Tuesday, March 7, 2017

first part -එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා - first part









කොනප්පු බංඩාර හෙවත්. විමලධර්මසූරිය රජතුමා. ( 1598 – 1612)  

ක්‍රි :ව: 1580 දී සෙංකඩගල රජකම් කලේ කරල්ලියද්ද බංඩාර නම්  රජ කෙනෙකි. එවකට කන්ද උඩරට රාජධානියේ, පේරාදෙනියෙහි වීරසූරිය නම් ජන ප්‍රධානියෙක් වාසය කලේය. 

පෟතුගීසීන් සමග දීර්ඝ කාලයක සිට දරුණු සටන් වල නිරතව සිටි සීතාවක රාජසිංහ රජු කරල්ලියද්දේ බංඩාර, තමන්ට විරුද්ධව පෟතුගීසීන් සමග එකතුවේ යැයි සැකයෙන් හදිසියෙන්ම මහනුවර ආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය සදහා කරල්ලියද්දේ රජුට පක්ෂපාතීව සිටි පේරාදෙනියේ වීරසූරියද තම පිරිස සමග රාජසිංහ රජුගේ හමුදාවට එකතු විය. 
කරල්ලියද්දේ රජු කතෝලික ආගම වැලඳ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල සමග පැවැත්වූ කිට්ටු සම්බන්ධතාවයක්, මෙම කන්ද උඩරට ප්‍රධානීන් හා රජු අතර මත භේදයට තුඩු දෙන්නට ඇත. කරල්ලියද්ද රජු පෟතුගීසීන් සමග එකතුව කන්ද උඩරට පෟතුගීසීන්ගේ යටත් ප්‍රදේශයක් බවට පත් කරන්නට යන්නේ යැයි සැකයක්ද මෙකල පැවතින. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී ඇති වූ මෙම සටනින් පැරදුනු කරල්ලියද්දේ බංඩාර රජු තම දරුවන් සහ පිරිවරද කැටුව වන්නියට පලා ගියේය.  

කදුකරයෙන් පලා ගිය කරල්ලියද්දේ රජු හා පිරිස උතුරුකරයේ කටුපත නැමැති ස්ථානයේ, තාවකාලිකට ලැගුම් ගත්හ. ඉන්පසු ඔහුගේ බෑණා වූ, කෝට්ටේ ධර්මපාල රජු සහ පෟතුගීසීන්ගේ උදව් ඇතිව මන්නාරමේ පෟතුගීසී කොටුව වෙත පැමිණියේය. එහිදී කරල්ලියද්දේ බංඩාර රජු වසූරිය රෝගයෙන් මිය ගියේය. රජුගේ දියණිය වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් අතර දෝන කතිරිනා යන නාමයෙන් ඇති දැඩිව පසු කලෙක සෙංකඩගල මහ රැජිණ බවට පත් විය. කරල්ලියද්ද රජුගේ බෑනකු වූ යමසිංහ බංඩාර කුමරුද පෟතුගීසීන් අතර ඇති දැඩිව පසු කලෙක ටික දිනකට කන්ද උඩරට ඔටුණු පැලැන්දේය. 

සීතාවක රාජසිංහ රජු විසින් යටත් කල කන්ද උඩරට රාජ්‍යයෙහි යුව රජු වශයෙන් පේරාදෙනියේ වීරසූරිය පත් කල අතර ටික කලකින් වීරසූරිය හා රාජසිංහ රජු අතරද, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු මතුවන්නට පටන් ගැණිනි. වීරසූරිය විසින් කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරන්නට සැලසුම් කරන්නේ යැයි සැකයක් රාජසිංහ රජු තුල පැවතුන අතර, පෟතුගීසීන් හා නිතරම සටන් වැදුනු රාජසිංහ රජුට අවශ්‍ය සේනා සම්පාදනය කිරීමට සිදුවීම නිසා රාජසිංහ රජු කන්ද උඩරට ජනතාව අතර බලවත් අප්‍රසාදයකට පත්ව සිටියේය. 

මේ හේතුව නිසා වීරසූරිය යුව රජ කන්ද උඩරට පාලනයෙන් ඉවත් කිරීමට, රාජසිංහ රජුට අවශ්‍ය විය. මේ සදහා ඔහු තමා වෙත ගෙන්වා ගැනීමට උපක්‍රමයක් ලෙස කරල්ලියද්ද රජු හා කල සටනින් ජය ගත් අවස්ථාවේ රාජසිංහ රජුට ලැබුණ කන්ද උඩරට රාජකීය වස්තු ලබා ගැනීමට, සීතාවකට පැමිණෙන ලෙසට රාජසිංහ රජු වීරසූරියට ආරාධනා කලේය. 
මෙම වස්තුව අතර කන්ද උඩරට රාජධානියේ ඔටුන්න ඇතුලු තවත් රාජකීය භාණ්ඩද තිබූ හෙයින්, වීරසූරිය තම පිරිවර සමග මේවා ලබා ගැනීම සදහා සීතාවකට පැමිණියේය. රාජසිංහ රජු නොයෙකුත් උපක්‍රම වලින් වීරසූරිය යුව රජු හා ඔහුගේ පිරිවර නිරායුධ කර අල්ලා ගෙන ඔහු කරවට තෙක් පොලවේ වලලා ලී වලින් තනන ලද බෝල වලින් පහර දී මරුමුවට පත් කලේය. 

මේ ආරංචිය සෙංකඩගලපුරට ලැබුණු පසු කන්ද උඩරට සංඝයා සහ ජන ප්‍රධානීන් එකතුව වීරසූරිය බංඩාරගේ පුතු වූ කොනප්පු බංඩාර නැමැති කුඩා දරුවා හේවාහැට හගුරන්කෙතට ගෙන ගොස් සැඟවූහ. මේ ආරංචිය ලැබූ රාජසිංහ රජු තම හමුදා යවා කොනප්පු බංඩාර ලබා නොදුනහොත් හගුරන්කෙත නගරය විනාශ කරන බවට තර්ජනය කලේය. නගර වැසියන් බියට පත්ව කොනප්පු  බංඩාර හා සමානකම් ඇති වෙනත් දරුවෙකු රාජසිංහ රජුට භාරදී රජු රැවැට්ටුවෝය. එහෙත් පසුව සත්‍ය  දැන ගන්නට ලැබී ඔහු රැවටූ බොහෝ පිරිස් සහ සංඝයා, රාජසිංහ රජු විසින් මරා දමන ලද බව එකල ලියවුන පොතක් වන ‘මන්දාරම්පුර පුවත‘ හි සඳහන් කර ඇත. 

මන්දාරම්පුර පුවත එය විස්තර කරන්නේ මෙසේය. 

ණැනැති දනන් හේවාහැට වැසි             සියලා
සිටිනා ලෙඩින් පෙලෙනා කුමරු           ලංවෙලා
එවැනි රුවින් සම අන් කුමරෙක් හු        බලා
ගෙන්න දෙමින් රැවටූ රජසිංහ               එකලා

එවිට නිරිඳු ඔහු මුරකරවා                      එදින
සැට ඇඳුතු ඔංඩුවක් සගුන්                    මරමින
සියලු වෙහෙර ගිණිලා පාලු                  කරමින
පලියගත්තු ඒ කුමරු නික්මු                  බැවින

මෙලෙස ජීවිතය බේරා ගත් කොනප්පු බංඩාර ආරක්ෂා සහිතව කොළඹ සිට පෘතුගීසීන් වෙත යවන ලදි. මන්දාරම්පුර පුවත ග්‍රන්ථයෙහි ඔහු එලෙස පෟතුගීසීන් වෙත යැවීම මෙලෙස විස්තර කෙරේ. 

රාජසිංහ නිරිඳු රැවටී මෙලෙස              ගියවර
ලක්දිව ඉසුරු ලැග සිටිනා කොළොම්   පුර 
පෟතුගාල් රජහු වෙත පඬුරුත් සමග      කර 
කොනප්පු බංඩාර හැරියෝ භාර           කර

මොහුව පෟතුගීසීන් විසින් කොනප්පු බංඩාර කුමරු දොන් ජෝන් ඔෆ් ඔස්ට්රිලයා (Don John of Austria) යන නමින් භෞතීස්ම කරන ලදි. ටික කලක් කොළඹ කොටුවේ පෟත්‍රගීසීන් සමග වාසය කල තරුණ කොනප්පු බංඩාර, එවකට කෝට්ටේ ධර්මපාල රජුගේ ප්‍රධාන නිලධාරියෙකු වන තම්මිටරාළ නැමැත්තාගේ දියණියක් සරණ පාවා ගත්තේය. ටික කලක් කොළඹ කොටුවේ වාසය කරන අතර තුර කොනප්පු බංඩාර හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන සලප්පු බංඩාර නැමැත්තා සමග ඇති වූ ද්වන්ද සටනකදී සලප්පු බංඩාර මරණයට පත් වූ බව සඳහන් වේ. 
මෙම මිනී මැරුම නිසා අවමානයට පත් කරන ලද කොනප්පු බංඩාර, එකල පෘතුගීසීන්ගේ ආසියාවේ පිහිටි ප්‍රධාන බලකොටු නගරය වූ ඉන්දියාවේ ගෝවේ නගරය වෙත පිටුවහල් කර යවන ලදි. 
දක්ෂ රණශූරයෙකු වූ කොනප්පු බංඩාර ගෝව නගරයේ වාසය කරන අතර තුරදී එහි විසූ රණශූරයෙකු වූ පෘතුගීසි කපිතාන් වරයෙකු ද්වන්ද සටනකින් ජීවිතක්ෂයට පත් කලේය. මෙම මිය ගිය පෘතුගීසි රණශූරයා නිසා මෙම නගරයේ වැසියන් මහත් කරදරයකට පත්ව සිටි හෙයින් මෙම සටනින් පසු කොනප්පු බංඩාර ගෝවේ පෘතුගීසීන් අතර මහත් ප්‍රසිද්ධියට හා ජන ප්‍රසාදයට පත් විය. 

මෙම ක්‍රියාව නිසා මොහුට ලබා දී තිබූ දඬුවම ඉවත් කල අතර, නැවත වරක් කොළඹට ආපසු පැමිණීමටද පහසුකම් සැලසින. ඉන් පසු ටික කලක් පෘතුගීසීන් සමග කොළඹ කොටුවේ වාසය කල කොනප්පු බංඩාර, පසුව ඔවුන්ගේ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කලේය. සීතාවක රාජසිංහ රජු කොළඹ කොටුව වට කල අවස්ථාවේ එම කොටුවෙහි සෙබස්තියන් කෙලවරේ සිට ඇන්ටෝනියෝ කෙලවර දක්වා ආරක්ෂාව භාරව තිබුනේද කොනප්පු බංඩාර වෙතය. 

to be continued .....

1 comment:

2 අප අපුරු ඉතිහාසය 2

from  http://lakshmanillangakoon.blogspot.com/2017/09/blog-post_17.html ඔහු නරසිම්හ රජු  වෙත ගොස් නැවත ඔහු සේවයේ යෙදෙයි. ටික කලක...