Friday, March 10, 2017

එක රාත්‍රියකින් පොහොසෙතෙකු වීමේ සිහිනය




අප පාසැල් යන කාලයේ එක්වරම දිවයින පුරා VOC පිඟන්, කාසි සහ බොතල් පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවිය. එය ඝණ ඉඩවරයක ඇති වූ ලැවි ගින්නක් ලෙස ගම් දනව් සිසාරා පැතිර ගියේය. ව්‍යාපාරිකයින් පමණක් නොව ගොවියන්, රජයේ සේවකයන් යනාදී කිසිදා ව්‍යාපාරයකට සම්බන්ධ නොවී සිටි මිනිසුන්ද එක රාත්‍රියකින් පොහොසෙතෙකු වීමේ බලාපොරොත්තුවෙන් VOC ව්‍යාපාරයට බැස්සහ. 

කිහිප දෙනෙකුට යම් මුදලක් සොයා ගැනීමට හැකි වුවද බහුතරය ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුට අසුවී තමන් අත තිබූ සියලු මුදල් නැතිකර ගත්තා පමණක් නොව අනුන්ගේ මුදල් ණයට ගෙන ඒවාද විනාශකර ගත්හ. අපට දුරින් නෑකමක් තිබූ විදුහල්පතිවරයෙක් VOC හරහා එක රාත්‍රියෙන් කෝටිපතියෙකු වන්නට සිතා අවසානයේ ණය ගෙවීමට නොහැකිව සියදිවි නසා ගත්තේය. 

මෙම සිද්ධිය මට මතක් වූයේ මාගේ මිතුරෙකු ගිය සතියේ මට කිවූ කථාවකින් පසුවය. ඔහු මට කීවේ ඉංග්‍රීසි කාලයේ ලංකාවේ ගොඩනගන ලද සමහර ස්ථානවල සවිකර ඇති අතුණු සන්නායකවල පොළොව යට ඇති තඹ තහඩුව ඉතා විශාල මිලකට මිලදී ගැනීමට ඇමරිකාවේ යම් සමාගමක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් උත්සාහ කරන බවයි. විශේෂයෙන්ම මෙවැනි පැරණි අකුණු සන්නායකවල තඹ තහඩු බොහෝ විට හමුවන්නේ ඉංග්‍රීසි වතු පාලකයන්ගේ නිවෙස් වලය. 

මෙලෙස අවුරුදු සිය ගණනක් අකුණු ඒ හරහා ගොස් පැරණි පොළොව යට ඇති තඹ තහඩුව ඉරේඩියම් නැමති ඉතා වටිනා ලෝහයක් බවට පත්වන නිසා මෙම තඹ තහඩුව කලක් ගතවන විට අධික වටිනාකමකට මිලදී ගන්නට ඔවුන් පෙලබී ඇති බව මට දැනගන්නට ලැබුණි. ඉරේඩියම් යනු දුර්ලභ ලෝහයක් වන අතර මාර්තු මස 10 වන දින ලෝක වෙළඳපලේ එහි මිළ අවුන්සයකට ඇමරිකානු ඩොලර් 755 කි. 

එහෙත් මෙලෙස දීර්ඝකාලයක් විදුලි සැර වැදීමෙන් තඹ ඉරේඩියම් බවට පත්වන්නේ දැයි හරියට පැහැදිලි නැත. නමුත් ඉරේඩියම් ලෝකයේ දෙවෙනි ඝනත්වයෙන් යුත් මූල ද්‍රව්‍ය වන අතර අඩුවෙන්ම මලකඩ කන ලෝහයද වෙයි. මෙය ලෝකයේ අඩුවෙන්ම හමුවන ලෝහය වන අතර බොහෝ විට උල්කාපාතවල වැඩිපුර දක්නට ඇත. 2010 දී මුලු ලෝකයේම ඉරේඩියම් පාවිච්චිය ටොන් 10.4 ක් විය. මාලිමා යන්ත්‍රවල බෙයාරින් සාදන්නේද මේ මූලද්‍රව්‍යයෙනි. එහි තදකම හා මලකඩ නොසෑදීම හේතුවෙන් ගුවන් යානා සෑදීමේදීද පාවිච්චි වේ. 

ඉරේඩියම් මොහොතකට පැත්තකට තබමු. මෙවැනි එක රැයකින් පොහොසත් වීමට අහිංසක මිනිසුන්ට සිහින විකුණන ජාවාරම් විටින් විට ඇති වන බව නොරහසකි. 

  • නිදන් වදුලට අනුව යමින් නිදන් ගොඩ ගැනීම. 
  • ගජමුතු වෙළඳාම.
  • දඹරන් කාසි.
  • VOC
  • වල්ලපට්ටා වෙළඳාම.
  • ගෙම්බා මාර්ක් මහණ මැෂින්. 
  • හොදන් මෝරපු කරපිංචා ගස් අරටුව. 


මෙවැනි තවත් බොහෝ දෑ අපි නොදැනුවත්ව අහිංසක මිනිසුන් රැවටීමට යොදා ගන්නට ඇත. දැනටමත් පැරණි අකුණු සන්නායකවල තඹ තහඩු සොරකම් කර කිහිප දෙනෙකුම රිමාන්ඩ් ගත වී සිටිති. හරියටම ලෝකයේ තිබෙනවාදැයි නොදන්නා ගජමුතු නිසා සතියකට සැරයක් පමණ කවුරුන් හෝ අමාරුවක වැටෙනවා එසේත් නැත්නම් අත්අඩංගුවට පත්වෙනවා දකින්නට පුලුවන. 

මේ සම්බන්ධයෙන් මෙවැනි වරදි තොරතුරු නිසා මිනිසුන් අමාරුවේ වැටීම නැවැත්වීමට මෙවැනි එක් රාත්‍රියකින් පොහොසත් වන කථාවක් සමාජයේ ඇති වූ වහාම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය අමාත්‍යංශයෙන් හෝ යම් වැඩ පිලිවෙලක් ඇති කිරීම කාලෝචිත නොවේද?  

.  

1 comment:

  1. මගේ යාලුවෙකුත් දරුනුවටම අකුනු කේස් එක පස්සෙ යනව මිනිහට පැහැදිලි කරල දෙන්න විස්තර තියෙන තැනතක් ගැන හෝඩුවාවක් නැදද?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...