Sunday, July 3, 2016

ඕනෑතරම් ක්‍රම තිබියදී, ගස් අස්සේ හැංගිමුත්තන් කිරීම.




ඊයේ පෙරේදා මාර්ග නීති කඩ නොකරන රියදුරන්ට පොලිසිය පාරේ තෑගි බෙදනවා දුටිමි. positive reinforcement හොඳ පුරුදු ඇතිකරන්නට නරක ක්‍රම වේදයක් නොවේ. නමුත් එයින් තවත් දෙයක් පෙනේ. ඒ ලංකාවේ හරියට වාහන එලවන්නේ තෑගි දෙන්නට වුවත් තෝරාගත හැකි ඉතා කුඩා ප්‍රතිශතයක් බවයි. එය 2% ක් 3% ක් පමණ වනු ඇත. නැත්නම් තෑගි වලට වියදම් කර පොලිසිය විකිනෙන්නට පුළුවන.

මෙලෙස අනතුරු අඩුකරන ක්‍රමයක් පිළිබඳව මම අවුරුද්දකට පමණ පෙර ලියි බ්ලොග් එකක් මට නැවත පල කරන්නට සිතුනේ මේ ප්‍රවුර්තිය දුටු පසුය.

මම පසුගිය අවුරුදු තුන පුරාම පාහේ, සතියකට වරක්, කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමනය කරමි. මහනුවර නගරයෙන් නැගෙනහිරට වන්නට ජීවත්වන නිසා, නිවෙස නගරය අසලම වුවද, සෑම වාරයකදීම, නගරය හරහාම යාමට සිදුවන හෙයින්, මගේ කොළඹ නුවර ගමනට; පටන් ගන්නා වේලාව හා වාසනාව මත රදා පැවැත්තුනද, පැය 31/2 සිට 5 දක්වා ගතවේ. මේ කිලෝ මීටර් 120 ක් සදහාය.

අගනුවර සිට ලංකාවේ ප්‍රධාන නගර වලින්, 75% කට වඩා නගර සම්බන්ධ කරන්නේ, කොළඹ අඹේපුස්ස මාර්ගයයි. ලංකාවේ ඕනෑම මාර්ගයක් ගතහොත්, අඩු ගණනේ ඒ ඕනෑම මාර්ගයක යන වාහන ගණනට වඩා, දෙගුනයක් වත් වාහන මේ මාර්ගයේ ගමන් කරන බව මට විශ්වාසය. සුද්දා මේ මාර්ගයට A 1 යැයි නම දාන්නට ඇත්තේ, මේ නිසා විය යුතුය. ලංකාවේ ශීඝ්‍රගාමී පාරවල් හදන විට, සැලසුම් කරුවන්ගේ මනසට මුලින්ම පැමිණිය යුතුව තිබුනේ, මේ මාර්ගයේය. එහෙත් මෙතෙක් කල් කිසිම රජයක් මේ සදහා උනන්දුවක් ගෙන නැත්තේය. තවම එවැනි මාර්ගයක සේයාවක් වත් දක්නට නැත්තේය.

කොණ්ඩ කටු වංගු වලින්, හැරවි හැරවී දිවෙන මාර්ගය, මුලින්ම යටත් විජිත පාලන සමයේ ගොඩනැගුනේ, බඩු අදින ගැල් කරත්ත සදහාය. ඉඳහිට අශ්වයන් බැදි ලියුම් කරත්තද, මාර්ගයේ දිවෙන්නට ඇත. එකලට වඩා පාර වෙනස් වී ඇත්තේ, එය තරමක් පලල් වීමත්, කාපට් වීමෙනුත් පමණි. 1800 හැරවෙන වංගු එමටය. මේ වංගු හා කඳු නිසා, පොලීසියද, ඉදිරියෙන් යන වාහනය ඕවටේක් කලහැකි කඩඉරි අදින්නේද, ඉතාමත් ලෝභ කමෙනි. කොන්ද කැඩෙන තෙක්, ගොඩනැගිලි ද්‍රව්‍ය පුරවා ගත් හෝ මයියංගනයේ සිට එන වැලි ලොරියක්, ඉදිරියට අහුවුනොත් යටත් විජිත කාලයේ ගැලක වේගය ලබා ගත්තත් එය ලොකු දෙයකි.

 මේ අතරේ මෙතරම් හෙමින් යන වාහන පෙල, අනතුරුදායක ලෙස ඕවර්ටේක් කරන, පුද්ගලික බස් රියදුරන්,  මාර්ගයේ වාහන එලවීම, මාරක ලිදේ මෝටර් ධාවන තරඟයකටත් වඩා, ත්‍රාසජනක කරති. එක්කෝ මාර්ග නීති කඩ කරන්නන් අල්ලාගෙන දඬුවම් දෙන්නට සිටින පොලිස් නිලධාරීන්, පුද්ගලික බස් රථ මගීන්ට අනුකම්පා කර, ඒවා නවත්තන්නේ නැත, එසේත් නැත්නම් මෙම බස් රථ රියදුරන් අතර, පවත්වා ගන්නා යම් රහස් සංඥා ක්‍රමයක් මගින් පොලිස් නිලධාරීන් සිටින තැන් ගැන, ඔවුනට යම් පූර්ව අනතුරු සංඥාවක් ලැබේ.

සමහර විටෙක මෙලෙස මෙම රියදුරන්, අනෙක් වාහන ඕවර්ටේක් කිරීමට ඉරි දෙකම කපාගෙන කෙලින්ම ප්‍රති විරුද්ධ ලේන් එකේ, ඉදිරියට එති. ඇත්තෙන්ම ඔවුනට චෝදනා කල යුත්තේ, මාර්ග නීති කඩ කිරීමට නොව, මිනී මැරීමට උත්සාහ කිරීමේ චෝදනාවටයි.
අහිංසක, මාර්ග නීති හරියටම පිලිපදිමින් වාහන එලවන රියදුරන්, මේ ලේ වතුර වන බියගැන්වීම් වලින්, බේරා ගන්නේ කෙසේද?

දැන් තිබෙන තත්වයන් උඩ, ඒ සදහා හොදම පිලිතුර ස්ථාන වෙනස් කරන, කැමරා පද්ධතියක් යැයි මට සිතේ. එවැනි කැමරා 20 ක් පමණ, නොයෙකුත් ස්ථානයන්හි තබා, පැය 24 ම වීඩියෝ කර, එක්කෝ ඒ අවස්ථාවේම පරීක්ෂා කර හෝ එසේත් නැත්නම්, පසුදින පරීක්ෂා කර, මාර්ග නීති කඩන්නන් අල්ලා ගෙන, ඔවුනට දඬුවම් කල හැක. එම වාහනවල නොම්මරයද බලාගත හැකි, කැමරා තාක්ෂණය දැන් තිබේ. වීඩියෝ දර්ශණය උසාවියේ සාක්ෂියකට, අවශ්‍ය නම් ගත හැක.

 මෙය තවත් නිරවුල් කරන්නට අවශ්‍ය නම්, පුද්ගලික බස් කැමරා පද්ධතියට හදුනා ගැනීම සදහා, යම් තාක්ෂණයක් ඇතුල් කරන්නටද පුලුවන.

මෙම පද්ධතියේ කැමරා ඒකක නිතරම; මාසයකට 10/12 වතාවක් පමණ, වෙනස් තැන්වල ස්ථාන ගත කිරීමෙන්, ඒවා තිබෙන තැන්, අනුමාන කිරීමට රියදුරන්ට නොහැකි වන්නේය. මෙවැනි පද්ධතියක් රුපියල් මිලියන 10 කට මේ පැත්තෙන්, ගොඩනංවන්නට පුලුවන. රජයට මෙය වියදම් කරන්නට අපහසු නම්, මේ වියදම වාහන රක්ෂණය කරන ආයතන වලින් ඉල්ලා ගැනීමට පුලුවන. ඔවුන් ඉතා කැමැත්තෙන් එය ඉටු කරනු ඇත. මක්නිසාද, මෙවැනි පද්ධතියක් ඇති කිරීමෙන්, වාහන අනතුරු බෙහෙවින් අඩු වී, වාහන හිමියන්ට ගෙවන්ට සිදුවන රක්ෂණ ආවරණ, කැපී පෙනෙන අඩු වීමක් සිදුවන නිසාය.

මෙම පද්ධති ක්‍රියාත්මක වන බව දැනගත් විගසම, ඒවා කොතනක තිබෙන්නේදැයි, අනුමාන කිරීමට නොහැකි නිසා, මාර්ග නීති උල්ලංඝනයන් සහ ප්‍රතිපල මාර්ග අනතුරු වල සීඝ්‍ර පහල යාමක් සිදුවනු නොවනුමානය.

මෙම පද්ධතිය ඇති කිරීමෙන්, මාර්ගයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට, නොයෙකුත් ස්ථානවල සැඟවී, පාරට පැන රියදුරන් සමග අප්‍රසන්න අවස්ථා ඇතිවීමද, වැලැක්වෙන නිසා, ඔවුනද මෙයට බොහෝ කැමති වනු ඇත.  


අලුත් තොරතුරු දැනගනීමේ පනත, ව්‍යවහාරයට පත්වූ විගසම අප, පොදු ජනයාට මෙම කැමරා වලින් නිපදවන වීඩියෝ පට, නරඹන්නට රජයෙන් ඉල්ලා සිටීමට, හැකියාව ලැබෙන්නේ යැයි මම විශ්වාස කරමි. එසේ නම් යම් ප්‍රභූයැයි කියාගන්නා පුද්ගලයෙකු, මාර්ග නීති උල්ලංඝනය කරනවා දුටුවහොත්, අපට එම වීඩියෝ පටය නරඹන්නට ඉල්ලා, එම උල්ලංඝනයට නීතිය ක්‍රියාත්මක නොවූයේ ඇයි දැයි අසා සිටින්නටද පුලුවන් වනු ඇත.         

5 comments:

  1. පිස්සුද ඉලංගකෝන් මහත්මයා? එතකොට කොහොමද අහිංසක රාලහාමිලා දවසේ පඩිය හොයාගන්නේ.

    ReplyDelete
  2. ලංකාවේ අදිවේග මාර්ග වල වාහන පදවන්නේ කොහොමද කියලා ඩ්‍රයිවර් එඩියුකේශන් එකක් ඉක්මනට කලේ නැතිනම් අනතුරු තවත් වැඩිවෙලා ජීවිත ගොඩක් නැතිවෙයි.

    ReplyDelete
  3. You have brought up very timely important matter. I have seen a couple weeks ago same family 7 people died on head on collision in Ballapana and it is on A-1 route.

    Today this is very important matter to save very valuable human life as well as valuable assets.

    I really do not how right to know information act will implemented in Sri Lanka.

    But in America you cannot hide speeding cameras, and government of Police have to notify general public that there are cameras for checking over speed.

    However under any methodology we have to control this disastrous situation.

    ReplyDelete
  4. මම හිතන්නෙ ටික දවසක් කරා නම් හුඟක් වැරදි අඩුවෙයි

    ReplyDelete
  5. ඕක ගන්න කෙනෙක් ඉන්නව නම් මං බොහොම අඩුමිලකට හදල දෙන්නං කෝ...ගන්නෙ නෑ ඒක ෂුවර්

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...