Wednesday, December 28, 2022

පිහිල්ලට විසිකරපු අලකොල ටිම්බ

 විදේශයකින් නිවාඩුවකට පැමිණ සිටින නෑදෑයෙකුගෙ ආරාධනය මත ඊයේ උදේ regency හෝටලයේ උදය ආහාරය සඳහා ගියෙමි.

අප එතනට යන විට නමය හමාර පමණ වී තිබූ අතර breakfast බුෆේ එක 10:30 ට අවසන් වන බව අප දැන සිටියෙමු.

සංචාරක කර්මාන්තයට බොහෝ දුෂ්කර කාලයක් වන මෙකල මම සිතාගෙන සිටියේ උදය ආහාර ශාලාව බොහෝ දුරට හිස්ව තිබෙනු ඇතැයි කියාය.

අප ශාලාවට ඇතුළුවන විට ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුනේ අපද සතුටටද දුකටද පුදුමයට ද පත්කරමිනි. 

දුක  දැන් අපිට කෑම බෙදා ගැනීම තරමක් කරදරයක් වන නිසාය. සතුට අඩු තරමේ යම් තරමකට වත් සංචාරක කර්මාන්තය දුවන බව දැකීමෙනි. පුදුමය අප බලාපොරොත්තු වුණු හිස් ශාලාව වෙනුවට ජනයා ගෙන් පිරුණු ශාලාවක් දැකීමයි.

නමුත් ඇතුළට ගිය විට එහි සිටින බොහෝ දෙනා ශ්‍රී ලාංකිකයන් බව පෙනුණි. එයිනුත් බහුතරය ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව බව ඇඳුමෙන් අපට වැටහුණි. කොහොමද ලංකාවේ ආර්ථිකය අපි හිතුවට වඩා බොහොම හොඳයි නේද මම  කීවෙමි.

breakfast බුෆේ එකකට ගියේ ටික කාලයකට පසුව නිසා, සැලසුම් සහගතව වැඩිය ගෙදරදී කන්නට නොලැබෙන ආහාර වර්ග බෙදාගෙන අනුභව කරන්නට මම සැලසුම් කළෙමි. 

කිහිප වරක් ආහාර බෙදා ගන්නට එහෙට මෙහෙට යන විට ආහාර ගන්නන්ගේ කතා කරන භාෂාව මට එහෙන් මෙහෙන් කනට වැටුණි.

ඒ සිංහල නොවේ, ඉන්දියානු භාෂාවන් ය. ඉන්දියාවේ අවුරුදු දෙකක් ජීවත් වී ඇති මට ඒ භාෂාවන් යම් තරමකට භූගෝලීය වශයෙන් සිතා ගන්නට පුළුවන. 

එම භාෂාවන් උතුරු සහ දකුණු ඉන්දියා දෙකේම භාෂාවන් බව මට වැටහුණි.

ඒ කියන්නේ එතැන සිටි බොහෝ පිරිස් ඉන්දියානුවන් වන බවය. මම හෝටලයේ සේවකයකු ගෙන් මෙතන සිටින බොහෝ දෙනා හෝටලයේ කාමරවල සිටින්නන් ද එසේත් නැත්නම් පිටින් පැමිණිය වුන් දැයි ඇසුවෙමි.

ඔහු කීවේ සියල්ලන්ම වාගේ හෝටලයේ කාමර වල සිටින්නන් බව ය.

නිවසට පැමිණි පසු මම රීජන්සි හෝටලය කාමරයක මිල ගනන් බැලුවෙමි. එය රුපියල් 40,000 වටේ කැරකෙයි.

සංචාරක කර්මාන්තය ලංකාවේ පීක් එකේ තිබියදී මම දකුණු පළාතේ ආඥාපතිවරයා ලෙස ගාල්ලේ සේවය කළෙමි. එකල ඒ ප්‍රදේශය සංචාරක හෝටල් වලට මම නිතරම ගියෙමි. 


ඒ හෝටල් වල බොහෝ පිරිස් ඉන්දියානු සංචාරකයන් එතරම් සතුටින් පිළිගත්තේ නැත. තරු පහේ හෝටල්වල පවා ඉන්දියානු සංචාරකයන් පැමිණි විට ඔවුන් කාමරයේ පිටි අනා ගෙන, රෙදි මදින ඉස්තිරික්කය තබා රොටි හදාගෙන කන කණ්ඩායමක් බවට හෝටල් වල සේවකයන් සිනා වූහ.


අවසානයේ අපේ සංචාරක කර්මාන්තය මේ වෙලාවේ බේරාගන්නට මුල්වී ඇත්තේ ඉන්දියානු සංචාරකයන් බව ඒ වෙලාවේ මට සිතුනි.

පිහිල්ලට විසිකරපු අලකොල ටිම්බත් දවසක ඕන  වෙනවා කියන්නේ මෙවැනි හේතු නිසා විය හැක


1 comment:

Diary of a German traveller of his travels in Sri Lanka

 The spirit of Henry Miller is with me... Sometimes he drives into me, is a part of me, I feel like Henry Miller, I feel his feeling back th...