Monday, October 5, 2026

කැලෑවට ගිය මහත්තයා

 මේ පෝස්ට් එක දැක  මේ දෙක කලවම් කර කෙටිකතාවක් ලියන්නට සිත් විය. 




කැලෑවට ගිය මහත්තයා

.

ඩිංගිරිට ඒ බල්ලා මුලින්ම පෙනුණේ මල් පිපුණු වැටක් ළඟදීය. වතු මහත්තයා ඉදිරියෙන් ගමන් කළ අතර බල්ලා ඔහුගේ අතේ තිබුණු හම් පටියට බැඳී පසුපසින් ආවේය. බල්ලාගේ සුදු ඇඟ පුරා විසිරුණු දුඹුරු පැල්ලම්, දිග කන් දෙක සහ ඇවිදින විට දෙපසට වැනුණු වලිගය ඩිංගිරිගේ සිත ගත්තේය. මහත්තයා පාර අයිනේ නැවතී අත් ඔරලෝසුව බැලූ විට බල්ලාත් නැවතුණේය. එහෙත් ඌ බලා සිටියේ ඔරලෝසුව දෙස නොව, පාරෙන් පහළ කැලෑව දෙසය. 

වත්තට යාබද කුඩා ගෙදරක ජීවත් වූ ඩිංගිරිට දහසය විය පිරුණා පමණි. පියා මියගිය පසු මව සමඟ මාමාගේ piගෙදරට පැමිණි ඔහු, වැඩි දවසක් ගත කළේ ගෙදරට වඩා කැලෑවේය. ගස්වල ගෙඩි හැදෙන කාලයත්, ගඟේ මාළු රැඳෙන තැන්ත්, වැසි දවසට වතුර නොවැටෙන ගල් ලෙන්ත් ඔහු දැන සිටියේය. මාමා ඔහු ගැන කතා කළේ පිටස්තරයෙකු ගැන කියන්නාක් මෙනි.

“කැලෑවෙම හිටපන්. උඹට ගෙයක් ඕන නෑ.”

ඩිංගිරි ඒ වචන අසා සිටියේ නිහඬවය. එහෙත් එක් දවසක ඒවා උපදෙසක් හැටියට පිළිගන්නට ඔහු තීරණය කළේය.

සෑම හැන්දෑවකම වාගේ වතු මහත්තයා බල්ලා රැගෙන පාරේ ඇවිද්දේය. සමහර දවස්වල ඔහු සමඟ තවත් සුදු මහත්තයෙක්ද ආවේය. ඔවුන් කතා කරමින් යන අතර බල්ලා නැවතී තණකොළ ඉව කළොත් හම් පටිය ඇදී ගියේය. පාරෙන් ඔබ්බෙහි ලේනෙකු දුටුවොත් ඌ එක්වරම ඉදිරියට පැන්නේය. එවිට මහත්තයා කෙටි ඉංග්‍රීසි වචනයක් කියා ඌ නැවැත්වූයේය.

ඩිංගිරිට ඉංග්‍රීසි නොතේරුණත් බල්ලාට කියන්නේ කුමක්දැයි තේරුණේය.

එක් හැන්දෑවක ඔහු පාර අයිනේ වාඩිවී උක් කැබැල්ලක් සපමින් සිටියේය. බල්ලා ළංවී ඔහුගේ අත ඉව කළේය. ඩිංගිරි උගේ හිස අතගෑවේය. දිග කන් දෙක අතර ලොම් පුදුම තරම් මෘදු විය. මහත්තයා හැරී බැලුවේය.

“අල්ලන්න එපා,” ඔහු සිංහලෙන් කීවේය.

ඩිංගිරි අත ඉවත් කළේය. බල්ලා ගමන් කළත් වරක් ආපසු හැරී බැලුවේය. ඒ බැල්ම ඩිංගිරිට දින ගණනාවක් අමතක කළ නොහැකි විය.

ඉන්පසු ඔහු හැන්දෑවට පාර අසල සිටින්නට පුරුදු විය. මහත්තයා එන වේලාව දැන සිටි නිසා වැඩක් තිබුණත් එය ඉක්මනින් නිම කළේය. සමහර දවසක බල්ලා ඔහු දුටු විට වලිගය වැනුවේය. වෙනත් දවසක මහත්තයාගේ අවසරය බලාපොරොත්තු වනවාක් මෙන් ඉහළ බැලුවේය. ඩිංගිරි කතා නොකළේය. බල්ලාද බිරුවේ නැත. ඔවුන්ගේ හඳුනාගැනීම ඒ තරම් නිහඬ එකක් විය.

වත්තේ අශ්වයන් බලාගන්නා අප්පුගෙන් බල්ලාගේ නම රොබින් බව ඔහු දැනගත්තේය. රොබින් නිදාගන්නේ පිටුපස ඉස්තෝප්පුවේ බවත්, රාත්‍රියේ දම්වැලකින් බැඳ තබන බවත් අප්පු කීවේ කිසිම සැකයකින් තොරවය. එංගලන්තයෙන් ගෙනා වටිනා බල්ලෙකු නිසා මහත්තයා ඌට බොහෝ ආදරය කරන බවත් කීවේය.

“ඉතින් මොකටද හැමදාම බැඳලා තියන්නේ?” ඩිංගිරි ඇසුවේය.

“වටිනා නිසා තමයි.”

ඩිංගිරිට ඒ උත්තරය හොඳින් තේරුණේ නැත.

දෙසැම්බර් මාසයේ අවසාන දවසේ මාමා ඔහුට පහර දුන්නේ කුඹුරේ වැඩට නොගිය බැවිනි. ඩිංගිරි වැඩට ගොස් තිබුණත් දවල් වන විට කන්දේ අතුරුදන් වූ වසු පැටවෙකු සෙවීමට පිටත්ව තිබිණි. ඒ විස්තරය කියන්නට මාමා ඉඩ දුන්නේ නැත. රාත්‍රියේ මව ඔහුගේ උරහිසේ තැලුණු තැනට තෙල් ගෑවාය.

“මාමා කියන දේ අහපන් පුතේ. අපට වෙන යන්න තැනක් නෑ.”

ඩිංගිරි මව දෙස නොබලා සිටියේය. ඇයට වෙන තැනක් නැති බව ඔහු දැන සිටියේය. 


ගෙදර නිහඬ වූ පසු ඔහු පිහියත්, ගිනි ගල් සහ යකඩ කැබැල්ලත්, කුඩා මැටි හැළියත් රෙදි කඩක ඔතාගත්තේය. කුස්සියෙන් ලුණු මිටක් සහ වියළි මිරිස් කිහිපයක් ගත්තේය. මවගේ පැදුර ළඟ මොහොතක් සිට ඇගේ නින්දේ හුස්ම අසා සිටියේය. ඉන්පසු දොර විවර කළේ ශබ්දයක් නොනැඟෙන පරිදිය.

වතු බංගලාවේ ඉස්තෝප්පුවට ළං වන විට ඔහුගේ පාද සීතල පිනිවලින් තෙමී තිබිණි. ඇතුළත පහනක් දැල්වුණත් කිසිවෙකු පෙනුණේ නැත. රොබින් හිස ඔසවා බැලුවේය. ඩිංගිරි දණගසා උගේ නම සිහින් හඬින් කීවේය. බල්ලා වලිගය බිමට ගසන්නට විය.

“සද්ද කරන්න එපා. මං ආවේ උඹ එක්ක යන්න.”

ඔහු ගෙනා බත් කැබැල්ල බල්ලාට දුන්නේය. දම්වැලේ කොක්ක ගලවන්නට අත තැබූ විට හදිසියේම පපුව ගැහෙන්නට විය. මෙතෙක් සිතේ පමණක් තිබුණු දෙය දැන් සැබෑ සොරකමක් බව ඔහුට වැටහිණි. ඔහු අත නවත්වා බංගලාවේ දොර දෙස බැලුවේය. ඊළඟ මොහොතේ කොක්ක ගැලවුණේය.

බල්ලා නැඟිට ඇඟ සෙලවූයේය. කරපටියේ ලෝහ තහඩුව කුඩා හඬක් නැඟුවේය. ඩිංගිරි එය අතින් තද කරගෙන පසුපස මිදුලෙන් පිටවිය. රොබින් ඔහු සමඟ ආවේ සැකයක් නැති ගමනක් යනවාක් මෙනි. පාර පසුකර කැලෑවට ඇතුළු වූ විට ඩිංගිරි උගේ කරපටියද ගලවා රෙදි පොදියට දැමුවේය.

“දැන් උඹට ඕන තැනක් ඉව කරන්න පුළුවන්.”

රොබින් වහාම පඳුරක් යටට හිස දැමුවේය. ඩිංගිරි පළමු වරට එදා රාත්‍රියේ සිනාසුණේය.

ඔවුන් ලෙනට පැමිණෙන විට අහස අළු පැහැ ගැන්වී තිබිණි. ගල් තලාවක් යට පිහිටි ලෙනේ පිවිසුම පටු වුවත් ඇතුළත මිනිසෙකුට දිගාවිය හැකි ඉඩ තිබිණි. පසෙකින් දිය පහරක් ගලා ගියේය. ඩිංගිරි වියළි කොළ ඉවත් කර, අතු කැබලි අතුරා, ඒ මත රෙදි කඩක් දැමුවේය. ඔහු වාඩිවූ වහාම රොබින් ඔහුගේ කකුලට හිස තබා නිදාගත්තේය.

පළමු දවස් දෙක පහසු නොවීය. බල්ලාට බඩගිනි වූ විට ඩිංගිරිගේ මුහුණ දෙස බලා සිටියේය. බංගලාවේ මෙන් වේලාවට කෑම ලැබුණේ නැත. ඩිංගිරි ගෙනා බත් අවසන් වූ පසු ඔහු දිය පහරෙන් කුඩා මාළු කිහිපයක් අල්ලා පුළුස්සා දුන්නේය. රොබින් උණු මාළුවක් කටට ගෙන වහාම අතහැරියේය.

“මහත්තයා, ටිකක් ඉවසන්න. මෙහෙ වැඩකාරයො නෑ.”

එදා සිට ඩිංගිරි රොබින්ට කතා කළේ මහත්තයා කියාය.

තුන්වැනි දවසේ ඔවුන් දෙදෙනා පැරණි හේනකට ගියහ. වල් වැදුණු කෙසෙල් පඳුරු අතර කොස් ගස් කිහිපයක් තිබිණි. ඩිංගිරි පැසුණු කොස් ගෙඩියක් කඩා ලෙනට ගෙන ආවේය. එය කැපූ විට ගල පුරා කිරි ගෑවිණි. රොබින් කොස් මදුලක් ඉව කර මුහුණ අහකට හැරෙව්වේය.

“උඹ එංගලන්තෙන් ආවට කොස් කන්න ඉගෙනගන්න වෙනවා.”

කොස් තැම්බෙන තුරු බල්ලා ගිනිමැලයෙන් තරමක් ඈත වාඩිවී සිටියේය. ඩිංගිරි තමන්ගේ කොටසට ලුණු සහ මිරිස් දැමුවේය. බල්ලාගේ කොටස සිසිල් කර වෙනම ගල් පතුරක තැබුවේය. රොබින් පළමුව කුඩා කැබැල්ලක් කා, පසුව අනෙක් සියල්ලද කෑවේය. එදා රාත්‍රියේ ඩිංගිරිගේ බඩත් සිතත් දෙකම පිරී තිබිණි.

දින ගෙවෙද්දී රොබින්ගේ පුරුදු වෙනස් විය. උදෑසන ඩිංගිරි අවදි වීමට පෙර ඌ ලෙනෙන් පිටවී අවට ඉව කළේය. කුරුල්ලෙකුගේ හඬ ඇසුණු විට කන් ඔසවාගෙන නැවතුණේය. දිය පහරේ ගල් උඩින් පනින්නට මුලදී බිය වූවත් ඉක්මනින්ම ඩිංගිරිට ඉදිරියෙන් ගමන් කරන්නට විය. උගේ සුදු ඇඟේ මඩ පැල්ලම් වැඩි විය. දිග කන්වල කටු පැටලිණි. ඒවා ගලවමින් ඩිංගිරි උගේ හිස අතගෑවේය.

දඩයමට යන විට රොබින්ට තිබුණු ඉව මහත් උපකාරයක් විය. ඌ පඳුරක් ඉදිරියේ හදිසියේම නිහඬ වූ විට එහි සතෙකු සිටින බව ඩිංගිරි දැනගත්තේය. සමහර දවසක ඔවුන්ට හාවෙකු ලැබිණි. වෙනත් දවසක කිසිවක් ලැබුණේ නැත. එවැනි දවස්වල ඔවුහු මාළුත් කොස්ත් කෑහ. ඩිංගිරි මස් පුළුස්සන විට රොබින් ගිනිමැලය අසල දිගාවී උගේ කොටස ලැබෙන තුරු බලා සිටියේය.

කෑම අඩු දවසක ඩිංගිරි තමන්ගේ කොටසෙන්ද ටිකක් බල්ලාට දුන්නේය. රොබින් එය කා අවසන් කර නැවත ඔහු දෙස බැලුවේ නැත. ඌ ළංවී වාඩිවූයේය. ඒ නිසා ඩිංගිරිට තමන් කෑම අඩුවෙන් කෑ බවවත් සිතුණේ නැත.

වැසි දවසක ඔවුන්ට ලෙනෙන් පිටවිය නොහැකි විය. දිය පහර ඉදිමී ගල් වසාගෙන ගලා ගියේය. ගිනිමැලයෙන් දුම නැඟී ඇස් දැවුණේය. ඩිංගිරි තෙමුණු දර මාරු කරමින් සිටින අතර රොබින් උගේ හිස ඔහුගේ දණහිස මත තැබුවේය.

“උඹට ගෙදර මතක් වෙනවද?” ඔහු ඇසුවේය.

බල්ලා ඇසිපිය ගසා ඔහු දෙස බැලුවේය.

“මට අම්මා මතක් වෙනවා.”

එදා ඔහු මව ගැන බොහෝ දේ කීවේය. ඇය උදේ නැඟිට ලිප දැල්වූ හැටිත්, තමන් කුඩා කල උණ වැළඳුණු විට මුළු රැයම අවදිව සිටි හැටිත් කීවේය. රොබින් වචන තේරුම් නොගත්තත් හිස ඉවත් කළේ නැත. වැස්ස නැවතුණු පසු ඩිංගිරි ලෙනෙන් පිටවී ගම තිබෙන දිසාව බලා සිටියේය.

ඔහුගේ නැතිවීම ගැන මව පොලිස් විදානේට දැනුම් දී තිබිණි. ඩිංගිරි මීට පෙර දින දෙක තුනක් ගෙදර නොපැමිණි අවස්ථා තිබුණු නිසා මුලදී කිසිවෙකු කලබල නොවීය. එහෙත් සතියක් ගෙවුණු පසු ඇය මාමා සමඟ විදානේගේ ගෙදරට ගියාය. වතු මහත්තයාගේ බල්ලාද නැතිවී තිබුණු බව විදානේ එවිට දැන සිටියේය. සිද්ධි දෙක එකිනෙකට සම්බන්ධ බව ඔහු සිතුවේ නැත.

වතු මහත්තයා රොබින් සොයා වත්තේ සේවකයන් යැවුවේය. ළඟ ගම්වලින් විමසුවේය. බල්ලෙකුගේ සුදු ලොම් කැබැල්ලක්වත් ලැබුණේ නැත. පෙබරවාරිය වන විට සොරකම ගැන දැන්වීමක්ද පළ විය. දම්වැල කැඩී නොතිබුණු නිසා බල්ලා තනිවම පැනගොස් නැති බව මහත්තයා විශ්වාස කළේය.

ඩිංගිරි ඒ ගැන කිසිවක් නොදත්තේය. ඔහු දැන සිටියේ වැස්ස අඩු වී ඇති බවත්, ලෙන ඉදිරියේ කොස් ලෙලි ඉවත් කළ යුතු බවත් පමණි. ලෙන දැන් ඔවුන්ගේ ගෙදර වී තිබිණි. හැළියට තැනක්ද, දරවලට තැනක්ද, රොබින් නිදාගන්නා තැනක්ද විය. බල්ලාගේ පැරණි කරපටිය ගල් බිත්තියේ කුඩා කුහරයක තබා තිබිණි.

එක් දහවලක රොබින් හදිසියේම නැඟිට බිරුවේය. ඩිංගිරි ලෙනෙන් පිටතට ආවේය. පඳුරු අතර දඩයක්කාරයෙක් සිටියේය. ඔහුගේ උරහිසේ තුවක්කුවක්ද අතේ මියගිය කුරුල්ලන් දෙදෙනෙකුද විය. රොබින් දැක ඔහුගේ ඇස් විශාල විය.

“මේ සුද්දගෙ බල්ලා නේද?”

ඩිංගිරි උත්තර දීමට පෙර දඩයක්කාරයා ඔහුගේ මුහුණ හොඳින් බැලුවේය.

“උඹ ඩිංගිරි නේද? ගෙදර මිනිස්සු උඹව හොයනවා.”

“මං හොඳින් ඉන්නවා කියන්න අම්මට.”

“එහෙනම් ගෙදර වරෙන්.”

“දැන් බෑ.”

දඩයක්කාරයා ලෙන දෙසත්, ගිනිමැලය දෙසත් බැලුවේය. කිසිවක් නොකියා පිටත්ව ගියේය. ඩිංගිරි ඔහු නොපෙනී යන තුරු සිටියේය. රොබින් නැවත ලෙනට ගොස් නිදාගත්තත් එදා ඩිංගිරිට නින්ද නොගියේය.

පසුදින උදෑසන පොලිස් විදානේ, වතු මහත්තයා, අප්පු සහ තවත් මිනිසුන් දෙදෙනෙක් දඩයක්කාරයා සමඟ කැලෑවට ඇතුළු වූහ. මහත්තයාගේ අතේ අලුත් හම් පටියක් තිබිණි. මඟ දිගේ ඔහු රොබින්ගේ නම කීවේය. දඩයක්කාරයා අත ඔසවා නිහඬ වන්නැයි සංඥා කළේය. තව ටිකක් ඉදිරියෙන් ගිනි දුමක් ගස් අතරින් නැඟුණේය.

ඩිංගිරි කොස් හැළිය ලිපෙන් බාමින් සිටියේය. රොබින් හිස ඔසවා බලා නැඟිට්ටේය. ගල් තලාව අසලට මහත්තයා පැමිණි විට බල්ලා වලිගය වැනුවේය. මහත්තයාගේ මුහුණේ සතුටක් පෙනුණේය.

“රොබින්! මෙහෙ වරෙන්!”

බල්ලා ඔහු වෙත ගියේය. මහත්තයා උගේ හිස අතගා, මඩ ගෑවුණු ඇඟ දෙස බැලුවේය. ඉන්පසු ඩිංගිරි දෙස හැරුණේය.

“උඹ මගේ බල්ලා හොරකම් කළා!”

ඩිංගිරි හිස පහත් කළේය.

විදානේ ඔහුගේ අත අල්ලා ලෙනෙන් පිටතට ගත්තේය. “පැනලා යන්න හිතන්න එපා.”

“මං පැනලා යන්නෙ නෑ.”

ඔහු එය කීවේ සත්‍යයක් ලෙසය. අල්ලන්නට මිනිසුන් හය දෙනෙකු පැමිණ සිටියත් ඔහුට පෙනුණේ රොබින්ගේ ගෙලට දැමීමට යන පටිය පමණි.


මහත්තයා කරපටිය දැමූ විට රොබින් නිහඬව සිටියේය. එහෙත් ඔහු පටිය අල්ලා පාර දෙසට හැරුණු විට බල්ලා නැවතුණේය. මහත්තයා නැවත කතා කළේය. රොබින් පියවර දෙකක් ගොස් ඩිංගිරි දෙස හැරී බැලුවේය. ඊළඟ මොහොතේ ඌ බිම වාඩිවිය.

“අප්පු, මෙයාව ගනින්.”

අප්පු පටිය අල්ලා ඇද්දේය. බල්ලා ඉදිරි පාද දෙක බිමට තද කරගෙන සිටියේය. උගේ ගෙල දිගට ඇදුණත් ඇඟ ඉදිරියට නොගියේය. අප්පු ටිකක් තදින් ඇදී විට ඌ උගුරෙන් පහත් හඬක් නැඟුවේය. අප්පු වහාම අත ලිහිල් කළේය.

“මහත්තයා, මෙයා එන්නෙ නෑ.”

විදානේ ඩිංගිරි දෙස බැලුවේය. “උඹ මොනවද මේකට කරලා තියෙන්නේ?”

“මුකුත් නෑ.”

“එහෙනම් කතා කරපන්.”

ඩිංගිරි මොහොතක් නිහඬව සිටියේය. “මහත්තයා, එන්න.”

බල්ලා වහාම නැඟිට ඔහු වෙත ආවේය. අප්පුගේ අතින් පටිය ගිලිහුණේය. රොබින් ඩිංගිරිගේ කකුලට ඇඟ අතුල්ලා ලෙන දෙස බැලුවේය. කොස් හැළියෙන් තවමත් වාෂ්ප නැඟෙමින් තිබිණි.

අප්පුගේ කට කොනේ නැඟුණු සිනාව මහත්තයාගේ බැල්මෙන් වහාම නැතිවිය.

“මේකට මහත්තයා කියන්නෙ ඇයි?” විදානේ ඇසුවේය.

ඩිංගිරි උත්තර නොදුන්නේය.

මහත්තයා සාක්කුවෙන් කෑම කැබැල්ලක් ගෙන බල්ලාට දිගු කළේය. රොබින් එය කෑවේය. එහෙත් ඊළඟට ඔහු අනුගමනය කළේ නැත. ඌ ඩිංගිරි ළඟින් වාඩිවී සිටියේය. මහත්තයාගේ මුහුණේ තිබුණු කෝපය ක්‍රමයෙන් වෙනත් දෙයකට හැරුණේය. ඔහු ලෙන ඇතුළත බැලුවේය. ගල් පතුරු දෙකක් මත කෑම කොටස් දෙකක් විය. වියළි කොළ අතුරා තිබුණු තැන අසල ඩිංගිරිගේ රෙදි කඩ තිබිණි.

“උඹ මේකට කෑම දුන්නද?”

“අපි දෙන්නම කෑවා.”

“මොනවද?”

“ලැබුණු දේ. මස්, මාළු, කොස්.”

මහත්තයා හැළිය දෙස බැලුවේය. “රොබින් කොස් කනවද?”

ඩිංගිරි පළමු වරට ඔහුගේ මුහුණ දෙස බැලුවේය. “කනවා. නිවලා දෙන්න ඕන.”

විදානේට මේ කතාබහ දිගට ගෙනයෑමට වුවමනා නොවීය. ඔහු ඩිංගිරිගේ අත නැවත අල්ලාගත්තේය. “හරි. දැන් යමු.”

රොබින් වහාම නැඟිට ඔහුත් ඩිංගිරිත් අතරට ආවේය. විදානේගේ අත දෙස බලා උගුරෙන් හඬක් නැඟුවේය. ඩිංගිරි උගේ හිස අතගෑවේය.

“එහෙම කරන්න එපා. මෙයා මට ගහන්නෙ නෑ.”

වතු මහත්තයා බල්ලාගේ මුහුණ දෙස බලා සිටියේය. තමන් පැමිණි විට ඌ සතුටු වූ බව ඔහු දැන සිටියේය. එහෙත් තමන් සමඟ ආපසු යන්නට ඌ කැමති නැති බවද දැන් පැහැදිලි විය. බංගලාවේ රොබින්ට වෙනම බඳුනක්, පිරිසිදු නිදන තැනක් සහ හොඳ කෑම තිබිණි. මෙහි තිබුණේ මඩ, දුම සහ කොස් හැළියකි. බල්ලා ඒවා අතරින් තෝරාගෙන තිබුණේය.

“විදානේ,” මහත්තයා අවසානයේ කීවේය. “කොල්ලව බඳින්න එපා.”

විදානේ ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

“ගෙදරට අරගෙන යමු. අම්මා බලන් ඇති.”

“හොරකම ගැන?”

“ඒක මං පස්සෙ බලන්නම්.”

මහත්තයා රොබින්ගේ කරපටිය ගැලෙව්වේය. නිදහස් වූ වහාම බල්ලා ලෙනට ගොස් තමන් නිදාගත් තැන වටයක් කැරකී නැවත ආවේය. ඩිංගිරි හැළියත් රෙදි පොදියත් ගත්තේය. ගල් කුහරයේ තිබුණු පැරණි කරපටිය මහත්තයාට දිගු කළේය. මහත්තයා එය අතට ගත්තේ කිසිවක් නොකියාය.

ඩිංගිරි පාර දෙසට ගමන් කළ විට රොබින් ඔහු අනුගමනය කළේය. ගල් තලාව අවසානයේදී ඌ නැවතී ලෙන දෙස බැලුවේය. ඩිංගිරිද නැවතුණේය. ගිනිමැලය නිවී තිබුණත් දුමක් තවමත් නැඟුණේය. ඔහු හෙමින් බල්ලාගේ කන අතගෑවේය.

“යමු මහත්තයා. අම්මට අපිව පෙන්නලා එමු.”

රොබින් ඔහුගේ අත ලෙවකා ඉදිරියට ගියේය. වතු මහත්තයා පසුපසින් ඇවිද්දේ අලුත් හම් පටිය එක් අතකත්, පැරණි කරපටිය අනෙක් අතේත් තබාගෙනය. බල්ලා පඳුරු අසල නැවතී ඉව කරන සෑම විටකම ඩිංගිරිද නැවතුණේය.

මෙවර කිසිවෙකු ඌ ඇදගෙන ගියේ නැත.


10 comments:

  1. ලස්සන කතාව . ඒත් ගැසට් එකේ ඩිංගිරි කෙල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නමුත් කෙල්ලෙක් එතනට ගත්තොත් කැලේ ගිහිල්ල තනියම ඉන්න එක ඒ කාලේ ටිකක් හිතන්න අමාරුයි නේ ද ඒක හින්ද කෙල්ල කොල්ලෙක් කලා

      Delete
    2. එකඟයි. ඒත් ඩිංගිරිගේ ඇත්ත කතාවෙ අවසානය බොහෝ විට ඛේදවාචකයක් වෙන්නත් ඇති.හ්ම්......😞

      Delete
  2. සිත් ගන්නා සුලු කතාවක්. සතෙකු හා ඇතිවන බැඳීම හරි ගැඹුරු වෙන්න පුළුවන්.

    ReplyDelete
  3. බකුසාණන්ගෙ ඔත්තුවකිනි මෙහි ආවේ
    හද පිරි සතුටකිනි කතාව කියවූවේ
    ඇලදොළ ලන්ද කඳුහෙල් මට සිහි වූවේ
    මහත්තයයි ඩිංගිරියයි සතුටින් දිවි ගෙව්වාවේ!

    ReplyDelete
  4. A very nice story.
    I read those Police Gazette notices in Guru Gedara page on FB. Being interested in history AND dogs, I particularly noticed the reference to the dog's teeth and the breed -a harrier. Obviously, a member of a hunting pack.
    https://en.wikipedia.org/wiki/Harrier_(dog_breed)

    ReplyDelete

The family elephant part 2

  According to Kiri Banda, the domestic elephants of Ceylon belonged to two professions. “Some walk in peraheras,” he told Sunil. “The oth...