Wednesday, May 9, 2018

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ සංගා කියන දෙයට කන් දීම




මට පසුගිය කාලයේ රජයේ ආයතන කිහිපයක් සමග වැඩ කරන්නට සිදුවිය. ඒ සෑම අවස්ථාවකදීම බොහෝ සිත් තැවුල් සහ කලකිරීම් ඇති විය. මේවායින් සමහරක් පද්ධතිවල අඩුපාඩු වූ අතර සමහරක් ඒවා එම කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන්ගේ අඩු ලුහුඩුකම් සහ දුෂිත අදහස් නිසා ඇතිවිය.

මෙයින් පළමු වැන්න ඇතිවුයේ ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම සමගය. පසුගිය සතියේ අපගේ නිවසේ දුරකථනය සහ දත්ත වයිෆයි සේවය හදිසියේම නැවතින. මෙම සේවාවන් සදහා මාසයකට අපි රුපියල් 3500 ක් පමණ ගෙවන්නෙමු; මා කුඩා කාලයේ රජයේ පාසැල් ගුරුවරියෙකු වූ අපේ අම්මාගේ වැටුප වුයේ රුපියල් 300 ක් බව මට මතකය, ලංකාවේ සිදු වී ඇති උද්ගමනය කොතරම් දැයි අපට සිතා ගත හැක.

අපි ටෙලිකොම් සමාගමේ 1212 අමතා බාධක දිවීමේ තරඟයක් වැනි රෙකෝඩින් පෙලකින් බේරී පැමිණිල්ල කලයුතු වූ තැනට ගියෙමි. බොහෝ මිත්‍රශීලි බවින් පැමිණිල්ල ලියා ගත් සේවිකාව එදිනම මෙම අලුත්වැඩියාව කරදෙන බවට පොරොන්දු වූ අතර ටික වෙලාවකින් මට කෙටි පණිවිඩයක්ද එවන ලදී.

එහෙත් එදින පසුදින ඉරිදා දිනයක් වූ අතර අලුත් වැඩියාව සිදු වුනේ නැත. පසු දින මගේ බිරිඳද; මෙම උපකරණ දෙකම ඇය එතරම් පාවිච්චි කරන්නේ නැති නමුදු, ඒවා ක්‍රියාකාරී තත්වයේ නොපැවතීම ඇයට මහත් හිසරදයකි, ටෙලිකොම් සමාගමට කතාකර මේ පිළිබඳව දන්වා සිටි අතර මෙම අලුත්වැඩියාව ඉතා ඉක්මනින් සිදු කරන බවට ඇයටද ප්‍රතිඥාවක් ලැබිණ.

ඊට පසුදින අපරභාගයේ ටෙලිකොම් ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ත්‍රිවිලයකින් අපේ නිවසට පැමිණියහ. පැමිණි පසු ඔවුන් දුරකථනය සහ එහි සම්බන්ධතා පරික්ෂා කර ටික වෙලාවකින් දුරකථන සම්බන්ධය ප්‍රකුර්ති තත්වයට පත් කළහ. එහෙත් ඔවුන්ට රව්ටරය අලුත්වැඩියා කිරීමට නොහැකි බවත්, එය දුරකථන රැහැනට සවිකර ඇති ස්පිලිටරය නැමැති උපකරණය පිච්චි ඇති බව කියා සිටියහ.

ඔවුන් තව දුරටත් කියා සිටියේ එලෙස ස්පිලිටරය අකර්මන්‍ය වී ඇත්තේ විදුලි  කෙටිමකින් වී ඇති නිසා එය මා විසින් අලුත්වැඩියා කල යුතු බවත්ය. අප මසකට රුපියල් 3500 ක් පමණ මේ සේවාවන් සදහා ගෙවන බවත් ඒ නිසා මෙම සේවා නොකඩවා පවත්වා ගැනීම ඔවුන්ගේ වගකීමක් බවත් මම ඔවුන්ට පැහැදිලි කලත් වැඩක් වුයේ නැත. ඇත්තෙන්ම ඔවුන් පහල ශ්‍රේණියක කාර්මිකයින් නිසා මම ඔවුන්ගෙන් සහනයක් බලාපොරොත්තු වීමද නොකළ යුත්තකි. ඉන්පසු මම දුරකථනයෙන් ප්‍රාදේශීය අධිපතිවරයාට මේ පිලිබඳ කතා කලද ඔහුද කියා සිටියේ එම කරුණුමය. කෙසේ වුවත් මාරුකරන ස්පිලිටරයේ වටිනාකම වන රුපියල් 150 අපේ ඊලග මාසයේ බිලට දැමීමට හැකි බව කී නිසා මම එලෙස කරන ලෙසට ඉල්ලා සිටි විට මේ දවස්වල ටෙලිකොම් සමාගමේ ස්පිලිටර් නොමැති බව ඔහු කියා සිටියහ.

ඊයේ නගරයට ගොස් ස්පිලිටරයක් මිලට ගෙන එය සවිකර ගැනීමට නොතේරන නිසා නැවත වරක් ටෙලිකොම් සමාගමට දුරකථනයෙන් දන්වා සිටියෙමි. එය පැමිණිලි කලේ අද උදේ පාන්දරමය. මෙම ප්‍රශ්නය කල්පනා කරමින් උද්‍යානයේ වැඩක් කරමින් සිටින මට මෙම ස්පිලිටරය සවිකර ගැනීමට ක්‍රමවේදයක් සිහියට නැගුණි. ඒ උදේ දහයට පමණය. මම එලෙස ස්පිලිටරය සවිකර ගැනීමට පොහොසත් වුයෙන් නැවත දත්ත සම්බන්ධතාවය ක්‍රියාත්මක විය. ඒ දවස් හතරකට පසුවය. දැන් වෙලාව 17.25 වෙයි. නැවත වතාවක් රෙකෝඩින් බාධක දිවීම් හරහා යාමට ඇති කම්මැලිකම නිසා මම දත්ත සම්බන්ධතාවය ප්‍රකුර්ති තත්වයට පත් වූ බව ඔවුනට කීවේ නැත. ඔවුන්ද මට නොදෙවිනිය. ඔවුන්ද එය යතා තත්වයට පත් කිරීමට ආවෙත් නැත.  

මෙතරම් වෙළඳ දැන්වීම් වලට මුදල් වැය කරන ටෙලිකොම් සමාගම හැම මාසයේම අග හරිය වෙලාවට තමන්ගේ බිල ගෙවන පාරිභෝගිකයන්ට සලකන්නේ මෙලෙස නම් අපටත් සංගා කියන දේ කරන්නට සිතීමේ කිසිම වැරද්දක් නැතැයි මට සිතීම වලක්වාලනුයේ කෙසේද?  

ඇත්තෙන්ම ටෙලිකොම් සමාගම කල යුතුව තිබුනේ,
1. පෙරදින තදින් අකුණු ගැසූ නිසා අලුත්වැඩියා කරන්නට පැමිණෙන්නන් අත ස්පිලිටර් සහ පිළිස්සුන හැකි උපකරණ කිහිපයක් එවීම.
2. මෙවැනි සුළු වටිනාකමක් ඇති උපකරණ අලුත්වැඩියාවකදී යොදන විට ඒවාට ඔවුන්ගෙන් මුදල් නොඉල්ලීම. ඔවුන් විසින් සවි කරන ලද උපකරණ අපේ කිසිම වැරද්දක් නැතිව කැඩුණු විට අපෙන් මුදල් ඉල්ලීම ඉතාමත් අසාධාරණ බව මගේ හැගීමයි.
3. අලුත්වැඩියාව වාර්තාකරණ දිනයේම කිරීම.
වැනි සුළු ක්‍රියාවන් සැලසුම් සහගත ලෙස සිදු කිරීමයි.     


2 comments:

  1. මද්දාට ෙජොබ් එක එපා කරන්නෙ ටැලිකෝම් කාරයෝ තමා.
    සාපේෂ ඩයලොග් හොදයි ඒත් ටීවී සර්විස් එතනම් අන්තිමයි.

    ReplyDelete
  2. ටෙලිකොම් ගැන නම් කතා කිරීමත් වැඩක් නැහැ. මගෙත් රවුටරය දෙවරක්ම අකුනුවලට පිලිස්සී තිබුනා මාස දෙකක් වගේ ඇතුලත. දෙවරදීම රුපියල් 2500/- බැගින් අය කළා. ඔවුන් ඒ උපකරණවල ආරක්ෂාවට අර්ත් එකක් හැර කිසිවක් නැහැ. මගේ නිවසේ නම් අර්ථ වයරය සම්බන්ධ කර තුබුණේ නැහැ, මෙසේ දෙවරක්ම පිළිස්සුන නිසා මා මේ පිළිබඳව පරික්ෂා කිරීමේදී මා දැක මා විසින්ම එය සම්බන්ධ කළා. (දැන් නම් ඔවුන් ඒ සඳහා විද්‍යුත් පරිපථයක් පරීක්ෂණ තත්වයෙන් පවත්වා ගෙන යන බව මගේ මිත්‍රයෙක් පැවසුවා). පිළිස්සෙන හැම විටෙකම පාරිභෝගිකයා ගෙවිය යුතුයි කීවත් මේ උපකරණ අපට අයිතිත් නැහැ. මම මේ ගැන TRCSL එකටත් පැමිණිලි කලා. ඔවුනුත් පාරිභෝගිකයාගේ පැත්ත ගන්න බවක් නම් පෙනේනේ නැහැ.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...