Saturday, April 1, 2017

Final part කුරුල්ලන් බැදි මාලය හෙවත් විජයපාල කුමරාගේ කථාවේ අවසාන කොටස.


මේ විජයපාල කුමාරයාගේ කථාවේ 5 වෙනි සහ අවසාන කොටසයි. පහල ඇති ලින්ක් එකෙන් මීට පෙර කොටසට පිවිසිය හැකිය.

http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_30.html





කුමරු මෙලෙස පිරිසත් සමග උත්සවාකාරයෙන් දේවස්ථානයට ගමන් කරන විට දෙපස රැස්ව සිටි ජනයා, ඔහු වෙතට මල් දමමින් ප්‍රීති ඝෝෂා කලහ. පෙරහැරේ ඉදිරියෙන් ගිය හැඩි දැඩි සොල්දාදුවන්ටද පිරිස පාලනය කර ගැනීමට අපහසු තරමට, විශාල ජනතාවක් දේවස්ථානය අසල රැස්ව සිටියහ. දේවස්ථානය දොරටුව අසල කුමරුන් පිලි ගත් වෙයිස්රෝයිවරයා, ඔවුහු අල්තාරය අසලට රැගෙන ගියේය.

විජේපාල කුමරු දොන් තියෝඩෝසියෝ (Don Theodosio)  නමින් බෞතීස්ම කරන ලද අතර, ඔහුගේ පිරිසද ක්‍රිස්තියානි ආගම වැලද ගත්හ. ඔහුගේ ලඟම මිත්‍රයෙකු හා සිංහල රජ කුමාරයෙකු වූ (Don Duarte De Draganza) දොන් ඩුවාටේ ද ඩ්රගන්සා නමින් බෞතීස්ම කර, රජුගේ ප්‍රධාන නිලධාරියෙකු ලෙස පත් කරන ලදි.

උත්සවය අග භාගයේදී විජේපාල කුමරු, සිංහල රාජ වංශයේ රාජකීයන් පලඳින රනින් කර වූ, රාජාලි ලකුණ සහිත පෙන්ඩනය ගලවා ඒ දේවස්ථානය වෙත පූජා කරන ලදි. ඉන්පසු රනින් කර වූ ඔටුන්නක් වෙයිස්රෝයිවරයා විසින් විජේපාල කුමරුගේ හිසේ පලදා, ඔහු රජකු ලෙස රාජාභිෂේක කෙරිණි. විජේපාල කුමරු රටක් නොමැති රජෙකු බවට පත්විය.

විජේපාල කුමරු පිළිබඳ විස්තරයක් කරන, එකල ඔහු පිළිබඳව හොදින් දන්නා පෟතුගීසි කපිතාන් වරයෙකු වූ කපිතාන් ජාඕ රිබෙයිරෝ, ඔහු වැදගත් වංශාධිපති පෙනුමක් ඇති, සෟජුව තම ශරීරය තබා ගෙන ගමනේ යෙදෙන, ශක්තිමත් ශරීරයකින් හෙබි පුද්ගලයෙකු බවද, හොදින් වැඩුණු උඩු රැවුලක් සහ උරහිස් වලට වැටෙන සේ අගින් රැළි වැටුණු කොණ්ඩයක් තිබුනු බව, සදහන් කරයි. නිරාහි ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු උපතින් හා අධ්‍යාපනයෙන් විශිෂ්ඨ වූ රාජ කුමරෙකු බවටද, ඔහුගේ පෙනුමෙන් සහ හැසිරීමෙන් ඔහු අධිරාජ්‍යයෙකු වීමට වූවද සුදුසු බව සදහන් කලේය. තව දුරටත් ඔහු ගැන විස්තර කරන ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු ඉතාමත් දක්ෂ අශ්වාරෝහකයෙකු බවද, එමෙන්ම එඩිතර රාජ කුමරයෙකු සතු විය යුතු සියලු ධර්මයන් ගෙන් සහ ගුනාංගයන් ගෙන් යුතු කුමරෙකු බවද සදහන් කලේය.

ඔහුට ඔටුනු පැලද වූ පසු, රාජ්‍යයක භාණ්ඩාගාරයක් නොමැතිව රජ නෙකෙකුගේ තත්වයෙන් රාජ සභාවක් පවත්වා ගනිමින්, ජීවත්වීමට විජේපාලට අපහසු විය. එහෙයින් ඔහුගේ දුක් ගන්නාරාල වූ දොන් ඩුවිටේ ද ඩ්රවගන්සා නමින් බෞතීස්ම ලැබූ සිංහල රාජ කුමාරයා මගින්, ලිස්බන්හි පෟතුගීසි මහ රජු වෙත ලිපියක් ඉදිරිපත් කර, තමාගේ මාසික දීමනා වැඩි කරන ලෙසද, කොළඹදී තමන්ගෙන් කොල්ල කන ලද රාජකීය වස්තුව තමාට ආපසු ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ පෟතුගීසි රජු, ගෝවේහි වෙයිස්රෝයි වරයාගෙන් අසා සිටින ලදුව, විජේපාල කුමරුට දැනට (1650) සෙරෆින් (Xerafin) 250 ක මාසික දීමනාවක් ලබා දෙන බවද, ඒ ඔහුගේ වියදමට ප්‍රමාණවත් බවද, සදහන් කරමින් වෙයිස්රෝයිවරයා පිළිතුරු බැන්දේය. කෙසේ වුවද කුමරුගේ මාසික දීමනාව වැඩි කිරිමට කටයුතු කෙරිණ. කෙතරම් මුදල් කරදර තිබුනද අසරණයන්ට උදව් කිරීමට ඔහු කිසි විටෙක මැලි නොවීය. ආබාධිත පෟතුගීසි සෙබලුන්, වැන්දඹුවන්, අනාථයින් සහ අසරණයින් ආධාර ලබා ගැනීම සදහා කුමරුගේ මාලිගය වෙත පැමිණිම ගෝවේහි සුලභ දසුනක් වූ අතර, තමන්ගේ ආර්ථික දුෂ්කරතා නිසා තමන්ගේ ආභරණ පවා උකස් කිරීමට සිදු වුවද, තමන් වෙත පැමිණෙන අසරණයින් හිස් අතින්  ආපසු යැවීම කුමරුන් අතින් කිසි දිනක සිදු නොවීය.

තමන්ගේ සොහොයුරා වූ කන්ද උඩරට රජකල රාජසිංහ රජු, තමනට අයිති වන්නට තිබූ රාජධානිය ඔහු ගෙන් උදුරා ගත්තද, ඔහු තුල රාජසිංහ රජු කෙරෙහි සුවශේෂී ලැදියාවක් පැවතිණි. වරෙක පෘතුගීසි නිළධාරියෙකු විසින් සිංහල රාජධානිය දැන් ඉතාමත් දුර්වල තත්වයක පත්ව ඇති හෙයින්, තව ටික දිනකින් රාජසිංහ රජු පෘතුගීසි සිරකරුවෙකු විමට ඉඩ ඇති බව පැවසු විට කෝපයට පත් විජේපාල කුමරු, එම නිළධාරියාට පහරදුන් බව සදහන් වේ.

ශ්‍රී ලංකාවට ආපසු ගොස් කොළඹ පෘතුගීසි ආණ්ඩුකාරවරයා විසින්, තමාට කරන ලද අවමානයන්ගෙන් සිදුවු ලැජ්ජාව මකාලීමට කුමරු කිහිප වරක්ම උත්සහා කලද, ඒ සදහා ඔහුට අවකාශය නොලැබිනි. තමනට ලැබිය යුතු තම රාජ්‍ය උදුරා ගත්තේ වුවද, කන්ද උඩරට රාජසිංහ රජු සමග ඔහු ලිපි මගින් සම්බන්ධතා පවත්වා ගත්තේය. 1652 මාර්තු මස තම සහෝදර රාජසිංහ රජු වෙත දෙමළ භාෂාවෙන් ලිපියක් ලියමින්, ඉක්මනින් කන්ද උඩරට හමුදා ශ්‍රී ලංකාවේ පෘතුගීසි ප්‍රදේශයන්ට පහර දිමට සැලසුම් කරන බව පෙනෙන්නට නැත්නම්, තමා ලිස්බන් නගරයට යැවිමට පෘතුගීසි නිලධාරින් සැලසුම් කරන නිසා, පෘතුගීසීන් සමග යුධ වදින ලෙස ඉල්ලා සිටියේය. එහෙත් 1654 විජේපාල කුමරු මියගිය හෙයින්, මෙම ඉල්ලිම ඉටු කිරිමේ අවශ්‍යතාවයක් ඇති නොවිය.

පෞඩ රාජ පරම්පරාවක විජේපාල නම් වු කුමරෙකුව ඉපිද, පිටුවහලෙකු ලෙස තම රාජ පරම්පරාවේ ලකුණ වු රන් රාජාලියා දේවස්ථානයකට පුජා කර, දොන් තියෝඩෝසියන් නමින් රටක් නොමැති අධිරාජ්‍යයක ලෙස ඔටුනු පැළද, 1654 වර්ෂයේදි අවු 45 ක් වයසැතිව  මියගියේය. 

මුණගැසුනු සැමට යහපත් දෙයම කරන්නට උත්සාහ කල සිංහල සිංහාසනයේ ඔටුන්න හිමි කුමරු, සැම දෙනගෙන් රැවටී තම රාජධානිය වෙත ආපසු යන්නටත් අවසර නොලැබ, මෙලෙස අවසන් හුස්ම හෙලීම කොතරම් ශෝක ජනකද?      
     



1 comment:

  1. ඉතාහාසය පුරාවට මොනතරම් ශෝක ජනක දේ අසා තිබේද? අසන්නට දකින්නට ලැබී තිබේද? අපේම අවාසනවා මිස වෙන කුමක්ද?

    ReplyDelete

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්

මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝ...