Saturday, April 22, 2023

ගොවියා ඩයරිය 3

 




මම දැන් සති දෙකකට පමණ පෙර මා දන්නා හඳුනන තරුණ ටැක්ටර් අයිතිකරුවෙකු සමග අහම්බෙන් මෙන් ඔහුගේ මුන්ඇට වගාවක් බලන්නට ගියෙමි. අපගේ ඉඩමේ ඉතිරිවී ඇති මිරිස් වගා කළ හැකි කුඩා ඉඩම් කැබලි තුනක් බිම් සකස් කර ගැනීමට ගණන් කතා කර ගැනීමට ඔහුට පැමිණෙන ලෙස දන්වා යැවූ පසු එම ඉඩම් කොටස් ඔහුට පෙන්වා ඒවායේ මිල ගණන් සාකච්චා කර අවසන් කර ආපසු එන්නට තනද්දී ඔහුට අපේ ඉඩමෙන් උතුරු පැත්තේ ඔහුගේ වගාවක් බලන්නට යාමට තිබෙන බව මට දන්වා සිටියේය. 


ඒ වගාව බලන්නට මටත් උනන්දුවක් ඇති වූ හෙයින් මම ඔහු සමග ඔහුගේ සිංගල් කැබ් රථයෙන්ම එම ඉඩම බලන්නට ගියෙමි. අපහසු මාර්ගයක ගමන් කර වාහනය නවතා තවත් ඇතුලට කිලෝමීටරයක් පමණ ඇවිද ගෙන යාමට අපට සිදුවිය. නමුත් ඔහුගේ මුන් ඇට වගාව දුටුවිට මහන්සිය කොහෙන් ගියාද සොයා ගැනීමට නොහැකි විය. එය ඒ තරමටම හොඳින් වැවී තිබුණි. 


ඒ ඉඩමේ ද තරමක වැවක් තිබුණු අතර තවත් මුංඇට බන්ඩක්කා වැනි වගාවන් කිහිපයක් ද තිබුණි. ඔහුට මේ වගාවට ඉඩම ලැබුණු ආකාරය ඔහු මට විස්තර කළේය. 

මේ ඉඩම අක්කර 50ක් පමණ වන අයිතිකරු ඔහුට යම් නෑ කමක් තිබෙන අතර ්‍රැක්ටර් හිමිකරු ඔහු හඳුන්වා දුන්නේ මාමා කෙනෙකු ලෙසටය. 


එම මාමා ගේ ඉඩමෙන් අක්කර දහයක් පමණ ඔහුට මුංඇට බැදීමට සකස් කර දෙන ලෙස මාමා මොහුගෙන් ඉල්ලා ඇත. එම සකස් කර දෙන ර්තව්‍යයට හිලව්වක් වශයෙන් එම ඉඩමෙන් අක්කර පහක පමණ මොහුට මුං ඇට වගා කරන්නට ඉඩදිය හැකි බව මාමා මොහුට දන්වා ඇත.


එම යෝජනාව පිළිගත් tractor හිමිකරු තමන්ටද අක්කර 5ක් පමන සකසාගෙන මුං ඇට වගා කර ඇත. එසේ වගා කළ ඉඩම මොහු බලන්නට පැමිණ ඇත්තේ කාලයකට පසුව බව මට කතාවෙන් වැටහිණ. බොහෝවිට බීජ ඉසීමෙන් පසුව වන්නට පුළුවන. එම ගස් වලින් සමහරක මල් පවා ඇති වී තිබුණු අතර ඒවාට දැන් බෙහෙත් ගහන්නට කාලය යයි ඔහු මට පවසා සිටියේය. 

මුංඇට වගාකිරීමේ වටිනාකම, ඒවායේ ඉක්මනින් අස්වැන්න ලබා ගැනීමට හැකි වීම ය. මාස තුනකින් පමණ අස්වැන්න ලැබෙන බව පෙනේ. 

මේ පැත්තෙ මුං ඇට වගා කිරීමේ අපූරු ක්‍රමයක් ද මම ලඟදි දුටුවෙමි. ඒ මම උදේ පාන්දරට හවෙළමුල්ල ප්‍රදේශයේ ඇවිදින්නට යන විට ය. දැනට සති දෙක තුනකට පෙර සිට එම කුඹුරු යායවල ගොයන් කපන ආකාරය මම දුටුවෙමි. දැන් සතියකට පමණ පෙර පාර අයිනෙ තියෙන කුඹුරු යායක තැනින් තැන මුංඇට පැළ වී තිබුණු මම දුටුවෙමි. මුලදි මම සිතුවේ යම් වැරදීමකින් මෙය සිදුවී ඇති බවය. මක්නිසාද එම කුඹුරු වල කිසිම සැකසීමක් නොකර ඉපනැල්ල තිබියදීම එම මුන්ඇට  පැල මතු වී තිබීමයි.

එහෙත් පසුව නිරීක්ෂණයේ දී මට පෙනුණේ එම ඇට යම් පිළිවෙලකට දමා ඇති ආකාරයයි.

මම මේ පිළිබඳව අපගේ වගාවට පැමිණ ගොවියෙකුගෙන් විමසුවෙමි. ඔහු මට එම අපූරු ගොවිතැන පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කළේය. 

මේ ප්‍රදේශයේ කුඹුරුවල ගොයම් කැපීමට ටික දිනකට පෙර මෙලෙස මුංඇට ඉසින බවත් ගොයම් කපද්දී වැඩ කරන මිනිසුන්ගේ පයට පෑගෙන මුන්ඇට පසට යට වී ගොයම් කපා දින කිහිපයකින් පැලවෙන බවත් ඔහු කීවේය. මෙලෙස මුං ඇට වගා කිරීමේ ප්‍රයෝජන කිහිපයකි.

 1.  ගොයම් කපන විට වල් ඉතාමත් අඩු පරිසරයක මුං ඇට වලට පටන් ගන්නට පුළුවන

 2. අලුතින් බිම් සකස් කිරීමට මුදල් වැය නොවේ

 3. වී අස්වැන්න ලබාගෙන මාස තුනක් විතර යන විට ඊට වඩා හොඳ ආදායමක් ලබාගත හැක

 4. අමුතුවෙන් ජලය යෙදීමට අවශ්‍යතාවයක් ද නැත.

හෙට ඊළඟ කොටස


2 comments:

  1. ඒක මාත් කරල බලන්න ඕන අදහස හොඳයි

    ReplyDelete
  2. සර්, අනිත් ටිකත් ලියමුද? මාත් හරිම කැමති වැඩක් මේක.. කවදා හරි කරන්න හිතාගෙන ඉන්න දෙයක්.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...