Monday, April 6, 2020

2- ඉංග්‍රීසි ඉංජිනේරුවෙකු 1900 යේ දුටු කඳුරට ගමක් - 2



https://lakshmanillangakoon.blogspot.com/2020/04/1900.html සිට 


වනය සහ කැලෑව හරහා යන පාරේ නොයෙක් ආකාර ජීවිත වල ලකුණු දකින්නට පුළුවන. හුඹසක් තුලට තම දිග දිව ඇතුළු කර කෘමින් කමින් සිටින, අඩි 4 ක් පමණ දිග තලගොයෙකු අප දැක බියවී තුඹසේ පැත්තක ගුලකට රිංගයි. උසින් බොහෝ වැඩි ගසක මුදුනේ අත්තක සිට හීන් කොට්ටෝරුවෙකු  තම ඇඟ දෙපැත්තට වනමින් ටොක් ටෝක් හඬින් කෑ ගසයි. කොට්ටෝරුවෙකු මහ හඬින් කෑ ගසමින් පාර හරහා පනියි. ඌ තෙවරක් එසේ කෑ ගසයි. ඒ ඇරෙන්නට නිසලතාවය බිඳින්නට කිසිවක් සිදු වන්නේ නැත.
 මෙලෙස හේන් සඳහා ගිනි නොතැබූ වන ප්‍රදේශයකට පැමිණීම මහත් අස්වැසිල්ලකි. එහි වෘක්ෂලතා නොයෙකුත් විවිධාකාරයෙන් යුක්තය, උස ගස් පඳුරු කැලෑවෙන් බොහෝ ඉහලට උස්වී ඇත. ගිනිතැබීම් නිසා විනාශ වී ඇති කැලයෙන් මෙම කැලයට ඇතුලුවන විට දැනෙන්නේ මහත් සහනයකි.
මේ අලින්ගේ වාසස්ථානය බව විශාල පිය සටහන් වලින් සහ තැනින් තැන කඩා දමා ඇති කුඩා අතු වලින් පෙනේ. තරමක් පැත්තකට නැමුණු ගසක අලියෙකු තම පිට අතුල්ලා ඇති බව එහි තැන තැන හමගිය පොත්තෙන් පෙනේ.
තවත් හේන සඳහා සුද්ද කර ඇති කැලෑ ප්‍රදේශයක් පසුකල පසු මාවත ගමේ වැවේ එක බැම්මක් වෙතට දිවෙයි. මෙවැනි වැවක  සාමාන්‍යයෙන් අක්කර දෙකේ සිට සියය දක්වා ප්‍රමාණයක විසිරී ඇති; සාමාන්‍යයෙන් අක්කර 20 ක් 50 ක් පමණ වන, තුනී ජලය තට්ටුවක් දකින්නට පුළුවන.
වැව් බැමි වල මිටි තණකොළ වැවී තිබුණු අතර, බැමි සාමාන්‍යයෙන් සැතපුමකින් 1/8 සිට සැතපුමක් පමණ දිගින් යුතු විය. උසින් අඩි 9 සිට 16 දක්වා වූ මෙම බැමි මුදුනේදී පළලින් අඩි 6 ක් පමණ වූ අතර, ජලය පතුලේ මට්ටමෙන් අඩි කිහිපයක් ඉහලට එසවී තිබිණ.
අප මෙතෙක් පැමිණි පිළිස්සුනු බිම හා සසඳන විට වැව් දර්ශනය ඊට හාත්පසින්ම වෙනස් මනරම් දර්ශනයක් ලබාදෙයි. මේ හා සමකල හැකි අලංකාර දර්ශනයක් පෘතුවිය මත තවත් ඇත්තේදැයි කියන්නට නුපුළුවන. මෙහි කෙනෙකුට ගසක සෙවනේ ඉඳගෙන ස්වභාවික පරිසරය පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන. ඝෝෂාකාරී කර්මාන්තශාලා, වේගයෙන් දුවන දුම්රිය සහ වාහන, ජනයාගෙන් පිරුණු, නගර වලින් පිරුණු, කලබල සහ පීඩනයෙන් පිරුණු කෘතීම ලෝකය, භයානක සිහිනයක් මෙන් සම්පුර්ණයෙන්ම නොපෙනී යන්නට හැරිය හැක.
මෙහි පවතින්නේ නිශ්ශබ්ද වූ සාමයයි; අවුරුදු 2000 ක් පමණ වෙනසක් නොවූ, තවත් එවැනිම කාලයක් එලෙසම පැවතිය හැකි සාමයයි. කලබලයෙන් පිරුණු බටහිර ශිෂ්ටාචාරය එතරම් කාලයක් පැවතිය හැකිදැයි කෙනෙකුට සැක සිතෙයි. එය එහි තාපයෙන්ම පිලිස්සී ගොස් එයට පෙර තිබු මියගිය ශිෂ්ටාචාරය නැවත පැමිණෙන්නට පුළුවන.
අවට පරිසරය විසින් සිතට ඇතුලු කරන එවැනි දහවල් සිහින වලින් අවදිවන අප වටපිටාවට සිත යොමු කරමු. වැවේ දෙපැත්තේ සහ බැම්මේ පිට පැත්තේ මහා වෘක්ෂයන් වැවී ඇත. සමහරක් විශාල කඳන් වල ශක්තිය වැඩිකර ගැනීමට ඝන මුල් එම ශක්තිය අවශ්‍ය පැත්තෙන් වැවී ඇත. ඉර ආලෝකය ලබාගැනීමට විශාල අතු එක පැත්තකින් වැවෙන විට, එම අතු කඩා නොවැටෙන්නට මුල් වැනි ආධාරක බොහෝ ඝනකමට අඩි 10 ක් 15 ක් උසට වැවී තිබේ. හරියට ඉංජිනේරුවෙකු විසින් නිර්මාණය කලාක් මෙන් මෙවැනි අධික බරක් ඇති අතු නොවැටී තබාගැනීමට එවැනි මුල් දෙකක් පමණද අතු තිබෙන පැත්තට විරුද්ධ පැත්තේ කඳේ  උදව්වට තවත් එවැනි මුල්ද වර්ධනය වනු දැකිය හැක.
එහිද නොයෙකුත් වර්ගයේ සත්වයන් ගෙන් අඩුවක් නැත්තේය, වැවෙන් වතුර බීමට පැමිණි වඳුරන් රැලක් ගස් වල සිට, ආගන්තුකයන් වන අප  උනන්දුවෙන් නිරීක්ෂණය කරති. එසේත් නැත්නම් ගස්වල අතු මත නිවිසැනසිල්ලේ ඇවිදිති. සමහරක් වඳුරන්ගේ සිරුරේ පැටවුන්ද එල්ලී සිටිනු පෙනේ.
 සමහර වැව් වල මැද ඇති කළු ගල් මඩ පැහැති කිඹුලන්ට නිවාසයක් වෙයි. කුඩාම වැව් කිහිපයක හැරෙන්නේට අනික් සියල්ලේම පාහේ කිඹුලන් වාසය කරති. උන් අතරමංවූ පර බල්ලන් ලෙසට එම ගල් මත නිදාගෙන සිටිති. උෂ්ණත්වයෙන් බේරීමට මෙන් කටවල් අරගෙන සිටියද, එම උෂ්ණත්වයෙන් බේරෙන්නට ඔවුන් කිසිම උත්සාහයක් ගන්නා බවක් නම් නොපෙනේ.
කළු පැහැති ලොකු දියකාවන්  කිහිප දෙනෙකු සහ කුඩා රාජාලින්  දෙතුන් දෙනෙකු ඒ ගලේම තවත් පැත්තක විඩා  හරිති. ඒ අතරම කළු ඉබ්බන් කිහිප දෙනෙකු ; ආහාරයට ගන්නා දුර්ලභ කිරි ඉබ්බන් නොවේ, ජලයට කිට්ටුවෙන් සිටිනු දැකිය හැක. වතුරේ ඇති කෝටුවක ඉඳගෙන සිටිනා මාළු අල්ලන කුරුල්ලෙකු වතුර දෙස බලා සිටි. නයෙකුගේ මෙන් දිග බෙල්ලකින් යුත්, මාළු ගොදුරට වඩා වේගයෙන් පිහිනිය හැකි ඌ තම පළල පියාපත් අව්වෙන් වේලා ගනියි. උගේ සහකරු තම ඔලුව සහ බෙල්ල පමණක් ජල මට්ටමෙන් උඩට තබා ගනිමින් මාළුවෙකු පසුපස පිහිනයි.

4 comments:

  1. පහත ලින්කුවේ දක්වා ඇති පොත මා මිලට ගෙන කියෙව්වා. එහි සදහන් වන්නේ ඔබ ගැනද ලක්ෂ්මන්?

    පොතේ කවරය මෙතැනින්

    උපාලි

    ReplyDelete
    Replies
    1. ඔව් වහි මම ගැනත් ලියා තිබෙනවා

      Delete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...