කැරැල්ල අවසන් වීමට තව එතරම් කලක් ගතවන්නේ නැති බව රාජසිංහ රජ්ජුරුවෝ විශ්වාස කළහ.
“ඔය පායලා තියෙන වල්ගා තරුව බැහැපු ගමන්ම ඔවුන් එක එකා
ඇන කොටාගන්නවා, මං දන්නැද්ද අපේ සිංහලයාගේ හැටි , අනික වල්ගා තරුව
බැස්සහම අපල කාලේ ඉවරයි කියල මිනිස්සු රජ්ජුරුවෝ පැත්තට හැරෙනවා” රාජසිංහ රජතුමා උඩගම්පහේ රාළට කීවේය.
“පස්වාන් දහසකට, උන් අපේ කුමාරයාට ඔටුනු පලඳලා කියල ආරංචියක් පැතිරෙනව ” රජුට වඩා තරමක් මිටි එහෙත් ඔහුට වඩා තරුණ
එමෙන්ම ශක්තිවන්ත පෙනුමක් ඇති, උඩගම්පහේ රාල පිළිතුරු දුන්නේය.
මුහුණ පුරා තරමක් අව පැහැයට වැවුණු
රැවුලක් සහිත රාජසිංහ රජතුමා, දුර්වල දනිස් වලට අත් තබමින් හෙමින් තමන් ඉඳගෙන සිටි
ගලෙන් නැගිට්ටේය. ඒ ලඟින්ම කෙලින් කටින් වාඩිවී සිටි උඩගම්පහේ රාල, එක්වරම කිසිම
අපහසුවක් නොමැතිව නැගිට සිටියේය. රජුට පසුව නැගිටින්ට පටන් ගත්තත් ඔහු රජුට පෙර හිටගත්තේය.
“අපි දෙන්න එක පලොලේ නේද උඩගම්පහේ ?” රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල පරීක්ෂාවෙන් බලන ගමන් ඇසුවේය.
“එහෙමයි මං අපේ දෙයියන්ට වැඩිය පෝය දෙකක් වැඩිමල් කියලා අපේ අප්පොච්චා කියනවා මට
ඇහිලා තියෙනවා”
රාජසිංහ රජතුමා කල්පනාවට වැටුනේය. “බලපන් දැන්
උඹ නැගිටපු ආකාරෙ, ඊ ගහක් වාගේ, මම හිට ගන්නකොට උඹට තුන් පාරක් හිටගෙන ඉඳගන්ට තිබ්බා,
මොකද ඒකට හේතු කාරණේ උඩගම්පහේ ”
“මගෙත් දනිස් පොල්කටු ගාවින් ඇදුම් දෙනවා
ඩිංගක් වෙලා ඉඳගෙන ඉඳලා නැගිටිනකොට, ඒ වුනාට දෙයියන්නාන්සේ ඉස්සරහ එව්ව පෙන්නන්ට
පුලුවනෑ” උඩගම්පහේ රාල ඒ පිළිබඳව කතා කිරීම මගහැරියේය. රාජසිංහ රජතුමා සමග කතාකරන විට
බොහෝ ප්‍රවේසම් විය යුතුය. ඔහුත් සමග කතා කරමින් සිටින විට වචනයක් වැරදීමෙන් ජීවිතය
නැති කරගත් කිහිප දෙනෙකු ගේ මුහුණු ඔහුට සිහිවිය.
රජතුමා කියූ පරිදිම කැරැල්ල කැරලිකරුවන්
විසින්ම මැඩ පැවැත්විනි. මේ අතර රජුගේ සහෝදරිය, කුමන්ත්‍රණ කරුවන් විසින් රජු
වෙනුවෙන් ඔටුනු පැළඳවීමට පිළියෙළ කරමින් සිටි රජුගේ පුත් කුමරුද රැගෙන, සෙන්කඩගල
රජ වාසලෙන් පැනගොස්, ගල උඩ පරණ බලකොටුවේ සැඟව සිටි රජු හා එකතුවුවාය.
“තවත් පෝයක් යන්ට අරිමු, එතකොට උන් ටික එක
එකා මරාගෙන ඉවර කොරගයි” රජතුමා ආපසු මහනුවරට යාමට ඔහු උනන්දු කරන රාජපාක්ෂික
නිලධාරින්ට පිළිතුරු දුන්නේය.
මසකින් පමණ කැරැල්ලේ සැර අහවරව ගොස්, රාජසභාව
නැවත අගනුවර ස්ථාපිත කෙරින. කැරලි නායක අඹන්වෙල රාල යදම් දමා ලන්දේසීන් වෙත පිටමන්
කෙරුනේ, කන්ද උඩරට මෙතෙක් අසා නොමැති , නොදැක ඇත්තාවූ දඬුවම් ඔහුට ලන්දේසින් මඟින් ලබාදීමටය.
“උඩගම්පහේ රාල, රජකම රජ පවුලෙන් උදුරාගන්ට
හයියක් ඇති එකෙක් මේ රාජධානියේ ඇත්තේ නෑ, ඒ වුනාට රජ්ජුරුවෝ ඉවත් කරලා රජපවුලේ කෙනෙක්
රජකමට පත්කරගන්ට පාරම්බාන එව්වෝ ඕනෑතරම් ඉන්ට පුළුවන්” ටික දිනකට පසුව රාජසිංහ
රජතුමා උඩගම්පහේ රාල සමග සාමීචියේ පසුවන අවස්ථාවක කීවේය.
“පස්වාන් දහසකට, අපි දෙයියන්ට පන වාගේ
විශ්වාස කොරන්ට පුළුවන් නිලමෙලා කණ්ඩායමක් දිසාවානි බාරව පත් කොරගන්ට ඕනෑ”
උඩගම්පහේ රාල තරමක් කල්පනා කර පිළිතුරු දුන්නේය.
“උඩගම්පහේ රාල උඹට ඇත්තම කියන්ට, මට මේ කන්ද
උඩ පස්රටම එහෙම විස්වාස කරන්ට පුළුවන් එව්වෝ දෙන්නයි ඉන්නේ, ඒ මහා වාසල අපේ
අක්කන්ඩියි උඹයි විතරයි. වෙන එකෙක් වත් මට විශ්වාස නෑ”
“දැන් උඹ කියපන් මම අනාගතේට මේ පෙරලි නවත්ත ගන්ට මොකක්ද කරන්ට පුළුවන් කියලා” රාජසිංහ රජතුමා උඩගම්පහේ රාල දෙස ඇසිපිහ නොහෙලා බලා
සිටියේය.
සාමාන්‍යයෙන් තමන් කතා කරන පුද්ගලයා දෙස එක එල්ලේ නොබලා, ඔහුගේ ඔලුවට
තරමක් ඉහල ලක්ෂයක් දෙස බලා කතාකිරීම, රාජසිංහ රජතුමාගේ පුරුද්ද වුවද උඩගම්පහේ රාල සමග නිදහසේ කතා කරමින්
සිටින විට ඒ රාජකීය සිරිත ඔහු අමතක කළේය.
සාකච්ඡාව යන අත ගැන උඩගම්පහේ රාලට කිසිම
පැහැදීමක් නැත. එය යන්නේ යැයි ඔහු සිතන රජුගේ තර්කයත් සමග එකඟවිය හැකි අවසානය,
ඔහුට අවබෝධ වනවිට ඔහුගේ කොඳු නාරටිය දිගේ පහලට සිතල දහඩිය බිඳක් ගලා යනවාක් මෙන්
ඔහුට දැනුනි.
“කැරලි කාරයන්ට මම අයින්කොරලා රජ කොරන්ට ගැලපෙන කුමාරයෙක් රජ පවුලේ නැත්තං?”
ටික වෙලාවක් පිළිතුරක් බලා සිට එය නොලැබෙන විට, රජුම පිළිතුරු දුන්නේය. තමන්ගේ දරුවාගේම වයසේ පසුවන රජුගේ පුත් කුමරාගේ අහිංසක
මුහුණ උඩගම්පහේ රාල ගේ සිහියට ආවේය. රජවරු තමන්ගේ බලය රැකගන්නට නොකරන දෙයක් නැත.
එය අතීතයේත් එලෙසම විය, අනාගතයේත් වෙනස් වන්නේ නැත. ඔහුට හොඳ අදහසක් සිතට ආවේය.
“පස්වාන් දහසකට, අපුරු අදහසක් නම් තියෙනවා,,
අපි අස්තානේ කුමාරයා හංගමු, රාජධානියේ කිසිම කෙනෙකුට නොදැනෙන විදිහට” ඔහු කිවේය.
රජුගේ මුහුණ ආලෝකමත් විය.
“ඕන් ඕකමයි මගේ හිතෙත් තිබ්බේ, අපි කුමාරයා
හංගන්ට ඕනෑ, ඒ කොරලා පරසිද්ද කරන්ට ඕනෑ,
කුමාරයා මියගොහිල්ල කියලා. ආන් එතකොට මට මිය ඇදෙන තුරාවට කැරැල්ලකට මුහුණ දෙන්න
වෙන්නේ නැහැ”
“එහෙමයි, මෙච්චර කාලෙකට එකක් ආවෙත් නෑ,
මේකෙන් පස්සේ ආයේ එකක් එන්නෙත් නෑ” උඩගම්පහේ රාල රජු සිතන පැත්තට ඔහුව තවත්
ධෛර්යමත් කළේය.
“එහෙනං උඩගම්පහේ හෙට උදේ ගොම්මනටම කුමාරයත් ඇරගෙන, අලුත්නුවරට පිටත්
වුනොත් හොඳයි, කුමාරයාට තමුන්ගේ දරුවට වාගේ අන්දලා එකතු කරගෙන ගිහාම කාටවත් තේරෙන්නේ
නැහැ, අනික උඹේ දරුවත් මේ පලෝලෙම හින්ද තවත් හොඳයි, කවුරුහරි නිකමටවත් ඇහුවොත් කියන්ට
පුළුවන් ඒ තමුන්ගේ දරුවයි කියලා, මොකද මේක එකෙක් හරි දැනගත්තොත් කටින් කට යනවා,
පෝයක් යන්ට ඉස්සර මුළු රටම දැනගන්නවා, උඹ දන්නවනේ මුන්ගේ කටවල් වල හැටි” රාජසිංහ
රජතුමා පැහැදිලි උපදෙස් ලබා දුන්නේය.
මහවාසලම නැවතුනු උඩගම්පහේ රාල, රාත්‍රී දෙකට
පමණ පල්ලෙහා මාලේ කුමරාගේ කුටියට යනවිට, ඔහු නින්දෙන් අවදිකර ගමනට ලක ලැස්ති කර
සිටි අතර, මව් බිසව හෝ වෙනත් කිසිවකු අසල මානයක සිටියේද නැත. එහෙත් දරුවා සමග
කාමරයෙන් පිටවන විට, කාන්තාවක් කොරිඩෝවේ කෙළවරක සිට බලා සිටිනවා ඔහු දුටු බව ඔහුට
හැඟුනි. එහෙත් මේ හැඟීම් හෝ සැකයන් පසුපස සොයා යාමට වෙලාව නොවේ. දරුවා දකුණු අතින්
අල්ලාගෙන වම් අතින් ඔහුගේ පන් මල්ලද රැගෙන, වේගවත් පියවරෙන් උඩගම්පහේ රාල බූ
වාහල්කඩ දෙසට පියමං තැබුවේය. එදින රාත්‍රියේ මැද මහනුවර උඩගම්පහේ රාලගේ වැඩිමහල් සහෝදරියගේ නිවසේ ගතකල දෙදෙනා, පසුදින
මහියංගන තොට වෙත ලඟා වුහ. ගඟ දුටුවිට මෙතෙක් වෙලා නිශ්ශබ්දව සිටි කුමරු
“උඩගම්පහ මාමණ්ඩි, මේ අපි කොහාටද යන්නේ”
යනුවෙන් එක්වරම විමසුවේ සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු කඩවූ ආකාරයෙනි. පසුගිය දවස් දෙකේම ඔහු කවර පළාතකට
රැගෙන යන්නේද, කවර හේතුවක් සඳහා මෙලෙස යන්නේද, යන කිසිවක් කුමරා විසින් නොඇසීම
ඇත්තෙන්ම උඩගම්පහේ රාලටද පුදුමයට කාරණයක් විය. කුමරු පසුගිය දිනවල සිදුවූ අසාමාන්‍ය
සිදුවීම් වැල නිසා, බලවත් කම්පනයට පත්ව ඇතැයි උඩගම්පහේ රාල සිතුවේය.
“අපි මේ යන්නේ අලුත්නුවර පන්සලට, ගඟෙන්
එගොඩට ගිය හැටියේ පන්සල ආයේ වැඩිදුරක් නෑ, පන්සලට ගිය ගමන්ම අපිට දවාලට බත් ඩිංගක්
කන්ට පුළුවන්” උඩගම්පහේ රාල කුමරුන්ට බඩගිනි ඇද්දැයි අනුමාන කර, ඔහු සැනසීමට
පිළිතුරු දුන්නේය.
“මට එහෙව්වට බඩගින්නක් නෑ” කුමරු පිළිතුරු
දුන්නේය. එහෙත් පිළිසඳර එතනින් කෙලවර විය.
අලුත්නුවර පදුමජෝති හිමියන්ට කුමරු බාරදුන්
උඩගම්පහේ රාල, රජුගේ උපදෙස් පැහැදිලි කළේය. උපදෙස් සාවධානව අසා සිටි හාමුදුරුවෝ
“හොඳයි උඩගම්පහේ රාල මට වැටහුනා, කුමාරයාට
ලොකු අසාධාරණයක් වුනාට, මේ වාගේ අසීරු කාලයක එහෙම රාජධානියේ ආරක්ෂාව බලාගෙන වැඩ
කොරන එක හොඳයි, රට වටේටම රාජධානිය විනාශ කොරන්ට ඒරොප්පෙ උන් බලාගෙන ඉන්නවා මදිවට,
දැන් පස් රට ඇතුලෙත් හතුරෝ” කීවේය.
“කුමාරයාට මොන දීපන්කරේ පන්සලක ඉඳුම් හිටුම්
සලස්සනවද කියලා, මට වත් නොකියා ඉන්න එක හොඳයි. තමුන්නැහේ සුදුසු විදිහක් කලොත් ඒ
ඇති. එහෙනම් අපි ගොහිල්ලා එන්නම්” යැයි පැවසු උඩගම්පහේ රාල අසල කුඩා පුටුවක වාඩිවී
සිටි කුමරු දෙසට ගොස්, ඔහුගේ ඔලුව අතගා හාමුදුරුවන්ට වැඳ කාමරයෙන් පිටවිය.
මාස හයකට පමණ පසු රජුගේ උපදෙස් මත කුමාරයාගේ
තනි නොතනියට උඩගම්පහ රාලගේ පුතනුවන් ද බොහෝ රහසිගතව මහියංගනයට පිටත් කෙරින.
2.
අඹන්වෙල රාල කොළඹට ගියපසු සිදුවූ දෙයින්,
කුමාරයා රහසිගතව තබාගැනීම තවදුරටත් වැදගත් විය. ලන්දේසි අඹන්වෙල වැනි ප්‍රසිද්ධ
කැරලි කාර නායකයකු තමන් අත තබාගැනීමේ ප්‍රයෝජන දැක, ඔහුට දරුණු වධ දී මරා දමනු වෙනුවට, ඔහුට ඉඩකඩම් යනාදිය ලබාදී
ඔවුනට හිතවත් ධනපතියෙකු ලෙස කොළඹ ජීවත්වීමට කටයුතු යෙදුවූහ. මොහු කොළඹ සිටිනතාක්
කල් රාජසිංහ රජතුමා නිරන්තර සැකයෙන් තබාගත
හැකි බවද, මේ මඟින් යම් තරමකට රාජසිංහ රජතුමා පාලනය කල හැකි බවද, ඔවුනට පෙනීම මෙයට
හේතුවයි.
ලොකු බලයක් සහිතව යම් පාලනයක සිටින
පුද්ගලයෙකුට, තමන්ට එම ක්‍රියාකාරකම් වල යෙදෙද්දී යම් වැරදීමක් සිදුවී ඇති බව තමන් යටතේ සිටින්නන්ට හැඟීම , පාලකයෙකුට දරාගන්නට බැරි අපහාසයකි.
මීට පෙර ලන්දේසින් සමග ගනුදෙනු කිරීමේදී ඔහුට සිදුවූ මෙවැනිම මදිපුංචි කමක්, ඔහුගේ
ජනයා අතරේ සාමාන්‍ය වහරේ ප්‍රස්ථා පිරුලක් බවට පත්විය. ඒ “ඉඟුරු දී මිරිස් ගත්තා
වැනිය” යන කියමනයි.
අඹන්වෙල රාලගේ සිද්දියද එයට නොදෙවෙනි එකක්
බව, රාජසිංහ රජතුමාට පෙනුනේය. මේ නිසාවෙන්
ඔහු කෝපයෙන් වියරු වැටුනේය.
සමහරවිට මේ නිසාවෙන්ම රාජසිංහ රජතුමා දියතිලක
නුවර මාලිගාවේ සිටියදී, රාජසිංහ රජතුමා රෝගාතුර
වී ඇඳට වැටුනේය. දැනටමත් වයස 70 කට කිට්ටුව සිටි මොහු, තව වැඩි කාලයක් ජීවත්වන්නේ
නැති බව කාටත් පැහැදිලි වුනි. ඔටුන්න හිමි කුමාරයකු නොමැතිවීම නිසා රාජසභාව කොටස්
කිහිපයකට කැඩී, නොයෙකුත් රාජ්‍යත්වයට හිමිකම් ඇත්තන් ඉදිරියට ගෙන ඒමට තැත් කිරීම
නිසා, මහත් බල අරගලයක් රහසින් ක්‍රියාත්මක විය. මෙලෙස ක්‍රියාත්මකවූ කල්ලි තුනටම
සම්බන්ධ නොවී සිටි, එකම රාජ සභාවේ සාමාජිකයා වුයේ උඩගම්පහේ රාල පමණි.
උඩගම්පහ රාල රජු වැඩ හිටින මාලිගා
සංකීර්ණයට ඇතුලුවන විට, මුරට සිටි හේවායන් දෙදෙනා ගෞරවයෙන් ඔහුට ඇතුලට යාමට ඉඩ දුන්හ. කොරිඩෝවක්
සහ කාමර පේලියක් පසුකරගෙන යද්දී, ඔහු තවත් හේවා යුගල දෙකක් පහු කළේය. රජුගේ
සයනාගාරයට ඇතුළුවන තැන සිටි මල්පිටියේ රාල, උඩගම්පහේ රාලට ආචාර කර ඇතුලට යාමට ඉඩ
හැරියේය.
“හකිම් වෙද රාලහාමි දැන් තමයි බැහැර වුනේ” ඔහු
ද්වාරය අසලදී උඩගම්පහේ රාලට කීවේය.
පත්තුකර තිබු කුරුඳු තෙල් ඉටිපන්දම් සුවඳින් කාමරය පිරි තිබුනේය. රජු සයනයේ කකුල්
දෙපසට දමා වහලය දෙස බලාගෙන නිසොල්මන්ව සිටියේය. උඩගම්පහේ රාල ටික වෙලාවක් රජු දෙස
බලා සිටියද, ඔහු පැමිණි වග දුටු බවක් රජු පෙන්නුවේ නැත. ඔහු රජුගේ මුහුණ කිට්ටුවටම
තම මුහුණ කිට්ටුකර පරීක්ෂාවෙන් බැලුවේය. රජු එක්වරම එක් අතක් ඇඳට තබා ඉහලට එසවී, එක අතකින් උඩගම්පහේ
රාලගේ බෙල්ල අල්ලා ගත්තේය.
“උඩගම්පහ රාල මොකද කිට්ටුවෙල බලන්නේ, අන්තිම
හුස්ම ටිකත් ගිහිල්ලා කියලද?” රාජසිංහ රජතුමා සිනහවන්නට පටන් ගත්තේය. “උඹත්
බලාගෙන ඉන්නේ රජ්ජුරුවෝ මැරෙන කන්ද?” ඔහු වියලි කැස්සක් පටන් ගත්තේය, හුස්ම ගන්නට
අපහසු වනතෙක් කැස්ස නවතාගත නොහැකිව, උඩගම්පහේ රාලගේ අතක් අල්ලා ගත්තේය.
“උඹට කියන්ට උඩගම්පහේ රාල, මට ඉතුරු වෙල
තියෙන්නේ තුන් හතර දොහක්, අපිට ආයේ වැඩි කාලයක් නෑ කුමාරයාට ඔටුනු පළඳවන්ට” ඔහු කීවේය.
“කාටවත් නොදැනෙන්ට සඟරාජට දන්වල කුමාරයා හෙට අනිද්දම මෙහාට ගෙනෙන්ට ඕනෑ”
උඩගම්පහ රාල යමක් කියන්ට උත්සාහ කළේය. රජු අත
උස්සා එය නවතා නැවත නින්දට වැටුනේය.
3
එක දිසාවක් හැරෙන්නට සියලුම දිසාව වරුන්ද,
මහාධිකාරමද, තවත් වාසල නිලමේ වරුන්ද, ඇතුළුව නිලමේ වරුන් දහසය දෙනෙකු රජුගේ සයනය
වටා ගෞරවයෙන් රැස්වී සිටියහ. වයෝවෘධ මහ තලේ දිසාව හැරෙන්නට අනෙකුත් සියලු ප්‍රධානින්
සිටියේ සිටගෙනය.
මේ සියලු දෙනාට අමතරව එදින රජුගේ සයනාගාරයේ සයනයට
දකුණු පැත්තෙන් කාමරයේ කෙලවරට වන්නට වයස 15 වක පමණ ප්‍රසන්න පෙනුමක් ඇති තරුණයෙකු කාමරයේ
සිටි සියලු දෙන දෙස ඉතා උවමනාවෙන් බලා සිටියේය.
කුමක් වන්නට යන්නේදැයි අවිනිශ්චිත බාවයෙන්
සභාවේ සිටි සියලු දෙන, රජතුමා ගේ ඉරියව දෙස බලාසිටියේය. ඔහුගේ නළලට තෙත සුදු
පැහැති රෙදි කඩක් සෙමින් තැබූ හකීම් වෙද තැන, තම සහායකයන් දෙදෙනාගේද සහය ඇතිව
රජතුමාගේ ඉහල කොටස තරමක් ඔසවා, ඔහු ගේ ඔලුව එසවෙන පරිදි කොට්ට දෙකක් කොන්දට
තැබුවේය. සියලුදෙනා පෙනෙන තරමට තම හිස එසවුණු පසු, රජු එසවීම ප්‍රමාණවත් බව
පෙන්වීමට සංඥාවක් කළේය.
“හොඳයි” රජු අමාරුවෙන් වචනය පිටකළ සැනෙන්ම
වෙද රාල සහ ඔහුගේ ගෝලයන් කාමරයෙන් පිටවිය.
රාජසිංහ රජතුමා තවත් ටිකක් කොට්ටය මත හරිබරි
ගැසුනේය. “මගේ මේ අන්තිම කාලේ කියලා කියන්ට වැඩක් නෑ, අද තමුන් හැමෝටම එන්ට
කිව්වේ මයෙන් පස්සේ රජකමට අපේ පුත් කුමාරයා පත්කරගන්ට, ඕන් ඔතන ඉන්නේ කුමාරයා”, ඔහු
ඇසෙන් තම දකුණු පැත්තේ හිටගෙන සිටි තරුණයා පෙන්වීය. “හෙට හොඳ නැකතක් තියෙනවා, හෙට
කුමාරයට ඔටුනු පළන්දන්ට ඕනෑ, එහෙනම් මාතලේ, සියලු කටයුතු සංවිධානය කරන්න ඕනෑ” ඔහු මහත් අපහසුවෙන් එහෙත් කටහඬ ලැබුණු වෙලේ කියා අවසන් කළේය.
ගම්පහේ රාල කලබල වී යමක් කියන්නට උත්සාහ
කළේය. රාජසිංහ රජතුමා අත උස්සා එය නැවැත්විය. මුළු සභාවම කණ්ඩායම් කිහිපයකට වෙන්වී
රහසින් කතා කරන්නට පටන්ගත්හ. රාජසිංහ රජු හොඳ සෞක්‍යයෙන් සිටියදී ඔහු ඉදිරියේ
වචනයක් කතාකිරීමට බිය වූ නිලමේ වරු, අද ඔහුගේ
ලෙඩ ඇඳ අසල ඒ බිය ඒ අයුරෙන්ම පෙන්වුයේ නැත.
“පස්වාන් දහසකට බුදුවන්ට, මුළු රටම මෙච්චර
කාලෙකට හිතාගෙන හිටියේ කුමාරයා මිය ගිහිල්ලා කියලා, අපිට, යම් ලකුණක් නැතිව මේක
පිළිගන්ට දුෂ්කරයි, මෙතන ඉන්න අපි ඔක්කොම ඒ මතයේ තමයි ඉන්නේ” පහලපිටියේ රාල රාජ
සභාව වෙනුවෙන් තම අදහස් ප්‍රකාශ කළේය. පහලපිටියේ මෙලෙස මෙම එඩිතර කමෙන් මුළු සභාවටම නව පණක් ලැබු අතර,
රජුගේ සිතැඟි ඉටු කරගන්නට එතරම් පහසු නැති බව පෙනුනි. ඊළඟ රජු ලෙස තමන් කැමති
කෙනෙකු පත්කර ගැනීමට සැලසුම් අඳිමින් සිටි කණ්ඩායම් තුනම, මේ අවස්ථාවේ ඔවුන්ගේ
විරසක අමතක කර එකතු වුහ.
රාජසිංහ රජතුමා අසල කනප්පුව මත තිබු කුඩා සීනුව
නාද කළේය. වෙදරාළ සහ ඔහුගේ සහායකයන් කඩිනමින් ඇතුලට පැමිණියහ. වෙදරාළ ඔහුගේ කන
රජතුමාගේ මුවට කිට්ටු කළේය. ඔහු යමක් කී පසු සහාකයන්ද සමග රජතුමා ඔසවාගෙන, කුමාරයා
අසලට ගෙන ගියහ. රජතුමා සංඥා කල පසු ඔවුහු රජතුමා කුමාරයා අසල බිම තැබුහ. රජතුමා ටික
වෙලාවක් කුමරු දෙස බලාසිටියේය. ඔහු සිතට ධෛර්‍යයක් ගත්තේය. කුමාරයා අසල එකත්පස් වී ඔහුට වැන්දේය.
සයනය අසල සිටි නිලමේ වරුන්ගෙන් ඇසට කඳුලක්
නොනැගි කෙනෙකු නොසිටිය තරම්ය. ඔවුහු සියලු දෙනාද දණගසා රජතුමාට ආචාර කළහ.
පසුදින හිමිදිරියේ පැවති චාම් උත්සවයකින්
කුමාරයා රාජත්වයට පත්කරන ලද්දේය. ඔහු තම සීයා ගේ සහෝදරයා විසින් ශ්‍රී
ලංකාවේ අගනුවර බවට පත්කරගත් , මහනුවරදී , දිවි ඇතිතෙක් පරසතුරන් ගෙන් එම රාජ්‍යය බේරාගන්නට සටන්
කල විමලධර්මසුරිය නාමය, තමන්ගේ රාජකීය නාමය ලෙස තෝරා ගන්නා ලද්දේය.
රාජසිංහ රජතුමාගේ අවමඟුල සෙන්කඩගල නුවරදී මහත්
හරසරින් සිදු කෙරිණ. කුමන හෝ හේතුවකට; බොහෝවිට රාජ්‍ය තාන්ත්‍රික උවමනාවන් නිසා,
කොළඹ ලන්දේසි අගනුවරද රජුට ගෞරව කර රාජ්‍ය උත්සවයක් පැවැත්වින.
අවමඟුල් උත්සවයට සෙන්කඩගල නුවරට පැමිණි පදුමජෝති
හාමුදුරුවෝ ආපසු යන ගමනේදී දුම්බර පිහිටි,
උඩගම්පහේ රාලගේ නිවසට පැමිණියේය.
“මහරජතුමා මාස තුනකට සැරයක් මාව, උන්නැහේ
බැහැදකින්ට ගෙන්නුවා, කුමාරයා ගැන අහන්ට. මම කුමාරයා ගැන විස්තර කියන කොට ඈත
බලාගෙන අහගෙන හිටියා. බොහොම කණගාටුවකින් වාගේ, කුමාරයා හීනෙන් බයවෙන එව්වා, බලාගත්
අතේ බලාගෙන ඉන්න එව්වා, එක පාරටම වෙව්ලලා වැටෙන එක, කටින් සෙම දාන එක ඔය ඔක්කොම මං
කිව්වා, මට අන්තිම පාර මුණ ගැහුනම තමයි කිව්වේ”,
“එහෙනම් සාමි ඔය වැඩේ හරියන්නේ නෑ, කන්ද උඩ
පස්රටට හතුරෝ බොහොම වැඩියි, රටට ඕනෑ දක්ෂ
පාලකයෙක්, කුමාරයත් එක්ක ගිය උඩගම්පහේ රාල ගේ දරුවා කොහොමද?” උන්නාන්සේ මගෙන් ඇහුව.
“ඇස්වහක්
කටවහක් නෑ, බොහොම දක්ස දරුව, කල්පනා ශක්තියත් හොඳයි, කය වෙහෙසල වැඩක් පලක්
කොරන්ටත් පුළුවන්” මං උත්තර දුන්නා
ඊට පස්සේ තමයි උන්නාන්සේගේ අදහස කිව්වේ, මට
මුලින්ම තෙරුන් ගියෙත් නෑ, නමුත් මට තේරුණා ඔටුන්නට කා කොටා වැටෙන එක වලක්වන්ටයි, රාජ
වංශයේ චිරස්තියටයි ඒක තමයි කොරන්ට තියෙන එකම වැඩේ කියලා”
“ඕන් ඔහොම තමයි උඹේ කොල්ල රජවුණේ, දැන් මේක
දන්නේ උඹයි මමයි විතරමයි, දරුවා යහපත් පාලකයෙක් වෙන එක නම් මට විශ්වාසයි ” පදුමජෝති හිමි කීවේය.