Sunday, January 5, 2020

වඩා කැමති කාටද




අපේ ගෙදර බල්ලෙකු සහ පූසෙකු සිටිති. බල්ලාට දැන් වයස අවුරුදු හයක් වන අතර පුසාට මාස තුනකි.

මේ බල්ලාගේ කාලයේ අපේ ගෙදර ජීවත් වන තුන්වන පූසාය. මුල්ම පූසා අවුරුදු දෙකක් පමණ ජීවත්වී අසනීපයකින් මිය ගියේය. දෙවන පූසා මාස අටක් පමණ ජීවත් වී රාත්‍රියේ දඩයම් කිරීම සඳහා පාරට ගොස් වාහනයකට යට වී මිය ගියේය. යම් හේතුවක් නිසා පූසා බල්ලන්ට වඩා මහා මාර්ග අනතුරුවලින් මිය යාමේ ප්‍රවණතාවයක් තිබේ. ඒ සමහර විට ඔවුන් රාත්‍රියට දඩයම් කිරීමට කැලෑ වදින නිසා විය යුතුය. ඔවුන් දඩයම් කිරීමේදී කොතරම් ප්‍රවේශම් වුවත්, ඔවුන්ගේ අත්දැකීම් වල හදිසියේම පැමිණෙන වාහන පිළිබඳව එතරම් මතකයක් නොමැති නිසා මෙලෙස සිදු වනවා විය යුතුය.

මම අපේ ගෙවත්තේ තණ පිටියේ වැරදි වල් ගලවමින් සිටියදී, බල්ලා සහ පූසා යන දෙදෙනාම ඒ අසලට වී සිටියහ.

මෙය සාමාන්‍යයෙන් දිනපතාම වාගේ සිදුවන දෙයකි. බල්ලා බොහෝවිට මා අසලින් හාන්සි වී මට හිතෙන විදිහට යම් සතුරෙකු පැමිණ මට කරදරයක් කරයිද, යන සැකයෙන් යුතුව වටපිට බලමින් අතිශය අවධානයකින් සිටී.
පූසා බොහෝවිට වේගයෙන් එහාට මෙහාට දුවමින් හැංගෙන්නට පුළුවන් පඳුරු අස්සේ හැංගෙමින්, හිටපු ගමන් වඩා වේගයකින් පැමිණ පොල් ගස් නගින්නට උත්සාහ කරමින්, මට හිතෙන විදිහට යම් විදිහක පුහුණුවක් තමන්ම ලබාගනී.

මම ළඟදී දවසක ගෙවත්තේ මෙසේ සිටිනවා දැක, මගේ පවුලේ සාමාජිකයකු මා මේ දෙදෙනාගෙන් වඩාත් කැමතියි කොයි සතාට දැයි නිකමට ඇසුවේය.

ඇත්තෙන්ම මාද මේ දෙදෙනාගෙන් වඩාත් කැමති කුමන සතාටද, මම කල්පනා කර බැලුවෙමි. බල්ලාගේ පහත සඳහන් කරුණු නිසා මා ඔහුට කැමැතිය.
1.  මා දකිනා විට වැඩියෙන්ම සතුටු වන්නේ ඌ බව මට සිතේ.

2.  මුළු දවසම ගත කරන්නේ මා හා මගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ගැන කල්පනා කරමිනි.

3. එක් වරක් උගේ නම කියා අඬගැසූ විට, ඌ කෙලින්ම මා අසලට පැමිණෙයි.

4. ගෙවත්තට සර්පයකු පැමිණි විට කෙසේ හෝ ඔහු පැමිණි බව දැනගෙන, පැය ගණනක් හෝ මහන්සි වි තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවද නොතකා සර්පයා එළවා දමයි.

5. රාත්‍රියේ අප රූපවාහිනිය නරඹා අවසන් වනතුරු අප සමග ඉඳගෙන සිට, අප ආහාර ගන්නා තැනට ගොස් එය අවසන් වන තුරුත් එතැන සිට, අප නිදා ගන්නට යන විට ඔහුත් නිදාගන්නවා මිස, කවදාවත් ඔහුට කොතරම් නිදිමත පැමිණියත් අප නිදා ගන්නා තුරු නිදා ගන්නට යන්නේ නැත.

6. ඉතාමත් හොඳ මතක ශක්තියක් තිබේ.

7. අපේ ඇඟ පුරා පහුරු ගෑම් යනාදිය නොකරයි.

8. මැදුරේ කටුස්සන් මීයන් වැනි සතුන් අල්ලා ගෙන, ගේ තුළට ගෙනවිත් බිරින්දෑවරුන් ලවුවා මළකුණු එළියට දමා විසි කරන්නට යැයි අපට කරදරයක් වන්නේ නැත.

9. දවසකට දෙවරක් හෝ තුන් වරක් පුරුදු කල වේලාවන්ට අමතරව ඤාව් කියමින් කකුලේ ගැටෙමින් දෙවසකට අට පාරක් පමණ කාම ඉල්ලන්නේ නැත.  

මෙලෙස බල්ලාගේ ගුණ පමණක් වැනීමෙන් පූසන්ට අසාධාරණයක් වන නිසා නොව ඇත්තෙන්ම උගෙ ගුණ මොනවාදැයි සොයා බලමු.

1.  පූසා කුඩා කල සිටම ගෙමිදුලට දමා, ඌ කරන වැඩ දෙස බලා සිටීමෙන් අපට මහත් සන්තෝෂයක් ලැබේ.
2. බල්ලන් මෙන් නොව පූසන් අවදිව ගත කරන; පුසෙකු සාමාන්‍යයෙන් දවසකට පය 18 ක් පමණ නිදා ගනී, සෑම විනාඩියකම ඔහුගේ ජීවිතයට යම් අවස්ථාවක ප්‍රයෝජනයක් විය හැකි පුහුණු වීමක යෙදේ. බොහෝ විට ඔවුන් සතුරන්ගෙන් බේරීමට ගස් නැගීමට, ලඳු කැලෑ ආශ්‍රිතව සැඟවී සිටීමට පුහුණුවන දෙස බලා සිටීම ආශ්වාදයකි.

3. උන් නිශ්ශබ්දය, සෑම දෙයටම අපිව රාත්‍රියේ අවදියෙන් තබන්නේ නැත.

4.  පූසාට එළියට යාමට හෝ ඇතුළට ඒමට අපි දොරවල් අරින්නට අවශ්‍යතාවයක් නැත.

5. බල්ලන්ට මෙන් පූසාට වෙනම නිවාසයක් සදන්නට අවශ්‍යතාවයකුත් නැත.

6.  මලපහ කිරීම් වළක් හාරා කරන නිසා බල්ලන්ගේ මෙන් මල පහ dispose කිරීම අප විසින් කළ යුතු නැත.
මෙම ගුනා ගුණ කල්පනා කර බලන විට, මට නම් වඩා කැමති කුමන සතාට දැයි කියන්නට අපහසුය.

අපගේ ජීවිතයට වඩා ඉගෙන ගත හැක්කේ පුසා ගෙන් යැයි මට හිතේ.

No comments:

Post a Comment

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...