Monday, June 15, 2020

එකම ගසකින් සියයක් ප්‍රයෝජන

“එයින් ලැබෙන එකම ප්‍රයෝජනය පොල්ගෙඩි ලබා ගැනීම නේද?” ෆ්‍රෑන්ක් ඇසුවේය.
“ඔව් ඒක තමයි ප්‍රධාන ප්‍රයෝජනය, නමුත් තවත් ප්‍රයෝජන අනූ නවයක් තිබෙනවා.” කෝපි වවන්නා පිළිතුරු දුන්නේය.
“ එක ගසකින් ප්‍රයෝජන සීයක්? ෆ්‍රෑන්ක් පුදුමයෙන් ඇසුවේය.
”ඔව්, ස්වදේශිකයින් කියනවා ඔවුනට පොල් ගසෙන් ප්‍රයෝජන සීයක් තිබෙනවා කියලා, ගසේ ලීයෙන් පොඩි බෝට්ටු හදන්නට පුළුවන්, කුඩා යාත්‍රා හදලා මාලදිවයිනටත් යවනවා, එයින් ඇල්කොහොල් බීම, කුරුම්බා වතුර, සීනි, විනාකිරි, කඳේ උඩම කොටසෙන්   හදන සව්, ගොබ වලින් හදන කරිය,
වියළි කොළ වලින් වහල සෙවිලි කරනවා , අමු කොල වලින් නොයෙකුත් සැරසිලි හදනවා, පොල් කටු වලින් කෝප්ප, හැඳි සහ තවත් එවැනි දේ හදනවා, ඒවායේ අඟුරු උයන්නට ගන්නවා, පොකටු අඟුරු හදනවා, කෙඳි වලින් කොසු හදනවා, අතු කෙළවර පාරු වලට ගන්නවා, ගොවි උපකරණ වලට පාවිච්චි කරනවා, පොල් ලෙලිවල කෙඳිවලින් ලණු, පාපිසි, මෙට්ට, යනාදිය හදනවා.

ඒ විතරක් නෙවෙයි, ගස් වල නොයෙකුත් ඖෂධීය ප්‍රයෝජනත් ගන්නවා, එහි පොත්තෙන් ගන්න තෙලක් සමේ රෝග සඳහා  පාවිච්චි කරනවා. මල් වලින් ගන්න යුෂයක් හම රැලිගසිම වැලක්වීමට ආලේප අරනවා  , මුල් වලින් හදන කසායක් උණ රෝගීනට  දෙනවා, මුල් වල යුෂය පොල් තෙල් සමඟ කවලම් කර ඇස් රෝග  ප්‍රතිකාර සඳහා පාවිච්චි කරනවා, කූඹින් වැනි කෘමීන් කෑ පසු පොල් තෙල් ආලේප කිරීම තමා හොඳම බෙහෙත, එය දැන් යුරෝපයේ සහ ඇමරිකාවේත්  පාවිච්චි කරනවා.
ලෝකයේ වැඩිම ප්‍රයෝජනයක් තිබෙන ගස, උණ ගස කියා කියනවා, නමුත් එය පොල් ගසට වඩා ප්‍රයෝජනවත් කියලා මම නම් හිතන්නේ නැහැ”.

කොළඹට කිට්ටු වන විට ඔවුනට තැනින් තැන නිවාස දකින්නට ලැබිණ. කොළඹ සිටින ධනවත් යුරෝපීයයන්, කොළඹින් පිට පොල් වත්තක් තුල නිවාස මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බව, ඔවුනට දැන ගන්නට ලැබිණ.
මෙම නිවාස ඉතාමත් අලංකාර ලෙස ගොඩනඟා තිබුණු අතර, ප්‍රධාන පාරේ සිට නිවෙස් වෙත යාමට, දෙපැත්තේ පුවක් ගස් වැවුණු අලංකාර මාවත් තිබිණ.
කොළඹට සැතපුම් හත අටක් තිබියදී වැවිලිකරු, තම අලුත් මිතුරන්ට කුඩා දූපතක් පෙන්වීය. එය ප්‍රධාන ගොඩබිමෙන් වෙන්ව තිබුණේ පටු මුහුදු තීරයකිනි. මෙම ස්ථානය කොළඹ සිටින යුරෝපීයයන්ට මුහුදේ නෑමට, ජනප්‍රිය ස්ථානයක් බව කියූ ඔහු, කොළඹ සිට එතැනට ඒමට දැන් දුම්රිය මාර්ගයක්ද සැකසෙමින් පවතින බව පැවසීය.

පසු දින උදේ 8.00 ට පමණ ඔවුන් ගේ අශ්ව කරත්තය නගරයේ විවෘත ස්ථානයකට පැමිණියේය. එම විවෘත ස්ථානය පාවිච්චි කරන්නේ හමුදා සරඹ පුහුණුවට සහ අශ්වරේස් සඳහා යැයි ඔවුනට දැනගන්නට ලැබිණ. ඒ අසල තිබූ වෙරළේ සනීපවත් මුහුදු සුළඟක් රට ඇතුලට හමමින් තිබුණි.
එතැන සිටි ඔවුන්ට නගරයේ රතු පැහැති බලකොටුව පෙනුණු අතර, පැය කාලක් යාමට පෙර ඔවුන් හෝටලය අසලට පැමිණ නැවතිණ.

 


2 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...