Thursday, January 26, 2017

ජනාධිපතිට ලිපියක් ලිව්වෙමි.


ජනාධිපතිතුමා 
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය  
ගරු ජනාධිපතිතුමනි, 
පරිසර දූෂණය වැලැක්වීම. 

ඔබතුමා ජනාධිපති ධූරයට අමතරව පරිසරය පිළිබඳ අමාත්‍යාංශයේද වගකීම බාර ගැනීමෙන්ම පරිසරය යන විෂය කොතරම් වැදගත්දැයි පැහැදිලිය. ඒ නිසා ඒ ගැන අටුවාටීකා ලිවීමට අවශ්‍යතාවයක් නැත්තේය. පරිසරය, ආහාර, බල ශක්තිය, යහපාලනය, ජලය, ජාතික ආරක්ෂාව වැනි ජාතියේ ජීවනාලිය සම්බන්ධ ප්‍රධාන කාරණා හා සමානවම සාකච්ඡා කෙරෙන කාලයක් දැන් පැමිණ තිබීම අප ජාතික ඒ පිළිබද උනන්දුව මනාවට පෙන්වා දෙයි. 

එහෙත් අවාසනාවට කාරණය පරිසරය ගැන කථා කරන එමෙන්ම ක්‍රියාකාරී වන බොහෝ දෙනෙකු පරිසර දුෂණය ගැන කථා කරන විට තෝරා ගත් සමහර දූෂණ ගැන පමණක් කථා කිරීමයි. විල්පත්තුව ගැන කථා කරති. දිය ඇලි වලින් කුඩා ජල විදුලි බලය තැනීම ගැන කථා කරති. පස් කැපීම සහ ගඟෙන් වැලි ගොඩ දැමීම ගැන කථා කරති. මේ හැම දූෂණයක්ම යම් කිසි ආර්ථික ක්‍රියාකාරකමක් කරද්දී සිදුවන දූෂණයන් වේ. උදාහරණයක් වශයෙන් බෑවුමක ගලන ජලය හරස් කර විදුලිය නිපදවීමෙන් ඇත්තෙන්ම පොසිල ඉන්ධන පිලිස්සීම අඩු කරයි. එය පරිසර විනාශයද එලෙසින්ම අඩු කරයි. 

පරිසර දූෂණය අර්ථ දක්වා ඇත්තේ ස්වාභාවික පරිසරයට දූෂක ඇතුලු වීමෙන් සිදු වන අයහපත් වෙනස් වීම් ලෙසටය. එම දූෂණය රසායනික ද්‍රව්‍යයන් හෝ ශබ්දය, තාපය, ආලෝකය වැනි ශක්තියේ නොයෙකුත් ප්‍රබේදයන්ය.

 මෙලෙස යම් ආර්ථික අරමුණකින් ක්‍රියාත්මක වන අතරතුර සිදු වන පරිසර දූෂණයන් වලක්වන විට රැකියා අහිමිවීම් සහ සංවර්ධන වේගය අඩාලවීම් වැනි අයහපත් ප්‍රතිපල ඇතිවීම ස්වාභාවිකය. උදාහරණයක් වශයෙන් ගංගාවල වැලි ගොඩ දැමීමට සීමාවන් පැනවීමෙන් දහස් ගණනකට රැකියා අහිමි වන අතර, ඉදිකිරීම් කර්මාන්තය සීඝ්‍ර පසුබෑමකට ලක්වන බව නොකිවමනාය. 

එහෙත් මේ කිසිම ආර්ථික උපයෝගීතාවයක් නොමැති පරිසර දූෂකයක් නිසා ශ්‍රී ලංකාවේ පරිසරය ඉතාමත් දූෂණයට පත්වී බොහෝ පුරවැසියන් ආතතිය, අධික රුධිර පීඩනය වැනි නොයෙකුත් රෝග පීඩාවටද ගොදුරු කරයි. ඒ ශබ්ද දූෂණයයි. ශ්‍රී ලංකාවේ තරම් ශබ්ද දූෂණයෙන් පිරි රටක් මේ ලෝකයේම තිබෙනවාදැයි හිතන්නට අමාරු බව ඔබ තුමාත් පිලිගන්නා බව මට හොදටම විශ්වාසය. සමහර විට ඉන්දියාව අපට කිට්ටුවෙන් සිටින්නට පුලුවන. ලංකාවේ වාහන පාරවල්වල, විශේෂයෙන්ම බස් රථ මහ හඩින් ගිගුම් දෙන කන් අඩි පුපුරවා යන හෝන් ගසති. වරක් දෙවරක් නොව ගමනේ ආරම්භයේ සිට අවසන දක්වාම මේවා නාද කරති. 

ඉදිරියේ ඇති නැවතුමට මිනිසුන් ගෙන්වා ගැනීමට, අදුරන කෙනෙකු පාරේ දුටුවිට, ඉදිරියෙන් වාහනයක් දුටු විට, යාළු බස් රථ සමග පණිවිඩ හුවමාරු කරගැනීමට, තමා පසු පසින් රථවාහන පොලීසිය දැන්වීමට, බස් නැවතුමකින් මගීන් වැඩි ප්‍රමාණයක් දමා ගත් සතුටට සහ පෙනෙන්නට හෝ එසේත් නැත්නම් කිසිම හේතුවක් නොමැතිව බස් රථ රියදුරෝ හෝන් නාද කරති. 

මෙම නලා සාමාන්‍යෙයන් ශබ්දයක් ඇති විනීත නලා වූවා නම් මෙය දරා ගන්නට පුලුවන. එහෙත් මේ නාද කරන්නේ දශක ගණනකට පෙර පාරේ අලියන් එවීමට පාවිච්චි කරන්නේ යැයි එකල විහිලුවට කිවූ හෝන් වර්ගයකි. මේවායින් මුලු පලාතම දෙදුරුම් කන අතර, ඔබගේ සහෝදර පුරවැසියෝ මහත් ආතතියට පත්වෙති. රෝගාතුර වෙති. 
මෙවැනි දැඩි ශබ්ද නිසා ඇතුල් කනේ සංවේදී සැකිල්ලට තාවකාලික සහ ස්ථීර අලාභහානි සිදුවේ. ඇතුලත කනේ සිට මොළය දක්වා විදුලි සංඥා ගෙන යන කුඩා සෛල වලට අලාභහානි වූ විට ඒවාට සාමාන්‍ය ශබ්ද වල විදුලි සංඥා මොළයට ගෙන යාමට අපොහොසත් කරයි. 

මෙම මහත් විනාශකාරී දරුණු පරිසර හානිය වහාම වැලැක්විය යුත්තේය. මෙය නැති කිරිමෙන් කිසිම කෙනෙකුගේ රැකියාවක් නැති වෙන්නේ හෝ ආර්ථික ක්‍රියාවලියක් බිද වැටෙන්නේවත් නොමැති වීම මෙය පාලනය කිරීම තවත් පහසු කාරණයයි. 

මෙම ශබ්ද දූෂණය පාලනය කිරීමට ඉතාමත් පහසුය. ඒ සදහා කල යුත්තේ වාහනවල නලාවන් සදහා ශබ්ද උපරිමයක් නියම කිරීමයි.  වාහනයකට යම් දුරක සිට; අඩි දහයක් පමණ දුරින් ශබ්ද තීව්රතාවය මැනීමේ උපකරණයක් තබා නලාව නාදය කර සීමාව පසුකරත්දැයි පරීක්ෂා කිරීම කල හැක. දැන් අලුත් ස්මාර්ට් දුරකථන වලට පවා මෙම හැකියාව ඇති ඇප්ලිකේෂන් එකකුත් වෙළඳ පොලට නිකුත් කර තිබේ. ඒ නිසා මෙවැනි මානයක් රුපියල් 10,000 ට වඩා මිළ වන්නේ නැත. මුලු ලංකාව පුරාම රථවාහන පොලීස් නිලධාරීන්ට මෙම උපකරණ දෙක බැගින් ලබා දුන්නේ වුවද ලොකු මුදලක් වැය වන්නේ නැත. 

මෙම මහා පරිසර දූෂනයෙන් ඔබ සහෝදර පුරවැසියන් ඉතා ඉක්මනින් ගලවා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.    

       

7 comments:

  1. ලොකුම එක පන්සල් පල්ලි කෝවිල් වල ලවුඩ් ස්පීකර් ශබ්ද දූෂණය...එයිනුත් පන්සලට පළමු ස්ථානය.

    ReplyDelete
    Replies
    1. මමයි ඔය ශබ්ද දූෂණ පනත් විසික්ක කලේ හාන්දුරුවනේ

      Delete
  2. අන්තො සාඝෝසා...බහී සාඝෝසා...

    මම කිව්වේ මේ දුර ගමන් ප්‍රයිවට් බස් ගැන. පාරේ යන එවුන්ටත් කරදරේ..ඊට හපන් ඇතුලේ යන එවුන්ට.

    ReplyDelete
  3. ඔය ලේලන්ඩ් හරි ටාටා හරි බස්වලට ඔයතරම් අලි එලවන හොන් සවිකර එන්නේ නෑ. අපේ ගොයියෝ තමයි වායුවෙන් වැඩ කරනා හොන් සෙට් එකක් හයිකරගන්නේ. මුදල් වියදම් කරලා ගැජට් ගෙන්න ඔනේ නෑ. ඔය වායුවෙන් වැඩකරන හොන් සවිකරන එක නැවැත්තුවාම වැඩේ ඉවරයි.

    ReplyDelete
  4. කාලයක් ඔව්ව ගැලෙව්වා.ගස්ලබ්බා ගමන් කරපු බස් එකකුත් නවත්තලා ඔය අලි හෝන් ගැලෙව්වා.නමුත් ඒ වැඩසටහන් එකවරම නැවතුනා.සංගම් කාරයෝ ලෙඩ අදිනවා.
    පියවරෙන් පියවර හික්මවන්න පුළුවන් අපේ මිනිස්සුන්ව.උවමනාව විතරයි ඕන.බ්
    හොඳම උදාහරනෙ බස් වල සිගරට් බීම නවතපු ආකාරය.
    ජයවේවා..!!

    ReplyDelete
  5. පරිසර සංරක්ෂණය ගැන ඔබ විසින් ජනාධිපතිට යොමු කර ඇති ලිපිය කියෙව්වේ මහනුවර සිද්ධිය සහිත ලිපිය කියෙව්වාට පසුවයි. මහනුවර සිද්ධියත් ජනාධිපතිට යොමු කරන්න.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...