Wednesday, September 13, 2017

විභාග :- අතීතය වර්තමානය සහ අනාගතය.





අපි උසස් පෙළ විභාගය කරද්දී අපේ මිතුරන් කිහිප දෙනෙකුට ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. ඒ කොපි කිරීමක් නිසාය. මට මේ සිද්දිය මතක් කර දුන්නේ මේ ලඟදි උසස්පෙළ රසායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳව ලංකාවේ පමණක්ම සිදුවිය හැකි  හාස්‍ය ජනක කොපි කිරීමේ සිද්දිය නිසාය. 

අපේ සිද්ධිය , මෙවර එක තරම්  විදග්ධද (sophisticated) නොවුවද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් හාස්‍යජනකය. එවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර තුනක් විය ; බහුවරණ, කෙටි පිළිතුරු සහ රචනා ආකාර. මා කියන්ට යන දේ සිදුවුයේ මේ අතරින් කෙටි පිළිතුරු පත්‍රයේය. එහි එක ප්‍රශ්නයකට පිළිතුර වුයේ  මහාමාරිය නමැති රෝගයයි. හොඳින් විභාගයට පිළියෙළ වූ සිසුවෙකු පිටුපසින් ඒක දිගටම ඔහුගෙන් උදව් බලාගෙන අප පන්තියේම සිසුන් තිදෙනෙකු සිටියහ.

වැඩ හොඳ සිසුවාට (A) කෙලින්ම  පිටුපසින් සිටි සිසුවා මුලින්ම උදව් ඉල්ලුවේ මහාමාරිය ප්‍රශ්නයටය.  A ඉතාම ප්‍රවේශමෙන් කාටවත් නොපෙනෙන්නට පිළිතුර ඔහුට ලබාදුන්නේය. එහෙත් පරිසරයේ තිබූ භයානක තාවය නිසා හෝ කන් ඇසීම අඩු නිසා B ට උත්තරය ඇසුනේ මහාමාර්ගය ලෙසිනි. ඔහු මහාමාර්ගය යනුවෙන් පිළිතුර ලිව්වේය. ඔහු පසුපසින් සිටින තම මිතුරන් දෙදෙනාටත් පිළිතුර ලබා දුන්නේය. තවත් බොහෝ පිළිතුරු මෙලෙස ඒක දිශාවිකව ගලායන්නට පටන් ගත්තේය.

මොවුන්ගේ කරුමයකට මේ සියලු ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ලැබුනේ එක් මොලේ ඇති ගුරුවරයෙකුටය. ඔහුට සමහරවිට පළමුවර මහාමාර්ගය වැනි කිසිම ගැලපුමක් නොමැති පිළිතුරක් දුටු විය හිනායන්නට ඇත. නැවත දෙවෙනියට තවත් පිළිතුරු පත්‍රයක දකිනවිට එම සිදුවීම සන්නිපතිතයක් ( coincidence) යයි සිතෙන්නට ඇතත් යම් සැකයක් රෝපණය වන්නට ඇත.

ඇන්නෑවේ ! මහාමාර්ගය තුන්වන පිළිතුරු පත්‍රයේ දකිනවිට මෙතැන  අමුතු යමක් සිදුවී ඇති බැව් ඔහුට පසක් විය. පසුව මහාමාර්ගය නමැති පිළිතුර ඇති පත්‍ර වල අනෙක් පිළිතුරුද හොඳින් පරීක්ෂා කලවිට නිවැරිදි පිළිතුරුද එකිනෙකට බොහෝ සමාන බව පෙනී ගිය අතර මට මතක හැටියට සිසුන් තිදෙනෙකුගේ විභාග ප්‍රතිපල තහනම් කර අවුරුදු තුනකට විභාගයන්ට පෙනී සිටීමද තහනම් කෙරින.

මෙලෙස විභාග වංචා කිරීම් බොහෝ සිදුවන්නට ඇත. අසුවන්නට ඇත්තේ කිහිපයක් වන්නට ඇත. මෙය tip of the ice berg ප්‍රශ්නයකි. හතෙන් අටක්ම තිබෙන්නේ වතුර යටය.අසුවී නොමැත්තෝ ඕනෑතරම් ඒ කඩ ඉමෙන් ගොඩ දාගෙන ඉහල තැන්වල සාර්ථක ජිවිත ගතකරන බව නොඅනුමානය. ප්‍රශ්න පත්‍රයක්ම නොව  සමහරවිට ඒක ප්‍රශ්නයක් , එක හොඩුවාවකින් කෙනෙකු ගොඩ යන්නට පුළුවන් වනුයේ මේ විභාග එතරම්ම  තරඟකාරී නිසාය. ඒක ලකුණකින් මුලු ජිවිතයම වෙනස් කරන්නට පුළුවන්ය.

ඒ වෙනස සමහරවිට මුදලින් ගණන් හැදුවොත් ලක්ෂ 100 ක් පමණ විය හැක. මක්නිසාද ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වුවහොත් එම දරුවාට මුදල් ගෙවා උපාධියක් ලබා දෙන්නට නම් එම දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 100 පමණ ; පිටරට විශ්ව විද්යාලයකදී නම් වැයවේ. 

මෙතරම් ලොකු මුදලක් පරදුවක් ලෙස  තිබෙන්නේ බොහෝ විට තුන්වන ලෝකයේ රටවලය. මක්නිසාද , දියුණු රටවල විශ්ව විද්‍යාල වලට තෝරා ගන්නේ මෙවැනි මාරාන්තික තරඟ විභාග වලින් නොවන හෙයිනි. ඒ හේතුවෙන්ම වෙනත් ක්‍රම වලින් , අසාධාරණ ලෙස තරඟය ජයගැනීමට බොහෝ ක්‍රම  හැකි අයවලුන් උපයෝගී නොකර සිටීවි යයි කෙසේවත් හිතන්නට නුපුළුවන. 

අනික් පැත්තෙන්  ඉදිරි අනාගතයේදී සන්නිවේදන තාක්ෂනය දියුණු වීම ඉතාම වේගයෙන් සිදුවීම අනාවැකි කියන්නට අවශ්‍ය දෙයක් නොවේ. 1965 දී ගෝඩන් මුවර් ධාරිතාවය වසර දෙකකට වරක් දෙගුණ වීම පිළිබඳව අනාවැකියක් ඉදිරිපත් කල අතර එය යම් අඩු වැඩි වෙනස් ඇතිව වුවද සත්‍යක් වී තිබේ. පසුගිය වසර කිහිපයේ මේ වේගය තරමක් අඩු වී ඇත්තේ වුවද මේ හේතුව නිසා ඩිජිටල් උපකරණ මාස 18 කට පමණ වරක් ප්‍රමාණය බාගයකින් පමණ අඩුවන ප්‍රවන තාවයක් දක්නට ලැබේ.

මේ සන්නිවේදන ක්ෂේත්‍රයේ මෙලෙස දියුණු වන එකම අංශය නොවේ. දත්ත හුවමාරු කිරීම ද මේ වේගයෙන්ම දියුණු වන අතර කරාඹුවකට, දත් අතර සැඟවූ කුඩා උපකරණයකට බොත්තමක, කමිස කොලරයක  හෝ උපැස් යුවලක සැඟවූ කැමරාවකින් ලබාගන්නා පින්තුර සැතපුම් දහස් ගණනක් දුර උත්තර පිළියෙළ කෙනෙකුට යවා පිළිතුර ගෙන්වා ගැනීමේ තාක්ෂනය දැනට මත්  ඇත්තේය. තවත් ඉදිරියට ගිය විට යම් ශරීරයේ ඇතුලත සවිකළ සන්නිවෙදකයකින් එසේත් නැත්නම් ඇඳුමේ කොටසකින්ම  කෙලින්ම දැනුම වලාකුලකට සම්බන්ද වී ඕනෑම ප්‍රශ්නයකට හොඳම පිළිතුර බාහිර කිසිවකුගේ උදව්වක් නොමැතිව ලබා ගන්නට හැකි වනු ඇත.

අපි දන්නා විභාග ක්‍රම සම්පුර්ණයෙන්ම කල් ඉකුත් වීමට තව අවුරුදු දහයක් වත් නැත. එහෙත් අපි වල අලි ප්‍රශ්නය මෙන් මේ ප්‍රශ්නයත් නොදැක්කා මෙන් තනි වරද කරුවන් අල්ල ගෙන ඔවුන්ට දඬුවම් කරන්නට උත්සාහ කරමින් සිටින්නෙමු. සත්‍ය තිත්තය , එහෙත් එයට මුහුණ දිය යුතුය. විවුර්ත පොත් සහ ඉන්ටර්නෙට් සහිතව පවත්වන විභාගයකදී  ප්‍රශ්න වලට ඉතාමත් නිර්මාණ ශීලි පිළිතුරු සෙවීම මෙම අලුත් විභාග ක්‍රමය වීමට බොහෝ ඉඩ ඇති බව මගේ හැඟීමයි.

 ජාතික සැලසුම් කරුවන් ; එහෙම කොටසක් මෙරට සිටින්නේ නම් , මේ දෙස බලන්නට කල් පැමිණ තිබේ. 



Tuesday, September 12, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා - 12




http://lakshmanillangakoon.blogspot.com/2017/09/11.html
"ඇත්තෙන්ම කියනවනං මට ඩිංගක් බඩ  බුරුලට ආව,ඒ මදිවට වම් දනිහත් ඩිංගක් රිදුම් දෙන්ට බැලුව, ඉතිං මම කැලේ ඇතුලට රිංගුවා, එලියට ඇවිල්ල බලනකොට ස්කිනර් උන්නැහේ මං පහුකොරල" ආරච්චිල කිහිප වතාවක් නවතමින් දුන් පිළිතුර නයිදේට හෝ ඒ ඇසිල්ලේම එතනට පැමිණි ලොකු මැණිකේට එතරම් ඇල්ලුවේ නැත.

" දැන් බත් ටික කාල හිටියනං හොඳයි නේද ?" අසමින් ඈ ඉස්තෝප්පුවට ආවාය. තිදෙනාම ඇගේ ඇරයුමට කන්දෙන්නාක් මෙන් කෑම කාමරයට ගියද ඇත්තෙන්ම ඒ වෙලාව වන විට බෝතලය අවසන් වී තිබුණු නිසා  ඔවුන්ට  කෑමට යාම හැර වෙනත් කරන්නට දෙයක් තිබුනේ නැත.

" දඩයමේ ආපු මම්මලේ කාක්ක ගම්ගාතයක් එවල තිබ්බ, ඒක වෙනම බැදල නිල් දිසියේ ඇති," කියමින් වේවැල් වලින් තැනු කෑම වසනය ඉවත්කර ඇය අසල තිබූ දොරින් උයන ගේ වෙත ගියාය. තම කෑම බෙදාගෙන කෑම මේසය අසල තිබූ බංකුවක් මත වාඩිවී ආහාර ගැනීමට පටන්ගත් නයිදේ වෙනදාට වඩා ටිකක් දොඩමලු විය.

"මං නම් කියන්නෙ මේ නැගිල්ල ආපහු තියන්ට ඕනෑ කියල, මොකද දිනුවෙ කව්ද කියන්ට අමාරුයි , දෙන්නම මෙච්චර ලඟින් ඉවර කෙරුවම" ඔහු අලුත් යෝජනාවක් ගෙනාවේය. 

"ඒක නම් හොඳ අදහසක් , නයිදෙට හොඳ අදහස් එනව," ස්කිනර් ආරච්චිල දෙස පිළිතුරක් බලාපොරොත්තුවෙන් බැලුවේය. 

" මමත් කැමතියි , හැබැයි හීන් අක්ක මනාප නම් විතරයි " ලොකු මැණිකේ වතුර ජෝගුවකුත් රැගෙන පැමිණෙනවා දුටු ආරච්චිල පැවසුවේ ඇය කිසිසේත් මෙයට කැමති වේයැයි නොසිතාය.

ඇය වතුර ජෝගුව මේසය කෙලවර තබා මෙහෙකාරිය බන්දේසිය මත තබා ගේන ලද විදුරු වලට වතුර වත් කර මේසය මතින් තබා ආරච්චිල දෙස බැලුවාය , " උඹ මේ හැම එකක්ම මගෙන් අහලද මෙච්චර කල් කොරේ? හොඳයි, ඒ මොනවා වුනත් මමත්  කියන්නෙ තව පාරක් මේක කෙරුවනම් හොඳයි කියල" කියා සියලු දෙන පුදුමයට පත් කලාය.

දෙවැනි තරඟය මුල් ඒක තරම් උත්සවාකාරයෙන් පැවතුනේ නැත. මිලිටරි කුඩාරම් එසවුනේ නැත. සොල්දාදුවන් පටන් ගන්නා ස්ථානයේ හෝ කන්ද මුදුනේ සිටයේත්  නැත. කලින් කතිකා කරගත් පරිධි එතන නරඹන්නන් ලෙස සිටියේ  ලොකු මැණිකේ, ඇයගේ කුඩා මිනිබිරියන් දෙදෙනා , නයිදේ සහ ඒ දිනවල දඩයම් සඳහා පැමිණ ගමේ කඳවුරු ගසා සිටි තවලමේ නායකයා වූ මම්මලේ කාකා පමණි. ඔහු මෙම තරඟය පිළිබඳව නයිදේ ගෙන් දැනගෙන එය බැලීමට පැමිණීමට ඕනෑ බවට ආරච්චිල හමුවී කෙසේහෝ අවසර ලබා ගත්තේ, මිට පෙර කිහිපවතාවක් මෙම ප්‍රදේශයට පැමිණි විට ආරච්චිල සමග මෙම වේගවත් නගිල්ලට සහභාගී වී ඇති හෙයිනි. 

මුල් දිනයේ මෙන්ම ඕනෑම වෙලාව ගතවන දීර්ග තරගයක් මෙන්  ඇල්මැරුණු ස්වභාවයකින් තරඟය  පටන් ගැනුණි. එදා මෙන්ම මුදුනට යන තෙක්ම දෙදෙන එකටම වාගේ ගමන් කළහ. බැස්මේ  අවසාන බාගයේ ගියවර මෙන්ම  ආරච්චිල වේගය වැඩි කළේය. බැවුමේ කුඩා ළමුන් කෑ ගසන හඬ ඇසී ස්කිනර් දනිස් ලඟට දිග  කාකි කොට කලිසමේ සාක්කුවෙන් වොටර්බරි ඔරලෝසුව ගෙන වෙලාව පරීක්ෂා කළේය. තමන් විනාඩි 10 කින් පමණ පැරදී ඇති බව දැන  ගත්තේය. පහලට පැමිණි පසු තම ඇස්තමේන්තුව විනාඩි 2 කින් වැරදි ඇති බව දන ගත්තේය. 

"මම කිව්වනේ නයිදේට ඕක වෙන්ට බෑ කියල, ලොකු නිලමෙ ගෙ වේගේ මම දන්නවනේ " මම්මලේ මඟදී නයිදේට කිවේය. ඔවුන් කලින් ගමන් ඇරඹුවේ ආරච්චිල සහ ස්කිනර් ට ටික වෙලාවක් මහන්සි ඇරීමට එතන නතරවීමට අවශ්‍ය බව දැන්වූ නිසාය.

" මට එදත් පොඩි සැකයක් ආව ,නිලමෙ අන්තිම හරියෙදී මඟ ඇරුනහම,ඇත්තටම ඇයි නිලමේ එහෙම හිතලම පැරදුනෙ ?" ස්කිනර් බැවුමේ පසෙක තිබූ ලොකු කිතුල් කොටයක ඉඳගනිමින් ඇසුවේය. ඔහු මහත් ලෙස වික්ෂපිත වී සිටියේය.

" එදා මගේ බඩ  බුරුල් උනා ස්කිනර් උන්නැහේ, අද උනේ නැහැ , ආන්න ඒක තමා උනේ, යන් අපි ගෙදර යන්, කොපි කෝප්පයක් බිල හොඳ යාපනේ සුරුට්ටුවක් බොමු, මම්මලේ මට ඊයේ නොම්බර එකේ සුරුට්ටු පෙට්ටියක් ඇරගෙන ආව " දෙදෙනා නැගිට ආරච්චිල ගේ නිවාස පැත්තට ගමන් ඇරඹුහ.

පියවර කිහිපයකට පසු ස්කිනර් ආපසු හැරී කඳු මුදුන දෙස ටික වෙලාවක් බලා සිටියේය. මුහුණට සිනාවක් නංවාගෙන නැවත ආරච්චිල සමග ගමනට එකතු විය.






Saturday, September 9, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා-11





http://lakshmanillangakoon.blogspot.com/2017/09/10.html

සිට

සියලු දෙන වික්ෂිප්තව ස්කිනර් දෙස බලා සිටි අතරේ නයිදේ කන්ද දෙසට වේගවත් පියවරෙන් යන්නට පටන් ගත්තේය. ඔහු ස්කිනර් පසුකරනවාත් සමගම කැලෑ රෝදෙන් ආරච්චිල මතුවිය. නයිදේ ඔහු අසලට ගොස් හැරී ඔහුත් සමග, ඔහුට මඳක් පිටුපසින්  පිරිස දෙසට සෙමින් ඇවිද්දේය. 

"ආරච්චිල දිගටම මට ඉස්සරහින් ආවේ, කන්ද පාමුලදි තමයි මට නොපෙනී ගියේ ,මම හිතුවෙ ආරච්චිල මට ඉස්සර පහලට ආව කියල " ස්කිනර් සතුටින් එහෙත් තරමක් අවුල් ස්වභාවයකින් බදුල්ලේ ඒජන්තට කියමින් සිටියේය.

" ආරච්චි . මට බොහොම සන්තෝෂයි , තමුන් අපි වාගේ වයසක මිනිස්සුන්ට නම්බුවක් ගෙනල්ල දුන්න , තව විනාඩි පහක් ඉස්සර වුනානම් තමුන් තමයි දිනන්නෙ " රෙසිඩන්ට් ඉතා සතුටින් ආරච්චි ගේ අත් දෙක අල්ලා ගෙන උඩට පහලට සොලවමින් කිවේය.

බොහෝ සතුටු සාමිචියෙන් පසු ඉංග්‍රීසින් ආපසු පිටත් වූ අතර ආරච්චිල සහ නයිදේ හෙමින් ගමනින් ආපසු ආරච්චිල ගේ නිවෙස බලා පිටත්වූහ.

" මොකෝ බං කවුරුත් පෙනෙන්ට වත් නැත්තේ, හීන් අක්කා , හීන් දුව..." ඔහු මිදුලට පැමිණ කතා කළේය.  
"නයිදෙ දිග්ගෙට  ගිහිල්ල අල්මාරිය උද තියෙන පෙට්ටියෙන් කළු සුරුට්ටු දෙකක් අරං වරෙන්, " කියමින් ගල් පඩිය උද ඉඳ ගත්තේය.

" මං හිතං හිටියේ තමුන්නැහේ සුරුට්ටු සම්පුර්ණයෙන්ම අතහැරල දායි කියල , තරගෙ ඉවරවුනා විතරයි ආයේ වැඩේ පටන් ගත්ත නේද " කියමින් නිවසෙන් එලියට පැමිණ ආරච්චිල ගේ සුරුට්ටුව සහ ගිනි පෙනෙල්ල ඔහු අතට දුන්නේය. 

"එහෙනං නයිදෙ උඹ ගෙදර ගොහින්  හැන්දෑ කොරේ වරෙන් , මම ඩිංගක් හාන්සි වෙන්ට ඕනෑ , " කියූ ආරච්චිල සුරුට්ටුවත් පත්තු කරගෙනම  නිවස වෙත ගියේය.

" කෙල්ලො දෙන්නම අහපු වෙලේ ඉඳල අඬන්ට ගත්ත, මුලු ගමම ඉන්නේ බොහොම දුකෙන්,මම දවල් ගෑනු දෙන්නෙකුත් එක්ක වැටකෙයිය කපන්ට උරකොටේ යායට ගියා, මල්පිටියේ බන්ඩ එතෙන්ට තකහනියක්  ඇවිල්ල මට කියල ගියා , මං උඹට කිව්වා නේද බන්ඩ ඔය වැඩේට යන්ට එපා කියල , පොඩි එවුන් තාම අඬනව" සහෝදරිය , හාන්සි පුටුවේ වාඩිවී සුරුට්ටුවක් පත්තුකරමින් සිටි ආරච්චිලට  හිතේ තිබූ දුක කියාගෙන ගියේය.

" දවල් බත් මං බෙදලයි ගියෙ, ඒ ටික කෑවද ?" ඇය නිවසට ඇතුළු වීමට පෙර ආපසු හැරී ඔහුගෙන් ඇසුවාය.

"ඔව් , හීන් අක්ක, මං බත්  කාල ඩිංගක් හාන්සි වුනා, මට පොඩි වැරද්දක් උනා තමයි, ඒ වුනාට ඒ වෙලාවෙ ඒක නොකර බැරි වුනා. හොඳයි ඒ වුනාට මට ඒ වැරැද්ද හදන්ට බැරි වෙන එකකුත් නෑ " කියූ ඔහුද ඇය පසුපසින් නිවසට ඇතුළු විය. වම්පස කුඩා කාමරයේ දොර රෙද්ද මෑත් කර ඇඳේ නිදාසිටින කුඩා දරුවන් දෙදෙනා දෙස ටික වෙලාවක් බලා සිටියේය. පිහියත් ගෙන නිවස පිටුපසින් එලියට ගොස් වත්ත දිගේ ඉහලට ගියේය.

පසුදින ඉරිදා දිනයක් වූ හෙයින්  උදේ එකොළහටත් පෙර  ස්කිනර් ආරච්චිලාගේ නිවසට පැමිණියේය. ඔහු පැමිණි විගසම 
"මෙන්න මම නිලමේට පොඩි තෑග්ගකුත් අරගෙන ආව, මේක මට කෝපි  වත්තේ ඇන්ඩර්සන් දුන්නෙ, එයාට නිවාඩුවකට එංගලන්තේ ඉඳල ආපු එයාගේ මල්ලි තමයි ගෙනල්ල තියෙන්නෙ , මේකට වතුර එකක් පුරවල කැලේ යනකොට කරේ එල්ලගෙන යන්ට පුළුවන් , මේකට කියන්නේ කැන්ටින් ඒක කියල" කියමින් කාකි පාට මිලිටරි පෙනුමකින් යුත් බෝතලයක් දුන්නේය.

"අර බුළු මුදුනෙන් එහා පැත්තේ වත්තෙ මහත්තය නේද, උන්නැහේ සෑහෙන කාලෙකින් දැක්කේ නැහැ ?" ආරච්චිල ඇසුවේය. 

"ඇන්ඩර්සන් කොළඹ ඉඳල කෝපි වවන්නෙක්, රේස් කෝස් එකෙයි,ගෝල් ෆේස් එකෙයි තමයි කාලය ගත වෙන්නේ  , දැන් ඉන්න හුඟක් වවන්නො වගේ, ඒ අයට කොළඹ කියන්නේ , ගෝල් ෆේස් වවන්නෝ කියල"

" අද නම් තමුන්නැහැ කෑම ටිකක් කාලම යන්ට ඕනැ " එතනට පැමිණි ලොකු මැණිකේ ඔහුට කීවාය. " අද නම් මැණිකෙ එපා කිව්වත් කාල තමයි යන්නෙ" කියූ ඔහු බෝතලයක් බෑගයෙන්  එලියට ගත්තේය. 

නයිදේ ගේ සහයෝගයත් ඇතිව බෝතලය වේගයෙන් අඩුවන්නට විය.

"නිලමෙ එදා අන්තිම වෙනකම්ම මට ඉස්සරහින් ඇවිල්ල මොකද එකපාරටම මගේ පස්සෙන් ආවෙ ?" ස්කිනර්  බොහෝ වෙලාවක සිට  අසන්නට සිටි ප්‍රශ්නය ආරච්චිල ගෙන් ඇසුවේය. 









Friday, September 8, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා -10

ආරච්චිල ආපසු බැහැගෙන එද්දී  මහගිරි දඹය මඟදී, මීටර 200  ක් පමණ පහලින් ස්කිනර් උඩට නඟිද්දී මුන ගැසින. 

" නිලමෙ  මම හිතුවට වඩා වේගයෙන් නගිනවනේ, දැන් මට වැඩිය අඩි 500ක් විතර ඉස්සරහින් ඉන්නේ " ස්කිනර් කනගාටුවෙන් මෙන් හෙමින් කිවේය.

" ස්කිනර් උන්නැහේ, කන්ද බැහිල්ලේදී තමයි වයස බලපාන්නේ, තව ඩිංගක් යනකොට  මගේ දනිස් පොල්කටු බෑ කියනකොට ඔන් තමුන්ගේ වාරෙ " කියූ ඔහු සරුවාලයේ ඔඩොක්කුවෙන් තව කටු ඇඹිල්ල ගෙඩි අහුරක් ගෙන ස්කිනර්ට දුන්නේය. 

"ගල්වන්ගෙඩිය හරියේ මං දුටුව හොඳ මොර ගහක්, යන කොට ඒකෙන් ගෙඩි ටිකක් අහුලගෙන කෑවහම පිපාසෙ කොහෙන් ගියාද නැතිවෙයි" ආරච්චිල කියාගෙනම අඩි හයක් පමණ වූ සැරයටිය ගල් පඩියකට තබා තදකර පරික්ෂාකර පහලට  ගියේය. එහෙත් තත්වයේ එතරම් වෙනසක් වුයේ නැත. පසුපසින් වුවද ස්කිනර් ද ඔහුත් සමගම වාගේ පහලට බැස්සේය.

මහගිරි දඹේ අවසන් කර ස්කිනර් ආපසු අම්බලමේ පිලේ ඉඳගෙන තම කකුල්වල කුඩල්ලන් එල්ලී ඇත්දැයි පරීක්ෂා කළේය. පිලේ ටිකකට හාන්සි විය. ශබ්දයක් ඇසි ඔහු එක්වරම ගැස්සී නැවත පිලේ ඉඳ ගත්තේය. 

" මම මෙතෙන්ට එනකොට නිලමෙට නින්ද ගිහිල්ල" වම පැත්තේ පිලේ ඉඳගෙන සිටි ස්කිනර් සිනාසෙමින් කිවේය. " තව පොඩ්ඩෙන් මට හාවට වෙච්චි එක තමයි වෙන්නේ එහෙනං" කියූ නිලමේ නැගිට වම් කකුල ඉදිරියට දිග හැර පරීක්ෂා කළේය. 

"යන්ට වෙලාව හරි , යමුද එහෙනං පහලට" , ආරච්චිල ගමන් ආරම්බ  කළේය. 

" දැන් අපි දෙන්න මෙහෙම ගියොත් මේක රේස් එකක් වෙන්නේ නැහැ, මෙතන ඉඳල වේගෙන් ගිහිල්ල කවුරු හරි එක්කෙනෙක් අනෙකා පහුකරලා පාමුලට යන්ට ඕනෑ නිලමෙ" කියූ ස්කිනර් ද නැවත ගමනට වැටුනේය. ස්කිනර් වේගය වැඩි කරන්නට උත්සාහ කලද ආරච්චිලටද  පොල්ල බිමට තබමින් ඒ වේගයෙන්ම බසින්නට හැකිවිය. 

ගල්වන්ගෙඩිය හන්දියේදී මොර අහුලා ගැනීමට ආරච්චිල කුරුවිට අඩි පාර ඇතුලට ගිය විට, නැවතී බලාසිටි ස්කිනර් ට මෙය ඔහු පසුකරගෙන යාමට හොඳම අවස්ථාව යැයි සිතුනද ඔහු මොර අහුලන්නට ගියේ ඔවුන් දෙදෙනාම සඳහා නිසා එසේ කිරීම නුසුදුසු යයි ස්කිනර් කල්පනා කළේය.

මොර කමින් පහලට බසින ඔවුන් කඳු හතේ මුල්ම කඳු ශිකරයට පැමිණියහ. තව ඇත්තේ කිලෝ මීටර 4 ක් පමණි. 

" හරි එහෙනං, දැන් පටන්ගමු ස්කිනර් උන්නැහේ, ඕන් මං මගේ පුළුවන් තරන් වේගෙන් පල්ලම් බහිනවා" කියු කිරිබණ්ඩා ආරච්චිල ස්කිනර් පසුකර තම වේගය වැඩි කළේය. එහෙත් තත්වයේ එතරම් වෙනසක් වුයේ නැත. පසුපසින් වුවද ස්කිනර් ද ඔහුත් සමගම වාගේ පහලට බැස්සේය. ටික වෙලාවක් යන විට දෙදෙනා අතර පරතරය ටිකෙන් ටික වැඩි වන්නට පටන් ගත්තේය.

විනාඩි පහලවක් පමණ ගතවන විට පරතරය අඩි විස්සක් පමණ විය. පැය බාගයක් යනවිට වංගුවකදී ස්කිනර් ට ආරච්චිල නොපෙනෙන ගානට පරතරය වැඩි විය. තව ඉතිරිව ඇත්තේ කිලෝ මීටර 2ක් පමණි. තමා මෙතනට ජේෂ්ඨ නිලධාරින් ගෙන්වාගෙන කර ගත්තේ ලොකු මෝඩ කමක් වත්දැයි යන අදහස ස්කිනර් ගේ සිතට වධ දෙන්නට පටන් ගත්තේය.

"දැන් එන්ට වෙලාව හරි වාගේ නේද?" රෙසිඩන්ට් තම ජැකට් සාක්කු වෙන් ගත් තඹ පැහැති ලොකු ඔරලෝසුවෙන් වෙලාව පිරික්සා, පිරිස ගෙන් ඇසුවේය. 

" ඔව්, දැන් කිට්ටුවම ඇති" රත්නපුර ඒජන්ත වරයා පිළිතුරු දුන්නේ කවුරුන් හෝ රෙසිඩන්ට් සමඟ එකඟ විය යුතු නිසා මිස පිළිතුර හරියටම දැනගෙන නොවේ.

ඈත කෙළවරක බිම ඇන තබාගෙන බුලත් විටක් හපමින් සිටි නයිදේ හෙමින් හෙමින් කුඩාරමේ පසුපසට පැමිණ ඒ අසලින් සිට ගත්තේය.

" කිව්වා විතරයි , අන්න පළමුවැනිය කැලෙන් මතුවෙනව" කෙනෙක් කිවේය. සියලු දෙන පුටුවලින් නැගිට අත්පුඩි ගැසුහ. ස්කිනර් අවුල් වූ මුහුනකින් යුක්තව ආපසු හැරී බැලුවේය.

"ඇයි, ආරච්චිල තවම ආවෙ නැද්ද? " ඔහු පුදුමයෙන් පිරිසගෙන් අසා ආපසු හැරී අඩි පාර දෙස බැලුවේය. 








Thursday, September 7, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා - 9



http://lakshmanillangakoon.blogspot.com/2017/09/8.html  න් පසු කොටස

හතර  දෙනාගෙන් මුලින්ම අසු පිටින් බැස්සේ ස්කිනර්ය. ඔහු ඉතිරි තිදෙනාගෙන්, රැවුලක් මුහුනපුරා වවාගෙන සිටි පළල සහ දිග නළලක් සහිතව ස්ථිර සිනහවකින් මුව සරසාගෙන සිටි අසරුවා වෙත් ගොස් ඔහුට පහලට බැසීමට උදව් කරන ලෙසකින් අසල සිටියමුත් ඔහු එය ගණනකටවත් නොගෙන අසුපිටින් එක් ගලායන පිම්මකින්ම බිමට බැස්සේය, ස්කිනර් ද පෙරටුකරගෙන ආරච්චිල වෙතට පැමිණියේය.

" මේ අපේ ගිලිමලේ ආරච්චිල වෙන්ට ඇති මගේ හිතේ" ආරච්චිල අත්  දෙක එකතු කර එම නිලධාරියාට ආචාර කළේය. 

"එහෙමයි, මටත් ආරංචි වුනා තමුන්නාන්සේ බදුල්ලට ඇවිල්ල ඉන්නව කියල , ඒ වුනාට මං හාන්කාවිසියක් වත් හිතුවේ නැහැ තමුන්නැහේ අද මෙතෙන්ට එයි කියල " ආරච්චිල රෙසිඩන්ට් වරයාට අඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් එතැන සිටි ස්කිනර් පුදුමයෙන් රෙසිඩන්ට් වරයා දෙස බලා සිටියේය.

"මම දැනගෙන හිටියේ නැහැ , ඔබතුමා ආරච්චිල දන්නවා කියල"ස්කිනර් පිළිතුරක් බලාපොරොත්තුවෙන් රෙසිඩන්ට් දෙස බැලුවේය.

" ඇයි ස්කිනර්ට ආරච්චි කිව්වෙ නැද්ද ? මට ආරච්චිල ඉස්සරලාම මුණගැහුනෙ ලන්ඩන් ඔල හොම් ඔෆිස් එකේදී" කියූ ඔහු ආරච්චිලට පමණක් පෙනෙන්නට වම ඇහැ කුඩා කළේය. ටික වෙලාවක් ස්කිනර් හා බදුල්ලේ නිලධාරින් දෙදෙනා අවිනිශ්චිතව තබා " මම විහිලුවටයි කිව්වෙ, ආරච්චිල මට පරණ රටේ මහත්තයත් එක්ක කිහිප වතාවක් හම්බුවෙලා තියෙනව, මම බොහොම කැමතියි, ආරච්චිලගෙ කැලෑව ගැනයි ගම ගැනයි පරණ කතා අහන්ට, අපි ඒ කාලේ හුඟාක් රෑ වෙනකන් ඕව ගැන කතා කරනව" සියලු දෙනාට ඔහු පැහැදිලි කළේය.

" මට මේ කතාව අපේ රත්නපුරේ ඒජන්ට් කිව්වහම පුදුම හිතුන, ආරච්චිල ඔය වයසට මේ වගේ තරඟයකට කැමති වුන ඒක ගැන , හැබැයි මට දැන් ආරච්චිල දැක්කහම හිතෙනවා අපේ ස්කිනර්ට මේක හිතන තරම් ලේසි නෑ කියල" ඔහු සිනහවුනේය.

ඉතිරි නිලධාරින් කුඩාරමේ පනවා තිබූ පුටු වල ඉඳගත් පසු තරඟය ආරම්ඹ  විය. ඔවුන් කිසි උදව්කරුවකු නොමැතිව කඳු මුඳුනට නැඟ ඒ මත සිටින මැලේ සාජන් වරයා මුණගැසී ආපසු කන්ද බැස කුඩාරම වෙතට පැමිණිය යුතු විය.

දෙදෙනාම එතරම් වේගයකින් ගමන් ඇරඹුවේ නැත්තේ කිලෝ මීටර 8.5ක් අඩි 2 ට 1 බැගින්, 3ට 1  බැගින් සහ 4 ට එක  බැගින් නැග්ම  තැනින් තැන විසිරි ඇති මෙවැනි නැගීමකට තත්පරයක් දෙකක් එතරම් වටිනාකමක් නොමැති නිසාය.දෙදෙනාම නිශ්ශබ්දව නැගීමේ යෙදුනහ.
  ආඬියා මල තැන්න අම්බලමට එන තෙක් වචන දෙක තුනකට වඩා හුවමාරු වුයේ නැත. අම්බලම අසල කටු ඇඹිල්ල ගහක් දුටු ආරච්චිල ගසේ උස අතු කිහිපයක් නමා පිහියෙන් කපාගෙන තද රතු පැහැති ඉදුණු ගෙඩි පොකුරු කිහිපයක් කඩා ගෙන කොටසක් ස්කිනර් ට ලබා දුන්නේය.

" ඩිංගක් ඇඹුල වැඩි උනාට බොහොම හොඳ පළතුරක් උගුර වෙලේනවට " කියූ ස්කිනර් ගෙඩි පහ හයක්ම කට ඇතුලට දාගෙන හපන්නට පටන් ගත්තේ අම්බලමේ පිලේ ඉදගනිමිනි.

 ගෙඩි කිහිපයක් කටේ දමා ගත ආරච්චිල  " මං මහගිරත් නැගලාම හුස්මක් ගන්නවා" කියා නැග්මේ අපහසුම කොටස නගින්නට පටන් ගත්තේය.

" මේ කාලෙට අලිය මේ හරියේ අඩුයි ද ?" මේ අතර රෙසිඩන්ට් පොදුවේ ප්‍රශ්නයක් යොමුකළේ ඔහුගේ පයිප්පය බිමට හරවා එහි තිබූ පිළිස්සුනු දුම්කොළ බිමට හලමිනි.

" බොහොම අඩුයි, දැන් ඕනෑම කෙනෙකුට සිලිං  තිහකට තුවක්කුවක් ගන්ට පුළුවන්, සිලිං  දෙකකට වෙඩි බෙහත් අරගෙන දඩයමේ ගිහිල්ල අලි පස් දෙනෙක් බිම දාගෙන වලිග පහ කපාන ඇවිල්ල පෙන්නුවහම  එකකට සිලිං  හත ගානේ ආණ්ඩුවෙන් එකතු  කර ගත්තහැකි  , එක  දඩයමෙන්ම මුල් ආයෝජනය එහෙමපිටින්ම  ආපහු ලැබෙනව. අලියො කීප දෙනෙක් වත් ඉතිරිවෙලා ඉන්න ඒක තමා පුදුමෙ." එතැන සිටි වල් අලි වෙඩිතැබිමට සැමදා විරුද්ධ  වූ රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත පිළිතුරු දුන්නේය.




Monday, September 4, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා -8



from http://lakshmanillangakoon.blogspot.com/2017/08/7.html



ආරච්චිල නින්දෙන් ඇහැරුනත් ඇඳෙන් නොනැගිට ටික වෙලාවක් ඇඳෙන් නොනැගිටම කල්පනා කළේය. මෙලෙස ඇඳට වී දවසේ කරන්නට තිබෙන වැඩ එහෙමත් නැත්නම් මේ දිනවල විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රශ්න ගැන කල්පනා කර ඒවා විසඳා ගැනීමට කුමක් කලයුතු දැයි සිතීම ඔහුගේ පුරුද්දකි. කුඩා කල සිට එන මේ පුරුද්ද තමන්ට බොහෝ විට ලොකු ප්‍රයෝජනයක් ගෙන දුන් බව ඔහු නිතරම සිහි කළේය.

 අදද එලෙස යම් විශේෂ යමක්  කරන්නට තිබෙන බව ඔහුගේ සිත ඇතුලේ කැකෑරෙයි. එහෙත් ඒ කුමක්දැයි එක්වරම සිහියට එන්නේ නැත. ජුනි මාසයේ අග කච්චේරියට බාර දීමට තිබූ කාර්තු අග ලිකියවිලි සියල්ල බාර දී ඇත්තේය. කිසිදු ඉහල නිලධාරියෙකු තම ප්‍රදේශයේ සංචාරයකට ලඟකදී  පැමිණෙන බවක් හෝ දන්වා නැත.  

මෙකල අවට පරිසරය උණුසුම් නිසා කාමරයේ තිබූ එකම ජනේලය ඇර තිබුණි. ශීතල කාලයට නිදාගැනීමට පෙර මෙය වසා තැබීම ඔහුගේ අක්කාගේ පුරුද්දක් විය. කුරුල්ලන් කිහිප දෙනෙකුම ලී ජනේලය අසලින්ම එළියේ තිබූ රට අඹ ගසේ අතුවල සිට කෑ ගැසුවත් ඔහුට එය එතරම්  ගණනකට ගියේ නැත. එක්වරම කොහෙක් කෑ ගසන හඬ මුලින් ඇසුණු කුරුළු හඬ අභිබවා ඇසෙන්නට පටන් ගත්තේය. ආරච්චිලට සිනා ගියේය. 

" අතරමං වෙච්ච කොහෙක් , ඔක්කොම පටලවගෙන වාගේ" අලුත් අවුරුද්ද කාලයට කෑ ගසන කොහෙක් ගේ හඬ ඇසීම ගැන ඔහු සිතුවේය.
"නැත්තං මේ අගෝස්තු ...."

ඔහු ඇඳෙන් බැස්සා නොව පැන්නා කිව්වොත් නිවැරදිය. කුඩා මේසය හා ඇඳ හැර කාමරයේ තිබූ අනික් එකම ලී බඩුව වූ අල්මාරිය ඇර සරුවාලයක් සහ කාකි කමිසයක් ඇඳ ගත්තේය. හම් ඉනපටියේ ගාන්චුව දමාගෙන එහි පසුපසින් වක් පිහිය ගසා ගත්තේය. මෆ්ලරය කරේ දමාගෙන කුඩා නිල්පාට තුවායකින් ඔලුව වටා සුම්බරයක් බැඳ ගන්නා විටම සහෝදරිය පැමිණ දොර රෙද්ද මෑත් කලාය.

" ආන් නයිදෙත් ඇවිල්ල ඉන්නව, අපි බලාගෙන උන්නෙ නොයා ඉන්ටවත් තීන්දු කොරාද කියල"

ආරච්චිල සිනාසී ඉතිරි ඉඩ ටිකෙන්  කාමරයෙන් එලියට පැමිණියේය. දිග්ගේ  දොර රෙද්ද මෑත් කර කෑම මේසය දෙස බැලුවේය. 
" නයිදේ වරෙන් , තලප ටිකක් කාලම යමු" කිවූ ඔහු කිතුල් පිටි තලප පිඟානට  දමා ගෙන පැණි රසට හදා තිබූ පොල්කිරි හොද්දෙන් ටිකක්‌  වක්කරගෙන එයින් තලප පිඟානට වැටුණු ගම්මිරිස් ඇට දෙකක් අහුලා අයින් කළේය.

"වරෙන් තව ටිකක් බෙදා ගමු" , ඔහු කන අතරම දිග බංකුවේ වාඩිවී තලප කමින් සිටි නයිදේට කිවේය.

" හොඳයි, ඒක නෙවෙයි නිලමේ. හීන් මැණිකෙලා දෙන්නත් යන්ට ඕනැ කියනව , එක්ක ගියොත් හොඳයිද ?"

"නෑ ,ඕනැන්නේ නෑ, එතන ආයෙ බලන්ට පෙරහැරක් තියෙනව යැයි" කියූ ආරච්ච්ල ඔහුගේ කළුවර සැරයටියත් රැගෙන නිවසින් පිටව කළුගල් පඩි පෙලෙන් පහලට බැස්සේය. 

ඔවුන් කන්ද පාමුලට ලඟා වනවිට දුටු දෙයින් දෙයින් දෙදෙනාම පුදුමයට පත්විය.

" මොකක්ද බං අර සුදු පාටට වනාතෙ කෙලවරේ පෙනෙන්නෙ ?" ආරච්චිල නැවතී නයිදේ දෙස බැලුවේය.

නැවත ගමන් ඇරඹු ඔවුහු අවට එලි පෙහෙළි කර කාකි පැහැති කැන්වස් රෙද්දෙන් ඉදිකර තිබූ කුඩාරම් දෙකක් අසලට පැමිණියහ. එතන සිටි මැලේ සාජන් ආරච්චි දැක ඔහු අසලට පැමිණියේය.

" ලොකු ආරච්චිල ,කොහොමද වාස දේස?" ඔහු ඇසුවේය. ඔහුගේ කතා විලාසයේ තරමක ඔලොක්කුවක සේයාවක් වැටි තිබුනේ දැයි නයිදේ කල්පනා කළේය. 

" මොකටද සාජන් උන්නැහ මේ කුඩාරම් " ආරච්චිල ඇසුවේය. " අපිට කිව්වනම් අපි මඩුවක් පිළියෙළ කොරනවනේ" ඔහු එකතු කළේය.

" අපේ ස්කිනර් තුවාන් තමයි මෙහෙම හදන්ට කිව්වෙ, හදිස්සියෙන්ම ඊයේ රෑ , නුවර රෙසිඩන්සි තව මහත්තුරු කට්ටියක් එක්ක මෙහෙ එනව කියල" යනුවෙන් ඔහු පවසන විටම වාගේ අසුන් පිට නැගුනු සුදු නිලධාරින් හතර  දෙනෙකු දෙවට දිගේ එනු පෙනින.

ඊළඟ 
http://lakshmanillangakoon.blogspot.com/2017/09/9.html

Saturday, September 2, 2017

නිධාන හෑරීමෙන් ඔබ්බට; function tests



මම මීට පෙර දවසක නිධාන හෑරීම ගැන බ්ලොග් එකක් ලිව්වෙමි ( http://lakshmanillangakoon.blogspot.com/2016/07/finders-keepers.html.ඉන්පසු ඊයේ පෙරේදා නිදන් පස්සේ දුවන නොමග ගිය මිනිසුන් ගේ කථාවලටත් වඩා අද්භූත කථා වක් අහන්නට ලැබුනු නිසා ඒ ගැනත් ලියන්නට හිතුනී. කිරිබන්ඩා සහ ස්කිනර් කථාවේ කොටස් කිහිපයක් ලියන්නට ඉතිරිව තිබුනත් මෙම කතාව ඒකාංගික එකක් නිසාත් ඉක්මනින් අමතක විය හැකි නිසාත් එය මුලින් ලියා කිරිබන්ඩා සහ ස්කිනර් වෙත පසුව යාමට තීරනය කලෙමි.

නිධාන හා සමාන එසේත්  නැත්නම් ඊටත් වඩා අද්භූත ජනක දේවල් එකතු කර කෝටි ගනන් මුදල් එක්වරම උපයා ගැනීම මනුශ්‍ය යනට සැමදා තිබෙන්නාවූ ආශාවකි. එය වරෙක VOC පිඟන් ව්ය. මම කුඩා කාලයේ අප දන්නා හඳුනන විදුහල්පතිවරයෙකු බ්‍රෝකර් ලාගේ ලනු කා නයවී ලොකු ගනන් වලට VOC පිඟන් මිලට ගෙන  ඒවා විකුනාගැනීමට බැරිව සිය දිවි නසා ගත්තේය.

ඉන්පසු ගෙම්බා මාක් මහන මැසින් , වල්ල පට්ට , සිය වස් ගනනක් මේරුනු කරපින්චා කඳ , ගජ මුතු සහ වාලම්පුරි යනාදී නොයෙකුත් දෑ පසුපස හඹා යන පුද්ගලයන් සහ කන්ඩායම් අපට හමුවේ. ඔව්හු සිහින ලෝක වල ජීවත්වෙති. අතේ තිබෙන මුදල් වියදම් කරගෙන අවසානයේ හොට බිම ඇනගනිති. මේවායින් කෝටි ගනන් මුදල් ක්ෂනිකව උපයාගත් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් , ව්‍යාපාරිකයන් හෝ දේශ්පාලකයන් ගැන නොයෙකුත් අලංකාර කථාන්දර කියති.


මේ දිනවල මෙවැනි කන්ඩායම් වල ප්‍රධාන මාතෘකාව වාලම්පුරි සහ ඉපැරනි , සුද්දන්ගෙ කාලයෙ හෝ ඊට පෙර සවිකල අකුනු සන්නායකයි. වාලම්පුරි සෙවීමට පැමිනෙන්නේ මැද පෙරදිග ධනවතුන්ය.අකුනු සන්නායක සොයන්නෙ ඇමෙරිකාවෙ සිට පැමින  සිටින ධනවත් කාන්තාවකි ; කාන්තාවක නිසා කතාව තවත් රොමැන්ටික් වෙයි. අකුනු සන්නායකය තිබෙන ඉඩමට විකුනන්නාට අයිතිය පෙන්වීමට ඔප්පු තිබේනම් සහ එම අකුනු සන්නායක වල බිම තිබෙන කොටසේ තඹ කොටස ඔවුන් කියනා පරිධි function test දෙකකට සාර්‍රථකව මුහුන දුන්නොත් එම තඹ තහඩුවේ වර්ග අඟලකට රුපියල් කෝටි 5ක් ලැබේ.න්

අයිතිකාරයාට කෝටි තුනකි. ඉතිරිය බ්‍රෝකර් ලාටය. මුලින් කල ටෙස්ට් එක එම ත්ඹ තහඩු අසලට යන විට අතේ මයිල් කෙලින් වීමේ ටෙස්ට් එකය.එසේ සිදු වුවහොත් මුදල් ගෙවා තඹ තහඩු ගලවාගෙන යනු ලැබේ. එහෙත් පසුව බ්‍රෝකර් ලා අත් වල වැස්ලින් ගා ගෙන මේ ටෙස්ට් එක බොරුවෙන් ජය ගත්හ.ඉන්පසු හාල් ඇට ටෙස්ට් එක යොදා ගැනින. එම තඹ තහඩුව අසලට හාල් ඇට ටිකක් දැමූවිට හාල් ඇට සෙමින් තඹ පත් වෙතට ඇදෙන්නට පටන් ගනී. එහෙත් මේ ලඟකදී බ්‍රෝකර් කෙනෙකු සහල් ඇට තුලට සියුම් යකඩ කැබලි බස්සවා පැත්තකින් චුම්බකයක් සඟවා සහල් ඇදෙන්නට සලස්වා මිලදීගන්නකු රවටා ඇති බවටද කථාවක් පැතිර යයි.

වාලම්පුරි සඳහා function ටෙස්ට් එක බිම පොල් ගෙඩියක් තබා වමට කැරකුනු වාලම්පුරිය එයට කෙලින්ම උඩින් ඇල්ලීමයි. එවිට පොල්ගෙඩිය හෙමින් කැරකෙන්නට බලන්නේ නම් වාලම්පුරිය නියම එකකි. මුලින් මෙවැනි වාලම්පුරියකට කෝටි පහක් ලැබුනු අතර දැන් එය කෝටිය දක්වා අඩුවී ඇත.

අකුනු සන්නායක මෙතරම් මුදලක් දී මිලදී ගන්නේ කුමක් සඳහාද?
ඒවා ඇමෙරිකාවේ යම් න්‍යශ්ටික යෙදවීමක් සඳහාය.

මෙවැනි දැ පසුපස , වරින්වර අලුත් අද්භූත කෝටි ගනන් මුදල් උපයා දෙන මැජික් පහලවෙයි. මෙම කන්ඩායම් ලොකු මුදලක් එක්වර ලභාගැනීමට තමන් අතේ ඇති මහන්සියෙන් උපයාගත් මුදල් වියදම් කරමින් රට වටා දුවති.











ගංජා වෙළඳාම

 කොණ්ඩයකපන්න ගිය විට සැලුන් හොඳ කතා කාරයෙක් නම් කොණ්ඩය කපන්ට වෙලාව යනවා දැනෙන්නේ නැත. මගේ රෙගියුලර්  මෑන් ඒ ජාතියේ කෙනෙකි.  ඔහුගේ ජීවිතයත් හ...