Saturday, June 18, 2016

ටෙනිස් ක්‍රීඩාව සහ බුද්ධිගලනය


ටෙනිස් ක්‍රීඩාව සහ බුද්ධිගලනය

මම කුඩාකල සිටම, ටෙනිස් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කලෙමි. බොහෝ ටෙනිස් ක්‍රීඩකයන් මෙන්ම, හැකි සෑම අවස්ථාවකම ක්‍රීඩාවෙහි යෙදෙන්නට උත්සාහ කලෙමි. උදේ පාන්දර හයට නැගිට, වෙනත් ගමණක් යාමට අවශ්‍යතාවයක් ඇති වුවහොත්, කෙසේ හෝ කථාකර අවදිවීමට පරක්කු කිරීමට උත්සාහ කරන මා, උදේ ටෙනිස් ක්‍රීඩා කිරීමට යාමට, පාන්දර පහ හමාරට අවදි වන්නේත් ඉතා ප්‍රීතියෙනි.
මම කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් ආයතනයේ (ක්‍රීඩා අංශය) හා ලංකාවේ පැරණිතම, සාමාජිකයිනට පමණක් වන ක්‍රීඩා සමාජ යැයි සැලකෙන, අවුරුදු 140 ක් පමණ පැරණි, මහනුවර ගාඩ්න් ටෙනිස් ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු පමණක් නොව, එහි සභාපතිවරයා වශයෙන්ද, අවුරුදු හතරක් කටයුතු කලෙමි. ටෙනිස් ක්‍රීඩාව නිසා, මම බොහෝ හොඳ මිතුරන් හඳුනාගෙන ඇත්තෙමි. හොඳ ටෙනිස් පිටි දෙකක්, බූස්සේ සහ මැදවච්චියේ සෑදීමට මුල්වුනෙමි.
නාවික හමුදාවේ සිටියදී, ටෙනිස් ක්‍රීඩා කිරීමට ප්‍රමාණවත් තරම් ක්‍රීඩකයන් ඕනෑම වෙලාවක සිටියද, ටෙනිස් සමාජවල දැන් ක්‍රීඩකයන්ට ඇති ලොකුම ප්‍රශ්ණය, ක්‍රීඩා කිරීමට තවත් ක්‍රීඩකයෙකු සොයා ගැනීමයි. උදාහරණයක් වශයෙන් සමාජිකයන් 300 ක් පමණ සිටින, මහනුවර නගරයේ තිබෙන, එකම ටෙනිස් ක්‍රීඩා සමාජය වන, මහනුවර වැවේ ගිණිකොන කෙලවරේ පිහිටි, ගාඩ්න් ක්‍රීඩා සමාජයේ නිතරම ක්‍රීඩා කරන, පාසැල් සිසුන් නොවන, ක්‍රීඩකයන් සිටින්නේ පස් දෙනෙකු පමණි. ඒ ක්‍රීඩකයන් පස් දෙනාටම, වයස අවුරුදු පනහට වැඩිවීමද විශේෂිතය.  සමහර දිනවල දෙදෙනෙකුට වෙනත් වැඩ යෙදුනහොත්, යුගල ක්‍රීඩාවක් කිරීමට හෝ නොහැක. මෙවන් අවස්ථාවල, බොහෝවිට එතරම් සතුටක් ගෙන නොදෙන කැනේඩියානු යුගල ටෙනිස් ලෙස හැඳින්වෙන ක්‍රීඩාව, ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවේ.
සාමාන්‍යයෙන් සිසුන් 100 ක් පමණ, පුහුණුකරුවන් දෙදෙනෙකු යටතේ පුහුණුව ලබන අප ක්‍රීඩා සංගමයේ, මෙලෙස නිතරම ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් හිඟවීම ගැන මා සොයා බැලුවෙමි. පුහුණු කරුවන් වසර ගණනාවක සිට, ක්‍රීඩා සමාජයට සම්බන්ධව වැඩ කරන හෙයින් ඔවුන්ගෙන් අසා බැලුවෙමි. තම දරුවන් පුහුණුව සඳහා කැඳවාගෙන පැමිණි, මා දන්නා දෙමව්පියන්ගෙන් ඇසුවෙමි. එම සොයා බැලීම් වලින් නිරීක්ෂණය වූයේ, ඉතා කනගාටුදායක දර්ශණයකි. එනම් මෙලෙස පුහුණුව සඳහා පැමිණෙන සිසුන් වයස දහ හතක්, දහ අටක් වන විට අධ්‍යාපනය සඳහා පිටරට වලට යන බවය. මෙම ප්‍රමාණය මේ නියැදියෙන් 75% පමන වන බවද නිරීක්ෂණය විය. ඉතිරි 25% ක් පමන වූ සිසු සිසුවියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා අගනුවරට යන බවද පෙණින.
මෙම කනගාටුදායක තත්වය, රටේ හැම තැනම මධ්‍යම පන්තියේ සිදු වෙමින් පවතින බව, රහසක් නොවේ. යුද්ධය කාලයේ දෙමළ ජනයා වසන ප්‍රදේශවලද සිදු වූයේ මේ ක්‍රියාදාමයමය. මම එකල කරෙයිනගර් සහ දූපත්වල, අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කලෙමි. එහිදී තමන්ගේ දේපල විකුණා හෝ තම දරුවන් බටහිර රටවලට යැවීම, එම ප්‍රදේශවල මධ්‍යම පන්තියේ දෙමව්පියන්ගේ, ප්‍රධාන පරමාර්ථය විය. ඔවුන් එය කෙසේ හෝ ඉටු කරගත් අතර, යුද්ධය දරුණු ලෙස පටන් ගෙන අවුරුදු කිහිපයකට පසු, එම ප්‍රදේශවල පවුල් පිටින් ඉතිරිවූයේ, මාළු අල්ලන්නන් සහ රා මදින්නන් පමණි. මධ්‍යම පන්තියේ, පවුල්වල අවසන ඉතිරි වූයේ වයස් ගතවූ පුද්ගලයන් කිහිප දෙනෙකු පමණි. මෙලෙස බලයෙන් හීන වූ, එම පන්තියේ වයස් ගත පුද්ගලයන් කිහිප දෙනෙකු, ප්‍රදේශයේ තම පවුල් වලට අයත් කුඹුරු සියල්ලම පාහේත්, විශාල නිවාස සහ වතුපිටිත් දුප්පත් අඩු කුලේ යැයි සම්මත මිනිසුන් ගෙන් බේරා ගැනීමට මහත් සටනක් කරනවා මම දුටිමි.
මා එහි සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන්ද කටයුතු කල හෙයින්, මෙවැනි ප්‍රශ්ණ බොහොමයක් විසඳීමට මුල්වීමට, මට සිදුවිය. මේ අතර තමනට බලය ලැබුණු අවස්ථාවේ, කුලීනයන්ගේ කෝවිල් වලට පූජා කිරීමට යාමට උත්සාහ කරන, කුලහීනයන්ගේ ප්‍රශ්ණද, විදේශ ගත වීම නිසා, අතහැර දමන ලද මධ්‍යම පන්තිකයන්ගේ නිවාස අල්ලා ගැනීමට උත්සාහ කරන, දුප්පතුන්ගේ ප්‍රශ්ණද සහ කුලීනයන්ගේ ඉඩම්වල පිහිටි, ළිං පාවිච්චි කිරීමට උත්සාහ කරන කුලහීනයන්ගේ ප්‍රශ්ණද, ප්‍රමුඛතාවයක් ගත්තේය. මෙවැනි ප්‍රශ්ණ විසඳන අවස්ථාවන්හිදී, එක්වරෙක කෝවිලක් සඳහා වූ අරගලයක්, සමථයකට පත් කිරීමට, එක් ගමක ධීවරයන් සඳහා කුඩා කෝවිලක් තනාදීමටද මට සිදුවිය.
මාතෘකාවෙන් තරමක් පිටතට යාමට සිදු වුවද, මට මුළින්ම එම පිට පැනීමට හේතුකාරක වූයේ, දැන් ලංකාවේ අප ජීවත්වන ප්‍රදේශවලද, සිදුවන මේ කනගාටුදායක බුද්ධිගලනය සමාන්තරයක් සෙවිම සඳහාය. අපට එයට වැඩිදුරක් යාමට සිදුවූයේ නැත. දශකයකට දෙකකට පෙර, අප රටෙහිම උතුරු පැත්තේ මෙය විශාල වශයෙන් සිදුවිය. නමුත් එකල එය සිදුවූයේ, වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාය. එම දෙමව්පියන් උත්සාහ කලේ, තමන්ගේ දරුවන් යුද්ධයෙන් බේරීම සඳහා, කෙසේ හෝ ඔවුන් රටින් පිටමන් කිරීමටය. බොහෝවිට, ඔවුන් තම දරුවන් බේරා ගැනීමට උත්සාහ කලේ, ත්‍රස්තවාදී කණ්ඩායම් විසින්, ඔවුන් බඳවා ගැනීම වලක්වාලීමටය.
එම ක්‍රියාවම, යුද්ධයක් නොමැති සාමයේ අරුනැලි තුල ජීවත්වන, දකුණේ දෙමව්පියන්ටත් කරන්නට සිදුවී ඇත්තේ, කුමන අවාසනාවක් නිසාවද? කිසිම දෙමව්පියෙකු, තම දරුවන්ට තමන් උපන් රටෙහි, ඔවුන්ගේ සාධාරණ සිහිනයන් ඉටුකර ගැනීමට හැකියාවක් ඇත්නම්, දුරු රටකට ඔවුන් යවන්නට, බොහෝ විට දේපල විකුණා, සැලසුම් කරන්නේ නැත. දරුවන්ට තමන්ගේ හැකියාවන්ට, සාධාරණ ලෙස ඇතිකර ගන්නා ලද අපේක්ෂාවන් මුදුන්පත් කරගත හැකි, අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීම, ඉන්පසු තමන්ට ගැලපෙන රැකියාවක් ලබාගෙන, සාධාරන සමාජයක් තුල ජීවත් වෙන්නට, ඉඩ ලැබෙන නීතිය හා සාධාරනය රජයන රටක් ඇති කිරිම, මෙය නැවැත්වීමට ඇති එකම ක්‍රමය වන්නේය. එහෙත් අවාසනාවකට මෙන්, රටෙහි දේශපාලකයන් සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරීන්, එවැනි දර්ශනයකින් වැඩ කරන්නේ යැයි, දැන් පෙනෙන දේවලින් සිතීම උගහටය.
මෙලෙස සාධාරණ හා අපක්ෂපාත අධ්‍යාපන ක්‍රමයක්, යන්නෙන් අදහස් වන්නේ නොමිලේ රජයෙන් ලබාදෙන, අධ්‍යාපන ක්‍රමයක් නොවේ. එයින් අදහස් වන්නේ, ඉහත පෙන්වා දුන් පරිදි, අප රටෙහි දරුවන් ඉගෙන ගන්නට යන, ඒ බටහිර රටවල පවත්වාගෙන යන අන්දමේ, පෞද්ගලික අංශයේ ආයෝජනයෙන් හා කලමනාකාරිත්වයෙන් පවත්වාගෙන යන, වඩා කාර්යක්ෂම එමෙන්ම ඇතුලුවීමට අවුරුදු ගණනක් ටියුෂන් පන්ති වලට, නොයා යුතු අධ්‍යාපන ආයතනයන්ය.


3 comments:

  1. Hi Illangakoon,
    If you could set the post title also to appear along with the blog title (in blog readers) that will draw more attention.
    This might help.

    ReplyDelete
    Replies
    1. thanks Sarath, I just checked that , i will do it from next post , regards

      Delete
  2. කොහොමටත් වයසට ගියාට පස්සේ සිංගල්ස් ගහන්න අමාරුයි කෝට් එක කවර් කරන්න දුවන්න වෙන නිසා!
    පරණ ටෙනිස් ක්‍රිඩකයෙින් ඩබල්ස් ගහන්නේ ඒ නිසායි!

    ReplyDelete

එළඹෙන පලාත්පාලන මැතිවරණය; ප්‍රධාන සාධකය කුමක් විය හැකිද ?

මේ දිනවල රටේ වැඩියෙන්ම කතා බහා වෙන්නේ එක්කෝ පලාත්පාලන චන්දය ගැනය, එසේත් නැත්නම් අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථන ඇමතුම් පිළිබදවය. චන්ද කොහ...