Wednesday, March 3, 2021

බී මහත්මියගේ උරහිසේ අමාරුව ට ප්‍රතිකාර ගැනීම

 බී මහත්මියට වම් උරහිසේ වේදනාවක් නිදා ගන්නට යන විට දැනෙන්නට පටන් ගත්තේය. ක්‍රමයෙන් වර්ධනය වූ මෙම වේදනාව ඇයගේ නින්දට ද බාධාවක් වී මහත් කරදරයක් විය.

දවස් කිහිපයක් ගෙදර තිබුණු උලුක්කු තෙලක් පාවිච්චි කළද එයින් ප්‍රයෝජනයක් නොවුණු හෙයින් මේ පිළිබඳව ප්‍රතිකාර ලබාගත යුත්තේ කුමන වෛද්‍යවරයාගෙන් දැයි දන්නා හඳුනන අයගෙන් සොයා බැලුවාය. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ නම් සාකච්ඡා වුවද, අවසානයේ නිවාසයට වඩාත් කිට්ටු විශේෂඥ වෛද්‍යවරුන් පැමිණෙන පුද්ගලික ආරෝග්‍ය ශාලාවට ඇය දුරකථන ඇමතුමක් දුන්නාය. මේ සම්බන්ධ වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ නම් ආරෝග්‍යශාලාවේ කාන්තාව යෝජනා කළද, උදේ වරුවේ පැමිණෙන වෛද්‍යවරයෙකු හොඳ යැයි සිතුණේ හවස්වරුවේ එම ආරෝග්‍යශාලාවේ වාහන නවතා ගැනීමට තිබෙන අපහසුව නිසාය.

උදේ දහය හමාරට වේලාව ලැබුන හෙයින් ඔවුන් දහයට පමණ ආරෝග්‍ය ශාලා වෙත ගියහ. එම වෛද්‍යවරයාට එදින සිටියේ රෝගීන් දෙදෙනකු පමණක් හෙයින් ඉක්මනින් වෛද්‍යවරයා වෙත යාමට ඇයට හැකි විය. වෛද්‍යවරයා බැලීමට එන රුපියල් 1350ක් ගෙවන්නට සිදු විය .

වෛද්‍යවරයා ඇගේ උරහිස හොඳින් පරීක්ෂාකර ඇයට බොන්නට බෙහෙත් වර්ග කිහිපයක් සහ උරහිසේ ගා පිරිමදින්නට ක්‍රීම් වර්ගයක්ද නියම කළේය. මේ ළඟදී ඇය විසින් එම රෝහලේම සීනි සහ කොලොස්ට්‍රෝල් වැනි පරික්ෂා සියල්ලම කරගෙන තිබුන නිසා ඔහු ඒවා පරික්ෂා කරන්නටද අමතක නොකළේය. ඒවායින් හොඳ ප්‍රතිඵලයක් නොලැබුණහොත් සති දෙකකින් නැවත ඔහු මුණ ගැසෙන ලෙසටද, ඔහු ඇයට දන්වා සිටියේය. ඇය බෙහෙත් මිලට ගෙන ගෙදරට ගොස් ගූගල් එකේ බෙහෙත් නම් වලට පරික්ෂා කළේය. ඒවා වේදනා නාශක සහ  වේදනා නාශක  නිසා සැදුන හැකි ගැස්ට්‍රයිටිස් බෙහෙත් වර්ග සහ anti inflammatory බෙහෙත් වර්ග බව ඇය දැන ගත්තේය.

සති දෙකකට පසු ගුණයක් නොතිබුන නිසා ඇය එම වෛද්‍යවරයා හමුවීමට නැවත රුපියල් 1350 ක් ගෙවා ගියේය. කලින් බෙහෙත් වලින් ගුණයක් ලැබී නොමැති හෙයින් ඔහු ඇයට කීවේ එක්කෝ භෞතික  චිකිත්සක ප්‍රතිකාර හෝ ඉන්ජෙක්සන් එකක් ඇයට ලබා ගත හැකි බවයි. බොහෝ කාන්තාවන් සේ ඇයද ඉන්ජෙක්ෂන් වලට එතරම් ප්‍රිය නොකරන හෙයින් ඇය භෞත චිකිත්සක වෙත යාමට කැමැත්ත පළ කළේය. රුපියල් 1500 ගණනය ගෙවා භෞත චිකිත්සක වෙත දෙවරක් ගියද එයින් කිසිම ගුණයක් ලැබුනේ නැත. 


එහෙත් ඒවායින් ගුණයක් නැති හෙයින් ඇය ඉන්ජෙක්ශන් එක ගසා ගැනීමට එඩිතර තීරණයක් ගත්තේය . ඒ සඳහා වෛද්‍යවරයා වෙත සතියේ වෙනදා සිටින වෙලාවටම ඇය ගියද, එම වෛද්‍යවරයා කොවිඩ් පැතිරීම නිසා දැන් ලෙඩුන් බලන්නේ නොමැති බව ඇයට දැනගන්නට ලැබිණ. එහෙත් ඒ සඳහා වෙනත් වෛද්‍යවරයෙකු සිටින නිසා ඔහු ඇයට ඔහු බැලීමට හැකි බවට රෝහලේ කාර්ය මණ්ඩලය දන්වන ලදී. 


මේ නිසා ඇය රුපියල් 1350 ක් ගෙවා ඒ විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට ගියාය. ඔහුට කලින් විශේෂඥ වෛද්‍යවරයා විසින් ලියා දෙන ලේඛන පෙන්වන ලද්දේ වුවද, ඔහු ඒවා එතරම් ගණන් නොගෙන නැවත වරක් ඇය මුලින් සිට පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියා සිටියේය. ඇය කලින් වෛද්‍යවරයා විසින් ඉන්ජෙක්ෂන් එක ලබාගැනීමට කියන ලදුව ඒ සඳහා පැමිණි බව කියා සිටියද, ඔහු එසේ ඉන්ජෙක්ශන් එක ලබා දීමට කැමති නොවීය.

ඔහු නැවත වරක් ඇයට බෙහෙත් වර්ග කිහිපයක් ලියා දී ඇයට ඉන්ජෙක්ශන් එක ලබාගැනීමට ඊළඟ සතියේ පැමිණෙන බවට දන්වන ලදී. ඇය එම බෙහෙත ගෙදර ගිය පසු ගූගල් එකෙන් පරීක්ෂා කළ විට ඒවා මීට කලින් දුන් බෙහෙත් වර්ග වලටම සමාන ඒවා බව දැක්කාය. ඊළඟ සතියේ ඇය නැවත වරක් රෝහලට ගොස් රුපියල් 2500ක් වෛද්‍යවරයාට  ගෙවා ඉන්ජෙක්ෂන් එක ලබාගත්තාය. ඉන්ජෙක්ෂන් එක ලබාදුන් පසු වෛද්‍යවරයා මීට පෙර ඇය මුණගැසුනු වෛද්‍යවරයා තමාගේ ගුරුවරයෙකු බවත් ඔහු ඉතා

 හොඳ විශේෂඥ වෛද්‍යවරු බවත් ඇයට  පැවසුවේය.


සති දෙකකින් පමණ පසුව ඉන්ජෙක්සන් එකෙනුත් වැඩක් වී නොමැති බව ඈයට වැටහිණ. ඇය මේ පිළිබඳව ඇයගේ ඥාතියෙකු වන විශ්‍රාමලත් metron වරියකට කීවාය. ඇය  බි  මහත්මියට කියා සිටියේ ඇත්තෙන්ම මේ සඳහා දක්ෂතම  විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් පරික්ෂා කරනුයේ හවස වෙනත් රෝහලක බවය. ඇයගෙ නම අසාගත් බී මහත්මිය ගූගල් වෙතින් එම රෝහලේ දුරකථන අංකය ලබාගෙන එයට දුරකථන ඇමතුමක් දුන්නාය. එම වෛද්‍යවරයා ඊළඟ සතියේ දිනයක හවස තුනට පැමිණෙන බවත්, ඇයට අවශ්‍ය නම් අංක 15 ලබාගත හැකි බවත් එහි කාර්ය මණ්ඩලය ඇයට පැවසුහ. ඇය එයට කැමති වී එම රෝහල වෙත ගියාය. තාක්ෂණික අතින් ඉතාම ඉහළ එම රෝහල වෙත හරියටම වෙලාවට වගේ ගිය ඇයට  වෛද්‍යවරයාද පහසුවෙන් මුණ ගැසීමට හැකි විය. 

ඇය මෙලෙස ඇතුළට ගිය පසු බී මහත්මයා වෛද්‍යවරයාගේ කාමරයේ එළියෙ ශාලාවේ ඉඳගෙන අඩු තරමින් විනාඩි දහයකට වත් එන්නේ නැති වෙයි සිතා දුරකථනයෙ ඩේටා ඔන් කරගෙන ෆේස්බුක් එක බලන්නට සිතුවේය. ඔහු data ඔන් කරනවාත් සමගම බී මහත්මිය ආපසු එනවා දැක පුදුමයට පත්විය. රුපියල් 1950 ගෙව්වත් වෛද්‍යවරයා ඇය සඳහා විනාඩියකටත් වඩා අඩු කාලයක් ගත කර ඇති බව දැක ඔහු පුදුමයට පත්විය. ඔහු ඒ පිළිබඳව ඇගෙන් අසා සිටි විට ඇය කීවේ වෛද්‍යවරයා ඇයගෙන් ඇයට සීනි තිබෙනවා දැයි ඇසූ බවත්, ඇය නැති බව කී විට පරීක්ෂණයක් කරන්නට නියම කර බෙහෙත් වර්ග කිහිපයක්ද දී පරීක්ෂණයේ ප්‍රතිඵල රැගෙන සති දෙකකින් නැවත එන ලෙස ඇයට දැන් වූ බවය. ඔවුන් රුපියල් 1500ක් දී මගින් බෙහෙත් ද අරගෙන නිවසට පැමිණ එම බෙහෙත් ගූගල් එකේ පරික්ෂා කර බැලූහ. ඒවත් පෙර වෛද්‍යවරුන්ම නියම කළ බෙහෙත් බව ඔවුන් දැනගත්හ. එසේම වෛද්‍යවරයාට නියම කරන ලද පරීක්ෂණය සීනි සඳහා පරීක්ෂණවල බවත් දැක ඔවුන් දෙදෙනාම මහත් පුදුමයට පත් වූහ. නැවත සති දෙකකින් නැවත රුපියල් 1950 ක් ගෙවා මේ සීනි පරීක්ෂණය ප්‍රතිඵල ඔහුට පෙන්විය යුතුය.

සමහරවිට ඇයට සීනි නොමැති බව දුටු විට කොලෙස්ටරෝල් පරීක්ෂණයක් කරන්නට ලබාදෙන්නට ද පුළුවන. එය රැගෙන ගොස් පෙන්නන්නට නැවතත් රුපියල් 1950 ගෙවිය යුතු වෙයි. 

දැන් ඇය මින් පසු කුමක් කරන්නේදැයි දස අතේ කල්පනා කරමින් සිටී යි.

5 comments:

  1. ප්‍රධානතම වරද නම් කෙලින්ම තම කැමැත්ත අනුව සහ එක එක සේවකයින්ගේ උපදෙස් අනුව තීරණය කර ස්පෙෂලිස්ට්ලා හමුවීමට යාමයි. ඊළඟට ඒ විස්තර නොමැතිව හෝ නොසලකන දෙවෙනි තුන්වෙනි ස්පෙෂලිස්ට්ලා මුණ ගැසීමයි.

    මේ අමාරුව, ජෙනරල් පැක්ටිෂනර් කෙනෙකු හරහා බෙහෙත් ගත යුතු රෝගයකි. රෝගියාගේ සම්පූර්ණ වාර්තා තබා ගත යුත්තේ ඔහුය. එසේ කරන වෛද්‍යවරු ලංකාවේ අප කුඩා කාලේ නම් සිටියහ. දැන් ඉන්නවාද නොදනිමි.

    මා අත්දැකීමෙන් දන්නා පරිදි සීටී ස්කැන් එකක් (හෝ එම් ආර් අයි) එකක් කර එහි වාර්තාව අනුව කෝටිසෝන් හෝමෝන් ඉන්ජෙක්ෂ්න එක ලබා ගත යුතුයි. එයින් වැඩි ප්‍රයෝජනයක් නැති වීමට ඉඩ තිබේ. ඉන් සති දෙකකට පමණ පසු භෞතචිකිත්සක (පිසියෝ) ව්‍යායාම ඇරඹිය යුතුයි.
    බී මහත්මියට පනහ පැනලා නම් වැඩේ ලේසි නැත.

    වෙනත් වෛද්‍ය ප්‍රශ්න නැති නම් පැනඩීන් වැනි සැර වේදනා නාශයක පෙති භාවිතා කළ හැක.

    ලංකාවේ සමහර ස්පෙ'ලිස්ට්ලා ගැන නම් කියා වැඩක් නැත. මුංට අනිවාර්යෙන්ම බටහිර රටක පුහුණුවක් ලබා දුන්නද, උං එයින් අඩුවශයෙන් ආචාර ධර්මවත් ඉගෙන ගන්නා පාටක් නැත!

    ඩිස්පැන්සරියක් කළ මගේ වෛද්‍ය මිතුරෙකුගේ ලිපියක් ද රැගෙන මා වරක් අනුලා විජේසුන්දර නම් ගැහැණිය හමුවෙන්නට මුදල් බැඳ රාගම තිප්පොලකට ගිය අතර, අවසාන අංකය වූ මා කාමරයට යන විට ඇය ඊළඟ තිප්පොලට යන්න බැගයද කරේ දාගෙන නැගිට සිටි අතර ලිපිය සහ ලේ වාර්තා බලා මගේ ප්‍රශ්ණය අසා බෙහෙත් දීම විනාඩියෙන් කළේ හිට ගෙනමය. ඇය පසු කලෙක සෝම කොමිසමේ මැම්බර් කෙනෙකු බව අසා මට පශ්චාත් භාගයෙන් සිනා ගියේය.

    ReplyDelete
  2. බී මහත්මියගෙ විතරක් නොවේ .මේ අපි හැමගේම කතාව .

    ReplyDelete
  3. රසික කියන referral system හෙවත් පවුලෙ වෛද්‍යවරයා (GP) මඟින් විශේෂඥ වෛද්‍යවරයා ලඟට යවන ක්‍රමය ලන්කාවෙ නැහැ නේද. මගේ cousin කෙනෙකුට ඇතිවුනු යම් රෝග තත්වයක් නිසා හැම ලෙඩකටම test කරලා කරලා පුදුම කාලයක් නාස්ති කලා. මගේ cousin අපිත් එක්ක කතා කරන දෙවල් සහ කතා කරන ස්වරූපයෙ ඇතිවුනු වෙනස්කම් නිසා එයාට මානසික රෝග තත්වයක් වීමට බොහෝදුරට ඉඩ ඇති බව අපි අනුමාන කලත් ලන්කාවෙ අය මානසික රෝග පිලිගන්නෙ නැති නිසා psychiatry treatment ගත්තෙ නැහැ. අන්තිමට හති වැටුනට පස්සෙ ගිහින් දැන් ප්‍රතිකාර ගනිමින් හොඳ වෙමින් ඉන්නවා. අනේ මන්දා ලන්කාව.

    ReplyDelete
    Replies
    1. ඉස්සර තිබුණා. මගේ ප්‍රතිචාරයේ දෙතැනක සඳහන්ව ඇත.

      Delete
  4. අංක එක - ඇදෙහි පොලු ඇති ආකාරය පරික්ෂා කර දුරින් දුරින් ඇත්නම් වැඩිපුර පොලු කීපයක් දැමීම හෝ ලෑල්ලක් දැමීම.
    අංක දෙක - ඇදෙහි මෙට්ටය ඝනකම නම් ගනකම අඩු මෙට්ටයකට මාරු කිරීම
    අංක තුන - අලුත් කුඩා හා තුනී කොට්ට වලට මාරු වීම
    අංක හතර - පරුදු ලෙස හැමදාම නිදාගත් ඉරියවුව වෙනස් කිරීම.
    අංක පහ - පුටු උඩ , වෙනත් තැන වල , බසයේදී නිතර නිතර නිදාගැනීමේ පුරුද්දක් ඇත්නම් එය නැවත්වීම හෝ වෙනස් කිරීම.
    ඊට පස්සේ මාසයක් විතර ගිහිල්ලත් අමාරු නම් තමයි ප්‍රස්නේ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...