Tuesday, June 5, 2018

නාම් සංචාරය - 6


මිට පෙර කොටස 
http://lakshmanillangakoon.blogspot.com/2018/06/5.html






මෙලෙස අප ගමනේ යෙදෙද්දී එරටට පැමිණෙන කිසිම අමුත්තෙකුට කුතුහලයක් ඇතිවීමෙන් බේරුණු නොහැකි දර්ශනයක් අපි දිගින් දිගටම නිරීක්ෂණය කළෙමු. ඒ එහි සෑම කුඹුරු යායකටම මෙන් ඇත්තාවූ ඉතාමත් වර්ණවත් සොහොන් කොත් ගොඩැලියි. ප්‍රමාණයෙන් බොහෝ වෙනස් වන මෙම පරිචයන් තුල සාමාන්‍යයෙන් සොහොන් කොත් 25/30 සිට 200/300 දක්වා තිබෙන බව පෙනුනි. ප්‍රමාණයෙන් හා දැකුම්කලු බවින් විශාල පරාසයක් තුල විහිදී තිබුනේ සමහර විට මිය ගිය ඇත්තන්ගේ වත් පොහොසත් කම් අනුව සහ පවුලේ ඉතුරු වුන අයගේ ඔහුට තිබූ ගෞරවය අනුව විය හැක්කේය.


මේ පිළිබඳව පරික්ෂා කිරීමේදී අපට දැන ගන්නට ලැබුනේ එහි කෙනෙකු මිය ගිය විට පවුලේ අය ගොවිතැන් කරනා බිමෙහි හෝ කුඹුරෙහි ඔහු හෝ ඇය මිහිදන් කරන බවය. ඒ මිනියෙන් බව භෝගයන්ට යමක් ලබා දීමටය. අවුරුදු කිහිපයක් ගත වූ පසු ආපසු මිනිය ගොඩගෙන එය හොදින් පිරිසිදු කර ඇටකටු පමණක් කුඩා බඳුනක බහා ඒ පවුලේ සොහොන් බිමෙහි නැවත මිහිදන් කර ඉහත පරිදි අලංකාර සොහොන් කොතක් ගොඩ නගන බවය.

භූමදානය කිරීම් ගැන කතා කර එක්වරම විවාහ මංගල උත්සව ගැන කතා කිරීම් එතරම් ගැලපෙන්නේ නැති වුවද අප ඊලගට පසුකර ගියේ විවාහ මංගල උත්සවයක් නිසා එයත් මෙතනින්ම අවසන් කල යුත්තේය. මෙම උත්සවය දැක අපේ මාර්ගෝපදේශකයා ගෙන් මේ පිළිබඳව විමසු විට ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් ග්‍රාමීය විවාහ උත්සවයක් මුලින් චාරිත්‍ර වලින් පටන් ගෙන ඒවා අවසන් වූ පසු මධ්‍යසාර සාදයක් බවට පත්වන බවය. දවසක් දෙකක් පවත්වන මේ සාද බොහෝ දුරට අවසන් වන්නේ ගුටිකෙලි වලින් බව ඔහු සිනහ සෙමින් එකතු කළේය.


වියට්නාමයේ මත්පැන් වලට ඇති තැන ගැන මෙතනම පොඩි විස්තරයක් කළහොත් හොඳ යැයි සිතේ. මෙහි වැසියන් අපේ භාෂාවෙන් හොඳට කන බොන පිරිසකි. හෝ චි මින් ප්‍රංශ පාලකයන් විසින් 1948 සිර ගතකළ පසු ඔහු
“මල් සහ මත්පැන් නොමැති සිර ගෙදර කෙනෙකුට කුමක් කිරීමට ඉතිරිව ඇද්ද?” යන ප්‍රකාශනයෙන්ම ඇත්තෙන්ම මෙය සක්සුදක් සේ පැහැදිලි වෙයි.
2002 වසරේ සිට 2016 වනවිට වියට්නාමයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය 3 න් ගුණයකින් වැඩිවී ඇත්තේය. එය දැන් එක් පුද්ගලයෙකුට වසරකට ලීටර 8.7 ක් වන අතර මෙය අප රටේ ලීටර 4.5 හා  සසඳන විට දෙගුණයක් වෙයි. මේ වසරකට මුලු ජාතියම පානය කරන ශුද්ධ ඇල්කොහොල් ප්‍රමාණය වයස 15 වට වැඩි ජනගහනයෙන් බෙදීමෙන් ලැබෙන ප්‍රමාණයයි.



ඔවුන්ගේ ජාතික පානය; අපගේ අරක්කු මෙන්, සහල් වලින් නිපදවන මත්පැන්ය. මේවාට පැලැටි වර්ග, පලතුරු, කුළු බඩු සහ කටුස්සන්, සර්පයන් වැනි සතුන් දමා පැසවන්නට හැර සැර සහ රස වෙනස් කරගනු ලැබේ.  ඉහලම සමතුලිතයක් ලබාගැනීමට හොඳ මත්පැන් පෙරාගත් පසු  තුංමං හන්දියක ඊසානදිග පැත්තේ දවස් 100 වලලා තැබිය යුතු යැයි පරම්පරාගත මතයක්ද පවතී.
“මත්පැන් නොමැති වුවහොත් චාරිත්‍රයන්හි චරිත ස්වභාවය පවත්වාගත නොහැක”.
“බොන්නේ නැතිව ගෙදර යා නොහැක”
මේ එහි මත්පැන් පිළිබඳව පොදු වහරන්ය.

පසුගිය වසරේ රජයට අයත් සයිගොන් බියර සමාගමේ කොටස් 54% ක්  තායිලන්ත සමාගමකට කොමියුනිස්ට් රජය විකුණා දැමුවේ $ බිලියන 4.8  කටය.

අපි හාලොන්ග් පෙදෙසට කිට්ටු වන විට විවේකයක් ගැනීම සඳහා නැවත වරක් සංචාරක වාහන නැවතුම් පොලක් වෙත ගියෙමු. මෙම ස්ථානයේ විශේෂත්වය වුයේ එය ගොඩ නගා තිබුනේ මුතු බෙල්ලන් කෘතිමව වගා කරන කර්මාන්තයක් වටා වීමය.  මුතු බෙල්ලන් තුලට කෘතිමව කුඩා බෙල්ලකුගේ කොටසක් ඇතුළු කර අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකින් මුතු ඇටයක් ඌ ලවා වර්ධනය කරගැනීම මෙම ස්ථානයන්හි සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය අපට පෙන්වා අපව ඊළඟට රැගෙන යන්නේ මුතු සහ එම ආශ්‍රිත ආභරණ විකුණන අලංකාර වෙළඳ පොළකටය. අපි නම් ඒවාට අසු නොවුනත් බොහෝ බටහිර සංචාරකයන් විශේෂයෙන් මුතු වලින් සාදන ලද ඇන්ටි එජින් ක්‍රීම් මිලට ගන්නවා දුටිමි.





මෙලෙස කෘතිමව මුතු වර්ධනය කරගැනීම මුලින්ම ජපන් ජාතික නිශිකාවා විසින් 1916 වසරේ සොයාගන්නා ලද අතර දැන් ඒ සඳහා වියට්නාමයේ හා ලොන්ග් බොක්ක ප්‍රසිද්ධ තැනකි. මෙම කෘතිමව වගාකරන මුතු වර්තමානයේ ලෝක මුතු වෙළඳ පොලෙන් 99%ක් වෙයි. විජය කුමරු මන්නාරමට ගොඩ බසින විටත්  ලොව පරසිදු ස්වභාවික මුතු මන්නාරමේ නිපදවූ අප ඒ කිසිදෙයක් වෙත අවධානය යොමු නොකර ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියමින් සතුටු වන්නෙමු.
ඊළඟ - අහසින් පහත්වන මකරාගේ බොක්ක    

       

5 comments:

  1. //“බොන්නේ නැතිව ගෙදර යා නොහැක”//

    මේක අපිත් ක්‍රියාවට නංවනවා මගුල් ගෙදර, මළ ගෙදර, දානේ ගෙදර, බණ ගෙදර, බර්ත්ඩේ ගෙදර, යාලුවෙක් කාලෙකට පස්සේ හම්බ උනාම වගේ පොඩි පොඩි අවස්ථා කිහිපයකදී

    ReplyDelete
  2. නමුත් අපිට ඒකත් එක්ක යන මේ වගේ සංස්කකෟතියක් නැහැ නේද

    ReplyDelete
  3. කිසිදෙයක් වෙත අවධානය යොමු නොකර ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියමින් සතුටු වන්නෙමු.

    ReplyDelete
  4. /“බොන්නේ නැතිව ගෙදර යා නොහැක”// එකනේ "සුරාමේරය මජ්ජපමා දට්ටානා" කියන්නේ සුරාව මද පමණට දෂ්ට කරන්ඩය කියලනේ

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...