Saturday, October 15, 2016

අපිටත් තායි රජෙක්?










                                  
තායිලන්තයේ භූමිපාල් අඳුල්යදෙච් රජු මියගිය පසු ඔහු විසින් ඔහුගේ ජනතාවට දැක්වූ ආදරය සහ කරන ලද සේවය පිළිබඳ බොහෝ දෙනා කථා කරති. තායිලන්තයේ වැසියන් හඬා වැලපෙන්නේ තමන්ගේ දෙමවිපියන් මියගිය සෙයිනි.
ඉතිහාසයේ එක් මොහොතක, ඇත්තෙන්ම අවස්ථා කිහිපයක අපටත් තායි රාජ්‍ය පරම්පරාවක් ඇති වෙන්නට බොහෝ ඉඩකඩ තිබුණි. මේ ඒ කථා පුවතයි.

වර්තමානයේ තායිලන්තය නමින් හැදින්වෙන, ආසියාවේ පිහිටි බෞද්ධ රට, 18 වන ශතවර්ෂයේදි හදුන්වන ලද්දේ සියම් රට යනුවෙනි. ශ්‍රි ලංකාව වර්තමානයේ පවතින මල්වතු සහා අස්ගිරි සියම් නිකාය, මෙරටට රැගෙන එන ලද්දේද සියම් රට සිටය.
        
 උපාලි මහා තෙරණුවන් විසින්, මහනුවර යුගයේ, ශ්‍රි ලංකාවට උපසම්පදාව රැගෙන පැමිණෙන සමයේ, සියම් රටේ රජකම් කළේ, බොරොමිකොට් නැමැති, ඉතා යහපත් දැහැමි, රජ කෙනෙකි. බොරොම්කොට් රජු 1758 වර්ෂයේදි මිය ගියේය. ඔහු මිය ගිය පසු ඔහුගේ යුව රජු වු, උතුම්පොන් කුමරු රජ බවට, පත් විය.

බොරොම්කොට් රජු මිය ගිය පසු, බල අරගල නිසා, රාජ්‍ය පාලන කටයුතු, ඉතාමත් අපහසු වු හෙයින්, උතුම්පොන් කුමරු රාජ්‍ය අතහැර, බෞද්ධ භික්ෂුවක් ලෙස, මහණදම් පිරිමට පටන් ගත්තේය. ඉන් පසු ඔහුගේ, වැඩිමහල් සහෝදරයා බොරොම්රාජ නමින්, සියම් දේශයේ රජකමට පත් විය. ඔහු රජ වු විගසම, ඔහු රජ කමින් ඉවත්කර, උතුම්පොන් කුමාරයා රජ කරවිමට, රාජ සභාවේ පිරිසක්, කුමන්ත්‍රණය කලහ.

මෙම කුමන්ත්‍රණයෙහි නිර්මාතෘවරයා වුයේ, බොරොම්කොට් රජුගේ, අවශේෂ බිසවකගේ පුත් කුමරෙකවු, ක්‍රම්ප්ට් පිපිට්  ’ නැමති කුමරෙකි. එහෙත් රජවිමට එතරම් කැමැත්තක් නොදැක්වු, මහණදම් පුරමින් සිටි උතුම්පොන් කුමරා, කුමන්ත්‍රණයට සම්බන්ධ කිසිවෙකු ජිවිතක්ෂයට පත් නොකරන බවට, පොරොන්දුවක් ලබා ගෙන, මෙම කුමන්ත්‍රණය පිළිබදව, තම සහෝදර රජුට සැලකර සිටියේය. මෙම පොරොන්දුව නිසා, කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස, ජිවිතක්ෂයට පත් නොකර, කස පහරදි සිර ගත කල අතර, කුමන්ත්‍රණයේ මුලිකයෙකු  වු පිපිඩ් කුමරු, රටින් පිටුවහල් කිරිමට, තිරණය කෙරුණි.‍

මෙකල ශ්‍රි ලංකාවේ කන්ද උඩරට, කීර්ති ශ්‍රි රාජසිංහ (1747/1760) රජු රාජ්‍ය කලේය. ඔහු ඊට පෙර, කන්ද උඩරට රාජ්‍ය කල ශ්‍රි විජයරාජසිංහ රජුගේ, දකුණු ඉන්දියාවෙන් පැමිණි, මෙහෙසියකගේ සහෝදරයෙකු විය. ඔහු මහනුවර රාජධානියේ ඔටුනු පළදින විට, වයස 16 ක් සපිරුණා පමණි.ඔහුගේ පියා වු නරෙනඅප්පා නායක්කාර, තම දියණිය ඉන්දියාවේ සිට, විවහ වීමට මහනුවරට පැමිනෙන  විට, ඇයත් සමග පැමිණ සිටි අතර , රජු ලාබාල වු හෙයින්, රාජ්‍ය පාලන කටයුතු බොහොමයක් සිදු කෙරුණේ,  නරෙනඅප්පා විසිනි.

තම අනෙකුත් නායක්කාර නැදැයන් සමග, මහනුවර නගරයේ මාලබාර් වීදියේ ( එම වීදිය මාලබාර් වීදිය ලෙස හැදින්වුයේද, ඉන්දියාවේ මාලබාරයේ සිට පැමිණි මෙහෙසියන්ගේ නැදැයන්, එම විදියේ එකල ජිවත් වු නිසාය.) ජීවත් වු නරෙනඅප්පා, තම පුත් රජුගේ බලය පාවිච්චි කරමින්, විශාල ධනයක් රැස්කර, කන්ද උඩරට බලවත්  පුද්ගලයෙකු,  බවට පත්විය. 

එකල කන්ද උඩරට සිටි, සිංහල බලවත් පවුල් වල පුද්ගලයන්, රජුගේ රාජ සභාවේ නොයෙකුත් නිලතල දැරූ අතර, ඇහැලේපොල මහා අධිකාරම, මොවුන් අතර ප්‍රධාන තැනක් ගත්තේය. නරෙනඅප්පා සහ රජුගේ ඉන්දියානු නෑයන්, එකල රාජ සභාවේ කොතරම් බලවත් සිටියේද යත්, වර්ෂ 1749 අප්‍රේල් මස දිනක, ඇහැලේපොල මහා අධිකාරම තම නිවස වෙත ගෙන්වා, තම අසිපත ඔසවා, මහා අධිකාරකමට තර්ජනය කිරීමට පවා, නරෙනඅප්පා එඩිතර වූ බවද, සඳහන් වේ.

මේ අතර, ශත වර්ෂයේ මුල සිටම, රාජ්‍ය සේවයේ යෙදී සිටි, මීගමුවේ දිසාපති මාම්පිටියේ දිසාව, රජු හා බිඳවා, ඔහුගේ දේපල රාජසන්තක කර, එම දේපල නායක්කාරවරුන් අතරේ බෙදා ගැනීමක් වූ අතර, මේ පිළිබඳව උඩරට සිංහල ප්‍රධානීන් අතර, කලකිරීමක් හා අප්‍රසාදයක් ඇති විය. එහෙත් මහ අධිකාරම ඇහැලේපොල හා දෙවනි අධිකාරම වූ ලෙව්කේ සරනක්කොඩි අතර, අසමගියක් තිබූ හෙයින්, සිංහල රදළයන් එකතු වී, ඔවුනට විරුද්ධව නැගී සිටිමට ඉඩක් නැතැයි, නරෙනඅප්පා ප්‍රධාන රජුගේ වඩිග නෑදෑයන් සිතූහ.

මෙකල ලංකාවේ, මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන ලද්දේ, වර්තමානයේ නෙදර්ලන්ත ලෙස හැඳින්වෙන, රටින් පැමිණි ලන්දේසීන් විසිනි. ලන්දේසීන් හටද, ඔවුන්ගේ වෙළදාම සදහා මහනුවර රජුගෙන් උදව් අවශ්‍ය වූ හෙයින්, රාජ සභාවේ ඔවුනට හිතැගි නිලධාරීන්ගේ බලය පවත්වා ගැනීමට, ඔවූහූ උනන්දු වූහ. මෙලෙස ලන්දේසීන්ට හිතැති නිලධාරියෙකු ලෙස, මුලින් ලෙව්කේ දිසාව කටයුතු කල අතර, ඔහු 1751 වර්ෂයේ මිය ගිය පසු, රජු හා ලන්දේසීන් අතර, සම්බන්ධතාවය පවත්වා ගත්තේ, දුම්බර රාලහාමි නමින් හැඳින්වුනු, මීගස්තැන්නේ අධිකාරම විසිනි. 

ලන්දේසි ආණ්ඩුකාරයා හා රජු අතර, සියලුම ලිපි කටයුතු මීගස්වත්තේ මාර්ගයෙන් සිදු වූ අතර, ඔහුගේ හොඳ හිත පවත්වා ගැනීම සදහා, ලන්දේසි පාලකයන් විසින් වසරකට රික්ස් ඩොලර් 4000 ක් ඔහු වෙත ගෙවූ බව, ලන්දේසි ලේඛන වල සඳහන් වේ.  

මෙකල ලංකාවේ කැලෑ වලින් අලි අල්ලා, ඔවුන් පිටරටට විකිණීම, ලන්දේසීන්ගේ වෙළදාමේ කොටසක් වූ අතර, 1752 වර්ෂයෙදී දුම්බර රාලහාමි, ලන්දේසීන්ගේ අලි වෙළදාමට රජුද, සම්බන්ධ වීමට කැමති බව, ලන්දේසීන් හට දන්වා සිටියේය. එහෙත් මෙවැනි ඉල්ලීම, තමන්ට කරන්නට ඇත්තේ, රජුගේ නායක්කාර නෑදෑයන්ට, මෙම අලි වෙළදාමට සම්බන්ධ වී, එමගින් ලාභ ලැබීමට ඇති වුවමනාව නිසා යැයි, ඔහු ලන්දේසි ආණ්ඩුකාරවරයාට, පුද්ගලිකව දන්වා සිටියේය. මෙම සිද්ධියෙන්ද, එකල උඩරට රාජ සභාවේ, නායක්කාර වංශකයන් හා සිංහල රදළ පවුල් අතර තිබූ, බල අරගලයන් හා විරසකය පෙන්නුම් කරයි.

මේ තත්වය උඩ, රාජ සභාවේ සිටි, සිංහල නිලධාරීන් එකතුව රජු මුණ ගැසී, රජුගේ පියා සහ යාපනයේ සිට පැමිණි සිටින මුදලියාර් වරයෙකු, රට පාලනය කරන බවද, රජු පැරණි සිරිත් විරිත් අනුගමනය නොකරන, රාජ්‍ය පාලනය තම පියා වෙත භාරදී ඇති බවට, රජු එය වෙනස් නොකරන්නේ නම්, තමනට වෙනත් රජෙකු, සිංහාසන ගත කිරීමට සිදුවන බව දන්වා සිටියහ. 
මේ සිද්ධයෙන් බියට පත් වූ රජු, මේ සියල්ලටම වැරදිකරු තම පියා බව ඔවුනට දන්වා, මින් පසු තම පියාට, රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට ඉඩ නොදෙන බවට පොරොන්දු වී, නායකයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට, යාපනයේ සිට පැමිණ, තම පියා සමග සම්බන්ධ වී, රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසූ, මුදලියාර් වරයාගේ හිස ගසා දැමීමටද, නියම කලේය.

එහෙත්, නායක්කාර් වංශිකයින්ගේ බලය, රාජ සභාව තුල අඩු වීමක් සිදු නොවී අතර, මෙයින් කනස්සල්ලට පත් රාජ සභිකයන් කිහිප දෙනෙකු, කන්ද උඩරට සංඝ නායකයන් හා එකතුව, නායක්කාර  රජු ඉවත් කර වෙනත් රාජ වංශිකයෙකු, කන්ද උඩරට රජකමට පත්කර ගැනීමට තීරණය කලහ. මේ සදහා මූලික වී කටයුතු කලේ, රාජසභාවේ දෙවැනි අධිකාරම වූ සමන්කොඩි දිසාවය. සංඝරාජ වැලිවිට සරණංකර තිබ්බටුවාවේ හිමි සහ රජ වාසලේ සේවයේ සිටි මොලදන්ඩේ නිළමේ, කුමන්ත්‍රණයේ අනෙකුත් ප්‍රධාන හවුල් කරුවන් වූහ.

පෙර රජතුමාගේ යකඩ දෝලියකගේ (අන්ත: පුරයේ සිටින, අග මෙහෙසිය නොවන කාන්තාවක්) පුත් කුමාරයෙකු වූ, පට්ටියේ බංඩාර කුමරු රජ කමට පත් කල යුතු යැයි සාකච්ඡා කලද, සමහරෙකු එයට අකමැති වූ හෙයින්, මේ සදහා ගැලපෙන රජ කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලා, තායිලන්තයේ රජු වෙත ලිපියක් යැවූහ. මෙම ඉල්ලීම තායිලන්තයේ රජු වෙත පැමිණෙන විට, පිපිට් කුමරු සිරගතව සිටි අතර, තමනට කරදරයක්ව සිටි එම කුමරු, රටින් පිටුවහල් කර ගැනීමට, මෙය අවස්ථාව කර ගත් තායිලන්ත රජු, පිපිට් කුමරු සහ ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු, බෞද්ධ භික්ෂූන් ලෙස වෙස් ගන්වා, ලන්දේසි නැවක් මගින්, ශ්‍රී ලංකාවට පිටත් කර එවීය.

 මෙම පිරිස ත්‍රීකුණාමලයෙන්, ශ්‍රී ලංකාවට ගොඩ බටහ. මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටි, සියම් භික්ෂුනට අවශ්‍යව ඇති, බෞද්ධ පොත් පත් ගෙන ඒම සදහා යැයි, කුමන්ත්‍රණකරුවන් රජුට දැන්වූහ. මොවුන් මල්වත්ත විහාරයේ ලැගුම් ගත් අතර, ඔවුන් සමග එකතුව රජු ඉවත් කර, සියම් කුමාරයා එම තනතුරෙහි පිහිටුවීමට, කුමන්ත්‍රණයේ නායකයන් කතිකා කර ගත්හ.

රජු ඝාතනය කිරිම සදහා, කුමන්ත්‍රණකරු යොදා ගත්තේ, අපූරු සැලැස්මකි. මල්වතු මහා විහාරයේ තිබූ, විශේෂ ආගමික උත්සවයට, රජුටද ආරාධනා කෙරිණි. එම ආගමික උත්සවයේදී, රජු වෙනුවෙන් විශේෂ ආසනයක් තැනවිණ. උත්සවය පැවැත්වෙන තැන විශාල වලක් හාරා, එය තුල තියුණු යකඩ උල් උඩු අතට සිටුවා, එම වල මතුපිට අලංකාර ඝණ රෙදි වලින් සරසා, එම රෙදි මත රජතුමාගේ ආසනය තිබිණ. මෙම ආසනයේ රජතුමා ඉඳගත් පසු, බරට ඇතිරිලි කඩා වැටී, යකඩ උල් ඇනී, රජු මිය යාමට සැලැස්වීම, කුමන්ත්‍රණකරුවන්ගේ අදහස විය. 

උත්සවය පටන් ගත් පසු, එම ස්ථානයට තම පිරිවර සමග පැමිණි රජු, එතන සිටි පිරිස්, ඔහුට ඉඳ ගැනීමට ආරාධනා කලද, ආගමට ඇති ගෞරවය නිසා බව පෙන්වා ආගමික වතාවත් අවසන් වන තුරු, තමා සදහා පනවා ඇති ආසනයේ අසුන් නොගෙන, එම අවස්ථාවේ හිටගෙන, ආගමික වතාවත් සදහා සහභාගි විය.

ආගමික වතාවත් අවසානයේ. අසුන් ගැනීමට තම ආසනය වෙත ගිය රජතුමා, එක්වරම තම අත තිබූ රාජකිය සැරයටිය ගෙන, ආසනය යට තිබූ විසිතුරු රෙදි ඉවත් කලේය. සියල්ලන්ම පුදුමයට පත්විය ; ආසනයට යටින් වලක් හාරා එහි යකඩ උල් සිටුවා තිබුනේ රජු ආසනයේ ඉඳගත්විට එය කඩා වැටී උල්වල ඇමිණී රජු මිය යන්නටය. ඉන්පසු තම පිරිස යොදවා, යකඩ උල් ඉවත් කර, නැවත ආසනය එතනම පනවා, එම ආසනයේම අසුන්ගෙන, උත්සවයේ ඉතිරි වැඩ කටයුතු වලට සහභාගි විය.

උත්සවයෙන් පසු, කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණයක් පැවැත් වුණු අතර, එයින් අනාවරණය වූ පරිදි, සමනක්කොඩි අධිකාරම, මොලදන්ඩේ රටේරාළ, මැටිහම්පොල දිසාව, සහ කඩුවෙල රාළ, යන නිලධාරීන්, හිස ගසා මරා දැමීමට තීරණය විය. කුමන්ත්‍රණයට සහභාගී වූ සිංහල සහ තායිලන්ත භික්ෂූන්ටද, මරණීය දණ්ඩනය ලබාදීමට රජුට වුවමනා වුවත්, දුම්බර මීගස්තැන්නේ අධිකාරම්ගේ මැදිහත් වීමෙන්, ඔවුනට සමාව ලබාදුනි. එහෙත් එයට මූලික වූ සිංහල භික්ෂූන් කෙහෙල් ඇල්ලට සහ බින්තැන්නට පිටුවහල් කෙරිණි.

මෙම අවස්ථාවේ, රජුගේ ජීවිතය බේරා ගැනිමට උදව් කල පුද්ගලයනට, නොයෙකුත් තනතුරු සහ වෙනත් ත්‍යාග පිරි නැමුණි. සමනක්කොඩි නිළමේ ගෙන් හිස් වූ, දෙවැනි අධිකාරම් තනතුරට, පිළිමතලාවේ නිළමේ පත් කල අතර, නායක්කාර පිරිසගේ හිතවතෙකු වූ ගලගොඩ නිළමේ, මහා අධිකාරම තනතුරට පත් කෙරිණ. කුමන්ත්‍රණය පිළිබඳව රජුට කලින් දැනුම් දුන් හේතුවෙන්, හුලන්ගමුවේ බුද්ධරක්ඛිත හිමියනට, තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස, පාවිච්චි කල හැකි පරිද්දෙන්, හුලන්ගමුව ග්‍රාමය, නින්ද ගමක් ලෙස ලබාදිණි. කුමන්ත්‍රණය පිළිබඳව ආරංචිය, භික්ෂුවගෙන් ලබා ගෙන, රජු වෙත දැන්වූ, ගොපාල නමැති රජුගේ මුස්ලිම් වෛද්‍යවරයාට, මරණීය දණ්ඩනයට ලක්වූ මොලදන්ඩ නිළමේගේ, සියලු දේපල ලැබුණි.

කුමන්ත්‍රණයේ හවුල් කරුවන් වූ, තායිලන්ත කුමරු ඇතුලු පිරිස, එකල තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති, විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හා ආගමික සම්බන්ධතාවයන් නිසා, නිදහස ලැබූ අතර, ඔවුන් ආපසු සියම් රටට යැවීම, මීගස්තැන්නේ අධිකාරමට බාරවිය.

මේ සදහා මීගස්තැන්නේ, ලන්දේසීන් ගෙන් උදව් ඉල්ලා සිටියේය. එහෙත් මෙම කුමරු ඇතුලු පිරිස, සියම් රටට තමන්ගේ නැවකින් ගෙන යාමෙන්, තමන් හා සියම් රට අතර පවතින, යහපත් සම්බන්ධතාවයන් පලුදු විය හැකි හෙයින්, එය ඉටු කිරීමට නොහැකි බව, ලන්දේසීන් දන්වා සිටියහ. අවසානයේ මීගස්තැන්නේ අධිකාරම්ගේ බලවත් ඉල්ලීම මත, කුමරු සහ පිරිස 1760 දෙසැම්බර් මස 7 වන දින, ඉන්දියාවේ ටුටිකෝලම් වරාය හරහා බතාවියටද, එතැන් සිට සියම් රටටද, පිටත් කර හරින ලදි.

මෙම සිද්ධියෙන් පසු, කන්ද උඩරට රජුට විරුද්ධව, බලවත් නායකයන් පිරිසක්, රාජසභාවේ සිටින බව හා ඔවුන් පිපිට් කුමරු කන්ද උඩරට, රජු කරවිමට සූදානම් වූ බවත් තේරුම් ගත් ලන්දේසීන් මෙම කුමරු, මහනුවර රජ කරවිමට අදහස් කලහ. මේ සදහා එකල ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ඩුබට් ජෑන් වෑන් විසින්, 1762 දී මේ සදහා එම කුමරු ලබා දෙන ලෙස ඉල්ලා, සියම් රටට තානාපතිකරයෙකු යවන ලදි. එහෙත් එකල සියම් රාජසභාවේ, ලන්දේසීන්ට විරුද්ධව තවත් මුහුද බලයක් වූ, ප්‍රංශ ජාතිකයන් බලගතුව සිටි හෙයින්, එම උත්සාහය සඵල නොවීය.

නැවත වරක් එම වසරේදීම, කතෝලික පූජකවරයෙකු හා තවත් තානාපතිවරු දෙදෙනෙකු, මහනුවර රජකරවීමට පිපිට් කුමරා ලබා දෙන ලෙසද, එසේ කිරීමට ප්‍රායෝගික නොවන්නේ නම්, ඒ සදහා වෙනත් සුදුසු රාජකීය කුමරෙකු ලබා දෙන ලෙසද, ඉල්ලා පණිවිඩයක් රැගෙන, සියම් රට බලා ගියහ.

එකල සියම් රට වෙත, රාජ්‍ය බලවත් යුධ තර්ජනයක් එල්ල වී තිබුණු අතර, එම යුධමය වාතාවරණය තුල, මෙවැනි දඩබ්බර කුමරෙකු, තම රාජ්‍යයේ සිටීම, අවාසිදායක යැයි සිතූ සියම් රාජසභාවද, මොහු ලන්දේසීන් හට භාර දීමට කටයුතු යෙදුවද, හදිසියේම බුරුම හමුදා, සියම ආක්‍රමණය කර, රට අල්ලා ගත් නිසා, එය කල නොහැක්කක් විය.

 මෙලෙස සියම කුමරු මහනුවර රජ කරවීමට, එකල ශ්‍රී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා, කොතරම් උනන්දුවක් දැක්වූයේද යත්, ඔහු මරණාසන්නව සිටියදීද, මෙම පිපිට් කුමරු ලංකාවට ගෙන්වා ගෙන, කන්ද උඩරට රජකමට පත් කරන ලෙසට, තම කවුන්සිලය වෙත ලිපියක් යවා ඇත.

මෙලෙස දකුණු ඉන්දියානු, නායක්කාර පෙළපතකින් පැවතුණු, වර්ෂ 1747 සිට 1760 දක්වා මහනුවර රාජ්‍ය කල, කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉවත් කර, ඒ වෙනුවට තායිලන්තයෙන් ගෙන්වා ගත්, බෞද්ධ කුමාරයෙකු රජ කරවීමට දැරූ ප්‍රයත්නය, අසාර්ථක ලෙස අවසන් විය.


හදිසියේවත් මෙම උත්සාහයන් ව්‍යවර්ථ වූයේ නැත්නම් පිපිට් කුමරු අවසාන සිංහල රාජධානියේ රජවනු ඇත. මෙහි සංස්කෘතියද බොහොමයක් තායිලන්ත සංස්කෘතියට සමානව ගොඩනැගෙනු ඇත. තායිලන්තයේ රජු තායිලන්තයේ ආකාරයටම මෙහිද රාජාණ්ඩුවක් පවතිනු ඇත. 

11 comments:

  1. එහෙම උනා නම් කොච්චර එකක්ද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ෂෙහ්, අපරාදෙ අර තායි කුමාරය රජකරවන කුමන්ත්‍රණේ අසාර්ථක වුනේ. නැත්නං අපිටත් ඉන්නවනෙ එයාර් චීෆ් මාෂල් බලු තඩියෙක්....හෙහ්,හෙහ්,

    ස්තුතියි ඔබට...බොහොමයක් අප්‍රකට කරුණු ඔබේ ලිපියෙන් දැනගත්තා..:)

    ReplyDelete
  5. “මේ සදහා ගැලපෙන රජ කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලා, තායිලන්තයේ රජු වෙත ලිපියක් යැවූහ.“ ඒ කියන්නෙ එකල මේක සිංහලුන්ටම අයිති රටක් වශයෙන් නොතිබෙන්නට ඇත...රට සිංහල රජ සියමෙන්

    ReplyDelete
    Replies
    1. එකල ලෝකයේ සිටි එකම හීනයාන බෞද්ධ රජු සියම් බෞද්ධ රජුය. එබැවින් එහි වරදක් නැත.

      Delete
  6. ඒ කාලෙ රජවරු හිටියෙ නායක්කර් කට්ටිය, ප්‍රධාන පවුල් අතරෙ සැකය නිසා සිහල කුමාරයෙක් රජ කරන්නට කවුරුත් කැමති වුනේ නැහැ

    ReplyDelete
  7. හප්පච්චියේ, ඉළඟ සැරේ පොදු අපේක්ෂකයෙක් හොයාගන්න ඉතිහාසයෙන් පුර්වාදර්ශ අනුව එහේ වත් යන්න වෙයිද? අර සිංහල සහ ඉතිහාසය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු ඔබ කියවන පොත් කියවා තියෙන්න ඇතුව ඇති මයෙහිතේ.


    ReplyDelete
    Replies
    1. somebody like Bill gate should be an excellent choice

      Delete
  8. Maata Bhagaye Palavunu Sinhala Nawa kathawakath Obe Lipiye Sandahan Ithihasa Vistarayak Thibuna...Namuth Thai Kumarek Lankawe Raja Karanna Kumantranaya Palamuwenma Danagatte Obe Lipiyen . Obata Sthutii ..

    ReplyDelete

වකුගඩු වසංගතය ට හේතුව කුමක්ද ?

අපි දැන් මාස කිහිපයකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. නැරඹිය යුතු ප්‍රධාන දේශීය සංචාරක ස්ථාන වලට අමතරව අපත් සමග ගිය පවුල කල...