Friday, July 15, 2016

ගල්මඩුවෙන් දෙගල්දොරුවට; කලාකෟති නිර්මාණයේ දේශපාලන බලපෑම.




ගල්මඩුවෙන් දෙගල්දොරුවට; කලාකෟති නිර්මාණයේ දේශපාලන බලපෑම.





ගල්මඩුව පන්සල.

ගල්මඩුවෙන්  දෙගල්දොරුවට; 


සිංහලේ අන්තිම සිංහල රජු, (1707 – 1739) වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, දෙවන රාජසිංහ රජ පුත් දෙවන විමලධර්මසූරිය රජුගේ සහ රාජවංශයේ නොවන ප්‍රභූ පවුලක මෙහෙසියකගේ පුත්‍රයාය. එහෙයින් ඔහු රජ වන්නට පෙරත්, රජ වූ පසුත්, නිතරම වාසල කුමන්ත්‍රණ වලට මුහුණ දෙන්නට සිදුවූයේ අනෙක් ප්‍රභූ පවුල් තුල ඔහුගේ මවගේ පවුලට සුවිශේෂි බලයක් ලැබෙන්නට ඉඩ තිබේ යැයි තිබූ බිය නිසාය. 

අවසානයේ තමන්ගේ ආරක්ෂාව සදහා ඔහු, මවගේ නෑයන් ජීවත්වන දුම්බර ප්‍රදේශයේ, කුඩා මාලිගාවක් සාදාගෙන එහි ජීවත් විය. ඒ දැන් කුණ්ඩසාල වරාපිටියේ උඩමලුව පන්සල අසලය. මහනුවර ආක්‍රමණය කල බ්‍රිතාන්‍ය සේනාංකයක් විසින් පසු කල මෙම මාලිගාව විනාශ කර ඇති අතර මහනුවර මාලිගාව ඉදිරියේ තිබූ සඳකඩ පහන එම මාලිගාවේ තිබූ එකක් යැයි පැවසේ. 
  
පිහිනුමට බොහෝ ඇලුම් කල මොහු, මාලිගාව සාදා ගත්තේද, කුණ්ඩසාලේ මහවැලි ගග අයිනේය. වරක් මොහු ගොඩ නගාගෙන සිටි, ලේවැල්ලේ මාලිගා තැන්න රාජකීය පිහිනුම් තටාකාංගනයේදී, ඔහු ගගට පනින විට, උලක ඇන මරන්නට කල කුමන්ත්‍රණය, බත් කූරෙකු විසින් ව්‍යර්ථ කිරීම ප්‍රසිද්ධ කථාවකි. ඒ සදහා කුමන්ත්‍රණය කල, පාත දුම්බර බංඩාර නම් පුද්ගලයෙකු පණ පිටින් දවාලූ තැන, තවමත් ‘බංඩාර දැව් ගොඩ‘ යනුවෙන් හැදින්වෙයි. දැන් සිරිමල්වත්ත බෝධිගල යැයි හැදින්වෙන්නේ එම ප්‍රදේශයයි.  







ලේවැල්ල පාළමට පහලින් නරේන්ද්‍රසිංහ රජුගේ රාජකීය පිහිනුම් තටාකයේ වර්තමාන තත්වය. 

නරේන්ද්‍රසිංහ රජු මිය යන විට, ඔහුගේ රාජවංශික මෙහෙසියනට දරුවන් නොසිටිය නමුත්, නැවතත් ඔහුගේ ප්‍රභූ පවුලක යකඩ දෝලියකට, පට්ටියේ බංඩාර නමින් පිරිමි දරුවෙකු සිටියේය. රජු මිය ගිය විට, රජකමට පත්වූයේ ඔහුගේ නායක්කර් බිරිදගේ සහෝදරයා වූ (ශ්‍රී විජය රාජසිංහ 1739 – 1747) හගුරන්කෙත බංඩාර නමැත්තෙකි. මේ, සමහර විට අවශේෂ බිසවකගේ දරුවෙකු වීමෙන්, නරේන්ද්‍රසිංහට මුහුණදීමට සිදු වූ දුෂ්කරතා වලට, පට්ටියේ බංඩාරටත් මුහුණ දීමට සිදුවේදැයි සිතූ නිසා, වන්නට පුලුවන. එසේත් නැත්නම්, නායක්කර් වංශිකයන්, රාජ සභාවේ බලවත් වූවා වන්නට පුලුවන. කෙසේ වුවද, පට්ටිය බංඩාර ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස මහලු වන තෙක්, රාජ සභාවේ සේවය කලේය.

විජය රාජසිංහ ගේ රාජ්‍ය කාලය, අවුරුදු අට කට සීමා විය. ඔහු ගෙන් පසු රජ වන්නේ, මහනුවර යුගයේ බුද්ධ සාසනයට ඉමහත් සේවයක් කල, (1747 – 1782) කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. බොහෝ වෙහෙර විහාර, රටපුරා ඉදිකල ඔහු, එකල මුහුදුබඩ ප්‍රදේශ පාලනය කල, ඕලන්ද ජාතිකයින්ගේ උදව් ඇතිව, තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන ඒමටද  මුල් විය.
1771 දී, ගොඩනංවන ලද මහනුවර කලාපුරය ප්‍රදේශයේ පිහිටි, ගල්මඩුව විහාරය මෙම රජු විසින් කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ තිබෙන බෞද්ධ වෙහෙර විහාර අතරින්, වඩාත්ම හින්දු කෝවිලක ලක්ෂණ ගන්නා, සිද්ධස්ථානය මෙය වෙයි. කලු ගල් සහ ගඩොල් වලින් සාදන ලද මෙම විහාරය, පිටතින් බලන කෙනෙකුට පෙනෙන්නේ, හින්දු කෝවිලක් ලෙසිනි.
මෙම විහාරය සාදා අවසන් වූයේ, කීර්ති ශ්‍රී රජුගේ අවසාන කාලයේය. මෙම විහාරය ගල් ගොඩකර සාදා ඇත්තේ, රජු ඇතුලට ගිය අවස්ථාවක, එම ගල් රජු මතට පෙරලා, ඔහු මරා දැමීමට බව, රජ කන වැකිණ. හේ එම පන්සලට ඇතුල් වීම ප්‍රතික්ෂේප කර, එම ප්‍රදේශයේම තිබූ ගල් ගුහාවක, ගල් දෙකක් මැදින් කපා, දෙගල්දොරුව විහාරය නිර්මානය කල බව පැවසේ.
කීර්ති ශ්‍රී රජු, මෙලෙස මල් වත්ත පන්සලේදී මරා දමා, පිපිට් නම් තායිලන්ත කුමාරයෙකු (බොරොම්කොට් නැමැති තායි රජුගේ 1733 – 1758 ගේ පුතෙකු) මහනුවර රජ කිරීමට, හාමුදුරුවරුන් හා නිළමේ වරුන් පිරිසක්, කල කුමන්ත්‍රණයක් අවසාන මොහොතේ, ඔත්තුවක් ලැබිමේ හේතුවෙන් ව්‍යර්ථ වී තිබූ නිසා, මොහු එලෙස සැක කිරීමද සාධාරනය.

 http://lakshmanillangakoon.blogspot.com/2016/10/blog-post_15.html


මෙලෙස ගල්මඩුව අතහැර, දෙගල්දොරුව විහාරය සෑදීමේ කථාවේ සිද්ධියේ, වඩාත්ම සිත් ගන්නා කරුණ, ගල්මඩුවේ තිබෙන හින්දු ආගමේ ගෟහ නිර්මාණ ශිල්පයේ, කිසිම ලකුණක්, දෙගල්දොරුව විහාරයේ නොමැති වීමයි. වෙස්සන්තර ජාතකය ඇතුලු, ජාතක කථා හතරක් චිත්‍රයට නංවා ඇති, දෙගල්දොරුව බිතුසිතුවම් කිසිම ඉන්දියානු ආභාෂයක් නොමැති, හැඩයෙන්, වර්ණයෙන් සහ නිර්මාණයෙන්, මූලක මහනුවර සිතුවම්ය. බොහෝවිට රජුට, හින්දු ගෟහ නිර්මාණ ශිල්ප ආභාෂයන්ද, එපා වන්නට ඇත. 

මෙම විහාරය මහනුවර යුගයේ අනර්ඝ බිතු සිතුවම් වලින් අනූන වන අතර මෙහි ඇති පරසතු මල ඉතාමත් දුර්ලභ සිතුවමක් ලෙස සැලකේ. 

සීගිරියේ බිතු සිතුවම් වලට අලාභහානි කල අවස්ථාවේ ඒවා පිලිසකර කිරීමට ලංකාවට පැමිණි ඉතාලි ජාතික විශේෂඥයෙකු වූ ලුසියානු මරන්සි දෙගල්දොරුවේ චිත්‍රද අවුරුදු සිය ගණනක් බැඳී තිබුනු තෙල් පහන්වල දැලි පිරිසිදු කලේය.    


                                                දෙගල්දොරුව පන්සල. 

2 comments:

  1. නුවර යුගයෙ හොඳම චිත්‍ර තියෙන්නෙ දෙගල්දොරුවේ...

    ReplyDelete
  2. https://en.m.wikipedia.org/w/index.php?title=Architecture_of_Cambodia&redirect=no
    හින්දු ආභාෂයට වඩා කාම්බෝජයේ ඇන්කොර් වොට් ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ නේද ගල්මඩුව විහාරය නෑකම් කියන්නේ...

    ReplyDelete

මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වලක්වන්නේ කෙසේද?

from http://lakshmanillangakoon.blogspot.com/2017/07/rathmalane.html මම ඊයේ රත්මලානේ දකින්නට ලැබ අල්ලා ගත් කොකේන් කිලෝ 150 ගැන බ්ලොග්...