Friday, January 4, 2019

ගිනි බොක්කේ මුහුදු කොල්ල කරුවන් පාලනය කිරීම 1




ගිනි බොක්කේ මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීම.
මම අවුරුදු 33 ක නාවික සේවයෙන් පසුව විශ්‍රාම ගෙන සතියක් ඇතුලත මා සමග නාවික හමුදාවේ සේවය කල මට පෙර විශ්‍රාම ගොස් සිටි  මිත්‍රයකු මාර්ගයෙන් මට පෞද්ගලික ආයතනයක රැකියාවක් සදහා ආරාධනාවක් ලැබිණ.

කන්ද උඩරට මහනුවර හැඳී වැඩී පදිංචි වී සිටි මම, මගේ අවුරුදු 33 ක සේවා කාලයම සේවය කර තිබුනේ නිවසින් පිටය. මාසයකට වරක් දෙකක් දවස් දෙක තුනක් නිවසේ සිටි කාලය හැර අනෙක් මුලු  කාලයම වාගේ ගත වී තිබුනේ සේවය කරන ස්ථානවලය. මේ නිසා මම විශ්‍රාම ගන්නා තෙක් බලා හිටියේ ගෙදරට වී නිදහසේ කාලය ගත කිරීමටය. එකල මා සභාපතිවරයාව සිටි මහනුවර ටෙනිස් සමාජයේ සෑම දිනකම පාහේ ටෙනිස් ක්‍රීඩා කරන්නටත්, මා ආසා කරන පොත් පත් කියවීමට හා ලිවීමටත්, උද්‍යානය මනා ලෙස පවත්වාගෙන යාමටත් විශාල බලාපොරොත්තු සිතේ පුරවාගෙන  සිටියෙමි.

එහෙත් එම ආයතනයෙන් මට ගෙවන්නට බලාපොරොත්තු වන වැටුප ඇසූ පමණින්ම මගේ ඒ නිසංසල ජීවිත බලාපොරොත්තු එක්වරම සම්පූර්ණයෙන්ම පසෙකලා මම ඔවුන් සමග එකතුවීමට එකඟ වුනෙමි. ඒ එම ආයතනයෙන් මට ගෙවන්නට බලාපොරොත්තු වන වැටුප මා අවුරුදු 33 ක් සේවය කර හමුදාවේ ධජ නිලධාරියෙකු තෙක් උසස්වීම් ලැබ ලබා ගත්තාවූ වැටුප මෙන් 5 ස් ගුනයකටත් වඩා වැඩිවීම නිසාය.

මම අප්‍රේල් මස 25 වනදා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (AGMS) උපදේශක වරයෙකු වශයෙන් සේවයට බැඳීම සිදුවූයේ මේ ආකාරයටය. මා එම ආයතනයේ සේවයට බැඳෙන විට එහි මූලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් වූයේ,

1.බටහිර ඉන්දියානු සාගරයේ මාස ගණන් මුහුදේ ගතකර; සමහර විට මාස 8/12 දක්වා, බල මාළු දීර්ඝ ලයින් වලින් අල්ලන ලෝන්ග් ලයිනර්ස් නැමැති විශාල ට්‍රෝලර් යාත්‍රා වලට මුහුදු කොල්ලකරුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට සන්නද්ධ මුහුදු ආරක්ෂකයින් යෙදවීම.

2.බටහිර ඉන්දියානු සාගරයේ මුහුදු කොල්ලකරුවන්ගේ අවදානමක් ඇතැයි අන්තර් ජාතික ආයතන මගින් දැනුම් දී ඇති  කලාපය හරහා යන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සදහා නෞකාවල භෞතිකව ගමන් කරන මුහුදු ආරක්ෂකයන්ගේ ආයුධ කලාපයේ කෙලවරදී ආරක්ෂා සහිතව තැන්පත් කර තැබීම සදහා ගබඩා පහසුකම් සැපයීම.

3.මුහුදු කොල්ලකරුවන් ක්‍රියාකාරීයැයි අදාල අන්තර් ජාතික ආයතන මගින් ප්‍රසිද්ධ කරඇති ප්‍රදේශ තුලින් ගමන් කරන වෙළඳ නෞකා වලට ආයුධ සහිත මුහුදු රැකවලුන් (sea marshals) සැපයීම.

4.ගාල්ලේ, සුඩානය අසල මුහුදේ සහ මැද පෙරදිග අසල, එකල තිබූ මුහුදු කොල්ල කරුවන් ක්‍රියාත්මක වූ ප්‍රදේශය වටා ආරක්ෂිත කලාපයෙන් බැහැරට යන නෞකා වලින් ආයුධ එකතුකර ගැනීම සහ කලාපයට ඇතුලු වන නෞකා වලට ආයුධ සද්නද්ධ රැකවලුන් ලබාදීම සදහා සුරක්ෂිත ආයුධ ගබඩා සහ රැකවලුන්ට නවාතැන් පහසුකම් ලබාදීම.

මා ආයතනයට සම්බන්ධ වන විට මෙම කටයුතු සියල්ලම පාහේ ක්‍රියාත්මක වෙමින් තිබුණි. මා පැමිණෙන විට ආයතනයේ සභාපතිවරයාගේ පැය විසි හතරේම වැඩ කරන ව්‍යාපාර ඥානය නාබි ගත වී තිබුනේ අප එකල ක්‍රියාත්මක වී සිටි බටහිර ඉන්දීය සාගරයෙන් බොහෝ දුර පිහිටා තිබූ අප්‍රිකා මහා ද්වීපයේ අනෙක් පැත්තේ ගිනි මුහුදු බොක්ක වෙතය.

ගිනිබොක්ක යනු අත්ලාන්තික් සාගරයේ පිහිටි නයිජර් සහ වෝල්ටා ගඟවල් මුහුදට ගලන දූපත් බොහෝ ගණනක් ඇති පහත රටවල් වල දේශ සීමාවන් හා ගැටෙන මුහුදු බොක්කකි.

ලයිබීරියාව, අයිවරිකෝස්ට්, ඝානා, ටෝගෝ, බෙනින්, නයිජීරියා, කැමරුන්, ඉක්විටෝරියල් ගිනි, ගැබොන්, සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ, කොංගෝ සමූහ ආණ්ඩුව, ඩී.ආර්.කොංගෝ සහ ඇන්ගෝලා යන රටවල් මෙම බොක්ක වට පිහිටි රටවල්ය.

මෙම බොක්කේ 2011 වන විට මුහුදු කොල්ල කෑම් අධිකව සිදුවන්නට පටන් ගත්තේය. 2013 පමණ වන විට ඔවුන් විසින් කොල්ල කන්නට උත්සාහ කරන ලද නැව් ප්‍රමාණය වසරකට 100 ක් පමණ විය. නයිජීරියාව ලෝකයේ ප්‍රධානතම තෙල් නිපදවන්නෙකු නිසා මෙම බොක්කෙන් නයිජීරියාවේ වරාය වලට යන එන නෞකා වලට මෙම භයානක තත්වය තදින්ම බලපෑවේය. ඒ පමණක් නොව අවට රාජ්‍ය වලද නාවික වෙළදාම මෙම ප්‍රශ්නය නිසා සීඝ්‍ර පසුබෑමකට ලක්විය. 

උදාහරණයක් වශයෙන් අසල ඇති බෙනින් සමූහ ආණ්ඩුවේ කොටොනු වරායේ වාණිජ නාවික කටයුතු ඊට පෙර අවුරුද්දට වඩා 70% කින් අඩු විය.

අපේ පොලිසිය


මේ ලඟකදී මම අප රටේ හමුදාවන් දියුණු කල යුත්තේ කෙසේදැයි සිතා ඒ පිළිබඳව කෙටි සටහනක් ලිව්වෙමි. ඉන්පසු අපගේ පොලිසිය කුමන ආකාරයෙන් වෙනස් කළහොත් ජනතාවට වැඩියෙන් සේවය කල හැකී දැයි කල්පනා කලෙමි. මේ එහි ප්‍රතිපලයයි.
.  
1.  සෑම රාජකාරියේ සිටින රථ වාහන අංශ පොලිස් නිලධාරියෙකුගේම ඔහුගේ ඉදිරිය පෙනෙන පරිදි කැමරාවක් සවි කිරීම. (දැනට මෙම ක්‍රමය ඇමරිකාවේ ආරම්භ කර ඇත) . මෙමඟින් පොලිස් නිලධාරින් රාජකාරි වෙලාවලදී කරන කියන දෑ පටිගත වන අතර ඔවුන් යම් වැරදි වැඩක් කරන්නේ නම් හෝ දුෂණයේ යෙදෙන්නේ නම් එය සොයාගත හැක.
2.  ප්‍රධාන මාර්ග, හන්දි සහ සංඥා එළි යනාදී මාර්ග නීති කඩකල හැකි සෑම තැනකම පාහේ  සී.සී.ටී.වී. සවිකර සුළුවෙන් හෝ නීති කඩන්නන්ට එමගින් දැඩි දඬුවම් පැමිණවීම. මෙම ක්‍රමවේදය පුළුල් ලෙස යොදාගැනීමෙන් පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් නොයොදා නිතිය සහ සාමය ආරක්ශා කිරීමට හැකියාව ලැබේ.
3.  රථ වාහන පාලනය සහ අපරාධ පරීක්ෂණ සදහා නව දියුණු තාක්ෂණය යොදා ගැනීම. .සැම දුම්රිය හරස් පාරකම ආරක්ෂණ ක්‍රම වේදයක් අතිකිරීමද මෙයට ඇතුළු වෙයි.
4.  අපරාධ සහ මාර්ග අනතුරු වැලැක්වීම, නව ක්‍රමවේද යොදාගැනීම  සහ අපරාධ විසඳීම  මාපකයන්  ලෙස ගෙන (YOY), පළාත් භාර නිලධාරින් , දිස්ත්‍රික්ක ප්‍රධානින් සහ  පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු ඇතුලු කොට්ඨාශ භාර නිලධාරීන්ට දිරිගැන්වීම් ලබාදීම. ඔවුන්ගේ රැකියාවේ දියුණුවද මේ මත රදා පවතින ලෙසට ක්‍රමවේද සකස් කිරීම.
5.  පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස නීති උපාධිධාරීන් පමණක් පත් කිරීමට ක්‍රම වේදයක් ඇතිකිරීම. මෙම සුදුසුකම් සඳහා පොලිසිය තුලින්ම නීති පිටය හෝ නීති විද්‍යාලය මගින් පාටමාලාවක් පවත්වා එයින් හොඳින් සමත්වන්නන් තෝරාගැනීමෙන් දැනට පොලිසියේ සිටින නිලධාරින්ට අසාධාරණයක් සිදු නොවනු ඇත.
6.  සැම පොලිස් ස්ථානයකම කටයුතු කරන ආකාරය මාස තුනකට වරක් පරික්ෂාකර ඒවා වඩා හොඳට කරන්නේ කෙසේදැයි ඔවුන් සමග සාකච්චා කිරීමටත් ඔවුන්ගේ රාජකාරි වඩාත් කාර්යක්ෂමව කළහැකි ආකාරයන් යෝජනා කිරීමට 10 දෙනෙකුගෙන් පමනයුත් කමිටුවක් පත්කිරීම. මෙම කමිටුවට යම් නිශ්චිත පුද්ගලයන් පත්කිරීමට ක්‍රමවේදයක් සැලසීමෙන් මේ සඳහා අනවශ්‍ය දේශපාලන පත්වීම් නැවැත්විය හැක.උදාහරණයක් වශයෙන්

·      කොට්ටාශයේ වැඩියෙන්ම ආදායම් බදු ගෙවන තිදෙනා
·      කොට්ටාශයේ වැඩියෙන්ම විශ්‍රාම වැටුප් ලබාගන්න රජයේ විශ්‍රාමිකයන් දෙදෙනා
·      කොට්ටාශයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් වගාකරන ගොවියන් දෙදෙනා
·      කොට්ටාශයේ වැඩිම සේවකයන් ගණනකට රැකියාවන් ලබාදී ඇති පුද්ගලයන් දෙදෙනා යනාදී වශයෙන්
පත් කිරීමට අණ පනත් ඇතිකළ හැක්කේය.
 
7.  මෙලෙසම පොලිස් ප්‍රදේශද කුඩා කොටස් වලට කඩා ඒවායේ වගකීමද කනිෂ්ඨ නිලධාරීන්ට ලබා දී ඔවුනටද ඉහත පරිදි දිරිගැන්වීමේ ක්‍රමයක් ඇති කිරීම.
8.  දිස්ත්‍රික්කයකට එක බැගින් STF කඳවුරු පිහිටුවා ඒ සැම කඳවුරක් හා සම්බන්ධව ක්ෂණික මෙහෙයුම් කණ්ඩායමක් හෙලිකොප්ටරයක් සහිතව ඇතිකිරීම. යුද්ධය නිමා වී ඇති නිසා මෙම හෙලිකොප්ටර අවශ්‍යතාවය ගුවන් හමුදාවෙන් ලබාගත හැකි අතර දිස්ත්‍රික්කය තුල ඕනෑම හදිසි අවශ්‍යතාවයකට විනාඩි 10 ක් ඇතුලත මෙම ක්ෂණික විහිදුම් කණ්ඩායමට පැමිණිය හැකි වන පරිධි එය සංවිධානය කිරීම.
9.  පොලිස් වාර්තා ලබාගැනීම සහ රථවාහන වැරදි සඳහා දඩ මුදල් ඔන්‍ ලයින් කළහැකි වන ආකාරයට; පොලිස් කාර්යාල වෙත නොයා කරගැනීමට හැකිවන සේ නව තාක්ෂනය යොදා ක්‍රම වේදයක් ඇතිකිරීම
මේ අපේ පොලිසියට මගේ wish list එකයි.

Thursday, January 3, 2019

අනෙකුත් ගිවිසුම්





.........මෙම රටවල් දෙක ; චීනය සහ කොස්ටාරිකාව,  ඇතිකරගෙන තිබෙන ගිවිසුම් දෙස බලනවිට අපට කරුණු කිහිපයක් නිරීක්ෂණය කල හැක. ඉන් පළමුවැන්න, මෙම ගිවිසුම් බොහොමයක් සිදුව ඇත්තේ මෑත කාලයේ, එනම් 2000 වසරට පසුව බවයි. අනෙක් කාරණය මෙම ගිවිසුම් ගතවීම් වලට රටේ ප්‍රමාණය , තම රටේ භූගෝලීය කලාපය  හෝ හැකියාවන් බල නොපාන බවයි. අනෙක් කාරණය කාලයත් සමගම ගිවිසුම් ගතවීමේ ප්‍රවනතාවය එසේත් නැත්නම් සිඝ්‍රතාවය  අන්තර්ජාතික වශයෙන්  වැඩිවී ඇති බවයි.

මෙම උදාහරණ කිහිපයෙන්ම මෙම ගිවිසුම් තවත් වර්ග කිහිපයකට බෙදිය හැකි බව පෙනේ. ඒ ගිවිසුම්ගත වන රටවල් ප්‍රමාණය අනුවය. ඒ අනුව මෙම ගිවිසුම් රටවල් දෙකක් අතර, රටවල් කිහිපයක් අතර, රටවල් කිහිපයක සංවිධානයක් සහ රටක් අතර[1] සහ  රාජ්‍ය සංවිධාන දෙකක් අතර යනුවෙන් වර්ගීකරණය කල හැකි වෙයි.

මේ අතර ගිවිසුමේ අන්තර්ගතය සහ එහි අරමුණු  අනුවද ගිවිසුම් අතර වර්ගීකරණයක් සිදුකල හැක. ඒ අනුව
·        ආර්ථිකය සහ මුල්‍යමය ගිවිසුම් ගත වීම - එක්සත් යුරෝපය සහ එක්සත් රාජධානිය
·        ආර්ථික එකතුව -  එක්සත් යුරෝපය
·        පොදු මුදල් - මධ්‍යම අප්‍රිකාවේ රටවල් 6 ක් විසින් ඇතිකරගත් එකම මුදල් වර්ගයක් භාවිත කිරීමේ ගිවිසුම[2]  
·        පොදු වෙළඳපොල - ඒසියාන්
·        රේගු එකතුවන් - එක්සත් යුරෝපය
·        බහු රාජ්‍ය නිදහස් වෙළඳ කලාප - දකුණු සහ නැගෙනහිර අප්‍රිකානු රාජයයන් අතර පොදු වෙළඳපොළ [3]

මෙලෙස අන්තර් රාජ්‍ය නිදහස්  වෙළඳ ගිවිසුම් 285  ක් පමණ අන්තර්ජාතික වශයෙන් තිබීමෙන් පමණක්ම අපට කරුණු කිහිපයක් ගම්‍ය වෙයි.

·  
      මෙම ගිවිසුම ගතවීම් මෑත කාලිනව වඩා වේගයෙන් සිදුවන බව  
·        මෙලෙස ගිවිසුම ගත වීමෙන් බොහෝ ප්‍රයෝජන ගිවිසුම ගතවන රට වලට තිබිය යුතු බව. එසේ නැත්නම් මෙලෙස විශාල වියදමක් සහ මහන්සියක් යොදවා මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික වැඩ පිළිවෙලවල් කරන්නට රටවල් පෙළඹීමට ද ඒවා ඇතිකරගන්නා ප්‍රමාණය වැඩි වන්නට ද  හේතුවක් නොමැත.  
·        ඒවා බොහෝ කලක් පැවතිමෙන්ම එම ගිවිසුම පිළිබඳව පාර්ශව කරුවන්  අසතුටට පත්වන්නේ කලාතුරකින් බව
·        ලෝක වෙළඳ සංවිධානයේ අවසාන බලාපොරොත්තුව වන මුලු ලෝකයම එකම නිදහස් වෙළඳ කලාපයක් කිරීමේ සිහිනයට ළඟාවීමට තවත් බොහෝ කලක් ගතවන බව පෙනෙන නමුදු එවැනි කලාප තැනින් තැන බිහිවෙමින් එම අවසාන ප්‍රතිපලය දෙසට ලෝකය ගමන් කරන බවට
·        මෙලෙස ගිවිසුම් ගතවීමට රාජයයන් දෙකේ ප්‍රමාණය හෝ ඒවායේ ආර්ථික බලය පාලක සාධකයක් නොවන බව..........


[1] එසියානු සමුහය සහ චීනය අතර
[2] කැමරුන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චාඩ්, ඉක්විටෝරියල් ගිනීයා, ගැබොන්, කොන්ගෝ ජනරජය
[3] 19994 පටන්ගත් මෙම පොදු වෙලනපොලට රටවල් 21 ක් අයත් වෙයි.

Tuesday, January 1, 2019

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ කොස්ටාරිකාව




...........අපගේ අනෙක් උදාහරණය වන කොස්ටාරිකාව, මේ අතර, ඇතිකරගෙන තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම් පහත පරිදිය.

1.     කොස්ටරිකාව සහ කැනඩාව (2002)
2.     කොස්ටරිකාව සහ චිලී          (2002)
3.     කොස්ටරිකාව සහ චීනය       (2011)
4.     කොස්ටරිකාව සහ කැරිබියානු සමූහය (2005)
5.     කොස්ටරිකාව සහ ට්‍රිනිඩෑඩ්, ටොබැගෝ (2005)
6.      කොස්ටරිකාව සහ ගයනාව       (2006)
7.      කොස්ටරිකාව සහ බාර්බඩොස්  (2006)
8.       කොස්ටරිකාව සහ බෙලිස්              (2011)
9.       කොස්ටරිකාව සහ ජැමෙයිකාව     (2015)
10.                          කොස්ටරිකාව සහ කොලම්බියා (2016)
11.                           කොස්ටරිකාව සහ ඩොමිනිකානු ජනරජය (2002)
12.                           කොස්ටරිකාව සහ EFTA (2014)
13.                           කොස්ටරිකාව සහ නොර්වේ -2014
14.                           කොස්ටරිකාව සහ ස්විට්සර්ලන්තය - 2014
15.                           කොස්ටරිකාව සහ ලීච්ටෙන්ස්ටේන්  - 2014
16.                           කොස්ටරිකාව සහ අයිස්ලන්තය     - 2014
17.                           කොස්ටරිකාව සහ එල් සැල්වදෝර් තීරුබදු සම්මුතිය (1963, නැවත පනගැන්වීම –    1993)
18.                           කොස්ටරිකාව සහ යුරෝපියානු සම්මුතිය (2013)
19.                           කොස්ටරිකාව සහ ගෝතමාලා තීරුබදු සම්මුතිය (1963,  – 1993) නැවත පනගැන්වීම
20.                           කොස්ටරිකාව සහ හොන්ඩරාස් තීරුබදු සම්මුතිය (1963,  – 1993) නැවත පනගැන්වීම
21.                           කොස්ටරිකාව සහ මෙක්සිකෝව (1995)
22.                           කොස්ටරිකාව සහ නිකරගුවා තීරුබදු සම්මුතිය (1963,  – 1993) නැවත පනගැන්වීම
23.                           කොස්ටරිකාව සහ පැනමාව (1973, නැවත සාකච්චා කර පුළුල් කරන ළදී - )
24.                           කොස්ටරිකාව සහ පේරු (2013)
25.                           කොස්ටරිකාව සහ සිංගප්පුරුව (2013)
26.                           කොස්ටරිකාව සහ එක්සත් ජනපදය (2009)
මේ දිනවල කොස්ටාරිකාව පහත රටවල් සමග ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදෙමින් පවතී.
1.     කොස්ටරිකාව සහ සුරිනාම්
2.     කොස්ටරිකාව සහ ඇන්ටිගුවා බාර්බුඩා
3.     කොස්ටරිකාව සහ  ඩොමිනිකා
4.     කොස්ටරිකාව සහ ග්රෙනාඩා
5.     කොස්ටරිකාව සහ ශාන්ත කිට්ස්, නෙවිස්
6.     කොස්ටරිකාව සහ  ශාන්ත ලුසියා
7.     කොස්ටරිකාව සහ ශාන්ත වින්සන්ට්, ග්‍රෙනාඩින්ස්
මෙතරම් අති විශාල ප්‍රමාණයක් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගෙන ඇති කොස්ටාරිකාවට මෑත කාලයේදී සිදුවී ඇත්තේ කුමක් දැයි තරමක් ගැඹුරින්  සොයාබැලීම අපගේ මෙම අධ්‍යයනය සඳහා වැදගත් වෙයි.
1997 වසරේ අසල්වැසි රාජ්‍යයන් මෙන්ම දරුණු ආර්ථික අවපාතයකට බඳුන් වූ කොස්ටාරිකාව ඉන්පසු ශක්තිමත් ආර්ථික වර්ධනයක් දිගටම ලබාගත්තේය. 2015 වසරේ ඩොලර් බිලියන 52.6 ක් වූ එහි දල ජාතික නිෂ්පාදනය 2017 වසරේ ඩොලර් බිලියන 61.5 ක් දක්වා ඉහල ගියේය. 4%ක් 5% ක් ව තිබු උද්දමනය 2016 වසරෙදි 0.6 ට පහල ගියේය. එහි ජිවන මට්ටම දැන් මධ්‍යම ඇමෙරිකාවේ රාජ්‍යයන් අතර  ඉහලම එකකි.
කලකට පෙර කෘෂිකාර්මික ආර්ථිකයක් ව තිබේ මෙහි ආර්ථිකය මෑත කාලයේදී විවිධාංගිකරණයට ලක්වී ඇත්තේය.එය ප්‍රධාන වශයෙන්  සංචාරක ව්‍යාපාරය, විද්‍යුත් උපකරණ නිෂ්පාදනය , වෛද්‍ය  උපකරණ නිෂ්පාදනය සහ තොරතුරු තාක්ෂණ සේවා වලින් සමන්විත වෙයි. ඔවුන්ගේ රටතුල ඇති නිදහස් වෙළඳ කලාප තුල බොහෝ විදෙස් සමාගම් නිෂ්පාදන කටයුතු සඳහා කර්මාන්ත ශාලා පවත්වාගෙන යයි...........

හමුදාවන්හි අනාගතය


අපගේ හමුදා රටට වඩාත්ම පලදායි අයුරින් යොදා ගන්නා අතරතුර රටේ ආරක්ෂාව ද ඉහලම අයුරින් පවත්වා ගැනීමට හමුදාවන් කුමන අයුරින් වෙනස් කල යුතු දැයි ලිපි පෙළක් ලියන්නට මට සිතුනේ මේ පිළිබඳව සාකච්චාවක් ඇතිකිරීම සඳහාය. මේ පිළිබඳව උනන්දුවක් ඇත්තන් ගෙ අදහස් දැනගනු කැමැත්තෙමි.
1.සෑම හමුදා පුද්ගලයෙකුගේම වැටුප 50% කින් වැඩි කිරීම. - මෙයින් ආරක්ෂක හමුදාවන්ට වඩා සුදුසුකම් ඇති පුද්ගලයන් බඳවා ගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුනට වෘතික මට්ටමේ වැටුපක් ලැබෙන පිරිසක් බවට පත්කිරීමෙන් හමුදා සේවය සමාජයේ ගෞරවනීය සේවයක් බවට පත්කිරීම සිදුවෙයි. පහත 2 යෝජනාව ක්‍රියාත්මක කරන විට මෙම වැටුප් වැඩි කිරීම රජයේ වියදම් වලට බල නොපායි.

2.ස්ථීර හමුදාවල ප්‍රමාණය 50% කින් අඩුකර සත්‍ය වශයෙන්ම ස්වේච්චාවෙන් සේවය කරන, නිතරම පුහුණුවේ යෙදෙන  ස්වෙච්චා බලකාය එම අඩුකළ  ප්‍රමාණයට සරිලන සේ වැඩි කිරීම- මෙමගින් විවිධ දක්ෂතාවයන් ඇති පුද්ගලයන්ගේ සේවය  හමුදාවන්ට අවශ්‍ය අවස්තාවලදී ලබාගත හැකි අතර ඔවුනටද හමුදාවල පුහුණුව ලබාගැනීමෙන් සහ එහි සේවය කිරීමෙන් ජිවිතයට ආලෝකයක් ලබාගත හැක.මේ සඳහා හොඳම උදාහරණය වර්තමානයේ ලෝකයේ ඉහලම හැකියාවන් ඇති හමුදාවක් යයි සැලකෙන ඊස්රායල හමුදාවයි. එහි සක්‍රිය සේවයේ දී සිටින යුධ භටයන් සන්කයාව 26000 ක් පමණක් වන අතර ස්වෙච්චා බලකාය 445000 ක් වෙයි.


3.හමුදාවෙන් විශ්‍රාම ගන්නා හෝ වෙනත් ඉඩ දී ඇති ක්‍රමයකින් ඉවත් වන සෑම අනෙකුත් නිලයන්ටම අවසාන වසරේ යම් පිටරට රැකියාවකට යා හැකි පරිදි අන්තර්ජාතිකව පිළිගැනීමක් ඇති  ඩිප්ලෝමාවක් සහ ඉංග්‍රීසි පුහුණුවක් ලබාදීම- මෙමගින් තරුණ වයසින් හමුදා සේවයෙන් ඉවත්වන ( වයස 45 න් පමණ) හමුදා සේවයෙන් අනිවාර්යයෙන් විශ්‍රාම ගන්නා හමුදා පුද්ගලයනට අවුරුදු 10 ක් පමණ හොඳ වැටුපක් සහිතව තාක්ෂණික රැකියාවක දී තම පවුලේ අනාගතය සුරක්ෂිත කරගත හැකි වන්නේය. මේ අතරම ඔවුන් නොයෙකුත් අපරාධ කටයුතු වල යෙදෙමින් පාතාල නායකයන්ගේ ගොදුරු වීමට ඇති ඉඩකඩ අවම වෙයි.
4.ආරක්ෂක හමුදාවෙහි පර්යේෂණ සහ නව නිපයුම් අංශ ඉහල තලයකට ගෙන බල ගුණාකාරයක් බවට පත් කිරීම. - මේ අතරින්  සන්නිවේදන, නිරීක්ෂණ සහ අවෙක්ෂණ , බුද්ධි තොඅරතුරු එකතු කිරීම සහ විග්‍රහ කිරීම වැනි ක්ෂේත්‍ර විශේෂ වෙයි.  මෙවැනි ක්ෂේත්‍ර පහසුවෙන් විවෘත වෙළඳපොලෙන් ලබාගත හැකි නව තාක්ෂණ යොදාගෙන පහසුවෙන් වැඩිදියුණු කල හැක.
5.ජාතික සංවර්ධනය සදහා තාක්ෂණික අංශ වලින් ආරක්ෂක හමුදා විශාල වශයෙන් යොදා ගැනීම. අධිවේග මාර්ග පද්ධතිය කඩිනම් ලෙස වැඩිදියුණු කිරීම මෙහි ප්‍රමුඛස්ථානය දියයුතු අංශයකි. බොහෝ දුෂණයන්ට ගොදුරු වී ඇති චෝදනා ලබා ඇති මෙම ඉක්මන් සංවර්ධන  කටයුතු හමුදා ,අගින් කරවීමෙන් පිරිවැය 50% කටත් වඩා අඩුවෙන් කරගත හැකි විය යුතුය.මෙම සංවර්ධන ව්‍යාපෘති විශාල පුහුණු මධ්‍යස්ථාන ලෙස සංවිධානය කර  ඒවායින් වැඩ කරන අතරතුර සාමාජිකයිනට පුහුණුව සහ සහතික ලබාදීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති රටේ සංවර්ධනයට ඉමහත් ලෙස පිටුවහලක් වනවා පමණක් නොව හමුදා සාමාජිකයනට හමුදාවෙන් ඉවත්වූ පසු රැකියාවන් සඳහා වෘතිය මට්ටමේ පුහුණුවක් ලැබ ඉන්පසු පුද්ගලික අංශයට සම්බන්ධවී ඉහල වැටුප් තලවල රැකියා වලට යොමුවන්නට පුළුවන.
6.ආරක්ෂක හමුදා ව්‍යාපාරවල යෙදීම හැකි තරම් අධෛර්යමත් කිරීම. - ආපන ශාලා වැනි කුඩා ව්‍යාපාර පාර දෙපස පිහිටුවීම හමුදා සාමාජිකයන්ගේ ගෞරවයටත් හමුදාවල වෘතිමය තත්වයටත් නොගැලපේ.
7.ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටා ඇති හමුදා කඳවුරු වලින් එම පිහිටි ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ඉඳුරාම අවශ්‍යම කඳවුරු හැරෙන්නට අනෙක් කඳවුරු ඉවත් කිරීම.- සාලාව හමුදා ගබඩා සංකීර්ණයේ සිදුවූ විනාශය මෙයට හොඳම උදාහරණයකි. මෙවැනි තවත් ආයුධ තොග වශයෙන්  ගබඩා කර ඇති කඳවුරු ජනාකීර්ණ ප්‍රදේශ වල ඇත්තේය. මේවා ඈත ජනගහනය නොමැති එසේත් නැත්නම් ඉතා අඩු ප්‍රදේශ වලට රැගෙන යා යුත්තේය. එම කඳවුරු දැනට තිබෙන ඉඩම් වෙන්දේසිකර විකිණීමෙන් අලුතින් නවීනතම කඳවුරු සියලු පහසුකම් සහිතව , ජනතාවට කිසිම බරක් නොමැතිව ගොඩනංවා ගත හැක්කේය.
8.අවුරුදු 5 ක් හමුදාවේ සේවයකර එම සේවය අතරතුර සුදුසු පුහුණුවක් සහ ඉංග්‍රීසි හැකියාවක් ලබාගෙන හමුදාවෙන් ඉවත්වීමට හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීම. මෙවැනි වැඩපිළිවෙලකින් තමන්ට අතින් වියදම් කර එවැනි පුහුණුවක් ලබාගත නොහැකි තරුණ තරුණියන්ට ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇත. හමුදාවල තිබෙන කාර්මික සහ තාක්ෂණික පහසුකම් මේ සඳහා භාවිත කල හැකි අතර වසරකට තරුණයන් 10000 ක් පමණ පහසුවෙන්ම පුහුණුකළ]හැකි වන්නේය. ඉතාමත් දුප්පත් තරුණ තරුණියන්ට නොමිලේ සහ යම් මුදලක් ගෙවීමට හැකි අයට සාධාරණ ගාස්තුවක් අයකර මෙම පාටමාල පැවැත්විය හැකි අතර මෙයින් රටේ රැකියා ප්‍රශ්නය සහමුලින්ම වාගේ අවසන් කල හැකි විය යුතුය.
එලෙසම මෙම පුහුණුවෙන් පසු වැඩි ප්‍රමාණයක් පිටරට රැකියා සඳහා ගියහොත් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද ලැබෙනු ඇත. 

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...