Tuesday, September 19, 2017

අතුරුදහන් කිරීම් වැළක්වීමේ පනත ; එහි හොඳ නොහොඳ



මේ දිනවල බොහෝ කතිකාවට ලක්වන බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ පනත පිළිබඳව මටත් සොයා බලන්නට සිතුනි. මේ පනත කුමක්ද ,එය කුමක් අරමුණුකර අන්තාර්ජාතික වශයෙන් සම්මුතියකට නංවා ඇත්තේද , මෙම පනත මෙරට නීති පද්දතියට ඇතුල් කිරීමෙන් අපට කුමන පල විපාක ලැබේද යනාදී වශයෙන් අප මේ පනත දෙස පරීක්ෂාවෙන් බැලිය යුතුය.

අවුරුදු සිය ගණනක සිට මේ කරුණ පිළිබඳව උනන්දුවක් තිබුනද   මෙම පනත පිලිබඳව එක්සත් ජාතීන්ගේ මන්දකය  මුලින්ම ක්‍රියාත්මක වී  ඇත්තේ  1971 වසරේය. අවුරුදු 25 ක් නොයෙකුත් අවධි වල දියුණු කිරීමෙන් පසු 2006 මෙම පනත එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ පිළිගැනීමෙන් පසුව 2007 පැරිස් නුවර සාමාජිකයන් 53 දෙනෙකු විසින් අත්සන් කරන ලද අතර මේ වනවිට රටවල් 59ක් මෙම පනත තමන්ගේ රටවල නීතියක් ලෙසට පිළිගෙන තිබේ. නීතියක් ලෙසට පිළිගතහොත් එම රට ප්‍රධාන වශයෙන්  පහත සඳහන් දෑ කිරීමට බැඳී සිටි.

1. බලහත්කාරයෙන් අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බලා වගකිවයුත්තන් නිතිය ඉදිරියට ගෙන ඒම 

2. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම  රටෙහි අපරාධ නීතියෙහි කොටසක් බවට පත්කිරීම.

3. එවැනි වරදකට සැක කරන  විදේශිකයකු වුවද තම රටෙහි සිටියදී ඔහුට  විරුද්දව නීතියෙන් කටයුතු කරීමට හැකිවන පරිදි අධිකරණ බලය ඇතිකිරීම.

4. චෝදනා ලැබුවන් නිතිය ඉදිරියට ගෙන ඒම, අතුරුදහන් වුවන් ට සහන සැලසීම සහ ඔවුන්ගේ ශරීර කොටස් සොයා ආපසු බාරදීම සඳහා  අනෙක් සාමාජිකැ රටවල්  සමග එකතු වී වැඩ කිරීම.

5. පුරවැසි නිදහස නැතිකිරීමට විරුද්දව සහ අත්අඩංගු උසාවි ඉදිරියේ  අභියෝග කිරීමට හැකි වන පරිදි   නීති සකස් කිරීම.

6. දැනට සිරබාරයේ සිටින සියලුම දෙනා සඳහා ලැයිස්තුවක් සකස් කර ඔවුන්ගේ ඥාතීන් සහ නීතිඥයන්ට ඔවුන් පරීක්ෂාකිරීමට ඉඩ ලබා දීම.

7. අතුරුදහන් වුවන් හෝ එයින් කෙලින්ම බැට කැ තැනැත්තන්ට වන්දි ලබාගැනීමට හැකිවන පරිදි නීති සකස් කිරීම.

8. මෙම වන්දි, තිබූ තත්වයට පත්කිරීම, පුනරුත්තාපනය, තෘප්තියට පත්කිරීම ( නැවත සිදු නොවීමට වග වීම, ආත්ම ගෞරවය නැවත පිහිටුවීම, හානිපුරණය වැනි ක්‍රියා මඟින්)  

රටකට  පනතක් සඳහා අත්සන් කිරීමට පුළුවන, එහෙත් එක එක රටවල තිබෙන ජාතික  නීති වලට අනුව එම පනතේ අඩංගු කරුණු රටෙහි නීතියක් බවට පත්වීමට නම් කලයුතු තවත් වැඩ කොටසක් තිබේ. ශ්‍රී ලංකාවේ නම් එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම කර ගත යුතුය. දැන් අප සිටින්නේ මේ අවධියෙහිය.

ශ්‍රී ලංකාවට මේ පනත පිළිබඳව විශේෂ උනන්දුවක් තිබේ. ඒ එක්සත් ජාතික මණ්ඩලයට   අනුව ලංකාව ලෝකයේ රටවල් අතර ප්‍රමාණාත්මකව  දෙවෙනියට බලහත්කාර අතුරුදහන් වීම සිදුවී ඇතැයි චෝදනා වී ඇති රට  නිසාය. අප එම දත්ත අනුව  ප්‍රමාණයන්ගෙන් දෙවෙනි වන්නේ ඉරාකයට පමණි. මෙවැනි පසුබිමක අප මෙවැනි සම්මුතියකට එකඟ වී නීති සම්පාදනය කිරීම වයර් එකක ඇවිදින්නාක්   වැනි ගමනකි, නමුත් හරියට කර ගතහොත් අපේ මේ බොහෝ විට සාවද්‍ය කළු පල්ලම් සෝදා දැමීමට මෙය හොඳ අවස්තාවක් කරගත හැකිය.

ලංකාවේ සම්මත කිරීමට යන පනතේ අතීතයට බල පැවැත්වීම පිළිබඳව සාකච්චා කරනු ලැබෙයි. එය අතීතයට බල පාන්නේ නැති ආකාරයට නීති පැනවුවද  , පුද්ගල බලහත්කාරකමෙන්  නැතිවීම් සංවිධානාත්මක ලෙස , ක්‍රමවත්ව සිදු කර ඇත්තේ යයි ඔප්පු කළහොත් , එවැනි අපරාධ සමුල ඝාතන (genocide) වලට ගැනෙන බව 2002 රෝම අන්තර්ජාතික අධිකරණ සඳහා වූ නීති වල සඳහන් වෙයි.. එසේ  වුවහොත් එවැනි අපරාධ වලට වෙනත් සාමාන්‍ය අපරාධ වලට මෙන්  කාලයේ සීමාවක් බල පාන්නේ නැත. අවුරුදු 50ක් ගියත් විමර්ශන කල හැක. නමුත් ඒ සඳහා එම අතුරුදහන්  කිරීම් ක්‍රමවත්ව සාමුහික ආකාරයකට විශාල වශයෙන්  සිදු කර ඇති බව මුලින් ඔප්පු කර සිටිය යුතුය. එය පහසු කටයුත්තක් නොවේ.

පනත සම්මත කරගත් පසු අවුරුදු දෙකක්  තුල රට තුල පනත ක්‍රියාත්මක කිරීමට ගත තීරණ සාමාජිකයන්ගෙන්ම සැදුම් ලත් පාලක මණ්ඩලයට වාර්තා කල යුතුය. 


මෙම පනතේ සමහර කොටස් වෙනත් අන්තර්ජාතික නීති සමග ගැලපීමේදී ඇතිවන ප්‍රශ්න නිසා එය විවේචනයට ලක්ව ඇත. එයින් එකක් ලෙස  අන  ව්‍යුහයේ වග වීම සඳහන් කල හැක. එයින් සිදු වනුයේ  යම්  නිලධාරියෙකු විසින් කරන ලද වරදකට ඔහුගේ ප්‍රධානියා එම වරද සිදුවීම වැලක්වීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නැත්නම් ප්‍රධානියාටද විරුද්දවද කටයුතු කිරීමට හැකිවීමය. එම අතුරුදහන් වීමේ පනත සහ අන්තර්ජාතික නීති වල එන ව්‍යුහයේ වගකීම සංකලනය වූ විට , එසේත් නැත්නම් එකට ගත්විට බලෙන් අතුරුදහන් කර ඇති සිදුවීම් වල කෙලින්ම සම්බන්ද පුද්ගලයා හැරෙන්නට ඔහුට ඉහලින් සිටි ඔහුට සාමාන්‍යයෙන් එන දෙන නිලධාරියාටද චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Sunday, September 17, 2017

2 අප අපුරු ඉතිහාසය 2






ඔහු නරසිම්හ රජු  වෙත ගොස් නැවත ඔහු සේවයේ යෙදෙයි.
ටික කලකට පසු නරසිම්හ රජු මානවම්ම රජුට නැවත හමුදාවක් ගොඩ නංවා නැවත ඔහුට රාජ්‍ය ලභා ගැනීමට නැව් නැංවීමට උත්සාහ කරයි. එහෙත් හමුදාව නැව්  නැඟීමට මැලි  බවක් දක්වයි. සමහරවිට මුල්වර ලංකාවට පැමිණි පසු ලැබුණු කටුක අත්දැකීම් නිසා වන්නට පුළුවන.

නරසිම්හ රජු මේ සඳහා උපායක් සැලසුම් කරයි. ඔහු ඔහුගේ රාජකීය යුධ  ඇඳුම් සහ යුධායුද මානවම්ම කුමරුට අන්දවයි. ඔහුගේ රාජකීය කොත්ත යුද බෙරකරුද නැව් කණ්ඩායමේ  එක නැවකට යවා බෙරය වයන්නට සලස්වයි. නරසිම්හ රජුගේ  හමුදාව තමන්ගේ රජු නැවට ගොඩවුන බව සිතා දිව ගොස් නැව් වලට ගොඩවුණු අතර නැව් වහා මුහුදට ඇදින. 

මෙලෙස උපායෙන් ලබාගත් හමුදාව පැමිණෙන නැව් කණ්ඩායම මහ මුහුද මැද නගරයක් සේ පෙනුණු බව විස්තරයේ කියවෙයි. හමුදාව උතුරු කාරයෙන් රටට ඇතුළු වී ටික දිනක් විඩා හැර උතුරු කරය අල්ලා ගනියි. බලගතු හමුදාව දැන් අගනුවර වූ අනුරාධපුරය වෙතට  සේන්දු වෙයි. මේ පැමිණීම ආරංචි වන පොත්තකුත්ත, රජුත් සමග තම හමුදාව ගෙන සටනට යයි.

මානවම්ම ඇතු  පිට නැගී සටන් කරමින් පොත්තකුත්ත සහ හත්තධාත රජු හමුදාවෙන් වෙන්කර ඔවුන් හඹා යයි. පලා යන හත්තධාත රජු අතර මඟදී අල්ල ගන්නා රටවැසියෝ ඔහුගේ ඔලුව කඳින් වෙන්කර මානවම්ම වෙතට ඉදිරිපත් කරති.

පොත්තකුත්ත තම මිතුරෙකු වූ  මෙරුකන්දර ප්‍රාදේශීය පාලකයා  වෙතට පලා  යයි.ඔහු එහි ගිය විට එම මිතුරා මහත් දුෂ්කරතාවයකට පත්වෙයි. ඔහුට් මිතුරාට උදව් කිරීමටත් අවශ්‍යය, එසේ උදව් කළහොත් ජයග්‍රාහි  රජුගෙන් දඬුවම් විඳින්නටත් සිදුවෙන බව දනියි.

ඔහු වස යෙදු  කැවුම් කා  ජීවිතය නැති කර ගනියි. ඒ දකින ඔහු වෙත් උදව් ඉල්ලා පැමිණි පොත්තකුත්ත ද එම වස දැමු කැවුම් කෑ තෙමේද දිවි නසා ගනියි. 

මෙලෙස දීර්ග කාලයක් මහත් කැපකිරීම් වලින් පසු ලබාගන්නා රාජ්‍ය මානවම්ම දැහැමි ලෙස අවුරුදු 35 ක් පාලනය කරයි. ඔහු රජ වූ විගසම විශේෂ රාජ කාර්යක් සිදුකරයි. ඒ රට වටාම ආක්‍රමණයක් නැවත සිදු නොවන පරිදි ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීමය.

අප අපුරු ඉතිහාසය



අප ඉතිහාසය තරම් විචිත්‍රවත් එමෙන්ම කොතරම් නිර්මානකාරි කතුවරයෙකුටවත් ප්‍රබන්ධ කල නොහැකි ඉතිහාස කතා චීන ඉතිහාසයේවත් තිබෙනවා දැයි සැක  සහිතය. අපි කුඩා කාලයෙහි  ශුභ සහ යස කියවා එසේත්  නැත්නම් සිගිරි කාශ්‍යප කියවා පුදුමයටත් විශ්වයටත් පත්වීමු. මෙම සිදුවීම ඒ දෙකටම වඩා අපුරුය, එමන්ම සත්‍යය. 

මෙය සිදුවන්නේ ක්‍රිස්තු වර්ෂ 650 - 700 කාලයේය. එකල සිරිලක අගනුවර වන්නේ අනුරාධපුරයය. ඇත්තෙන්ම පොලොන්නරුව 1070 අගනුවර වන තෙක් තවත් අවුරුදු 400ක් පමණ එය සිරිලක අගනුවරය. 674 දී සිරිලක රජ වූ 4 වන අග්ගබෝධි මිය යයි. ඔහුගෙන් පසු දමිල පොත්තකුත්ත නම් ඔහු නිලධාරියෙකු යුව රජ ධාතසිව හිරකර රට පාලනය කරයි. බොහෝ විට මෙම නිලධාරියා මියගිය රජුගේ සෙනෙවියා වන්නට පුළුවන.

ඔහු තමනට රාජ්‍ය අයිතියක් නොමැති නිසා දත්ත නැමැත්තෙකු නාමික රජ වරයෙකු ලෙස පත් කරගෙන රාජ්‍ය කරයි. දත්ත මිය ගිය පසු හත්තධාත  නැමැත්තෙකු නැවතත් නාමිකව  රජ කරවා දමිල පොත්තකුත්ත රාජ්‍ය කරයි. හත්තධාත රාජ්‍ය කරද්දී රාජ්‍යට කෙලින්ම උරුම කම් ඇති මහාවම්ම නමැති කුමාරයකු කඳුරට රජ වූ සංගමාන නම් රජුගේ දියණියක් විවාහ කරගෙන රහසේ උතුරු ප්‍රදේශයේ ජිවත් වෙයි.

ධාතසිවට මොහු ජීවත්වීම  පිළිබඳව ආරංචි වී සොයා බලන බව දැනගත් මහාවම්ම අසුවීමට පෙර ඉන්දියාවට පැන යයි. එහිදී කන්ඩුවෙති නම් දකුණු ඉන්දියානු රාජයේ පාලකයා වන පලවෙනි  නරසිම්හවරම් වෙත ගොස් ඔහුට තමා පිළිබඳව විස්තර කර ඔහුගේ සේවයට එකතු වෙයි. ටික කලකින් රජු ගේ අවසර ලබා තම බිරිඳද එහි ගෙන්වා ගනියි. එම රජුගේ සේවයෙදීම ඔහුට දරුවන් අට දෙනෙකු ලැබෙයි.

නරසිම්හවරම් රජු මොහුගේ සේවය ගැන පැහැදී ඔහුට හොඳ ආදායමක් එන ලෙසට ගම්වර ලබාදෙයි. මේ දෙදෙනා බොහෝ කුළුපග වෙයි. දවසක් දෙදෙන අලියෙකු පිට නැගී නිදහසේ සංචාරය කරද්දී රජු අලියා පිට සිටියදීම කුරුම්බා ගෙඩියක් බි ඉතිරි වතුරත් සමගම එය තමාට පිටුපසින් සිටින මානවම්ම හට අමතක වීමකින් දෙයි. කුරුම්බය විසි කලොත් රජුට අගෞරව විය හැකි හෙයින් ඉතිරි වතුර වලින් කොටසක් මානවම්ම අකමැත්තෙන් වුවද පානය කරයි.

මෙය දකින නරසිම්හවරම් කුරුම්බය ආපසු ඉල්ලාගෙන ඉතුරු වූ වතුර ටික තමන් පානය කරන්නේ ඉඳුල් වූ කුරුම්බා වතුර බිමෙන් මානවම්ම ට; විශේෂයෙන්ම ඔහුද රාජ්‍ය වංශයෙහි කුමාරයෙකු නිසා, ලැජ්ජාවක් සිදුවීමට ඉඩ ඇති නිසාය. මෙම සිද්ධියෙන් පසු රජු මානවම්ම ගැන බොහෝ පැහැදී ඔහුට  තමාට ඇති උපකරණ, සම්පත්, මාලිගා යනාදිය ඒ ආකාරයෙන්ම ලබාදෙයි.  

මේ අතර දෙවෙනි පුලුකෙසින් නම් වල්ලභ රජෙකු මෙම රාජධානිය ආක්‍රමණය කරයි. ආක්‍රමණයට සැරසෙන අතරතුර නරසින්හවරම් රජු මෙසේ සිතයි.

"මානවම්ම කුමරු බොහෝ කලක් මා ලග සේවය කළේය. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව තමාට අයිති රාජ්‍යය ආපසු ලබා ගැනීමයි. මා සමග යුද්දයට ගොස් ඔහු යුද්දයේදී මරුමුවට පත් වුව හොත් ඔහු මෙතෙක් උත්සාහ කල ඒ බලාපොරොත්තුව ඉටු කර ගත නොහැකි වනු ඇත. ඔහු මෙහි තබා යමි" යයි සිතා  තම හමුදා සමග යුධ භූමියට ගියේය. 

මේ අතර මානවම්ම කුමරු  " මොහු යුද්දයට ගොස් පැරදුනහොත් මා මෙතෙක් කල් සැලසුම් කල ලංකා රාජ්‍ය ලභා ගැනීමට නොහැකිවනු ඇත " යයි සිතා අලියෙකු පිට නැග  යුධ භූමියට  ගොස් බොහෝ වීර ක්‍රියා කර තම මිත්‍ර රජුට ජයග්‍රහණය ලබා දුන්නේය.

ජයග්‍රහණයෙන් පසු ආපසු අග නුවරට පැමිණි නරසිම්හවරම් රජ විශාල සැණකෙළියක් පවත්වා තම මිතුරාට  ගෞරව කළේය. මින්පසු තම මිතුරාට උදව්කිරීමට මේ කල් යයි සිතු ඔහු තම නිලධාරින් එකතුකර 

" අප මිතුරා යුද්දයේදී කල කි දෑ ඔබ දුටුවෙහිය, දැන් අපටද ඔහුර උදව් කිරීමට කල පැමිණ තිබේ"යයි පැවසිය. ඔහුගේ නිලධාරින්ද එයට එකඟව "ඔබ තුමාට සිතැඟි දෙයක් අප කරන්නෙමු " යයි රජුට පැවසුහ. රජු විශාල හමුදාවක් මානවම්ම කුමරුට දී නැව්  නංවා ලංකාවට යැවිය.

ලංකාවට ගොඩ බට හමුදාව දුටු ධාතොපතිස්ස රජු පලා ගියේය, එහෙත් මානවම්ම අගනුවර ඇල්ලීම පසෙක තබා ධාතොපතිස්ස හඹා ගියේය. මේ අතර ඉන්දියානු හමුදාවන් අතර නරසිම්හ රජු රෝගී වී මිය ගිය බවට කතාවක් පැතිර ගියෙන් ඔවුහු ආපසු තම රට බලා ගියහ. මේ ඇසු ධාතොපතිස්ස තම හමුදාව රැගෙන ආපසු පැමිණ  මානවම්ම ගේ ඉතුරු වූ හමුදා සමග සටන් කළේය. තම හමුදා සටනට ප්‍රමාණවත් නොවන බව  පසක් කල මානවම්ම් කුමරු 

" නැවත ඉන්දියාවට ගොස් හමුදාවක් ගෙන මට අයිති රාජ්‍ය ලබා ගන්නෙමි " යයි සිතා නැවත ඉන්දියාවට පලා ගියේය.

ඊ ළඟ කොටස 

http://lakshmanillangakoon.blogspot.com/2017/09/2-2.html

Friday, September 15, 2017

කුරුඳු සහ අපි






මම ගාල්ලේ සේවය කරමින් සිටියදී මා සමග සිටි නිලධාරියෙකුට කියා කුරුඳු පැල කිහිපයක් ගෙන්වා ගෙන මහනුවර අපේ ගෙදර වත්තේ පැල කලෙමි. මෙතෙක් කලක් අප ජිවත්වන ප්‍රදේශයේ කුරුඳු වැවීම පිළිබඳව අසන්නට ලැබී තිබුනේ නොමැති වුවද මගේ පැල හොඳින් වැවුණු අතර දැන් ලොකු කුරුඳු ගස් දෙකක් වත්තේ තිබේ.

මෙම ගස් හොඳින් වැවුණු පසු එසේ වැවෙද්දීත් අප ප්‍රදේශයේ කුරුඳු දකින්නට නොලැබෙන්නේ ඇයි දැයි සොයා බැලුවෙමි. මෙයට එක හේතුවක් වී ඇත්තේ සෙනරත් රජුගේ (1604-1635) කාලයේ නිකුත් කෙරුණු රාජ ආඥාවක් බව දන ගත්තෙමි. 

සෙනරත් රජු මුහුදු කරය පාලනය කල පෘතුගීසින් නිරන්තරයෙන්ම උඩරට ආක්‍රමණය කරන්නේ ඇයි දැයි සොයා බැලුවේය. ඔවුන් ලංකාවට පැමිණියේත් දැන් උඩරට ආක්‍රමණය කරන්නේත් කුරුඳු ආධිපත්‍ය සඳහා බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. ඔහු සන් sun zu ගේ යුධ මුලධර්මයක් ඔවුන් අධ්‍යිර්යමත් කිරීමට යොදා ගැනීමට තීරණය කළේය. ඒ යුද්ද නොකර ජයග්‍රහණය කිරීම හොඳම ජයග්‍රහණය බවයි.

ඔහු පෘතුගීසින් කන්ද උද රටට පැමිණෙන හේතුව ඉවත් කර ඔවුන් ගේ පැමිණීම වැලක්වීමට තීරණය කළේය. ඔහුගේ රාජධානිය තුල යම් පුද්ගලයකුගේ වත්තක කුරුඳු ගහක හමුවුනොත් අයිති කරුට මරණ දඬුවම ලබා දෙන බව ප්‍රසිද්ධ කළේය. කන්ද උඩරටින් කුරුඳු තුරන්විය. නමුත් රජු බලාපොරොත්තු වූ මුලික අරමුණ ඉටුවූයේ නැත. පෘතුගීසි ලංකාවෙන් පලවා හැරීමට හැකි වුයේ ඔහුගේ බාල පුතා වූ දෙවන රාජසිංහ රජුටය (1629-1687). එහෙත් ඒ යුද්දයේදී ඕලන්ද ජාතිකයන් ඔහු මුලා කිරීම නිසා ඔහුට ඔහු බලාපොරොත්තුවූ ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි විය.




පෘතුගීසින් වෙනුවට මුහුදු කරය අල්ලාගත් ලන්දේසි වෙළදාමට කුරුඳු සොයාගැනීමට පහසු ක්‍රමයක් සොයා ගත්හ, ඒ පහතරටම කුරුඳු වගා කිරීමයි. කොළඹ අවට එකම කුරුඳු වත්තක් බවට පත්විය. දැන් වුවද අතුරුගිරිය පැත්තේ ඉඩම් වල අතහැර දමන ලද කුරුඳු ගස් ඒක දෙක තැනින් තැන දක්නට ලැබෙන්නේ මෙවැනි වැවිලි වලින් ඉතුරු වූ ඒවා වන්නට පුළුවන.

අපේ උද්‍යානයේ ඇති ලෝකු  කුරුඳු ගස් දෙකෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතු මම එම ලී කැබලි කඩා ව්‍යංජන වලට දීමට යෝජනා කලෙමි. එහෙත් කුරුඳු ව්‍යංජන වලට දීමට නම් ඒවා වේලා තිබිය යුතු නිසා එසේ කල නොහැකි බවට මතයක් පල විය. කුරුඳු වේලා වෙළඳ පලට යවන්නේ කල් තබා ගැනීමට බවත් ගෙදර ගසක් තිබෙන්නේ නම් එවෙලට  අමු පොතු යොදා ගත හැකි බවත් පෙන්න දුන්නද එය පිලි ගැන්වීම අපහසු විය. ඉන්පසු තරමක අත්තක් කපා එහි පොතු වේලා ගෙන ඒවා ව්‍යංජන වලට යොදා ගැනීමේ සමගි සම්මුතියකට පැමිණුනා අතර , කුරුඳු පොතු ග්‍රෑම් 50 ක් රුපියල් 250ක් නිසා මෙය ක්‍රියාත්මක කිරීම ලොකු ප්‍රගාමකයක් ද ලැබුණි. 

මිල ගණන් බලන විට මෙය පෘතුගීසින් අන්තර්ජාතික කුරුඳු වෙළඳ පොළ පාලනය කරන කාලයට වඩා බොහොඕ අඩුය. එකල වියලි කුරුඳු මිටියකට ලැබෙන මුදලින්  ලන්ඩන් නගරයේ ඉහලම පෙලේ විදියකින් තට්ටු දෙකක නිවෙසක් මිලට ගැන්මට හැකි වූ අතර ඉහල තත්වයෙන් යුත් කුරුඳු බරින් රත්රන් වලට වලට වඩා මිල විය.




මේ ගස් වල ඇට වැටි ගස් අසල කුඩා පැල  රෝපණය වෙයි. මම නිවසට පැමිණෙන්නන්ට මේ ගසෙන් අප කොතරම් මුදල් ඉතිරි කරන්නේ දැයි පහදා දී ; ඇත්තෙන්ම මේ ගසෙන් ලැබෙන ආර්ථික පල ප්‍රයෝජනය පොල් ගසකින් ලබනවාට වඩා වැඩිය, පැල ඔවුනට දීමට උත්සාහ කරමි. එහෙත් තවම කිසිම කෙනෙකු මේ සඳහා උනන්දු කර ගැනීමට නොහැකි විය.




මට මේ අත්දැකීම නිවසේදී ලැබුණු නිසා මම කොළඹ ගිය විට නවතින අතුරුගිරිය ප්‍රදේශයේ උදයේ ඇවිදින්නට ගිය විට වතු වල දකින කුරුඳු ගස් ප්‍රයෝජනයට ගන්නේ දැයි බැලීමට ඒවායෙහි අතු ආදිය කපා ඇත්තේදැයි උනන්දුවෙන් බලන්නෙමි. මට පෙනෙන විදිහට නම් මේ සම්පුර්ණ නිරසායනික කුරුඳු ගෙදර වත්තේ තිබියදී සියලු දෙන ; good market යන පිරිස් පවා, ග්රෑම් 50  රුපියල් 250 ගන්නේ වියලි කුරුඳු පොතු පාවිච්චි කරති. 

3 මාක් ට්වේන් ගේ ලංකා ගමන - අවසාන කොටස







කෙසේ වුවත් අපට අපේ ඇඳුම් සමග ජීවත්වීමට සිදුව තිබේ - ඇඳුම් වලටත් පැවතීමට හේතුවක් තිබේ. ඇඳුම් අප මත සිටින්නේ අප නිරාවරණය කිරීමටය - අප ඇඳුම් වලින් සඟවා ඇත්තේ කුමක්දැයි ලොවට පෙන්නිමටය.

ඒවා සැඟවුණු සංඥා ; අපේ ව්යාජත්වයේ සංඥා , පිටතට ලභා දෙයි. එහෙත්  අප තද පාටට , ඒවායේ සමබරතාවයට ,ලාලිත්‍යට  කැමති නැති බව පෙන්වා එය සාක්ෂාත් කර පෙන්වීමට මෙවැනි ඇඳුම් අඳිමු.





නමුත් අපිට  අපේ අසල්වැසියන් ඒ ආකාරයෙන් රවටන්නට උත්සාහ කිරීම නිෂ්පල වෑයමකි ; ඇත්තෙන්ම අපි ලංකාවට ගිය විට අපට අප වත් රැවටීමට නොහැකි වී ඇති බව අපට තේරුම් ගත හැකිය. අපි දිලිසෙන පාට වලට සහ අලංකාර ඇඳුම් වලට කැමැත්තෙමු. අපි ඇමෙරිකාවේදී එවැනි වර්ණවත් රැලි සහ පෙළපාලි පැවැත්වෙන විට ඒවා නරඹන්නට කුනාටුවකදිත් එකතු  වෙන්නෙමු - බලා එම වර්ණවත් ඇඳුම ඇඳගෙන සිටින්නන්ට ඉර්ශයා කරන්නෙමු.

අපි එවන් ඇඳුම් ඇඳ රඟ පාන්නන් බලන්නට නාට්‍ය ශාලාව වලට  ගොස් අපට එවැනි ඇඳුම් අඳින්නට අවස්තාවක් නැති  වීම ගැන කනගාටු වෙන්නෙමු. අපි අවසර ලැබුණු විට රජුගේ සාදයනට යන්නෙමු - එයට පැමිණ සිටින නිලදරුවන්ගේ දිලිසෙන නිල ඇඳුම් දැක සතුටු වෙන්නෙමු.

අපට අවස්තාවක් ලැබුනහොත්  අපි වර්ණවත් වේදිකා ඇඳුමක් ඇඳගෙන තනිවම අසල ඇති කන්නාඩියකින් බලා සතුටු නොවී සිටින්නෙමුද? ප්‍රජාතන්ත්‍රවාදී අමෙරිකාවේද නිල ඇඳුම් වලට අයිති වාසිකම් කියන නිලධාරින්ද තනියම අවස්තාවක් ලැබුන හොත් මෙසේ හැසිරෙති - ඔවුන්  කවුරුත් පෙනෙන්නට නැත්නම් තමන්ගේ  චායා රුපයක්ද නොගෙන සිටීද?

මා  කොළඹදී සෙනග අස්සේ අහම්බෙන්  දුටු කුඩා දුඹුරු  ළමයෙකු ඇඳගෙන සිටියේ  ඉන වටා ට්වයින් නුලක් පමණි. නමුත් මගේ මතකයේ ඔහුගේ නිර්ව්‍යාජ ඇඳුම , මා එදින දුටු ඇඳුම් ගොඩකින් වෙස්වලාගත් ඉරිදා පාසල් දැරියන් ගේ ව්‍යාජ  වෙස්වලා ගැනීමට වඩා ඉතා ඉහලින් කා  වැදී ඇත.

මාක් ට්වේන් ගේ සමකය හරහා කල සංචාරයේ පොතෙහි ඔහු ලංකාවේ ගත කල කාලය පිලිබඳ කොටස මෙයින් නිමවේ. ඔහු ඉන්පසු නව නැග ඉන්දියාව බලා පිටත් වෙයි.




Thursday, September 14, 2017

2- මාර්ක් ට්වේන්ගේ ලංකා සංචාරය - 2.

http://lakshmanillangakoon.blogspot.com/2017/09/blog-post_14.html

සිට





ඒ සමගම සමකය හා කෙනෙකුට මතක් වන වාතයේ ඇති සුවද, සමකයත් සමග සැමවිටම තිබෙන උණුසුම සමග බැදී ඇති නොයෙකුත් නොදන්නා මල්වල සුවද; ඒ සමගම කළු දම් පැහැති ආලෝකයෙන් පිරුණු විදුලි කෙටීම් ආක්‍රමණ - ඒ සමගම හෙන හඬ සමග කඩා වැටෙන මහා වැසි, එක්වරම එය අවසන් වී සුර්යාගේ සිනහව; මේ සෑම  දෙයක්ම  එහි තිබුණි; සෑම දෙයින්ම සම්පුර්ණය, කිසිවකින් අඩුවක් නැත.

ඈත මහා වනාන්තර සහ දුර කදු වල තිබෙන නටබුන් වූ නගර සහ ගරා වැටෙන විහාර, අමතක වූ කාලපරිච්චේද සහ නොපෙනී ගිය ජාතියකට අයත් අභිරහස් සහ කුතුහුලය දනවන නටබුන් - තිබිය යුත්තේ එසේමය, මක්නිසාද සතුදායක ලෙස ඔරියන්ටලයන් වීමට නම් අභිරහස් සහ නටබුන් වීම අවශ්‍යම කරුණු දෙකකි.

නගරය හරහා මුහුද අයිනේ තිබෙන ගෝල්පේස් වෙත ගියෙමු. ඒ ගමන නිවර්තික මල් සහ මල්පදුරු සිහිනයක් වැනිය, ඒ සමගම ඔරියන්ටල් ඇදුම් වර්ණයන්හි  මහා ගින්නක් වැනිය! පාරේ කණ්ඩායම් ලෙස ඇවිදින පිරිමින්, ගැහැනුන්, කොල්ලන්, කෙල්ලන්, කුඩා ළමුන් - සෑම පුද්ගලයෙකුම ගිනි දැල්ලක් වැනිය, සෑම කණ්ඩායමක්ම නිවසක් ගිනි ගන්නවා වැනිය. 

එතරම් තද වර්ණ, එවන් තද සහ විවිධාකාර වර්ණ, විදුලි කෙටීම සහ දේදුන්න එකට මිශ්‍ර කර සාදා ගත් අතිශය ප්‍රබල වර්ණ! අනෙක සෑම දෙයම බොහෝ සමබර ලෙස, සියල්ල හොද රසයකින් යුක්තව; එකම  තාලයෙන් පිට ගිය කණ්ඩයක් වත් නොමැතිව; කණ්ඩායමේ කිසිම කෙනෙකුගේ ඇදුමේ එක වර්ණයක් තවත් එහි ඇති වර්ණයක් සමග කිසිම දබරයකින්  තොරව සමබර විය. ඕනෑම කෙනෙකුට ඕනෑම  කණ්ඩායමකට  කණ්ඩායමේ වර්ණයන් සමග කිසිම ප්‍රශ්නයක් නොමැතිව එකතු වන්නට පුළුවන්  විය.

ඇදුම් මසා තිබුනේ තුනී මුර්දු  සිල්ක් රෙදි වලිනි - නීතියක් විදිහට සියලු වර්ණයන් ඉතාම තද නිල්, තද කොළ, තද කහ, තද දම්, තද රුබි පැහැති, ගැබුරු පොහොසත් ගිනි ගෙන දැවෙන වර්ණ - මෙවැනි වර්ණ සෙනග දිගේ ඉහලට පහලට ගිනි ගනිමින්, එක්වර ආලෝක කරමින්, දිලිසෙමින් ගමන් කළේය. තත්පර 5 කට පමණක් පැමිණෙන හද ගැස්ම නවතින රතු පැහැය කෙනෙකුගේ හුස්ම නවත්වා ඔහුගේ හදවත සතුටින් පුරවන්නේය. ඉන්පසු සිතා ගත නොහැකි තේජාන්විත ඇදුමක් පැමිණෙයි! ඒ එක රෙදි කෑල්ලක් ඇග වටා දමා ගත් කාන්තාවකි, සමහරවිට සුම්බරයක් සහ කුඩා රෙදි කැබැල්ලකින් විලි වසා ගත් පිරිමියෙකි - දෙදෙනාම තම සිරුරු වල   වැඩි කොටසක් ප්‍රදර්ශනය කළහ - නමුත් මේ දර්ශනයට අපේ ඇස්  ගරු කළහ, හදවත් සතුටින් ගායනා කළහ. 

මෙම අලංකාර දර්ශන, තද පැහැති වට පිටාව එකී නෙකට ගලපන එකිනෙකෙහි දියවෙන පාට, භාගෙට වසා ගත් මනා ලෙස හැඩවුණු සිරුරු, ලස්සන දුබුරු මුහුණු, සිත් කළු සහ මන බදින අභිනයන්, නිදහස් සුභාවයෙන්ම ගලා එන චලනයන් මට තවමත් , අද දක්වාම පෙනේ. 

හරියටම ඒ වේලාවෙහිම මේ සිහිනයට සහ පාරාදිසියට  බාධාවක් ඇතුළු විය. 

එතන තිබූ මිෂනාරී පාසලකින් දෙදෙනා බැගින් පෙළ ගැසුණු ක්‍රිස්තියානි කළු ගැහුණු ළමයින් 16 දෙනෙකු එලියට බැස්සහ. ඔවුහු අවසාන නුල දක්වා යුරෝපීය ඇදුමෙන් සැරසී සිටියේ ඇමරිකාවේ හෝ එංගලන්තයේ ඉරිදාවක සිසුන් පිරිසක් ඇදගෙන සිටින ආකාරයටය. එම ඇදුම් - අහෝ ඉතාමත් අවලක්ෂණය. කිව නොහැකි තරම් අවලක්ෂණය, මල මිනියකට අන්දන රෙද්දක් තරම් අවලක්ෂණය. මම මා සමග යන අපේ කාන්තාවන්ගේ ඇදුම් දෙස බැලුවෙමි - අර පාරේ යන ළමයින්ගේ ඇදුම් වලම ලොකු කරන ලද අනුකරණයන් වැන්නේය - ඔවුන් සමග පාරේ යාමටත් මට ලැජ්ජාවකි. මම පහත නැමී මගේ ඇදුම් දෙස බැලුවෙමි, මටත් මා සමග පාරේ යාමට ලැජ්ජාවක් ඇති විය.

to be continued     

මාර්ක් ට්වේන් ගේ ලංකා සංචාරය.





සැමුවෙල් ලෝන්ග්හොන් ක්ලෙමන්ස් (1835-1910) ඇමෙරිකාවේ සිටි අතිශය ජනප්‍රිය ලියන්නෙකු,හාස්‍ය රචකයෙකු, පොත් ප්‍රකාශකයකු,දේශකයකු  විය. ඔහුගේ Adventures of Huckelberry Finn පොත ඇමෙරිකාවේ ශේෂ්ථ නවකතාව ලෙස පිළිගැනේ. විලියම් ෆෝල්ක්නර් වරක් ඔහු ඇමෙරිකානු සාහිත්‍යයේ පියා  ලෙස හැඳින්විය.

1892  දී ඔහු type setting යන්ත්‍රයක් නිපදවීමට මුදල් ආයෝජනය ඉන් බංකොලොත් වී එයින් මිදීමට මුදල් සෙවීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හරහා දේශන සංචාරයක් සහ ගමන් වාර්තාවක් ලිවීමට ගිය අතර ලංකාවටද පැමිණියේය. 1897 ඔහු විසින් ඒ ගමන් අලලා ලියන ලද පොතේ ලංකාවට පැමිණි කොටසේ වාර්තාව පරිවර්තනය කලෙමි.

"ජනවාරි 13. වචනයට නොනගිය හැකි තරම් උණුසුම්ය. නැවතත් සමකයට ලගා වන බව පෙනේ. අප එයට අංශක 8 ක් දුරින් සිටින්නෙමු. ලංකාව පෙනෙන්නට පටන් ගනී. අහා, එය බොහෝ අලංකාර සේම සිත් බැදගන්නා ගස් වැල් නිසා ඉතා අනර්ඝ ලෙස නිවර්තන කලාපියය. 

"සිලෝන් නමැති දුපතේ ආදරයෙන් හමා යන කුළු බඩු සුවද ඇති සුළග" - අලංකාර පද වැලක්, සංසන්දනය කල නොහැකි; එහි කියන්නේ ටිකකි, නමුත් දෙන අදහස පුස්තකාලයක් තරම් පොහොසත්ය, ඔරියන්ටල ආකර්ෂණය  සහ සමකයේ රසවත් බව - දහසක් හැගීම් සහ වචනයට නොනැගිය හැකි දෑ, කෙනෙකුගේ ජීවත කාලයම මතකයේ හොල්මන් කරන එහෙත් පැහැදිලි කල නොහැකි .... කොළඹ, අගනුවර. ආකර්ශනීය එසේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔරියන්ටල නගරයක්. 

ජනවාරි 14. බ්‍රිස්ටල් හෝටලය. බ්රෝම්පි නමැති මෙහෙකරුවා, පරික්ෂාකාරී, නිවුණු, සැමවිටම සිනාසෙන දුබුරු පැහැති සිනාවෙන්ම දිනන පුද්ගලයෙක්. කාන්තාවකගේ  මෙන් කළු පැහැති දිලිසෙන කොණ්ඩය ඔලුවට පිටුපසින් ගැට ගසා කැස්බෑ කටු පනාවක් ඒ මත ගසා ගෙන සිටී - එය සිංහල කමේ ලකුණයි. සිහින්; මනා ශරීර හැඩයෙන් යුතු ; කබාය; එයට යටින් බද පටියක් නොමැතිව සුදු පැහැති පහලට ගලා හැලෙන සරම - බෙල්ලේ සිට පාද දක්වා කෙලින් පහලට; ඔහු සහ ඔහුගේ ඇදුමෙහි පිරිමි ගතියක් ඇත්තෙම නැත. ඔහු ඉදිරියේ ඇදුම් මාරු කිරීමට ද  ලැජ්ජා හිතේ. 





අපි ජපාන ජින්රික්ෂා වක නැගී; මේ අපේ එවැනි මුල්ම අත්දැකීමයි, වෙළද පොළ වෙත ගියෙමු. එය දේශිකයෙකු  විසින් ඇදගෙන යන කුඩා කරත්තයකි. ඔහු මුල් පැය භාගය වේගයෙන් දුවයි, නමුත් එය ඔහුට දුෂ්කර ක්‍රියාවකි; ඔහු ශරීරයෙන් ඉතා කුඩා මිනිසෙකි. පළමු පැය භාගයෙන් පසු ඔබට මෙම ගමනෙන් ආශ්වාදයක් ලබා ගැනීමට නොහැකිය; ඔබේ සම්පුර්ණ අවධානය ඒ මනුෂ්‍යා වෙතට යොමුවේ, හරියට මහන්සි වුන අශ්වයා වෙත මගියාගේ අවධානය යොමු වෙනවා ලෙස, එයින් ඔබේ සිතද තැවුලට පත්වේ. මෙවැනි රික්ෂෝ බොහොමයක් ඇති අතර ඒවායේ ගාස්තුද ඉතාමත් අඩුය. 

මම ටික කාලයකට පෙර කයිරෝ නගරයට ගියෙමි. එයත් ඔරියන්ටල් ලෝකයේ කොටසක් වුවාට එහි යම් අඩුවක් තිබේ. ඔබ ෆ්ලොරිඩා හෝ නිව් සවුත් වේල්සයේ සිටින විට ඔබ සිටින්නේ දකුණේය_ ඇත්ත, නමුත් ඔබ සිටින්නේ නියම දකුණේ නොවේ , වෙනස්කරන ලද දකුනකය. කයිරොත් එවැනිය, මොඩිෆයිඩ් ඔරියන්ටලයකි - යම් අඩුවක් තිබේ.

ලංකාවේදී එම හැඟීම එන්නේ නැත. ලංකාව කිසිම අඩුවක් නොමැතිව ඔරියන්ටල්ය. අනෙක් පැත්තෙන් කිසිම අඩුවක් නොමැතිව නිවර්තිතය, ඇත්තෙන්ම  මේ දෙකම ආත්මීය වශයෙන් එකම වෙයි. ඔරියන්ටල වීමට අවශ්‍ය සියලුම දෑ මෙහි තිබේ; ඇඳුම නිවැරිදිය, කළු සහ දුඹුරු ආවරණය නොවූ ශරීර , තම ශරීර කොටස් අන් අයට පෙනෙන බව ගණන්  නොගැනීම, මහා පාරේ නයි නටවන්නා  , ඔහුගේ  නයා, මුගටියා, ඇස් ඉදිරි පිටම ඇටයේ සිට ගසක් ඉන්පසු පල දරන ගසක් මවා පෙන්වීම: අපට පොත්වල පින්තුර වලින් පුරුදු එහෙත් කවදාවත් දැක නොමැති ගස් වැල - කවුරුත් කැමති , සියලු දෙන ආශා කරන එහෙත් සමක පටියේ පමණක් වැවෙන ; රට ඇතුලට ගිය විටම හරියටම මාරාන්තික සර්පයන් , දරුණු වල් සතුන්, වල අලි සහ වඳුරන්.


to be continued  



 
  

ගංජා වෙළඳාම

 කොණ්ඩයකපන්න ගිය විට සැලුන් හොඳ කතා කාරයෙක් නම් කොණ්ඩය කපන්ට වෙලාව යනවා දැනෙන්නේ නැත. මගේ රෙගියුලර්  මෑන් ඒ ජාතියේ කෙනෙකි.  ඔහුගේ ජීවිතයත් හ...