Saturday, September 9, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා-11





http://lakshmanillangakoon.blogspot.com/2017/09/10.html

සිට

සියලු දෙන වික්ෂිප්තව ස්කිනර් දෙස බලා සිටි අතරේ නයිදේ කන්ද දෙසට වේගවත් පියවරෙන් යන්නට පටන් ගත්තේය. ඔහු ස්කිනර් පසුකරනවාත් සමගම කැලෑ රෝදෙන් ආරච්චිල මතුවිය. නයිදේ ඔහු අසලට ගොස් හැරී ඔහුත් සමග, ඔහුට මඳක් පිටුපසින්  පිරිස දෙසට සෙමින් ඇවිද්දේය. 

"ආරච්චිල දිගටම මට ඉස්සරහින් ආවේ, කන්ද පාමුලදි තමයි මට නොපෙනී ගියේ ,මම හිතුවෙ ආරච්චිල මට ඉස්සර පහලට ආව කියල " ස්කිනර් සතුටින් එහෙත් තරමක් අවුල් ස්වභාවයකින් බදුල්ලේ ඒජන්තට කියමින් සිටියේය.

" ආරච්චි . මට බොහොම සන්තෝෂයි , තමුන් අපි වාගේ වයසක මිනිස්සුන්ට නම්බුවක් ගෙනල්ල දුන්න , තව විනාඩි පහක් ඉස්සර වුනානම් තමුන් තමයි දිනන්නෙ " රෙසිඩන්ට් ඉතා සතුටින් ආරච්චි ගේ අත් දෙක අල්ලා ගෙන උඩට පහලට සොලවමින් කිවේය.

බොහෝ සතුටු සාමිචියෙන් පසු ඉංග්‍රීසින් ආපසු පිටත් වූ අතර ආරච්චිල සහ නයිදේ හෙමින් ගමනින් ආපසු ආරච්චිල ගේ නිවෙස බලා පිටත්වූහ.

" මොකෝ බං කවුරුත් පෙනෙන්ට වත් නැත්තේ, හීන් අක්කා , හීන් දුව..." ඔහු මිදුලට පැමිණ කතා කළේය.  
"නයිදෙ දිග්ගෙට  ගිහිල්ල අල්මාරිය උද තියෙන පෙට්ටියෙන් කළු සුරුට්ටු දෙකක් අරං වරෙන්, " කියමින් ගල් පඩිය උද ඉඳ ගත්තේය.

" මං හිතං හිටියේ තමුන්නැහේ සුරුට්ටු සම්පුර්ණයෙන්ම අතහැරල දායි කියල , තරගෙ ඉවරවුනා විතරයි ආයේ වැඩේ පටන් ගත්ත නේද " කියමින් නිවසෙන් එලියට පැමිණ ආරච්චිල ගේ සුරුට්ටුව සහ ගිනි පෙනෙල්ල ඔහු අතට දුන්නේය. 

"එහෙනං නයිදෙ උඹ ගෙදර ගොහින්  හැන්දෑ කොරේ වරෙන් , මම ඩිංගක් හාන්සි වෙන්ට ඕනෑ , " කියූ ආරච්චිල සුරුට්ටුවත් පත්තු කරගෙනම  නිවස වෙත ගියේය.

" කෙල්ලො දෙන්නම අහපු වෙලේ ඉඳල අඬන්ට ගත්ත, මුලු ගමම ඉන්නේ බොහොම දුකෙන්,මම දවල් ගෑනු දෙන්නෙකුත් එක්ක වැටකෙයිය කපන්ට උරකොටේ යායට ගියා, මල්පිටියේ බන්ඩ එතෙන්ට තකහනියක්  ඇවිල්ල මට කියල ගියා , මං උඹට කිව්වා නේද බන්ඩ ඔය වැඩේට යන්ට එපා කියල , පොඩි එවුන් තාම අඬනව" සහෝදරිය , හාන්සි පුටුවේ වාඩිවී සුරුට්ටුවක් පත්තුකරමින් සිටි ආරච්චිලට  හිතේ තිබූ දුක කියාගෙන ගියේය.

" දවල් බත් මං බෙදලයි ගියෙ, ඒ ටික කෑවද ?" ඇය නිවසට ඇතුළු වීමට පෙර ආපසු හැරී ඔහුගෙන් ඇසුවාය.

"ඔව් , හීන් අක්ක, මං බත්  කාල ඩිංගක් හාන්සි වුනා, මට පොඩි වැරද්දක් උනා තමයි, ඒ වුනාට ඒ වෙලාවෙ ඒක නොකර බැරි වුනා. හොඳයි ඒ වුනාට මට ඒ වැරැද්ද හදන්ට බැරි වෙන එකකුත් නෑ " කියූ ඔහුද ඇය පසුපසින් නිවසට ඇතුළු විය. වම්පස කුඩා කාමරයේ දොර රෙද්ද මෑත් කර ඇඳේ නිදාසිටින කුඩා දරුවන් දෙදෙනා දෙස ටික වෙලාවක් බලා සිටියේය. පිහියත් ගෙන නිවස පිටුපසින් එලියට ගොස් වත්ත දිගේ ඉහලට ගියේය.

පසුදින ඉරිදා දිනයක් වූ හෙයින්  උදේ එකොළහටත් පෙර  ස්කිනර් ආරච්චිලාගේ නිවසට පැමිණියේය. ඔහු පැමිණි විගසම 
"මෙන්න මම නිලමේට පොඩි තෑග්ගකුත් අරගෙන ආව, මේක මට කෝපි  වත්තේ ඇන්ඩර්සන් දුන්නෙ, එයාට නිවාඩුවකට එංගලන්තේ ඉඳල ආපු එයාගේ මල්ලි තමයි ගෙනල්ල තියෙන්නෙ , මේකට වතුර එකක් පුරවල කැලේ යනකොට කරේ එල්ලගෙන යන්ට පුළුවන් , මේකට කියන්නේ කැන්ටින් ඒක කියල" කියමින් කාකි පාට මිලිටරි පෙනුමකින් යුත් බෝතලයක් දුන්නේය.

"අර බුළු මුදුනෙන් එහා පැත්තේ වත්තෙ මහත්තය නේද, උන්නැහේ සෑහෙන කාලෙකින් දැක්කේ නැහැ ?" ආරච්චිල ඇසුවේය. 

"ඇන්ඩර්සන් කොළඹ ඉඳල කෝපි වවන්නෙක්, රේස් කෝස් එකෙයි,ගෝල් ෆේස් එකෙයි තමයි කාලය ගත වෙන්නේ  , දැන් ඉන්න හුඟක් වවන්නො වගේ, ඒ අයට කොළඹ කියන්නේ , ගෝල් ෆේස් වවන්නෝ කියල"

" අද නම් තමුන්නැහැ කෑම ටිකක් කාලම යන්ට ඕනැ " එතනට පැමිණි ලොකු මැණිකේ ඔහුට කීවාය. " අද නම් මැණිකෙ එපා කිව්වත් කාල තමයි යන්නෙ" කියූ ඔහු බෝතලයක් බෑගයෙන්  එලියට ගත්තේය. 

නයිදේ ගේ සහයෝගයත් ඇතිව බෝතලය වේගයෙන් අඩුවන්නට විය.

"නිලමෙ එදා අන්තිම වෙනකම්ම මට ඉස්සරහින් ඇවිල්ල මොකද එකපාරටම මගේ පස්සෙන් ආවෙ ?" ස්කිනර්  බොහෝ වෙලාවක සිට  අසන්නට සිටි ප්‍රශ්නය ආරච්චිල ගෙන් ඇසුවේය. 









2 comments:

  1. ඔය ඉතින් ආපහු කොටහයි නෙවැ දාල තියෙන්නෙ...

    ReplyDelete
  2. අයියෝ මෙහෙම ගියොත් කුතුහලය වැඩි වෙලා මැරෙනව


    ආරච්චි හදිසි අවශ්‍යතාවයකව ගියා වෙන්න බැරිද ?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...