Tuesday, April 4, 2017

ශ්‍රී ලංකාවේ අවසාන රජුගේ ප්‍රථම සහ අවසාන මුහුදු ගමන. සම්පූර්ණ කථාව.




                                                     තුවක්කු 74 ක එකල නෞකාවක්.



ශත වර්ෂ ගණනක් බලවත් අධිරාජ්‍ය කිහිපයක් සමග යුද්ධ කිරීමෙන් පසු, 1815 දී අවසාන ස්වාධීන ශ්‍රී ලාංකික රාජධානිය වූ කන්ද උඩරට කොන්දේසි සහිතව ඉංග්‍රීසීන්ට යටත් වූ අතර, එවකට මහනුවර පාලකයා වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. තමන්ගේ රාජ්‍යයේ අවසාන කාලය තුල ඉතා කෘර පාලනයක් ගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, විශේෂයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා මද්දුම බංඩාර ඇතුලු එම පවුලේ සාමාජිකයන් මරා දැමූ ආකාරය ගැන මුළු කන්ද උඩරටම කම්පාවට පත්ව සිටියහ. 




ඉංග්‍රීසීන් කන්ද උඩරටට ඇතුල් වන විට බොහෝ වැසියන් ඔවුන්ගේ පැමිණීම ගැන සතුටු වූහ. මෙයට අවුරුදු දෙකකට පෙර, (1813 දී) ඉංග්‍රීසීන්ට අයත් මුහුදු ප්‍රදේශයට ගොස් ඔවුනට විරුද්ධව දරුණු සටන් කල උඩරැටියන් පවා ඉංග්‍රීසි හමුදාව 1815 දී මහනුවරට ඇතුලු වන විට කිසිදු විරෝධයක් නොදැක්වූයේ, බොහෝ විට කෘරකම් නිසා රජු බලවත් මහජන අප්‍රසාදයට පත්ව සිටි නිසා විය හැක. 


ඉංග්‍රීසීන් මහනුවරට ලගා වන විට ආරක්ෂක ස්ථානයකට පලා ගිය රජු හා රාජකීය පවුල, මැද මහනුවර කුඩා නිවසක ලැගුම් ගත්හ. මේ බව ආරංචි වූ රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ එක්නැලියගොඩ නිළමේ තම පිරිවර සමග පැමිණ රජු හා රාජකීය පවුල අත්අඩංගුවට ගත්තේය. එකල බලවත් අප්‍රසාදයට පත්ව සිටි නිසා රාජකීය පවුලට සාමාන්‍ය ජනතාව ඉතාම පහත් ලෙස සැලකූහ. 


මේ බව ආරංචි වූ ඉංග්‍රීසි නිලධාරීහු රජු හා රාජකීය පවුලට අවශ්‍ය  ආරක්ෂාව සලසා, රාජකීය පවුලකට ගැලපෙන පරිදි ගෞරව සහිතව එකල ඉංග්‍රීසීන්ගේ පාලන මධ්‍යස්ථානය වූ කොළඹට රැගෙන ගියහ. ඉන්පසු රජු ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රදේශය වෙත පිටුවහල් කිරීමට තීරණය කෙරුණි. මේ සදහා කොන්වේලිස් යන තුවක්කු 74 කින් සමන්විත වූ ඉංග්‍රීසි නෞකාව යොදවා ගත් අතර, ඉංග්‍රීසීන්ගේ සිවිල් සේවා නිලධාරියෙකු වූ විලියම් ග්රැකන්ඩ්විල් මහතා එම ගමනේදී රජුගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කලේය. 


එකල වූ ඉංග්‍රීසි ලිපි ලේඛන අනුව පහත සදහන් පුද්ගලයන් රාජසිංහ රජුගේ ලගම ඥාතීන් බව සලකා රටින් පිටුවහල් කිරීම සදහා ඉංග්‍රීසි පාලකයන් විසින් තීරණය කරන ලදි. 

1.රජුගේ බිසවකගේ පියා වූ ගම්පොල නායක්
2.රජුගේ බිසවකගේ පියා වූ සින්නදීගල නායක්
3.රජුගේ සහෝදරයෙකු වූවෙන්කතසාමි නායක්
4.රජුගේ සහෝදරියකගේ දියණියකගේ ස්වාමියා වූ ජගදේවි ඇලිගරී සාමි
5.රජුගේ ඥාතියෙකු වූ අයිලේ නායක්
6.රජුගේ සහායකයෙකු වූපෙරුමාල් නායක්
7.පෙරුමාල් නායක්ගේ පුත්‍රයා වූ කවුනීර් 
8.රජුගේ නැන්දනිය වූ නවුනම්මා 
9.රජුගේ ඥාති සහෝදරියක වු වෙන්කෙම්මා 
10.අමාතැනී 

මහනුවර සිට කොළඹට එන ගමනේදී, රජු කිහිප වතාවක්ම එකල ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් රොබට් බ්‍රව්‍රන්රිග් මුණ ගැසී තමන් විසින් සඟවා ඇති විශාල ධනය ඔහුට භාරදීමට අවශ්‍ය බව තමන් රැගෙන යමින් සිටි ඉංග්‍රීසි නිලධාරීන්ට දන්වා සිටියේය. නමුත් ආණ්ඩුකාරවරයා රජු මුණ ගැසීමට පැමිණියේ නැත. තම ධනය නොලැබුණද රජුට ඉංග්‍රීසීන් විසින් දක්වන ලද ගෞරව හා උපකාර වල කිසිදු වෙනසක් සිදු නොවන බව රජු වෙත ආණ්ඩුකාරවරයා විසින් දන්වා සිටින ලදි. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා රජු රටෙන් පිටවන තෙක්ම ඔහු මුණ ගැසීමට පැමිණියේ නැත. 


1815 මාර්තු මස 06 වන දින, කොළඹට පැමිණි රාජකීය පිරිස ඔවුන් ඉන්දියාවට පිටුවහල් කරන තෙක් කොළඹ කොටුවේ ගේට්ටුව අසල නිවසක ලැගුම් ගෙන සිටියහ. එහිදී රජුගේ ආහාරය සදහා දිනපතා ලබා දුන් ආහාර වර්ග මෙසේය.


         1. මුතු සම්බා හුන්ඩු     - 8               2.       බටර් කොටස්           -  ½
3.කරවල                    -  1               4.       කුම්බලාව                -  6
5.පොල් ගෙඩි             -  60             6.       එලවළු වර්ග            -  8 
7.බුලත් පුවක්                                  8.      සාදික්කා
9.කරාබු නැටි                                  10.     කිරි බෝතල්           -  3
11.තැඹිලි                   -  5                12.     දොඩම්                   -  8
13.දෙළුම්                   -  5                14.      සීනි                       -  ½
15.සූකිරි                    -1/2               16.       තෝර මාළු           -  1
                           

         මෙය රජුගේ පුද්ගලික අවශ්‍යතා සදහා වන අතර, රාජකීය පිරිවරට වෙනම ආහාර වර්ග සැපයිණ. රජුගේ මෙම ආහාර සදහා දිනකට එකල රුපියල් 900 ක මුදලක් ඉංග්‍රීසි ආණ්ඩුවට වියදම් වූ බව සඳහන් වේ. 


1816 ජනවාරි 24 වන දින ඉන්දියාව බලා යාමට ගමන් ඇරඹිණ.රජුගේ කණ්ඩායම 60 ක් පමණ විය. වැඩිමහල් බිසෝවරු දෙදෙනෙක්, එකල ගම්පොල නායක් යනුවෙන් හැඳින්වූ ගම්පොල ප්‍රාදේශිය නායකයෙකුගේ දියණියන් වූහ. අනෙකුත් බිසෝවරු දෙදෙනා, දීඝල් සාමී නම් වූ රජුගේ නෑයෙකුගේ ඉතා අඩු වයස් කුමාරිකාවන් දෙදෙනෙකු වූ අතර, රජුගේ බිසෝවරුන්ගේ සහෝදරයන් හතර දෙනෙකුද මේ සමග විය. 


මෙදින රජු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ සුදු පැහැති අරාබි අශ්වයන් දෙදෙනෙකු යෙදූ විවෟත අශ්ව කරත්තයේ ගමන් කල අතර, ඔහු රන්වන් පාට නූල් වලින් මසා තිබූ රතු සිල්ක් රෙද්දක් හා දිග සිල්ක් කෙලවර රන් නූලෙන් මසන ලද සිල්ක් උඩ ඇඳුමක් සහ ඉතාමත් අලංකාර වූ හිස් වැසුමක්ද පැළද සිටියේය.  


අනෙකුත් රාජකීයන් දෝලාවන්හි ගමන් කල අතර, විශාල පිරිසක් මෙම රාජකීය කණ්ඩායම පිටුවහල් කිරීම නැරඹීම සදහා පැමිණ සිටියහ.  

රජුගේ මෙම ගමන් කිරීම නැරඹීම සදහා පැමිණි පිරිසෙන් සමහරෙකු ඔහුගේ අශ්ව රථය ගමන් කරන ආකාරය නැරඹීම සදහා මාර්ගය උඩින් වැටී තිබූ ආරුක්කුවක් මත නැගී රජුගේ ගමන් කිරීම නැරඹීම බලාපොරොත්තුවෙන් සිටි අතර, මෙය දුටු රජතුමා තමා ගමන් කල වාහනය නවතා රජෙකු වශයෙන් ජනයාට පහතින් තමන්ට ගමන් කල නොහැකි නිසා එම ආරුක්කුව උඩ සිටින පිරිස ඉවත් කරන ලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.  

ඔවුන් එලෙස ඉවත් කල පසු ආරුක්කුව තුලින් නැවත ගමන් කල රජු හා පිරිස, කුඩා බෝට්ටු වලින් කොන්වේලිස් නෞකාව වෙත ගෙන යන ලදහ. බෝට්ටු ජැටියේ සිට තම බිසෝවරුන් යාත්‍රාවට ගොඩ වූ පසු තමන්ගේ පාවහන් ගලවා රාජසිංහ රජු යාත්‍රාවට ගොඩ වූයේය. ඉන්පසු ටික වේලාවකින් යාත්‍රාවේ බඳ මත සිට ගෙන අහස දෙස බලා කල්පනා කරමින් සිටි රජු මද සිනහවක් පා අවරෙහි පනවා තිබූ අසුනෙහි අසුන් ගෙන තමන් ගමනට සූදානම් බව යාත්‍රා කරුවන්ට දැන්වීය. එකල කොළඹ වරායක් නොතිබුන නිසා රජු හා රාජකීය පවුල රැගෙන ගිය යාත්‍රාව තරමක් ඈතින් නැංගුරම් ලා තිබුන නෞකාව වෙත රළු මුහුදේ ගමන් කිරීමට සිදු වූ නිසා රජු හා පිරිස මහත් විඩාවට පත්වූහ. 


රජු සහ රැජිණියන් ගමන් කල යාත්‍රාවේ රන් පැහැයෙන් එම්බ්‍රොයිඩර් කරන ලද කොළ පැහැති සැටින් වියනක් සවිකර තිබුණි. රාජකීය පිරිස ගමන් කල බෝට්ටුවෙහි අවරය සුදු පැහැති වටිනා බුමුතුරුණු යොදා ආවරණය කර තිබුණි. එම යාත්‍රාව පැදවීමට අලංකාර නිළ ඇඳුමකින් සැරසුණු නාවිකයන් පිරිසක් යොදවා තිබිණි. 


  කිසි දිනෙක මුහුදේ ගමන් කර නොතිබූ රජු හා පිරිස සැර මුහුදේ ප්‍රථම වරට ගමන් කිරිම ඔවුනට ඉතා අපහසුදායක සහ දුෂ්කර වූවාට කිසිදු සැකයක් නැත. තමන්ගේ මාළිගයේ ඉදිරි පිටින් කිසිම හේතුවක් සිතා ගත නොහැකි තම යටත් වැසියන්ගේ බලවත් අප්‍රසාදය මත විශාල කෘතීම ජලාශයක් සාදවා එය කිරි මුහුද යැයි නම්කර තමන්ටම පුද්ගලික මුහුදක් සාදවා ගත් රාජසිංහ රජු ඇත්තෙන්ම මුහුදු ගමනක යෙදුනේ මෙදිනය. 


බෝට්ටු නැව අසලට පැමිණි විට රාජකීය කණ්ඩායම වරකට කෙනෙකු බැගින් නැවට ඔසවනු ලැබීය. ඔහුගේ පවුලේ සියළු දෙනා ඉහලට ඔසවන තෙක් බෝට්ටුවේ රැදී සිටි රජතුමා අවසානයේ තමන්ද නැව මතට එසවීමට අවසර දුන්නේය. රජතුමා නැව මතට පැමිණි අවස්ථාවේ ඔහුට ගෞරව කිරීමට නෞකා තට්ටුව මත තූර්ය වාදක කණ්ඩායමක් සංගීතය වාදනය කල අතර, නැවේ කපිතාන්වරයා වූ ආර්ඕ බ්‍රීක් මහතා ඉමහත් ගෞරවයෙන් රජු පිළිගත්තේය. රජු නැවේ තට්ටුව මතට පැමිණි පසු අවිගත් නැවියන්ගේ ගෞරවාචාර පෙල ගැසීමක් තුලින් රජු හා රාජකීය පිරිස ඔවුන් සදහා වෙන් කර තිබූ විශේෂ කාමර පෙලට කපිතාන්වරයා විසින් රැගෙන ගිය අතර, ඇඳක් මත වූ කොට්ටයක් දුටු රජතුමා වහා ගොස් ඒ මත අසුන් ගත්තේය. රජුගේ මව සහ නැන්දම්මාවරු හා බිසෝවරු එම කාමරයේම එක් කොනකට වී අසුන් ගත්හ. 
රජු හා පිරිවර සදහා විශේෂයෙන් සකස් කර තිබූ කාමර වලට ඔවුන් ගෙන ගිය පසු, රජතුමා ඒ අතරින් දකුණු පස වූ විශාල කාමරය තමන් සදහා තෝරා ගත්තේය. තවත් කාමරයක් තම බිසෝවරු සදහාද, ඊලග කාමරය මව් බිසව හා නැන්දනිය සදහාද තෝරා ගෙන කෙලවර තිබූ කාමරය තම ප්‍රධාන උපදේශකට ලබා දුන්නේය. 

අනෙකුත් කාමර රජුගේ පිරිවර විසින් ඔවුනට අවශ්‍ය පරිදි තෝරා ගත්හ. මුල් දිනයේම මෙම ගමන බාරව කටයුතු කල සිවිල් නිලධාරි ග්‍රැන්විල් මහතා රජු හමු වී රජුගේ භාෂා පරිවර්තක වූ මුදලියාර් ජෝෂප් ද සිල්වා මගින් රජුගේ සුව දුක් විමසුවද, රජු ඔහු එතරම් ගණනකට නොගෙන කාමරය තුලට වී සිටියේය. 

පසුදින උදෑසන රාජකීය ලැගුම්හල තුලින් ආහාර පිසින සුවඳ වහනය වූ අතර, ග්‍රැන්විල් මහතා රජුට යම් අවශ්‍යතාවයක් ඇත්නම් තමාට පැමිණ. රජතුමා හමු විය හැකි බව දැන්වීය. එහිදී රජතුමා ඔහුව හමුවීමට අවශ්‍යතාවයක් නොමැති බවත් එහෙත් බිසෝවරුන් මුහුදු අසනීපයෙන් (Sea Sickness) වලින් පෙලෙන බවත්  ග්‍රැන්විල් මහතාට දන්වා යැවීය
සෑම දිනකම උදයේ මෙලෙස ග්‍රැන්විල් මහතා රජු මුණ ගැසීමට අවසර ඉල්ලා පණිවිඩ යැව්වද රජතුමා දින කිහිපයක් ගත වන තෙක් ඔහු මුණගැසීම ප්‍රතික්ෂේප කලේය. 

දින කිහිපයකට පසු රජතුමා මොහොතකට ඔහු මුණ ගැසීමට අවශ්‍ය යැයි පවසා කාමරයෙන් එළියට පැමිණියේය. එවිට රජතුමා රත්තරන් නූලෙන් වාටි දැමූ මුසලින් රෙද්දක් ඉණ වටා ඔතා කෙලවරක් තම වම් උරහිස උඩින් දමා උස ලී සෙරෙප්පු දෙකක් පැලද සිටියේය. ග්‍රැන්විල් මහතා රජුගේ සුව දුක් හා වෙනත් කරුණු ගැන ඇසූ ප්‍රශ්න වලට කිසි සැකයකින් තොරව උස් හඩින් කෙටි පිලිතුරු දුන් රජතුමා, කිසි විටෙකත් ග්‍රැන්විල් මහතාගේ මුහුණ දෙස කෙලින් නොබැලුවේය. 

ග්‍රැන්විල් මහතාගේ හිසට උඩින් ඈත පිහිටි යමක් දෙස බලන ලෙසින් කෙලින් බලා සිටි රජතුමා බොහෝ විට එසේ කරන්නට ඇත්තේ සාමාන්‍ය මිනිසෙකු දෙස කෙලින් බැලීම රජෙකුට නොගැලපෙන්නේ යැයි සිතූ නිසා විය හැක. 

ජනවාරි මස 29 වන දින රජුගේ කාමරය දෙසින් කෙනෙකුට පහර දෙනවා වැනි ශබ්දයක් ඇසී එය පරීක්ෂා කිරීමට ග්‍රැන්විල් මහතා ගොස් ඒ ගැන රජතුමා ගෙන් විමසූ විට, තමන්ගේ බිසවකට පහර දුන් බව රජතුමා පැවසීය. ‘කොන්වොලිස්‘ නෞකාවේදී කාන්තාවන්ට පහර දීම සම්බන්ධයෙන් රජුට අවවාද කල අතර, මින් පසු එලෙස පහර නොදෙන ලෙසද රජු ගෙන් ඉල්ලීය. 

එයට රජු එකඟ වූ අතර, ඉන් පසු දින 17 ක් ගත වූ මුහුදු ගමනේදී මෙවැනි සිද්ධියක් නැවත ඇති නොවීය. ජකවාරි 30 වන දින, රජතුමා අසනීප ගතියෙන් පසු වුවත් නෞකාවේ වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කලේය. ඔහු බලවත් හිසේ අමාරුවකින් පෙලුනු හෙයින් ඇස් ඇරීමටද පවා අපහසු බව දන්වා සිටියේය. මේ සදහා ග්‍රැන්විල් මහතා, සුවඳ ලුනු (Smelling Salt) ලබා ගැනීමට යෝජනා කල අතරරජතුමා එයට කැමැත්ත පල කලේය

රජතුමාට ඒවා ලබා දුන් විට කොපමණ ප්‍රමාණයක් පානය කල යුතු දැයි රජතුමා විමසා සිටියේය. ලුනු පානය කිරීමට නොව ආඝ්‍රහණය කිරීමට බව දන්වා සිටින ලදි. පසුව ලුනු ආඝ්‍රහණය කල නමුත් එයින් තමනට කිසිදු සුවයක් නොමැති බවද, තමන්ගේ හිසේ අමාරුවට ඉන් කිසිම පිහිටක් නොවූ බවද දන්වා සිටියේය.   

මේ වන විට දවස් 7 ක් පමණ මුහුදේ ගමන් කර, තවමත් ගොඩබිමක් දක්නට නොලැබුන හෙයින් ඉංග්‍රීසීන් තමන් රවටා එංගලන්තයට ගෙන යන්නේ යැයි සැකයක් රජුට පහල වී, ඒ පිළිබඳව ග්‍රැන්විල් මහතා ගෙන් විමසා සිටියේය. එය එසේ නොවන බවද, රජු ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, ග්‍රැන්විල් මහතා විසින් රජතුමාට සහතික කර සිටියේය.

පෙබරවාරි මස 01 වන දින රජු හොඳ සනීපයෙන් පසු වූයෙන් කපිතාන් ඕබ්‍රික් විසින් තමන්ගේ කාමරයට පැමිණ පිරිසිදු වාතයෙහි තරමක කාලයක් විවේකයක් ගත කරන මෙන් රජතුමා ගෙන් ඉල්ලා සිටියේය. රජු එය පිළිගෙන කපිතාන්ගේ කාමරයට තම බිසෝවරුන් සමග පැමිණ ඔටෝමාන් (තුර්කි) කොට්ටයේ අසුන් ගත් අතර, බිසෝවරු ඔහු අසල සිටගෙන සිටියහ.

ටික වේලාවකට පසු රජතුමාට නෞකාවක් මුහුදේ ගමන් කරන ආකාරය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය විය. කපිතාන් ඕබ්‍රික් පරිවර්තකයෙකු මාර්ගයෙන් නෞකාවේ උපකරණ සියල්ලද විශේෂයෙන් නෞකාව හැසිරවීමට හා එක් මාර්ගයක තබා ගැනිමට උපයෝගී කර ගන්නා රඩර් උපකරණ පිළිබඳව පැහැදිලි කල අතර, රජු ඉතා වුවමනා වෙන් හා විමසිලිමත්ව අසා සිටියේය.
රජතුමා විසින් සියලු කරුණු හොඳින් තේරුම් ගත් බව පෙනෙන්නට තිබුණි. රජතුමා කිසි විටෙක යම් කරුණක් සම්බන්ධව දෙවරක් විස්තර කරන්නට ඉඩ නොදුන් අතර, අවසානයේ මුහුදු ගමන් හා නෞකාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සියලුම කරුණු තමන් හොදින් තේරුම් ගත් බව ප්‍රකාශ කලේය.
ඉන් පසු රජතුමා  ගෙන් ඇහැලේපොල නිළමේ තුමා ගැන විමසින. ඔහු දැනට ලැගුම් ගෙන සිටින ස්ථානය පිළිබඳව විමසා, “ඇහැලේපොලට මම සැලකුවේ, මගේ පුතෙකුට වගේ. නමුත් ඔහු මට කරපු දේ ඔබට පෙනෙනවා නේද? යම් දිනෙක ඉංග්‍රීසීන්ටත් ඔහු මේ ටික කරයි.“ යනුවෙන් පැවසීය.

    මුරුසියස් දිවයිනේ ඇති ඇහැලේපොල අධිකාරමගේ සොහොන.

ඉන්පසු රජතුමා ගෙන් ඇහැලේපොල ඔහුට විරුද්ධ වීමට හේතු විමසන ලදි.
“මම ඔහුට කල උදව් වලට කවදාවත්ම මට ප්‍රති උපකාර කරන්නට බැරි නිසා ඔහු මට විරුද්ධව ආයුධ ගත්තා. මම මුලින්ම තේරුම් ගත යුතුව තිබුනා රජ කෙනෙකු සාමාන්‍ය මිනිසෙකුට රජ කෙනෙකුට හා සමාන බලයක් කිසිම දිනෙක නොදිය යුතු බවට. මම දෙවරක් ඔහුට මරණ දඬුවම දිය යුතුව තිබියදීත් සමාව දුන්නා.“ යැයි පැවසීය.   
ඉන් පසුව මොල්ලිගොඩ නිළමේ තුමා ගැන ඔහු ගෙන් විමසන ලදි.
“ඔහු හොද මිනිහෙක් , නමුත් ඔහු බුද්ධිමත් කෙනෙකු නොවේ. ඔහු ඉංග්‍රිසින්ට උදව් කිරිමට පොරොන්දු වුවා නම් ඔහු එම පොරොන්දුව අනුව කටයුතු කරයි. නමුත් ඔහු එතරම් ප්‍රයෝජනවත් කෙනෙකු නොවෙයි’’ යනුවෙන් පැවසිය.
ඉන්පසු රජතුමා තමන්ගේ කාමරයට යැමට සුදානම් වී ග්‍රැන්විල් මහතා රජු සමග කථාබහ කරන ආකාරයෙන් ඔහු කිසි දිනෙක එංගලන්ත රජ වාසලෙහි රජුත් සමග සේවය කර නැති කෙනෙකු බව පෙනෙන බව පැවසීය.
පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය.


ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසීන් රජුගේ සෞඛ්‍යය වෙනුවෙන් සවුදිය පුරන ලදි. මේ නිසා රජතුමා ඉතා සතුටට පත්ව ඔහුට ස්තූති කර, ඔවුන් ආහාර ගන්නා ආකාරය සතුටින් බලා සිට ඔවුන් ආහාර ගත් පසු තම කාමරය වෙත  ගියේය.




පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය.
ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. 

ඉංග්‍රීසීන් රජුගේ සෞඛ්‍යය වෙනුවෙන් සවුදිය පුරන ලදි. මේ නිසා රජතුමා ඉතා සතුටට පත්ව ඔවුන්ට ස්තූති කර, ඔවුන් ආහාර ගන්නා ආකාරය සතුටින් බලා සිට ඔවුන් ආහාර ගත් පසු තම කාමරය  බලා ගියේය.

ඉන්පසු එක් දිනෙක තමනට ආහාරයට ලැබුනේ එලවළු 05 ක් පමණක්ය කියා රජු කෝපයට පත්ව සිටියේය. පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී එලවළු වර්ග බොහොමයක් කල් ගතව නරක් වී ඇති බවත් පරිභෝජනයට ගත හැකිව තිබුනේ එලවළු වර්ග 05ක් පමණක් බවත් පෙනී ගියේය. කපිතාන්වරයා හා ග්‍රැන්විල් මහතා හොඳින් කරුණු පෙන්වා දුන්නද රජුගේ කෝපයේ අඩුවක් දක්නට නොලැබිණ. 

ඔහු ඉංග්‍රීසීන්ට තදින් බැණ වැදුණි. එහෙත් භාෂා පරිවර්තකයන් ඉංග්‍රීසී නිලධාරීන්ගේ හිත් නරක්වේ යැයි බියෙන් බොහොමයක් දරුණු අපහාසාත්මක වචන පරිවර්තනය නොකරන බැව් පෙණුනි.
පසුව තම කාමරයටද ගොස් බොහෝ වේලාවක් යන තෙක් ඔහු කෝපයෙන් කෑ ගසනු ඇසුණි.

පසු දින එනම් පෙබරවාරි මස 08 වන දින රජතුමාගේ කෝපය අඩු වී තිබූ අතර, ඔහුට නැවේ පසු පසට වී පිරිසිදු වාතයේ රැදී සිටීමට අවශ්‍ය යැයි දන්වන ලදි. නැවේ අවරය ඒ සදහා පිළියෙල කරන ලද අතර, රජතුමා තම පිරිවර සමග බොහෝ වේලාවක් නිශ්ශබ්දව මුහුද දෙස බලා සිටියේය. රජතුමා මෙලෙස නිතරම මුහුද දෙස බලා නිශ්ශබ්දව කල්පනා කිරිමට කැමැත්තක් දැක්වීය.

මෙලෙස මුහුදු ගමන ගෙවා වෙරළට පැමිණි රජතුමා මදුරාසි ආණ්ඩුකාරවරයා වෙනුවෙන් එහි ටවුන් මේජර් වරයා වූ කැප්ටන් මැක්ඩොනල්ඩ් විසින් පිළිගන්නා ලදි.

රජතුමා හා පිරිස ඉංග්‍රීසී ආණ්ඩුවේ නිලධාරීන් විසින් වෙල්ලෝර් ප්‍රදේශයට රැගෙන යන ලදි. එහිදී ඔහුව ඉංග්‍රීසීන් විසින් යටත් කර ගන්නා ලද රාජධානියන්හි රාජ්‍ය උරුමක්කරුවන් සදහා වෙන් කර තිබූ මාළිගා 05 කින් එකක නවත්වන ලදි. රාජසිංහ රජතුමාගේ මාළිගාව (මහනුවර මාළිගාව) යන නමින් හදුන්වනු ලැබීය. අනෙකුත් මාළිගයන් අතර, එම මාළිගාවල වාසය කල සිරකරුවන් ගේ නම් අනුව ‘ගුම්සූර් මාළිගය‘, ‘තිප්පු මාළිගය‘, සහ ‘පිල්කොන්ඩේ මාළිගය‘, යනුවෙන් හදුන්වනු ලැබීය. 

                                      වෙල්ලෝර් බලකොටුව
රජතුමා හා රාජකීයයන් ලැගුම් ගත් එම මාළිගාව වෙල්ලෝර්හි බලකොටුවක් ඇතුලත පිහිටා තිබුණි. බලකොටුව ඇතුලත රාජකීය පවුලට නිදහසේ ගත කිරීමට ඉංග්‍රීසීන් විසින් ඉඩ දී තිබූ හෙයින්  රජු වෙනුවෙන් බලකොටුව තුල ඔහුගේ ගමන් බිමන් සදහා දෝලා ඔසවන්නන් දොලොස් දෙනෙකුද සමග දෝලාවක්ද ලබා දෙන ලදි. රාජකීය පවුලේ පිරිස් නිදහසේ පිටතට යාම වැලැක්වීමට ප්‍රධාන බලකොටුවේ තරමක ආරක්ෂාවක් යොදා තිබුණි. 

රජුගේ හා රජ පවුලේ සේවය සදහා 40 ක පමණ සේවක පිරිසක් යොදවන ලදි. ඒ අතර පුද්ගලික වෛද්‍යවරයෙකු හා කරණවෑමියෙකුද විය. එම පුද්ගලික වෛද්‍යවරයාට සහ කරණවෑමියාට මසකට රුපියල් 5.00 ගණනේ වැටුප් ගෙවූ බව සදහන් වේ.

රජුගේ හා රජ පවුලේ වියදම් සදහා ඉන්දියානු ආණ්ඩුවෙන් විශාල මුදලක් වැය කරන ලද අතර, 1816 අගෝස්තු මස රජුට ඔටුන්නක් සාදවා ගැනීමට හා තම බිසවනට ත්‍යාග දීම සදහා රන් ආභරණ මිලදී ගැනීමට මුදල් ඉල්ලා සිටි විට, ඔටුන්න සෑදීමට අවසර නොදුන්නද ආභරණ සෑදීමට පගෝදි 500 ක් ඉංග්‍රීසී රජයෙන් ලබා දෙන ලදි. 

1817 රජු සහ රාජකීය පිරිස වෙල්ලෝර් බලකොටුවෙන් නිදහස් කොට නිදහසේ ජීවත් වීමට ඉඩ හැරිය යුතු යැයි මදුරාසියේ ඉංග්‍රීසී පාලකයන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලකයන් වෙත නිර්දේශ කලත්, එය ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලනයට ප්‍රශ්නයක් විය හැකි යැයි කල්පනා කල එකල ලංකාවේ ඉංග්‍රීසී පාලකයා වූ ජේම්ස් සදර්ලන්ඩ් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.    

1818 දී රජුගේ බිසොවන් ගෙන් එක් බිසෝවක් වූ උපේන්ද්‍ර අම්මා රැජිණ මිය ගියාය. 1822 දී රජුගේ තවත් රැජිණකට දූ කුමරියක් ලැබුණි. 1829 දී තවත් රැජිණක් දූ කුමරියක් බිහි කල අතර, එම දූවරුන් හා රැජිණන් සදහා ආභරණ මිලදී ගැනීමට රජු නැවතත් මුදල් ඉල්ලා සිටියෙන් ඉංග්‍රීසී ආණ්ඩුව විසින් එම මුදල් ලබා දුනි.

වෙල්ලෝර්හි වාසය කරන කාලයේදී රජු ඉංග්‍රීසී රජයත් සමග අමනාප වූ විට, නියමිත ආහාර සහ දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ සිරිතක් විය. මෙලෙස සමහර විට මාස කිහිපයක් දීමනා නොගෙන සිටින විට, වෙනත් පුද්ගලයන් ගෙන් මුදල් ණයට ගැනීමට රජුට සිදුවිය. ඉංග්‍රීසී නිලධාරිවරුන්ට මෙවැනි සිද්ධීන් කිහිප වතාවකදීම නිරවුල් කිරීමට සිදු විය.   

1831 දී රජුගේ මව් රැජිණ මිය ගියෙන් සොල්දාදුවන් 100 ක ආචාර පෙලපාලියක් පවත්වා පලාර් ගං ඉවුරෙහි අවසාන කටයුතු සිදු කරන ලදි.   

1831 වසරේදී පළමු හා එකම පිරිමි දරුවා මොලොව බිහි වන විට, රජුගේ සෞඛ්‍යය තත්වයද අයහපත් තත්වයකට පත් වෙමින් තිබිණ. නිතරම උණ ගැනීම, නින්ද නොයාම, ආහාර අරූචිය, අත් පා ඉඳිමීම, වැනි රෝග ලක්ෂණ වලින් රජු පෙලෙන්නට විය.   

රජුගේ මෙම අසනීප තත්වය නිසා ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉංග්‍රීසී නිලධාරීන් විසින් සැලසුම් කිරීමට පටන් ගත්හ. මහනුවර රජ පවුලේ සොහොන් වල විස්තර මහනුවර අවටින් ලබා ගත හැකි දැයි සොයා බලන ලදි. 

එහෙත් ඒ වනවිට ආදාහන මළුව අසල තිබූ මහනුවර රජුන්ගේ සොහොන් කොත් මහනුවර, මාතලේ, දුම්රිය මාර්ගය තැනීමේදී විනාශ වී තිබූ හෙයින් සොයා ගැනීමට නොහැකි වූ පසුව, පැරණි ලියවිලි වලින් එම සැලසුම් ලබා ගෙන මේ සදහාම ඉන්දියාවේ වෙල්ලෝර්හි මිළදී ගන්නා ලද ඉඩමක සොහොන සෑදීමට කටයුතු සූදානම් කෙරිණ.    



                                       රජුගේ සොහොන් ගල.

1832 ජනවාරි මස 31 වන දින රජු මිය ගිය අතර, එදිනම ඉර බැස යාමට පෙර රජුගේ ආදාහන කටයුතු හමුදා ආචාර මධ්‍යයේ සිදු කරන ලදි.   
පසුව මේ සදහා මිළදී ගත් ඉඩමේ රජුගේ සොහොන හා මව් බිසවගේ සොහොන පිළිවෙලින් රුපියල් 500.00 හා 150.00 මුදලක් වැය කර සාදන ලදි.  

සිංහලේ අවසාන රජුගේ පිටුවහල් කිරීම සහ පිටුවහලෙකු ලෙස ජීවිතය මෙලෙස අවසන් විය.

 මෑතකදී පලාර් ගඟ අසල ඇති රජතුමාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු මිහිදන් කර ඇති සොහොන 1990 දී එකල තමිල්නාඩුවේ මහ ඇමතිවරයාව සිටි කරුණානිධි ඔහුගේම සැලැස්මකට අනුව මුතු ඇටයක් හැඩයට ඉන්දියානු රුපියල් ලක්ෂ 7 ක් වියදම් කර නැවත අලංකාරවත් කරන ලදුව, එය දැන් මුතු මණ්ඩපම් (මුතු මණ්ඩපය) ලෙස හැදින්වේ.

                            මුතු මණ්ඩපම්. පිටත සහ ඇතුලත

                                     කරුණා නිධි මහතා.


රජු විසින් පාවිච්චි කරන ලද ඇත් දළ වලින් සාදන ලද ඉත්තන් සහිත චෙස් ලෑල්ල සහ ඔහුගේ බූමරැංගය වෙල්ලෝර්හි කෞතුකාගාරයේ තබා ඇත.   

බොහෝ විට එක් රටක රජ කෙනෙකු වෙනුවෙන් වෙනත් රටක අලංකාරවත් සොහොනක් සෑදුනු, මිනිස් ඉතිහාසයේ එකම අවස්ථාව මෙය විය හැක. 

Monday, April 3, 2017

විදුලි කාර් මුලාව ; නම බලා රැවටීම.




විදුලියෙන් දුවන කාර් පරිසර හිතකාමී එමෙන්ම ඉතාමත් කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යයක් යැයි බොහෝ දෙන සිතති. සාමාන්‍ය ජනයා පමණක් නොව ඉංජිනේරු හා තාක්ෂණ දැනුමක් ඇති බොහෝ වෘතිකයන්ද එසේ සිතන බව පෙනේ. 

මෙය කොතරම් සමාජය තුලට කාවැදී ඇත්තේදැයි කියන්නේ නම් සමහර රාජ්‍යයන් විසින්; අපද ඇතුලුව - එම කාර් වර්ග වලට අය කරන බදු මුදල්ද අඩුකර තිබේ. දැන් ටික කලකට පෙර බොහෝ ලිබරල් ජනතාවක් සිටින ඇමරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තය තුල විකුණන වාහන වල යම් ප්‍රතිශතයක් විදුලි කාර් විය යුතු යැයි නීතියක්ද සම්මත කෙරුනේ මේ විදුලි කාර් වලට ඇති ගෞරවය නිසාය.  

ඇත්තෙන්ම විදුලි වාහන මේ කියනා තරම් පරිසර හිතකාමිද? නැත්නම් එයත් අවසානයේ බලන විට කොමියුනිස්ට් වාදය මෙන් රසවත් වූ එහෙත් ප්‍රායෝගික නොවන වැඩකට නැති අපම රවටා ගන්නා බොරුවක්ද? 

මේ සදහා පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට නම් අප පහත සදහන් ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත යුතුය.

  1. විදුලි කාර් සාමාන්‍ය කාර් වලට වඩා පරිසර හිතකාමීද? 
  2. එසේ නම් කොතරම් ප්‍රමාණයකින් පරිසර හිතකාමීද?  
  3. රථය නිපදවන අවස්ථාවේ පිටවුනු co ₂ ප්‍රමාණය කොපමණද? 
  4. විදුලි වාහනය දුවන්නට විදුලිය පැමිණියේ කොහෙන්ද?  
පිළිතුරු 

විදුලි කාරයක කාරය නිපදවීම සදහා වායුගෝලයට එකතු කරන co₂ ප්‍රමාණය වාහනයේ ජීවිත කාලය තුලම වායුගෝලයට එකතු කරන co₂ ප්‍රමාණයෙන් 1/3 ක් වෙයි. මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් විදුලි නොවන රථයක් සදහා co ₂  රාත්තල් 16,000 ක් පමණ වෙයි. එහෙත් මෙය විදුලි කාර් එකක් සදහා රාත්තල් 25,000 ක් ඉක්මවයි. ඒ කියන්නේ වාහනය පාරට දමන්නටත් පෙරම විදුලි කාරය co ₂ රාත්තල් 9000 ක් වැඩිපුර  වායුගෝලයට නිදහස් කර පරිසරය විනාශ කර ඇත. 

ඊලඟ ප්‍රශ්නය මේ විදුලි කාර් වලට විදුලිය සපයන ප්‍රභවය කුමක්ද යන්නයි. ජල විදුලිය, සූර්ය තාපය, සුළං භ්‍රමණ හෝ පරමානු බලාගාර වැනි 100% ක්ම පොසිල දහනය නොකරන විදුලිය ජනනය කරන රටවල් ලෝකයේ ඇත්තේ මා දන්නා විදිහට කොස්ටරිකා රජය පමණයි. මෙම වාහනය දුවන්නේ එහි නොවේ නම් මෙම වාහනය දුවන්නටත් විදුලිය නිපදවන්නේ පොසිල ඉන්ධන දහනය කිරීමෙනි. බොහෝ දියුණු රටවල පවා මෙම ප්‍රභවය ඩීසල් පෙට්‍රල් වලටත් වඩා බොහෝ අපිරිසිදු ගල් අගුරුය.  

ඇත්තෙන්ම තෙල් වලින් දුවන මර්සිඩීස් බෙන්ස් රථයක් , දැනට ලෝකයේ කාර්යක්ෂතම විදුලි රථය ලෙස සැලකෙන ටෙස්ලා රථයකට වඩා මුලු ජීවිත කාලය තුලම පරිසරයට එකතු කරන්නේ co ₂ ටොන් 3 කි; ටෙස්ලා ටොන් 44, බෙන්ස් 47 කි. 

යුරෝපා වෙළෙඳ පොලෙහි දැන් co ₂ ටොන් 1 ක් වායුගෝලයෙන් ඉවත් කිරීමට පිරිවැය ලෙස සලකන්නේ ඩොලර් 7 කි. ඒ කියන්නේ මුලු ජීවිත කාලයක් ගත වූ පසු බෙන්ස් කාර් එකක් විදුලි කාරයකට වඩා වායුගෝලයට එකතු කර ඇත්තේ ඩොලර් 35 කින් පිරිසිදු කල හැකි co₂ විසර්ජනයකි.   

මේ ආකාරයෙන් බලන විට විදුලි කාර් අප විසින්ම අපම රවටා ගැනීමක් නොවේද?     



Sunday, April 2, 2017

මීගමුවේ කුමාරයා නොහොත් උඩගු තානාපති. (සම්පූර්ණ කථාව)

මුලින් මම කථාව ලියාගෙන යන ආකාරයට කොටස් වශයෙන් ලියා පල කල මුත් දැන් ලියා අවසන් වූ හෙයින් සම්පූර්ණ කථාවම මෙසේ පල කිරීමට අදහස් කලේ කියවීමේ පහසුව සදහාය.  








මීගමුවේ මහා රාළ හෙවත් මාරිසල්ස් බොෂුවර්.

17 වන හා 18 වන ශතවර්ෂයන්හි මහනුවර කන්ද උඩරට රාජධානිය, ශ්‍රී ලංකාවේ එකම ලාංකික රාජධානිය විය. 1696 න් පසු නොයෙකුත් යුරෝපීයයන් එම රාජධානියෙහි වාසය කලහ. එකල අන්තර් ජාතික බලවතුන් වූ පෘතුගීසීන් හා ඕලන්ද ජාතිකයින් බලවත් මුහුදු අධිරාජ්‍යයක් ගොඩ නගමින් සිටි අතර, ඉංග්‍රීසීන්ද පසු කලෙක මෙම තරගයට ඇතුලු වූහ.


මෙම විදේශික සම්බන්ධතාවයන් නිසා කන්ද උඩරට වාසය කල බොහෝ යුරෝපීයයන් අතර, යුද්ධ වලදී අල්ලා ගත් යුරෝපීයන්ද ආගම පැතිරවීම සදහා පැමිණි යුරෝපීයන්ද, රාජ්‍ය සේවය සදහා රාජ්‍ය සේවය සදහා පැමිණි යුරෝපීයන්ද සිටියහ.


මෙම යුරෝපීයන් අතර කන්ද උඩරට රාජධානිය තුල රාජ්‍ය සේවයේ යෙදුනු මැනුවෙල් ඩයස්, දස්කොන් අධිකාරම සහ මාරියල්ස් බොෂුවර් ( Marcelis Boschouwer) කන්ද උඩරට රාජ්‍ය සභාවේ ඉහලම තනතුරු වලට පැමිණි යුරෝපීයන් තිදෙනෙක් විය.


මැනුවෙල් ඩයස් :-     විමලධර්මසූරිය රජු (1592 – 1604) ගේ රාජ්‍ය  කාලයේ රජු විසින් පෘතුගීසීන් හා යුද්ධයේදී සිරකරුවෙකු ලෙස අල්ලා ගත් පසු, රාජ පාක්ෂිකභාවය සහ දක්ෂකම් නිසා ඉතා කෙටි කලකින් රජුගේ විශ්වාසය දිනා ගනිමින්, මහාධීකාරම තනතුරට උසස් විය.

දස්කොන් අධීකාරම :-    යුරෝපිකයෙකු වූ දස්කොන් අධිකාරම, අන්තිම සිංහල රජු වූ කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මහාධිකාරම විය.
මීගමුවේ මහා රාළ  :- මේ දෙදෙනාටම වඩා මීගමුවේ මහා රාළ යැයි අනුවර්ත නාමයෙන් හදුන්වනු ලැබූ නෙදර්ලන්ත ජාතික මාරියල්ස් බොෂුවර්, සෙනරත් රජුගේ (1604 – 1636) රාජ්‍ය පරිපාලනයේදී ඉතා බලවත් ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය.

1612 වර්ෂයේදී ඉන්දියාවේ කොරමන්ඩල් හි නෙදර්ලන්ත පාලකයන්ට, නෙදර්ලන්තයේ එකල රජ වූ ඔරේන්ජ් රජුගෙන් ශ්‍රී ලංකාවේ රජු වෙත යවන ලෙස රාජකීය ලිපියක් ලැබිණ. මෙම ලිපිය කණීෂ්ඨ වෙළෙන්දෙකු වූ (එකල තිබූ රැකියා නාමයක්) මාරියල්ස් බොෂුවර් අත ඕලන්ද නෞකාවක් මගින් ත්‍රීකුණාමලයට එවන ලදි. 


1612 මාර්තු මස මහනුවරට පැමිණි මාරියල්ස් බොෂුවර් සෙනරත් මහ රජු බැහැ දැක, නෙදර්ලන්තයේ ඕරේන්ජ් මහා රජුගේ ලිපිය සෙනරත් රජු වෙත බාර දුන්නේය. එම ලිපිය සුදු රෙදි කඩකින් වසා රජුගේ සිංහාසනය අසල තිබූ රනින් කරන ලද ආසනයක් මත ගෞරව සම්ප්‍රදානුකූලව  තැබීමෙන් පසු රජු හා තානාපති මාරියල්ස් බොෂුවර් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.


මෙම සාකච්ඡා වලින් පසුව සෙනරත් රජු ශ්‍රී ලංකා රාජ්‍ය හා මාරියල්ස් බොෂුවර් නෙදර්ලන්ත රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළද සම්බන්ධතා ගිවිසුමකට පැමිණියහ. මෙම ගිවිසුමට යුධ කටයුතු, වෙළදාම් හා වෙළඳ ද්‍රව්‍ය එකතු කිරීම, ගබඩා කිරීම හා ගබඩා රට තුල ඇති කිරීම ආදිය සම්බන්ධව වගන්ති 45 ක් ඇතුලත් විය.


මෙම ගිවිසුම් කටයුතු අවසන් වීමෙන් පසුව, මාරියල්ස් බොෂුවර් ආපසු සිය රටට යාමට රජුගෙන් අවසර ඉල්ලා සිටියේය. මේ වන විට මෙම තානාපතිවරයා රාජ්‍ය  සභාවේ ඉතා ප්‍රියමනාප සහ විශ්වාස කටයුතු පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. එහෙයින් රාජ සභාව ඔහුගේ ගමන නොයෙකුත් හේතූන් දක්වා පමා කලහ. මේ අතරින් ප්‍රධාන හේතුව ලෙස දැක්වූයේ, සෙනරත් රජු පෘතුගීසීන්ට විරුද්ධව යුධ වැදීමට සිදුවන අවස්ථාවකදී ගිවිසුමට අනුව නෙදර්ලන්ත රාජ්‍ය සමග මූලික එකගතාවයකට පැමිණිය යුතු අතර, එම එකගතාවය සදහා සාකච්ඡා කර තීරණයක් ගැනීමට රජු සමග නෙදර්ලන්ත තානාපතිවරයෙකු සිටිය යුතු බවය.


මේ අතර රජතුමා විසින් මොහුව මීගමුව ප්‍රදේශයේ පාලකයා ලෙස පත්කල හෙයින්, ඔහු මීගමුවේ මහා රාළ යන පටබැඳි නමින් ප්‍රසිද්ධ විය. මෙයට අමතරව සත්කෝරළයේ අනුරාධපුර හා මීපිටිගල මහා රාළ ලෙසද, යුධ සංවිධානයේ සම ප්‍රධානියා ලෙසද, නාවික හමුදාවේ ප්‍රධාන අද්මිරාල්වරයා ලෙසද, ඔහුව පත් කෙරිණ.


මෙලෙස මොහු කන්ද උඩරට රාජ්‍යයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන ලදි. මේ අතර මොහු සමග පැමිණි අනෙකුත්  ඹ්ලන්ද ජාතිකයන් ත්‍රීකුණාමලයේ බලකොටුවක් සෑදිමට සුදානම් වුහ. මේ බව ආරංචි වු කොළඹ සිටි පෘතුගීසිහු කන්ද උඩරටට උතුරු දෙසින් වටරවුමෙන් ත්‍රීකුණාමලය බලා පෘතුගීසීහූ දහසක් හා සිංහල හමුදා භටයින් තුන්දහසකින් සමන්විත වු හමුදාවක් යවා, ත්‍රීකුණාමලයේ සිටි ඕලන්ද ජාතිකයින්ට පහරදී ඔවුන් මරණයට පත් කර ප්‍රදේශය කොල්ලකෑහ.


මෙම ආරංචිය ලද විගස කන්ද උඩරට සෙනරත් රජතුමා විසින් මාරසිංහ ආරච්චි නැමැති සෙන්පතියෙකු යටතේ 5000 ක සිංහල හමුදාවක් මහනුවරින් යවා කුරුණෑගල ප්‍රදේශයේදී ආපසු කොළඹ බලා යන පෘතුගීසීන් වටකර පහරදී ඔවුන් බලවත් පරාජයකට පත් කලේය.


කෙටි කලකදීම මීගමුවේ මහා රාළ රජුගේ විශ්වාසවන්තම මිත්‍රයා හා උපදේශකවරයා බවට පත්විය. කන්ද උඩරට රාජ්‍ය සභාවේ මොහු කොතරම් බලගතු වූයේද යත්, රජු පෘතුගීසීන්ට විරුද්ධව කරන ලද විශාලතම සටනේ සම නායකත්වය මීගමුවේ මහා රාළට පිරිනැමීය. මෙම යුද්ධය සදහා භටයන් 50,000 ක හමුදාවක් රැස් කරන ලදි. එම හමුදාව පිහිටුවීම සදහා පවත්වන ලද යුධ සාකච්ඡාවට කන්ද උඩරට රජු යටතේ සිටි සියලුම ප්‍රාදේශීය පාලකයන් සහභාගි වූහ.


මෙලෙස රජු සිය හමුදාව සකස් කරමින් සිටින අවස්ථාවේදී, පෘතුගීසී හමුදාව යාපනයට පහර දීමට ගමන් කරන බව ඔහුට ආරංචි විය. වහාම තම හමුදාවේ කොටසක් එම පෘතුගීසී හමුදාවට පහර දීමට යැවීය. ඔහු පෘතුගීසී හමුදාවට පහරදී ඔවුන් පරාජය කලහ. මෙයින් කුපිත වූ පෘතුගීසී හමුදාව පලා යන අතරතුර මීගමුවේ මහා රාළගේ පාලන ප්‍රදේශය වූ මීගමුව අල්ලා ගෙන බලවත් විනාශයක් සිදු කලහ.


සෙනරත් රජුගේ ඥාති සහෝදරයා වූ, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ පුත් ඔටුන්න හිමි මහස්ථානේ කුමරු මේ කාලයේ මිය ගියේය. සෙනරත් රජු තම පුත් කුමරුට රාජ්‍ය බලය ලබා දීමට, මොහුට වස දී මරා දැමූ බවට සැක කල බැවින් රට වැසියන් රජුට විරුද්ධව නැගී සිටිමට සූදානම් වන විට, ඔවුන්ට කරුනු පහදා දී එම තත්වය පාලනය කරන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ විසිනි. මහස්ථානේ කුමරුගේ අවමඟුල් උත්සවයේ දරසෑයේ ගිණි දැල්වීමට සෙනරත් රජු විසින් පත් කරන ලද්දේ මීගමුවේ මහා රාළ බව කියවේ.



මෙකල පලුගම ප්‍රදේශයේ පාලකයා රජුට විරුද්ධව පෘතුගීසී සමග කුමන්ත්‍රණය කරන බව දැන ගන්නට ලැබී, ඔහුට රජු වෙත පැමිණෙන ලෙස රජු විසින් අණ කරන ලදි. ඔහු රාජ අණට අනුව නොපැමිණි හෙයින් මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ යටතේ විශාල හමුදාවක් එම ප්‍රදේශයට යවන ලදි. රාජ්‍ය හමුදාව පලුගම ප්‍රදේශයට පැමිණි පසු එම යුව රජු හමුදාවට යටත් වී, හමුදාවට වන්දි වශයෙන් විශාල මුදලක්ද ගෙවා පසුව කන්ද උඩරට මහා රජු බැහැ දැකිමට පැමිණියේය.


මෙහිදී බොහෝමයක් ප්‍රාදේශීය පාලකයන් ගෙන් සැදුම් ලත් විනිශ්චය සභාවකදී ඔහුට විරුද්ධව ඇති චෝදනා පරීක්ෂා කරන ලදි. එම චෝදනාව වූයේ පෘතුගීසී සමග කන්ද උඩරට රජු මරන්නට කුමන්ත්‍රණය කිරීම, එයට ත්‍යාග වශයෙන්ද කන්ද උඩරට රජුගේ දූ කුමරිය විවාහ කර ගැනීමට පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලා සිටීම හා කන්ද උඩරට රාජ්‍යයේ කොටසක් මඩකලපුව හා පලුගම එකතු කර ස්වාධීන රාජ්‍යයක් ඇති කර එහි පාලකයා බවට පත්වීමට පෘතුගීසීන් කුමන්ත්‍රණය කිරීමය.

මෙම විනිශ්චය සභාව විසින් චෝදනා විභාග කර ඔහු වැරදිකරු බව තීරණය කලෙන්, ඔහුට මරණ දඬුවම නියම කරන ලද අතර, එම මරණ දඬුවමින් පසු පලුගම ප්‍රදේශයේ පාලකයා ලෙස එම ප්‍රදේශයේ හිටපු පාලකයාගේ ඥාතියෙකු වූ සෙනරත් රජුට හිතවත් නායකයෙකු පත් කරන ලදි.

මේ අතර නාවික බලයක් කන්ද උඩරට රාජ්‍ය සදහා ස්ථාපිත කිරිමට සැලසුම් කල සෙනරත් රජතුමා, මීගමුවේ මහා රාළ තම නාවික හමුදාවේ අද්මිරාල්වරයා ලෙස පත්කර මූලික පියවරක් ලෙස යුධ නැව් 03 ක් සහ අවශේෂ යාත්‍රා 03 ක් තැනීමට කටයුතු සම්පාදනය කලේය. 1711 මැයි මස 16 වන දින මෙලෙස තනන ලද විශේෂ නෞකා ඉන්දියාවේ කොමරින් තුඩුව හා ශ්‍රී ලංකාව අතර යාත්‍රා කරන සතුරු නැව් විනාශ කිරීමට නියෝග සහිතව පහත කපිතාන්වරු යටතේ ත්‍රීකුණාමලයේ වරායෙන් පිටත් විය.

1.  ‘කැන්ඩි‘ යුධ නෞකාව          -            කපිතාන් සුන්දර අප්පු
2.  ‘ඕලන්ද‘ යුධ නෞකාව          -            කපිතාන් ක්‍රිස්ටිනා
3.  ‘මීගමුව‘ යුධ නෞකාව          -             කපිතාන් දිංගප්පා
4.  ‘ෆෝචූන්‘ යාත්‍රාව                  -             කපිතාන් ඕදියා
5.  ‘ගෙලුක්‘ යාත්‍රාව                   -              කපිතාන් මාරසිංහ
6.  ‘ඩී ට්ර වාවේ‘ යාත්‍රාව            -               කපිතාන් සුන්දරප්පා
         
මෙම නැව් කණ්ඩායමේ අද්මිරාල්වරයා ලෙස ඌවේ කුමාරයාගේ බෑනෙකු කටයුතු කල අතර, උප අද්මිරාල්වරයා වූයේ වණ්ඩිගේ නේ හැන්නි නැමැත්තෙකි. මෙම කණ්ඩායම මීගමුව, මන්නාරම සහ ඉන්දියාවේ කැලිකට් යන ප්‍රදේශයන් අවට සාගරයේ නොයෙකුත් පෘතුගීසී නෞකා සමග සටන් කර මේවා විනාශ කර, විශාල වස්තු සම්භාරයක් සහ යුධ සිරකරුවන් බොහොමයක් සමග 1613 මාර්තු මස 06 වන දින ආපසු ත්‍රීකුණාමල වරායට පැමිණියේය. මෙම නෞකාවල නිලධාරීන් හා නැවියන් මහනුවරට පැමිණි සෙනරත් රජු බැහැ දුටු පසු, ඔවුන්ට නොයෙකුත් තෑගි බෝග බෙදා දුන් බව සදහන් වේ.

1613 මැද භාගයේදී කන්ද උඩරට ඔටුන්නට නියම හිමිකාරිය හා කරල්ලියද්ද රජුගේ දියණියද  වූ, විමලධර්මසූරිය රජු හා සෙනරත් රජු යන දෙදෙනාගේ අග මෙහෙසිය වූත් දෝන කතිරිනා බිසව මිය ගියේය. ඈ මිය යාමට පෙර ඇගේ දරුවන්ගේ ඉදිරි අනාගතය බාර දෙන ලද්දේ මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරු හටය. ඔවූහූ එම තරමටම එකල රාජකීය පවුලේ විශ්වාසය දිනා සිටියහ.

මින් ටික දිනකට පසු සෙනරත් රජුද බලවත් ලෙස රෝගාතුර වූයෙන්, රජු දියතිලක (දැන් හගුරන්කෙත) වෙත ගෙන යන ලදි. මෙහිදී රජු විසින් තමන්ගේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාශ කිරීම සදහා රාජ සභාව දියතිලක නුවරට කැදවා තම දරුවන්ගේ අනාගතය හා ආරක්ෂාව මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරුට භාර දුන්නේය. තම දරුවන්ගේ භාරකාරත්වය මීගමුවේ රාළට හා ඌවේ කුමරුට බාරදීම පිළිබඳව උපදෙස්  රන් පත්‍රයක ලියවා රාජ සභාවේ සාමාජිකයන්ට බෙදා දෙන ලදි. රජු මෙලෙස තම අවසන් කැමැත්ත ඒ අවස්ථාවේ ප්‍රකාශ කල නමුත් ඔහු සුවපත්වී තවත් බොහෝ කල් ජීවත්වූ අතර, ඔහු අසනීපව සිටි කාලයේ රජුගේ හමුදාවන් හා රාජ්‍ය කටයුතු බොහෝමයක් පාලනය කරන ලද්දේද මොවුන් දෙදෙනා විසිනි.

මෙකල පෘතුගීසීන්ට විරුද්ධව කරනු ලැබූ යුධ කටයුතු සංවිධානය කරන අතර තුර, පෘතුගීසීන්ගේ උගැනුමට කන්ද උඩරටට විරුද්ධව කැරලි ගැසූ කන්ද උඩරටට අයත් ප්‍රාදේශීය පාලකයන් පාලනය කර තබා ගැනීම මහත් අපහසු කටයුත්තක් විය. උඩරටට රජුගේ හමුදාව එක් ප්‍රදේශයක ස්ථානගත වන විට, වෙනත් ප්‍රදේශයක ප්‍රාදේශීය පාලකයාට අල්ලස් හා වෙනත් පොරොන්දු මගින් පොලබවා කැරලි ගැස්වීමට පෘතුගීසීන් දිගින් දිගටම කටයුතු කලහ. මේ කටයුතු වලදී රජුගේ හමුදාවන් බොහෝ විට මෙහෙය වන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ කුමාරයා විසිනි.

1614 දී පෘතුගීසීන් විශාල කණ්ඩායමක් ඔවුනට පක්ෂපාතී සිංහල හමුදාවකද සහාය ඇතිව මහනුවර ආක්‍රමණය කිරීමට කොළඹ සිට ගමන් ඇරඹූහ. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී උඩරට රජුගේ හමුදාව මෙම පෘතුගීසී හමුදාවට මුහුණ දුන් අතර, දරුණු සටන් වලින් පසුව පෘතුගීසීන් අන්ත පරාජයට පත්විය. පෘතුගීසී හමුදාවේ සිටි සිංහල භටයන්ගෙන්ද 2500 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඉතිරි පෘතුගීසී භටයන් වනයට රිංගා ගෙන තම ජීවිත බේරා ගත්හ. මෙම සටන දක්ෂ ලෙස මෙහෙයවූ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ සටන් ජයග්‍රණයෙන් පසුව, ඉතා හරසරින් මහනුවරින් පිළිගනු ලැබූහ.


මේ වන විට තමන්ට බටහිර උදව් නොමැතිව පෘතුගීසින් හා සටන් කර යුද්ධ වලින් ජයගත හැකි නමුදු පෘතුගීසීන් ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දැමීමට නම්, මුහුදු බලයක උදව් අවශ්‍ය  බව කන්ද උඩරට සෙනරත් රජුට පෙනී ගියේය. මේ සදහා යුරෝපීය නාවික බලයක් සමග ගිවිසුමකට පැමිණි යුතුයැයි කල්පනා කල සෙනරත් රජු, ඉන්දියාවේ සිටි ඕලන්දවරුන් වෙත උදව් ඉල්ලා හසුනක් යැවීය. එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ පැහැදිලි විස්තර ලබා ගැනිමට, ශ්‍රී ලංකාවේ පුලුල් අත්දැකීමක් ඇති කන්ද උඩරට රාජධානියේ සිටින මීගමුවේ මහා රාළ ඔවුන් වෙතට එවන ලෙසට ඕලන්දයෙන් ඉල්ලා සිටියහ. මේ ඉල්ලීමට නුවර සෙනරත් රජු මීගමුවේ මහා රාළ තමන්ගේ සියලු බලතල සහිත තානාපතිවරයෙකු බවට පත් කර, එම ඉල්ලීමට අනුව තමන් වෙනුවෙන් රජවරුන් සමග සම්මුතියකට පැමිණීමට සියලු බලතලද පවරා 1616 දි යුරෝපීය වෙත පිටත් කරන ලදි. මේ සදහා බලතල පිළිබඳ නොයෙකුත් ලිපි ලේඛන රාජකීය මුද්‍රාද ඔහු වෙත ලබාදෙන ලදි. මීගමුවේ මහා රාළ 1615 මැයි මස 09 වන දින ලංකාවෙන් පිට වී ජූලි මස 02 වන දින ඉන්දියාවේ මසුලිපිට් යන නගරය වෙත පැමිණියේය.

මීගමුවේ මහා රාළට සෙනරත් රජු විසින් දුන් ලිපියේ මෙසේ සදහන් වේ.

"ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යයා වූද, මහනුවර සීතාවක ත්‍රීකුණාමලය, යාපා පටුන, සත්කෝරලය, මන්නාරම, මඩකලපුව, පලුගම සහ යාල රාජ වූද, වඩමාරච්චි සහ පස්දුන් කෝරලයේ කුමාරයාද, බෙලිගම සහ ගාල්ලේ ඩියුක්වරයා වූද, කුරුවිට බටු ගෙදර සහ සතර කෝරලයේ කවුන්ට්වරයා වූද, සෙනරත් අදසින් විසින් මෙලෙසින් ලියා දන්වමි.

ඔබගේ මාර්තු 13 වන දින ලිපිය ලදිමි. එහි සියලු කරුණු හොඳින් තේරුම් ගතිමි. අප ඇති කර ගත් ගිවිසුම් සහ පොරොන්දු ඔබේ පැමිණීමෙන් හොඳින් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරමි. අපට මෙතෙක් කල් දුන් පොරොන්දු වසර 03 ක් ගත වීමෙන් පසුවත්, ඉටු වී නොමැති බව ප්‍රකාශ කරමි. මීගමුවේ මහා රාළ ශ්‍රී  ලංකාවට ප්‍රථමයෙන්ම පැමිණෙන විට, ඕලන්ද රජයෙන් ඔහු අත එවා තිබූ ලිපිවල සඳහන් පොරොන්දු ඉක්මනින් ඉටුකරනු ඇතැයිද මා බලාපොරොත්තු වෙමි. ඔබේ පොරොන්දු එලෙසම ඉටුකරන්නේ නම්, මම පෘතුගීසින් සමග සටන් දිගටම කරගෙන යන්නෙමි.

ඔබ විසින් ඔබේ ලිපියෙහි ඉල්ලා සිටි පරිදි මගේ රාජ්‍යයේ සහ මා පිළිබඳව කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට මීගමුවේ මහා රාළ මේ සමග එවන්නෙමි. අපගේ රාජ්‍ය සභාවේ ඔහුගේ ස්ථානය ගැනීමට ඔබ විසින් එවන ලද ග්‍රිස්බ්රෙඩ් වෑන් සූලන්ඩ් (Grisbread Van Zoolend) පිළිබඳව මගේ අකමැත්තක් නැති වුවද, මීගමුවේ මහා රාළ මගේ රාජ්‍යයෙන් පිට වී යාම පිළිබඳව මම මහත් දුකට සහ අසහනයටත් පත්වුනෙමි. නමුත් ඔහුද ගමනට කැමති වූ නිසාත්, ඔහු විසින් පෘතුගීසීන්ට විරුද්ධව උදව් රැගෙන පැමිණෙන බව පොරොන්දු වූ නිසා අකමැත්තෙන් වුවද මම ඔහු ඔබ වෙත එවමි.

ඔබගේ ලිපියේ පෘතුගීසීන් පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න අසා තිබුණි. මහා රාළට ඒ පිළිබඳව මගේ දැනුම සමානම දැනුමක් ඇත. රාජපාක්ෂිකභාවය පිළිබඳව ඔහු මට දිව්රා පොරොන්දු වී ඇති හෙයින්ද, ඔහු ඕලන්ද ජාතිකයෙකු නිසාවෙන්ද, දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි මීගමුවේ මහා රාළ කටයුතු කරන බව මට හොදටම විශ්වාසය.

දැනටමත් මෙම ලිපිය සටන් බිමේ සිට ලියන නිසා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට අපහසුය. මීගමුවේ මහා රාළ විසින් මේ පිළිබව පවසන බවට කරුණාවෙන් සලකන්න.
මම මේ සමග තෑගි වශයෙන් අලියෙන් දෙදෙනෙකු ඔබ වෙත එවමි. ඔවුන් කරදරයක් නොමැතිව ඔබ වෙත පැමිණෙන බවටත්, ඔවුන් නිසා ඔබ සතුටට පත්වන බවටත් මා හට සැකයක් නොමැත. 2000 ක පමණ හමුදාවක් යුධ නැව් සමග ලබාදීමට ඔබට හැකිනම් ඔවුන්ගේ උදව්වෙන් මට පෘතුගීසීන් ලංකාවෙන්ම සහමුලින්ම උපුටා දමන්නට හැකිය. ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
1615 මාර්තු 14 වන දින වේඬරුවේදී හදිසියෙන් මෙම ලිපිය ලීවෙමි.“

එකල ඉන්දියාවේ සිටි නෙදර්ලන්ත හමුදා ඉන්දීය රජවරුන් සමග සටන් කිහිපයක යෙදී සිටි නිසා, මහනුවර සෙනරත් රජුට උදව් කිරිමට ඔවුන්ගේ හමුදා බලයන් ප්‍රමාණවත් නොවූ හෙයින්, නෙදර්ලන්තයට ගොස් එහි පාලකයා ඔරේන්ජ් මහා රජුගෙන් උදව් ඉල්ලා සිටින ලෙස දක්වා මීගමුවේ මහා රාළ ඉන්දියාවේ සිට ඔවුන්ගේ මව් රට වූ නෙදර්ලන්තය බලා පිටත් කරන ලදි.

මීගමුවේ මහා රාළ තමන්ට උඩරටදී බලාදී තිබූ නම්බු නාම හා වෙනත් තානාන්තර නිසා බලවත් ලෙස උඬගු බවට පත්ව සිටියේය. මේ හේතුවෙන් නෙදර්ලන්තයේ බාහිර වෙළඳ හා යුධ කටයුතු පාලනය කල අධ්‍යක්ෂ මණ්ඩලයටද වඩා තමා වැදගතෙකු බව කල්පනා කර, උඬගු ලෙස හැසිරීමෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිවිසුම් ඇතිකර ගැනිමට අපහසු තත්වයක් උදාකර ගත්තේය.

පසුව මීගමුවේ මහා රාළ නෙදර්ලන්තයේ අසල්වැසි රටක් වූ ඩෙන්මාර්ක් රටට ගොස් එහි රජ වූ හතරවැනි ක්රිෙස්ටියන් රජු ( Christian 04 th) නෙදර්ලන්තයේදී හමු වී ඔහු සමග සාකච්ඡා කර උඩරට රජු වෙනුවෙන් 1618 මාර්තු 30 වන දින ඩෙන්මාර්ක් රජය හා ගිවිසුමකට පැමිණියේය.

මෙම ගිවිසුම අනුව ඩෙන්මාර්කයේ රජු විසින් මීගමුවේ මහා රාළ වෙත නෞකා දෙකක් සපයන ලද අතර, ඩෙන්මාර්කයේ ව්‍යාපාර ආයතනයක් විසින් තවත් නැව් 05 සහිත හමුදාවකින්ද සමන්විත මෙම කණ්ඩායම වංශාධිපතියෙකු වූ ඕවී ගිඩන් යටතට පත් කරන ලදි. මිගමුවේ මහා රාළ මෙම ගමනට තමන්ගේ නෙදර්ලන්ත බිරිඳද, ඔවුන්ගේ දූවරු තිදෙනාද, අලුත උපන් පුතනුවන්ද, සහභාගි කරවා ගත්තේය.

මුහුදු ගමනේදී තම පවුලට රාජකීය පවුලකට හා සමානව ගෞරව කරන ලෙසට කණ්ඩායමේ අනික් අයට බල කිරීම නිසා, එම පවුල කණ්ඩායමේ අනෙකුත් අයගේ අප්‍රසාදයට පත්ව සිටි බව සඳහන් වේ. එංගලන්තය අසල ඉංග්‍රීසි ඕඩය හරහා නෞකා පැමිණ අතර, ඉතාමත් අපහසු වූ දුෂ්කර මාස 22 ක මුහුදු ගමනකින් පසු එම නෞකා මඩකලපුව හා ත්‍රීකුණාමලයට ලඟා වූහ.

ගමනේ අපහසුතාවය නිසා විශාල පිරිසක් මියගිය අතර, මිගමුවේ මහා රාළ හා ඔහුගේ පුතාද මියගිය පුද්ගලයන් අතර විය. ඕවී ගිඩන් ඔහුගේ හමුදාව හා නැව් එක්රැස් කර, ඔහුගේ හමුදාවන්හි ප්‍රමාණයන් හා අනෙකුත් විස්තරද මිගමුවේ මහා රාළ පිළිබඳ අවාසනාවන්ත විස්තරය කන්ද උඩරට රජුට දන්වා යැව්වේය. මීගමුවේ මහා රාළ මියගිය පුවත ඇසිමෙන්ද, මෙම හමුදාවන් සදහා අති විශාල කුලියක් ඩෙන්මාර්කය විසින් ඉල්ලා තිබිම නිසා රජු එම ඉල්ලීම් වලට අනුව මුදල් ගෙවීමට කැමති නොවිය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඕවී ගිඩන් මහනුවරට පැමිණි අතර, ඔවුනට ගෙවිම් කිරීමට පෙර පෘතුගීසින් රටින් සම්පූර්ණයෙන්ම පිටත් කල යුතු බව සෙනරත් රජු ඉල්ලා සිටියේය. මේ අතර ත්‍රීකුණාමල වරාය ඩෙන්මාර්ක්වරුන්ට පවරා දෙන අතර, රටතුල වෙළඳාම කරගැනීමටද ඔවුන්ට ඉඩදෙන ලදි.

සාකච්ඡා කිහිපයකින් පසුවද මහනුවර රජු මුදල් ගෙවීමට අකමැති වූ හෙයින්, නෞකාවල තිබූ මීගමුවේ මහාරාළට අයිති වස්තුව, ශ්‍රී ලංකාවට නෞකා එවීම සදහා ඩෙන්මාර්ක් රජුට වූ වියදම් හිලව්වට තබාගෙන, ඒ දක්වා  නැවේ තිබූ මීගමුවේ මහාරාළගේ හා පුතාගේ සිරුරු මිහිදන්කර, ඔවුන්ගේ බිරිඳ සහ දූවරු තිදෙනා ඔවුන්ගේ ඉල්ලීමට අනුව මහනුවර බලා පිටත් කරන ලදි.

ඕවී ගිඩන් විසින් මීගමුවේ මහාරාළගේ ආදාහනය ඉතා චාම් ලෙසත්, ඔහුගේ අවුරුදු තුනක් වයස දරුවාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විත ලෙසත් සිදු කරන ලදි. එසේ කරන ලද්දේ එම දරුවා ඩෙන්මාර්ක් රජු විසින් තමන්ගේ දරුවෙකු ලෙස ඩෙන්මාර්කයේදී බෞතීස්ම කරන ලද නිසාය.


මහනුවර වසර තුනක් පමණ ජීවත්වූ මීගමුවේ මහාරාළගේ බිරිඳ හා දියණියන්ට මහනුවර රජු විසින් ඉතා හොදින් සංග්‍රහ කල අතර, ඉන්පසු ඉන්දියාවේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ ඉල්ලීමට අනුව ඉන්දියාවට යවන ලදහ.


කුරුල්ලන් බැදි මාලය හෙවත් විජයපාල කුමරුගේ සම්පූර්ණ කථාව.



                            කුමරු ජීවත්වූ ගෝවේ එකල දර්ශනයක්.

කන්ද උඩරට කලකට පෙර පාලනය කරන ලද කරල්ලියද්දේ බංඩාර (1551-1581) නම් වූ රජ කෙනෙකුගේ දියණිය වූ කුසුමාසන කුමරිය,තම පිය රජුගේ රාජධානිය සීතාවක රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් අනතුරුව පිය රජු මියගිය හෙයින්, මන්නාරමේ පෟතුගීසීන් යටතේ ඇති දැඩි වූවාය. 

කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගැනීම සදහා එම ප්‍රදේශ වාසීන්ගේ උදව් ලබා ගැනිමට එම රජ පවුලේ කෙනෙකු අවශ්‍ය වූ නිසා, මන්නාරමේ පෟතුගීසි බලකොටුවේ ඇති දැඩි වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් විසින් මහනුවරට රැගෙන එන ලදි. මෙම කුමරිය සමග කන්ද උඩරට බලය අල්ලා ගැනීමට පැමිණි පෟතුගීසි හමුදා හා මහනුවර විමලධර්මසූරිය රජු අතර බලවත් සටන් පැවතිණ.


 එම සටනින් පෟතුගීසීන් පරාජය කර මහනුවර බලය තහවුරු කර ගත් විමලධර්මසූරිය රජු, පෟතුගීසීන් රැගෙන එන ලද කුසුමාසන දේවිය විවාහ කරගෙන මහනුවර රාජධානිය සදහා තමන්ට ඇති අයිතිය තහවුරු කර ගත්තේය. මුලින් කුසුමාසන දේවිය නම් වූ ඇය පෟතුගීසීන්ගේ ආරක්ෂාවට පත් වූ පසු දෝන කතිරිනා  (පෘතුගීසි හා ස්පාඤ්ඤ ගරු නම්බු ආමන්ත්‍රණයක්) නමින් හැඳින්විණ.


1608 වර්ෂයේ වසර 12 ක රාජ්‍ය කාලයකින් පසු විමලධර්මසූරිය රජු මිය ගියෙන් ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ සෙනරත් කුමරු හා ඌවේ කුමරු අතර කන්ද උඩරට රජකම සදහා තරඟයක් ඇති විය. අවසානයේදී සෙනරත් කුමරු විසින් මහනුවර මහා වාසලදීම ඌවේ කුමරු ඝාතනය කර කන්ද උඩරට රජකම ලබා ගත්තේය.


සෙනරත් රජු රජකමට පත් වීමෙන් පසු, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ බිසව වූ දෝනකතිරිනා දේවිය තම බිසව කර ගත්තේය. මෙලෙස ඇය සෙනරත් රජු හා විවාහ වන විමලධර්මසූරිය රජුගෙන් දෝනකතිරිනා දේවියට දූ කුමරියන් දෙදෙනෙකු සහ පුත් කුමරෙකු සිටියේය. ටික කලකින් මේ කුමරා මිය ගියේය. තම දරුවනට රාජ්‍ය ලබාදීම සදහා විමලධර්මසූරිය රජුගේ පුත් කුමරු වස දී මරා දැම්මේ යැයි ජනතාව අතර සෙනරත් රජු කෙරෙහි අප්‍රසාදයක් ඇති වූ නමුත්, කලකින් එය පහව ගියේය.


දෝනකතිරිනා රැජිනට හා සෙනරත් රජුට කුමාරසිංහ, විජේපාල සහ මහා අස්ථාන යන නමින් පුත් කුමරුන් තිදෙනෙකු වූහ.


බොහෝ කලක් පෟතුගීසීන් යටතේ හැදී වැඩුණු හෙයින්, දෝනකතිරිනා දේවිය ක්‍රිස්තියානි ආගමට හා යුරෝපීය ගති සිරිත් වලට ලැදිකමක් දැක්වූවාය. එහෙයින් තමන්ගේ දරුවන්ටද අධ්‍යාපනයක් ලබාදීම සදහා, ඇය කතෝලික පූජකවරයන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කලේය. විජේපාල කුමරුන් හට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ෆ්රැන්සිස්කෝ නෙග්‍රෝවා (The Padre Frey/Francisco Negrao) නමැති පූජකවරයා විසිනි.


මෙම පූජකවරයාගේ ආභාෂයෙන් විජේපාල කුමරු, සිංහල රජකුමරෙකු ලෙස ජීවත් වනවාට වඩා පෟතුගීසි ගතිගුණ සහ හැසිරීම් අගය කරන පෟතුගීසි කුමරෙකු ලෙස ජීවත්වීමට කැමති පුද්ගලයෙකු බවට පත්විය.

මහා අස්ථාන කුමරුන්ගේ යුධ නිපුණතාවය සහ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතා තේරුම් ගත් සෙනරත් රජු ඔහුගේ රාජධානිය බාලම පුත් කුමරා වන මහා අස්ථාන කුමරු වෙත පවරා දීමට තීරණය කරන ලදි. නමුත් පිය රජුගෙන් පසු රජකම හිමි විය යුත්තේ වැඩිමහල් පුත් කුමරු හටය. තම රාජධානිය වැඩිමහල් පුත් කුමරුට නොපවරා මහා අස්ථාන කුමරුට ලබා දීම සදහා, සෙනරත් රජු උපක්‍රමයක් යෙදූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.


මේ අනුව තම රාජධානිය ඌව, මාතලේ  සහ මහනුවර යනුවෙන් කොටස් තුනකට බෙදා, කුමරුන් තිදෙනා හට පවරා දෙන බව  සැල කරන ලදි. රජුගේ අවශ්‍යතාවය වූයේ තම රාජධානියේ අගනුවර වන මහනුවර, මහා අස්ථාන කුමරු හට ලබා දීමටය. ඒ අනුව ඔහු උපක්‍රමයක් යෙදුවේය. එනම් මෙම රාජධානි තුන, කුසපත් ක්‍රමයකට බෙදා දීමට තීරණය කිරීමය. එහිදී පිය රජු විසින් තම බාල පුත් කුමරා හට මහනුවර රාජධානිය යනුවෙන් සඳහන් ඇති කුසපත් ලබා ගන්නා ආකාරය පිළිබද කුසපත් ඇදීමට පෙර රහසේ උපදෙස් දුනි.

ඒ ආකාරයටම වැඩිමහල් කුමරු වූ කුමාරසිංහ කුමරුට ඌවද, විජේපාල කුමරුට මාතලේද, මහා අස්ථාන කුමරුට, රාජධානියේ අගනුවර වූ මහනුවරද ලැබුණි.


කන්ද උඩරට රාජ්‍යයේ යුධ කටයුතු මෙහෙයවීම මෙම කුමරුන් තිදෙනාට බාර වූ අතර, 1630 වර්ෂයේ ඌවේහිදී ඇති වූ මහ සටනකින් එකල ලංකාවේ පෟතුගීසි ජෙනරාල් වරයා වූ කොන්ස්ටන්ටිනෝ නොරන්හා (Constantino de Say Noronha) ඇතුලුව මුලු පෟතුගීසි හමුදාවම සමූල ඝාතනය කිරීමට මේ කුමරුන් තිදෙනාට හැකියාව ලැබුණි.


1634 දී සෙනරත් මිය ගියෙන් රාජ්‍ය  පාලනය කුමරුන් තිදෙනාට භාර විය. කුමාරවරු තිදෙනා මහනුවර රාජ සභාවේ සිට සිය ප්‍රදේශ පාලනය කරමින් සිටියහ. මොවුන් අතරින් වැඩිමහල් කුමරා වූ කුමාරසිංහ කුමරු රාජාභිෂේක කරන ලද අතර, අනික් කුමාරවරු දෙදෙනා ඔහුගේ ප්‍රාදේශීය පාලකයන් ලෙස සැලකිණ. 1634 වර්ෂයේදී ඌව ප්‍රදේශය පාලනය කල කුමාරසිංහ කුමරු මිය ගියේය.


මේ අවස්ථාවේදී මීලඟට ජේෂ්ඨ කුමරු වූ විජේපාල කුමරු අභිෂේක කරනු ලැබිය යුතු වුවද, රාජධානියේ ප්‍රධාන නුවර වූ සෙන්කඩගල පාලනය කල මහා අස්ථාන කුමරු වැඩි බලයකින් යුතු වූ හෙයින්, රාජසිංහ නමින් රාජාභිෂේක ලැබීය. මිය ගිය කුමාරසිංහ කුමරුට අයිති වූ ඌව රාජ්‍යයද මහනුවරට ඈඳා යා කර ගත් රාජසිංහ රජු, කුමාරසිංහ කුමරුට අයිති වූ සියලු වස්තුවද තම සන්තකයට ගෙන, මුදල් පෙට්ටි දෙකක් පමණක් විජේපාල කුමරුට ලබා දුන්නේය.



මෙම ආරවුල නිසා රාජසිංහ රජු හා විජේපාල කුමරු අතර මත භේදයක් ඇති වී විජේපාල කුමරුන් මහනුවරින් ඉවත්ව මාතලේ වාසය කිරීමට පටන් ගත්තේය.


මෙකල ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය තුල පෟතුගීසිහු මෙම ආරවුල ප්‍රයෝජනයට ගෙන, සිංහල රජ පවුල දෙකඩ කර කන්ද උඩරට රාජ්‍ය යටත් කර ගැනීමට කුමන්ත්‍රණය කලහ. මෙම අදහස එවකට ලංකාවේ සිටි පෟතුගීසි පාලකයා වූ මෙලෝඩි කැස්ට්රෝ කපිතාන් ජනරාල්වරයා විසින් ගෝවේ පෟතුගීසීන් වයිස්රෝයිවරයා වෙත ලියා දන්වන ලදුව, ඔහු විසින් පෟතුගාලයේ අගනුවර වූ ලිස්බන් නගරයෙහි රාජ සභාව වෙතින්ද, මේ සදහා අවසර ලබා ගත්තේය.

මෙම සැලසුම අනුව විජේපාල කුමරුට ඔහුගේ පිරිවරත් සමග කොළඹට පැමිණ, පෟතුගීසිනට එකතු වන ලෙසටද, එලෙස එකතු වූ පසු ඔහුට සත්කෝරළයේ පාලක තනතුර ලබා දෙන බවද, ඉන් පසු පෟතුගීසි හමුදාව සහ ඔහුගේ හමුදාව එකතුව මහනුවර යටත් කර ඔහු කන්ද උඩරට රජු බවට පත් කරන බවටද, පෟතුගීසි නිලධාරීහු රහසේ පැමිණ ඔහුට දන්වා සිටියහ.

විජේපාල කුමරු මේ අදහසට තරමක කැමැත්තක් දැක්වුවද, ඒ කාලයේදීම සහෝදරයන් දෙදෙනා අතර මතභේදය සමතයකට පත් වූයෙන්, නැවතත් ඔහු මහනුවර රාජ සභාවේ කාලය ගත කිරීමට පටන් ගත්තේය. බාල සොහොයුරු මහා රජු වශයෙන් සිටියදී වැඩිමහල් එමෙන්ම දක්ෂ හැකියාවලින් හෙබි කුමාරයෙකු තම බාල සොහොයුරාගේ රාජ සභාවේ සිටීම ඉතාමත් අවුල් සහගත එමෙන්ම ඇවිලෙන සුලු තත්වයක් බව නොකිවමනාය.
වසර කිහිපයකට පසු, 1638 දී පෟතුගීසි හමුදාව කන්ද උඩරටආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය පෟතුගීසි ජෙනරාල්වරයා විසින්ම මෙහෙයවන ලද්දේය. මහනුවරට ඇතුලුවන දන්තුරේ ප්‍රදේශයේදී ඇති වූ පෟතුගීසි හමුදාව හා කන්ද උඩරට හමුදා අතර ඇති වූ මහ සටනින් පෟතුගීසි හමුදාව පරාජය විය. මෙහිදී ජෙනරාල්වරයා ඇතුලුව පෟතුගීසි හමුදාව 2500 ක් පමණ මිය ගිය බව සඳහන් වෙයි.

මෙම සටනට විජේපාල කුමරුද තම හමුදා සමග සහභාගි වුවද, සටන අවසානයේ පෟතුගීසිනට ඇති අනුකම්පාව නිසා, සමහර පෟතුගීසි සිරකරුවන් නිදහස් කිරිමට උත්සාහ කලේය. මෙය ආරංචි වී කෝපයට පත් රාජසිංහ රජු, විජේපාල කුමරු ටික දිනකට සිර භාරයට පත් කලද, පසුව ඔහු සිර භාරයෙන් නිදහස් කර නැවත මාතලේ ප්‍රදේශයට පිටත්කර යැවීය.

1641 ජුලි මාසයේදී යම්කිසි සිදුවීමක් නිසා, රාජසිංහ රජුගේ හමුදා සහ විජේපාල කුමරුගේ හමුදා අතර ඌවේහිදී සටනක් ඇති වූ අතර, මෙම අවස්ථාවේ ලන්දේසි ආක්‍රමණය නිසා, බලවත් දුෂ්කරතාවයකට පත්ව සිටි පෟතුගීසි ආණ්ඩුකාරවරයා විජේපාල කුමරුට තම හමුදාවත් සමග කොළඹට පැමිණ තමනට උදව්කරන ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් මෙය කරන්නට ඇත්තේ සහෝදරයන් අතර විරසකය තවත් වැඩි කරන්නට විය හැක.

2000 ක් පමණ වූ තමන්ගේ හමුදාවද, රාජ සභාවද සමග විජේපාල කුමරු කොළඹ නගරයට පැමිණියේය. ඔහු අධිරාජ්‍යයෙකුට ගැලපෙන පරිදි අලංකාර රාජකීය උත්සවයක් පවත්වා කොළඹ නගරයට පිළිගන්නා ලදි.

මෙම වකවානුවේදී ඕලන්ද යුධ නෞකා හතක් කොළඹ කොටුව ආක්‍රමණය කිරීමට කොළඹ අවට මුහුදේ නැංගුරම්ලා සිටියහ. පෟතුගීසිහු කොටුව ආරක්ෂා කර ගැනීම සදහා කටයුතු සම්පාදනය කරමින් සිටින විට, මෙලෙස විශාල හමුදාවක් උදව්වට පැමිණීම පෟතුගීසීන්ගේ ඉමහත් සතුටට කරුණක් විය. ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා විජේපාල කුමරු තමන්ගේ වියදමින්ම කොළඹ කොටුවේ මාපනේ දිය අගලද, ප්‍රතිසංස්කරණය කරවීය.

සති කිහිපයකින් විජේපාල කුමරුගේ හමුදාව සහ පෟතුගීසි හමුදාව අතර මතභේදයක් ඇති වී, පසුව එය සටනක් බවට පරිවර්තනය විය. මෙම සටනින් දෙපාර්ශවයේම කිහිප දෙනෙකු මිය ගියහ.

මෙයින් විජේපාල කුමරු සහ පෟතුගීසි ආණ්ඩුකාරවරයා අතර හොඳ හිත පලුදු විය. විජේපාල කුමරුගේ ගමන් බිමන් ආදිය පාලනය කර ඔහු නිවාස අඩස්සියේ සිටින සිරකරුවෙකු බවට පත් විය. මෙයින් බලවත් කම්පාවට පත් කුමරු, පෟතුගීසීන් විසින් තමන් රවටන ලද බවද, තමාට වූ පොරොන්දු සියල්ල අමතක කර තමා දැන් සිරකරුවෙකු බවට පත් කර ඇති බැවින්ද, තමනට කොළඹ කොටුවෙන් නිදහස්ව යාමට උදව් කරන ලෙස ඉල්ලා එවකට මඩකලපුවේ සිටි ලන්දේසීන් වෙත රහස් ලිපියක් යවන ලදී.

විජේපාල ගෙන් ඕලන්දවරු වෙත,

ශ්‍රී ලංකාවේ පිහිටි බලකොටුවල හෝ ඕලන්ද නැව් වල සිටින ඔවුන්ගේ ඉහල සහ පහල තරාතිරම් වල නිලධාරීන් වෙත,

දෙවියන්ගේ නාමයෙන් ලියමි.

සියලුම නායකයන්ගේ නායකයා වෙමි. දෙවි කෙනෙකු හා සමානය. සාගරය හා ශේෂ්ඨය. සූර්යා මෙන් බැබලෙන්නෙමි. තුන් ලෝකයටම අධිපති වෙමි. සෑම විටම සත්‍ය කතා කරන සියලුම දේ පැහැදිලිව තේරුම් ගන්නා උපකාර අවශ්‍ය වූ  සියලු දෙනාට උපකාර කරන, විජේපාල කුමරු වන මම මේ ලිපිය ලියමි.
මාගේ සහෝදර රාජසිංහ රජු, මට කරන ලද අසාධාරණ ඔබ දන්නෙහිය. ඔහු විසින් මට කරන ලද අසාධාරණයන් විස්තර කරන්නට මට වචන නැතිය. මට විරුද්ධව ගාල්ලේ සිට මඩකලපුව දක්වා පාර වසා ඔහු කල වැරැද්දෙන් අද මා සිරකරුවෙකුව සිටිමි. පෟතුගීසීන් හා ඔහු කල සටන් වලදී, මම හැම විටම මගේ හමුදා සමග මම ඔහුට උදව් කලෙමි. එහෙත් මෙම උදව් වලට ඔහු විසින් කෟතගුණ සලකන ලද්දේ මට තවත් අසාධාරණකම් කිරීමෙනි.

මම මෙහි පැමිණීමට පෙර, මඩකලපුවේ ලන්දේසි කපිතාන් වරයාට මට උදව් කරන ලෙස ඉල්ලා ලිපියක් යැව්වෙමි. එහෙත් ඒ සදහා මට පිළිතුරක් වත් නොලැබිණ. ඉන්පසු මම මගේ හමුදාවත් සමග කොළඹ පෟතුගීසීන් වෙත පැමිණියෙමි. මම කොළඹට පැමිණ දින නවයකට පසු, ලන්දේසි යුධ නැව් කිහිපයක් කොළඹ අසලට පැමිණියහ. කොළඹ පෟතුගීිසි ජෙනරාල්වරයා මහත් බියට පැමිණ, මගේ හමුදාවෙන් කොළඹ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ මුලු කොළඹම මගේ භාරයේ පැවතිණ.  නමුත් මට ලන්දේසි නැව් සමග පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකි විය. ටික දිනකට පසු, ගාල්ල කොටුවේ සිටින ලන්දේසි හමුදා පානය කරන ජලයට වස මිශ්‍ර කර ඔවුන් සමූල ඝාතනය කිරීමට උදව් කරන ලෙසට පෟතුගීසි ජෙනරාල්වරයා මගෙන් ඉල්ලා සිටියේය.

“මගේ සහෝදර රාජසිංහ රජු, ඕලන්ද අද්මිරාල් වරයාට ද්‍රෝහි ලෙස කටයුතු කල අවස්ථාවේ මම එයට විරුද්ධ වුනෙමි. දැන් පෟතුගීසීන් ඊටත් වඩා අවමන් සහිත ක්‍රියාවකට මගෙන් උදව් ඉල්ලයි.“ යනුවෙන් මම ඔහුට පවසා සිටියෙමි.

මෙය ඔබ වෙත ලියන නව වැනි ලිපියයි. ඔබට ලිපි කීයක් ලැබුණාදැයි මා නොදනිමි. මම මේ නගරයේ ඉතා අපහසුවෙන් කාලය ගත කරමි.

                                                                               මෙයට විජේපාල අධිරාජ්‍යයා.



මෙම ලිපිය ලියා මාස තුනකට පසු එය ලන්දේසීන් හට ලැබිණ.


මෙම ලිපිය පිළිබඳව දැනගත් පෟතුගීසීහු, කුමරු ඔහුගේ පිරිසෙන් වෙන් කර කොළඹ කොටුව තුල පිහිටි ශාන්ත ෆ්රැගන්සිස්කෝ කන්‍යාරාමය තුල සිරකරුවෙක් කරන ලදි. මේ සිදු කරන අවස්ථාවේදී විජේපාල කුමරුගේ හමුදා එයට විරුද්ධ වූ හෙයින්, එම අවස්ථාවේ ඇති වූ අරගලය මුවාවෙන් කුමරුට අයිතිව තිබූ බොහොමයක් වස්තුවද පෟතුගීසීන් විසින් කොල්ල කන ලද්දේය.

1643 මාර්තු මස  විජේපාල කුමරු, එකල පෟතුගීසීන්ගේ ආසියාවේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානයක් වූ ගෝවා නගරය වෙත නෞකාවක් මගින් රාජකීය ගෞරව සහිතව පිටුවහල් කරන ලද්දේය.
මාර්තු මස 26 වන දින කුමරු ගෝවට පැමිණි පසු, රජ කුමරෙකුට ගැලපෙන අන්දමෙන් වාසය කිරීමට සෙරෆිම් (Xerafim) 250 ක දීමනාවක් සහිතව, තමන්ගේ පරිවාර ජනයා සමග වාසය කිරීමට සුදුසු නිවෙස් ආදිය ලබාදෙන ලදි. 

ගෝවට පැමිණ සති හයකට පසු, ගෝවේ සිටි පෘතුගීසි වෙයිස්රෝයිවරයා වෙත ලිපියක් යවමින්, තමනට කොළඹදී එහි සිටි පෘතුගීසි ජෙනරාල්වරයා ගෙන් සිදුවූ අකටයුතු පැහැදිලි කර, තමන්ගේ රාජකීය තත්වයට ගැලපෙන ලෙස තමාට ගෝවේහිදී සැලකීමට කටයුතු කරන ලෙසද, කොළඹ තමන්ගෙන් සොරාගත් වටිනා රන් ආභරණ, මුතු, මැණික් යනාදියද, ආපසු තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙම වස්තුව අතර, කුරුල්ලන් බැඳි මාලය නම් විශේෂ ආභරණයක් ගැන සඳහන් විය. ඇතුලත බැලූ විට ආලෝක කිරණ නමයක් වැටෙන ආරනූල් මැණික් ගලින් සෑදූ මෙම මාලය, විජේපාල කුමරු වෙතින් සොරකම් කරන ලදුව, එය ආපසු ලබා ගැනිමට කුමරු මහත් වෙහෙසක් දැරූ බව ලියකියවිලි වලින් දක්නට ලැබේ. 

වෙයිස්රෝයිවරයා වෙත පැමිණිලි කරනු ලැබීමෙන් පලක් නොවූ හෙයින්, පෟතුගාලයේ ලිස්බන් නගරයේ හතරවෙනි දොම් ජාඕ (Dom Joao 1V) රජු වෙත, තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන ලදි. කුමරුගේ මෙම දුක් ගැනවිලි විසදා ගැනීමට, එකල ගෝවේ ක්‍රිස්තියානි ආගමික ප්‍රධානියා වූ මීරාහි ආවි බිෂොප් වරයා මහත් ලෙස උදව් කල අතර, කුමරුට එකල රෝමයේ විසූ ක්‍රිස්තියානි පාප් වහන්සේ වූ අටවැනි උර්බාන්ස් (Urbans V111 1623 – 1644) වෙත තමාට වූ අපහසුතාවයන් ලියා දැන්වීමට උපදෙස් දුන්නේය. 

එම උපදෙස් අනුව ලිපියක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව විජේපාල කුමරුට සිදු වූ අසාධාරණයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ලිස්බන්හි පෟතුගීසි රජු විසින් ගෝවේ වෙයිස්රෝයිවරයා වෙත, දැනුම් දෙන ලදි.

මේ සම්බන්ධව ගෝවේහිදී පරීක්ෂණයක් පැවැත්වුනද, විජේපාල කුමරුට සිදුව ඇති අකටයුතු සදහා පැහැදිලි විසදුමක් ලැබුනේ නැත. ටික කලකට පසු විජේපාල කුමරු කතෝලිකයෙකු ලෙස බෞතිස්ම විමට කැමැත්ත පල කල හෙයින්, ලිස්බන්හි පෘතුගීසි අගරජ ඥාන පියා (God Father) ලෙස පෙනී සිට බෞතිස්ම කිරිමට ආගමික ප්‍රධානියාවු ආචි බිෂොප් වරයා කටයුතු යෙදිය.

1646  දෙසැම්බර් මස 08 වැනි දින විජේපාල බෞතිස්ම කිරිම හා ඔහුගේ ඔටුනු පැළදවිමේ උත්සවය, ගෝවේහි වෙයිස්රෝයිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.


එදින විජේපාල කුමරු තම ඔටුනු පැළදවිමේ උත්සවය සදහා එකල පෘතුගීසි වංශාධිපතින් අතර, ජනප්‍රියව පැවති වෙල්වට් හිස් වැසුමක්, සැටින් පාවහන් යුගල සමග වර්ණවත් ඇඳුමකින් සැරසී තම මාලිගයෙන් පිටතට බැස්සේ ඔහුගේ කොළ පැහැති රාජකීය ධජය පෙරටු කොට ගෙනය. ඔහුගේ මාලිගයේ ගේට්ටුවෙන් පිටත හිස මුඩු කරන ලද පෟතුගීසි සොල්දාදුවන් කුමරු පෙරහැරෙන් දේවස්ථානය වෙත ගෙන යාමට පෙල ගැසී සිටියහ.

කුමරු මෙලෙස පිරිසත් සමග උත්සවාකාරයෙන් දේවස්ථානයට ගමන් කරන විට දෙපස රැස්ව සිටි ජනයා, ඔහු වෙතට මල් දමමින් ප්‍රීති ඝෝෂා කලහ. පෙරහැරේ ඉදිරියෙන් ගිය හැඩි දැඩි සොල්දාදුවන්ටද පිරිස පාලනය කර ගැනීමට අපහසු තරමට, විශාල ජනතාවක් දේවස්ථානය අසල රැස්ව සිටියහ. දේවස්ථානය දොරටුව අසල කුමරුන් පිලි ගත් වෙයිස්රෝයිවරයා, ඔවුහු අල්තාරය අසලට රැගෙන ගියේය.

විජේපාල කුමරු දොන් තියෝඩෝසියෝ (Don Theodosio)  නමින් බෞතීස්ම කරන ලද අතර, ඔහුගේ පිරිසද ක්‍රිස්තියානි ආගම වැලද ගත්හ. ඔහුගේ ලඟම මිත්‍රයෙකු හා සිංහල රජ කුමාරයෙකු වූ (Don Duarte De Draganza) දොන් ඩුවාටේ ද ඩ්රගන්සා නමින් බෞතීස්ම කර, රජුගේ ප්‍රධාන නිලධාරියෙකු ලෙස පත් කරන ලදි.

උත්සවය අග භාගයේදී විජේපාල කුමරු, සිංහල රාජ වංශයේ රාජකීයන් පලඳින රනින් කර වූ, රාජාලි ලකුණ සහිත පෙන්ඩනය ගලවා ඒ දේවස්ථානය වෙත පූජා කරන ලදි. ඉන්පසු රනින් කර වූ ඔටුන්නක් වෙයිස්රෝයිවරයා විසින් විජේපාල කුමරුගේ හිසේ පලදා, ඔහු රජකු ලෙස රාජාභිෂේක කෙරිණි. විජේපාල කුමරු රටක් නොමැති රජෙකු බවට පත්විය.

විජේපාල කුමරු පිළිබඳ විස්තරයක් කරන, එකල ඔහු පිළිබඳව හොදින් දන්නා පෟතුගීසි කපිතාන් වරයෙකු වූ කපිතාන් ජාඕ රිබෙයිරෝ, ඔහු වැදගත් වංශාධිපති පෙනුමක් ඇති, සෟජුව තම ශරීරය තබා ගෙන ගමනේ යෙදෙන, ශක්තිමත් ශරීරයකින් හෙබි පුද්ගලයෙකු බවද, හොදින් වැඩුණු උඩු රැවුලක් සහ උරහිස් වලට වැටෙන සේ අගින් රැළි වැටුණු කොණ්ඩයක් තිබුනු බව, සදහන් කරයි. නිරාහි ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු උපතින් හා අධ්‍යාපනයෙන් විශිෂ්ඨ වූ රාජ කුමරෙකු බවටද, ඔහුගේ පෙනුමෙන් සහ හැසිරීමෙන් ඔහු අධිරාජ්‍යයෙකු වීමට වූවද සුදුසු බව සදහන් කලේය. තව දුරටත් ඔහු ගැන විස්තර කරන ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු ඉතාමත් දක්ෂ අශ්වාරෝහකයෙකු බවද, එමෙන්ම එඩිතර රාජ කුමරයෙකු සතු විය යුතු සියලු ධර්මයන් ගෙන් සහ ගුනාංගයන් ගෙන් යුතු කුමරෙකු බවද සදහන් කලේය.

ඔහුට ඔටුනු පැලද වූ පසු, රාජ්‍යයක භාණ්ඩාගාරයක් නොමැතිව රජ නෙකෙකුගේ තත්වයෙන් රාජ සභාවක් පවත්වා ගනිමින්, ජීවත්වීමට විජේපාලට අපහසු විය. එහෙයින් ඔහුගේ දුක් ගන්නාරාල වූ දොන් ඩුවිටේ ද ඩ්රවගන්සා නමින් බෞතීස්ම ලැබූ සිංහල රාජ කුමාරයා මගින්, ලිස්බන්හි පෟතුගීසි මහ රජු වෙත ලිපියක් ඉදිරිපත් කර, තමාගේ මාසික දීමනා වැඩි කරන ලෙසද, කොළඹදී තමන්ගෙන් කොල්ල කන ලද රාජකීය වස්තුව තමාට ආපසු ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ පෟතුගීසි රජු, ගෝවේහි වෙයිස්රෝයි වරයාගෙන් අසා සිටින ලදුව, විජේපාල කුමරුට දැනට (1650) සෙරෆින් (Xerafin) 250 ක මාසික දීමනාවක් ලබා දෙන බවද, ඒ ඔහුගේ වියදමට ප්‍රමාණවත් බවද, සදහන් කරමින් වෙයිස්රෝයිවරයා පිළිතුරු බැන්දේය. කෙසේ වුවද කුමරුගේ මාසික දීමනාව වැඩි කිරිමට කටයුතු කෙරිණ. කෙතරම් මුදල් කරදර තිබුනද අසරණයන්ට උදව් කිරීමට ඔහු කිසි විටෙක මැලි නොවීය. ආබාධිත පෟතුගීසි සෙබලුන්, වැන්දඹුවන්, අනාථයින් සහ අසරණයින් ආධාර ලබා ගැනීම සදහා කුමරුගේ මාලිගය වෙත පැමිණිම ගෝවේහි සුලභ දසුනක් වූ අතර, තමන්ගේ ආර්ථික දුෂ්කරතා නිසා තමන්ගේ ආභරණ පවා උකස් කිරීමට සිදු වුවද, තමන් වෙත පැමිණෙන අසරණයින් හිස් අතින්  ආපසු යැවීම කුමරුන් අතින් කිසි දිනක සිදු නොවීය.

තමන්ගේ සොහොයුරා වූ කන්ද උඩරට රජකල රාජසිංහ රජු, තමනට අයිති වන්නට තිබූ රාජධානිය ඔහු ගෙන් උදුරා ගත්තද, ඔහු තුල රාජසිංහ රජු කෙරෙහි සුවශේෂී ලැදියාවක් පැවතිණි. වරෙක පෘතුගීසි නිළධාරියෙකු විසින් සිංහල රාජධානිය දැන් ඉතාමත් දුර්වල තත්වයක පත්ව ඇති හෙයින්, තව ටික දිනකින් රාජසිංහ රජු පෘතුගීසි සිරකරුවෙකු විමට ඉඩ ඇති බව පැවසු විට කෝපයට පත් විජේපාල කුමරු, එම නිළධාරියාට පහරදුන් බව සදහන් වේ.

ශ්‍රී ලංකාවට ආපසු ගොස් කොළඹ පෘතුගීසි ආණ්ඩුකාරවරයා විසින්, තමාට කරන ලද අවමානයන්ගෙන් සිදුවු ලැජ්ජාව මකාලීමට කුමරු කිහිප වරක්ම උත්සහා කලද, ඒ සදහා ඔහුට අවකාශය නොලැබිනි. තමනට ලැබිය යුතු තම රාජ්‍ය උදුරා ගත්තේ වුවද, කන්ද උඩරට රාජසිංහ රජු සමග ඔහු ලිපි මගින් සම්බන්ධතා පවත්වා ගත්තේය. 1652 මාර්තු මස තම සහෝදර රාජසිංහ රජු වෙත දෙමළ භාෂාවෙන් ලිපියක් ලියමින්, ඉක්මනින් කන්ද උඩරට හමුදා ශ්‍රී ලංකාවේ පෘතුගීසි ප්‍රදේශයන්ට පහර දිමට සැලසුම් කරන බව පෙනෙන්නට නැත්නම්, තමා ලිස්බන් නගරයට යැවිමට පෘතුගීසි නිලධාරින් සැලසුම් කරන නිසා, පෘතුගීසීන් සමග යුධ වදින ලෙස ඉල්ලා සිටියේය. එහෙත් 1654 විජේපාල කුමරු මියගිය හෙයින්, මෙම ඉල්ලිම ඉටු කිරිමේ අවශ්‍යතාවයක් ඇති නොවිය.

පෞඩ රාජ පරම්පරාවක විජේපාල නම් වු කුමරෙකුව ඉපිද, පිටුවහලෙකු ලෙස තම රාජ පරම්පරාවේ ලකුණ වු රන් රාජාලියා දේවස්ථානයකට පුජා කර, දොන් තියෝඩෝසියන් නමින් රටක් නොමැති අධිරාජ්‍යයක ලෙස ඔටුනු පැළද, 1654 වර්ෂයේදි අවු 45 ක් වයසැතිව  මියගියේය. 


මුණගැසුනු සැමට යහපත් දෙයම කරන්නට උත්සාහ කල සිංහල සිංහාසනයේ ඔටුන්න හිමි කුමරු, සැම දෙනගෙන් රැවටී තම රාජධානිය වෙත ආපසු යන්නටත් අවසර නොලැබ, මෙලෙස අවසන් හුස්ම හෙලීම කොතරම් ශෝක ජනකද?  



Saturday, April 1, 2017

Final part කුරුල්ලන් බැදි මාලය හෙවත් විජයපාල කුමරාගේ කථාවේ අවසාන කොටස.


මේ විජයපාල කුමාරයාගේ කථාවේ 5 වෙනි සහ අවසාන කොටසයි. පහල ඇති ලින්ක් එකෙන් මීට පෙර කොටසට පිවිසිය හැකිය.

http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_30.html





කුමරු මෙලෙස පිරිසත් සමග උත්සවාකාරයෙන් දේවස්ථානයට ගමන් කරන විට දෙපස රැස්ව සිටි ජනයා, ඔහු වෙතට මල් දමමින් ප්‍රීති ඝෝෂා කලහ. පෙරහැරේ ඉදිරියෙන් ගිය හැඩි දැඩි සොල්දාදුවන්ටද පිරිස පාලනය කර ගැනීමට අපහසු තරමට, විශාල ජනතාවක් දේවස්ථානය අසල රැස්ව සිටියහ. දේවස්ථානය දොරටුව අසල කුමරුන් පිලි ගත් වෙයිස්රෝයිවරයා, ඔවුහු අල්තාරය අසලට රැගෙන ගියේය.

විජේපාල කුමරු දොන් තියෝඩෝසියෝ (Don Theodosio)  නමින් බෞතීස්ම කරන ලද අතර, ඔහුගේ පිරිසද ක්‍රිස්තියානි ආගම වැලද ගත්හ. ඔහුගේ ලඟම මිත්‍රයෙකු හා සිංහල රජ කුමාරයෙකු වූ (Don Duarte De Draganza) දොන් ඩුවාටේ ද ඩ්රගන්සා නමින් බෞතීස්ම කර, රජුගේ ප්‍රධාන නිලධාරියෙකු ලෙස පත් කරන ලදි.

උත්සවය අග භාගයේදී විජේපාල කුමරු, සිංහල රාජ වංශයේ රාජකීයන් පලඳින රනින් කර වූ, රාජාලි ලකුණ සහිත පෙන්ඩනය ගලවා ඒ දේවස්ථානය වෙත පූජා කරන ලදි. ඉන්පසු රනින් කර වූ ඔටුන්නක් වෙයිස්රෝයිවරයා විසින් විජේපාල කුමරුගේ හිසේ පලදා, ඔහු රජකු ලෙස රාජාභිෂේක කෙරිණි. විජේපාල කුමරු රටක් නොමැති රජෙකු බවට පත්විය.

විජේපාල කුමරු පිළිබඳ විස්තරයක් කරන, එකල ඔහු පිළිබඳව හොදින් දන්නා පෟතුගීසි කපිතාන් වරයෙකු වූ කපිතාන් ජාඕ රිබෙයිරෝ, ඔහු වැදගත් වංශාධිපති පෙනුමක් ඇති, සෟජුව තම ශරීරය තබා ගෙන ගමනේ යෙදෙන, ශක්තිමත් ශරීරයකින් හෙබි පුද්ගලයෙකු බවද, හොදින් වැඩුණු උඩු රැවුලක් සහ උරහිස් වලට වැටෙන සේ අගින් රැළි වැටුණු කොණ්ඩයක් තිබුනු බව, සදහන් කරයි. නිරාහි ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු උපතින් හා අධ්‍යාපනයෙන් විශිෂ්ඨ වූ රාජ කුමරෙකු බවටද, ඔහුගේ පෙනුමෙන් සහ හැසිරීමෙන් ඔහු අධිරාජ්‍යයෙකු වීමට වූවද සුදුසු බව සදහන් කලේය. තව දුරටත් ඔහු ගැන විස්තර කරන ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු ඉතාමත් දක්ෂ අශ්වාරෝහකයෙකු බවද, එමෙන්ම එඩිතර රාජ කුමරයෙකු සතු විය යුතු සියලු ධර්මයන් ගෙන් සහ ගුනාංගයන් ගෙන් යුතු කුමරෙකු බවද සදහන් කලේය.

ඔහුට ඔටුනු පැලද වූ පසු, රාජ්‍යයක භාණ්ඩාගාරයක් නොමැතිව රජ නෙකෙකුගේ තත්වයෙන් රාජ සභාවක් පවත්වා ගනිමින්, ජීවත්වීමට විජේපාලට අපහසු විය. එහෙයින් ඔහුගේ දුක් ගන්නාරාල වූ දොන් ඩුවිටේ ද ඩ්රවගන්සා නමින් බෞතීස්ම ලැබූ සිංහල රාජ කුමාරයා මගින්, ලිස්බන්හි පෟතුගීසි මහ රජු වෙත ලිපියක් ඉදිරිපත් කර, තමාගේ මාසික දීමනා වැඩි කරන ලෙසද, කොළඹදී තමන්ගෙන් කොල්ල කන ලද රාජකීය වස්තුව තමාට ආපසු ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ පෟතුගීසි රජු, ගෝවේහි වෙයිස්රෝයි වරයාගෙන් අසා සිටින ලදුව, විජේපාල කුමරුට දැනට (1650) සෙරෆින් (Xerafin) 250 ක මාසික දීමනාවක් ලබා දෙන බවද, ඒ ඔහුගේ වියදමට ප්‍රමාණවත් බවද, සදහන් කරමින් වෙයිස්රෝයිවරයා පිළිතුරු බැන්දේය. කෙසේ වුවද කුමරුගේ මාසික දීමනාව වැඩි කිරිමට කටයුතු කෙරිණ. කෙතරම් මුදල් කරදර තිබුනද අසරණයන්ට උදව් කිරීමට ඔහු කිසි විටෙක මැලි නොවීය. ආබාධිත පෟතුගීසි සෙබලුන්, වැන්දඹුවන්, අනාථයින් සහ අසරණයින් ආධාර ලබා ගැනීම සදහා කුමරුගේ මාලිගය වෙත පැමිණිම ගෝවේහි සුලභ දසුනක් වූ අතර, තමන්ගේ ආර්ථික දුෂ්කරතා නිසා තමන්ගේ ආභරණ පවා උකස් කිරීමට සිදු වුවද, තමන් වෙත පැමිණෙන අසරණයින් හිස් අතින්  ආපසු යැවීම කුමරුන් අතින් කිසි දිනක සිදු නොවීය.

තමන්ගේ සොහොයුරා වූ කන්ද උඩරට රජකල රාජසිංහ රජු, තමනට අයිති වන්නට තිබූ රාජධානිය ඔහු ගෙන් උදුරා ගත්තද, ඔහු තුල රාජසිංහ රජු කෙරෙහි සුවශේෂී ලැදියාවක් පැවතිණි. වරෙක පෘතුගීසි නිළධාරියෙකු විසින් සිංහල රාජධානිය දැන් ඉතාමත් දුර්වල තත්වයක පත්ව ඇති හෙයින්, තව ටික දිනකින් රාජසිංහ රජු පෘතුගීසි සිරකරුවෙකු විමට ඉඩ ඇති බව පැවසු විට කෝපයට පත් විජේපාල කුමරු, එම නිළධාරියාට පහරදුන් බව සදහන් වේ.

ශ්‍රී ලංකාවට ආපසු ගොස් කොළඹ පෘතුගීසි ආණ්ඩුකාරවරයා විසින්, තමාට කරන ලද අවමානයන්ගෙන් සිදුවු ලැජ්ජාව මකාලීමට කුමරු කිහිප වරක්ම උත්සහා කලද, ඒ සදහා ඔහුට අවකාශය නොලැබිනි. තමනට ලැබිය යුතු තම රාජ්‍ය උදුරා ගත්තේ වුවද, කන්ද උඩරට රාජසිංහ රජු සමග ඔහු ලිපි මගින් සම්බන්ධතා පවත්වා ගත්තේය. 1652 මාර්තු මස තම සහෝදර රාජසිංහ රජු වෙත දෙමළ භාෂාවෙන් ලිපියක් ලියමින්, ඉක්මනින් කන්ද උඩරට හමුදා ශ්‍රී ලංකාවේ පෘතුගීසි ප්‍රදේශයන්ට පහර දිමට සැලසුම් කරන බව පෙනෙන්නට නැත්නම්, තමා ලිස්බන් නගරයට යැවිමට පෘතුගීසි නිලධාරින් සැලසුම් කරන නිසා, පෘතුගීසීන් සමග යුධ වදින ලෙස ඉල්ලා සිටියේය. එහෙත් 1654 විජේපාල කුමරු මියගිය හෙයින්, මෙම ඉල්ලිම ඉටු කිරිමේ අවශ්‍යතාවයක් ඇති නොවිය.

පෞඩ රාජ පරම්පරාවක විජේපාල නම් වු කුමරෙකුව ඉපිද, පිටුවහලෙකු ලෙස තම රාජ පරම්පරාවේ ලකුණ වු රන් රාජාලියා දේවස්ථානයකට පුජා කර, දොන් තියෝඩෝසියන් නමින් රටක් නොමැති අධිරාජ්‍යයක ලෙස ඔටුනු පැළද, 1654 වර්ෂයේදි අවු 45 ක් වයසැතිව  මියගියේය. 

මුණගැසුනු සැමට යහපත් දෙයම කරන්නට උත්සාහ කල සිංහල සිංහාසනයේ ඔටුන්න හිමි කුමරු, සැම දෙනගෙන් රැවටී තම රාජධානිය වෙත ආපසු යන්නටත් අවසර නොලැබ, මෙලෙස අවසන් හුස්ම හෙලීම කොතරම් ශෝක ජනකද?      
     



මන්ත්‍රී වැටුප

 අර්චුනාගේ මන්ත්‍රී පඩි පිළිබඳ ප්‍රකාශය ගැන මා පළකළ පෝස්ට් එකකින් පසුව කියවූ නොයෙකුත් කොමෙන්ට් නිසා මට ඇත්තටම මන්ත්‍රී කෙනෙකුට කීයක විතර වැට...