Friday, December 9, 2022

හඳපානගල Extreme sports

 


වෙනත් කටයුත්තක් සඳහා වැල්ලවායට ගිය මම,  පසුගිය දිනෙක, ප්‍රදේශයේ සිටීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන මිතුරන් දෙදෙනෙකුත් සමග හඳපානගල ජලාශය බලන්නට ගියෙමි.


තනිකරම කාපට් පාරවල් වලින් මුළු ගමනම යන්නට පුළුවන් විය. ජලාශයේ මැද හරියේ වගේ ප්‍රධාන පාරෙන් මං වගේ ඇතුල්වීමට ගේට්ටුවක් තිබුණු අතර එතන සිටි මුරකරු ගෙන් අවසරගෙන වාහන එළියෙ නවතා අපි වැව් බැම්මට ගියෙමු. 

වැව් බැම්ම මතට ගිය විට ඒ ජලාශය ඉතාමත් අලංකාර ස්ථානයකි. බොහෝ ඈත අතීතයේ සිට පැවත එන ; ක්‍රිස්තු පූර්ව සීයේ පමණ වලගම්බා රජු විසින් මුලින්ම සාදන ලද බව කියනු ලැබේ, මෙම ජලාශය ලඟකදී උමාඔයේ වතුරෙන් පුරවන්නට වැව් බැම්ම තරමක් ඉහළට ඔසවා, ජනාධිපති සිරිසේන විසින් විවෘත කර ඇත. 

මුලින්ම මෙම ජලාශය සාදන ලද්දේ කවුරුන් විසින්දැයි එසේ නැත්නම් කවර කාලයකදී දැයි එතන යම් සටහනක් නොවීම එය නරඹන්නට එන පිරිසට ලොකු අඩුවක් ලෙස දැනේ. 


එම බැම්ම සාදා ඇත්තේ තරමක කළුගල් පර්වතයක්, මැදිකර වන අතර එම පර්වතයේ ස්වභාවික පිහිටීම බැම්මෙ කොටසක් කරගැනීමෙන්, බැම්ම සෑදීමේදී අඩු වියදමකින් එය කරගෙන ඇති බව පෙනේ.


හඳපානාගල ජලාශය පිළිබඳව ම ප්‍රදේශයට යන තෙක්ම අසන්නට නො ලැබ තිබීම මට පුදුමයක් ගෙන දුනි. එයට වඩා බොහෝ අඩු වෙන් ආකර්ෂණයක් ඇති ස්ථාන ගැන පවා අපට නිතර අසන්නට ලැබේ.


හඳපානාගල ජලාශයට එම නම ලැබී ඇත්තේ එතනට හොදින් හඳ පායනවා බලන්ඩ පුළුවන් වන නිසා බව මට එහිදී හමු වූ කෙනකු කීවද පසුව මට දැනගන්නට ලැබුණේ ඒ ගල්පර්වතයේ කොටා ඇති ඉර සඳ ලකුණ නිසා ඒ නම ඇතිවී තිබෙන බවය. 

පැරණි රජකාලයේ ඉර සඳ ලකුණයි සේ ගලෙහි කොටන්නේ ඉර සඳ පවතිනා තෙක් කාලයක් පැවැත්වීම යන අරුත ලබාදීමට බව මා අසා ඇත.


මේ සියල්ල බලා බැම්ම දිගේ ආපසු ඇවිදගෙන එන විට එම ජලාශයේ සිට පහලට වතුර ගලාගෙන යන ඇලෙහි අමුත්තක් දුටුවෙමි. ඒ වැවේ සිට ගලාගෙන යන එම ජල පහර සම්පූර්ණයෙන් ම දැලකින් වසා තිබීමයි. 

එසේ ඇල සම්පූර්ණයෙන් ඝන දැලකින් වසා තැබීම කුමන හේතුවක් මත කරන්නට ඇත්දැයි මම මමත් සමග ගිය මිතුරන් දෙදෙනා ගෙන් ඇසුවෙමි. මම හිතුවේ මෙයට අලියන් වැටීම වැලැක්වීමට මෙසේ කර ඇති බව ය ; මේ ජලාශය ප්‍රදේශය අලියන් ැරඹීම සඳහා ප්‍රසිද්ධ වූ ස්ථානයකි, මිතුරෙකු කීවේ මෙය මිනිසුන් වැටීම වැළැක්වීම සඳහා කරන ලද්දක් විය හැකි බවය.


අපි මේ ගැන කතා කරමින් ජලාශය ප්‍රදේශයෙන් එළියට එන විට එහි ඇතුළුවන ස්ථානයේ සිටින මුරකරු ගෙන් මම මේ පිළිබඳව ඇසුවෙමි.


ඔහුගේ පිළිතුර පුදුමසහගත එකක් විය. ඒ පිළිතුර පැහැදිලි කරන්නට නම්  ඇල සාදා ඇති ආකාරය පිළිබඳව යමක් කියන්නට අවශ්‍ය බව සිතේ. ජලාශයේ මැද හරියේ පතුලේ සිට සාදා ඇති උමග ජලාශයෙන් එළියට  තවත් මීටර් 10ක් පමණ පැමිණි පසුව විවෘත ඇළක් බවට පත්වේ. මෙය සාමාන්‍යයෙන් මිනිසෙකුට ඇවිදගෙන යාමට ප්‍රමාණයෙන් හැකියාව තිබෙන උමගක් වනාතර එය දිගින් අඩි දෙසීයක් පමණ විය යුතුය.

මෙම උමං මාර්ගයේ ජලාශයෙන් පිටත විවෘත කොටස ඝන දැලකින් ආවරණය කිරීමට සිදුව ඇත්තේ මෙය නැරැඹීමට පැමිණෙන සමහර පුද්ගලයන් එම උමං මාර්ගයේ outlet එකෙන් බටයට ඇතුළුවී පිටතට ජලය ගලා එන ජලපහරට විරුද්ධව ඝණ කළුවරේ උමග දිගේ ජලාශය ඇතුළට ගමන් කර ජලාශය මැද උමගේ අනිත් කෙලවරින් ජලාශය ඇතුලට පැමිණීමයි. 

ගණ කලුවරේ උරහිසට පමන වතුරේ ගිලී පිටතට එන ජල කඳ ට විරුද්ධව මෙසේ අඩි 300ක් පමණ ගමන් කර උම්මග අනෙක් කෙළවර ජලාශයෙන් මතුවීම, මම මෙතෙක් අසා ඇති ඉතාමත් භයානක extreme sport එකක් බව නොබියව කිව හැක.

මේ භයානක එසේම එඩිතර ක්‍රියාව නැවැත්වීමට මෙලෙස ජලයට ඇතුළු වන්නන් වැළැක්වීමට දෑල ගැසූබව මුරකරුවා කීවේය.


මුරකරුවා කී විස්තරය අසා එළියට පැමිණි විට මට සිතුනේ රජයට තිබුණේ මෙලෙස දැල ගැසීම නොව, මෙම උමග තරණය සඳහා රුපියල් 5000ක පමණ ගාස්තුවක් අයකර එයට ඉඩදීම බවය. ලෝකයෙ extreme adventure sports වලට කෝටි ගණන් වියදම් කරන මිනිසුන් මෙවැනි අමුතු සහ භයානක ක්‍රීඩාවක් කිරීමට පිටරටවල සිට වුව ද පැමිණිය හැකි යැයි මට සිතුනි.

විශේෂයෙන් ඇල්ල සංචාරක කලාපය අසල පිහිටා ඇති මෙම ජලාශය වෙතට ඇල්ලට පැමිණ පැමිණෙන සංචාරකයන් මෙම උමග තරණය කිරීමට  මුදල් ගෙවා, පැමිණෙන්නට බොහෝ ඉඩ තිබේ. එසේම මෙවැනි මෙතෙක් අසා නැති භයානක ක්‍රීඩාව, එවැනි ක්‍රීඩා වලට කැමති පුද්ගලයන් අතරේ ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ට වත් ප්‍රසිද්ධ කරනු ඇත.


No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...