Thursday, June 30, 2016

බාසුන්නැහේලට හෙල්මට් සහ ඩෙනිම් ඇන්දවීම; නැගෙනහිර යුරෝපයෙන් ආදර්ශයක්.




බාසුන්නැහේලට හෙල්මට් සහ ඩෙනිම් ඇන්දවීම; නැගෙනහිර යුරෝපයෙන් ආදර්ශයක්.  



මේ ලගකදී, හවස් වරුවේ ඇවිදින්නට ගිය විට, යක්ගහපිටිය, දේවාලේගම මාර්ගයේදී, මට ඉදිරියෙන් යන පුද්ගලයා, කුමන රැකියාවක් කරන්නේදැයි සිතින් අනුමාන කර, මගේ අනුමානය නිවැරදි දැයි බලන්නට, ඔහු සමග කථාවට වැටුනෙමි.
සාමාන්‍යයෙන් හරියන, මගේ අනුමානය වැරදුනද, ඔහු සමග කථා බහෙන් මට, ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් පිලිබදව, සිත් ගන්නා සුලු තොරතුරු කිහිපයක්, දැනගන්නට ලැබුණි. ඔහු පෙදරේරුවකු වන බවත්, දැන් අවුරුදු ගණනාවක සිට, අකුරණ ප්‍රදේශයේ සුලු කොන්ත්‍රාත් කරුවෙකු ලග සේවය කර, දිනකට රුපියල් 2000 ක වැටුපක් ගන්නා බවත්, වැඩ කරන්නේ උදේ 0700 සිට 1530 දක්වා බවත්, ඔහු කීවේය. එමෙන්ම, මාසයකටම නිවාඩු ගන්නේ දින 2/3 බව, මගේ විමසුමකට උත්තර දෙමින් ඔහු කීවේය.
ඔහු නිවසට යාමට මාර්ගයෙන් හැරී ගිය අතර, හැරෙද්දී ඔහු මට කියා සිටියේ, ඔහුට කලින් වැඩ ඉවර වීම, මහත් වාසියක් වන්නේ, ඔහුගේ මී හරක් ආපසු මඩුවට ගෙන යාමට, එයින් ඉමහත් පහසුවක් වන බවය. මම ඔහුගෙන් වෙන් වූ පසු, ඔහුගේ මාසික ආදායම මනෝමයෙන් ගණන් හදා බැලුවෙමි. හරක් ඇති කිරීමෙන් එන ආදායමට අමතරව, ඔහු අඩුතරමේ මසකට රුපියල් 50,000 ක්  උපයයි. මෙය ලංකාවේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගේ වැටුපට වඩා හොද රුපියල් 10,000 කට පමණින් වැඩිය.
මා දන්නා හදුනන, කුණ්ඩසාල ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වා ගනිමින්, ගොඩනැගිලි කොන්ත්‍රාත් ව්‍යාපාරයක යෙදෙන, සුලු පරිමානයේ කොන්ත්‍රාත්කරුවෙකු මුනගැසුනු විටකදී, මා මේ පිලිබදව ඔහුගෙන් ඇසුවෙමි. ඔහු මට කිව්වේ, ඔහු ලග වැඩ කරන, පලපුරුදු පෙදරේරුවෙකුට, ඔහු රුපියල් 2500 ක් දිනකට ගෙවන බවත්, සමහර විට ඒ පඩියටවත්, පලපුරුදු මේසන් කෙනෙකු, දුර බැහැර ව්‍යාපෟති සදහා සොයා ගැනීමට අපහසු බවය. අවසානයේ ඔහු මා පුදුම කරවන කථාවකුත් කීවේය. ඒ ඔහු දැනටමත් ඉන්දියාවෙන් දෙවරක්,මේසන්වරු රැගෙන ඒමට අනුමැතිය ඉල්ලා සිටියද, එම ඉල්ලීම් රජයෙන් ප්‍රතික්ෂේප වූ බවයි.
මෙම තත්වයේ තවත් වැදගත් පැතිකඩක් තිබේ. එය පෙදරේරුවන් පුහුණු කර ශ්‍රම වෙළදපොලට මුදා හැරීමට යම් ක්‍රමවත් වැඩපිලිවලක අවශ්‍යතාවයයි. අපි සාමාන්‍යයෙන් බොහෝ විට දකින පෙදරේරුවන්, තරමක් වයසින් මුහුකුරා ගිය අයය. ඒ එසේ වන්නේ, පෙදරේරුවකු වීමට අත් උදව් කරුවෙකු ලෙස දීර්ඝ කාලයක්, වැඩ කර පලපුරුද්ද ලබාගත යුතු වීමය. සමහර අත් උදව්කරුවන් පෙදරේරුවකු බවට පත්වීමට නොහැකිව, මුලු ජීවිත කාලෙම අත් උදව්කරුන් ලෙස වැඩ කරති.
පෙදරේරුවෙකු ලෙස පුහුණු විමට, මාස හයක කාලයක්, හොදින්ම ප්‍රමාණවත්ය. එවැනි කාලයක් තුල සාමාන්‍ය පෙදරේරුවරයෙකුට වඩා, ඉහල මට්ටමක තාක්ෂණික හැකියාවක් ඇති, සහතික හෝ ඩිප්ලොමාධාරී කාර්මිකයින් පුහුණු කිරීමට පුලුවන. එම පුහුණුවට සරල ඉංග්‍රීසි ටිකක් හා අලුත් මෙවලම් පිලිබද, කරුණු ටිකකුත් ඇතුල් කලහොත්, ඔවුනට අනෙක් රටවල පෙදරේරුවන් අතර, බැබලෙන්නට පුලුවන් වනු ඇත. මෙයට අමතරව, ඔවුනට ඩෙනිම් කලිසමක්, සපත්තු දෙකක් සහ හෙල්මට් එකක් දමාගෙන, වැඩ කරන්නට පුරුදු කලහොත්, ලංකාවේ බාසුන්නැහේලා, බ්‍රික් ලේයර්ලා බවට පත්වන දිනය, වැඩි ඈතක නොවේ. දැනටම ඔවුනට එයට ගැලපෙන වැටුපක් ලැබේ; නැත්තේ ඩ්‍රේසිං එකය.
එයත් ලැබුනු විට, ස්ටයිල් එක මදි නිසා, මෙම ක්ෂේත්‍රයට නොපැමින, එයින් භාගයකටත් වඩා අඩු වැටුපක් ලබාගන්නා (රියදුරෙකුගේ වැටුප රුපියල් 30,000 අඩුයි.) බොහෝ තරුණ තරුණියන් මෙම ක්ෂේත්‍රයට පැමිණීම ගැන, නැවත වරක් හිතනු ඇත.
එසේ වුවහොත්, ඔබගේ නිවසේ රෙපයාර් එකකට, බාසුන්නැහේ ඩෙනිම් කලිසමක් ඇද, සපත්තු දෙකක් හා හෙල්මට් එකක් දමාගෙන, ඩබල් කැබ් එකකින්, පැමිණෙන කාලය එතරම් දුරක නොවේ.
මීට අවුරුදු කිහිපයකට පෙර, මහනුවර කැන්ඩි ගාඩ්න් සමාජයේදී, නැගෙනහිර යුරෝපීය රටකින් පැමිණ; රට මට හරියට මතක නැත, මහනුවර අවට විදේශිකයෙකු විසින් මිලට ගත් පරණ වලව්වක්, ප්‍රතිෂ්ඨාපනය කරන, තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු හමුවිය. ඔවුන් මෙහි සිටින මාස කිහිපයක කාලය සදහා, ක්ලබ් එකෙන් තාවකාලික සාමාජිකත්ව ලබාගෙන තිබුණි. ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදෙද්දී, ඔවුන් ශ්‍රී ලංකාවේ පෙදරේරුවන් කීදෙනෙකු යොදා ගන්නවා දැයි ඇසුවෙමි.
“අපි කිසිම පෙදරේරුවෙක් ඇගෙන නැහැ, අත් උදව් කරුවන් තුන් දෙනෙක් පමණයි.“

ඔවුන්ගේ පිලිතුර මා පුදුමයට පත්කලේය. පසුව වැඩි විස්තර ඇසූ විට මටදැනගන්නට ලැබුනේ ඔවුන් තිදෙනාම එකම විශ්ව විද්‍යාලයක කලා උපාධීධාරීන් බවත්, ඔවුන් පැරණි ගොඩනැගිලි ප්‍රකෟතිමත් කිරීමේ විශේෂ උපාධියක් ලැබූ බවත්, ඒ සදහා පෙදරේරු පුහුණුව අත්‍යවශ්‍ය කොටසක් වූ බවත්ය.    

11 comments:

  1. ඩෙනිම් ඇඳලා හෙල්මට් සපත්තු දාන්න කියපු ගමන් ජොබ් එක දාල යන පෙදරෙරුවෝ ඉන්නේ දැන්.. අපි පෙදරේරුවන් පුහුණු කරන වැඩසටහන් කීපයක් කරනවා.. පුහුණු කාලෙත් වැටුප් ගෙවලා මාස තුනකින් NVQ ලෙවල් 2, මාස 6න් ලෙවල් 3 දෙන්න ලැස්ති කරලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලයි ටෙක්නිකල් කොලේජ් වලයි ගිහින් එකතු කරලවත් මාසෙකට 15 දෙනෙක් හොයා ගන්න අමාරුයි. උතුරු නැගෙනහිර දෙපලාතෙන් තමයි එන එකෙක් හරි එන්නේ.. උනුත් ඇවිල්ල කොළඹ අඳුන ගත්තට පස්සේ වැල්ලවත්ත පැත්තේ සයිවර් කඩේක හරි වැඩකට පනින්න තමයි බලන්නේ..

    ReplyDelete
  2. ඇත්ත වෙන රටවල බ්‍රිකීලා යන්නේ ටොයොටා හයිලක්ස් හරි මිට්සුබිෂි ට්‍රයිටන් එකෙ හරි.ඒක ඒ අයගේ වැඩට අවශ්‍ය උපකරන අරන් යන වාහනේ. ආධුනිකත්ව මන්ඩලයෙන් ඔය ‍රැකියා වලට පුහුනු කිරීම පටන් ගත්තා නේද බොහොම කාලෙකට ඉස්සර? ඔතන හුඟක් බලපාන්නේ ලංකාවේ ඔය වෘත්තීන් දෙකේම අයට කතා කරන්නේ බාස් කියලනේ.වෙනරටවල වගේ බ්‍රිකී,චිපී,ස්පාකි කියනව නම් ආකල්ප වෙනස් වෙයි. මෝටර් කාර්මිකයෙකුටත් තවම ලංකාවේ කියන්නේ ඔය බාස් නමම තමයි. නමුත් නවීන වාහන වලට අත තියන්න නම් ලැප්ටොප් එකක් හෝ ස්කෑනරයක් භාවිතා කරන්න දන්න ටෙක්නීශියන් කෙනෙක් ඕනෑ.

    ReplyDelete
  3. අපි කැළණියේ ඉන්දෙද්දි තනකොල කපන් පියල් එන්නේ ටීවීල් එකේ. තැඹිලි වල්ල බාගන්න ඇපොයිමන්ට් එකක් දාන්න ඕන. කෙහෙල් කැන් නම් අපිම කපලා විකුණ ගත්තා. කැන පිටින් උස්සගෙන යන්න ලැජ්ජාවට ඇවරි කපලා අරගෙන ගියේ.

    අර අටමට බවුන්ඩේසම කපාගන්න එකෙක් නැතිව, මම දැක්කා ඌ ඔක්කෝගෙම අම්මලට බැනලා තියෙනවා..

    ReplyDelete
  4. කාලයක් යද්දී අපේ රටත් ඔය තත්වෙට එයි. හැබැයි සෑහෙන කාලයක් ගතවෙයි. ඔය විදියට හිතන්න පතන්න නාගරික උගත් පන්තියට පුළුවන් උනාට පිටිසර උදවිය ඔයවගේ රක්ෂාවල් දකින්නෙ බාල්දු රස්සාවල් විදියට."අපේ ළමයි අපි කරන දේවල් කරන්න ඕන නෑ" කියන මානසිකත්වයෙන් මොකක් හෝ ජොබ් කට්ටකට කලිසමක් ඇඳලා උදේ හවස අඩු පඩියට උනත් යන්න මිනිස්සු කැමතියි. මිනිස්සුන්ගෙ ආකල්පයි වෙනස් වෙන්න ඕන...

    ReplyDelete
  5. Very interesting discussion which is timely with development. I met young group of "wadu baasla" about 20 years ago who was trained by apprenticeship board was using modern machinery for their excellent work done for my house. Flexible, quick and on time delivery are their main characteristics!

    ReplyDelete
  6. Very valuable n relevant content Admiral. We all come accross this problem of skill sortage. Recently i read a post from house maker Lex Duco.In that it was said that their really competitors r not other home builders but masons n other skilled types. May be opportune time think about CEPA.

    ReplyDelete
  7. Very valuable n relevant content Admiral. We all come accross this problem of skill sortage. Recently i read a post from house maker Lex Duco.In that it was said that their really competitors r not other home builders but masons n other skilled types. May be opportune time think about CEPA.

    ReplyDelete
  8. මීට මොහොතකට පෙර, බාස් උන්නැහේලා සහ අත්වැඩ කරුවන් ගැන ලිපියක් ඉකොනොමැට්ටාගේ බොජුන් හලෙන් කියෙව්වා.

    මේ තියෙන්නේ ඒ ලිපිය

    ඔබත් ඊට සමාන ලිපියක් ලිවීම නිසා මේ ගැන අපේ දැනුම තවත් පුළුල් වෙනවා.

    මා හිතනවා ඉදිරි අඩ සියවස තුළ, රැකියා වලට අදාළ 'තත්වය' 'නම්බුව' වැනි ආකල්ප, අපේ සමාජයෙන් බොහෝදුරට තුරන් වෙයි කියා.

    ReplyDelete
  9. මාත් බාස්කෙනෙක් ( සමහරුපස්සට වෙල්ලා කෑල්ලත් දානවා තමා හේ හේ ක් )

    ඔය කොන්තරත් මෑන් කියාපු දෙදාස් පන්සියේ කතාවනං බොරු ( එහෙම ගෙවනවානං හොද වැඩකාරයෙක් වැඩ අදීක්ෂණයට යොදාගන දිනපතා ඒ ගාන ගෙවනවා ඇති ) , සමහරක් ටයල් සහ ටෙරාසෝ කරන බාස්ලට ඔය ගාන ගෙවනවා ...හැබැයි කොම්පැනි කාරයෝ නෙමෙයි ......වර්ග අඩි හාරසීයයි බං තියෙන්නේ වරෙන් ඇදලා දාමු කොල්ලෝ දෙන්නෙක් ලගට දෙන්නං කියල ...ගහන දඩිබිඩි ගේම් වලට යාලුවන්ට තවත් බාස් කෙනෙක්

    ලංකාවේ වැඩියෙන්ම දවස්පඩි ගෙවන්නේ බස්නාහිර පලාතේ ( ලොකු කොම්පැනිවල පඩිය නෙමෙයි , එයාල මෙහෙම ගෙවන්නේ නැ ) බාස්ට 2200යි ගෝලයට 1600 යි ,

    තව රැහේ කෙනෙකුගේ වැඩකට යනවනං බාස්ට 2000 ගෝලයට 1400 , හැබැයි එතකොට දවල් කෑම කොන්තරත් ගත්ත යාලුවා දෙන්ඩ ඕන , තේ ටිකනං ගෙදර අයිතිකාරයා දෙනවා , කොහොම වැඩට ගියත්

    එයාලගෙන් කොහොම ගෙවල වැඩ ගන්ඩ ගියත් ඇහැ ගහගන ඉන්ඩම ඕන නැත්තං බුල කෙලිනවා , එහෙම නැත්තං නිරපරාද නාස්තියක් කරනවා

    ( මම ගෙදර නොහිටපු දවස් දෙකට අපේ ගේ පිටි පස්සේ ඇලේ තියනවා අනාපු කොන්කිරිට් සහ බදාම , ඒ මදිවාට කළුගල් කුඩු කියුබ් තුනක් හාමිනේ ලව්වා ගෙන්නවල , එවායෙන් බාගයක් ගේ පිටිපස්සේ නිකං තියනවා )

    ගං දෙකකින් හතර දෙනෙක් ආවා , දෙන්නෙක් 7.30ට ඇවිත් 3.00 ට වැඩ නවත්තනවා , අනිත් දෙන්නා 8.30 ඇවිත් හතරට යනවා , පස්සේ බැරිම තැන 8.30 දෙන්නව නැවැත්තුවා , ඒ බාස්ල දෙන්නට 2200ක් සහ ගෝලයන්ට 1600 ගානේ ගෙව්වා ....කන්ඩත් දීලා තේත් දීලා ..බුලත් විට සිකරට් දීලත් මට එහෙමනං කරන්නේ මොකටද තියාගන්නේ .....පස්සේ දවසක් දෙකක් බලලා අනිත් දෙන්නාවත් නවත්තල හාමිනෙයි මායි බිත්තිටික උස්සාගත්ත

    ඔන්න ඕකයි පුලුකුනාවේ තත්වේ

    අනික ඔය මිනිස්සු කරන්නේ ප්ලැන් එක ඇන්ද එකාට ඕන දේවත් , අපිට ඕන දේවත් නෙමෙයි උන්ට ඕන ඕන දේවල් , ...තමන්ගේ වැඩේ හරියට නොකලට මොකද ...මේ බිත්ති මෙහෙම බදින්ඩ හොද නැ ....මෙතනට උලුවහු හොදනැ ...හම්මෝ ජනෙල්නං දාන්ඩ එපා මෙතනට කියල ....වැඩකට නැති විකාර බහු බූතනං කියවන්ඩ එනවා

    ඔය පස්සේ තියාගත්ත දෙන්නාට හැම දේමත් දීලා දවල්ට කන්ඩ කලින් එලියට යනව බැලුවහම කසිප්පු බොන්ඩ පැය ගනං යන හින්දා ඉක්මනට වැඩේ කරගන්ඩ ඒන හන්දා අරක්කුත ගෙනත් දුන්නා ...ඒ අරකුකු වල ගුනයවත් තිබ්බේ නැ

    අනික ඔකේ තව කාරනාවක් තියනවා ඒ ඇවිල්ලා අනිත් පැත්ත ...බාස් කෙනෙක් හිටියා ලස්සනට ඇදල සේප්ටි බුට්ස් එහෙම දාල පලිවලට වැඩ කරන , හොර බොරු නැති ගාන ටිකක් සැර මිනිහා ගෝල බාලයෝ පටවං එන්නේ ඩෙලිකා වැන් එකක ....පිලිවලට ගණන් හිලව් එහෙම කැල් එකකින් හදල කොලයක ලියල එහෙම තමයි හවසට දෙන්නේ ...මිනිස්සු මිනිහට නම්පට බැන්දා ...රටබාස් කියල ....මං මගේ වැඩේ කරගන්ඩ හෝදිසි කරනකොට මිනිහා වැඩ නවත්තල ...මොකද ඇහුවහම කියනවා......මිනිස්සුට වැඩ කරන්ඩ බැ පුතා ...කියල ....ඔන්න ඕකයි අනිත් පැත්ත

    එයා කියන එකේ ඇත්තක් තියනවා කියල මට හිතෙනවා ....සමහරක් වෙලාවට මට මොකකට හරි එන්ඩ කියල ගෙදරට ගියහම ඒ උන්දැ නැගිටල එන්නේ ලැප් එකේ බුකියට හරි ඔයා බටේට හරි එබිල ඉදලා .....එන්ඩ කියල තියෙන්නේ මැෂිමේ ලෙඩකට නෙමෙයි ....දෙකයි පනහේ සූපීන් කේස් එකක් ගොඩ දාගන්ඩ .....අයියෝ ඕක චුටි දෙයක්නේ මෙන්න මෙහෙම කරන්ඩ කියල කියල දීලා පිච්චිච්ච පැට්රොල් ටිකත් නැතුව එලියට බැහැල එනකො ටැංකියු කියුවහම .....මැඩම් ගුගල් කරල බලන්ඩ කියුවහම කට කිම්භවාගේ වෙනවා......

    බාස්ල අපිට ඉන්ටර්නෙට් යන්ඩත් කියල දෙන්ඩ හදනවා කියල

    වරද තියෙන්නේ එක තැනක නෙමෙයි

    අනික ඔය රජයේ පුහුනු කිරිම් ආයතන වලින් පුහුනු කරල එලියට දාන මිනිස්සුන්ගෙන් නියමිත විදිහට වැඩ නෙගෙන කොම්පැනි කරන්නේ පර පක්කිලි වැඩ ගන්න ...ඉතින් දෑතේ රස්සාවක් පුහුණු වෙලා එන එකාල ඉදීද

    හයියෝ කියන්ඩ ගියොත් කමෙන්ට් එකක් නෙමෙයි පෝස්ට් එකක් කොටත හැකි.





    ReplyDelete
    Replies
    1. අටමගෙ කතාව හරියට හරි. ඔය බාස්ලාගෙන් අපිත් හොඳ හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා.

      අපිට කාලයක්ම අල්ලලා ගිහින් තිබුනේ තනි අතින් වැඩ කරන බාස් කෙනෙක්. මිනිහාගෙ එක අතක් අවුල්. හැබැයි ගිනි කසයා වගේ වැඩ පොඩ්ඩක් පිළිවෙල මදි. හැබැයි මිනිහා එක්ක එන ගෝළයා මහා කම්මැලියෙක්. අත් උදව් ඉල්ලලා බාසා කෑගහද්දි අපි අත් උදව් දෙනවා ගෝළයාට කලින්. ඒත් පස්සෙ පස්සෙ මිනිහත් ගෝළයාගෙ ගානටම හැදිලා. අපි ඒ කාලෙ කන්න දුන්නම මිනිහා කාලා කරලා ටිකක් ඉඳලා වැඩ පටන් ගන්නවා. දැන් කන්න දුන්නත් කාලා ඉවරවෙලා ඉඳන් ඉන්නවා පැයකට වඩා. අනික අපි කියන විදිහට නෙමෙයි වැඩ.

      තව බාස්කෙනෙක් හොඳටම වැඩ කරනවා ඒත් මිනිහා තනියම වැඩට යන්නෙ නෑ. ඕන චූටි වැඩකට බාස්ලා දෙන්නෙක් ඕනා කියලා අයියාවත් එක්කන් එන්නෙ. අයියා කරන්නෙ ඩවසම අතගාන එක. ඉතින් අනිකා කොච්චර හොඳට වැඩ කරත් අපි නිකරුනේ දෙන්නෙකුට ගෙවන්න ඕනෑ.

      අටම් 2200යි කිව්වට මෙහෙ දවසට 3000ක් ඉල්ලන උනුත් ඉන්නවා. මේ ළඟදි අපේ ගෙදර පොඩි වැඩකට බාස් කෙනෙක් ඇවිල්ලා ගාන මෙච්චරයි කිව්වා. අම්මලා වැඩී කියලා වෙන බාසෙක්ට දුන්නා දවස් පඩියට. ඌ අර ගානම හරියන්න දවස් ඇද්දා.

      කොන්තාත් දුන්නත් දවස් පඩි දුන්නත් අන්තිමේ අපි අහුවෙලා. මේ පෝස්ටුවෙ තියෙන විදිහට විධිමත් ක්‍රමයක් ඇතිකළා මම හිතන්නෙ කාලෙකට කලින්. දැන් මොනා වෙලාද මන්දා.

      අනික දැන් ඔක්කොම එවුන් බලන් ත්‍රීවීල් කට්ටක් අරන් හංදියට වෙලා ඉන්න.

      Delete
    2. තව ටික දවසකින් අර එට්කා එපා කියලා කෑ ගහන එම්.බී,බී,එස් කාරයෙකුට කියල මේසන් වැඩ කර ගන්න වෙයි.

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...