විමලධර්මසූරිය රජු සහ අද්මිරල් ජොස් වෑන් ස්පීල්බර්ගන්( පසුබිමේ යුධ පුහුණුව ලබන ලාංකික හේවායන් පිරිසක් පෙනේ.)
1815 ට පෙර ශත වර්ෂ 04 ක් පමණ යුරෝපීය ජාතීන් හතරක් ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වරින් වර පාලනය කලහ. මෙම ජාතීන් එම යුගයන්හි ලොව බලවත්ම නාවික හමුදා හා යුධ හමුදා බලයෙන් යුක්ත වූහ. කන්ද උඩරට රාජධානියෙහි වැසියන් අවුරුදු 200 කට වැඩි කාලයක් (1590-1815) මෙම යුරෝපීයන් සමග සටන් කර තම ස්වාධීනත්වය රැක ගැනීමට සමත් වූහ.
එම යුරෝපීය ජාතීන් හා සසදන කල නාවික බලයෙන් හා අවි ආයුධ වල තාක්ෂණික දියුණුව අතින් කන්ද උඩරට රාජධානිය ඉතා දුර්වල තත්වයක පැවතිණ. කදුවල සටන් කිරීමේදී ගරිල්ලා උපක්‍රම උසස් ලෙස යොදා ගැනීම හා අප්‍රතිහත ධෛර්ය හා නිර්භීත භාවයෙන් සටන් කිරීම නිසා මහනුවර රාජධානිය මෙලෙස ශත වර්ෂ දෙකක් ස්වාධීනව පැවතුනද ඒ සදහා එහි වැසියන් හට අතිමහත් ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවිය. මෙයට අමතරව යුරෝපීය ජාතීන් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමට පෙලඹ වීමෙන් ඔවුන්ගේ බලය දුර්වල කිරිම වැනි රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමද මේ සදහා යොදා ගැණින.
එකල මෙහි පැමිණි යුරෝපීයන් ගෙන් මුලින්ම පැමිණියේ පෘතුගීසීන්ය. ඔවූහූ කෝට්ටේ සිංහල රජු හා එකතුව මුහුදු බඩ රාජධානිය පාලනය කලහ. පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමට මහත් වෙහෙසක් දැරූ වර්තමානයෙහි අවිස්සාවේල්ල යැයි අපි හදුන්වන, සීතාවක තම රාජධානිය කරගත් රාජසිංහ රජු 1592 වර්ෂයේ මිය ගියේය. ඉන්පසු සීතාවක රාජධානිය පෘතුගීසීන්ට අයත් විය. එකල කෝට්ටේ සහ සීතාවක රාජධානි ශ්‍රී ලංකාවේ ඉතාමත් ධනවත් රාජ්‍යයන් වූ අතර, එම රජවරුන් විශාල ධන සම්භාරයක් ඔවුන්ගේ රාජ්‍ය භාණ්ඩාගාර වල රැස්කර තිබුණි. එම ධනය, හමුදා සහ යුධ උපකරණපෘතුගීසිනට අඩු වැඩි වශයෙන් එකතු වුන හෙයින් පෘතුගීසිනට විශාල බලයක් ලැබුණි.
මෙලෙස රටේ සෑහෙන ප්‍රමාණයක බලය ලබා ගත් පෘතුගීසීන්ට විරුද්ධව සිංහලයන් පෙල ගැසුනේ එකල මහනුවර රජකම් කල පලවෙනි විමලධර්මසූරිය රජු යටතේය. දරුණු සටන් කිහිපයකින් පෘතුගීසීන් අන්ත ලෙස පරාජය කල නමුත් පෘතුගීසීන් සතුව තිබූ අසීමිත සම්පත් නිසාත්, ඔවුන්ගේ විශිෂ්ඨ නාවික බලය නිසාත්, විමලධර්මසූරිය රජුට පෘතුගීසීන් රටින් පලවා හැරීමට නොහැකි විය.
මේ සදහා කෙටි කාලීන ප්‍රතිකර්මයක් ලෙස වෙනත් යුරෝපීය මුහුදු බලයක් ගෙන්වා ගත යුතු යැයිද දීර්ඝ කාලීන විසදුමක් තමන්ටම කියා මුහුදු සටන් බලයක් තිබිය යුතු බවද කල්පනා කල විමලධර්සූරිය රජු නෙදර්ලන්තය යැයි වර්තමානයේ හදුන්වන එකල ඕලන්දය නමින් හැදින්වූ පෘතුගීසීන්ට විරුද්ධව නාවික අධිරාජ්‍යයෙන් උදව් ඉල්ලා පණිවිඩ අතර ඒ සමගම මහියංගනයේ මහවැලි ගඟේ යුධ නැව් කණ්ඩායමක් නිෂ්පාදනය කිරීමද ආරම්භ කලේය. ඒ පිළිබඳ විස්තරය පහත ලින්ක් එකට ගොස් කියවිය හැක.
http://lakshmanillangakoon.blogspot.com/2017/04/the-brave-fleet.html
එකල නෙදර්ලන්තයේ සිට ලංකාවට මුහුදු මාර්ගය
මෙම මුල් ඉල්ලීම පරිදි නෙදර්ලන්තයෙන් 1601 මැයි මස 05 වන දින අද්මිරාල් ජොරිස් වෑන් ස්පීල් බර්ගන් නමැති නාවික නිලධාරියා යටතේ රාම්, ශීල් සහ ලෑම්බ් යනුවෙන් නම් කරන ලද නෞකා තුනක් ශ්‍රී ලංකාව වෙත එවන ලදි.
මෙම අද්මිරාල්වරයා එකල ප්‍රසිද්ධ නාවික නිලධාරියෙකු විය. ඔහු ඇන්ට්වර්ප් නගරයේදී 1568 උපත ලබා බොහෝ නාවික සංචාර සහ යුද්ධ වලට සහභාගි විය. 1596 ඔහු මුලින්ම අප්‍රිකාවට වෙළඳාම සදහා නැව් කණ්ඩායමක් සමග ගියේය. ඉන්පසු 1601 මැයි 05 වන දින වල්චරෙන් දූපතෙන් වෙරේ වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූයේය.
The church in Veere, by Jan van der Heyden (1637–1712)
අද්මිරල් ස්පිල්බර්ගන් ගැන කෙටි සටහනක් මෙතනට යෝග්‍යය. මොහු මහනුවර රාජකාරියෙන් පසු 1607 ජිබ්‍රොල්ටා මුහුදු සටනට සහභාගි විය. 1614 නැව් 05 ක් රැගෙන ගොස් මැක්සිකෝවේ තිබූ ස්පාඤ්ඤ කොළණි ආක්‍රමණය කලේය. ඉන්පසු ඔහු ස්පාඤ්ඤ යුධ නෞකා සමග අකපුල්කෝහි මුහුදු සටන් කලේය. ඔහු ඒ අවුරුද්දේම ස්පාඤ්ඤ මුතු නැවක් වූ සැන්ප්‍රැන්සිස්කෝ අල්ලා ගත්තේය. ඉන්පසු පැසිපික් සාගරය හරහා මරියානා දූපත් වලට ගිය ඔහු එතනින් පිලිපීනය, ටර්නේට් සහ මලුකු දූපත් වලට පැමිණ 1616 වන විට පෘතුවිය වටා සම්පූර්ණ රවුමක් ගමන් කර 1617 ආපසු නෙදර්ලන්තයට පැමිණ 1620 දී ඉතාමත් දුප්පත් මිනිසෙකු ලෙස මිය ගියේය.
නෞකා තුන, මේ සූවස් ඇළ කැපීමට බොහෝ පෙර නිසා , අප්‍රිකාව වටා සුභපැත්මේ තුඩුව පසුකර පැමිනෙමින් ලංකාව දෙසට ගමන් කරන අතරතුර නෞකා දෙකක් කුණාටුවකට අසුවී මුහුදේ අතරමං විය. අද්මිරාල් ස්පිල් බර්ගන් පැමිණි නෞකාව 1602 මැයි මස 29 වන දින මඩකලපුවට පැමිණියේය. කොළඹ, ගාල්ල සහ මාතර වැනි ප්‍රදේශ තමන්ගේ සතුරන් වූ පෘතුගීසීන්ට යටත් යටත්වී තිබූ නිසා එම ප්‍රදේශ හරහා මහනුවරට පැමිණිය නොහැකි බැවින්, මඩකලපුව අසල නැංගුරම් දමා අද්මිරාල් ස්පිල් බර්ගන් තමන්ගේ පණිවිඩ කරුවන් කුඩා බෝට්ටුවකින් ගොඩබිමට යැවීය.
පණිවිඩකරුවන් ගොඩබිමදී සොයා දැනගත් පරිදි තමන් වැරදීමකින් නැංගුරම්ලා ඇත්තේ මඩකලපුවේ නොව ඊට දකුණෙන් වූ වෙනත් ස්ථානයක බව අද්මිරාල්වරයා තේරුම් ගත්තේය. ඉන්පසු මඩකලපුවේ කලපුව අසල පසුදින නැංගුරම්ලා ගත්තේය. මෙසේ නැංගුරම් දැමූ පසු නෞකාව වෙත බෝට්ටුවකින් පැමිණිසිංහල නිලධාරීන් පිරිසක් නෞකාවට ඇති තරම් ගම්මිරිස් හා කුරුදු ලබාදිය හැකි බවත්, කන්ද උඩරට රජු වෙනුවෙන් එකල මඩකලපුව පාලනය කරන දිසාවේ තැන අද්මිරාල් ස්පිල් බර්ගන් මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවත් අද්මිරාල්වරයා වෙත දැනුම් දුන්හ.
එකල මඩකලපුවේ නැංගුරම් පොල.
මේ සදහා පසුදින අද්මිරාල් ස්පිල් බර්ගන් තවත් සහයකයන් හතර දෙනෙකු සමග බෝට්ටුවකින් වෙරළට පැමිණියේය. ඔවුන් පිලිගැනීමට විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. මෙම පිලිගැනීමට විශේෂයෙන් පුහුණු කල අලි ඇතුන්ද යොදා තිබූ අතරම අද්මිරාල් ස්පිල් බර්ගන්ට ආචාර කිරිමටද මෙම අලි ඇතුන් යොදා ගැනුණි. මෙහිදී මඩකලපු ප්‍රදේශයේ රජුගේ ප්‍රාදේශීය පාලකයා තමා ස්වාධීන රජෙකු බව ප්‍රකාශ කරමින් අද්මිරාල්ට තමා වංචාකාරිව හදුන්වා දුන්නේය. ඔහු විසින් අද්මිරාල් ස්පිල් බර්ගන්ට වෙළඳාම සදහා ගම්මිරිස්, කුරුදු, මුතුථ මැණික් යනාදිය ලබාදෙන බවටද පොරොන්දු විය. ඉන් පසු දිනද අද්මිරාල් ස්පිල් බර්ගන් මෙම ඊනියා මඩකලපු රජු හමුවීමට ගිය අතර, එහිදී මිනිසුන් දෙදහසකින් සමන්විත හමුදා පෙළපාලියක් සහිතව ඊනියා රජතුමා අද්මිරාල් ස්පිල් බර්ගන් පිලිගත්තේය.
මෙහිදී අද්මිරාල් ස්පිල් බර්ගන් නොයෙකුත් ත්‍යාග මඩකලපුව දිසාව වෙත පිරිනමන ලදි. ඔහු විසින් රැගෙන ගිය ඕලන්ද සංගීතකරුවන් විසින් දිසාවේ සහ ඔහුගේ පිරිසට නැරඹීම සදහා සංගීත සංදර්ශනයක්ද ඉදිරිපත් කලහ. මෙහිදී මෙම දිසාව තැන ඔහු මඩකලපුවේ ස්වාධීන රජු ලෙස ප්‍රකාශ කර නෙදර්ලන්තය සමග ගනුදෙනු කිරීමට කැමති බව දන්වා සිටියේය. මෙම අවස්ථාවේ මෙම පාලකයා විසින් අද්මිරාල් ස්පිල් බර්ගන් ගෙන් වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සදහා ඔහුගේ නෞකාවක් ගොඩබිම ආසන්නයට ගෙන එන ලෙසට ඉල්ලා සිටියේය.
මෙය තමාගේ නැව් ගොඩබිම ආසන්නයට ගෙන මංකොල්ලකෑමට සැලසුමක් බව අද්මිරාල්වරයාට සැක සිතුණි. අද්මිරාල් දිසාවගේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ආපසු නැවට ගොස් ඔවුනට ඔහු ලග තිබූ වෙළඳ ද්‍රව්‍ය පෙන්වා ඔහු දිසාවත් සමග වෙළඳාම් කිරීමට කැමති බවත්, ඒ සදහා හුවමාරු කිරිමට නෞකාවේ වටිනා වෙළඳ ද්‍රව්‍ය ඇති බවත් දිසාවේ වෙත දන්වා යැවීය. ඉන්පසු දිසාවේ විසින් බෝට්ටුවක දඩමස්, කුකුළන්, බටර් සහ පළතුරු අද්මිරාල්වරයා වෙත යවමින් ඔහුත් සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වීමට කැමති බව නැවත වරක් දන්වන ලදි.
මෙම කටයුතු සිදුවන අතරතුර අද්මිරාල්වරයාට දැනගන්නට ලැබුනේ මෙම ප්‍රාදේශීය පාලකවරයා මහනුවර රජු යටතේ පාලනය වන බවත්, විටින් විට පෘතුගීසීන් බලවත් වන අවස්ථාවන්හිදී ඔවුන් සමග එකතු වන බවත්ය. මෙම ආරංචිය දැනගත් පසු අද්මිරාල් ස්පිල් බර්ගන් මේ පිළිබඳව මඩකලපුව ප්‍රාදේශීය නායකයාගෙන් විමසූ අතර, ප්‍රාදේශීය පාලකයා එය සත්‍යයක් බව පිලිගත්තේය.
to be continued
මගේ ප්‍රියතම විෂයක් ගැන තවත් බ්ලොග් අඩවියක්.
ReplyDeleteනියමයි.
කරුනු කාරනාත් රසවත් විදිහට කියවනන් ආසා හිතෙන විදිහට තියෙනවා.
ජය වේවා !
රසවත් ලියවිල්ලක්. දිගටම කියවනවා.
ReplyDeletethanks
Deleteටික ටික ලියමු මෙහෙම හොදා
ReplyDelete