවාදී විය යුතුයි.

ෆ්ලොරන්ස් හි ගැලීලියෝගේ නිවස
ගැලීලියෝ නිවසින් පිටතට පැමිණ වීදිය දෙස බලයි.
පූජකවරියන් දෙදෙනෙකු පාරේ ගමන් කරයි.


ගැලීලියෝ :- ඔවුනට කතාකරයි - මට කියන්න පුළුවන්ද මට කිරි ටිකක් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද කියා, කිරි ගෙනෙන කාන්තාව අද ආවෙ නැහැ, මගේ නිවාස බලාගන්න කෙනාත් අද නැහැ.
එක් පූජකවරියක් :- කිරි විකුණන කඩවල් විවෘත කර තිබෙන්නේ නගරයේ පහළ පැත්තේ පමණයි.
අනෙක් පූජකවරිය :- ඔබ මේ පැත්තේද? පූජකවරියන් දෙදෙනා කුරුසය ඇඳ එතනින් පිට වෙයි, මිනිසෙකු එතනින් අනෙක් පැත්තට යයි.

ගැලීලියෝ :- ඔබ නේද අපට පාන් ගෙනත් දෙන බේකරි කරු, ඔබ මගේ නිවසේ මෙහෙකාරිය දුටුවාද, ඇය ඊයේ රාත්‍රියේ සිට පෙනෙන්නට නැහැ, මිනිසා ඔළුව වනයි, විදියේ අනික් පැත්තෙ නිවසක ජනේලයක් විවෘත කර කාන්තාවක් කෑගසයි, කල්පනාවෙන් ඒ පැත්තට වසංගතය ඇවිල්ලා, ඒ මිනිසා මහත් බියට පත්වී අනික් පැත්තට දුවයි.

ගැලීලියෝ :- මගේ නිවසේ කාන්තාව ගැන ආරංචියක් නැද්ද?

කාන්තාව :- ඇය විදියේ මුදුනේ සිහි නැතිව සිටිනවා , ඇයට ආරංචි වන්නට ඇති මේ පැත්තට වසංගතය එනවා කියලා, අනුන් ගැන සිතන්නේ නැති මිනිස්සු, ඇය ශබ්දයකින් ජනේලය වසයි.

කුඩා ළමුන් පිරිසක් විදිය දිගේ එතී. ගැලීලියෝ දැක ආපසු දුවති. ගැලීලියෝ ආපසු හැරෙන විට යකඩ ඇඳුම් ඇදගත් සොල්දාදුවන් දෙදෙනකු දකී.
එක් සොල්දාදුවෙක් :- වහාම ගේ ඇතුලට යනවා, ඔවුන් ගැලීලියෝ ගේ ඇතුලට තල්ලු කර දොරවල් ඇණ ගසා වසති.
ගැලීලියෝ :- ජනේලය තුලින් අසයි - මගේ නිවසේ කාන්තාවට කුමක් වුණාදැයි මට කියන්න පුළුවන්ද?

සොල්දාදුවෙක් :- ඇය මිනී ගොඩට විසි කලා.

කාන්තාව :- නැවත ජනේලය වෙත පැමිණ - වීදියේ අර පැත්ත සම්පූර්ණයෙන්ම වසංගතය පැතිරිලා, ඇයි ඔබ ඒ කොටස වහන්නේ නැත්තෙ.
සොල්දාදුවෝ වීදිය ලණු වලින් වසා දමති -

කාන්තාව :- නමුත් එහෙම කලහම විදියේ අපේ කොටසටත් කාටවත් ඇතුල් වෙන්නටත් බැහැ, අපේ කොටසේ වසංගතය නැහැ, එහෙම වෙන් කරන්න එපා, මගේ ස්වාමි පුරුෂයාටත් ආපසු නිවසට එන්නට බැරි වෙයි, උඹලා හරිම නපුරුයි - ඇය නිවස ඇතුළේ සිට කෑගසනවා අඬනවා වැලපෙනවා ඇසෙයි, තවත් ජනේලයකින් වයසක කාන්තාවක් මතුවෙයි.

ගැලීලියෝ :- අර ඈතින් පෙනෙන්නේ ගින්දරක් වෙන්නට ඕනෑ.

වයසක කාන්තාව :- ඔවුන් වසංගතය පැතිරෙන පළාත් වල ගිනි නිවා දැමීම නවත්වලා දාලා, හැමදෙනාම හිතන්නේ වසංගතය ගැන පමණයි.

ගැලීලියෝ :- කිසි කතාවක් නැහැ, ඒක තමයි ඔවුන් රාජ්‍ය කරන විදිහ, ගසක මැරෙන්නට යන අතු කිසිම වග විභාගයක් නැතුව කපා දමනවා වගේ.

කාන්තාව :- එහෙම කියන එක වැරදියි, ඔවුනට වෙන කරන්නට දෙයක් නැහැ.

ගැලීලියෝ :- ඔබේ නිවසේ සිටින්නේ ඔබ පමණද?

වයසක කාන්තාව :- ඔවූ මගේ පුතා මට ඊයේ ඊයෙ පණිවුඩයක් එවා තිබුණා, ඔහු පැමිණියේ නැහැ, ඔහු දැනගෙන මේ පැත්තට වසංගතය පැතිරෙනවා කියලා, ඊයෙම එකොළොස් දෙනෙකුට වසංගතය වැළඳීලා.

ගැලීලියෝ :- මගේ නිවසේ කාන්තාව බේරී පලා යන්නට බැරිවීම පිළිබඳව මම වගකියන්න ඕන, මටනම් ඉන්නට යම් හේතුවක් තිබුණා, ඇයට කිසිම හේතුවක් තිබුනේ නැහැ.


වයසක කාන්තාව :- අපිටත් යන්නට බැහැ, කවුද අපිව අරන් යන්නේ, ඇය ගැන ඔබ කණගාටු වන්නට එපා, මම ඔබගේ කාන්තාව දැක්කා, ඇය උදේ හතට පමණ තමයි පිටවුනේ. ඇයට අසනීප වෙලා කියලා දැනගත් විට යන්නට ඇති, මම පාන් ගන්නට එලියට එනවිට ඇය මගෙන් සැඟවුණා. ඔබේ නිවසටත් වසංගතය පැමිණ ඇතැයි මිනිසුන්ට දැනගන්නට ඉඩ හරින්නට ඇය කැමති වුණේ නැහැ, ඒ නිසා ඇය පැන යන්නට ඇති.
විශාල ශබ්දයක් ඇසේ.

ගැලීලියෝ :- ඒ මොකක්ද?

වයසක කාන්තාව :- ඔවුන් විෂබීජ සහිත වළාකුළු ශබ්ද පාවිච්චි කර පලවා හරින්නට උත්සාහ කරනවා, ගැලීලියෝ මහ හඬින් සිනාසේ.


වයසක කාන්තාව :- මෙහෙම වෙලාවක හිනාවෙන්න පුලුවන් එකත් ලොකු දෙයක් -
මිනිසෙකු වීදියට ඇතුල්වන්නට පැමිණ එය ලණු වලින් වෙන්කර ඇති බව දකී.

ගැලීලියෝ :- මහත්මයා මේ වීදිය ලනු වලින් වෙන් කරලා තිබෙන්නේ, නමුත් මට කන්න කිසි දෙයක් නැහැ, මෙහෙ බලන්න - මිනිසා ඉක්මනින් පලා යයි -

වයසක කාන්තාව :- සමහරවිට හවසට කවුරුහරි මොනවා හරි ගෙනල්ලා දෙයි, එහෙම නැතිවුනොත් රෑට මම ඔබගේ දොරට එළියෙන් කිරි ජෝගුවක් තබන්නම්, ඔබට බයක් නැත්නම් ඇවිල්ල එය ගන්නට පුළුවන්.

ගැලීලියෝ :- එළියේ කාට හරි අප කෑගහනවා ඇහෙනවද, ගැලීලියෝ කෑගසයි.
එක්වරම ඇන්ඩ්‍රියාවිදියේ ලණු වලින් පිටත හිටගෙන සිටි. ඔහු බිය පත්ව ඇත.

ගැලීලියෝ :- ඔබ කොහොමද මෙහෙට ආවෙ.

ඇන්ඩ්‍රියා:- මම කලින්ම ආවෙ ඔබේ දොරටත් ගැහුවා, නමුත් ඔබ දොර ඇරියෙ නැහැ, ඔවුන් මට කිව්වා....

ගැලීලියෝ :- ඔබ අශ්ව කරත්තයෙන් ගියේ නැද්ද?

ඇන්ඩ්‍රියා :- නැහැ මම ඒකෙන් පැන ගත්තා, වර්ජිනියාත් බලෙන් වගේ අරගෙන ගියේ, මම ඇතුලට එන්නද?

වයසක කාන්තාව :- නැහැ, ඔබට එන්නට බැහැ, ඔබ ඔබේ මව සිටින උර්සුලින්ස් වෙත යා යුතුයි.

ඇන්ඩ්‍රියා :- මම එහෙට ගියා, නමුත් ඔවුන් මට ඇය බලන්නට දෙන්නේ නැහැ, ඇයට ගොඩක් අමාරුයි කියලා.

ගැලීලියෝ:- ඔබ දවස් තුනම ආපහු ආවේ පයින් මද, ඔබ නිවසින් පිටත් වෙලා දැන් දවස් තුනක් වෙනවා.

ඇන්ඩ්‍රියා:- ඔබ මා සමග තරහ ගන්න එපා, ආපසු එද්දී ඔවුන් මාව අත්අඩංගුවට ගත්තා.

ගැලීලියෝ :- කණගාටුවෙන් - හඬන්නට එපා, ඔබ නිවසෙන් පිට වුණාට පස්සේ මම බොහෝ දේවල් හොයා ගත්තා, ප්‍රවේසමෙන් අහගන්න, නැත්නම් ඔබට තේරුම් ගන්නට බැරි වෙයි, ඔබට මතකයි නේද මම ඔබට කියා දුන් වීනස් ග්‍රහලෝකය........ ආ ඒ ශබ්දය ගැන කලබල වෙන්න එපා, ඒක කිසි වැඩකට නැති ශබ්දයක්, ඔබ දන්නවා වීනස් ගේ අපි දුටු දෙය, එහි චන්ද්‍රයා, අපි ඒක දැක්කේ අර්ධ වෘත්තයක් එහෙම නැත්තං දෑකැත්තක් වගේ. මට ඔබට එය ලාම්පුවක් සහ පොඩි බෝලයක් එක්ක එය සම්පූර්ණයෙන්ම පෙන්නන්න පුළුවන්, එය තමන්ගේම කියා ආලෝකයක් නැති තවත් ග්‍රහලෝකයක්. එයත් සූර්යයා වටේ කැරකෙන අපි වගේම ග්‍රහ ලෝකයක්, කොච්චර අලංකාරයිද නේද.

ඇන්ඩ්‍රියා:- හඬමින් ඇත්තෙන්ම ඒවා සත්‍ය කරුණ.

ගැලීලියෝ :- මම ඔබේ මවට ඉන්නට කියලා නම් කීවේ නැහැ, ඇන්ඩ්‍රියාකිසිවක් කියන්නේ නැත. නමුත් මම ඉන්නට තීරණය කලේ නැත්නම් ඇය නවතින එකක් නැහැ.

ඇන්ඩ්‍රියා:-  දැන් ඔවුන්ට ඔබගේ සොයා ගැනීම් පිළිගන්නට සිදුවෙයි, එහෙම නේද.

ගැලීලියෝ :- මට දැන් අවශ්‍ය සාක්ෂි සියල්ලම තියෙනවා, මේ වසංගතය ඉවර වුණහම රෝමයට ගිහිල්ලා ඔවුනට ඒවා පෙන්වලා ඔප්පු කරන්නට පුළුවන් - වීදිය පහල සිට වෙස්මූණු දාගත් මිනිසුන් දෙදෙනකු දිග ලී දෙකක් රැගෙන පැමිණෙති. ඔවුන් ගැලීලියෝගේ නිවස සහ ඉදිරිපස නිවසට පාන් ලී වල කෙලවර ගැට ගසා බෙදා දෙති.

වයසක කාන්තාව :- කිට්ටුව ගෙදරක කාන්තාවක් සහ ළමයින් තුන් දෙනෙක් සිටිනවා, ඔවුන්ටත් මොනවා හරි දීලා යන්න.

ගැලීලියෝ :- නමුත් මගේ ගෙදර හරියේ බොන්නට කිසිවක්ම නැහැ - ඔවුන් දෙදෙනා උරිස් සොලවති - හෙට ඔබලා එනවද?

මුහුණට වෙස් මුහුණක් දමා ගත් එක් මිනිසෙක් :- කාටද කියන්න පුළුවන් හෙට මොනවා වෙයිද කියලා.

ගැලීලියෝ :- ඔබලා එනවනම් හෙට මට කුඩා පොතක් ගෙනත් දෙන්න පුලුවන්ද,

මුහුණ වසාගත් එක් මිනිසෙක් :- පොතකින් මොකක්ද වෙනස් කරන්නට පුලුවන්, ඔබට පාන් ටිකක්වත් හම්බුනොත් ඔබ වාසනාවන්තයි කියලා කියන්න පුළුවන්.

ගැලීලියෝ :- මේ ළමයා මගේ සිසුවෙක් ඔහු, ඇන්ඩ්‍රියා පෙන්වයි, ඔහුට පුළුවන් ඒ පොත ඔබට ලබාදෙන්න. ඒ මර්කරි ග්‍රහයාගේ ගමන් පථය පෙන්වන සටහනක්. ඇන්ඩ්‍රියා, මගේ අතින් ඒක නැතිවෙලා, - ඔබට පුළුවන්ද මගේ පාසලෙන් පිටපතක් කරගෙන මේ අයට දෙන්න -
මිනිසුන් පිටව ගොස් ඇත.
ඇන්ඩ්‍රියා:- මම අනිවාර්යයෙන්ම ඒක ගන්නම් ගැලීලියෝ මහත්මයා.

ඔහු පිට වෙයි. ගැලීලියෝද නිවස ඇතුළට යයි. අනික් පැත්තේ නිවසින් වයසක කාන්තාව පැමිණ ගැලීලියෝගේ නිවසේ දොර ළඟ කිරි ජෝගුවක් තබා පිටවෙයි.






ගොවියන්ගේ වී ප්‍රශ්නය විසඳීම

 ලංකාවේ ගොවියන්ගේ වී විකුණා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබේ. ඔවුන් රුපියල් 150ක් වත් බලාපොරොත්තුවද දැනට වෙළඳපොළේ ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 80 ක...