Tuesday, December 20, 2022

සම්බන්ධීකරණ යේ වටිනාකම





 සම්බන්ධීකරණය කොතරම් ආර්ථික වශයෙන් වැදගත් දැයි එසේම ගිණුම් මිනුම් කොතරම් වැදගත්ද වටහා ගන්නට ඉතාමත් අගනා උදාහරණයක් අද මගේ ව්යාපෘතියෙ දී සිදුවිය.


ඉහලින් ඇති පින්තුරයේ පෙන්වා දෙන වැසිකිළි පද්ධතිය අප මේදවස් වල පටන් ගෙන ඇති වගා ව්‍යාපෘතියේ ඉදි වන්නකි.


මේ සඳහා කොපමණ සිමෙන්ති බ්ලොග් ගල් අවශ්‍යදැයි ඒ වැඩේ කරන බාසුන්නැහේ ගෙන් පටන් ගැනීමට පෙර විමසූ විට ඔහු කිව්වේ ගල්  400ක් ප්‍රමාණවත් බවය.

උස දිග පළල මැන ශ්‍ය ගල් ප්‍රමාණය හරියටම කියන්න මම ඔහුට ඒ වෙලාවෙත් පැවසුවෙමි. 

ඔහු කීවේ 400ක් ප්‍රමාණවත් වන බවය. අපට ගලක් ගෙනත් දීමට ම රුපියල් 85 කට පුළුවන් බව කියූ කොන්ත්‍රාත්කරුවෙකු ට අපි වැඩේ බාර දුන්නෙමු. 

කොන්ත්‍රාත්කරු ඉතාමත් හොඳින් ඒ වැඩේ කළේය. ඒ වෙලාවේ මම ඔහුත් සමග ටිකක් කතා කරමින් සිටියෙමි. ඉදිකිරීම් ව්‍යාපෘති තාමත් පහල ගොස් ඇති නිසා තමන්ගෙ ව්‍යාපාරයට බලවත් පහරක් වැදී ඇති බවත් ඒ අතරම ගල් වැඩපොලක්  කරන ඔහුට වෙඩි බෙහෙත් හිඟයෙන් ද අපහසුතාවයට පත්වී ඇති බව ඔහු කීවේය.

එසේම අප මෙහි පැමිණ අපගේ ව්‍යාපෘති වල කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් දෙදහක් ගෙවීමෙන් ප්‍රදේශයේ කම්කරුවන්ගේ වැටුප් අවුල් කර ඇති බව ඔහු මට ඇනුම් පදයක් ලෙස කීවේය.


අද උදේ මම ව්යාපෘතිය අසලට ගිය විටම ගල් ටිකක් මදි වන්නට යනවා දැනී ගල් ඇති දැයි බාස් උන්නැහේගෙන් ඇසුවෙමි. ඔහු අත් දෙක සොලවා ඇති මදි වගේ තියෙන්නෙ යැයි පැවසීය. එසේ නොකියා හරි පිළිතුරක් දෙන ලෙසට මම ඔහුට විහිළුවට කීවෙමි.


අද දහවල් මම ව්‍යාපෘතියේ සිටියදී ඉදිකිරීමේ වැඩේ භාගයක් ඉතිරිව තිබියදී බ්ලොග් ගල් අවසන් වී ඇති බව මට දැනගන්නට ලැබුණි. නැවත බාසුන්නැහේ ගෙන් ඇසූ විට ඔහු කීවේ තවත් ගල් 135ක් අවශ්‍ය බවය. මම බිත්තියේ ඉතිරි කොටස දිග සහ පළල මැන කොතරම් ගල් අවශ්‍යදැයි බැලුවෙමි. ඉන්පසු 150 ඇනවුම් කරන ලෙසට අපේ  ගණකාධිකාරි වරයාට පැවසුවෙමි.


පැය දෙකකට පමණ පසු මට වැඩ අඩු වූ වෙලාවක නැවත ඒ අසලට ගියවිට ගඩොල් ගොඩක් එතන තිබෙනවා දුටුවෙමි. ඒ ගඩොල් කුමක් නිසා එතන තිබෙන්නේ දැයි මම මගේ නිලධාරියෙකුගෙන් ඇසුවෙමි. ඔහු කීවේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් දැමීම සඳහා වට බැඳීමට ගෙන්වා ගත් ගඩොල් වලින් ඉතුරු ගඩොල් ටික මෙතන තිබෙන බවයි.

ඉතිරි කොටස බැඳීම සඳහා මේ ගල් පාවිච්චි නොකරන්නේ මන්දැයි මට සිතුනි. බාසුන්නැහේ ගෙන්වා ඇසුවෙමි. ඔහු එයට එතරම් කැමැත්තක් නොදැක්වීය. 

මීට පෙර බ්ලොග් ගල් සහ ගඩොල් කවලම් කර බැඳ නොමැති දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

එම ප්‍රශ්නයෙන් ලැජ්ජාවට පත් වූ ඔහු තමන් මීට පෙර එසේ බැඳ ඇති බව පැවසීය.

ගඩොල් සහ බ්ලොග් ගල් වල ඝණකම සමාන බව ඒවා මැන බැලූ විට අපට වැටහුණි.

ඔහු ඉතිරි කොටස ගඩොල්වලින් බැඳීමට එකඟ විය.

ගඩොල් ගොඩ කුමට එතන තිබෙන්නේ දැයි මට ඇති වූ සිතිවිල්ල අද ව්‍යාපෘතියට රුපියල් 12, 850 ඉතිරි කළේය.

එසේම කාලයක් යන තෙක් ඉවත් කරන්නට නැවත වරක් කම්කරු ගාස්තු ගෙවිය යුතු ගඩොල් ගොඩක් ද එතනින් ඉවත් විය.

පසුව ලියමි

පහතින් තිබෙන්නේ වැඩ අවසන් වූ පසු පින්තූරයකි. අවසානයේ වැඩේට යම් කලාවකුත් එකතු වී ඇති බව පෙනේ.



සම්බන්ධීකරණය කියන්නේ එයයි.

 



1 comment:

  1. බාස්ලාගෙන් ගණංමිනුම් ඇසීම අතිශය අකාර්‍යක්ෂම වැඩක්.
    මීට අවුරුදු තිහකට කලින් ලංකාවේ දී නිවසක තීන්ත ගාන්න හතර පාරක් පේන්ට් ෂොප් එකට අපට වරින්වර යන්න වුණා. පස්පාරක් නොවුණේ මා අවසන්වර යනවිට වැඩිපුර ගෙනා නිසයි.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...