Sunday, April 12, 2020

අවුරුදු 150 කට පෙර අවුරුදු කෑම




මෙම නිරීක්ෂණයන් අවුරුදු 130 කට පමණ පෙර හෙන්රි පාකර් නම් ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩකළ ඉංජිනේරුවෙකු විසින් ලියන ලද්දකි.

සාමාන්‍ය ගැමි ජීවිතය කිසිම විනෝදයක් නැති එකකි. ඔවුනට යම් හෝ සතුටක් ලැබෙන්නේ අසනීප සඳහා කෙරෙන බලි තොවිල්, ඉඳහිට ඇතිවන නඩු හබ සහ විවාහ මංගල්‍යය වලිනි. විවාහ උත්සව හොඳ ආහාර වේලක් ගන්නට, ඇඳුම් සහ ආභරණ ප්‍රදර්ශනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ වුවද, කුල ප්‍රශ්න සහ පවුල් අතර ඊර්ෂ්‍යාව නිසා ඉඳහිට ආරවුල් ඇති නොවන්නේද නොවේ.

ප්‍රසිද්ධ විහාරස්ථාන වලට වන්දනාවේ යාමද කණ්ඩායම් වශයෙන් සිදු කරති. එංගලන්තයේ මෙන්ම එවැනි කණ්ඩායමක සංයුතිය සාමාන්‍යයෙන් දහයෙන් නමයක් පමණ කාන්තාවන් වෙයි.

ගැමි ජීවිතයේ එක් ප්‍රසන්නම අවස්ථාවක් වනුයේ පවුල එකට එකතු වීමය. මෙය සිදුවනුයේ අප්‍රේල් මස 11 හෝ 12 වන දිනය. මේ සඳහා සියලු දෙන තමන්ගේ මහගෙදරට එකතු වෙති. ඒ සමගම ත්‍යාග හුවමාරු කර ගනිති. ඔවුන්ගේ මිතුරන් සහ නෑදෑයන් ගේ නිවෙස් වලට අලුත් ඇඳුමෙන් සැරසී යති. පිරිමි මෙලෙසටම තම ගම් ප්‍රධානින් හමුවන්නටද, ඔවුන් තමන්ගේ ඉහල නිලධාරින් හමුවන්නටද යති. සැතපුම් 90 ක් දුර දුවිලි සහිත මාර්ගයේ මෙවැනි හමුවක් සඳහා පවුල් පිටින් පයින් ගමන් කරන, පවුල් මම දැක ඇත්තෙමි.

උත්සවයට සති 3 කට පමණ පෙර සිට, මුළු ගමම මේ සඳහා ලක ලෑස්ති වෙති. නිවෙස් අලුත්වැඩියා කෙරෙති, කෙසෙල් කන් සහ සීනි; සමහරවිට බොහෝ දුර සිට, එකතු කරති. දෛනික වැඩ කටයුතු සියල්ල යටපත් වී, සියලු දෙන සිතන්නේ මෙම පැමිණෙන උත්සවය පිලිබඳවය. මේ කාලය නැකත් බලන්නන්ටද වැඩ අධික කාලයකි. ඔවුහු ලිප ගිනි මෙලවිමට, ආහාර පිසීමට සහ දවස් තුන හතරකට පසුව හිස තෙල් ගෑමට දිනයන් සහ වේලාවන් ගණනය කල යුතුය. මෙම උත්සවයට පිළියෙළ වෙද්දී වෙනත් කිසිම වැඩක් හෝ ගමනක් ආරම්භ කරන්නේ නැත.

බොහෝ ගම් වල කාන්තාවන් අඳුරු සැගවුම් ස්ථානයකින්, මේ කාලයට කුඩා අවපාත 14 ක් ඇති ලෑල්ලක් එලියට ගනිති. මෙම අවපාත සාදා තිබෙන්නේ 7 බැගින් පේලි දෙකකටය. පෞරාණික ක්‍රීඩාවක් වන ඔලිඳ නමැති ක්‍රීඩාව කරන්නේ මෙම ලෑල්ල මතය. ලෑල්ල දෙපස ඉඳ ගන්නා කාන්තාවන් දෙදෙනෙක්; මෙම ක්‍රීඩාව කරන්නේ කාන්තාවන් පමණි, රතු ඔලිඳ ඇට මෙම අවපාත මත දමති. ඔවුන් මෙම ක්‍රීඩාවේ අති දක්ෂ වන අතර, සමහර විට පැය 4 ක් පමණ එක දිගටම ක්‍රීඩා කරති. අවුරුදු උත්සවය අවසන් වූ පසු එම ලෑල්ල සඟවන ස්ථානයට ආපසු යන අතර, නැවත එලියට එන්නේ ඊළඟ අවුරුද්දටය. පහත රට බලපෑම ඇතිවී ඇති ගම්වල දැන් සුදු කෙලිම පැතිරී ඇති අතර, පිරිමි මෙයින් මහත් ආශ්වාදයක් ලබති.

අවුරුදු දෙකකට පමණ වරක් තෙලිඟු, කැඩිච්ච සිංහල සහ දෙමල කතා කරන අහිගුන්ටක කණ්ඩායමක් මාර්ගයේ පැමිණ, පාර අයිනේ වැවක් අසල එලිමහනක කඳවුරු බඳිති. ඔවුන්ගේ කුඩා කූඩාරම් සැදීම සඳහා යොදාගන්නා වේවැල් සහ තල් අතු බූරුවන් පිට රැගෙන එන අතර, අනෙකුත් ඉවුම් පිහුම් උපකරණ කාන්තාවන් සහ ළමයින්ගේ ඔලුව උඩ ගෙනෙති. මෙවැනි සමහර කණ්ඩායම් එළුවන් රංචුවක්ද රැගෙන පැමිණෙති.


ඔවුහු අඩි 4/5 පමණ උස කුඩාරම් ටික තෝරාගත් පිටියේ තනා  ඉවරවූ පසු, කුඩා  දරුවන් ළමයින්ගේ සහ වයසක කාන්තාවන්ගේ බාරයේ තබා, මුදල් සහ ආහාර එකතු කරන්නට අවට ගම් වලට යති. පිරිමි කළු පාට වේවැල් පෙට්ටියක් රෙද්දකින් කරේ එල්ල ගෙන යති. එහි නයෙකු හෝ දෙදෙනෙකු දමාගෙන යන්නේ නැටවීම සඳහාය. නටන බව කීවද එම නයි රවුම් ගැසී අඟල් 15 ක් පමණ තම පෙනය ඔසවාගෙන, නලාවක් පිඹිමින් ඉඳගෙන සිටින අයිතිකරු ගේ රිද්මයකට සොලවන දනිහට හෝ අතට, තම පෙනයෙන් පහරදීමට උත්සාහ කරති. කාන්තාවන් මේ අතර අල්ලේ රේඛා කියවමින් මිනිසුන්ගේ වාසනාව කියති.


5 comments:

  1. එහෙම සටහනක් කියවීමත් ආස්වාදජනකයි ඒතමයි නියම සිංහල අවුරුදු සැමරූ අකාරය
    විචාරක දියණිය

    ReplyDelete
  2. හරිම ලස්සනයි. අර 'සාමාන්‍ය ගැමි ජීවිතය විනෝදයක් නැති එකකි' කියල කියපු එක නම් තරමක් විවාදාත්මකයි. ඒකට හේතුව අද කාලයේ තරමක් සමාන වුනත් ඒ කාලයේ නම් බටහිර සහ ආසියානු ජීවිත රටා අතර විශාල වෙනසක් තිබුණා. ඒ නිසා බටහිර ජීවිත රටාවකට මනස හැදුන කෙනෙකුට ආසියානු මනස හෝ එහි අය සතුටු වෙන ආකාරය ගැන තේරුම් ගැනීමට නොහැකිවීම. මට හිතෙනවා ඒකාලයේ ආසියානු ගැමියා බටහිර වාසීන්ට වඩා මනසින් දියුණු මට්ටමක සිටියා කියා.

    ReplyDelete
    Replies
    1. කිතුල් ගස් මැදලා රා හදන්න ඇතිනේ? ඉතිං විනෝදයක් නැතිය කියන්නේ කෙසේ ද?
      කොටු පැනීම වැනි ජාතික ක්‍රීඩාත් තියෙන්න ඇති!

      Delete
  3. හරිම වැදගත් සටහනක් . හොයාගෙන බෙදා ගත්තාට ස්තුතියි.

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...