Friday, October 7, 2022

ප්‍රශ්න හතර

 ඉංග්‍රීසි කාලෙ ලංකාවේ සේවය කළ පාකර් නැමති වාරිමාර්ග ඉංජිනේරුවෙකුගේ ලංකාවේ ජන කතා යනුවෙන් පොතක් කියවමින් සිටිමි.


ඒ පොතේ තිබූ අපූරු කතාවක් මෙහි ලියා දක්වන්නට සිතුනි.


වරක රජකෙනෙකු එකල සිටි සංඝරාජ වරයා ලැජ්ජා කිරීමට ඔහුගෙන් ප්‍රශ්න හතරක් ඇසුවේය.

 1. මුහුද කොතරම් ගැඹුරු ද

 2. අහසේ තරු කොපමණ තිබේද

 3. ලෝකයේ හරිමැද කොතනද

 4. ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවේ මගේ සිතේ තිබෙන්නේ කුමක්ද

මෙම ප්‍රශ්න හතර සංඝරාජ වරයාගෙන් අසා ඔහුට පිළිතුරු දීමට ඊළඟ පොහොය දවස දක්වා කල් දුන්නේය.


මේවා ඇත්තෙන්ම පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න බව නොකිව මනාය. සංඝරාජ වරයා මෙය දන්නා නිසා පන්සලට ව් කණගාටුවෙන් කාලය ගත කළේ තමන්ට දැන් ්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වීමට සිදුවන නිසාය.

ඔහු කනගාටුවෙන් සිටින බව දුටු එම පන්සලේ විසූ වෙනත් භික්ෂුවක් ඒ ගැන සංඝරාජ වරයාගෙන් අසා සිටියේය. තමා කණගාටුවට පත්ව ඇති කාරණය පැහැදිලි කළ පසු එම භික්ෂුව පශ්චාත්තාප නොවන ලෙසටත් ඔහු එම ප්‍රශ්න වලට පිළිතුරු රජුට ලබා දෙන බවත් පවසා සිටියේය.

පිළිතුරු දීමට නියමිත දිනයේ භික්ෂුව සංඝරාජ වරයාගෙන් ඔහුගේ ධූරයේ නිල ආයිත්තම් යනාදිය ඉල්ලාගෙන සංඝරාජ වරයා ලෙස වෙස් වලාගෙන රජු හමුවීමට ගියේය.

රජු ඔහුගෙන් ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලා සිටියේ සංඝරාජ වරයා ලැජ්ජාවට පත් කිරීමට බොහෝ උනන්දුවෙනි.

වෙස් වලා සිටි භික්ෂුව මෙසේ පිළිතුරු දුන්නේය.

රජතුමනි  ඔබ මුහුදට බහින විට මුහුද වළලූකර තෙක් ගැඹුරයි, තවත් මුහුද දෙසට ගමන් කරන විට දණහිසක් ගැඹුරුයි, තවත් ඉදිරියට යන විට උරහිසක් ගැඹුරුයි, තවත් ඉදිරියට ගියොත් ඔබටත් වඩා ගැඹුරුයි.


රජුට එම පිළිතුරට කිසිවක් කියන්නට තිබුණේ නැත. 

හොඳයි අහසේ තරු කීයක් තිබෙනවාද? රජු ඇසුවේය.

තරු ලක්ෂ විස්සයි, භික්ෂුව පිළිතුරු දුන්නේය. 

කොහොමද එහෙම හරියට කියන්නේ


ඔබ ගණන් කර බලන්න අහසේ හරියටම තියෙන්නෙ ලක්ෂ විස්සයි භික්ෂුවගේ පිළිතුරට රජුට කියන්නට දෙයක් නොවීය.


හොඳයි ලෝකයේ මැද තිබෙන්නේ කොතැනද, ඒ ප්‍රශ්නෙන් වත් සංඝරාජ වරයා හිර කර ගැනීමට රජු ඇසුවේය.


රාජ්‍ය සේවකයෙකු මගින් කුඩා කූඤ්ඤයක් ගෙන්වාගත් භික්ෂුව එය පොළොවේ  ගැසුවේය. 

මෙතන තමයි හරි මැද ඔබතුමා රාජපුරුෂයන් හතරදෙනෙකු ගෙන්වාගෙන මෙහි සිට හතර දිශාවට මැනගෙන යන්න කියන්න. ඒ හතර දෙනාගේ මැනීමේ දුර එක සමාන වනු ඇත.

ප්‍රශ්න තුනෙන්ම සංඝරාජ වරයා බේරුණු බව දුටු රජු සතරවෙනි ප්‍රශ්නයෙන් නම් ඔහු කෙසේ හෝ අසුවන බව දැන සිටියේය.

හොඳයි මගේ සිතේ දැන් තියෙන්නෙ කුමක්ද ඔහු භික්ෂුවගෙන් ඇසුවේය.


ඔබේ සිතේ තිබෙන්නේ මේ ඔබට කතා කරන්නේ සංඝරාජ වරයා බවයි. නමුත් ඔබේ සිතේ තිබෙන දේ වැරදි යි. මම සංඝරාජ වරයාගේ සිසුවෙකු වන්නෙමි.


තමා ප්‍රශ්න හතරෙන්ම පරාජය වු බව දුටු රජතුමා, භික්ෂුවට ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාව ට ප්‍රශංසා කළේය.

4 comments:

  1. රජවරු සහ සඟ රජවරු...

    ReplyDelete
  2. මිලිඳු රාජ ප්‍රශ්නය වගේ එකක්...
    කලින් මේ කතා ටික වෙනස් වෙනස් විදි වලට අහල තිව්න. සමහර තැන්වල තිබුණේ නස්රුදීන් හා රටේ රජු විදිහට.

    ReplyDelete
  3. ඔබතුමා කියවන්නේ 'ගොඩගේ' එකෙන් අච්චු ගැස්සූ කොටස් කිහිපයකින් යුතු පරිවර්තනේ නම්....
    මටත් නිහතමානීව ආඩම්බර වෙන්න ඇහැකියි. ඒ පොත් print කළේ මම මුද්‍රණ කලමනාකරු ලෙස සේවය කරද්දී.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...