Thursday, May 30, 2019

අමෙරිකාවත් සමග මිලිටරි ගිවිසුම


මේ දිනවල ඇමෙරිකානු රජය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නට යන හමුදා ගිවිසුමක් ගැන බොහෝ දෙනා කතා කරනු පෙනේ. එම සාකච්ඡාව කොතරම් තිර්ව වී ඇද්ද යත් අප රටේ ඇමෙරිකානු තානාපතිතුමිය, මල්වතු මහනායක හාමුදුරුවන් මුණගැසී ඒ පිළිබඳව පැහැදිලි කරන්නට තරම් එය දුරදිග ගියේය.

නමුත් අවාසනාවකට අප වැනි අවශේෂ ජනයාට මේ පිළිබඳව පැහැදිලි කරන්නට කෙනෙක් නැත්තේය.  පැහැදිලි කරගනු ලැබූ අයවලුන්ද එය අපට පැහැදිලි කරන බවක් පෙනෙන්නට නැත. මේ ගැන නිතරම රූපවාහිනිවල  කතා කරන අයද ඒ පිළිබඳව කිසිම දැනුමක් නොමැතිව තමන්ගේ දේශපාලන වෛර පිරිමසාගන්නට ගිවිසුම් යොදාගන්න සැටියක්  පෙනේ. අනෙක් පැත්තට රජය පැත්තෙන් යම් වගකිවයුතු ඇමතිවරයෙකු; විදේශ ඇමතිවරයා හෝ ආරක්ෂක ඇමතිවරයා, මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා පැහැදිලි කිරීමක් කරන බවක් පෙනෙන්නට නැත. එය ඇත්තෙන්ම ජනතාවට කලයුතු සේවයක් පැහැර හැරීමකි. රටේ පුරවැසියන් මෙලෙස අවුලෙන් අවුලට පත්කිරීමෙන් ඔවුන් යම් මානසික තෘප්තියක් ලබාගන්නවා දැයි සැකයක් ඇතිවන තරමට  ඔවුන් මෙලෙස පැහැදිලි නොකර සිටීම පුරුද්දක් කරගෙන සිටිති.

අවසානයේ මෙතන ඇත්තෙන්ම තියෙන දෙයට වඩා යම් දෙයක් තිබෙන්නේ දැයි සැකයක් පුරවැසියන් අතර ඇතිවෙයි. රජයට විරුද්ධ අය, විශේෂයෙන්ම පැරදී සිටින දේශපාලඥයන් සහ ඔවුනට උපකාර කරන මාධ්‍ය කරුවන් මෙය අවස්ථාවක් කරගෙන,  කුඩා ග්‍රහලෝකයක් ඇති තැන කළු කුහරයක් මවා පෙන්වති. දැන් රජය ප්‍රශ්නයේ යථා තත්වය පැහැදිලි කරන්නට උත්සාහ කරයි. එහෙත් දැන් පොරොවක් නොව යාන්ත්‍රික කියතක් වත් අවශ්‍ය වෙයි. සමහරවිට ඒ වනවිට අන්තරය කොළඹම නවතන පෙළපාලි දෙකක් වත් සංවිධානය කර අවසානය.
ප්‍රියම්බල් එක දැනටමත් දිග වැඩි නිසා මෙතනින් නවතන්නෙමි. 

දැන් මේ ඇමෙරිකාව සහ අත්සන් කරන්නට තටමන ගිවිසුම කුමක්දැයි පොඩ්ඩක් අධ්‍යයනය කරමු. මෙම ගනයේ ගිවිසුම් වලට ඇමෙරිකාව කියන්නේ status of force agreemant (SOFA) යනුවෙනි.   ඇමෙරිකාව බොහෝ මෙවැනි දේවල් වලට මෙවැනි acronym සාදන්නට රුසියන්ය. එරට තිබෙන සෑම දෙයකටම යම් acronym තිබේ. ඔවුන්ගේ රටේ නම වුවද acronym එකකි (USA).  ඒ ආගන්තුක රට තුල ඇමෙරිකානු හමුදාවන්ට ඇති තත්වය ( විශේෂයෙන් ආගන්තුක රටේ නිත්‍යානුකුලව) පැහැදිලි කරගැනීමටය. එවිට පසුකලෙක යම් සිදුවීමක් සිදුවුවහොත්; උදාහරණයක් වශයෙන් ඇමෙරිකානු භටයෙකු අතින් මාර්ග අනතුරකදී සාමාන්‍ය වැසියෙකු මියගියහොත්) ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැටලිල්ලක් නැත. එහිදී ගතයුතු ක්‍රියාමාර්ග SOFA එකේ පැහැදිලිව ලියා තිබේ.
මෙලෙස SOFA ගිවිසුමක් ගතවන්නේ ඇමෙරිකාවට එම රට තුල තමන්ගේ ආරක්ෂක හමුදා යම් අයුරකින් භෞතික ලෙස ස්ථානගත කිරීමක් කිරීමට අවශ්‍ය වේ යයි හැඟුන විටය. එම භෞතික ස්ථානගත කිරීම ඇමෙරිකානු යුධ නැවක් එම රටට සංචාරයක් සඳහා, එහි නැවියන් එම රටතුල සංචාරය කරන අවස්ථාවක සිට හදිසි යුද්ධයක් සඳහා ඇමෙරිකානු හමුදා බලඇණියක් ස්ථානගත කිරීම දක්වා පරාසයේ ඕනෑම තැනක සිදුවිය හැක.
ඇමෙරිකාව මෙවැනි SOFA ගිවිසුම් 100 කට වැඩි ප්‍රමාණයක් සමග දැනටමත් අත්සන් කර තිබේ. ඒවායින් 36 ක් පහත දැක්වෙන අතර ඉතිරිය අවශ්‍ය නම් ගුගල් කර බලාගත හැක.
1.     NATO රටවල් 26 සමග
2.     ජපානය
3.     දකුණු කොරියාව
4.     ඔස්ට්‍රේලියාව
5.     පිලිපීනය
6.     ගෞතමාලා
7.     හයිටි
8.     හොන්ඩුරාස්
9.     මාෂල් දුපත්
10.                        UK  .....................
මෙම ගිවිසුම් නොයෙක් හේතු නිසා ඇතිකරගත් ඒවා වෙති. එම හේතු අතර
1.බලඇණි ස්ථානගත කිරීම
2. කඳවුරු බැඳීම සඳහා දේපල බදු ගැනීම
3. යුධ අභ්‍යාස වැනි විශේෂ කාර්යයක් සඳහා
4. පුහුණු කිරීම් වැනි උදව් ලබාදීම සඳහා
5. මිලිටරි සහයෝගිතාවයන් සඳහා
6. මානුෂික මෙහෙයුම් යනාදිය සඳහා තාවකාලික සහාය දීම සඳහා
ප්‍රධාන වෙයි.
ඇමෙරිකාවට අප රට සමග SOFA ගිවිසුමක් අවශ්‍ය ඇයි? ඊළඟ කොටසෙන්

2 comments:

  1. මෙය වටිනවා. ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි. ඉතිරි කොටස්ද බලාපොරොත්තු වෙමි.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...