Friday, March 30, 2018

නිව්පොර්ට් හි නිවසක් කුලියට ගැනීම



මම නාවික හමුදාවේ සේවය කරද්දී වරෙක එක්සත් ජනපදයේ නාවික යුධ විද්‍යාලයේ මාණ්ඩලික පාටමාලාවක් හැදෑරීම සඳහා එහි ගියෙමි. අප පාටමාලාවේ රටවල්  22ක   නිලධාරින් සිටි අතර ඔවුන් සියලු දෙනාම ලුතිනන් කොමාන්ඩර් තනතුරේ නිලධාරින් වුහ. ඇමරිකානු නාවික හමුදාවේ මේ අධ්‍යාපන ආයතනය යුධ විද්‍යාලය වන අතර ඇමරිකාවේ යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ මේ හා සමානව විශ්ව විද්‍යාල තත්වයේ ආයතන ඇත.  අක්කර 27 ක වෙරළාසන්න භූමි ප්‍රදේශයක පිහිටි මෙම විශ්ව විද්‍යාලය නැරගැන්සෙට් බොක්කේ කෝස්ටල් වරායේ පිහිටා තිබේ. මෙම ආයතනය 1884 ඔක්තෝබර් මස එහි මුල්ම පාඨමාලාව පවත්වා ඇති අතර එක්සත් ජනපද නාවික හමුදාවේ ඉහලම අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය ලෙස සැලකේ.

අප එහි ගිය පසු එක්කෝ අපට එම මණ්ඩපයේ නිලධාරී නිවස්නයේ නැවතී සිටීමට හෝ එසේත් නැත්නම් එම විද්‍යාලය පිහිටා තිබූ නගරය වූ නිව්පෝට්හි නිවසක් කුලියට ගෙන නවාතැන් පහසුකම් ලබා ගැනීමට විකල්ප තෝරා ගැනීමක් තිබුණි. එතැන ප්‍රයෝගය වූයේ ඇතුලේ ජීවත්වනවා නම් අපට එක්සත් ජනපද නාවික හමුදාවෙන් ගෙවූ දෛනික දීමනාව ඩොලර් 30 ක් වීමයි. පිටත ගෙයක් කුලියට ගෙන ජීවත්වනවා නම් දෛනික දීමනාව දිනකට ඩොලර් 55 ක් විය. මෙයට හේතු වුයේ එම විදේශ නිලධාරීනට සාමාන්‍ය ඇමෙරිකානුවන් සමග ජීවත්වී එහි  ජීවිතය පිලිබඳ අවබෝධයක් ලබාගැනීම ධෛර්යමත් කිරීමයි.
අප පාඨමාලාවේ නිලධාරීන් 22 ක්  වූ අතර ඔවුන් පැමිණ සිටියේ බහරේන්, බොලීවියා, බ්‍රසීලය, ඝානා, ඊශ්‍රාලය, ජපානය, කෙන්යා, ලෙබනන්, මලයාසියාව, මෙක්සිකෝව, මොරොක්කෝ, පිලිපීනය, පෝලන්තය, සවුදි අරාබියාව, සිංගප්පූරුව, ශ්‍රී  ලංකාව, තායිවානය, තුර්කිය, යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වෙනිසියුලාව, යන රටවලිනි. එයට අමතරව එක්සත් ජනපදයේ නිලධාරීන් කිහිප දෙනෙකුද පාඨමාලාවේ සිටියහ. මෙම පාඨමාලාවට නිලධාරීන් තෝරා ගන්නා විට එක් භූගෝලීය කලාපයකින් වරකට තෝරා ගන්නේ එක් නිලධාරියෙකු පමණි. උදාහරණයක් වශයෙන් මා ගිය පාඨමාලාවට ඉන්දියා, පකිස්ථාන, බංගලාදේශ යන රටවලින් නිලධාරීන් පැමිණ සිටියේ නැත.     
මෙම රටවල නිලධාරීන් ගෙන් එක්සත් ජනපදයෙන් දෛනික දීමනාවක් ගෙවන ලද්දේ රටවල් කිහිපයක නිලධාරිනට පමණි. ඒ කෙන්යාව, ලෙබනනය, මෙක්සිකෝව, පිලිපීනය, යුක්රේනය, සහ ශ්‍රී ලංකාව යන රටවලටය. ඇත්තෙන්ම මෙලෙස රටවල් වෙන්කර තිබුනේ ඒ රටවල ඒක පුද්ගල ආදායම් අනුවය. ඒ බෙදීම අනුව රටවල් වර්ග තුනක් තිබූ අතර, ධනවත්ම රටවල් පාඨමාලාව සදහා මුදල් ගෙවූහ. මධ්‍යම ආදායම් රටවල් වලින් මුදල් අය නොකල අතර  සහභාගි වන නිලධාරීන් සදහා ඇමරිකානු රජය දෛනික දීමනාවක්ද නොගෙවන ලද්දේය. අප සමග සිටි මැලේසියානු නිලධාරියා අයත්වුයේ මේ දෙවැනි වර්ගිකරනයටය. අප වැනි දුප්පත්ම රටවල් වලින්  පාඨමාලා ගාස්තු ගත්තේත් නැත. දෛනික දීමනාද ලැබුණි.

අපි හතර දෙනෙකු එළියෙන් නිවසක් සොයා කුලියට ගෙන එහි සිට දිනපතා war collage එකට ඒමට ස;ඇසුම් කර නිවසක් නගරයේ දවස් කිහිපයක් සෙව්වෙමු. ප්‍රයෝජනයක් නොවූ හෙටින් ඒ සතියේ සති අන්තයේ අපි දුප්පත් නිලධාරීන් හතර දෙනෙකු එකතුව; ලංකාව, පෝලන්තය, මලයාසියාව සහ යුක්රේනය, නිව්පෝට් නගරයේ නිවසක් කුලියට ගැනීමට සොයන්නට පටන් ගත්තෙමු.  
නිව්පෝට් නගරය අක්කර 67 ක විහිදුනු ජනගහනය 20,000 ක් පමණ සිටින ඇමරිකාවේ කුඩා නගරයකි. ප්‍රසිද්ධ සිගරට් වර්ගයක් වන නිව්පෝට් සිගරට් වර්ගයද නම්කර ඇත්තේ මෙම නගරය නිසාවෙනි.  මෙය 1639 පටන් ගෙන ඇත්තේ පවුල් 8 කිනි. ඉන්පසු කලක් යනතෙක් වහල් වෙළදාමෙන් සහ මධ්‍යසාර වෙළදාමෙන් බොහෝ ධනවත් වූ මේ නගර 19 වන ශතවර්ෂයේදී ඇමරිකාවේ ධනවත්ම පවුල් ඔවුන්ගේ ගිම්හාන කාලය ගත කරන්නට මනරම් මන්දිර සාදන්නට පටන් ගත්හ.
 මෙම මන්දිර වලට රන්මුවා  යුගයේ (gilded age) මන්දිර යැයි කියන අතර ඒවාට සෑම එකකටම පාහේ පුද්ගලික වෙරළක්ද තිබේ. මෙහි මන්දිර ග්‍රීක, ගොතික්, ඈන් රැජිණ, ස්විට්සර්ලන්ත යනාදී නොයෙකුත් මෝස්තර අනුව සාදා ඇති අතර වරක් අප බලන්නට ගිය එක් නිවසක් මුලුමනින්ම සාදා තිබුනේ ස්විට්සර්ලන්තයෙන් ගෙනා අමු ද්‍රව්‍ය වලින් බව අපට දැන ගන්නට ලැබුණි. මෙම ධනවත් පවුල් වල නිවස අතර ඇමෙරිකාවේ රජ පවුල ලෙස වරක් සැලකුණ  කෙනඩි පවුලේ නිවසද බලන්නට පුලුවන. ජෝන් එෆ් කෙනඩි සහ ජැකොලින් බොවියර් 1953 විවාහ වී ඇත්තේ මේ නගරයේදීය. ජනාධිපති කෙනඩි සහ ජනාධිපති අයිසන් හවර් ඔවුන්ගේ ග්‍රීෂ්ම කාලයේ ධවල මන්දිර පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම නගරයේ වන අතර එයින් ජනාධිපති අයිසන් හවර් ඔහුගේ ග්‍රීෂ්ම  ධවල මන්දිරය ලෙස පාවිච්චි කර ඇත්තේ අප විද්‍යාලයේ නිවාසයකි.
අපි මැලේසියාවේ, යුක්රේනයේ, පෝලන්තයේ සහ ශ්‍රී ලංකාවේ මේ නිලධාරී හතර දෙනා, පිටත වාසය කරන්නට තීරණය කර  අපට එකල තේරෙන විදිහට වීදි දිගේ ඇවිද කුලියට දීමට තිබෙන ගෙවල් සොයන්නට පටන් ගත්තෙමු. නමුත් පැයක් පමණ ගතවන විට ශිතල දරා ගැනීමට නොහැකිව; නිව්පෝට් නගරයේ වසර 20 කින් මෙපිට ඇති වූ දරුණුම ශීත කාලය එකල යැයි ඔවුන් කිව්වා මට මතකය, අපි ආපසු පැමිණ මේ පිළිබඳව අපේ පාසැලේ නිලධාරියෙකුට පැවසුවෙමු. ඔහු අන්තර් ජාලයට ගොස් දේපල බ්‍රෝකර් කෙනෙකු සොයාගෙන බ්‍රෝකර්, අපට දුරකථනයෙන් හදුන්වා දුන්නේය.
අපි ඔහු සමග කථා කරගත් පරිදි පසුදින උදයේ ඔහු පැමිණ ඔහුගේ රථයෙන්ම නිවාස 10 ක් පමණ බැලීමට අපි එකතු කරගෙන ගියේය. මෙතන අපිට තිබුනු ප්‍රධාන වාසියක් වූයේ එකල ශීත කාලය වීමයි.  නිව්පෝට් නගරය ඇමරිකානු දේශීය සංචාරකයින්ගේ ග්‍රීෂ්ම සෘතුව ගත කරන්නට වඩාත්ම ප්‍රසිද්ධ තැනක් වීම නිසා එහි නිවාස බොහොමයක්ම ශිත කාලයේ වසා දමා ඇත්තේය. සාමාන්‍ය  නිවාසයක් ග්‍රීෂ්ම සෘතුවේදී මසකට කුලිය එකල ඩොලර් 3000 පමණ විය. ඉදින් අපි නිල සමකය ප්‍රකාශ කරන දිනට ඉවත්වන බව පවසා ඩොලර් 800 කට බොහෝ අමාරුවෙන් නිවස කුලියට ගත්තෙමු. නිව්යෝක් නගරයේ සිටි එහි අයිතිකරු සමග මේ සම්බන්ධව දුරකථනයෙන් සාකච්ඡා කිරීමේ වගකීම පැවරුනේ මටය. ඒ බොහෝවිට හතර දෙනාගෙන් හොඳින්ම ඉංග්‍රීසි කතාකලේ මා නිසා විය හැක. ඩොලර් 1500 ක්  කුලිය ඉල්ලූ ඔහු මා ශ්‍රී ලංකාවේ යැයි පැවසූ විට ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවේ වල් අලි පිළිබඳ පොතක් කියවමින් සිටින්නේ යැයි පවසා තරමක් මෘදු වී මාගේ හෙට්ටුව වූ ඩොලර් 800 ට කැමති විය. 

ඊළඟට නිවසේ තොරතුරු .......

Thursday, March 29, 2018

ඊයෙ නිව්ස්



මම ඊයේ නිව්ස් බැලුවේ ස්වර්ණ වාහිනියේය. බොහෝ දිනක් එකින් ඒක බලා වඩාත්ම ස්වාධීන චැනලය එය යයි මම තීරණය කලේ පසුගිය සතියේය. එහි වාහන අනතුරු වලට සාගල රත්නායකට සහ සජිත් ප්‍රේමදාස ට පොඩි ප්‍රමුඛත්වයක් දෙන බව සැබෑය , එහෙත් වෙනත් චැනල තරම්ම පක්ෂපාති නැත්තේය. අනික නිව්ස් කියන අයත් සැහැල්ලුවෙන් වෘතිකයන් ලෙසට එම කටයුත්ත ඉටු කරති.

මට  නිව්ස් වල දුටු සමහර අමුතු දේවල් කිහිපයක් ගැන ලියන්නට සිතුනි. ඒවායෙන් පළමු වන්න අපොස සා පෙළ ප්‍රතිපලයන් පිලිබඳවය. වඩා හොඳ  ප්‍රතිපල ලබා ඇත්තේ කාන්තා සිසුන් බවද කොළඹට වඩා පිට පලාත්වල ළමයින් විභාගය හොඳින් සමත්වී ඇති බවද පෙනුනි. නමුත් ඇතුළු වීමට  5 වසරේ ශිෂ්‍යත්ව  විභාගයේ වැඩිම ලකුණු ලබාගත යුතු වන එසේම පහසුකම් වැඩියෙන්ම තිබෙතැයි අප සිතන  රාජකීය ධර්මරාජ ආනන්ද විශාකා මලියදේව මහින්ද  වැනි විද්‍යාල වල ළමයින් හොඳම ප්‍රතිපල අතර නොසිටීම පුදුම සහගතය. මෙයින් පෙනෙන්නෙ එක්කෝ ශිෂත්ව විභාගය හොඳ මිම්මක් නොවේ, එසේත් නැත්නම් ළමයි එම විද්‍යාලවලට පැමිණි පසු තත්වයෙන් අඩු වන බවය.
එසේත් නැත්නම් අනික් සියලු සාධක අභිබවා ටියුෂන් ප්‍රධාන සාධකය බවට පත්වී ඇති බවය. මෙය ජාතික  අධ්‍යාපනය සැලසුම් කරන්නන් විසින් ප්‍රවේශමෙන් විශ්ලේෂණය කලයුතු කරුණකි. ඒ මෙලෙස 5 විභාගයේදී තෝරාගන්නේ සමහරවිට වඩාත්ම දක්ෂ ළමයින් නොවන්නේද යන වග සොයා බැලීමටය.

දෙවැනි නිරීක්ෂණය සාගල ඇමති තුමාය. ඔහු අලුත් අමාත්‍යංශයේ ඉතාමත් සතුටෙන් එසේම පහසුවෙන් කටයුතු කරනවා පෙනුනි. සමහර විට කලින් තිබූ පොලිස් අමාත්යංශය ඔහුට රළු වැඩි වුවා වන්නට පුළුවන් බව සිතුනි.

තුන්වැන්න උකස් වෙළඳ දැන්වීම් ජාතික චැනල් වල ප්‍රයිම් ටයිම් නිව්ස් වල යාම පිලිබඳවය. එසේ සිදුවන ලෝකයේ එකම රට ලංකාව වීමට බොහෝ ඉඩකඩ තිබේ. අපි මධ්‍යම ආදායම් ඇති රටක් වුවාට සිතින් බොහෝ දුප්පත් බව පෙනේ. සිතින් දිළින්දෝ භාගයවන්තයෝය කියමන මතක්වෙයි. ඒ මදිවාට රත්තරන් බඩු උකස් තියන්නන්ට තරගයක් පවත්වා කොළඹින් ඉඩම් කැබැල්ලක් තෑගි දෙන තරගයක්ද දුටුවෙමි. උකස් නොතියන මිනිසුන්ටත් යමක් උකස් තබා තම වාසනාව උරගාන්නට සිතෙන්නට පුළුවන.

විශ්ව විද්‍යාල අධ්‍යාපනික නොවන රකියාවන් කරන්නන් ගේ වර්ජනයට මාසයක් පිරි ඇති නිසා ඒ අය දේව කනලව්වක් කල අයුරු පෙන්විය. ඇත්තෙන්ම කනලව්ව කලයුත්තේ බදු ගෙවන මහජනතාවය. ඒ මෙවැනි වැඩ කටයුතු පුද්ගලික සමාගම් වලට ටෙන්ඩර් කැඳවා සිදුකරන ලෙසට රජය කරන්නන්ට මොලය පාදෙන ලෙස ඉල්ලමිනි. එවිට මේ යන වියදමින් සියයට දහයක් වත් වියදම් නොවනු ඇත.

අනුරාධපුරයේ තම බිරිඳ මරා ඉන්පසු තමන්ද අඩි 80 ක් ගැඹුර පරණ ගල් වලකට පැන  සිය දිවි තොර කරගත් මිනිසෙකු ගැන පෙන්විය. කනගාටුදායක සිද්ධියකි. නමුත් අනික්පැත්තෙන් මට සිතුනේ මේ ඉඩවරයේත් පවතින මේ සා විශාල වතුර වලක් මිරිදිය මාළු ඇතිකිරීම වැනි ප්‍රයෝජනවත් වැඩකට නොගන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්නය.
කැරපොත්තන්ට බය ගණන්කාරයකු වටා ගෙතුණු මොටින් දැන්වීම දැක්කෙමි. එය මා සිතන විදිහට මේ දිනවල රුපවාහිනි චැනල් වල යන හොඳම වාගේ දැන්වීමකි. සියලුම නළුවන් විශේෂයෙන්ම ප්‍රධාන නළුවා අලංකාර ලෙස තම වැඩේ කරයි. ඔහුගේ මුහුණ යම් ප්‍රසිද්ධ නළුවෙකුට ඉතාමත් සමාන බව සිතුන මුත් ඒ කවුදැයි ඔලුවට ආවේ නැත. දැන්වීමකින් සිදුවිය යුත්තේ අපගේ මතකයේ එම වෙළඳ භාණ්ඩයේ හෝ සේවයේ සන්නාමය මතකයේ රඳවා තැබීමයි.
අපි ඊළඟට මෙලෙස දැන්වීම දකින විටම අපට වෙළද නාමය මතක් වනවා දැයි බැලීමට තරඟයක් කළෙමු. දෙවැනි තැනට ආවේ ජාතික සමගියත් ගොඩ නංවන ගමන් තේ විකුණන ‘එයාගේ හැටි දන්නවනේ’ දැන්වීමය.

Wednesday, March 28, 2018

දෙයියෝ සාලේ , පෝන් පලහිලව්ව


පසුගිය දිනක මගේ මිතුරන් දෙදෙනෙකු දුර බැහැරක සිට අපේ නිවසට පැමිණියහ. ඔවුන් සමග පොඩි අඩියකින් පසු  රාත්‍රී අහාර ගෙන නිදාගත් පසු මට ඇහැරෙන්නට පරක්කු වූ හෙයින් බල්ලා සිටින නිසා පහලට ඒමට නොහැකිව එක් මිතුරෙකු උඩ  තට්ටුවේ සිට මට දුරකථන ඇමතුමක් දී ඇති නමුදු රින්ස් කිහිපයකින් පසුව නැවතී ඇත. පසුව මගේ පෝන් එක නැතිවී ඇති බව දැනගතිමු. ගෙදර සාමාන්‍යයෙන් මම තබන තැන්වල බැලුවත් සොයාගැනීමට නොහැකි වුනු නිසා අප පෙරදින හවස ගිය ගමේ සුපර් මාකට එකට ගොස් ඇසුවද හමුවුනේ නැත.
එහි අයිතිකරු මට කියාසිටියේ ඔහු ගාව එසේ පරණ දමාගිය පෝන් දෙකක් තිබෙන බවත් නමුත් ඊයේ රාත්‍රියේ නම් කවුරුත් පෝන් එකක් හමුවී ඔහුට බාර නොදුන් බවත්ය. අප ගෙදර පැමිණිය පසු එතන සිටි මිතුරෙකු මගේ පෝනය තිබෙන තැන ගූගල් හරහා පරීක්ෂා කළ අතර පෝන් එක තිබෙන්නේ නිවසේ යැයි ගූගල් මැප් එකේ පෙන්වා දුන්නේය. ඉන්පසු නැවත වරක් ගෙදර පරීක්ෂා කලද පෝන් එක සොයා ගැනීමට නොහැකි විය.
ගූගල් එකවුන්ට් එකට ගොස් මෙලෙස තමන්ගේ ජංගම දුරකථනය සොයා ගැනීමට මමද ඉගෙන ගත්තෙමි. මෙහිදී මට පුදුමයට කාරණය වුයේ නැතිවූ දුරකථනය පමණක් නොව ඊට බොහෝ කලකට පෙර පවා මා කල විදේශ සංචාර පවා මෙලෙස බලා ගැනීමට ඇති හැකියාවයි. ලෝකය දැන් කොතරම් දියුණු වී ඇත්තේද? ඒ සමගම අපිට යම් පුද්ගලිකව යැයි කිව හැකි තොරතුරක් ඉතිරිව තිබේද (privacy)? යැයි මට සිතුනි.
කොහොම නමුත් දැන් මට දුරකතනයක් අවශ්‍ය හෙයින් මම මහනුවර සිටිසෙන්ටර් එකේ මොබිටෙල් කාර්යාලයට ගියෙමි. එහි කාර්ය මණ්ඩලයේ, විශේෂයෙන් ආරක්ෂක නිලධාරින් දෙදෙනාගේ පාරිභෝගික මිත්‍රශීලි ගුණය පිළිබඳව බොහෝ සතුටට පත්වුනෙමි. නැවත අළුත් දුරකථනයක් ගන්නා තුරු මගේ පරණ දුරකථනයකට පරණ අංකයටම රුපියල් සියක් ගෙවා සිම් එකක් දමා ගතිමි. ඉන්පසු දහවල් කෑම වෙලාව පැමිණි තිබුණු නිසා KCC එකේම පිහිටි ම්ලේස්නා ආපනශාලාවට ගියෙමි. හැම් චීස් සැන්විච් එකක් සහ ටි පොට් එකක් ඇනවුම් කර ඉදිරියෙන් පෙනෙන තේ මිලට ගැනීමට පැමිණි සිටි චීන සංචාරකයන් දෙදෙනෙකුට තේ පැකට් විකුණන එහි වෙළද සේවිකාවන් දෙදෙනෙකු දෙස බලා සිටියේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය. වෙනදා නම් මෙවැනි අවස්ථාවක සිදු වන්නේ දුරකථනය රැගෙන ෆේස් බුක් එකේ පෝස්ට් කියවීමය.
මෙම චීන සංචාරකයින් දෙදෙනා බොහෝ තේ වර්ග මිලට ගමින් සිටි අතරම ඔවුන් තේ ගැන වෙළද සේවිකාවන්ගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසුහ. (චීනුන්ට තේ විකුනනවා යැයි කිම අයිස්ලන්තයේ මිනිසුන්ට ෆ්‍රිජ් විකුනනවා වැනි යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.)
මේ අවස්ථාවේ වරක් මම චීනයට ගිය විට තේ විකුණන්නට ඔවුන් කල වැඩ සටහනක් මතක් වී අප එවැනි දෑ නොකිරීම පිළිබඳව කනගාටුවක්ද සිතුනි. එය එතරම්ම කලාත්මකව සහ සිත්ගන්නා ආකාරයෙන් තරමක් හාස්‍යද එකතු කරමින් පැවැත්වූ ආකාරය ගැන සිතන විට අපේ තේ සදහා මෙතරම් වෙළදපලක් තිබීමත් පුදුම සහගත යැයි මට සිතුනි. අපි කරන්නේ ‘කැමති නම් ගනු’ වැනි ආකල්පයකිනි.
එම සංචාරකයන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වුයේ එක් එක් තේ වර්ගය ඔවුන් බැලූ අනෙක් තේ වර්ග වලින් වෙනස් වන්නේ කෙසේද කියාය. මේ සෑම ප්‍රශ්නයට පිළිතුර වුයේ පහත සදහන් කරුණු වලින් එකකි.
Different taste
Different flavor
Weak
Strong
Middle
Different region
මෙම පිළිතුරු සියල්ලම පාහේ සංචාරකයන්ට වැටහුනද Different region යන්න වඩාත් පැහැදිලි කර ගැනීමට සංචාරකයන්ට වුවමනා වූ විට වෙළද සහයිකාවන් එය පැහැදිලි කලේ නුවරඑලිය, නුවර හෝ බදුල්ල වැනි ප්‍රදේශ නාම වලිනි. අඩු තරමින් ඔවුනට මෙම ප්‍රදේශ පෙන්වාදීම සදහා එලෙස වෙනස් තේ වර්ග වැවෙන ප්‍රදේශ ලකුණු කල ලොකු සිතියමක් හෝ එසේත් නැත්නම් ටච් ස්ක්‍රීන් එකක් සහිත ලොකු කොපියුටර් හෝ තිබුණේනම්  කොතරම් වටින්නේදැයි මට සිතෙන විටම මගේ සැන්විච් ඒක පැමිණියේය. මම මගේ සම්පුර්න අවධානය ඒ වෙත යොමුකලෙමි.
මම එය අනුභව කර තේ ත් බි ගෙදර ගියෙමි. දහවල් නිවසට පැමිණි කෙනෙකු සමග කතාකරමින් සිටියදී මගේ පෝනය නැතිවූ බව කියූ විට ඔහුගේ පෝනයද  ලඟකදී නැතිවී දවස් තුනකට පසු සෙටියේ කුෂන් ඒක අස්සේ තිබූ හමුවූ ආකාරය කියුවේය.
මම හවස TV බලන ගමන් ඒ මිතුරා කියූ ඒක මතක්වී නිකමට වම පැත්තේ අත තබා ගන්නා කුෂන් එකත්, ඉඳ ගන්නා කුෂන් එකත් අතර ඉඩ අතරින් අමාරුවෙන් ඇඟිලි පහලට ඇරියෙමි. අපේ ලොකු අත්තා මෙවැනි අවස්තාවක කියූ වචනයක් මට මතක් විය. ‘දෙයියෝ සාලේ’ මගේ දුරකථනය ඒ අස්සේ හිරවී තිබුණි.

Wednesday, March 21, 2018

අප ඉඳහිට ඇද වෙනවාද?




                              යොදාගන්නා ලද දුරේක්ෂ පද්ධති.


 අයින්ස්ටයින්ගේ වාදයන්ගෙන් ජනිත වූ සමහර; සුර්යාට එපිට සිට එන ආලෝක කිරණ සුර්යා අසල නැමීම, වැනි  අනාවැකි ඔහුගේ ජිවිත කාලයේදීම සැබෑ බවට ඔප්පු කරන ලද්දේය. එහෙත් සමහර අනාවැකි හෝ පුර්වාපෙක්ශාවන් එසේ ඔප්පු වුයේ නැත. අඳුරු ආගාධ සහ ගුරුත්ව රැලි මෙයට හොඳ උදාහරණ දෙකකි.

මෙයින් අඳුරු ආගාධ තවමත් ඡායාරූපයට නඟා නැති නමුදු එය ඉදිරි අවුරුදු දෙක ඇතුලත සිදුකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ සඳහා යොදාගන්නා තාක්ෂණය අයින්ස්ටයින් ගේ මෙම අනාවැකිය තරම්ම අපුරුය. මෙම සැකකරන අඳුරු ආගාධ තිබෙන්නේ අපට ආලෝක වර්ෂ 26000 කට දුරිනි. ඒ කියන්නේ අප පෘතුවියේ සිට ඒ දෙසට විදුලි පන්දමක් පත්තු කළහොත් එහි එලිය මෙය මතට වැටෙන්නට නම් අවුරුදු 2600 ක් ගතවෙන බවය. එලෙස සැකකිරීමට හේතුව ඒ අසල තිබෙන තාරකා යම් නොපෙනෙන වස්තුවක ගුරුත්වාකර්ෂණය නිසා ඒ වටා කැරකෙන බව පෙනෙන නිසාය. එය අඳුරු ආගාධ විය යුතු යයිද එහි ප්‍රමාණය සහ හැඩය  අයින්ස්ටයින් ගේ සමීකරණයෙන් ගණනය කිරීමටද හැකියාව ලැබිණ.

 අපට මේ සා බොහෝ දුරින් තිබෙන නිසා ඒවා නිරීක්ෂණය කිරීමට නම් අති විශාල දුරේක්ෂයන් යොදාගත යුතුය. මෙලෙස අඳුරු ආගාධයක් ලඟින්ම ඇතැයි සැක කරන ස්ථානය නිරීක්ෂණය කර එහි ඡායාරූප ලබාගැනීමට නම් ඒ සඳහා ගොඩනැඟිය යුතු දුරේක්ෂයේ ඇන්ටෙනාව පෘතුවිය තරම්ම විශාල විය යුතු යැයි ගණනය කෙරුණි. එහෙත් ඒ සා විශාල දුරේක්ෂයක් ගොඩනැගීම කෙසේවත් ප්‍රායෝගික නොවේ. එහෙත් ඒ සඳහා වෙනත් ක්‍රම වේදයක් සොයාගැනින, ඒ පෘතුවිය වටා තිබෙන දුරේක්ෂ ගණනාවකින් පරමාණු ඔරලෝසුවක් යොදාගෙන එකම වෙලාවකට ඡායාරුප ගැනීමයි.

මෙම ඡායාරූප පෘතුවිය  භ්‍රමණය වද්දී නොයෙකුත් වේලාවන්හිදී ගැනීමෙන් පසු ඇල්ගෝරිදම් යොදාගෙන ගණනය කිරීමකින් මෙම ඡායාරූපය සම්පුර්ණ කරගත හැකි බවට විද්‍යාඥයෝ සිතති.
1915 දී අයින්ස්ටයින් විසින් කරන ලද තවත් අනාවැකියක් වුයේ කාල අවකාශයේ ගමන් කරන  ගුරුත්ව රැලි පිලිබඳවය. අවුරුදු 100 කට පමණ පසු එවැනි රැල්ලක් තාරකා විද්‍යාඥයන්ට නිරීක්ෂණය කල හැකි විය. එයින් පසු මේ වනවිට එවැනි ගුරුත්ව රැලි 3 ක් නිරීක්ෂණය කිරීමට වොශින්ටනයේ සහ ලොස් ඇන්ජලිස් හි පිහිටි LIGO තාරකා නිරීක්ෂණ ආයතනයට හැකි වී තිබේ.

මෙවැනි ගුරුත්ව රැල්ලක් ඕනෑම; විශාල වස්තු දෙකක් ගැටීමෙන් වැනි, ඇතිවිය හැක්කේය. ඉන්පසු මෙය විශ්වය, ආලෝක වර්ෂ බිලියන 46 ක පමණ අරයක් ඇතැයි සිතන විශ්වයේ කාල අවකාශයේ මෙවැනි රැල්ලක් ඇතිකිරීමට අති විශාල ශක්තියක් අවශ්‍යවේ. උදාහරණයක් ලෙස එය අපට දැනෙන්නට පුළුවන් වෙන්නට නම් එම වස්තු දෙක අඳුරු ආගාධ දෙකක් වත් විය යුතුය. යුගල වශයෙන් පවතින අඳුරු ආගාධ දෙකකින් මෙය පහසුවෙන්ම සිදුවිය හැක. මෙවැනි රැල්ලක් පෘතුවිය පසුකරගෙන යනවිට එය අප සියලුදෙනා පෘතුවියද ඇතුළුව ඉතා කුඩා ඇදයකට එසේත් නැත්නම් නැමීමකට, ඇසුරු සැනකට  බඳුන් කරයි.

මෙම ඇදය හෝ වෙනස ඉතාමත් කුඩා නිසා; ප්රෝටෝනයකින් 10000 කින් එකක් පමණ, මැන ගැනීම ඉතා දුෂ්කරය. මේ මැනීම කරගැනීම  සඳහා ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනය සහ කැල්ටෙක් ආයතනය එකතුව වැඩපිළිවෙලක් සැලසුම් කළහ. ඒ කිලෝ මීටර 3057 ක් දුරින් වොෂින්ටනයේ සහ ලිවින්ග්ස්ටන් හි කිලෝ මීටර 4 බැගින් දිග ලේසර් මානක නල 2 බැගින් සවිකිරීමයි.මෙම නල වල මැද සවිකර ඇති ලේසර් කිරණ එහි නලයේ දෙපැත්තට ගැන කිරීමේදී වෙනසක් ඇතිවුවහොත් ඇල්ගෝරිදම් ගණනය කිරීම් මඟින් නලයේ දිගෙහි යම් වෙනසක් ඇතිවූ බව නිගමනය කරන්නට පුළුවන.

මෙම වෙනස්ම නගර දෙකෙහිම නාලවල සිදුවුවහොත් මෙය ප්‍රාදේශීය කම්පනයක් නොව මුලු පෘතුවියෙහිම  සිදු වුවක් යයි නිගමනය කල හැක.
මෙම නිරීක්ෂණ විද්‍යාගාර වලින් පසුගිය දිනවල  එවැනි රැලි තුනක් අප පසුකරගෙන ගිය බවට ගණනය කර ඇත.තුන්වන රැල්ල ජනිත වී ඇත්තේ අප සුර්යා මෙන් 49 ගුණයක ස්කන්ධයක් ඇති අඳුරු ආගාධ දෙකක ගැටීමකින්  බව ගණනය කර ඇත. එය සිදුවී ඇත්තේ අපට ආලෝක වර්ෂ බිලියන  3 ක් ඈතින්  බවත් ගණනය වී ඇත. 

මේ නිසා ඉදහිට ඔබට පොඩ්ඩක් ඇද වෙනසේ හෝ ඇඹරුනා දැනුනොත් ඒ ගුරුත්ව රැල්ලක් අප පසුකර යනවා විය හැක.  


තෙල්දෙණියේ වරද කාගේද ?

පසුගිය  දිනවල තෙල්දෙණියෙන් පටන්ගෙන තවත් මහනුවර අසබඩ කුඩා නගර කිහිපයක සිදුවුණු ජාතිවාදී කලබලය, සිදුවිය නොයුතු දෙයක් බව කියන්නටත් අවශ්‍ය නැත, අප සියලු දෙනාම එය හොඳින්ම දන්නෙමු.

අවුරුදු 30ක් පමණ කාලයක් පැවැත්වුණු බරපතල යුද්ධයක් අවසාන කර සිටින අපට ඒ යුද්ධය අවසන් වූ විගස අප බලාපොරොත්තු වූ සාමයේ ප්‍රතිලාභ; සාමය හැරෙන්නට,  ලබාගන්නට හැකිවී නොමැත.

අපගේ නිදහස් යයි කියාගන්න අධ්‍යාපනය සහ සෞඛ්‍ය  ජනතාවට කිසිම වියදම් කරන මුදලට කිසිසේත්ම සසන්දනය කළ නොහැකි ඉතාමත් අකාර්යක්‍ෂම තාවයෙන් සේවා සපයති. රාජ්‍ය ගමනාගමන ආයතන ඉතාම අපුල සේවයක් සපයාදෙමින් දිනපතා අපේ ධනය විනාශ කරති.

අධ්‍යාපනයේ මුදුන් පෙත්තට ගොස්  උපාධිය ලබාගන්නා සිසුන් රජයෙන් රැකියා ඉල්ලා පාරේ කලබල කරති. විනාඩි පහකටත් වඩා ඩු කාලයකට රුපියල්  දහසකටත්  වැඩියෙන් ගෙවා වෛද්‍යවරයෙකු බැලීමට වෙලාවක් වෙන්කරගත්තත් වෛද්‍ය වරයා හමුවෙන්නේ පැය ගණනක් පරක්කු විය. මුදල් නොගෙවෙන තැන්වල තත්වය සිතාගන්නට පුළුවන.
මෙසේ විසඳාගැනීමට ඕනා තරම් ප්‍රශ්න තිබියදී තවත් කුණු ගොඩවල් අවුස්සා ගන්නේ ඇයි? මෙවැනි සුළු ප්‍රශ්නයක් මේ තරම් වත් දුරදිග යන්නට ඉඩ දුන්නේ ඇයි?

මට පෙනෙන සහ හිතෙන විදිහට ඉහත ප්‍රශ්න වලට සහ ඒවා ව්‍යාප්ත වීමට තුඩු දුන් කාරනා පහත පරිදිය.
1. මැරුණු සිංහල තරුණයා වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක නොවේ යයි ඔහුගේ මිතුරන් සහ නෑදෑයනට තිබූ සැකය.- මෙයට වගකිව යුත්තේ ප්‍රදේශයේ පොලිසියයි. එම පිරිසට මෙම තරුණයාට පහරදුන් අයට නියමිත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පෙනුනා නම් ඔවුන් කලබල කරන්නට පටන්ගන්නේ නැත.නිතිය ක්‍රියාත්මක වීම පමණක් නොසැහෙන බවත් එය ක්‍රියාත්මක වන බව  පිටතින් පෙනිය යුතු යයි කියන්නේ මේ නිසාය.
2. මෙය ජාතිවාදී  ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩකඩ ඇතිබව පුර්ව අපේක්ෂාවක් (anticipate) නොකිරීම-  එසේ කලේනම් එම ප්‍රදේශයට පොලිස් සහ හමුදා බල ඇණියක් ගුවනින් ගෙනයාමට හැකියාව තිබිණ.ප්‍රදේශයේ ජෙෂ්ට පොලිස් නිලධාරින් සහ පොලිසියේ තීරණ ගන්නන්  මෙලෙස සිද්ධිය හරියට නොකියවිමට වගකිවයුතුය. දවස් කිහිපයකට පසු නුවරට මන්ත්‍රීවරුන් මේ පිළිබඳව සාකච්චා කිරීමට යැවූ හෙලිකොපටරය මේ සඳහා යොදාගන්නට ඉඩ තිබුණි.
3. තෙල්දෙණියේ කඩවල් ගිනිතැබීම ආරම්භ වනවිටම මෙය අසල නගර වලට පැතිරීම වැලක්වීමට එම නගරවල ආරක්ෂාව අතිශයින් වැඩිකළ යුතුව තිබිණ. මෙතරම් විශාල හමුදා තිබෙන රජයකට මෙය ඉතාමත් සුළු වැඩකි. මෙයත් එක්වරම සිදුවී ඇද්දැයි සැක සහිතය. නැත්නම් එම ප්‍රදේශ වල සිද්දීන් ඇති වන්නට හැකියාවක් නොමැත. හෙලිකොප්ටර මුර සංචාර , මුර බල්ලන් වැනි show of force පාවිච්චි කල යුතුව තිබිණ.
4. සමාජ ජාල වල සහ පණිවුඩ ජාල මඟින්  බොරු ප්‍රචාර පැතිරවීම- මෙය ඉතා තදින් සිදුවිය. මෙලෙස පණිවුඩ පතුරවන්නන් අල්ලා ගෙන ඔවුනට නිසි දඬුවම් දීමට රජය ක්‍රියාකළ යුතුව තිබිණ. ජාතිවාදය ඇවිලවීම ලංකාවේ දඬුවම් ලැබිය හැකි වරදක් නම් එය කෑලෑ පත්තරයකින් කලත් වැරදිය, FB එකේ කලත් වැරදිය. FB ඒක යම් වරප්‍රසාද ලත් මාධ්‍යක් නොවේ. එයත් තවත් එක්තරා මාධ්‍ය වර්ගයකි. ඒවායේ වැරදි කරන්නන්ට දඬුවම් දීමට  නීති හදමින් කල් අරින්නට උවමනාවක් නැත. ඒවායේ කරන වැරදිද පවතින නීතියෙන් දඬුවම් කල හැකි නම් දඬුවම්  කල යුතුය.

මේ රටට අනාගතයක් තිබිය යුතුය. වගකීම් ලබාගෙන ඒවායින් වරප්‍රසාද ලබන්නන් වගවිමද කල යුතුය.

Tuesday, March 20, 2018

හොව්කින්ග් පිළිබඳව




මම මිට අවුරුදු 2 කට පෙර පොතක් ලිව්වෙමි. එය දර්ශන ප්‍රින්ටර්ස් හි  මා මිත්‍ර දර්ශන රැළපනාව විසින් ඉතා උනන්දුවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඒ  ස්ටීවන් හොව්කින්ග් ගේ සුප්‍රසිද්ධ දේශන හත පිලිබඳවය. ඒ පොත ඉතා ජනප්‍රියව දැන් තුන්වෙනි මුද්‍රනයටද ඇතුළු වී ඇත. පසුගිය සතියේ ඔහු මියගිය නිසා මට ඔහු පිළිබඳව මේ ලියවිල්ල ලියන්නට සිතුනි. ඒ අතරම මගේ පොතේ ඔහු පිලිබඳ විස්තරයද මෙහි අගට ඇතුල් කරමි.


ඔහුගේ අතිශය  ස්වාධ්නත්වය සහ  ආබාධිත   තත්වය නිසා ඔහු මුර්තිමත් කල   මනුෂ්‍යයන්ගේ  මානසික හැකියාවන්ගේ අසීමිත බව  සමග  ඔහුගේ හරි  දැනුමට තිබූ  ඉව සහ කෘර හාස්‍ය, විදාඥ ප්‍රජාව සහ ඔහුට ආදරය කරන්නන් ඔහු තුල දුටු ප්‍රධාන ගුණාංග වුහ.
“ඔහු කෙසේවත් සාමාන්‍ය ලෝකයෙන් වෙන්වූ පොත්ගුල්ලෙක් වූ විද්‍යාඥයෙක් නොවිය. ඔහුගේ පුද්ගලිකත්වය ඔහුට තබූ භෞතික අපහසුතා නිසා කිසිවිටෙකත් අවුල් වුයේ නැත. අයින්ස්ටයින්ගෙන් පසු කිසිම විද්‍යාඥයෙක්  අපේ, කාලය විශ්වය සහ ගුරුත්වාකර්ෂණය පිලිබඳ දැනුම ඔහු තරම පළල්  කලේ නැත.” ශ්‍රීමත් රිස් ,රාජකීය තාරකා විද්‍යාඥ වරයා වරක් කිවේය.
ඔහුට වයස 21 දී ස්නායු රෝගය වැළදෙන විට වෛද්‍යවරුන් කිවේ ඔහුට අවුරුදු දෙකකට වඩා කාලය නොමැති බවය. ඔහු ඔහුගේ ප්‍රියතම සංගීත කරුවා වූ වැග්නර් ගේ සංගීතයට කන්දෙමින් කාමරයට ව බිව්වේය. අවුරුදු දෙකකට  පසු නැවත තමන්ගේ ආචාර්ය උපාධ්යේ නිබන්ධනය කරන්නට පටන් ගත්තේය.
වයස 30 වනවිට ඔහු රෝදපුටුවට බැඳුනු අතර වයස 44 දී නියුමෝනියාව වැළඳී ජීවිතය බේරා ගැනීමට කටහඬ ද ඉවත් ඉරීමට සිදුවිය. ඉන්පසු ඔහු කතාකලේ පුටුවේ අතේ තිබූ පාලකයක් මඟින්  පරිගණකයක් හරහාය.
අයින්ටයින් මෙන්ම හොව්කින්ග් ද කුඩාකල කියවන්නට ලියන්නට ඉගෙන ගැනීමට තරමක් පමාවිය.ගණිතයට , දුර දුවන්නට සහ රසායන විද්‍යාවට පමණක් උනන්දු වූ ඔහු කවදාවත් පංතියේ පළමුවැනියා වුයේ නැත. නමුත් අමාරු ගණිත ගැටළු වලට ඉවෙන් මෙන් හරි  පිළිතුර හිතාගැනීමේ හැකියාවක් තිබුණි.
පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිය අවසානයේ  පළමුවැනි සහ දෙවන ඉහල සාමාර්ථයක් අතර සිටින බව දැනගෙන අවසාන සම්මුඛ පරීක්ෂණයේදී තමන්ට පළමුවෙනි පංතියේ සාමාර්ථයක් නොලැබුණහොත් කේම්බ්‍රිජ් හිම ආචාර්ය උපාධිය කරන බවටත් ලැබුනහොත් ඔක්ස්ඵඩ් යන බවත් කිවේය. ඔහුට ඔක්ස්ෆර්ඩ්  යන්නට ලැබිණ.
ඔහු මෙම රෝද පුටුවට බැඳුනු ජිවිතයෙන්  පරණ ජ්විතයට වඩා සතුටු වන බවත් , ඔහුගේ එකම අරමුණ විශ්වය සම්පුර්ණයෙන් තේරුම් ගැනීමත් , එය මේ තියෙන විදිහට තියෙන්නෙ ඇයිද යන වගත් මෙය තියෙන්නෙ ඇයිද යන වගත් දැනගැනීමට බවය.
ඔහුගේ මුල්ම වැදගත් ශාස්ත්‍රීය සොයාගැනීම   සිදුවුයේ 1970 ඔහු රෝගර් පෙන්රෝස් සමග කාල අවකාශය අසිමිත ලෙස නැමුණු විට ඇතිවන ඒක ලක්ෂික බාවය විශ්වයේ පටන් ගැන්ම බවත් එය බිග් බෑන් අවස්ථාව බවත් අඳුරු ආගාධ ගණිත මාර්ගයෙන් පෙන්වා දීමය.
 හොව්කින්ග් ට වැරදි සිදු නොවුවා නොවේ. එයත් ඔහුගේ ප්‍රියතම විෂයය වූ black hole අඳුරු ආගාධ විශයේමය. 1974 වසරේ ඔහු අඳුරු ආගාධ අවසානයේ තාපය පිටකර විනාශ වන බවත් ජිවිත කාලයක් තුල ඒ තුල  එකතු වූ දත්ත ඒ මොහොතේ විනාශ වන බවත් කිවේය. බොහෝ භෞතික  විද්‍යාඥයන් මෙයට විරුද්ධ  වුහ.ඔවුන් කිවේ එම තොරතුරු සිද්ධි ක්ෂිතිජය හි ගබඩා  විය යුතු බවය.
අවසාන හොව්කින්ග් ට තමන්ට වැරදි ඇති බව වැටහුණි. ඔහු දවසක බාර් එකක මිතුරන් පිරිසක් සමග මේ පිලිබඳ කතා කරමින් සිටියදී එක්වරම තම කටහඬ පාලකයේ උච්චම හඬට වැඩි කළේය. අවන්හලේ සිටි සියල්ලෝම ඒ පැත්තට හැරුනහ.
“මම පිළිගන්නව” හොව්කින්ග් කෑ ගැසුවේය.
“මම පිළිගන්නව තොරතුරු විනාශ වීම වෙන්නේ නැහැ කියල” ඔහු ප්‍රකාශ කළේය.
ඔහුට වයස 37  දී  කේම්බ්‍රිජ් හි ගණිතය පිලිබඳ ලුකැසියන්  මහාචාර්ය වරයා බවට පත්විය. මෙය ගණිතය පළිබඳ එංගලන්තයේ ඉහලම තැන බව එහි කලින් සිටි විද්‍යාඥයන් දෙස බැලූ විට පැහැදිලි වෙයි. අයිසැක් නිව්ටන් ,චාල්ස් බැබේජ් සහ පෝල් ඩිරාක් එයින් තිදෙනෙකි.
ඔහුගේ ලිවීමේ හැකියාවනුත් ඒ තරමටම විශිෂ්ටය.ඔහු ලියු A brief history of time පිටපත් මිලියන් 10 ක් විකුණා භාෂා 40 කට පරිවර්තනය විය.
ඔහු 1965 විවාහ විය. ඇය ඔහුගේ මේ අසනීපය දැනගෙන සිටියාය.දරුවන් තිදෙනෙකු ලැබුවේය. අවුරුදු 26 කට පසු ඇගෙන් වෙන්විය. ඇය ඒ විවාහය ගැන පොතක් ලීවේය. ඔහු ඇති විශාල මමත්වයකින් යුත් කුඩා ළමයෙකු යයි කීවාය. තව අවුරුදු 4 කට පසු ඔහු බලාගැනීමට සිටි හෙදියක සමග විවාහ විය.
ඔහු ඔට්ටු දැමීමටත් එව්වයින් පරදින්නටත් ප්‍රසිද්ධය. 1975 ඔහු ඇමෙරිකානු භෞතික විද්‍යාඥ කීප තෝන් සමග cygnus හොව්කින්ග් වෙතින් පිටවන විකිරණ අඳුරු ආගාධයක ඒවා නොවන බවට ඔට්ටුවක් දැම්මේ Penthouse සඟරාව සඳහා අවුරුද්දක මුදල්  ගෙවීමටය. ඔහු 1990 වේ  පැරදින.19997 වසරේ ඔහු මුලින් කියූ අඳුරු අගාධයේ තොරතුරු විනාශ වීම පිළිබඳව එන්සයික්ලොපිඩියා එකක් ඔට්ටුවක් දමා 2004 වසරේ පරාජය පිළිගත්තේය. 2012 ඔහු හිග්ස් බෝසොම් සොයාගැනීමට බැරි වන බවට ඩොලර් 100 ක ඔට්ටුවක් දමා පරාද විය
“ මම මේ මොලය එහි කොටස් කැඩුණු විට නවතින පරිඝනකයක් ලෙස සලකමි. කැඩුණු පරිඝනක සඳහා දිව්‍යලෝක නැත; එම අදහස අන්ධකාරයට බය මිනිසුන් සඳහා ගෙතුණු  සුරංගනා කතාය,”

මා සිතන විදිහට නිර්වාණය යනු අප නැවත ඉපදෙන්නේ නැති බව සාක්ෂාත් කරගැනීමයි. ඒ අනුව ඔහු නිවන් අවබෝධ කරගෙන ඇති බව මට විශ්වාශය.


මහාචාර්ය ස්ටෙෆන් විලියම් හෝව්කින්ග්

ස්ටෙෆන් විලියම් හෝව්කින්ග් 1942 ජනවාරි 8 වෙනි දින (ගැලීලියෝ මරා දමා හරියටම අවුරුදු 300 කට පසු) එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී උපත ලැබූවේය. ඔහුගේ දෙමව්පියන්ගේ ගෙදර තිබුනේ උතුරු ලන්ඩනයේ වුවද, දෙවන ලෝක මහා යුද්ධය කාලේ, ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශය දරුවන් ලැබීම සදහා, වඩා ආරක්ෂිත ප්‍රදේශය ලෙස සලකන ලද්දෙන් ස්ටෙෆන්ගේ උප්පත්තිය සඳහා ඔවුහු ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශය පදිංචිය සඳහා තෝරා ගත්හ.  ඔහුට වයස 8 ක් වූ පසු, ඔහුගේ පවුල ලන්ඩනයට සැතපුමි 20 ක් පමණ උතුරින් පිහිටි සාන්ත ඇල්බන්ස් නගරයට පදිංචියට ගියේය. වයස අවුරුදු 11 දී ස්ටෙෆන් සාන්ත ඇල්බන්ස් විද්‍යාලයටද ඉන්පසු තම පියා ඉගෙන ගත් විශ්ව විද්‍යාලය වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලු වූයේය. පියා ස්ටෙෆන්, වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවාට කැමති වුවද, පුතා කැමති වූයේ ගණිතය හැදෑරීමටය.එහෙත් ගණිතය විශ්ව විද්‍යාලයේ නොතිබූ හෙයින්, ඔහු භෞතික විද්‍යාව හැදෑරීය. අවුරුදු තුනකදී, ලොකු මහන්සියකින් තොරව, ඔහු, ස්වභාවික විද්‍යාවට පලවෙනි පන්තියේ ගෞරව සමාර්ථයක් ලබා ගත්තේය.
ස්ටෙෆන්, ඉන්පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා පිළිබඳ අධ්‍යයනය කරන්නවුන් කිසිවෙකුත් නොවූ හෙයින්, තාරකා විද්‍යා අධ්‍යයනය සදහා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට බැදුනි. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිටි ෂෙරෙඩි හොයිල්, ඔහුගේ පරීක්ෂකවරයා බවට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වූ නමුත්, ඔහුට ලැබුනේ ඩෙනිස් ස්කියාමාය. ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු, ඔහු ‍ගොන්විල් සහ කැයුස් විශ්ව විද්‍යාල කොලීජියේ  පලමුවන පර්යේෂණ අධිශිෂ්‍ය බවට පත්විය. 1973 දී අභ්‍යාවකාශ අධ්‍යයන ආයතනයෙන් ඉවත් වී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ගණිත අංශයේ මහාචාර්ය වරයා බවට පත්විය. මෙම මහාචාර්ය පදවිය ඇතිකිරීම සදහා 1663 දී මුදල් ප්‍රදානය කර ඇත්තේ, එකල විශ්ව විද්‍යාල වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ හෙන්ර් ලූකාස් පියතුමා විසිනි. එම පාර්ලිමේන්තු අසුන අයිසැක් බැරෝ විසින්ද පසුව  1669 දී අයසැක් නිවිටන් විසින්ද හොබවන ලදි. ස්ටෙෆන් ක්‍රියාකාරීව විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු වල යෙදෙන අතර ව්‍යවහාරික ගණිතය සහ න්‍යායාත්මක භෞතික විද්‍යාව අංශයෙහි අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරයි.
ස්ටෙෆන් හෝව්කින්ග්, විශ්වය පාලනය කරන මූලික නීතී පිළිබද බොහෝ කලක් අධ්‍යයනය කළේය. රොජර් පෙන්රෝස් සමග ඔහු, අයින්ස්ටයින්ගේ සාපේන්ෂතාවාදය, අවකාශය - කාලය ට පටන් ගැන්මක්, බිග්බෑන්ග් අවස්ථාවක් ලෙස, තිබිය යුතු බවත් එහි අවසානය අදුරු ආගාධයකින් තිබිය යුතු බවත් පෙන්වා දුන්නේය. මෙම ප්‍රතිඵල, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් කොන්ටම් වාදයත් එකට එකතු කල යුතු බව පෙන්වා දුනි. එම එකතු කිරීමෙන් ඔහු සොයා ගත් එක් දෙයක් නම් අදුරු ආගාධ සම්පුර්ණයෙන් අදුරු නොවිය හැකි බවත්, ඒවාද විකිරණ පිටකර වාෂ්ප වී අවසන නොපෙනී යා හැකි බවයි. අනෙක් තර්කය, චෛතසික කාලයෙන් මැනීමේදී විශ්වයට කෙලවරක් හෝ සීමාවක් නොමැති වීමයි. මෙයින් කියවෙන්නේ විශ්වය පටන් ගත් ආකාරය සම්පූර්ණයෙන්ම නිර්ණය වන්නේ විද්‍යා වේ නීතින් මත බවය.
අවකාශ කාලයේ මහා පරිමාන සැකිල්ල, ජී. එෂ්. ආර්. එලිස් සමග: අයින්ස්ටයින්ගේ  සියවස් සමාලෝචනය, ඩබ්ලිව්. ඊශ්‍රායල් සමග: ගුරුත්වාකර්ශණය සමග අවුරුදු 300 ක්, ඔහුගේ සමහර ප්‍රකාශනයන්ය. ඔහුගේ ජනප්‍රිය පොත් අතර කාලය පිළිබද කෙටි ඉතිහාසයක්, අදුරු ආගාධ සහ ලදරු විශ්වයන් සහ අනෙකුත් නිබන්ධයන්, විශ්වය කෙටියෙන්, මහා සැලැස්ම සහ මගේ කෙටි ඉතිහාසයද වෙයි.
මහාචාර්ය හෝව්කින්ග් ට ගෞරව උපාධි 12 ක් ලැබී ඇත. 1962 දී,CBE ගෞරවයද 1989 දී ගෞරවයේ සහකරු නම්බු නාමයද ලැබුණි. ඔහුට නොයෙකුත් ගෞරවනාම, ත්‍යාග සහ පදක්කම් ලැබී ඇති අතර රාජකීය සමිතියේ අධි සාමාජිකයෙකු හා එක්සත් ජනපද ජාතික විද්‍යා ආයතනයේ සාමාජිකයෙකු වේ.
ස්ටෙෆන්ට වයස 21 ක සම්පූර්ණ වෙද්දීම වාගේ ALS  නමැති ස්නායු රෝගය වැලදුනි. රෝද පුටුවට සීමා වී පරිඝණකකරණය කටහඩ පාලකයකින් කථා කලද, ඔහු තමාගේ පවුල් ජීවිතය (ඔහුට දරුවන් තිදෙනෙකු සහ මුනුබුරන් තිදෙනෙකු සිටී) සහ ඔහුගේ න්‍යායික භෞතික විද්‍යා වේ පරීක්ෂණ කිරීම්, ලොවේ ප්‍රසිද්ධ නගරවල  දේශණ පැවැත්වීම ඇතුලුව කරගෙන යයි. යම් දිනෙක අභ්‍යවකාශයට යාමට ඔහු තවමත් බලාපොරොත්තු වෙයි.


හොඳ විහිලු

අපි  හුඟ දෙනෙකු විහිලු අහන්නට කැමති වෙමු.හොඳ විහිළුවක් ඇසුවිට ඇහෙන්නට සිනහවිම කලයුතු වන්නේ නැතිනම් විහිලුව කියූ කෙනා අපහසුතාවයට පත්වන නිසාය. සමහරවිට අප මිට කලින් අසා ඇති විහිලුවකටත් එසේ සිනාසෙන්නේ කියූ කෙනාට පොඩි සතුටක් ලබා දීමටය. නමුත් අප කියවනවිට ඉතාමත් හොඳ විහිළුවක් නොවන්නේ නම් හඬනගා සිනා නොවෙමු.එහෙත් එසේ සිනාසෙන අයත් ඉඳහිට එසේ සිනාසෙනු මා දැක ඇත්තෙමි.'

සමහර අයට විහිලු කතා සැහෙන කාලයක් මතක තිබේ. කට්ටියක් එකට එකතුවන අවස්තාවක පැය ගණනක් පෙර ඇසු විහිලු කතා කියන්නට පුළුවන් මිතුරෙකු දෙන්නෙකු අප කාටත් සිටිති. තව සමහරුන්ට එතරම් සිනහ නොයන විහිලු කතාවකුත් ලස්සනට කියන්නට  පුළුවන. අපි සමහරවිට විනාඩියකින් කියන කතාවක් එවැනි කෙනෙකු විනාඩි දහයක් පමණ අරගෙන ලුණු ඇඹුල් දමා අවැසි තැන්වල නවත්වමින් ලස්සනට කියනවිට අපට මෙසේ කියන්නට බැරි ඇයි කියා කණගාටුවන අවස්ථාද ඕනෑ තරම් ඇතිවේ.

මම මුලින්ම  හාස්‍ය  කියවන්නට පටන්ගත්තේ අප කුඩාකල නිවසට ගෙන ආ රිවිරැස පත්‍රයේ පිටුවක් පුරා තිබූ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් නමැති හාස්‍ය මුසු උපහාසාත්මක සැටයරයන්ය. වයස 10 /15 වෙදී කියවූ ඔහුගේ ඒ ලිපි මට තවමත් මතක තිබේ. ඒවා ඒ තරමටම රසවත්ය,තත්වයෙන් උසස්ය.එකල ඩඩ්ලි සේනානායක රජයෙන් දියත් කල වගා  සංග්‍රාමය නම් වූ ගොවි ව්‍යාපෘතියක් ගැන ඔහු ලියු සැටයරයක් මට තාමත් සිහියට නංවා ගෙන සිනාවක් මුවගට නංගා ගන්නට පුළුවන.

ඒ හා සමානම තවත් හාස්‍යජනක වැඩ සටහනක් වුයේ විනෝද සාමය නම්වූ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ හාස්‍ය වැඩ සටහනයි. එම වැඩසටහනද ලංකාවේ මෙතෙක් බිහිවූ අනර්ගම හාස්‍ය ජනක නිෂ්පාදනයක් විය. ඒ අතරම අප කුඩාකාලයේ ප්‍රචාරය වුනු මුවන් පැලැස්ස ද ඒ වර්ගීකරණයට අයත් නොවුවද යම් හාස්‍ය රසය අසන්නන්ට ගෙන දුන්නේය.

ඉන්පසු හාස්‍ය බොහෝ වියලි  ගිය  යුගයක් ඇතිවිය. විහිලු කලේ විරූපී ඇඳුම් ඇඳ ගැනීමෙන් හෝ යම් භෞතික විරූපී ගතියක් පෙන්වමිනි.ඉන්පසු මෑත කාලයේ රාජ සභාව එනතෙක් එම වියලිය පැවතුනු බව මට සිතේ.ඉන්පසු  නම් හොඳ හාස්‍ය වැඩසටහන් කිහිපයක්ම එලියට පැමිණියහ. දැන් ප්‍රචාරය වන පටි රෝල් ඉහල තත්වයක තිබෙන හාස්‍ය වැඩසටහනක් වන අතර එය ගුවන් විදුලි ප්‍රයිම් ටයිම් එකට දමා තිබීමෙන්ම එය අතිශය ජනප්‍රිය බව පෙනේ.නමුත් අපිට තවම අන්තර්ගතයෙන් හාස්‍ය මතුකරන රුපවාහිනි වැඩසටහන් නම් හදාගැනීමට අපහසුව ඇති බව පෙනේ.

විශේෂයෙන්ම බොහෝ රටවල තිබෙන ටෝක් ශෝව් වැනි වැඩසටහන් නිපදවන්නට අපි උත්සාහ කරන්නේවත් නැතිවීමට හේතුව කුමක් විය හැකිදැයි නොතේරේ.

අපි ඕනෑම කෙනෙකුට මතක තිබෙන අප විෂයය වන එසේ නැත්නම් අප අසලක සිදුවුණ හාස්‍ය ජනක සිද්ධි කිහිපයක් ඇත්තේය.
මට එලෙස මතකයේ හැමදාම තිබෙන මසකට වරක් වත් මහේ සිතේ සිනහවක් නංවන ඒක සිද්ධියක් මට කියන්නට සිතුනි.

මේ සිද්ධිය සිදුවුයේ ත්‍රිකුණාමලයේ නිලධාරි නිවාසයේය.යම් ජෙෂ්ට නිලධාරියෙකුගේ කුමක් හෝ සැමරිමකට  අපට සාදයක් දුන්නේය. එකල සාද දෙවර්ගයක් තිබුණි; තවමත් එසේ විය යුතුය, එක වර්ගයක් රාත්‍රී සාදයන්ය. ඒවාට වියදම වැඩිය,පැවැත්වෙන්නේ වඩා වැදගත් කාරනයකටය. ප්‍රි ලන්ච් එසේත් නැත්නම් දිවා ආහාරයට පෙර සාද පැවැත්වුනේ අඩු වැදගත් කමක් ඇති කාරණයක් සම්බන්ධයෙනි.

සාදය දෙන නිලධාරියා පැමිණෙන නිලධාරින් පිළිගැනීමට නිලධාරි නිවාසයේ දොරටුව ලඟට වී සිටියේය. මමත් තවත් නිලධාරියෙකුත් සාදයට සහභාගී වීම සඳහා සිවිල් ඇඳුමෙන් සරසි නිවාසය  ලඟට පැමිණෙමින් සිටියෙමු. මේ නිලධාරියා සාමාන්‍යයෙන් කලිසම  ටිකක් ඉනෙන් ඉහළට අඳින නිලධාරියෙකු විය. යම් හේතුවක් නිසා, සමහරවිට ඔහු අලුත් කලිසමක් මසාගත්තා වෙන්නට පුළුවන, ඔහුගේ කලිසම වෙනදාටත් වඩා ටිකක් ඉහලට වෙන්නට  ඇඳගෙන සිටියේය. 
අප එන දෙස බලාසිටි සාදය පිරිනමන්නාට  එක්වරම මෙසේ කියවින. 

"අයියෝ .......... අපරාදෙනේ ඔයා කමිසයක් අන්දේ , කලිසමටම කොලර් එකක් දැම්මනම් ඉවරයිනේ" 
ඔහු මෙය කලින් අසා තිබූ එකක්දැයි මම නොදනිමි. නමුත් ඒ අවස්ථාවෙ මට සිනහව නවත්වාගත නොහැකි විය.


My house is my castle

 මේ මගේ කාර්සල් එකට( my house is  my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි.  සතියකට පමණ පෙර එතන...