ඉත්තෑවන් විසින් කා දමන ලද පොල් ගසක්
අප කුඩා කාලයේ අපගේ ගෙවත්තේ මයියොක්කා බතල පාත්ති දමා වවා ගන්නා ලදී. ඉඩමේ ඊසානදිග කෙළවරේ අල කොල වැවිල්ලක් තිබුණි. හිතුන වෙලාවක ගොස් ඒ අලකොල පඳුරුවලින් අල කිහිපයක් ගලවා ගැනීමට හැකියාව තිබුණි. මාස කිහිපයකට සැරයක් ලොකු වැල්අල ගලවා ගත්තෙමු.
වර්තමානයේ මෙවැනි අල වර්ග සහිත බෝග වවා ගන්නට ක්‍රමයක් නැත. එයට හේතුව ගෙවත්තට පැමිණෙන වල් ඌරන් ඉත්තෑවන් සහ මුවන් නිසාය. කලකට පෙර සිරිසේන ජනාධිපතිවරයා විසින් වල් ඌරු මස් පිළිබඳ නීති ලිහිල් කිරීම නිසා යම් තරමකට වල් ඌරන්ගේ කරදරය දැන් අඩු වී තිබේ. එහෙත් ගෙවතු වල එසේත් නැත්නම් වතුවල ගොවිතැන් කිරීම ඉත්තෑවන් නිසා ඉතාමත් දුෂ්කර වී ඇත්තේ ය.
අප කුඩා කාලයේ මෙවැනි සතුන් දඩයම් කිරීම නිසා ගොවිතැනට ලොකු හානියක් සිද්ධ වූයේ නැත. නමුත් දැන් වල්ඌරන් හැරෙන්නට අනෙක් සතුන් කවුරුත් දඩයම් කරන්නේ නැත. එහෙත් ඒ සතුන් නිදැල්ලේ හැසිරෙන විට ගොවිතැන් කිරීම ඉතාමත් අපහසුය. විශේෂයෙන්ම ඉත්තෑවන් මරා ආහාරයට ගන්නා වෙනත් සතුන් මේ පරිසරයේ නොමැති හෙයින් ඔවුන්ගේ ගහනය බලාගෙන ඉද්දිම වැඩි වන බව පෙනේ.
තමන්ගේ ගොවිතැනට හානි කරන සතුන් ගොවිතැනට පැමිණීම වලක්වා ගැනීමට නොහැකිනම් ගොවියන් ගොවිතැන් කිරීමෙන් වැඩක් නැත. ගෙවතු වගා සඳහා කොතරම් මහන්සි වුවත් වැඩක් නැත.
ඉත්තෑවන් පැපොල් පැළ කුඩා කාලෙදිම කා දමති. ගෙවත්තක පැපොල් පැළයක් වත් හදා ගැනීමට නොහැකිය.
වෙන රටවල නම් මෙවැනි කරදර කරන සතුන් ගොවියන් හෝ රජයේ ආයතන විසින් විනාශ කර දමනු ලැබේ. අපේ ගොවියන්ට ඔවුන් හැදී වැඩුණු පරිසරය නිසා සතෙකු මරා ගන්නට, ඉතාමත් දුෂ්කරය. වගා නොකර සිටීම ඊට වඩා පහසු බව සිතති.
මට සිතෙන විදිහට, ලංකාවේ මයියොක්කා අලකොළ අල සහ බතල ගොවිතැන් කිරීම; විශාල පරිමාණයෙන් කරන්නන් හැර, සම්පූර්ණයෙන්ම වාගේ මේ හේතුව නිසා නැවතී ඇත.
මේ ප්‍රශ්නය කල්ගත වීමත් සමග තවත් උග්‍ර වනවා මිස අඩු වෙන බවක් පෙනෙන්නට නැත. කිසිම තර්ජනයක් නොමැති වීම නිසා ඉත්තෑවෝ ගහනය දවසින් දවස ඉහළ යාම වැළැක්වීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් ද පෙනෙන්නට නැත.
මේ සඳහා කරන්නට තිබෙන්නේ එකම පිළියමකි. ඒ මෙම සත්වයන් පාලනය කිරීම, හමුදාවන්ට බාර දීමයි. වලක් හාරා උගුලක් සෑදීමෙන් ඉත්තෑවන් පහසුවෙන් අල්ලා ගන්නට පුළුවන. එසේ අල්ලා ගත් නිත්තෑවන් මරන්නට බැරිකම ගොවියන්ට ඇති ප්‍රශ්නයයි.
රටේ තිබෙන නොයෙකුත් හමුදා කඳවුරු වලට ප්‍රදේශ බෙදා දී ප්‍රදේශයේ ගොවියන් සමග සම්බන්ධීකරණයෙන් ඔවුනට ඉත්තෑවන් අල්ලන උගුල් සාදන ක්‍රම පුහුණු කර ඉන්පසු උගුලට ඉත්තෑවා අහුවුණු පසු දුරකථනයෙන් හමුදා කඳවුරට දන්වා ඔවුනට සතා භාරදීමට ක්‍රමවේදයක් හදන්නට පුළුවන.
ඉත්තෑවාගේ මස beef භෝ පෝක් හා සමාන මස් වර්ගයක් වන අතර කලාතුරකින් හෝ ලැබුණු විට සාමාන්‍යයෙන් ගම්වල මා අසා ඇති පරිදි කිලෝවක් රුපියල් 1500 කට පමණ අලෙවි වෙයි.
මෙලෙස ලැබෙන ඉත්තෑවන් එසේ මස් කර විකිණිය හැකියි පුද්ගලයෙකුට භාරදීමෙන් රටට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ලැබෙන අතර පවුල් සිය ගණනකට ජීවිකාවක් ද ඇතිවනු ඇත.
මෙම ජනාව ක්‍රියාත්මක කළහොත් ලංකාවේ ආහාර නිෂ්පාදනය 25% කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වනු ඇත.
No comments:
Post a Comment