Wednesday, June 6, 2018

නාම් සංචාරය 7

පෙර කොටසට ලින්ක් එක
http://lakshmanillangakoon.blogspot.com/2018/06/6.html






     ස්වභාව ධර්මය දෙස ප්‍රවේශමෙන් බැලුවොත් ඇමිබාගේ  සිට මිනිසා දක්වා, එසේ නැත්නම් මහා ගසක් දක්වා, සියල්ල පුදුමාකාරය. අවුරුදු බිලියන ගණනක් සුදුසුම සත්වයා ඉතිරිවීම පදනම් කර ගනිමින්, පරිනාම වාදයට අනුව සතුන් සහ ශාඛ වර්තමාන කාලයට පැමිණි ඇති ආකාරය ලොව ඇති ලොකුම පුදුමය වන්නේය. ඒ අතරම පෘතුවියේ විවිධ ස්ථාන වල ස්වභාවයෙන්ම ලැබී ඇති නා නා ප්‍රකාර ගති ලක්ෂණ සමහරක්ද සාමාන්‍ය ස්වභාවයෙන්  වෙනස්වීම නිසා දකින්නන් පුදුමයට හා විශ්මයට පත්කරයි. දැන් අපේ ඇස ගැටෙන වියට්නාමයේ හා ලොන්ග් මුහුදු බොක්කද එසේම ස්වභාවයෙන් විශිෂ්ට භූ දර්ශනයක් වෙයි.

මේ නිසාම, හා ලොන්ග් බොක්ක 2012 වසරේ පැවැත්වුණු අන්තර්ජාතික ඡන්දයකින් ලෝකයේ නව පුදුම හතෙන් දෙවැනි තැනට පත්වුණි. එම තරඟයේ  පළමුවෙනි තැන ගත්තේ ඇමසන් වනාන්තරය සහ ගංගාවයි. එය මුලින්ම කන්ද උඩ සිට දකිනවිට ඕනෑම කෙනෙකුට විශ්මයක් ඇතිවන්නේ නැත්නම් ඔහුට යම් ප්‍රශ්නයක් තිබිය යුතුය, එය ඒ තරම්ම විශ්මය ජනකය.

හා ලොන්ග් බොක්ක  වර්ග කිලෝ මීටර 1533 ක පැතිරුණු මුහුදු බොක්කකි. එහි හුණු ගල් වලින් සැදුනු දුපත් 1960- 2000  ක් පමණ තිබෙන අතර ඒවා හැඩයෙන් සහ උසින් එකිනෙකට බොහෝ වෙනස්ය. ඇත්තෙන්ම මෙහි දුපත් 1969 ක් තිබෙන බවත් එම ප්‍රමාණය හරියටම වියට්නාමයේ පියා ලෙස සැලකෙන් හෝ චි මින් මියගිය වසරට ඉලක්කම් වලින්  සමාන බව අපට මෙහිදී යමක් පැහැදිලි කල මාර්ගෝපදේශිකාවක කීවාය.
                                                         හෝ චි මින් 
අප එහි කාර්යාලයකට ගෙනගිය අපේ මාර්ගෝපදේශක වරයා අප එතන සිටි තරුණියකට බාරදී ආපසු නගරයට ගියේය. අප පිළිගත් තරුණිය ජෙටියට අප රැගෙන ගොස් එහි තිබූ තරමක යාත්‍රාවකට බාරදුන්නාය. ඒ බෝට්ටුවෙන්, මහල් තුනකින් යුත් මගී නෞකාවකට ගිය අපි එයට ගොඩවූ පසු පැය බාගයක පමණ උපදෙස් ලබාදීමකින් පසු කාමර වලට යවන ලදහ. කාමර නැවක හැටියට සැහෙන්න විශාල වූ අතර එයටම අනුබද්ධ බැල්කනි එකක්ද තිබුණි.



නැවේ කාමර 24 ක් තිබුණු අතර එදින මගින් 58 දෙනෙකු සංචාරයට නැවෙහි සිටියහ.
මගීන් ස්ථාපිත වූ වහාම නැව ගමන් කරන්නට පටන් ගත්තාය. මෙම x හි මුහුද කොතරම් නිශ්චලද යත්; නාවිකයන් flat calm / mirror calm යැයි හදුන්වන තරමට, නෞකාව ගමන් ආරම්භ කර ටික වෙලාවක් යන තුරු අපට එය දැනුනෙත් නැත. අපි ලකලෑස්ති වී දහවල් බුෆේ කෑම සඳහා පහලට ගියෙමු; කාමර තිබුනේ දෙවන සහ තුන්වන මහල්වලය.

 නැව තරමක් දුර ගමන් කර විශේෂ දුපතක් වෙත පැමිණ නැංගුරම් ලෑවාය. පසුව කුඩා බෝට්ටු වලින් එම දුපතට ගොස් තරුණියක විසින් කරන ලද පැහැදිලි කිරීමකට පසුව; වියට්නාමයේ මෙවැනි බොහෝ වැදගත්, සංචාරකයන් හා කටයුතු කරද්දී 80% කටත් වඩා ඒවායේ නිරතවන්නේ  තරුණියන්ය, සමහර විට මෙයට හේතුව තරුණියන් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම විය හැක. ඔවුන් බොහෝ තන්හි පිරිමින් තදින් පාලනය කරමින් කටයුතු කරන බවක් මට නිකමට සිතුණි.
 එම දුපතේ තරමක් ඉහලට නැඟ කන්දේ මධ්‍යයේ තිබූ විශාල උමගක් වෙතට ඇතුළු වුනෙමු. එය විස්තර කරන්නට මහන්සි වෙනවටා වඩා පහල ඡායා රූප වලින් එය කිරීම වඩා සුදුසු බව මට හැගේ. 



අවසන කුඩා යාත්‍රාවෙන් නැවට පැමිණි අප නැවත නෞකාවේ ගමන් ඇරඹිමු. ඉන්පසු හවස් කාලයේ කයාක් බෝට්ටුවල නැඟ ඒවා පැදීමට සුහඳ තරගයක් සංවිධානය කර තිබුණි. අඳුරු වැටීගෙන එන විට වියට්නාම් සුපශාස්ත්‍ර ප්‍රායෝගික පන්තියක් ඉහලම තට්ටුවේ සංවිධානය කර තිබූ අතර විශේෂයෙන්ම මගියන්ටද එයට සම්බන්ධ වී සුපශාස්ත්‍ර ප්‍රායෝගිකව කිරීමට ඉඩ ලබා දීමෙන් සියලුදෙනා බොහෝ සතුටට පත් වුහ. එතනම තිබූ බිම හලේ මොජිටා පානය කරමින් සිටි අපට එම පංතියේ ප්‍රතිපල බයිට් එකට ගැනීමට හැකි වීමෙන් අපගේ සතුටද දෙගුණ තෙගුණ විය.



මෙය අවසන සෙට් මෙනියු රාත්‍රී ආහාරයක් පිළියෙළ කර තිබුණි. එයට ඉඳගත් පසු එය කොතරම් විධිගත ලෙස කෙරුනේද යත් මට එක්වරම නාවික හමුදාවේ මෙස් ඩිනර් එකක මෙන් මෙස් අන්ඩ්රෙස් නිල ඇඳුමක් ඇඳගෙන ආවේ නැති එක ගැන පොඩි මදි පුංචිකමක් හිතුනි.  
                                                  මෙස් ඩ්‍රෙස් 

Tuesday, June 5, 2018

නාම් සංචාරය - 6


මිට පෙර කොටස 
http://lakshmanillangakoon.blogspot.com/2018/06/5.html






මෙලෙස අප ගමනේ යෙදෙද්දී එරටට පැමිණෙන කිසිම අමුත්තෙකුට කුතුහලයක් ඇතිවීමෙන් බේරුණු නොහැකි දර්ශනයක් අපි දිගින් දිගටම නිරීක්ෂණය කළෙමු. ඒ එහි සෑම කුඹුරු යායකටම මෙන් ඇත්තාවූ ඉතාමත් වර්ණවත් සොහොන් කොත් ගොඩැලියි. ප්‍රමාණයෙන් බොහෝ වෙනස් වන මෙම පරිචයන් තුල සාමාන්‍යයෙන් සොහොන් කොත් 25/30 සිට 200/300 දක්වා තිබෙන බව පෙනුනි. ප්‍රමාණයෙන් හා දැකුම්කලු බවින් විශාල පරාසයක් තුල විහිදී තිබුනේ සමහර විට මිය ගිය ඇත්තන්ගේ වත් පොහොසත් කම් අනුව සහ පවුලේ ඉතුරු වුන අයගේ ඔහුට තිබූ ගෞරවය අනුව විය හැක්කේය.


මේ පිළිබඳව පරික්ෂා කිරීමේදී අපට දැන ගන්නට ලැබුනේ එහි කෙනෙකු මිය ගිය විට පවුලේ අය ගොවිතැන් කරනා බිමෙහි හෝ කුඹුරෙහි ඔහු හෝ ඇය මිහිදන් කරන බවය. ඒ මිනියෙන් බව භෝගයන්ට යමක් ලබා දීමටය. අවුරුදු කිහිපයක් ගත වූ පසු ආපසු මිනිය ගොඩගෙන එය හොදින් පිරිසිදු කර ඇටකටු පමණක් කුඩා බඳුනක බහා ඒ පවුලේ සොහොන් බිමෙහි නැවත මිහිදන් කර ඉහත පරිදි අලංකාර සොහොන් කොතක් ගොඩ නගන බවය.

භූමදානය කිරීම් ගැන කතා කර එක්වරම විවාහ මංගල උත්සව ගැන කතා කිරීම් එතරම් ගැලපෙන්නේ නැති වුවද අප ඊලගට පසුකර ගියේ විවාහ මංගල උත්සවයක් නිසා එයත් මෙතනින්ම අවසන් කල යුත්තේය. මෙම උත්සවය දැක අපේ මාර්ගෝපදේශකයා ගෙන් මේ පිළිබඳව විමසු විට ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් ග්‍රාමීය විවාහ උත්සවයක් මුලින් චාරිත්‍ර වලින් පටන් ගෙන ඒවා අවසන් වූ පසු මධ්‍යසාර සාදයක් බවට පත්වන බවය. දවසක් දෙකක් පවත්වන මේ සාද බොහෝ දුරට අවසන් වන්නේ ගුටිකෙලි වලින් බව ඔහු සිනහ සෙමින් එකතු කළේය.


වියට්නාමයේ මත්පැන් වලට ඇති තැන ගැන මෙතනම පොඩි විස්තරයක් කළහොත් හොඳ යැයි සිතේ. මෙහි වැසියන් අපේ භාෂාවෙන් හොඳට කන බොන පිරිසකි. හෝ චි මින් ප්‍රංශ පාලකයන් විසින් 1948 සිර ගතකළ පසු ඔහු
“මල් සහ මත්පැන් නොමැති සිර ගෙදර කෙනෙකුට කුමක් කිරීමට ඉතිරිව ඇද්ද?” යන ප්‍රකාශනයෙන්ම ඇත්තෙන්ම මෙය සක්සුදක් සේ පැහැදිලි වෙයි.
2002 වසරේ සිට 2016 වනවිට වියට්නාමයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය 3 න් ගුණයකින් වැඩිවී ඇත්තේය. එය දැන් එක් පුද්ගලයෙකුට වසරකට ලීටර 8.7 ක් වන අතර මෙය අප රටේ ලීටර 4.5 හා  සසඳන විට දෙගුණයක් වෙයි. මේ වසරකට මුලු ජාතියම පානය කරන ශුද්ධ ඇල්කොහොල් ප්‍රමාණය වයස 15 වට වැඩි ජනගහනයෙන් බෙදීමෙන් ලැබෙන ප්‍රමාණයයි.



ඔවුන්ගේ ජාතික පානය; අපගේ අරක්කු මෙන්, සහල් වලින් නිපදවන මත්පැන්ය. මේවාට පැලැටි වර්ග, පලතුරු, කුළු බඩු සහ කටුස්සන්, සර්පයන් වැනි සතුන් දමා පැසවන්නට හැර සැර සහ රස වෙනස් කරගනු ලැබේ.  ඉහලම සමතුලිතයක් ලබාගැනීමට හොඳ මත්පැන් පෙරාගත් පසු  තුංමං හන්දියක ඊසානදිග පැත්තේ දවස් 100 වලලා තැබිය යුතු යැයි පරම්පරාගත මතයක්ද පවතී.
“මත්පැන් නොමැති වුවහොත් චාරිත්‍රයන්හි චරිත ස්වභාවය පවත්වාගත නොහැක”.
“බොන්නේ නැතිව ගෙදර යා නොහැක”
මේ එහි මත්පැන් පිළිබඳව පොදු වහරන්ය.

පසුගිය වසරේ රජයට අයත් සයිගොන් බියර සමාගමේ කොටස් 54% ක්  තායිලන්ත සමාගමකට කොමියුනිස්ට් රජය විකුණා දැමුවේ $ බිලියන 4.8  කටය.

අපි හාලොන්ග් පෙදෙසට කිට්ටු වන විට විවේකයක් ගැනීම සඳහා නැවත වරක් සංචාරක වාහන නැවතුම් පොලක් වෙත ගියෙමු. මෙම ස්ථානයේ විශේෂත්වය වුයේ එය ගොඩ නගා තිබුනේ මුතු බෙල්ලන් කෘතිමව වගා කරන කර්මාන්තයක් වටා වීමය.  මුතු බෙල්ලන් තුලට කෘතිමව කුඩා බෙල්ලකුගේ කොටසක් ඇතුළු කර අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකින් මුතු ඇටයක් ඌ ලවා වර්ධනය කරගැනීම මෙම ස්ථානයන්හි සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය අපට පෙන්වා අපව ඊළඟට රැගෙන යන්නේ මුතු සහ එම ආශ්‍රිත ආභරණ විකුණන අලංකාර වෙළඳ පොළකටය. අපි නම් ඒවාට අසු නොවුනත් බොහෝ බටහිර සංචාරකයන් විශේෂයෙන් මුතු වලින් සාදන ලද ඇන්ටි එජින් ක්‍රීම් මිලට ගන්නවා දුටිමි.





මෙලෙස කෘතිමව මුතු වර්ධනය කරගැනීම මුලින්ම ජපන් ජාතික නිශිකාවා විසින් 1916 වසරේ සොයාගන්නා ලද අතර දැන් ඒ සඳහා වියට්නාමයේ හා ලොන්ග් බොක්ක ප්‍රසිද්ධ තැනකි. මෙම කෘතිමව වගාකරන මුතු වර්තමානයේ ලෝක මුතු වෙළඳ පොලෙන් 99%ක් වෙයි. විජය කුමරු මන්නාරමට ගොඩ බසින විටත්  ලොව පරසිදු ස්වභාවික මුතු මන්නාරමේ නිපදවූ අප ඒ කිසිදෙයක් වෙත අවධානය යොමු නොකර ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියමින් සතුටු වන්නෙමු.
ඊළඟ - අහසින් පහත්වන මකරාගේ බොක්ක    

       

Monday, June 4, 2018

නාම් සංචාරය 5


මිට පෙර කොටසට ලින්ක් ඒක 




     ගමන පටන්ගත් වේලේ සිට, හෝටලයේ සිට හයි වේ එකට වැටෙන තුරු, අප මෙතරම් වාහන තිබෙන පාරේ එතරම් ; විශේෂයෙන් අප රටේ මෙන් , එතරම් කලබලයක් හෝ හැල හැප්පිමකින් තොරව රථවාහන ගලාගෙන යන්නේ කෙසේ දැයි අපට මහත් ගැටළුවක් විය.අප බොහෝ නිරීක්ෂණ සහ සාකච්චා වලින් පසුව පැමිණි නිගමනය නම් මෙහි රියදුරන්ට සහ ධාවකයන්ට ලොකු කලබලයක් නොමැතිවීම එයට හේතුව බවයි. වමෙන් දකුණෙන් ඉස්සර කරන්නන් එම ප්‍රවාහයේ සිටියේ කලාතුරකිනි. එවිට ප්‍රවාහය ගලන වේගයත් වැඩිය, අනවශ්‍ය ප්‍රශ්නත් ප්‍රතිලෝමව අඩුවෙයි. සමහරවිට කැමරා යොදා ප්‍රවාහය කඩන්නන්ට දැඩි දඬුවම් දීම මෙයට හේතුවක් වන්නට පුළුවන.
වියට්නාමයේ නගර ආශ්‍රිතව ගමන් කරන්නෙකුට නිරීක්ෂණය වන තවත් විශේෂ දර්ශනයක් අපටද මෙලෙස ගමන් කරද්දී පෙනුනි. ඒ වියට්නාමයේ නිවාස ගොඩනැගීමේ ආකෘතියයි. එහි බලන බලන අත පෙනෙන නිවාස,විශේෂයෙන්ම නගරාශ්‍රිතව, පාරට පෙනෙන පැත්ත ඉතා පටුය. එසේම වර්ණවත්ය.එම කුඩා මුහුණතේ අලංකාර පෞරාණික පෙනුමකින් යුත් කැටයම්ද යොදා තිබීම මෙම නිවාස හැඩය තවත් අමුතු කරයි.

මෙලෙස නිවාස වල පාරට මුහුණ දෙන කොටස මෙතරම් කෙට්ටු වන ලෙස සාදන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයාබලන්නට සිත්වි අප අපේ මාර්ගපොදේශක ගෙන් ඇසුවෙමු. ඔහු කිවේ නගර ආශ්‍රිතව ඉඩම් අධික වටිනාමක් ගන්නා නිසා පාරට මුහුණ දෙන ප්‍රමාණය අඩුකරගන්නට මෙලෙස සිහින් නිවාස හදන බවයි. මෙම නිවාස පාරට මුහුණ දෙන පැත්ත කොතරම් කුඩාද කිවහොත් නිවෙසක් පළලින් මීටර 3ක් සහ දිගින් මීටර 70 ක් වීම පුදුමයක් නොවේ. ඇත්තෙන්ම මෙම පුරුද්ද ඇතිවී ඇත්තේ 19 වන ශතවර්ෂයේ තිබූ බදු ක්‍රමයක් නිසාය.ප්‍රංශ යටත්විජිත පාලකයන් විසින් පනවා තිබූ මෙම බදු ක්‍රමයෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට බඩු ගසා ඇත්තේ එම ගොඩනැගිල්ලේ පාරට මුහුණ දී ඇති පැත්තේ පළල මතය.ඒ නිසා පුරවැසියෝ බඩු අඩුකරගැනීමට පාරට මුහුණදෙන පැත්තේ පළල අඩුකර ගොඩනැගිලි තනන්නට පටන්ගත්හ. පසුව මෙය ජාතියේ ජාන වලට ඇතුලත් වී ඇති සැටියා සේය. දැන් ඉඩම් මිල අධික වීමද මෙම පුරුද්ද තවත් සමාජගත වීමට හේතුවී ඇති බව පෙනේ.

මෙලෙස අපි පාර දිගේ යද්දී දුටු තවත් විශේෂ දෙයක් නම් එහි සෑම කඩ සාප්පුවකම නම් සහ විස්තර ලියා තිබුනේ ඉංග්‍රීසි අකුරුවලින් වීමයි. මේගැන සොයා බැලීමේදී දන ගන්න ලැබුනේ වියට්නාම භාෂාවේ හෝඩියක් නොමැති බවයි. මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ භාෂාවන්ට හෝඩියක් නැති බව මම කලින් දන සිටියෙමි, එහෙත් වියට්නාමයේ ඉංග්‍රීසි හෝඩිය පාවිච්චි කිරීම දැනගත්තේ එහිදීය.ඇත්තෙන්ම ඔවුන්ගේ හෝඩිය ප්‍රංශ අකුරු යොදා (අකුරු  ඉංග්‍රීසියට බොහෝ සමානය) ලියනු ලැබේ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ භාෂාවේ ශබ්දයට සරිලන සේ ඉංග්‍රීසි අකුරෙන් ලිවීමයි.


ගමනේ මැද හරියේදී වාගේ අපට විවේක ගැනීමට වාහන නැවතුම් පොලක් වැන්නකට ගියෙමු. එය අක්කර ගණනක් පුරා විසිරි ගිය භූමියක පිහිටා තිබුණු අතර එම ප්‍රදේශයේ ස්වාභාවිකව පවතින ගල් වර්ගයකින් සාදන ප්‍රතිමා යනාදිය දහස් ගණනක් එහි ප්‍රදර්ශනය කර තිබුණු අතර ඒවා මිලදී ගන්නේ නම් නොයෙකුත් රටවල නිවසටම ගෙන්වා ගැනීමට යන මුදලද ඇතුල්වන තැන ප්‍රදර්ශනය කර තිබුණි
ඉතාමත් පිරිසිදු වොෂ් රුම් ගණනාවකින් යුක්ත වූ මෙම නැවතුම තුල සිය ගණනක් කාර්‍ය මණ්ඩලයක් සේවය කළහ. ගොඩනැගිල්ල හරහා වෙළඳ පොළ තුලින් අනික් පැත්තට ගිය විට විශාල ආපන ශාලාවක් තිබුණි.නොයෙකුත් පලතුරු සහ බිම බියර් වැනි සියලු දෙයක්ම තිබුණු මෙහි ගෙඩි පිටින් කුරුම්බා ද විකිනීමට තිබුණි. පොල් ගස් එතරම් නොමැති නිසා කුරුම්බා ගෙඩියක් රුපියල් 300 ක් පමණ විය.පලතුරු වියලා සාදන රසකැවිලි බොහෝ නිෂ්පාදනයන් විකිනීමට තිබුණි. මම රුපියල් 250 කට පමණ දුරියන් සහ පොල් යොදා තනා මනාව පැකට් කල ටොෆි පැකට් එකක් මිලදී ගත් අතර මෙහෙට පැමිණිය පසුද දින කිහිපය රස වින්දෙමි.අප රටෙහි මෙන් තෙලෙන් බදින ලද සහ පේස්ට්‍රි වැනි කෑම එහි තිබුනෙම නැති තරම්ය.




ඊළඟට මුතු බෙල්ලන් වැවීම .....

නාම් සංචාරය 4



මිට පෙර කොටසට ලින්ක් එක 



මෙම පපට් දර්ශනය ඉතාමත් පිළිවෙලකට සහ අලංකාර ලෙස ගොඩනගා තිබූ ශාලාවක ප්‍රදර්ශනය කෙරුණි. 11 ස් වෙනි සියවසේ පමණ පටන් ගෙන ඇති මෙම ජල පපට් සංදර්ශන උතුරු වියට්නාමයේ කුඹුරු ජලයෙන් යට වූ කාලයේ ජලයේ සෑදු ලී වෙහෙරක් තුල සැඟවුණු රූකඩ නටවන්නන් දිග උණ බම්බු වලට සවිකර ගත් රූකඩ නැටවිමෙන් පටන් ගත් මෙය ක්‍රමයෙන් දියුණු වී මේ තත්වයට පැමිණ තිබේ. සමහර විට අප රටේ පොර පොල් ගැසීම සහ අං ඇදීම වැනි ක්‍රීඩාවක් විය යුතුය.    
දැන් මීටර් 4x4 ජල තටාකයක් වේදිකාව තුල සාදා එම ජලය මත රූකඩ නැටවීම කරනු ලැබේ.

                                  රූකඩ නටවන්නන් දර්ශනය අවසානයේ 
වේදිකාව දෙපස කුඩා සංගීත කණ්ඩායම් දෙකක් මෙම දර්ශනයට සංගීතය සැපයුහ. මෙම සංගීතය එරට පාරම්පරික සංගීතයන් වූ අතර චීන සංගීතයට බොහෝ දුරට සමාන විය. මෙම දර්ශනයක් නැරඹීමට ප්‍රවේශ පත්‍රය රුපියල් 2000 ක් පමණ විය. නම ඇසු විට ඉතාමත් කම්මැලි සංදර්ශනයක් විය යුතු යැයි අප සිතුවද; විශේෂයෙන්ම සංස්කෘතික සංදර්ශනයක් නිසා, මෙම දර්ශනය නැරඹු පසු මෙය නැරඹීමට ලැබීම පිළිබඳව අප සියලුදෙනා සතුටට පත්වීමු.
ඉන්පසු හෝටලය බලා ගිය අපි රාත්‍රී ආහාරය සඳහා බුෆේ එකක් වෙත රැගෙන යන ලදහ. සමහර විට මම වියට්නාමයේ දුටු වැඩියෙන්ම පුදුම උපදවන දර්ශනයන් අතරින් මෙය එකක් විය යුතුයි. මෙයත් සමග තරග කල හැකි අනෙක් පුදුමය වන ‘හා ලොන්ග්’ බොක්කය, ඇත්තෙන්ම එය ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස තේරි පත්වී ඇත. මෙම සෙන්; සෙන් බුද්ධාගමෙන් නම්කර ඇති සේ පෙනේ,  බුෆේ ශාලාව තුල ලෝකයේ ඕනෑම ප්‍රධාන ආහාර වර්ග වෙන් වෙන් වශයෙන් ලබා දෙන අතර ආසියානු හෝ බටහිර ආහාර වර්ග ඕනෑම එකක් පාහේ කිසිම සීමාවක් නොමැතිව ආහාරයට ගන්නට පුළුවන.
තට්ටු තුනකින් යුත් මෙම අවන්හලේ ආහාර බෙදා ගැනීමට ගොස් කෙනෙකුට ආපසු තමන්ගේ මේසේ සොයා ගැනීමට බැරිවන තරම් විශාල වන අතර නොයෙකුත් ආහාර වර්ග එවෙලේම සාදා දෙන සුපවේදීන් විශාල ගණනක්ද තැනින් තැන ආහාර පිළියෙළ කරමින් සිටියහ. ග්‍රිල් කල ලොග්ස්ටස්, ශුෂි, අමු සැමන් සහ අමු බෙල්ලන් වැනි ආහාර වර්ග ඕනෑ තරම් බෙදා ගැනීමට තිබිණ. මම මිට කලින් විශාලතම සහ වඩාත් සිත් ගන්නා බුෆේ එක දැක ඇත්තේ සින්ගප්පුරුවේ ඔරියන්ට් හෝටලයේ බුෆේ එකයි. 



වියට්නාමයේ සෙන් බුෆේ එක එයට වඩා කිහිප ගුනයකින් සිත්ගන්නා  බව කිව යුත්තේය. මෙහි ඇති වඩාත්ම වටිනාකම එහි ගාස්තුවයි. එහි මිල දහවල්/රාත්‍රී ආහාරය එසේත් නැත්නම් සතියේ /සති අන්ත අනුව මිල ගණන් වෙනස් වෙන්නට පුළුවන. නමුත් එය $ 10 ට වඩා අඩු වන්නේ හෝ $ 20 ට වඩා වැඩි වන්නේත් නැත. එතරම් සාධාරණ මිලකට මෙවන් ආහාර වේලක් ගැනීමට සිතන්නට වත් නුපුළුවන.  වියට්නාම් ජාතිකයින් සහ විදේශිකයන්ගෙන්  ගෙන්  මෙය පිරි පවතින්නේ මේ නිසා විය යුතුය. මෙතරම් පොහොසත් ආහාර වේලක් මෙතරම් සාධාරණ මිලකට ලබාදීමට මෙහි රජයේ සහනාධාරයක් වත් අඩංගු වන්නේ දැයි මට සිතුනි.
අපි ආපසු හෝටලයට ගොස් නිදාගත්තේ පසුදා හා ලොන්ග් බොක්ක වෙත යාමට සැලසුම් කරගෙනය. අප උදේ ආහාරයට හෝටලයේ බුෆේ එකට ගියවිට අප දැක්කේ එහි සිටින විදෙශිඅකයන් අතර බොහෝ ඉන්දියානුවන් සිටින බවය.වියට්නාමය අලුත් ගමනාන්තයක් වන අතර තවම ගාස්තු ඉතාමත් සාධාරණ තිබෙන නිසා මෙලෙස බොහෝ ඉන්දියානුවන් එහි පැමිණෙනවා ඇතැයි මට සිතුනි. උදය ආහාරයද චීනයේ  හොටලයන්හි මෙන් ඔවුන්ගේ අපට නුහුරු ආහාර නොව ඕනෑම දෙනෙකුට පාහේ රසවිඳිය හැකි අන්තර්ජාතික කරන ලද චීන ආහාර යයි කිව හැකි තත්වයේ තිබුණි.
අප උදය ආහාර ගෙන හා ලොන්ග් වෙත පුරුදු  බසයේම ගමන් ඇරඹුවෙමු.රට ඇතුලට වෙන්නට පිහිටා ඇති හැනෝයි නගරයේ සිට මුහුද අයිනේ ඇති  හා ලොන්ග් බොක්ක දක්වා දුර කිලෝ මීටර 185 ක් වෙයි.සුපොඛභෝගී ලිමොසින් රථයක මෙම ගමන යන්නේ නම් එහි ගාස්තුව රුපියල් 8000 ක් පමණ වෙයි.

ඊළඟට හා ලොන්ග් බොක්ක 

Sunday, June 3, 2018

නාම් සංචාරය 3


මිට පෙර කොටස 




අපි බසයේ නැගී හෝටලයේ සිට විනාඩි 10 කින් පමණ ගමනකින් පසු දහවල් ආහාරය සඳහා නගරයේ විදියක හරස් පාරක පිහිටි ආපන ශාලාවක් වෙත ගියෙමු. අපගේ දහවල් ආහාරය සඳහා මුදල් ගෙවා ඇති අතර ලබා ගන්නා බිම සඳහා පමණක් අප ගෙවිය යුතු බව  අපට දැන්වූ අපගේ මාර්ගෝපදේශකයා වෙනත් තැනකින් ආහාර ගැනීම සඳහා  පිටව ගියේය.
ආහාර වේල චීන කෑමට බොහෝ දුරට සමාන වුවත් ඊට වඩා අපගේ රසයන්ට  කිට්ටු බව පෙනුණි. බත් ඉතා අඩුවෙන් කන මස් මාළු සහ එළවලු සුප් යනාදිය වැඩිපුර තිබුනු මෙම ආහාර වේල වියට්නාම් ජනයා මෙතරම් සිහින්වට සිටීමේ රහස අපට පෙන්වා දුන්නේය; අපට මේ මුලු ගමනේම බඩ ඉදිරියට නෙරු හෝ මහත කිසි කෙනෙකු දක්නට නොලැබුණු බව කිවහොත් එය අසත්‍යයක් නොවන තරමට ඔවුන්ගේ සිරුරු සිහින්ය. විශේෂයෙන්ම තරුණ කාන්තාවන් අර අපගේ පැරණි කවියක මෙන්
‘ඉඟ සුඟ ගත හැකි මිටින’ ලෙසට ඇත්තෙන්ම සිහින් සිරුරු ඇත්තේය. 
අප ආහාර ගත්දී බිම සඳහා බියර් කෑන් සහ බිම බෝතල කිහිපයක්ලබා ගත්තෙමු; වියට්නාමයේ ඕනෑම තැනක පාහේ බියර් සහ මත්පැන් විකිනීමට තිබෙන අතර බියර් කෑන් එකක මිල ඩොන්ග් 15000 සිට 50000 දක්වා විකුණන ස්ථානය අනුව වෙනස් විය හැක. කෑම අවසානයේ බිම සඳහා බිල ගෙවීමට ගිය විට ඩොන්ග් මිලියනිස්ලා විමේදී ඇති වූ සතුටේ අරුමය අපට පැහැදිලි විය. අපගේ බිම බිල ලක්ෂ 8 ත් පැන තිබිණ. මෙයින් එඩිතර වූ අපි වේටර්ට ලක්ෂයක ටිප් එකක්ද ප්‍රධානය කළෙමු.


අප දහවල් ආහාරයෙන් පසු බසය වෙත පැමිණෙන අතරේ වියට්නාමයේ සංචාරය පුරාම අප දුටු එහි සමාජීය විශේෂ ලක්ෂණයක් මුලින්ම අපට නිරීක්ෂණය විය. ඒ විදිවල සිටින බොහෝ වෙළෙන්දුන් කාන්තාවන් වීමය. මහා රෑ වීදිවල ගමන් කරද්දීත් මෙලෙස කාන්තාවන් විසින් පවත්වාගෙන යන කුඩා අවන්හල් වල කීප දෙනා එකතුව මත්පැන් පානය කරමින් ආහාර ගනිමින් සාමිචියේ යෙදෙමින් වෙලදාම් කරන්නාවූ කුඩා කඩ විදි දිගටම පවත්වාගෙන යනවා අපි දුටිමු.
අප විදියට පැමිණි විට බසය තරමක් ප්‍රමාද වූ නිසා පාරෙන් එහා පැත්තේ තිබූ අති විශාල බියර් ශාලාවක් දුටු  මම එය නැරඹීමට පාර පැන එය තුලට ගියෙමි. තරමක පිටියක මැද සාදා තිබූ මෙහි මෝටර් බයිසිකල් දහස් ගණනක් එළියේ නවතා තිබූනී. එම ශාලාව තුල මේස 500 කටත් වඩා තිබුණු අතර බොහෝ මිනිසුන් එහි ඉදගෙන බියර් පානය කරමින් සිටියහ.


අප බසයේ නැගී හැනෝයි ඔපෙරා ශාලාව බැලීමට ගියෙමු. මෙම ඔපෙරා ශාලාව 1911 වසරේ විවෘත  කර ඇත්තේ එකල වියට්නාමය පාලනය කල ප්‍රංශ පාලකයන් විසිනි. මෙහි යටත් විජිත සමයේ ප්‍රංශ සහ ඉතාලි ඔපෙරා කණ්ඩායම් දර්ශන පවත්වා ඇති අතර දැන් වියට්නාම් ජාතික ඔපෙරා කණ්ඩායම් මෙහි දර්ශන පවත්වයි.   
ඔපෙරා ශාලාවට ඊළඟ විදියට අප රැගෙන ගිය මාර්ගෝපදේශක අප බයිසිකල් රික්ෂෝ නවතුම්පලක් අසල බස්සවා එම රික්ෂෝ සංචාරයක් සඳහා අපට ආරාධනා කළේය. මෙය මට එතරම් ආකර්ශනිය නොවූ හෙයින් මම එතරම් අකමැති වුවද ඒ සඳහා දැනටමත් මුදල් ගෙවා ඇතිබව අපට දැන්වූ විට අප වහ වහා රික්ෂෝ වලට ගොඩවුනේ අකමැති වුවත් මුදල් ගෙවා ඇත්නම් එය කලයුතු යයි සිතු නිසාය.
බොහෝ රථවාහන තිබූ වීදිවල ඔවුන් එකා පසුපස එකා ලෙස රික්ෂෝ රැගෙන ගිය ආකාරය ඇත්තෙන්ම නරකම නැත; හැනෝයි නගරයේ පමණක් මෝටර් බයිසිකල් මිලියන 5 ක් තිබෙන අතර එම නගරයේ පාලකයන් 2030 වනවිට මෝටර් බයිසිකල් පාරෙන් ඉවත්කර කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ඇතිකිරීමට කටයුතු කරන බව එහිදී අසන්නට ලැබුණි. නමුත් රික්ෂෝ කරුවෝ  මෙම සංචාරය අපට ප්‍රමාණවත් යැයි  සිතුණු  වෙලාවටත් ඔබ්බෙන් බොහෝ වෙලාවක්  කර අතර අප මුලු නගරයම පාහේ හරහට රැගෙන යන්නට ඇතැයි අපට සිතුනි.


ඊළඟට අප ගියේ ජල ලෝක ප්‍රසිද්ධ හැනෝයි වෝටර් පපට් දර්ශනය නැරඹීමටය.

Thursday, May 31, 2018

නාම් සංචාරය 2


මිට පෙර කොටස 




නයිජීරියාවේ ලාගොස් ගුවන් තොටුපල ලෝකයේ තිබෙන ඉතාමත් අවුල් එසේම වංචාවෙන් පිරුණු ගුවන් තොටුපල වීමට බොහෝ ඉඩ තිබේ. එහි ඇතුලත ගුවන් මගීන්ට වඩා තෑරවූ කරුවන් සිටින බවට නයිජිරියාවේ ප්‍රධාන පුවත් පතක ලිය තිබෙනවා මම වරක් දුටිමි. මේ ගමනේදී අප පස් හය දෙනෙකු ගුවන් යානයෙන් බැස ආගමන වීගමන ප්‍රදේශයට යන විට හොඳීන් ඇඳ පැළඳ ගත් තරුණයෙකු අප වෙත පැමිණ අපගේ නම් කියා අප පිළිගැනීමට පැමිණි  නියෝජිතයෙකු ලෙස ඔහු හදුන්වා දී අපගේ ගමන් බලපත් ඇතුළු සියලු ලිය කියවිලි ඉල්ලා සිටියේ අපට ඉක්මනින් එම ගුවන් තොටුපලේ කර ගැනීමට ඇති සියලු කටයුතු කරදීමටය. 


                                            ලාගොස් ගුවන්තොටුපල 
අපගේ සියලු ගමන් බලපත්‍ර තිබුනේ පසු පසින් පැමිණි කෙනෙකු අත නිසා මුලින්ම අප එකිනෙකා ඇත තිබූ යෙලෝ කාඩ් (කහ උණ සඳහා එන්නත් ලබාගෙන ඇති බවට සහතිකය; සමහර රටවල මෙම සතිකය රැගෙන පැමිණීම අනිවාර්යය වෙයි.) ඔහු වෙත දුන් විගසම අප පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණි සිටි එහි හමුදා නිලධාරින් ඇතුළු කණ්ඩායමක් දුටු අප ඔවුන් සමග කතා කරන විටම පෙර තරුණයා එතනින් අන්ත්‍රස්දාන වී ඇති බව අපට වැටහුණි.

ඔහු උත්සාහ කරන්නට ඇත්තේ අපේ ගමන් බලපත්‍ර සියල්ල එකතු කරගෙන ඉන්පසු එය ආපසු දීම සඳහා කප්පමක් ලබා ගැනීම හෝ වෙනත් ඊටත් වඩා දරුණු අපරාධයකට විය යුතුය.
අතුරු කතා වලට ගියහොත් අපේ වියට්නාම් සංචාරයේ ට්‍රැවලොග් එක අනවශ්‍ය ලෙස දිග් ගැසීමට පුළුවන.
අපට දැන් විසා ලැබී ඇති හෙයින් අපි ආගමන හා  විගමන පෝලිම් වලට එක්වුයෙමු. වඩා ඉක්මනට එගොඩ වීමට අඩුවෙන් මගින් සිටින පෝලිම් හොය හොයා එකතු වුනද එතන සිටි නිලධාරියෙකු පෝලිම් කෙටි වන විට ඒවාට දිග පෝලිම් වලින් මගින් ඉතා කාර්යක්ෂම ලෙස මාරු කරමින් ඉතාම ජිවාත්මක ලෙස ඒ කටයුත්ත කරුණු දැක අපට එක්වරම සිහියට ආවේ අපේ ‘dead man walking’ ආගමන විගමන සේවයයි.
සාමාන්‍යයෙන් කුඩා රටකට ඇතුළු වීමට පෙර අප අත තිබෙන අන්තර් ජාතික මුදල් ඒකක වලින් ටිකක් මාරුකර ගැනීම නුවනට හුරුය. මක්නිසාද අපට රට ඇතුලත මුදල් මාරුකර ගැනීමට අවස්තාවක් ලැබෙන තෙක් රටේ ව්‍යවහාරික මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වීමට ඉඩ තිබෙන නිසාය. වියට්නාමයේ මෙම මුදල් ඒකකය ඩොන්ග් නමින් හැදින්වේ. අප ගුවන් තොටුපලේ සිංගප්පුරු ඩොලර් මාරුකර ගත්තේ එක සිංගප්පුරු ඩොලරයකට ඩොන්ග් 16400 ගනනේය. මෙම මුදල් අනුපාතය සිංගප්පුරුවට ඇතුළුවන ඕනෑම සංචාරකයෙකුගේ මනස අධික ප්‍රීතියට පත් කරනබව නොඅනුමානය. ඒ රටට ඇතුළුවන විටම ඔවුන් මිලියනියස්ලා බවට පත්වන නිසාවෙනි. ඩොලර් තුට්ටු දෙකකින් ඕනෑම කෙනෙකුට එහිදී ඩොන්ග් මිලියනියර්  කෙනෙකු වෙන්නට පුළුවන. ශ්‍රී ලංකාවේ රුපියලකට ඩොන්ග් රුපියල් 145.43 ක් වෙයි. රුපියල ඩොලරයත් සමග අවපාතවනවා වැඩි යයි කියන අයට වියට්නාමයේ මිනිසුන්ට මොනවා හිතෙනවා ඇත්දැයි සිතන්නට පුළුවන. විනාඩි දෙක තුනකින් අපි නියම වියට්නාමයට ඇතුල් වුනෙමු.
ලංකාවෙන් යන කෙනෙකුට එම ගුවන් තොටුපලට ගොඩ බැස්ස විගසම යම් අඩු පාඩුවක් දැනීම ස්වාභාවිකය. ඒ එම ගුවන් තොටුපලේ එරට ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පැමිණෙන පිරිස් දෙස බලමින් විරාජමානව බලා සිටිනවා දක්නට නොතිබීමයි. එම රටවල ස්වාධිපතිබාවය  අප රටේ මෙන් බලවත්ව බැබලෙන්නේ නොමැති බව අපට හැගුණි.
පෙර කල මෙලෙස ගුවන් තොටුපලට පැමිණි විගස හෝ ගුවන් තොටුපලින් පිටතට පැමිණි විගස මා සොයන්නේ දුම් බිමට වෙන්කර ඇති ස්ථානයකි. නමුත් දැන් මා දුම් බිම නවතා අවුරුදු තුනක් ගත වී ඇති හෙයින් මට ගුවන් තොටුපලේ දුම් බිමට වෙන්කළ ස්ථානයක් තිබෙනවාදැයි බලා ගැනීමට මතක් වුයේ නැත.
ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ අප එකතු කරගත් අපගේ මාර්ග උපදේශකයා අප අට දෙනාට පමණක් වෙන් කරන ලද ඉතාමත් සුකෝපභෝගී බස් රථයක අප හෝටලය වෙත කැදවාගෙන ගියේය. තන් ලොන්ග්  ඔපෙරා  නම් වූ එම හෝටලය සියලු පහසුකම් වලින් යුත් ලංකාවේ නම් සාමාන්‍යයෙන් රුපියල් 10000/15000 පරාසයේ හෝටලයක් විය. අපි බඩගිනි නිසා ඉක්මනින්ම ලැස්ති වී පැය භාගයක් ඇතුලත අප එනතෙක් බලා සිටි බසය වෙත ගියෙමු.            

Wednesday, May 30, 2018

නාම් සංචාරය 1




අප පවුල් දෙකක අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිය සතියේ වියට්නාමයේ සංචාරයක් සඳහා ගියෙමු.  8 දෙනෙකුට අඩු නම් ගණන ටිකක් වැඩිවන නිසා මෙම අංකය අයිඩියල් ප්‍රමාණය විය. 8 දෙනෙකුට අඩුනම් මේ සංචාරක ගාස්තුව වැඩිවේ.
කොළඹින් පිටත්වීමට තිබුනේ රාත්‍රී එකට නිසා අපි මහනුවරින් රාත්‍රී හත හමාරට පිටත් වීමට තීරණය කලේ ගුවන් ගමනට පැය දෙකකට කලින් ගුවන් තොටුපලේ සිටීමට සැලසුම් කරමිනි.
එහෙත් එදින පස්වරුවේ සිට  ආගමන  නිලධාරින්ගේ වර්ජනයක් සිදුවීමට ඉඩ තිබෙන බව දන්වා පැය තුනකටවත් කලින් ගුවන් තොටුපලට යන ලෙස පණිවිඩ ලැබුණු හෙයින් අපි ටිකක් කලින් එතනට ගියෙමු.
එහෙත් චෙකින් කර එතනට ගිය විට එම නිලධාරින් කළු පටි අතේ පැලඳ රාජකාරී කිරිම හා වෙනදා කුඩා පෝලිම් හයක් හතක් තිබෙන ආකාරය වෙනස් කර දිග පෝලිම් දෙකක් හරහා ගොස් අවසානයේ පෙර තිබූ කවුන්ටර් ගණනටම මගින් යොමු කිරීම හැරෙන්නට වෙනත් වෙනසක් තිබුනේ නැත. සමහර විට පෝලිම් ගසන ආකාරය මෙලෙස වෙනස් කරන්නට ඇත්තේ ඔවුන්ගේ වෘතිය ක්‍රියා මාර්ගය අතිශයින් සාර්ථක බව දිග පෝලිම් පෙන්වා ඔප්පු කිරීමට විය යුතුය. ඔවුන්ගේ ශාරීරික භාෂාවෙන්ද ඔවුන් කෝපයෙන් සිටින බවක් පෙනෙන්නට තිබිණ. සමහර විට අප රටේ මුළු රාජ්‍ය සේවයම පාහේ තිබෙන ජනයා සමග වැඩකරනවිට  මිත්‍රශීලි නොවිමෙහි කොටසක් වන්නටද පුළුවන.
පැය හතරක ගුවන් ගමනකින් පසු අපි සිංගප්පුරුවට ගිය පසු; මම මේ අතරේ අළුත් චිත්‍රපටි කිහිපයක් පරික්ෂා කර මෑතකදී ප්‍රදර්ශනය කල ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය නැරඹුවෙමි; චිත්‍රපටය අවසානය තෙක් නරඹන්නට පුළුවන් වුවද එය මේ දවස්වල ඇමරිකාවේ තිබෙන කළු මිනිසුනට සහ කාන්තාවන්ට උඩගෙඩි දීමේ ප්‍රවණතාවයේ කෙළවරටම ගොස් එම ප්‍රවනතාවයෙන් ව්‍යාපාරික ප්‍රයෝජන ලැබීමට සාදන ලද චිත්‍රපටයක් යැයි මට සිතුනි.
සිංගප්පුරුවේ ගුවන් තොටුපලේ ටර්මිනල් හතරට අපි ගිය පසු අපගේ ගමනේ ඉතිරි කොටසට කුමන ටර්මිනල් එකේ කුමන ගේට්ටුව වෙත යා යුතු දැයි බලා ගැනීමට දර්ශන පුවරුවක් සොයා ගැනීමට දෙදිශාවට කණ්ඩායමේ දෙදෙනෙක් යැවීමට සාකච්චා කරමින් සිටියදී ගුවන් තොටුපලේ වයිෆයි සම්බන්ධතා ලබාගෙන සිටි අපගේ සාමාජිකයෙකුට මම නිකමට ෆ්ලයිට් අංකය ගූගල් කරන ලෙස නිකමට කීවෙමි. ඔහු එසේ ගූගල් කල විටම ගේට්ටුව එහි වැටුණි.
ඇත්තෙන්ම එය අප පැමිණ සිටි ගේට්ටුවට අල්ලපු ගේට්ටුව විය. ගූගල් නිසා මහත් හිස රදයකින් බේරීමට හැකි විය.
සිංගප්පුර් හැනෝයි කොටසද පැය තුන හමාරක් වූ අතර හැනෝයි ගුවන්තොටුපලට අප ගොඩ බැස්සේ එහි වේලාවෙන් පස්වරු එකට පමණය. මේ දිනවල වියට්නාමයේ ග්‍රීෂ්ම සෘතුව නිසා සාමාන්‍යයෙන් එහි උෂ්ණත්වය ලංකාවට බොහෝ සමාන විය; ඇත්තෙන්ම මෙම ග්‍රීෂ්ම සෘතුවේ හැකියාවක් තිබේ නම් වියට්නාම් සංචාර නොකළ යුතු වන්නේ එය එහි වර්ෂා අධික කාලයක් නිසාය. නමුත් අපේ වාසනාවට අපි එහි සිටින තාක් කල් වැස්සේ නැත; විශේෂයෙන්ම වියට්නාම් සංචාරයන්ගේ වැඩි කොටසක් බාහිර ක්‍රියාකාරකම් නිසා වැසි  කාලයක් අසු වුනොත් සංචාරයේ විනොදාස්වාදය ලබා ගැනීම බොහෝ දුරට සිමා විය හැක.
අපි විසා ගැනීමට බලාපොරොත්තුව සිටි අප ආගමන කොටසට යාමට පෙරම අපේ සංචාරක ආයතනයේ නියෝජිතයෙකු පැමිණ අප මුණ ගැසී අපේ මෙහෙන් අපි පුරවාගෙන ගිය විසා පෝර්ම ඉල්ලාගෙන අපෙන් විසා ගාස්තු සඳහා 115; ඩොලර් විය යුතුය, ඉල්ලා සිටියේය. එහෙත් එතනට එවෙලේ පැමිණි ආයතනයේ වෙනත් නියෝජිතයෙකු එම අයදුම්පත් ටික ඉල්ලාගෙන අප එසේ මුදල් ගෙවීමට අවශ්‍ය නොමැති බව කියා විසා ලබා ගැනීමට කටයුතු කළේය. විනාඩි පහක් දහයක් යන විට විසා ලකුණු කරන ලද ගමන් බලපත්‍ර අප වෙත ලැබුණි. මෙම කටයුතු ඉතාමත් සුහදශීලිව සහ වෘතිමය ආකාරයකින් සිදු වූ බව විශේෂයෙන් කිව යුතුය.
මට මෙතැනදී මතක් වුයේ වරෙක මා ඇවන්ගාර්ඩ් සමාගමේ සේවය කරද්දී නයිජීරියාවේ ලාගොස් ගුවන් තොටුපලට ගිය අවස්ථාවේදී සිදු වූ සිද්ධියකි. අප මෙලෙස නයිජීරියාවට ගියේ බටහිර අප්‍රිකාවේ ගිනි බෝක්කේ  පවතින මුහුදු කොල්ල කරුවන්ගේ ක්‍රියාකාරකම් නැවත්වීම සඳහා නයිජිරියානු රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමටය. ඉතිරි කොටස  හෙට ......  

        

My house is my castle

 මේ මගේ කාර්සල් එකට( my house is  my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි.  සතියකට පමණ පෙර එතන...