Saturday, February 18, 2017

මීගමුවේ මහා රාළ - 2 කොටස





link for the first part

http://lakshmanillangakoon.blogspot.com/2017/02/1_15.html






මෙකල පලුගම ප්‍රදේශයේ පාලකයා රජුට විරුද්ධව පෘතුගීසී සමග කුමන්ත්‍රණය කරන බව දැන ගන්නට ලැබී, ඔහුට රජු වෙත පැමිණෙන ලෙස රජු විසින් අණ කරන ලදි. ඔහු රාජ අණට අනුව නොපැමිණි හෙයින් මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ යටතේ විශාල හමුදාවක් එම ප්‍රදේශයට යවන ලදි. රාජ්‍ය හමුදාව පලුගම ප්‍රදේශයට පැමිණි පසු එම යුව රජු හමුදාවට යටත් වී, හමුදාවට වන්දි වශයෙන් විශාල මුදලක්ද ගෙවා පසුව කන්ද උඩරට මහා රජු බැහැ දැකිමට පැමිණියේය.

මෙහිදී බොහෝමයක් ප්‍රාදේශීය පාලකයන් ගෙන් සැදුම් ලත් විනිශ්චය සභාවකදී ඔහුට විරුද්ධව ඇති චෝදනා පරීක්ෂා කරන ලදි. එම චෝදනාව වූයේ පෘතුගීසී සමග කන්ද උඩරට රජු මරන්නට කුමන්ත්‍රණය කිරීම, එයට ත්‍යාග වශයෙන්ද කන්ද උඩරට රජුගේ දූ කුමරිය විවාහ කර ගැනීමට පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලා සිටීම හා කන්ද උඩරට රාජ්‍යයේ කොටසක් මඩකලපුව හා පලුගම එකතු කර ස්වාධීන රාජ්‍යයක් ඇති කර එහි පාලකයා බවට පත්වීමට පෘතුගීසීන් කුමන්ත්‍රණය කිරීමය.

මෙම විනිශ්චය සභාව විසින් චෝදනා විභාග කර ඔහු වැරදිකරු බව තීරණය කලෙන්, ඔහුට මරණ දඬුවම නියම කරන ලද අතර, එම මරණ දඬුවමින් පසු පලුගම ප්‍රදේශයේ පාලකයා ලෙස එම ප්‍රදේශයේ හිටපු පාලකයාගේ ඥාතියෙකු වූ සෙනරත් රජුට හිතවත් නායකයෙකු පත් කරන ලදි.

මේ අතර නාවික බලයක් කන්ද උඩරට රාජ්‍ය සදහා ස්ථාපිත කිරිමට සැලසුම් කල සෙනරත් රජතුමා, මීගමුවේ මහා රාළ තම නාවික හමුදාවේ අද්මිරාල්වරයා ලෙස පත්කර මූලික පියවරක් ලෙස යුධ නැව් 03 ක් සහ අවශේෂ යාත්‍රා 03 ක් තැනීමට කටයුතු සම්පාදනය කලේය. 1711 මැයි මස 16 වන දින මෙලෙස තනන ලද විශේෂ නෞකා ඉන්දියාවේ කොමරින් තුඩුව හා ශ්‍රී ලංකාව අතර යාත්‍රා කරන සතුරු නැව් විනාශ කිරීමට නියෝග සහිතව පහත කපිතාන්වරු යටතේ ත්‍රීකුණාමලයේ වරායෙන් පිටත් විය.

1.  ‘කැන්ඩි‘ යුධ නෞකාව          -            කපිතාන් සුන්දර අප්පු
2.  ‘ඕලන්ද‘ යුධ නෞකාව          -            කපිතාන් ක්‍රිස්ටිනා
3.  ‘මීගමුව‘ යුධ නෞකාව          -             කපිතාන් දිංගප්පා
4.  ‘ෆෝචූන්‘ යාත්‍රාව                  -             කපිතාන් ඕදියා
5.  ‘ගෙලුක්‘ යාත්‍රාව                   -              කපිතාන් මාරසිංහ
6.  ‘ඩී ට්ර වාවේ‘ යාත්‍රාව            -               කපිතාන් සුන්දරප්පා
         
මෙම නැව් කණ්ඩායමේ අද්මිරාල්වරයා ලෙස ඌවේ කුමාරයාගේ බෑනෙකු කටයුතු කල අතර, උප අද්මිරාල්වරයා වූයේ වණ්ඩිගේ නේ හැන්නි නැමැත්තෙකි. මෙම කණ්ඩායම මීගමුව, මන්නාරම සහ ඉන්දියාවේ කැලිකට් යන ප්‍රදේශයන් අවට සාගරයේ නොයෙකුත් පෘතුගීසී නෞකා සමග සටන් කර මේවා විනාශ කර, විශාල වස්තු සම්භාරයක් සහ යුධ සිරකරුවන් බොහොමයක් සමග 1613 මාර්තු මස 06 වන දින ආපසු ත්‍රීකුණාමල වරායට පැමිණියේය. මෙම නෞකාවල නිලධාරීන් හා නැවියන් මහනුවරට පැමිණි සෙනරත් රජු බැහැ දුටු පසු, ඔවුන්ට නොයෙකුත් තෑගි බෝග බෙදා දුන් බව සදහන් වේ.

1613 මැද භාගයේදී කන්ද උඩරට ඔටුන්නට නියම හිමිකාරිය හා කරල්ලියද්ද රජුගේ දියණියද  වූ, විමලධර්මසූරිය රජු හා සෙනරත් රජු යන දෙදෙනාගේ අග මෙහෙසිය වූත් දෝන කතිරිනා බිසව මිය ගියේය. ඈ මිය යාමට පෙර ඇගේ දරුවන්ගේ ඉදිරි අනාගතය බාර දෙන ලද්දේ මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරු හටය. ඔවූහූ එම තරමටම එකල රාජකීය පවුලේ විශ්වාසය දිනා සිටියහ.

මින් ටික දිනකට පසු සෙනරත් රජුද බලවත් ලෙස රෝගාතුර වූයෙන්, රජු දියතිලක (දැන් හගුරන්කෙත) වෙත ගෙන යන ලදි. මෙහිදී රජු විසින් තමන්ගේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාශ කිරීම සදහා රාජ සභාව දියතිලක නුවරට කැදවා තම දරුවන්ගේ අනාගතය හා ආරක්ෂාව මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරුට භාර දුන්නේය. තම දරුවන්ගේ භාරකාරත්වය මීගමුවේ රාළට හා ඌවේ කුමරුට බාරදීම පිළිබඳව උපදෙස්  රන් පත්‍රයක ලියවා රාජ සභාවේ සාමාජිකයන්ට බෙදා දෙන ලදි. රජු මෙලෙස තම අවසන් කැමැත්ත ඒ අවස්ථාවේ ප්‍රකාශ කල නමුත් ඔහු සුවපත්වී තවත් බොහෝ කල් ජීවත්වූ අතර, ඔහු අසනීපව සිටි කාලයේ රජුගේ හමුදාවන් හා රාජ්‍ය කටයුතු බොහෝමයක් පාලනය කරන ලද්දේද මොවුන් දෙදෙනා විසිනි.

මෙකල පෘතුගීසීන්ට විරුද්ධව කරනු ලැබූ යුධ කටයුතු සංවිධානය කරන අතර තුර, පෘතුගීසීන්ගේ උගැනුමට කන්ද උඩරටට විරුද්ධව කැරලි ගැසූ කන්ද උඩරටට අයත් ප්‍රාදේශීය පාලකයන් පාලනය කර තබා ගැනීම මහත් අපහසු කටයුත්තක් විය. උඩරටට රජුගේ හමුදාව එක් ප්‍රදේශයක ස්ථානගත වන විට, වෙනත් ප්‍රදේශයක ප්‍රාදේශීය පාලකයාට අල්ලස් හා වෙනත් පොරොන්දු මගින් පොලබවා කැරලි ගැස්වීමට පෘතුගීසීන් දිගින් දිගටම කටයුතු කලහ. මේ කටයුතු වලදී රජුගේ හමුදාවන් බොහෝ විට මෙහෙය වන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ කුමාරයා විසිනි.

1614 දී පෘතුගීසීන් විශාල කණ්ඩායමක් ඔවුනට පක්ෂපාතී සිංහල හමුදාවකද සහාය ඇතිව මහනුවර ආක්‍රමණය කිරීමට කොළඹ සිට ගමන් ඇරඹූහ. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී උඩරට රජුගේ හමුදාව මෙම පෘතුගීසී හමුදාවට මුහුණ දුන් අතර, දරුණු සටන් වලින් පසුව පෘතුගීසීන් අන්ත පරාජයට පත්විය. පෘතුගීසී හමුදාවේ සිටි සිංහල භටයන්ගෙන්ද 2500 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඉතිරි පෘතුගීසී භටයන් වනයට රිංගා ගෙන තම ජීවිත බේරා ගත්හ. මෙම සටන දක්ෂ ලෙස මෙහෙයවූ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ සටන් ජයග්‍රණයෙන් පසුව, ඉතා හරසරින් මහනුවරින් පිළිගනු ලැබූහ.

මේ වන විට තමන්ට බටහිර උදව් නොමැතිව පෘතුගීසින් හා සටන් කර යුද්ධ වලින් ජයගත හැකි නමුදු පෘතුගීසීන් ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දැමීමට නම්, මුහුදු බලයක උදව් අවශ්‍ය  බව කන්ද උඩරට සෙනරත් රජුට පෙනී ගියේය. මේ සදහා යුරෝපීය නාවික බලයක් සමග ගිවිසුමකට පැමිණි යුතුයැයි කල්පනා කල සෙනරත් රජු, ඉන්දියාවේ සිටි ඕලන්දවරුන් වෙත උදව් ඉල්ලා හසුනක් යැවීය. එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ පැහැදිලි විස්තර ලබා ගැනිමට, ශ්‍රී ලංකාවේ පුලුල් අත්දැකීමක් ඇති කන්ද උඩරට රාජධානියේ සිටින මීගමුවේ මහා රාළ ඔවුන් වෙතට එවන ලෙසට ඕලන්දයෙන් ඉල්ලා සිටියහ. මේ ඉල්ලීමට නුවර සෙනරත් රජු මීගමුවේ මහා රාළ තමන්ගේ සියලු බලතල සහිත තානාපතිවරයෙකු බවට පත් කර, එම ඉල්ලීමට අනුව තමන් වෙනුවෙන් රජවරුන් සමග සම්මුතියකට පැමිණීමට සියලු බලතලද පවරා 1616 දි යුරෝපීය වෙත පිටත් කරන ලදි. මේ සදහා බලතල පිළිබඳ නොයෙකුත් ලිපි ලේඛන රාජකීය මුද්‍රාද ඔහු වෙත ලබාදෙන ලදි. මීගමුවේ මහා රාළ 1615 මැයි මස 09 වන දින ලංකාවෙන් පිට වී ජූලි මස 02 වන දින ඉන්දියාවේ මසුලිපිට් යන නගරය වෙත පැමිණියේය.



     




1 comment:

  1. ඊට පස්සෙ කොහොමද මීගමුවෙ මහ රාළ ඩේනිෂ් රජතුමා ළඟට ගියේ?

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...