Friday, April 10, 2020

අනර්ත්යා සෙන් සහ ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ ප්‍රශ්නය




ඉන්දියාවේ ආර්ථික විද්‍යාඥයෙකු වන අමර්තයා සෙන්,  ලෝකයේ මේ කොනට  ඉතාමත් කලාතුරකින් ලැබෙන ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය. ඔහු බංගලි ජාතිකයෙකු වුවද ,  දෙමව්පියන් කල්කටාවේ ජීවත් වූ නිසා තම පුරවැසියෙකුට මෙලෙස නොබෙල් තෑග්ගක් ලැබීමේ ගෞරවය බංගලා දේශයට හිමි නොවී, ඉන්දියාවට හිමිවීම බංගලාදේශ ජාතිකයන්ට මහත් කනගාටුවට කාරණයක් වන්නට ඇති බව සිතන්නට පුළුවන.
ඔහුට අමර්ත්‍ය යනුවෙන් නම තබන ලද්දේ රබින්ද්‍ර නාත් තාගෝර් බව කියනු ලැබේ.
එංගලන්තයේ සහ ඇමරිකාවේ බොහෝ විශ්ව විද්‍යාලවල ඉහල තනතුරු දැරූ ඔහු දැන්, හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයාද වෙයි. 1981 වර්ෂයේ සෙන් දුර්භික්ෂයන් සම්බන්ධව කරන ලද පර්යේෂණ සම්බන්ධව පොතක් ප්‍රකාශ කළේය. ඔහු එම පොතෙන් තර්ක කලේ දුර්භික්ෂය ඇති වන්නේ ආහාර හිඟයන් ගෙන් නොව, ආහාර බෙදා හැරීම සඳහා ඇති යාන්ත්‍රණයේ ඇති වී තිබෙන යම් අඩුපාඩු නිසා බවය.
දුර්භික්ෂයක්ම කියන්නට බැරි වුනත්, දැන් පවතින පුරවැසියන්ට තමන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට ඇති දුෂ්කරතාවය සහ නිෂ්පාදනය කරන්නන්ට, තමන්ගේ නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට නොහැකි වීම, යම් තරමකට අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයේ කඩා වැටීමක් බව පෙනේ.
සෙන් ඔහුගේ අධ්‍යයනයට යොදා ගත් බෙංගාලි දුර්භික්ෂය සිදු වන්නේ 1943 වසරේදීය. නමුත් අප දැන් ජීවත්වන්නේ 2020 වසරේය. මෙම කාල වකවානු දෙක අතරේ අවුරුදු 80 ක පමණ කාල වෙනසක් ඇත්තේය. මෙය අවුරුදු 80 ක කාලය පමණක වෙනසක් නොවේ. එම කාල වෙනස ලෝකයේ බොහෝ ශීඝ්‍ර අන්දමින් අප ජීවත් වන්නට යොදා ගන්නා තාක්ෂණ දියුණු විය, වෙනස් විය. විශේෂයෙන්ම සන්නිවේදනයේ දියුණුව කිසිම කෙනෙකු අනාවැකි පල නොකල, එසේම නොසිතු විරූ අයුරින් දියුණුවට පත් විය. විශේෂයෙන්ම මිනිසුන්ට තනි තනිව, තනියම කණ්ඩායමක් සමග සහ කණ්ඩායමක් අතර සන්නිවේදනය, ඉතාමත් පහසුවෙන් ක්ෂණිකව ඉතාමත් සුළු  මුදලකට එසේත් නැත්නම්, මුදලක් වියදම් නොකරම කරගන්නට හැකිවන තරමට දියුණු වී ඇත්තේය.
උදාහරණයකට මම සහ බිරිඳ මේ ලඟකදී (කොවිඩ් වසංගතයට පෙර) දඹදිව වන්දනාවේ ගොස්, එහි ගතකල දවස් 10 ටම නිවසට සහ පිටරට සිටින දුවට දිනපතා සන්නිවේදනය කිරීමට සත 5 ක් වත් වියදම් වුයේ නැත. අපි whatsapp සහ හෝටල් වල නොමිලේ wifi වලින්ම වැඩේ දුන්නෙමු.
අපේ රටේ රජයන් බොහෝ දියුණු රටවලට වඩා වෙනස් ආකාරයෙන් ආහාර සහ වෙනත් සැපයුම් සඳහා නිෂ්පාදකයන් සහ පාරිභෝගියන් අතර අතරමැදියෙකු වන්නට සැමවිටම උත්සාහ කළේය. වී අලෙවි මණ්ඩලය, සමූපකාර ව්‍යාපාරය, සතොස එසේම සේවා සඳහා දුම්රිය, ලංගම, ශ්‍රීලන්කන්, වැනි ආයතන හරහාද, එම භාණ්ඩ සහ සේවා සැපයීමට අතරමැදියෙකු වීමට උත්සාහ කළේය. මේවායේ දේශපාලනීකරණය වීමෙන් සහ දූෂණ වංචා, අප රට කාන්තාවන් බැල මෙහෙවරට පිටරට යැවීමට තරමට අප දුප්පත් විය.
දැන් අප මෙම කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමේ අරමුණෙන් මේ කරන්නාවූ lockdown එකෙහිදීද, ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රනය මෙවැනි අසාමාන්‍ය අවස්ථාවකට මුහුණදීමට වෙනස්කර ගන්නේ නොමැතිව, නැවත වරක් රජයේ යකඩ හස්තය යොදා ගැනීමට කල්පනා කිරිම, කිසිසේත්ම කරන්නට සිතිය යුතු නොවේ.
එසේනම් මේ සඳහා කලයුත්තේ කුමක්ද? අප වෙත ලැබී ඇති තාක්ෂනය මේ සඳහා පාවිච්චි කිරීමය. ඇත්තෙන්ම ඊමෙල්, වට්සැප්, වයිබර්, වැනි තාක්ෂණයන් යොදාගෙන, නිෂ්පාදකයන් සහ පාරිභෝගකයන් අතර පාලමක් එසේත් නැත්නම් දැන් කියනා පරිදි වේදිකාවක් හදා දීමය.
මේ සඳහා හමුදාව යෙදවීම, එසේත් නැත්නම් අතරමැදි වෙළෙන්දන් අල්ලා සිරගත කිරීම, වැනි දරුණු තදබල ක්‍රියාවන් කරන්නට කිසිම අවශ්‍යතාවයක් නැත. ආහාර නිෂ්පාදනය කරන්නන් සහ පාරිභෝගකයන් කතා කරන්නට සැලැස්වීම පමණි. ඔවුන් කතා නොකරන තාක් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත. රජය කලයුත්තේ ඔවුනට කතාකර හෙට්ටු කර, දෙපැත්තටම සාධාරණයක් වන පරිදි ඔවුනට ගනු දෙනුවක් කරගන්නට ඉඩ සැලැස්වීමය. 
 මේ වැඩේ කරන්නට අමර්ත්‍යා සෙන් ගෙන්නන්නට අවශ්‍ය නැත. ඒ තරම් ලොකු මුදලක් වියදම් වෙන්නෙත් නැත. මට දෙනවා නම් මම මිලියන දෙකක පමණ මුදලකින් කර පෙන්වමි.

1 comment:

  1. එළවලු ගොවියො තමන්ගෙ එළවලු කොරටු අත අරින තත්ත්වයකට පත්වෙලා. ඇදිරිනිතිය දාල මේ තත්ත්වය වළක්වාගන්න උත්සාහ කරනව වගේ ගොවියා දෙසත් බලන්න ඕනෙ. මොකද එහෙම නූනොත් වී ඇටයක් පැල කර ගන්න බැරි මිනිස්සු ඉස්සෙලාම මැරෙනවා

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...