Sunday, October 8, 2017

අසල්වැසි රාජයයන් ගෙන් ඇති තර්ජන ; අපේ ලොකුම බාහිර සතුරා ඉන්දියාවද?






ජාතියට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම.
ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී එම ජාතියට දැනට තිබෙන සහ මෑත අනාගතයේ සහ ඈත අනාගතයේ ඇතිවිය හැකි තර්ජනයන් කුමන ආකාරයේ ඒවාදැයි දැන ගැනීම ඉතා වැදගත්ය. හරියටම තර්ජනය කුමක්දැයි දන්නේ නම් එම තර්ජනය මැඩ පැවැත්වීමට සූදානම් විය හැක. 

එසේම තර්ජනය අනාගතයේ ඇතිවන්නට ඉඩ තිබෙන එකක් නම් එම තර්ජනය ඇතිවීම වැලැක්වීමට කටයුතු යොදන්නට සැලසුම් කරුවන්ට හැකියාව තිබේ. අනෙක හරියටම තර්ජන මොනවාදැයි දැනගත් විට එම තර්ජන වලට පමණක් මුහුණදීමට ලක ලෑස්ති වීමෙන් අඩු පිරිවැයකින් නාබිගත ආරක්ෂාවක් සම්පාදනය කර ගැනීමට පුලුවන් වීමය. එවිට ගුවන් යානයක් ඕනෑ තැනකට නැවක් මිලදී ගැනීම හෝ එහෙම නැත්නම් රේඩාර් පද්ධතියක් ඕනෑ තැනකට අනුකන්ඩ සමුහයක් ස්ථානගත කිරීම සිදුවන්නේ නැත.

ජාතික ආරක්ෂාවට ඇති තර්ජන මූලාශ්‍ර වශයෙන් රටට පිටතින් සහ ඇතුලතින් පැමිණිය හැකි ඒවා ලෙස වර්ගීකරණය කල හැක. පිටතින් පැමිණිය හැකි තර්ජන නැවත වරක් පහත ආකාරයට වර්ගීකරණය කරන්නට පුලුවන.

තදාසන්න රාජ්‍ය වලින් පැමිණිය හැකි යුධ තර්ජන. - ශ්‍රී ලංකාව අවට තිබෙන රාජ්‍යය කිහිපය පිළිබඳව පරීක්ෂා කර බලා යුද තර්ජනයක් පැමිණිය හැක්කේ කුමන රාජ්‍යයකින්ද, කවර හේතුවක් නිසාදැයි අප මුලින් පරීක්ෂා කර බලමු. මෙලෙස අප පරීක්ෂා කර බැලිය යුත්තේ මාලදිවයින, පකිස්තානය, ඉන්දියාව,බංග්ලාදේශය , ම්යන්මාරය,සහ තායිලන්තය  සහ බංගලාදේශය පමණි. මේ රටවල් අතරින්ද, අප වරක් මියන්මාරය ආක්‍රමණය කර ඇති වුවත් මාලදිවයින, මියන්මාරය ,තායිලන්තය පකිස්තානය සහ බංගලාදේශය අපට සම්පූර්ණයෙන්ම මේ සමීකරණයෙන් ඉවත් කල හැක්කේය.   

එම රටවල් අප හා විරුද්ධවාදීව යුද්ධයක් කිරීමට කිසිම හේතුවක් ඇතිවීමට කිසිම ඉඩක්  නොමැති නිසාය. නමුත් ඉන්දියාව අප සහශ්‍ර දෙකකට වඩා කාලයක් වරින් වර ආක්‍රමණය කර ඇත්තේය. අවසාන සිද්ධිය ; ඉන්දියාව සාම හමුදා 1987 දී ශ්‍රී ලංකාවට පැමිණීම, ආක්‍රමණයක් යැයි කිව නොහැකි වුවද අප රටේ ස්වාධීනත්වය යම් ලෙසකින් ව්‍යතිකමනය කිරීමක් යැයි සලකන්නට පුලුවන. 

මෙලෙස ඉතිහාසයක් තිබෙන නිසා ඉන්දියානු සාධකය විශේෂයෙන් පරීක්ෂා කල යුතුය. බටහිර ජාතීන් ; විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්, හදිසියේ වත් අධිරාජ්‍යය ගොඩ නැගීමට එසේත් නැත්නම් වෙළඳාමට මේ කලාපයට පැමිණියේ නැත්නම් මේ තත්වය අපට මීට වඩා බොහෝ බැරෑරුම් ලෙස බලපාන්නට ඉඩ තිබිණ. ඒ ඉංග්‍රීසීන් නොපැමිණියේ නම් ඉන්දියාව බොහෝ විට රාජ්‍ය කිහිපයක් ලෙස දේශපාලනික වශයෙන් සංවිධානය වී තිබීමට තිබුනු ඉඩකඩ නිසාය. 

එසේ වූවානම් බොහෝ විට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජ්‍යයන් එකතු වී එක් ද්‍රවිඩ රාජ්‍යයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබුණ. එවැනි බලගතු ද්‍රවිඩ රාජ්‍යයක් ඉන්දියාවේ දකුණු දෙස ඇතිවූයේ නම් අපද බොහෝ විට එහි කොටසක් වීමට ඉඩ තිබුනු බව ප්‍රකාශ කිරීම එතරම් සත්‍යයෙන් ඈත  නොවේ. විශේෂයෙන්ම ලංකාවේ උතුරු කරයේ ඒ කාලයේ සිටි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් දකුණු ඉන්දියානු රාජ්‍යයන් හා බොහෝ කිට්ටුවෙන් ගනුදෙනු කිරීම මේ තත්වය ඇති කරන්නට බොහෝ සේ උදව් වන්නට ඉඩ තිබුණි.


වර්තමාන ලෝකයේ රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදු වන්නකි. මෑත ඉතිහාසය දෙස බැලූ විට රටවල් අතර යුද්ධ ක්‍රමයෙන් අඩු වී එන බවක් පෙනී යයි. මේ අතර විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජයයන් අතර යුධ වැදීම් ඇත්තේම නැති තරමටම අඩු වි ඇත. මේ සියවසටම එවැනි යුද්ධයක් ඇතිවූයේ රුසියාව සහ යුක්‍රේනය අතර පමණය. මෙයිනුත් රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති පාලනයක් අතර තිබෙන රටකි.


ඒ අතරම ඉන්දියාව දිනෙන් දින වඩා විවෘත රටක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික සංවර්ධනයට රටක තිබිය යුතුව ගුනාංගයක් වන මාධ්‍ය නිදහස ඉන්දියාවේ ඉතාමත් ඉහලින් තිබේ. සමහර විට ඉන්දියාවේ මාධ්‍ය නිදහස ලෝකයේ එම නිදහස ඉහලින්ම තිබෙන රටක් විය යුතුය. විශේෂයෙන්ම ඉන්දියානු පුවත්පත් වල තත්වය,එඩිතරභාවය සහ අපක්ෂපාතිත්වය ඕනෑම රටකට උදාහරණයකට ගත හැකිය. මම කිහිපවරක් ඉන්දියාවේ කාලය ගත කර ඇති අතර එයින් දෙවරක් වසර බගින්ය. එහිදී මා දිගටම සතිපතා Blitz නමැති පුවත්පත කියවන්නට පුරුදුව සිටියෙමි. එය මා කිසිම රටකදී කියවන ලද එදිතරම පුවත්පත යයි කටපුරා කිවහැක. එවැනි රටක් තම අසල්වැසි මිතුරු රටක් ආක්‍රමණය කිරීම කිසිසේත්ම විය හැකි සිදුවිමක් නොවේ.

ඉන්දියාවෙන් ආක්‍රමණයක් ඇතිවීමට ඇති ඉඩකඩ තවත් අඩුවීමට හේතුවක් වනුයේ චීනය සහ පකිස්තානයයි. චීනය සමග ඉන්දියාව මීට පෙර දේශ සීමා ගැටලු නිසා යුද්ධයක් කර ඇත. ඒ 1961 දීය. ඉන්පසු ඉන්දියාව හා චීනය අතර සබදතා ක්‍රමයෙන් හොඳ අතට හැරී ඇත. එලෙසම මේ රටවල් දෙකම ලෝකයේ වර්ථමාන ආර්ථික හා දේශපාලනික වශයෙන් බොහෝ කරුණු වලට එකඟ වන රටවල් දෙකකි[1]. රටවල් දෙකම විශාල ආර්ථිකයන් සහිතව සීඝ්‍රයෙන් දියුණු වන ලෝකයේ විශාලතම ජනගහනයන් ගෙන් යුක්ත රටවල්ය.


ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටි පකිස්තානය මේ සමීකරණයට ඇතුලු වන්නේ ඉන්දියාවට සිටින ප්‍රධානතම සතුරා ලෙසය. ඉන්දියාව සමග මෙතෙක් තුන් වරක් යුධ වැද ඇති පකිස්තානය න්‍යෂ්ඨික අවි වලින්ද සන්නද්ධ රාජ්‍යයකි. සන්සන්දනාත්මකව ඉන්දියාවට වඩා සන්නද්ධ බලයන් ගෙන් අඩු වුවද පකිස්තානය ඉන්දියාවට විරුද්ධව ඕනෑම වේලාවක සටන් වැදීමට සූදානමින් සිටින රාජ්‍යයකි. 

මෙයට හොඳ උදාහරණයක් මට පුද්ගලික අත්දැකීමකින් ඇතිවී තිබේ. මම වරෙක පකිස්තානයේ පුහුණුවක සිටියදී මගේ පවුලේ උදවියද මා සමඟ සිටියහ. මගේ දරුවන් එම නිලධාරීන්ගේ දරුවන් පිරිසක් සමඟ හින්දි ගීත ගයමින් සිටියදී ඒ ඇසි එතනට පැමිණි පකිස්තානු නිලධාරියෙකු තම දරුවන් එතනින් ඉවත්කරගෙන ගියේ මහත් කෝපයෙනි.  චීනය සමග ඇති දැඩි මිත්‍රත්වය හා න්‍යෂ්ඨික අවි සතුව තිබීම මේ එඩිතර භාවයට බොහෝ විට හේතු වේ.   


මේ පසුබිමේ ඉන්දියාව කෙසේවත් අසල්වැසි රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට සිතන්නටවත් ඉඩක් නැත. ඒ නිසා ඉන්දියාවෙන් ආක්‍රමණයක් පැමිනේයැයි සිතා ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම කිසිසේත්ම නුවණැති කටයුත්තක්  නොවේ.        



[1]  රටවල් දෙකම BRIC සහයෝගිතාවයේත් සාමාජිකයන්ය.

2 comments:

  1. /ඉන්දියානු පුවත්පත් වල තත්වය,එඩිතරභාවය සහ අපක්ෂපාතිත්වය ඕනෑම රටකට උදාහරණයකට ගත හැකිය. / Investigative journalism කරන එඩිතර මද්යවෙදිනියන් ගොඩක් ඉන්නවා, ඉංග්‍රීසියෙන් උසස් අද්‍යාපනය ලබාදීම එයට ලොකු රුකුලක් වෙන්නැති.

    ReplyDelete

  2. පකිස්ථානුන් එඩිතර භාවයටත් වඩා ඉන්දියානුන් කෙරෙහි දැඩි ද්වේශයක් තියනවා කියලයි මට හිතෙන්නේ. අගනා ලිපියක්.

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...