Friday, July 29, 2016

පාරිභෝගිකයා, නිෂ්පාදකයා පැරදවිම සහ වොක්ස්වගන් සිහිනය.






පාරිභෝගිකයා, නිෂ්පාදකයා පැරදවිම සහ වොක්ස්වගන් සිහිනය.




මම මේ ලඟකදී ප්‍රවෘත්තියක, ශ්‍රී ලංකාවේ ත්‍රීවීලර් ලක්ෂ 14 ක් තිබෙන බව දැක්කෙමි. මෙම ගණන මනස අවුල් කරන ප්‍රමාණයකි. ලංකාවේ ජනගහනය මිලියන 20 කි. ඒ කියන්නේ පවුල්, එක පවුලක 5 ගණනේ ඉන්නවා යැයි සිතුවොත් ලක්ෂ 40 කි. ඒ අනුව බැලුවහොත් සෑම පවුල් 2.9 කටම එක ත්‍රිවීලරයක් තිබේ.
මේ ත්‍රිවිලර් සියල්ලම කුලී රථ ලෙසට පාවිච්චි වෙනවා යැයි සිතුවොත්, සෑම පවුල් දළ වශයෙන් 3 කට, අයිතිකාර පවුලත් ඇතුලුව, කුලී ගමන් යාම සදහා එක ත්‍රිවිලරයක් තිබේ.
ලක්ෂ 14 ක් පවුල් වල ඡන්ද අඩු තරමින් 3 ක් වත් තිබෙනවා යැයි උපකල්පනය කලහොත්, මුලු ඡන්ද ගණන ඡන්ද ලක්ෂ 42 කි. හරියට සංවිධානය කලහොත්, කෙනෙකුට ජනාධිපති කෙනෙකු වෙන්නට කිට්ටුවට යන ඡන්ද ප්‍රමාණයකි. උපකල්පනය කල ඡන්ද 3  ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් යන අන්දමට ව්‍යාප්ත වූ පවුල් නිසා, ඡන්ද ගණන 4 ක් වුවහොත් ඡන්ද ලක්ෂ 56 කි. දේශපාලඥයින් ත්‍රීවීල් පාලනය කිරීමට සහ නීති සෑදීමට මැලි ඇයි දැයි අපට සිතා ගන්නට පුලුවන. උදාහරණයක් වශයෙන් අපට වඩා දියුණුවෙන් පසු පසින් සිටින පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයට ත්‍රීවිලර් වලට ඇතුල්විය නොහැක, අපේ කොළඹ?
මෙම ත්‍රීවීලර් ලංකාවට ගෙන්වීමට, එකකට සාමාන්‍යයක් වශයෙන් ලක්ෂ 2 ක් විදේශ විනිමය ඉන්දියාවට ගියේ නම්, ඒ සදහා වැය වූ මුලු මුදල රුපියල් බිලියන 280 කි. මෙය ඕනෑම සම්මතයකට ගණන් බැලුවත් අති විශාල මුදලකි.
 මෙතරම් ලාභ ලැබිය හැකි, විශාල වෙළදපොලක් අත උඩ තිබියදී, මෙතරම් සරල වාහනයක් ලංකාවේ නිපදවන්නට, කිසිවෙකු උනන්දු නොවීම හා රජයෙන් එවැනි ව්‍යාපෘතියකට අනුබල දී ධෛර්යමත් නොකිරීම, පුදුම සහගතය.
ත්‍රීවිලර් හදන ඉන්දියාවේ, ඒක පුද්ගල ත්‍රීවීල් ප්‍රමාණය කොපමණදැයි, සොයා ගන්නට උත්සාහ කලත්, මට ලබාගත හැකි වූයේ තෝරාගත් නගර කිහිපයක ජනගහනය ලක්ෂයකට තිබෙන ත්‍රීවීලර් ගනනයි. එහි අඩු පැත්තට කොල්කටාහි 285 ක්ද, මුම්බායිහි 883 ක්ද වෙයි. මේ දත්ත 2009 සදහාය. 2009 වසරේ ශ්‍රී ලංකාවේ මුලු ත්‍රීවීල් ප්‍රමාණය දළ වශයෙන් ලක්ෂ 4 කි. එලෙස බැලූ විට ලංකාවේ ජනගහනය ලක්ෂයකට ත්‍රීවීලර් 2000 ක් පමණ වේ. මෙය කොල්කටාවේ ඒ අනුපාතය මෙන් 7 ගුනයකටත් වඩා වැඩිවේ. මෙය ගණනය කරද්දී දුටු තවත් දත්තයක් පුදුමය ගෙනදෙයි, එනම් 2009 සිට මේ දක්වා අවුරුදු 6 ක් තුල ලංකාවේ ත්‍රීවිලර් ප්‍රමාණය තුන් ගුනයකටත් වඩා වැඩි වී ඇත.
දැනටත් මාසයකට ත්‍රීවීලර් 10000 කට වැඩියෙන් ලියාපදිංචි කරන බව සදහන් වේ. ඒ සෑම ත්‍රිවීලරයකටම කුලී ගමන් ලැබෙයිද?

එසේම ත්‍රීවීලර් ගෙන්වීම නැවැත්වීමට අදහසකුත් නැත්නම්, ලංකාවේ දේශීය ආයතනයකට හෝ ආයතන කිහිපයකට මෙරටට වඩාත් සුදුසු, හැකිනම් ශබ්දය අඩු ත්‍රිවීලරයක් නිපදවීමට පහසුකම් ඇති කිරීම, රජයේ වගකීම නොවන්නේද, අතඋඩ වෙළදපොලක් හා තාක්ෂණයද තිබියදී, වොක්ස්වගන් සිහින දකින්නේ ඇයි?      

1 comment:

  1. ලංකාවේ තිබෙන ත්‍රිරෝද රථ වලින් 30% ක් පදවන්නේ, රියදුරු බලපත්‍ර නැති අය බවත්, එවැනි ත්‍රිරෝද රථ බහුලවම තිබෙන්නේ, කොළඹ නගරයේ බවත්, මෑතකදී දැනගත්තා. තිරෝද රථ පාලනයක් නොකලොත්, ඉන්දියාවේ බොහෝ නගරවල මෙන්, මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථවලට ප්‍රමුඛස්ථානයත්, අනෙකුත් මෝටර් වාහන වලට දෙවැනි ස්ථානයත්, ලැබෙන්නට ඉඩ තිබෙනවා.

    ඔබ කියන පරිදි, දේශපාලකයන් විසින්, ත්‍රිරෝද රථ පාලනයට පියවර ගනු ඇතැයි සිතන්නට අමාරුයි තමා.

    ත්‍රිරෝද රථ රියදුරන්ගේ විනය සැකසීමත්, වේග පාලනය සහ පටවන මගීන් සංඛ්‍යාව පාලනය කිරීමත් වැදගත්.

    ත්‍රිරෝද රථ දැනට එකලස් කරන්නේ ලංකාවේ නේද? ඒ වෙනුවට එම සමාගම්වල කම්හල් දෙකතුනක් සහ ඉන්දියානු මෝටර් බයිසිකල් එකලස් කිරීමේ කම්හල් කීපයක් ලංකාවේ පිහිටෙව්වොත්, සෑහෙන්න රැකියා දෙන්න පුළුවන්. නමුත් මෙහි නිපදවන සියල්ල දේශීය වෙළඳපොළට දැම්මොත් ලංකාව ඒවාගෙන් පිරී යනවා. ඒ නිසා ඒවා අපනයනයට පියවර ගතයුතුයි.

    වොක්ස්වැගන් හදන්න යන්නේ දේශීය වෙළඳපොළටද අපනයනයටද කියා මා දන්නේ නැහැ. දෙශීයව යුරෝපීය වාහනවලට ඉල්ලුමක් එතරම් නැහැ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...