Tuesday, February 12, 2019

රජයට බැරිනම් අපිවත් බාරගමු




මම  කුඩා කල පටන්ම ගොවිතැනට ආසා කළෙමි, හැකි සෑම අවස්ථාවක ම ගොවිතැනෙහි  යෙදුනෙමි. අවුරුදු 33 ක හමුදා සේවයෙන්  සේවයෙන් පසුව රියර් අද්මිරාල් වරයෙකු ලෙස විශ්‍රාම ලබා  දැන් ලොකු විවේක කාලයක් ඇති  නිසා පූර්ණකාලීනවම ගොවිතැනෙහි  යෙදෙන්නෙමි.

හමුදා සේවයේ සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ පකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ලබා ඇති අතර යාන්ත්‍රික උපකරණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්ද ලබාගෙන ඇති බව සඳහන් කරන්නේ මෙවැනි වැඩකට මට අතගැසීමට ඇති හැකියාව පෙන්වීමටය.

ගොවියෙක් වශයෙන් පමණක් නොව පුරවැසියෙකු වශයෙනුත් අපගේ ගොවියන්ගේ එළවලු විකුණා ගන්නට බැරි වී  මහත් අපහසුතාවයකට පත් වීම නිතර රූපවාහිනියේ ප්‍රවෘත්තිවල දැකීමෙන් මා මහත් කනස්සල්ලට පත්වෙමි.
ජපානය වැනි රටවල මෙවැනි වෙළඳපොල කඩා වැටීම වැළැක්වීම සඳහා ගොවියන්ට රජයෙන් සැලසුම් කළ වාණිජ එළවළු පමණක් ප්‍රදේශයේ පාරිභෝජන අවශ්‍යතාවයට අනුව පමණක්  වගා කිරීමට ඉඩ දෙන්නේ ඇයි මම අසා තිබේ.
එවැනි කිසිම සැලසුමක් අප රටේ නොමැති නිසා මෙවැනි අතිරික්ත නිෂ්පාදන ඇතිවීමෙන් වෙළඳපොල කඩා වැටීම ස්වභාවිකය,  එසේ නොවී සෑම බෝගයකටම ගොවියන් හා පාරිභෝගිකයන්ට  සාධාරණ මිල පරාසයක්  වර්ෂය පුරා පවත්වාගැනීමට නම් එක්කෝ  රජය සැළසුම් කළ යුතු ය එසේත් නැත්නම් රජය ගැන අමතක කර ගොවියන් තමන්ගේ වගා බෝග මොනවාදැයි සැලසුම් කරගත යුතුය.

මේ සඳහා රජය සැළසුම් කරන්නේ නැත්නම් තමන්ගේ බෝග නිෂ්පාදන වලට සාධාරණ වටිනාකමක් ලබාගැනීමට ඊළඟ කන්නය සඳහා තමන් වගා කළ යුත්තේ කුමන බෝගයක් දැයි තීරණයක් ගැනීම සඳහා ලංකාවේ අනිකුත් ගොවියන්; විශේෂයෙන්ම වෙළඳාම සඳහා එළවළු වගා කරන ගොවියන්, කුමක් ඒ කන්නයේ වගා කරන්නේ දැයි අදහසක් තිබිය යුතුය.

දැනට පවතින තත්වය අනුව එවැනි ගොවියෙකුට රටේ අනෙක් ප්‍රදේශවල කුමන භෝග  වගාකරන්නට සැලසුම් කරන්නේදැයි දැනගන්න විදිහක් නැත.
මෙම තොරතුරු එසේත් නැත්නම් දැනුම ඕනෑම ගොවියෙකුට තමන්ගේ කන්න පටන් ගැනීමට පෙර දැනගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මට අදහසක් ඇතිවිය.

මේ පිළිබඳව මා IT තාක්ෂණය පිළිබඳව ඉතාමත් දක්ෂයකු වන මාතර  අචල උත්සුක  මිතුරා  හා කතා කළෙමි. ඇත්තෙන්ම ඔහු වසර කිහිපයකට පෙර මට හඳුන්වාදුන්නේ මගේ පැරණි මිතුරෙකු වන සරත්  විමලසුරිය විසිනි. අචල  මේ සඳහා ඉතාමත් උද්‍යෝගිමත් වූ අතර අප මෙලෙස ලංකාවේ ඕනෑම ගොවියෙකුට තමන්ගේ වගාව   පටන් ගැනීමට පෙර රටේ අනෙකුත් ප්‍රදේශ වල කුමන එලවලු බෝග වෙළඳාම සඳහා වගා වගා කරන්නේ ද යන්න නොමිලේ දැනගැනීමට මුහුණු පොතේ පිටුවක් සහ app එකක් සෑදීමට සාකච්ඡා කර ගත්තෙමු.

දැන් මෙම app එක සඳහා input ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කල යුතුය. ඒ සඳහා ලංකාවේ වෙළඳාම සඳහා එළවලු වගාකරන ප්‍රදේශවලින් තොරතුරු මසකට දෙවරක් වත් සැපයීම සඳහා නියෝජිතයන් එසේත් නැතිනම් සහාරුවන් අවශ්‍යයය.
මේ සඳහා මුලින්ම එළවලු වෙළඳාම සඳහා වගාකරන ප්‍රදේශ හඳුනාගත යුතුය. එම ප්‍රදශ හඳුනාගැනීම සඳහා මම සුරගොවියා fb පටුවේ පෝස්ට් එකක් දැම්මෙමි.එයට ලැබුණු ප්‍රතිචාරය අනුව ලංකාවේ වෙළඳාම සඳහා එළවලු වවන ප්‍රදේශ පහත පරිදිය. ලැයිස්තුව ආකරාදී පිළිවෙලට ලිවීමේ පහසුව සඳහා ඉංග්‍රීසියෙන් ලියමි.


1.  Ambiliptya
2.  Angunakola palassa
3.  Anuradhapura
4.  Balangoda
5.  Bandaragama
6.  Bandarawela
7.  Beliaththa
8.  Beruwala
9.  Dambulla
10.              Gampola
11.              Halaawatha
12.              Jaffna
13.              Koslanda
14.              Kothmale
15.              Kurunagala
16.              Mahanuwara
17.              Mandaram nuwara
18.              Marassana
19.              Melsiripura
20.              Monaragala
21.              Nuwaraeliya
22.              Polonnaruwa
23.              Polpithigama
24.              Puththalama
25.              Ranna
26.              Suriyawewa
27.              Vavuniyawa
28.              Walapane
29.              Welimada



මෙම ලැයිස්තුවට තවත් ප්‍රදේශ එකතුවිය යුතු යයි ඔබ සිතන්නේ නම් කරුණාකර යෝජනාකරන්න.

දැන් අපට මෙම ලයිස්තුවේ සඳහන්ව ඇති සම ප්‍රදේශයකින්ම වාර්තාකරුවන් එක අයෙකු හෝ වැඩි ගණනක් අවශ්‍යය වන අතර මෙම සේවය ස්වෙච්චා සේවයක් බව මුලින්ම කිවයුතුය.
එම නියෝජිතයන්ගේ වගකීම වන්නේ මසකට දෙවරක් ( 5 වෙනිදා සහ 20 වෙනිදා)තමන් ජිවත්වන ප්‍රදේශයේ ගොවියන් කුමන භෝගයක් හෝ භෝගයන් වගාකරන්නේද කුමන භෝගයන්ගේ අස්වැන්න නෙලන්නේද යන්න  අපගේ fb පිටුවේ නියමිත  ස්ථානයේ  වාර්තා කිරීමයි.

අප මෙම තොරතුරු ව්ශ්ලේෂණය කර වගුගතකර සිතියමකට ඇතුලත් කරගත් පසු  අවශ්‍ය ගොවියෙකුට අවශ්‍ය වෙලාවක නොමිලේ ලංකාවේ ඕනෑම ස්ථානයක එසේත් නැත්නම් රටපුරා පොදුවේ කුමන භෝග වැවීමට සැරසෙන්නේද, කුමන භෝග වල අස්වැන්න නෙලන්නේද හෝ කුමන භෝගයන්හි අස්වැන්න කුමන කාලයකදී වෙළඳපොළට පැමිණෙන්නේද යන තොරතුරු ලබාගත හැකිවෙයි.
මේ පටන්ගැන්මෙදිය. කාලයත් සමග අපට මෙම app එක තවදුරටත් ප්‍රවර්ධනය කර තවත් බොහෝ ප්‍රයෝජන අප ගොවියන් වෙත ලබාදිය හැකි වනු නොඅනුමානය.

ඔබ මෙහි ප්‍රාදේශීය නියෝජිතයෙකු වීමට කැමැත්තේ නම් කරුණාකර ඉන්බොක්ස් කරන්න. මේ සඳහා ඔබ ගොවියෙකුම වීමට අවශ්‍ය නැත. රට අවුලින් ගොඩගැනීමට සැමවිට සිතන පුරවැසියෙකු වීම ප්‍රමාණවත්ය.

කරුණාකර මේ පිලිබඳ ඔබට යම් යෝජනාවක් හෝ අදහසක් ඇත්නම් කොමෙන්ට් කරන්න . එසේත් නැත්නම් පහත ලිපිනයන්ට දන්වන්න.
whatsap - 0702526565
1/38 sirimalwatta gunnapana 20270



කීඩ්නි වසංගතයේ තවත් පැත්තක්






අපි දැන් මාස කිහිපයකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. නැරඹිය යුතු ප්‍රධාන දේශීය සංචාරක ස්ථාන වලට අමතරව අපත් සමග ගිය පවුල කලකට පෙර පොළොන්නරුවේ රැකියා කරද්දී ඔවුන් දැන  අඳුනාගත් පවුල් කිහිපයක් බැලීමටද ඔවුන් සමග ගියෙමු. ඔවුන් සමග කතාකරද්දී  මේ ප්‍රදේශ වල දැන් පවතින වකුගඩු වසංගතය ගැන මා ඔවුන්ගෙන් අසන්නට උත්සුක වුනෙමි. 

විශේෂයෙන් මෙම වසංගත තත්වය නිසා එහි ජන ජිවිතයේ බොහෝ වෙනස්කම් පිටතින් පැමිණ දවසක් දෙකක් ගතකරන කෙනෙකුට හෝ පැහැදිලිව පෙනෙන්නට තිබේ. වතුර පෙරා විකුණන කඩ බොහෝ තැන්වල ඇතිවී ඇත. අප සෝමාවතිය කිට්ටුව නිවසකට ගිය පසු මම ඒ නිවසේ අය ගෙන් මේ පිළිබඳව විමසුවිට ඔවුන් එම ව්‍යාධිය ඒ අවට නොමැති බව පෙන්නන්නට විශේෂ උනන්දුවක් ගන්නා  හැටියක් ද මට හැඟුනි. ඒ එවැනි රෝගයක් තිබෙන ප්‍රදේශයක ජිවත් වීම ලැජ්ජාවට කරුණක් නිසාද එසේත් නැත්නම් අප ඒ ගෙදරින් තේ බිමට අදිමදි කරයිදෝ යන සැකයෙන්ද දන්නේ නැත. 

නමුත් ලංකාවේ මෙම වකුගඩු වසංගතය ඔඩු දුවන තත්වයකට පත්ව තිබේ. සෞඛය අමාත්‍යංශයට අනුව මේ වනවිට රෝගීන් 400000 පමණ අප අතර සිටිති. ගණනට වඩා  භයානක කාරණය මේ රෝගයට කාරකය තවම සොයාගෙන නොමැති වීමයි. අනෙක් සැම ප්‍රශ්නයකදීම මෙන් අපේ විසේසඥයන් නොයෙකුත් හේතු ගෙනහැර පාති. එහෙත් තවමත් හරි හේතුවක් විද්‍යාත්මකව පෙන්නාදී නැත්තේය.

බොහෝ දෙන මෙම වසංගත තත්වය ඇතිවී ඇත්තේ ගොවිතැනට  රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා යයි කියති. මේ හේතුව නිසා ග්ලයිපොසේට නමැති වල් නාශකය ලංකාවට ගෙන්වීමද තහනම් කෙරින. ඇමෙරිකාවේ නිපදවන මෙම වල් නාශකය තවමත් ලෝකයේම  තහනම් කර ඇත්තේ රටවල් හතරක  පමණි. ඒ මෝල්ටාව, ලංකාව, නෙදර්ලන්තය සහ ආජන්ටිනාවයි. අප හැරෙන්නට  මේ ඒක රටකවත් මෙය තහනම් කර ඇත්තේ වකුගඩු අසනීප වලට මෙය හේතු වන බව නිසා නොවේ, වෙනත් හේතුන් මතය.

යුරෝපයේ හා  බටහිර බොහෝ දියුණු රටවල්  කෘෂිකාර්මික කටයුතු වලට පමණක් නොව දුම්රිය හා මහාමාර්ග දෙපස වල් පාලනය කිරීමට යොදාගන්නේද මෙවැනි වල් නාශකය. එසේනම් එම නාශක වලින් මෙවැනි වකුගඩු වසංගතයක් ඇතිවන්නේ නම් ඔවුනට අපට පෙර එම වසංගත ඇති විය යුතුය. එසේනම් ප්‍රංශය වැනි දියුණු, පරිසර පක්ෂ බලගතු  එමෙන්ම ලිබරල් රටවල් මෙවැනි වල් නාශක පාවිච්චිය නැවත්වීමට වහා පියවර ගනු ඇත.ඔවුන් තවමත් එවන් පියවරක් ගෙන නැත්තේය.

ලංකාවේ මෙම වසංගත තත්වය ඇතිව ඇත්තේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලය. මේ දෙකම ලංකාවේ අනෙක් ගොවිතැන් කරන දිස්ත්‍රික්ක වලට වඩා උෂ්නාධිකය, විවෘත අවකාශයේ මහන්සිවී වැඩකරන්නන් අධික ලෙස විජලනයට ලක්වේ. මේ ලෙස  නිතර විජලනය වීම වකුගඩු රෝග වලට නියත හේතුවකි. අපේ ගොවියන් ; වෙනත් බොහෝ මහන්සිවී වැඩකරන්නන් මෙන්ම, වැඩ කරනවිට ලඟින් ජලය බෝතලයක් තබාගෙන පානය කිරීමක් සිදුවන්නේද නැත. 
මම මේ ලඟකදී චීනයේ සංචාරයක් කලෙමි. එහි එකල උෂ්නත්වය මෙහි තරම් නොවුවද සැම මිනිසෙකුම පාහේ වතුර බෝතලයක් අතේ තබාගෙන සිටි බව මම දුටිමි. මම චීනයේ දවසකට කොතරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි වෙනවා ඇද්දැයි ඒ වෙලාවේ කල්පනා කලෙමි. සමහරවිට මෙය රජය විසින් ධෛර්යමත් කරන්නක් විය හැක.

ලෝකයේ  දැනට වකුගඩු වසංගත තත්වයට  පත්ව ඇත්තේ ප්‍රදේශ කිහිපයක් පමණි. ඒවා නම් අප උතුරු මැද , දකුණු  ඉන්දියාවේ ඔඩිෂා සහ  අන්ද්‍රා ප්‍රදේශය, ඉහල ඊජිප්තුවේ අල් මිනියා ප්‍රදේශය, එල් සැල්වදෝර්, නිකරගුආ සහ මැක්සිකෝ සමහර ප්‍රදේශය. මෙම ප්‍රදේශ  භූගෝලීය පිහිටීමේ යම් විශේෂයක් ඇත. එනම් ඒවා සමකයට රළු වශයෙන් සමාන දුරකින් සමකයට උතුරින්  පිහිටා තිබීමය. මේවායින් ඊජිප්තුව හැරෙන්නට අනෙක් සියලුම තැන් වල මෙම වසංගතයට අසුවී සිටින්නේ ගොවියන්ය. අප අර්ධද්වීපයේ වී ගොවියන්ය, මධ්‍යම ඇමෙරිකාවේ උක් වගා වල කම්කරුවන්ය. 

මේ ගොවියන් හෝ කම්කරුවන් දහවල අව්වේ වැඩ කරති. වතුර බෝතලයක් වත් දවසකට පානය නොකරති. බොහෝ දෙනෙකු හැන්දෑවට කසිප්පු බොති. http://lakshmanillangakoon.blogspot.com/2016/06/blog-post.html

මේ ලඟකදී නිකරගුවාවේ උක් වගාවල කම්කරුවන් යොදා ගෙන කරන ලද පරීක්ෂණයකදී හේතුව  මේ පැත්තට යොමුකරන නිරීක්ෂණයන් ලැබී තිබේ. උක් වගාවක  නොයෙකුත් වර්ග වල රැකියාවන් කරන පිරිස් උක් කපන වාරය අවසන් වූ පසු වකුගඩු පරීක්ෂණයකට භාජනය කල පසු දහවල කට්ට අව්වේ මහන්සියෙන් වැඩ කරන්නන් ගේ වකුගඩු අසනීප වීමට වඩා ප්‍රවනතාවයක් ඇතිවී ඇති බව නිරීක්ෂණය වී ඇත.

අප රටේද කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වීම බොහෝ පිරිමින් හා  සසඳනවිට  බොහෝ අඩු බව පෙනේ. මෙයත් ඉහත නිරීක්ෂණය ශක්තිමත් කරන බව පෙනේ.

එසේම උතුරු මැද ගොවියන් මෙයට ගොදුරු වීමටත් එවැනිම දේශ ගුණික තත්වයන් තුල ගොවිතැන් කරන උතුරේ ගොවියන්ට මෙයට ගොදුරු වීම අඩු වීමටත් හේතුව කුමක් විය හැකිද?

මම කලකට පෙර යාපනේ රාජකාරි කරද්දී හදිසි පරික්ෂාවකට කණ්ඩායමක් සමග ගියෙමි. යම් සැකයක් නිසා නිවාස කිහිපයක් වටකර නිවෙස් එකින් එක පරීක්ෂා කරද්දී එම ගමේ තැපැල් ස්ථානාධිපති වරයා ඔහුගේ වත්තේ  පැලවලට වතුර දමමින් සිටියේය.

 "
ඔබ රෑත් වැඩද  ?" 

"
ඔව් අපි හඳ එලියෙමුත් වැඩක් ගන්න ඕනෑ ( යර්ස් , වී මස්ට් මේක් යුස් ඔෆ් ද මුන් ලයිට් ටු  " ඔහු පෙරලා පිළිතුරු දුන්නේය.
මෙය මට මතක් වුනේ යාපනේ ගොවියන්ගේ වැඩ කරන ආකාරය අපේ ගොවියන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි කල්පනා කරන විටය. මම එකල උදේ පාන්දර ඇවිදින්නට යනවිට ගොවියෝ තම කෙත්වතු වලට දැමීමට  පාරේ වැටි ඇති ගොම එකතු කරති.

මට හැඟෙන විදිහට ඔවුන් උදේ පාන්දර සහ හවස වැඩ කර පට්ට දවාලට වැඩ කිරීම මඟ අරිති. එයි විජලනය වැළකෙයි. මා දන්නා හැටියට උතුරේ ගොවියෝ අපේ ගොවියන් තරම් හැන්දෑවට බොන්නෙත් නැත. ඒකටත් එක්ක බොන්නේ ධිවරයන්ය.

මේ සියල්ල දෙස බැලුවිට මේ වකුගඩු ප්‍රශ්නය විසදන්නට ජිවත්වන ක්‍රම වේද වෙනස්කිරීම බොහෝ ප්‍රයෝජනවත් විය හැකි යයි පෙනේ. එයින් මෙයට ගොදුරු වුන අපේ සහෝදර ලාංකිකයනට එයින් එතරම් ප්‍රයෝජනයක් නොවුනද තවත් පරම්පරාවක් එයින් බේරාගැනීමට අපට හැකි විය හැක.

Saturday, February 2, 2019

අකිරා කුරෝසොවා




මම බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ චරිත කථා කියවා ඇත්තෙමි. මේ අතර මා ඉතාමත් අගය කල චරිතයන් කිහිපයක් වෙයි. ඒ ඔවුන්ගේ චරිතවල ඇති පරමාදර්ශිභාවයම පමණක් නොව සමහර විට ඒවායේ ඇති වර්ණවත්භාවය සහ ලියා ඇති ශෛලියයි. ගෙන්ගිස් ඛාන්, අයින්ස්ටයින්, ලෙනාර්ඩො ඩාවින්සි, හැනිබල්, ජනාධිපති කෙනඩි, පිදෙල් කස්ත්‍රෝ, නෙල්සන් මැන්ඩෙලා මේ අතරින්  ප්‍රමුඛස්ථානයක් ගනී.
මේ අතරින් මම තිදෙනෙකුගේ චරිත කථා; අයින්ටයින්, පිදෙල් කස්ත්‍රෝ, සහ නෙල්සන් මැන්ඩෙලාගේ  සිංහලෙන් ලියා පළ කලෙමි. මම ගිය සතියේ ලෝකයේ හොඳම සිනමා අධ්‍යක්ෂක කෙනෙකු ලෙස පිළිගැනෙන; අග්‍රගණ්‍යයේ අධ්‍යක්ෂකවරයා නොවන්නේ නම්, අකිරා කුරෝසාවාගේ ස්වයං චරිතාපදානය කියවා අවසන් කලෙමි. ‘Something like an autobiography’ නමින් ලියා ඇති මෙම පොත මම කියවා ඇති අනෙක් බොහෝ චරිත කතා වලට වඩා වෙනස්ය. එයට ප්‍රධාන හේතුවක් විය හැක්කේ මෙම පොත ස්වයං චරිතාප්‍රදානයක් වීම විය හැක. අනෙක් කාරණය ඔහු මෙම පොත ලියා ඇති අවංක ආකාරයයි. තමන්ට යම් අවස්ථාවල ඇතිවන හැඟීම් පවා එයින් තමන්ට වන කැළලක් හෝ අපහසුතාවයක් ඇතිව්මට ඉඩක් තිබුණද  ලියා ඇති ආකාරයයි.
ඔහු මෙම පොත ලියා ඇත්තේ අකමැත්තෙනි. එම කරුණ ඔහු පොත ලියන්නට පටන් ගන්නා විටම ප්‍රකාශ කර සිටි.
“මගේ මිතුරන් බොහෝ දෙනෙකු මගෙන් ස්වයං චරිතාප්‍රදානයක් ලියන ලෙසට ඉල්ලා සිටියහ ..... ඔවුනට කලාකරුවා කැමරාවේ  සහ මයික්‍රොෆෝනයේ උදව්වෙන් ඔහුගේ අදහස් දැනටමත් ප්‍රකාශකර තිබීම ප්‍රමාණවත් නොවන සැටිය. ඔවුනට කලාකරුවා කවුදැයි දැන ගැනීමටත් වුවමනාය.”
1910 වසරේ ඉපදෙන අකිරා සමුරායි පවුලකට අයත් දරුවෙකි. ඔහු කුඩා කාලයේ චිත්‍රපටවල කතා නාද නොමැත. ඔහුගේ පියා තම පවුල නිතරම චිත්‍රපට බලන්නට රැගෙන යයි. ඒවා බොහෝවිට ඉංග්‍රීසි හෝ ප්‍රංශ චිත්‍රපටය. මෙය කියවද්දී මට සිතුනේ අපේ රටේ මෙම නිශ්ශබ්ද චිත්‍රපට පෙන්නුවේද, එසේනම් ඒ කුමන  චිත්‍රපට ශාලාවලද යන්නයි.
ජපානයේ කලක් යනවිට මෙම නිශ්ශබ්ද චිත්‍රපට නරඹන්නන් සඳහා චිත්‍රපටය පැහැදිලි කිරීමට කථකයන් යොදා ගැනිණ. ටික කලකින් ඔවුන්ද නළුවන් තරමටම ප්‍රසිද්ධ වූ කලාකරුවන් පිරිසක් බවට පත් විය. එම කථකයන් නරඹන්නන් අතර අඩු වැඩි වශයෙන් ජනප්‍රිය වූ අතර ඔවුන් නිසාම චිත්‍රපට නරඹන්නන් කණ්ඩායම් ඇතිවිය. ඔවුන්  ජපානයේ බෙන්ෂි නමින් හඳුන්වුනු අතර 1927 වසරේ කතකයන්  6800 ජපානයේ සිටියහ.  අකිරා කුරසෝවාට බොහෝ උදව් කළ ඔහුගේ වැඩිමහල් සහෝදරයාත් මෙවැනි කථකයෙක් විය. මුලින් දෙවැනි පෙළ කථකයකු වූ ඔහු පසුව ජනප්‍රිය කථකයකු බවට පත් විය.
කතානාද චිත්‍රපට පැමිණීමත් සමගම මෙම කථිකයන්ට සිදු වූ ශෝකජනක ඉරණම අපට සිතා ගන්නටත් පුළුවන. චිත්‍රපට නරඹන්නන් අතර නළුවන්  මෙන් ජනප්‍රියව සිටි මෙම පිරිස එක රැයින් කිසිම දෙයක් කරකියා ගත නොහැකි පිරිසක් බවට පත් විය. කුරසෝවාගේ සහෝදරයා සියදිවි නසා ගත්තේය.

කුරසෝවා චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණීමත් අසාමාන්‍ය කතන්දරයකි. 1935 වසරේ ඔහු පුවත්පතක චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරුන් බඳවාගැනීම සඳහා ලුහුඩු දැන්වීමක් දකී. මෙය දකින තෙක් ඔහු කිසි විටෙකත් චිත්‍රපට ක්ෂේත්‍රයට ඇතුළු වීමට සිතා නොමැත. මෙලෙස සහාය අධ්‍යක්ෂක වරයෙකු ලෙස රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය නම්, එකල ජපානයේ චිත්‍රපට කර්මාන්තය තුළ කුමන අඩුපාඩු තිබේද, ඒවා නිවැරදි කළ හැක්කේ කෙසේද, යන මාතෘකාව යටතේ නිබන්ධනයක් ලියා එවන ලෙස දන්වා තිබිණ.

ඔහු මේ සඳහා නිබන්ධනයක් ලියා යවන ලද අතර මාස කිහිපයකට පසු, ඔහු එම තෝරා ගැනීමේ පළමුවන කොටස සමත්ව ඇති බව දන්නවා දෙවන සම්මුඛ පරීක්ෂණයට සහභාගිවෙන ලෙස දැන්වීමක් ලැබිණ.

500 ක් පමණ වූ මූලික අයදුම්කරුවන් ගෙන් එකසිය තිස් දෙනෙකු මෙම දෙවන සම්මුඛ පරීක්ෂණයට තෝරාගෙන ඇති බව ඔහුට එහිදී දැන ගන්නට ලැබුණි. එසේම සහාය අධ්‍යක්ෂවරුන් සඳහා ඉඩ ප්‍රස්ථාව ඇත්තේ පස් දෙනෙකුට පමණක් බවත් ඔහුට දැනගන්නට ලැබුණි. පරීක්ෂණයට ඔවුන්ට මුලින්ම ලැබුණේ ජවනිකාවක් ලියන්නටය. ඒ සඳහා මාතෘකාවක් ලෙස ලැබුනේ පුවත්පතක තිබුණ පරාධ ප්‍රවෘත්තියකි. ඉන්පසු වාචික සම්මුඛ පරීක්ෂණයක් තිබුණු අතර සතියකට පමණ පසු කුරසෝවා එම චිත්‍රාගාරයේ සහාය අධ්‍යක්ෂක වරයෙකු ලෙස තෝරා ගන්නා ලද බව දන්නවා ලිපියක් ලැබිණ.

Wednesday, January 16, 2019

3 ගිනි බොක්කේ මුහුදු කොල්ල කරුවන් මර්ධනය කිරීම 3





මෙම සම්මන්ත්‍රණය ගිනි බොක්ක කලාපයේ පලවෙනි වරට පැවැත්වූ සාගර ආරක්ෂාව පිළිබඳ මේ සදහා නයිජීරියාව, ඝානා, අයිවරි කෝස්ට්, ගැබොන්,ඉක්විටෝරියල් ගිනි, නැමීබියා, දකුණු අප්‍රිකාව, බෙනින් සමූහ ආණ්ඩුව, සෙනගල්, ටෝගෝ, කැමරුන් සහ සාවෝතෝමේ සහ ප්‍රින්සිපේ යන රටවල නාවික හමුදාපති වරුන්ද සහභාගි වූහ. 

එයට අමතරව එක්සත් ජනපද අප්‍රිකා අණදෙන  මූලස්ථානයේ ප්‍රධානියාද බොහෝ බටහිර රටවල සාගර ආරක්ෂක සමාගම්වල නියෝජිතයන්ද මේ සදහා සහභාගි වුනි. අපේ සමාගමෙන් සභාපතිවරයාත් මමත් තවත් විශ්‍රාමික නාවික හා ගුවන් හමුදා නිලධාරියෙකුත් සහභාගි වුනෙමු. මෙම සම්මන්ත්‍රණය පැවැත්වුනේ ක්‍රොස් ගඟ අසබඩ පිහිටි තිනාපා ලේක්සයිඩ් හෝටලය නැමැති හෝටලයකය. සාමාන්‍යයෙන් නයිජීරියාවේ බොහෝ නගරයන්ට වඩා ඉතාමත් පිරිසිදු සහ ස්වාභාවික අලංකාරත්වයෙන් යුත් කලබාර් ප්‍රදේශය පිහිටා තිබෙන්නේ නයිජීරියාවට නැගෙනහිරින් අසල්වැසි රටක් වූ කැමරුන් රාජ්‍යය සහ නයිජීරියාව අතර  දේශ සීමාව ආසන්නයේය.

දවස් කිහිපයක් පැවති මෙම සම්මන්ත්‍රණයේදී අපට බොහෝ නයිජීරියානු රාජ්‍ය නිලධාරීන් අදුනා ගැනීමට ලැබුනු අතර, මේ අතර එහි නාවික හමුදාපතිවරයා විශේෂ විය. ඒ ගිනි බොක්කේ මුහුදු ආරක්ෂක කටයුතු සදහා අපට සහභාගි වීමට හැකියාවක් ලබා දීමට ඔහුගේ උපකාරය බොහෝ සේ ප්‍රයෝජනවත් වන බව අප දැන සිටි  නිසාය. සම්මන්ත්‍රණය දවස් කිහිපයක් පැවතුන නිසා උදේ පාන්දර නැගිට ඝණ වනාන්තරයක් වැනි එම ක්‍රොස් ගඟ අවට ඇවිදීමට අප සැම දිනකම වාගේ ගියෙමු. උදයේ නැගිට ඇවිදින්නට ලෑස්ති වී බුෆේ එකට ගොස් ජූස් එකක් ආදිය බී ඇවිදීමට යන අපි පැය එක හමාරක් පමණ ඇවිද ආපසු කෙලින්ම බුෆේ එකට ගොස් උදය ආහාරය ගෙන කාමර වලට ගොස් ඇඳගෙන සම්මන්ත්‍රණයට යාමට අපි පුරුදු වූයෙමු. 

සම්මන්ත්‍රණයේදී  සහ එහි අවසන හෝටලයෙදී  හැකි තරම් ගිනි බොක්ක අවට රටවල නාවික හමුදාපතිවරුන් හමුවී ඔවුන් සමග දැන හැදුනුම්කම් ඇතිකර ගැනීමට අපි උත්සුක වූයෙමු. එලෙස පුද්ගලිකව හමුවන එම නාවික හමුදා ප්‍රධානීන්ට අපි රැගෙන ගිය වටිනා තේ නිෂ්පාදන ත්‍යාග වශයෙන් දී අපි කරන්නට බලාපොරොත්තු වන ගිනි බොක්කේ මුහුදු ආරක්ෂක වැඩ පිලිවෙල ඔවුන්ට පැහැදිලි කර දුන්නෙමු. මෙසේ අපට මහන්සි වීමට සිදුවුයේ ගිනි බොක්ක අවට සම රටක්ම පාහේ අප යෝජනා කරන වැඩපිළිවෙලට අනුමැතිය දිය යුතු නිසාවෙන්ය.

අපි මෙලෙස උදේ ඇවිද්දනට යන විට එකල තිබු ආරක්ෂක හේතුන් නිසා හෝටලයෙන් පිටතට යාම එතරම් සුදුසු නොවන බව අපට දන්වා තිබුනද, අපි එය එතරම් ගණන් නොගෙන හෝටල් පරිශ්‍රයෙන් පිටතට පැමිණ එළියට එනවිට දකුණු පැත්තට තිබුනු පාරේ ටික දුරක් ගමන් කල විට ඉතා විශාල භූමියක විහිදී ඇති අති විශාල ගොඩනැගිල්ලක් දුටුවෙමු. හෝටලයෙන් කිලෝ මීටර් දෙක තුනක් එලියෙන් පිහිටි මෙම ගොඩනැගිල්ල ගොඩනැගිලි පරිශ්‍රයක් වශයෙන් හිතා ගන්නට බැරි තරම් විශාල වූ අතර, කුමන අවශ්‍යතාවයකට ගොඩනගා ඇත්තේදැයි සිතා ගන්නටත් අපහසුය. මෙහි මුදුනේ සිට බලන විට ඈත ග‍ඟෙන් එගොඩද මීටත් වඩා තවත් විශාල ගොඩනැගිල්ලක් සාදමින් පවතින බවද පෙනුනි. හෝටලයට පැමිණි පසු මෙය කුමක්දැයි විමසූ විට අපට දැන ගන්නට ලැබුනේ මේ පරිශ්‍රය වසරකට වරක් පොලක් වැන්නක් පවත්වන්නට යෙදෙන බවත් අසල්වැසි රට වලින්ද මෙයට මිනිසුන් පැමිණෙන බවත්ය. බොහෝ විට තෙල් සල්ලි ඇති රටවල්; තෙල් සල්ලි නැති රටවලද එවැනි දෑ නොකෙරෙන වාම නොවේ, තමන්ට ලැබෙන මුදල්  විශාල වැඩකට නැති වැඩවල යෙදවීමට මෙය හොඳ උදාහරණයක් නොවේදැයි මට සිතුණි.
සම්මන්ත්‍රණය අවසානයේදී ආපසු ලාගෝස් නගරයට ගුවනින් ගිය අපි එහි සිට එමිරේට් ගුවන් යානයකින් ඩුබායි ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණියේ බොහෝ බලාපොරොත්තු ඇතිවය.  
අප විසින් යෝජනකරනු ලැබූ මෙම ව්‍යාපෘතියට රටවල් දුසිමකටත් වැඩි ගණනක්  සහ රටවල් 16 ක සාමාජිකත්වයෙන් යුක්ත Ecowas ආර්ථික සමුළුවේ ද කැමැත්ත ලබාගත යුතු නිසා ලංකාවට පැමිණි පසු මෙම රටවල් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට අපි දැඩි මහන්සියකින් කටයුතු කළෙමු.          

Sunday, January 13, 2019

2 ගිනි බොක්කේ මුහුදු කොල්ල කරුවන් වැලැක්වීම 2






.........මෙම සාගර ආරක්ෂක ව්‍යාපාරයට ඇතුලුවීමට ඉතාමත් අපහසු වූයේ කාරණා කිහිපයක් හේතු කොට ගෙනය.
  • නයිජීරියාවේ මෙම මුහුදු කොල්ලකරුන් බොහෝ විට දේශපාලන සම්බන්ධකම් සමග ක්‍රියාත්මක කිරීම.
  • සාගර ආරක්ෂක ව්‍යාපාර වැනි අධික ලාභ දෙන ව්‍යාපාර බොහොමයක වෙනත් බොහොමයක් තුන්වන ලෝකයේ රටවල මෙන්  දේශපාලඥයින් හොඳට හොදි තිබෙන හොදි කෝච්චි  ව්‍යාපාරයන්ට සම්බන්ධව සිටීම.
  • ඒ වන විටත් ගිනි බොක්කට එන සහ යන වානිජ නැව් වලට ආරක්ෂාව ලබාදීමට තමන් මුදල් ආයෝජනය කර වේග ප්‍රහාරක යාත්‍රා ලබාදී තිබූ එංගලන්තය, ජර්මනිය වැනි රටවල පුද්ගලික ආරක්ෂක සමාගම් අලුත් තරඟකාරයෙකුට ; විශේෂයෙන්ම අප වැනි අළුත් ආසියාතික රටකින්  ඇතුල් වන්නට ඉඩ දීමට තිබූ අකමැත්ත.
  • ශ්‍රී ලංකාව වැනි කුඩා ආසියානු රටක මෙවැන්නක් කලහැකි දැයි නයිජීරියාව නාවික හමුදාවට  සහ එහි රජයට තිබූ සැකය.

මේ සදහා කෙසේ හෝ පිවිසුමක් සාදා ගැනීමට සෑම දිනම පාහේ දහවල් කාර්යාලයේදීද, රාත්‍රියේ එක දෙක වනතුරු සභාපතිවරයාගේ නිවසේදීද සාකච්ඡා පැවැත්විණ. සිතියම් සහ දත්ත පරීක්ෂා කරමින් නොයෙකුත් ආයතනයන්ට සහ පුද්ගලයන්ට ඊමේල් යවමින් දුරකථන සාකච්ඡා පවත්වමින් මෙම සාකච්ඡා පැවැත්විණ. සමහර දිනවල මෙම සාකච්ඡා කොතරම් උණුසුම් තත්වයට පත්වීද යත් සමහර නිලධාරීන් සාකච්ඡා වලදී දැඩි කෝපයට පත්ව නැගිට ගිය අවස්ථාද නොතිබුනා නොවේ.

කෙසේ හෝ යම් සබඳතාවයක් මත සොයා ගත් බ්‍රිතාන්‍ය සාගර ආරක්ෂක විශේෂඥයන් දෙදෙනෙකු සෑහෙන මුදලක් ගෙවා බටහිර අප්‍රිකාවට යවා මේ පිළිබඳව අධ්‍යයනයක් කර වාර්තාවක් ලබා ගැනීමට හැකි වුවද එයින් අපට මෙම ව්‍යාපාරයට ඇතුලු වීමට හැකිවන තරම් ප්‍රමාණවත් තොරතුරු ලැබුනේ නැත.

මේ අතර නයිජීරියාවේ නැගෙනහිර පෙදෙසේ කලබාර් නගරයේදී සාගර ආරක්ෂාව පිළිබඳ අන්තර් ජාතික සම්මේලනයක් පවත්වන්නට යන බව දැන ගන්නට ලැබී අප ආයතනයෙන්ද එයට සහභාගි වීම සඳහා එම සංවිධායකයන් ගෙන්  ඉල්ලා සිටියෙමු. මෙතැනදී මෙම ආරක්ෂක කටයුතු පිලිබඳ  සම්මේලන පිළිබඳවත් යමක් කියාගෙනම ගියහොත් සුදුසු යයි මට සිතේ.

ලෝකයේ බොහෝ තැන්වල විශේෂයෙන්ම අප්‍රිකාවේ සහ මැද පෙරදිග මෙවැනි ආරක්ෂක කටයුතු හා සම්බන්ධ සම්මේලන සංවිධානය කරන සමාගම් කිහිපයක් ඇත. මේවා බොහොමයක විධායක නිලධාරින් ලෙස කටයුතු කරන්නේ ඉන්දියානු ජාතිකයන්ය.ඔවුන් යම් රාජ්‍යයක; සුවිශේෂී ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙන විට එය සම්බන්ධව, එම රජයේ අනුග්‍රහය ලබාගෙන සම්මේලන සංවිධානය කරති. කලාපයේ නොයෙකුත් රටවල තීරණ ගන්නා තත්වයේ සිටින නිලධාරින් කිහිප දෙනෙකු මෙලෙස සම්මේලනයට පැමිණීමට  කැමති කරවාගෙන ඔවුන් සම්මේලනයට පැමිණෙන බව ප්‍රසිද්ධ කර එම කලාපයේ ආරක්ෂක විසඳුම් ලබාදීමට කොන්ත්‍රාත් ගැනීමට වෙර දරන සමාගම් වලට මෙම සම්මේලන සඳහා පැමිණෙන ලෙසට ආරාධනය කරති. සහභාගී වීම සඳහා ලොකූ  මුදලක් අයකරන අතර සහභාගී වන ආකාරය අනුව ;ප්‍රදර්ශන කුටිය සහිතව යනාදිය අනුව,  ගාස්තුව වෙනස් වෙයි, 



සමහරවිට සම්මේලනයට සහභාගී වන අපට අවශ්‍ය නිලධාරියෙකු සම්මේලනයේදී පුද්ගලිකව මුණගැසෙන්නට පවා ඔවුනට සංවිධානය කල හැකි වීම විශේෂත්වයකි.

මම මිට පෙරද ; බොහෝ ත්‍රිවිධ  හමුදා ජෙෂ්ට නිලධාරින් ලෙසට,මෙවැනි සම්මේලන වලට සහභාගී වී ඇත්තෙමි. ඒ සක්‍රිය සේවයේ සිටියදීය. මෙම  මම සහභාගී වූ ප්‍රදර්ශන   තුනම  සිංගප්පුරුවේ පැවැත්වුණු ඒවා වූ අතර දෙකක්  2005, 2009  වසරේ සහ අනික 2013 වසරේය. මෙම ප්‍රදර්ශන  වලට ආරාධනා ලැබුණු විට මිලදීගැනීමට උනන්දුවක් තිබේ යයි සිතෙන නියෝජිතයනට  ගුවන් ගමන්පත්, හෝටල  ඇතුළු එරට සිදුවන සියලු ගමන් වියදම් සංවිධායකයන් විසින් ගෙවනු ලැබේ.  2005 වසරේ එම සමුළුවට සහභාගී වුයේ එකල සිටි නාවික හමුධාපතිවරයා සමගය. අප එකල ප්‍රසිද්ධ යුද්ධයක යෙදී  සිටි නිසා සම්මේලනය අතරතුර අප, වෙළෙන්දන් වෙතින් අධිකවම ඉල්ලුමක් තිබුණු නියෝජිතයන් කණ්ඩායමක් විය. අප මුණගැසීමට ඉල්ලා ඉල්ලුම් බොහෝ සංවිධායකයන් වෙත ලැබුණු අතර සංවිධායකයන් අපෙන් සැපයුම්වෙ කරුවන් සාකච්චා සඳහා සම්බන්ධ කිරීමට  ඉල්ලා  අපට මහත් කරදරයක් කළහ.........

Saturday, January 12, 2019

2 ඇසු දුටු දෑ- 2019 ජනවාරි දෙවන සතිය




මාතර සිට බෙලිඅත්ත   දක්වා විවෘත්ත කෙරුණු අළුත් දුම්රිය මාර්ගය- මෙම මාර්ගය සැදීමේ ගෞරවයන් බෙදා ගැනීමට ලොකු අරගලයක් කරගන්නට යෙදුනු බව පෙනුනි. ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතියේ ලබාගැනීමට ඇත්තේ ගෞරවයක්ද එසේ නැත්නම් මෙය පටන් ගැනීම ගැන පටන්ගත් අය ලජ්ජා විය යුතුද යන්න සොයා බැලීමට වඩා  සුදුසු කාරණයකි.
 සුද්දෝ ගියත් හරියකට අපට දුම්රිය මාර්ගයක් සාදා ගන්නට බැරිවුණ නිසා කොහාට හරි යන්නට  එවැනි මාර්ගයක් හැදුවොත් තමන් සුද්දාටත් වඩා දක්ෂයෙකු බව කෙනෙකුට පෙන්නන්ට අවශ්‍ය නම් මෙවැනි පාරක් සදුවාට ප්‍රශ්නයක් නැත. නමුත් ඒ එම ව්‍යාපෘතිය තමන්ගේ මුදලින් කරනවානම්ය. ජාතියට නයක් අරගෙන එවැනි ව්‍යාපෘතියක් කරනවානම් එසේ සිදුකල යුත්තේ  නොකරම බැරි ව්‍යාපෘතීන් බව නොකිවමනාය.

සුද්දෝ කොච්චි පාර හැදුවේ තේ රබර් සහ අනෙකුත් අපනයන භාණ්ඩ වරාය වෙත ගෙන එම සඳහාය. කොච්චි පාර හදනවිට එම භාණ්ඩ කොළඹ වරායට ගෙන ආවේ ගොන් කරත්ත වලිනි. ගෙනයන්නට වෙළඳ භාණ්ඩ තිබුනේ නැත්නම් හෝ එසේත් නැත්නම් කන්ටේනර් වාගන සහ පළල පාරවල් එකල තිබුනේ නම් සුද්දෝ දුම්ර්ය පාරවල් හදන්නට හිතන්නේවත් නැත.ඔවුන් කවදාවත් ලකුණු දාගන්නට වැඩකරන්නන් නොවේ. පද්ධතිය වඩා කාර්යක්ෂම කරන්නට වැඩ කරන්නන්ය. මේ ලඟකදී මට මගේ මිතුරෙකු අප පොලිසියේ ඉතිහාසය ගැන අපුරු පොතක් ගෙනවිත් දුන්නේය. ඔවුන් එකල පොලිසිය පටන්ගැනීමට සහ එය හරි පාරට දමා ගැනීමට කොතරම් සාකච්චා කර ඇද්ද කොතරම් කමිටු පත්කර ඒ පිළිබඳව සොයා බලා ඇද්දැයි බලන විට ඇත්තෙන්ම පුදුම සිතේ.

මම මේ දිනවල නෙටෆ්ලික්ස් චැනලයේ වයිකින්ග් ච්ත්‍රපටය බලන්නෙමි. මම පොත් කියවන විටත් චිත්‍රපට බලද්දිත් ඉතිහාස පසුබිමක නිපදවා ඇති චිත්‍රපට බලන්නට ප්‍රිය කරමි. මෙම චිත්‍රපටය බලද්දී මට හොලිවුඩ් ඉතිහාස චිත්‍රපට සහ අපගේ සහ ඉන්දියානු ඓතිහාසික චිත්‍රපට අතර තිබෙන ප්‍රධාන වෙනස අවබෝධ විය. ඒ අපගේ චිත්‍රපට වල කොතරම් දුප්පතෙකු වුවත් ඇඳගෙන ඉන්නේ අලුත්ම ඇඳුම්ය. හොලිවුඩ් ඓතිහාසික චිත්‍රපටයන්හි චරිත ඇඳගෙන ඉන්නේ කතාවේ එම දර්ශනයට ගැලපෙන තරමට පරණ වූ ඇඳුම්ය. මෙම වෙනසෙන් චිත්‍රපටයට යතාත්වික පෙනුමක් ලබාදෙයි. උදාහරණයකට දැන් දෙරණේ යන කුසුමාසන දෙවි ගමු, එහි ඕනෑම චරිතයක් ඇඳගෙන ඉන්නේ අලුත්ම ඇඳුම්ය. සමහර චරිත අඳින ඇඳුම් ටිකක් පරණ කර ගත්තේනම් එම දර්ශන මෙයට වඩා බොහෝලෙස යතාත්වික කරන්නට පුළුවන් බව මට සිතේ.

මෑතකදී විදේශීය සංචාරකයන් විසින් දෙල්තොට ; මහනුවර සිට කිලෝමීටර 32 ක් දුරින් ස්ථානයක් බව ගුගල් මැප් එකෙන් දැනගතිමි, පරචුට් යොදාගෙන කරන ග්ලයිදින්ග් සඳහා අපුරු ස්ථානයක් බව සොයාගෙන එම ප්‍රදේශයට පැමිණ පරචුට් වල එල්ලී රාවනා ඇල්ල හෝ කන්ද වැනි නමක් ඇති කන්දක් දෙසට පැය කිහිපයක් ග්ලයිඩ් කරන ආකාරය එම ප්‍රවෘති ක්ලිප් එකේ ප්‍රදර්ශනය කෙරින. ලංකාවේ ඕනෑම නිව්ස් එකක මෙන් එහිදීද ගමේ මිනිසුන් කිහිපාදෙනෙකු සමග මේ පිළිබඳව සාකච්චා කරන ලද අතර ඒ ඇය කිව්වේ රජය මැදිහත්වී මෙම සොයාගැනීම ප්‍රසිද්ධ කර ගමටද මෙයින් යම් ප්‍රයෝජනයක් ලබාදීමට කටයුතු කලයුතු බවය. 

අපේ මිනිසුනට අපේ රටේ ව්‍යාපාර කරන්නට උත්සාහ කර රටට  විනකරන රජය ගැන ඇත්තේ පුදුම විශ්වාසයකි. ඕකට රජය මැදිහත්වුනොත් ඔය නව සොයාගැනීම පටන්ගත් තැනම ලොප් වනවා හැරෙන්නට වෙන සිදුවන දෙයක් නැත. ඇත්තෙන්ම විය යුත්තේ පෞද්ගලික සංචාරක සමාගමක් මෙය ලොව පුරා ප්‍රසිද්ධ කර එලෙස ගයිදින්ග් කරන කණ්ඩායම් මෙම භූගෝලීය පිහිටීම ගැන දැනුවත් කර කණ්ඩායම් සංචාරයන් සන්විශානය කිරීමයි. කාමර කුලියට දීම ආහාර ලබාදීම වැනි අනෙක් සේවාවන්ගෙන් සහ air b&b activity guide වැනි සම්බන්ධා වීමකින්  ගමේ අයටද යම් ප්‍රයෝජනයක් මේ මඟින් ලබාගත් හැකි වන්නේ එවිටය.

පසුගියදා මහනුවර සිදු වූ ගිණි ගැනිම සහ එක් පුද්ගලයෙකු විසින් තම පවුල බේරා ගැනීම පසුගිය දිනවල බොහෝ කතාබහට ලක් විය. එතනදි ඔහුට උදව් කළ මහා මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් තමන්ගෙ දෙවිවරුන් බවද තමන් එදින තම දෙවිවරුන් පියවි ඇසින් දුටු බවද එම පියා ෝහලේ දී ප්‍රකාශ කරනු මම රූපවාහිනියෙන් දුටුවෙමි.
ඇත්තෙන්ම ඔහු කළ වීර ක්‍රියාව ඇමරිකාවේ හොලිවුඩ් හී ිත්‍රපට නිෂ්පාදනය කරද්දී නලුවන්ට යම්   ත්‍රාසජනක දර්ශනයක්  කිරීමට සිදුවූවිට පාවිච්චි කරන වෘතිය  stuntmen වරුන්ටත් වඩා ත්‍රාසය උපදවන බව  නොකිවමනාය.
ඔහුට දැන් නිවාස ලබා දෙන්නට ළමයි පාසල් වලට දමා දෙන්නට උදව් කර ලකුණු දමා ගන්නට රූපවාහිනියෙන් පෙන්වන දේශපාලඥයන්ද උත්සාහ කරනු පෙනේ.
නමුත් මෙම සිද්ධියේදී යට ලැබුණු විශාල ප්‍රසිද්ධිය පසුපස සැඟවී යන අප විසින් පරික්ෂා කලයුතු තවත් කාරණා ඇත්තේය.
එයින් ප්‍රධානම කාරණයක් වන්නේ මේ නගරය මැද සිදු වූ ගිනි ගැනීමේ දී එම ස්ථානයට  පැමිණිය යුතු නාගරික ගිනි නිවන හමුදාවට කුමක් සිදුවිද  යන්නයි.
මෙම සිද්ධිය සිදු වන්නේ මහනුවර නගර මධ්‍යයේය. එම ස්ථානයට ඉතාමත් ආසන්නයේ ගිනි නිවන හමුදාවේ ෙහෙයුම් මධ්‍යස්ථාන දෙකක් ඇත සාමාන්‍යයෙන් කෙනෙකු මෙම  මධ්‍යස්ථානයක  සිට වේගයෙන් ඇවිද ගෙන පැමිණියේ වුවද මෙම මෙම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණීමට විනාඩි දහයකට වඩා ගත විය නොහැක එසේනම් ගිනි නිවන හමුදාවේ පිරිස් සිද්ධිය අවසාන වන තෙක් අපට දක්නට ලැබුනේ මන්ද?

එසේ අපට ඔවුන් ද දක්නට නොලැබුණ ලැබීමට වඩා අප සමාජයට විනකරන තවත් වරදක් මෙතන සැඟවී ගොස්  ඇත ඒ මේ සම්බන්ධව මෙසේ නිවන හමුදාව ඔවුනට උදව් කිරීමට පැමිණීමට නොහැකි වීම පිළිබඳව මහනුවර නගර සභාවෙන් හෝ ගිනි නිවන හමුදාවෙන්  කිසිම කෙනෙකු අසනවා විමසනවා අපට දක්නට නොලැබීමයි.  අඩු තරමෙන් මාධ්‍යවලින් පවා මෙලෙස ගිනි නිවන හමුදාවේ පමාවා ගැන කිසිම විමර්ශනයක් කරන බවක් මා නම් මෙතෙක් දැක්කේ නැත
පමා වීම තම රාජකාරිය වේලාවට නොකිරීම සහ අකාර්යක්ෂමතාවය අපගේ රට තුළ ප්‍රශ්නයක් නොවන බවක් එසේත් නැත්නම් එය සාමාන්‍ය තත්වය බවට පත්වී ඇති බව පත්වී ඇති මෙයින් හැඟෙන්නේ ද?

Saturday, January 5, 2019

සතියේ ඇසු දුටු දෑ - ජනවාරි පළමුවැනි සතිය.




පසුගිය සතියේ ඇසු දුටු දෑ

මේ අවුරුද්දේ ,මම සෑම සතියකම අවසානයේ; බොහෝ විට සෙනසුරාදා, එම සතිය තුල මට අසන්නට සහ දකින්නට ලැබුණු ප්‍රවෘත්ති මාතෘකාවන් 5 ක් සම්බන්ධව කෙටි විග්‍රහයක් කරන්නට සිතුවෙමි. මුළු බ්ලොග් එකම වචන 500 කට සීමා කරන්නට වෙරදරන මගේ ප්‍රතිපත්තිය නිසා එක විග්‍රහයක් වචන 100 කට සිමා කරන්නටත් සිතුවෙමි. මේ එහි පළමුවැනි එපිසෝඩ් එකයි.
1.කුමාර ගේ ඉතිහාසය පිළිබඳව වූ හෙළිදරව්ව සහ ඔහු පසුව එම චෝදනාව පිළිගැනීම පසුගිය සතියේ අපගේ ප්‍රවෘත්ති අතර මුල් තැනක් ගත්තේය. ඔහු පෙනෙන විදිහට 3 වරක් හමුදා රවට්ටා ඒවාට බැඳී පැනගොස් ඇත. අපොස විභාගයේ ඔහුගේ නියම ප්‍රතිපලය වූ s 3 ඉතා ඉහක ප්‍රතිපලයක් ලෙස කූට සහතික මඟින් වෙනස් කරගෙන ඇත. මෙම හෙළිදරව්ව අපේ හමුදා වල පරිපාලනයෙත් බොහෝ දුර්වල කම් පෙන්වා දෙයි. වරක් දෙවරක් නොව 3 වරක්ම හමුදාවන් රවටන්නට මෙවැනි බොහෝ පිටිසර ඉතාමත් දුර්වල අධ්‍යාපනයක් තිබෙන කෙනෙකුට හැකි වීම හමුදාවල counter intelligence පිළිබඳව බොහෝ දෑ කියයි.
2.දෙවැනි විග්‍රහයත් නාමල් කුමාර සම්බන්ධයෙන්ම ලියන්නට සිතුනේ ඔහු හඳුන්වාදීමට මාධ්‍ය ආයතන පාවිච්චි කරන තරාතිරම පිළිබඳවය. බොහෝ නාලිකා ඔහුව හඳුන්වා දෙන්නේ දුෂණ මර්ධන බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක වරයා ලෙසය. මෙම හැඳින්වීම දුටුවිට ඕනෑම කෙනෙකුට එක්වරම හිතට නැගෙන්නේ රජයේ යම් පත්වීමක් බවය. මෙය අන්තර්ජාතික මාධ්‍ය සඳහා කෙනෙකු වෙනත් භාෂාවකට පරිවර්තනය කළහොත් එය director operations,anti corruption brigade වැනි තේරුමක් පහසුවෙන්ම දෙන්නට පුළුවන. එය මොහු විසින් ප්‍රසිද්ධියේ කියන දෑ සමග ගත්තොත් මේ හෙළිදරව්ව කරනුයේ රජයේ උසස් නිලධාරියෙකු බව නිතැතින්ම සිතනු ඇත. මෙය අප රටට ඉතාමත් අහිතකර ප්‍රවෘතියක් වනු ඇත. අප නව පන්නයේ බනානා රිපබ්ලික් එකක් යැයි ඔවුන් සිතනු අනිවාර්යවේ. මෙවැනි ප්‍රවෘත්ති කියන විට මාධ්‍ය ආයතන මීට වඩා ප්‍රවේශම් විය යුතු බව අප කිවයුතු නොවේ.
3.තුන්වැන්නත් නාමල් කුමාර ගැන ලියන්නට කරුණු තිබුනත් ඔහු වැනි ප්‍රසිද්ධිය සොයා ඕනෑම දෙයක් කරන්නෙකුට තවත් ස්වල්ප හෝ ප්‍රසිද්ධියක් ලබාදීම නොනිසි නිසා මම ඊයේ ප්‍රවෘත්ති වලට දුටු සේනා දළඹුවා මර්ධනය සඳහා අපේ කෘෂිකර්ම නිලධාරින් අධි තාක්ෂණය යොදාගැනීම ගැන ලියන්නට සිතුනි. මෙම වසංගතය මර්ධනය කිරීම සඳහා drone තාක්ෂණය යොදා ගැනීම පිලිබඳ ක්ලිප් එකක් මම දෙරණේ නිව්ස් වල දැක්කෙමි. එහෙත් ඒ ඉසින්නේ මොනවාදැයි ඔවුහු කිසිවිටෙකත් හෙළි කලේ නැත.
ඇත්තෙන්ම වගකීමක් ඇතිව වැඩකරන  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් හෝ මාධ්‍ය ආයතනයක් නම් ඔවුනට කරන්නට තිබුනේ එම armyworm ( හමුදාවක් මෙන් පැමිණ සියල්ල විනාශ කරන නිසා) දළඹුවා මර්ධනය කර ගැනීම සඳහා කුමන දෑ කලයුතු දැයි අප දැනුවත් කිරීමයි. මා සොයාගත් කරුණු අනුව මෙම සතාට සත්ව නාශක බෙහෙත් ඉසීම භයානකය. මක්නිසාද එවිට උන්ගේ බිත්තර කා දමා උන්ගේ පැවැත්ම නැති කරන ලේඩි බර්ඩ් වැනි කුඩා සතුන්ද එම බෙහෙත් වලින් විනාශ වන බැවිනි. එවිට සාමාන්‍යයෙන් සිසිල් දේශගුණික තත්වයක් ඇති කාලවල සිදුවන මෙම විනාශය නොනැවතී සිදුවීමට ඉඩ තිබෙන නිසාය.
4.අග්‍රාන්ඩුකාරවරුන් පත්කිරීම - මේ පත්කිරීම් දුටුවිට අපගේ රට තිබෙන්නේ ලෝකයේ කොතරම් පහල තත්වයක දැයි හිතාගන්නටත් බැරි සෙයකි. තමන්ගේ දේශපාලන සතුරෙකුට විරුද්ධව ඉඳහිට ප්‍රවෘත්ති සාකච්ඡා තබන නිසා පත්කළ වුන් දෙදෙනෙකි. තමන්ගේ මිතුරෙකුට මන්ත්‍රී ආසනයක් ලබාදීම සඳහා පත්කළ එක අයෙකි. බොහෝවිට තමන්ගේ පවුලේ කෙනෙකුට ඡන්දය ඉල්ලන්නට ඉඩ ලබාගැනීම සඳහා පත්කළ අයෙකි. කුමන හේතුවක් නිසා පත්කළේ දැයි සිතාගන්නට බැරි එක අයෙකි. මෙවැනි විහිළුකාර වැඩ වලට බිලියන ගණනක් වියදම් කර ජනතා මුදල් වියදම් කරන රටක් ලෝකයේ කොහෙවත් තිබේදැයි මට නම් සැක සහිතය.
5.අවසාන  ප්‍රවෘත්තිය සොනාලි නිලියට ගෙයක් දීමයි. අසරණ මිනිසුනට නිවාසයක් ලබාදීම ඉතාමත් ගරුකටයුතු වැඩකි. නමුත් ඒ තමන්ගේ මුදලින් දෙනවා නම්ය. එසේ නැත්නම් තමන් දන්නා හඳුනන කණ්ඩායමකින් තමන් කරන්නට යන මෙහෙය පැහැදිලි කර ඔවුන්ගේ කැමැත්තෙන් මුදල් එකතුකර අසරණ කෙනෙකුට නිවසක් ලබා දුන්නත් හොඳ වැඩකි. නමුත් ඊටත් වඩා අසරණ මිනිසුන්ගෙන් ලබාගන්නා නොයෙකුත් බදු මුදලින් තමන්ට සංතෘප්තියක් හෝ ලකුණු දා ගැනීමට එසේ කරන එක නම් හොඳය කියන්නට බැරිය. තමන් අඳුරන එවැනි හොඳ වැඩකට මුදල් යෙදවීමට කැමති කෙනෙකුගෙන් මුදල් ලබාගෙන එය කලේ නම් කාටවත් වැරද්දක් කියන්නට නොහැකිය.
මෙහි අනික් ප්‍රශ්නය කලාකරුවන් අසරණ වූ විට පමණක් මෙහෙම උදව් කිරීමට දේශපාලඥයන්ගේ ඇති කැමැත්තය. පොදු මුදලෙන් දෙනවා නම් ලැබිය යුත්තේ වැඩියෙන්ම අවශ්‍ය කෙනාට මිස දුන්විට වැඩියෙන්ම ප්‍රසිද්ධිය ලැබෙන කෙනාට නොවේ.

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...