Friday, April 13, 2018

අග්‍රාන්ඩුකාරවරු සහ පිහිනුම් තටාක





 පෙරේදා  අග්‍රාන්ඩුකාරවරුන් කිහිප දෙනෙකු පත් කෙරින. ඊයේ  මොකක් හෝ පටලැවිල්ලක් නිසා දෙදෙනෙකුගේ පත්වීම් වෙනස්කර නැවත පත් කෙරින. බොහෝ විට යාපනේ දේශපාලකයන් හිටපු අග්‍රාන්ඩුකාරවරයාම  නැවත ඉල්ලා ඇති බවක් බැලූ බැල්මට පෙනේ.
මේ මගෝඩිය ප්‍රවෘති වල බලමින් සිටින විට මට එක්වරම කල්පනා වුයේ මේ අග්‍රාන්ඩුකාරවරුන්ට අප කරන වියදමට රටට, රටේ පුරවැසියනට ඔවුන්  කරන සේවය කුමක්ද කියාය. 
මොවුන් 9 දෙනෙකුට නිවාස, කාර්යාල, සේවකයන්, ආරක්ෂාව, වැටුප් යනාදිය බැලුවිට අඩු තරමින් අවුරුද්දකට මිලියන 50 ක් වත් වියදම් කරන බව නොඅනුමානය. 9 දෙනාට මිලියන 450 ක් එසේත් නැත්නම් බිලියන ½ ක් පමණ වෙයි.

මෙතරම් දුප්පත් ජනතාව වෙසෙන රටක ජනතාවගේ මුදල් මෙතරම් ප්‍රමාණයක් ආයෝජනය කරනවා නම් එම ආයෝජනයට සරිලන සේවයක් ආපසු ජනතාව වෙත ලබාදිය යුතුය. නමුත් මට පෙනෙන විදිහට නම් අග්‍රාන්ඩුකාරයන්ගෙන් කිසිම සේවයක් වන්නේ නැත. මේවයින් ඇත්තටම කෙරෙන්නේ ජනාධිපතිවරයාට තමන්ට උදව්කල එසේත් නැත්නම් තමන්ට යම් කලගුණයක් සලකන්නට තිබෙන කෙනෙකුට දෝත පුරා ෆුල් බෝඩ් තෑග්ගක් ලබාදීමයි. ඇත්තෙන්ම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් මේ කිසිම හේතුවක් නොමැතිව අපේ ධනය කාබාසිනියා කරන අග්‍රාන්ඩුකාරවරුන් ඉවත්කිරීමට කටයුතු කිරීමද රටේ අභිවර්ධනයට මහත් පිටුවහලක් වනු ඇත්තේය.

ජලභීතිකාව - අපේ රට ජලයෙන් වටවූ දුපතකි. නමුත් අපි අතිශය බහුතරයකට ජලභිතිකාවක් ඇත්තේය. මම ජීවත්වන්නේ; කුඩාකල සිට ජීවත්වුයේත්, මහවැලි ගඟ අසබඩය. අපි යහළුවන් සමග ගඟට ගොස් නෑමට, විශේෂයෙන් පිහිනන්නට පුරුදුව සිටියෙමු. පැය දෙක තුනක් මෙලෙස සතියකට දෙතුන් වරක් ගඟට යාමටත් ගඟේ දිය කෙලියේ යෙදෙන්නටත් පුරුදුව සිටියෙමි. මම මුලින්ම සිගරට් එකක් බිවෙත් මෙලෙස ගඟේ නාන්නට ගොස් සිටියදී බව මට මතකය.

මට මෙය මතක්වුයේ මේ දවස්වල අවුරුදු උත්සවයන්  ගැන කතාකල අවස්ථාවකදීය. එකල ලේවැල්ලේ පාලම අසල තිබූ අවුරුදු උත්සවයේ ප්‍රධාන අංගයක් වුයේ පිහිනීමේ තරඟයය. නමුත් දැන් එවැනි අංග කෙසේවත් අලුත් අවුරුදු උත්සව වලට ඇතුලත් වන්නේ නැත. මම හිතන පරිදි අප වතුරට බියවී වතුර අමතක කරන්නට උත්සාහ කරමින් සිටින්නාක් මෙන් පෙනේ. නමුත් පාරේ යන්නවුන් සහ වාහන එලවන්නන් ත්‍රාසයට පත්කරමින් කමිස ඉරාගෙන මෝටර් බයිසිකල්වල නැඟී මහපාරේ බයිසිකල් රේස් පවත්වන්නට කිසිදු බියක් නැත්තේය. ඒ සමුහයක් එකතු වුවිට ලැබෙන එඩිතරකම වන්නට පුළුවන.

අපට මෙම ජලයට ඇති අකමැත්ත තිබෙන්නේ බොහෝ කලක සිටය. යුරෝපීයයන් කුඩා නැව් වල නැඟ මේ පැත්තට පැමිණියේ ඔවුන් එලෙස වතුරට නොබියවූ නිසාය. ඔවුන් මේ පැත්තට ආවේ අඩි 100 කටත් අඩුවෙන් දිග කුඩා යුධ නැව් වලිනි. උදාහරණයකට වස්කෝද ගාමා ඉන්දියාවට ඒමට සැදු නැව් කණ්ඩායමේ ඔහුගේ ධජ නැව වූ සාවෝ ගේබ්‍රියල් හි දිග මීටර 26 ක් පමණි. ( නැව් කණ්ඩායමේ පාවිච්චියට කෑම ගණන් හදා තබුනු ආකාරය දුටුවිට එය නොලියා ඉන්නට බැරිවිය. ගමනට එක නැවියෙකුට දෛනිකව ආහාර ගබඩා කෙරුනේ පහත පරිදිය.)
බිස්කට් රාත්තල් 1.5
හරක් මස් රාත්තලක්
ඌරු මස් රාත්තල් 0.5
වතුර බෝතල් 3.75
වයින් බෝතල් 1.85

මෙයට අමතරව පිටි, පරිප්පු, සාඩින්, මිදී, ආමන්ඩ්, සුදු ළුණු, මස්ටාඩ්, ලුණු, මි පැණි, සීනි, අතරමඟදී අල්ලාගත් මාළු සහ දොඩම් මෙයට එකතු විය. (ඇත්තෙන්ම මෙය කියවනවිට පෙනෙන්නේ එකල නැවියන් කෑම පැත්තෙන් නම් හොඳින් බලාගෙන ඇති බවය.)

ඔවුන් පැමිණ අප රටවල් අල්ලා ගත්තහ. නමුත් අප; වරෙක මහනුවර සෙනරත් රජු මහියංගනයේ නැව් සාදා පෘතුගීසින් පරාජය කරන්නට කල උත්සාහය හැරෙන්නට, නැව් හදාගෙන මුහුදට යන්නට කිසිම උත්සාහයක් නොකළෙමු. පුදුමය නම් මෙම උත්සාහය සැහෙන දුරට සාර්ථක වීමෙන් පසුවත් එය අත්හැර දැමීමය.

දැන් නිතරම ජලයේ යටවී බොහෝ පිරිස්; විශේෂයෙන්ම ළමුන් මියයන බවට ප්‍රවෘති අසන්නට ලැබේ. මේ අසන දෙමව්පියන් ළමුන්ට පිහිනන්නට උගන්නන්නට උත්සාහ කරනවා වෙනුවට ඔවුනට ජලය පැත්තකට වත් යන්නට නොදී තබාගන්නට උත්සාහ කරති.

මුහුදු ගමන් ගැන කතා කරන්නට ගියවිට මම මාතෘකාවෙන් පිට පැන්නෙමි. ඒ මාද පෙර නැවියෙකු වී සිටි නිසා විය යුතුය.
කෙසේ වුවද මෙම ලිපියේ අග්‍රාන්ඩුකාරවරු සහ ළමයි ජල රකුසාට ගොදුරු වීම ඇති සම්බන්ධය මෙයයි. අග්‍රාන්ඩුකාර තනතුර ඉවත් කර ඉතිරිවන මුදලින් එක වසරකින් තරමක පිහිනුම් තටාක 150 ක් පමණ පුරවැසියන් සඳහා සාදාගන්නට පුළුවන් බවය. වසරින් වසර ඉතිරිවන මුදලින් තටාක 50 ගනනේ එකතු කරමින් තටාක 500 කට ගෙනෙන්නට පුළුවන. ඉතිරි මුදලින් තටාක නඩත්තු කරන්න පුළුවන. 

අවුරුදු 3 ක් පමණ යනවිට හැම පාසල් ළමයෙකුටම පිහිනන්නට හැකි කරන්නට පුළුවන. එහෙම නැත්නම් විනාඩි 10 ක් පමණ වතුරේ නොගිලී ඉන්නට පුහුණු කරන්නට පුළුවන. මෙලෙස තටාක පද්ධතියක් ඇතිකර දියේ ගිලී සිදුවන මරණ වලින් තරුණ ජිවිත 10 ක් බේරාගන්නට හැකි වන්නේ නම් වයසට ගිය දේශපාලඥයන් 9 දෙනෙකුට සැප දෙනවාට වැඩියෙන් මෙය කොතරම් පුණ්‍ය ක්‍රියාවක්ද ?

5 comments:

  1. ආණ්ඩුකාරයාගේ පුන්චිමිනිසුන්ට ලැබෙන සේවාවක්; රජයේ සේවයේ කැහිල්ල ඇති නමුත් විදේශ පුහුණු වලට රජයේ දායකත්වය නොලබන පුංචි එවුන්ට එයාලගේ කැහිල්ල අගය කරන ආයතන වලින් ලැබෙන විදෙස් වැඩමුළුවලට යන්න නො පේ ලීව් අනුමත කරදීම.

    එයාට පහලින් ඉන්න ආයතන ප්‍රධානීන්ට ඔය බාරදූර වගකීම ගන්ට බැරි ඔය පුහුණුවට යන කාලයේ අතපසුවෙන රාජකාරි නිසා රටට වෙන හානියේ වගකීම දරන්න බැරි නිසයි, හැබැයි ඉතින් ඔය එයාලට වගකීම ගන්න බැරි බව සහතික කරන්න අටෝරාශියක් ලියකියවිලි පිටපත් පහ හයකින් සම්පුර්ණ කරගෙන සති තුනක්වත් රාජකාරී අත පසු කරගෙන ඔෆීසි ගානේ බඩ ගන්නා ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔය රාජකාරි ය නම් ලේසියෙන්ම දිසාපති ට දෙන්න පුලුවන් නේද ?

      Delete
  2. මම ඔය ආණ්ඩුකාරයින්ට හොරෙන්...සික් ගසා 5වරක් පිටරට ගියෙමි

    ReplyDelete
  3. ආණ්ඩුකාරයා අවශ්‍ය වුනේ පලාත් සභා නිසායි. ඔවුන් අයින් කරනවා නම් මහඇමතියා කෙලින් ම ජනාධිපතියාට රිපෝර්ට් කරන්න ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි!

    ReplyDelete
  4. මේ යෝජනාව හරිම හොදයි . ඔය විදිහටම තව දේශපාලන පත්වීම් අඩුකරලා තව වැඩ කරන්න පුළුවන් . ලැයිස්තුව දිගයි . හැබැයි ඔබට දැනෙන මේ සැබැව ක්‍රියාත්මක කරන එක තමයි අමාරු . මොකද බලය රැදෙන්නේ ඔය වරදාන නිසා . හැබැයි එතනට තමයි ආකල්ප ගෙනියන්න ඕන වෙන්නේ . ගිනි බොක්කේ ලිපි පෙල තවත් මුලාශ්‍ර සාක්කි එක්ක ලියන්න . සමහර දේශපාලුවන්ට රිදෙයි . ඒත් මම හිතන්නේ එතකොට පොදු කියවන්නන්ට ඒක තේරේවි .

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...