Thursday, December 29, 2016

මීමුරේ සංචාරක ව්‍යාපාරය; ඔබ තවමත් අහුවුනේ නැද්ද?






සෑම සාර්ථක දෙයකටම පියෙක් සිටී. ආසාර්ථක දේ අවජාතක වෙයි.

අපේ මීමුරේ ගමනත් ඒ කථාවට හොඳ උදාහරණයකි. මීමුරේ යාමට මුලින්ම අදහස ඉදිරිපත් කලේ කවුරුන් දැයි දැන් හොයා ගැනීමට ක්‍රමයක් නැත. කවරෙකුගේ හෝ අදහසක් ක්‍රියාත්මක කර පසුගිය සතියේ අපි; මිතුරු පවුල් දෙකක්, හොන්ඩා වෙසල් එකක් සහ නිසාන්  ජූක් එකක මීමුරේ ගියෙමු.

ගමන යාමට පෙර අන්තර් ජාලයෙන් සම්බන්ධ කරගත් සංචාරක ආයතනයකට රුපියල් 3500 ක් ගෙවා එහිදී ගැමි ආහාර වේලක රස විදීමටද, සංචාරක මග පෙන්වන්නෙකුද ලබා ගැනීමටද අපි කටයුතු කලෙමු. මම මිතුරන් කිහිප දෙනෙකුගෙන් මීමුරේ යන පාර පිළිබඳව අසා සිටි අතර, ඔවුන් සියලු දෙනාම පාහේ කියා සිටියේ පාරෙහි ප්‍රශ්නයක් නොමැති බවත්, පහසුවෙන්ම අපිට මෙම වාහන වලින් මීමුරේට යාමට පුලුවන් බවය.

මෙයින් එක් මිතුරෙකු මෙයට ටික කලකට පෙර එයට කිට්ටු ප්‍රදේශයක පොලීසියේ ස්ථානාධිපතිවරයෙකුව සිටි හෙයින් මෙම පාර පිළිබඳ උපදෙස් සැක කරන්නට අපිට කිසිදු හේතුවක් තිබුනේ නැත. මම ගූගල් මැප් එකෙනුත් චෙක් කර බැලුවෙමි. නිවසේ සිට මීමුරේටම දුර කිලෝ මීටර් 65 කි. ගතවන කාලය පැය 2 කුත් විනාඩි 21 කි.

අපි 23 වන දින උදේ කුණ්ඩසාලයේ නව නගරයේ හදබිමේ ආපන ශාලාවෙන් කෑම කා ගමන ආරම්භ කලෙමු. යම් කෙනෙකු මීට කලකට පෙර මීමුරේට හැරෙනුයේ හුන්නස්ගිරි නගරය පසුකර ටික දුරකින් යැයි මට පවසා තිබූ හෙයින් හුන්නස්ගිරි නගරය පසුකල ගමන්ම මහපාරින්  හැරෙන්නට පෙර ලුණු මිරිස් සමග රොටී කෑ යුතු නිසා පාර අයිනේ කුඩා කඩයක් ලඟ නැවැත්තුවෙමු. 
එම කඩයට ඇතුල්වන තැනම ලැමිනේට් කරන ලද පරණ පත්තර කෑල්ලක් නූලකින් එල්ලා තිබුණු අතර, එහි කියා තිබුනේ ඒ කඩයේ පෙර දිනක පාරිභෝගිකයෙකුගේ මුදල් පසුම්බියක් අමතකව ගොස් පසුව එය ආපසු දුන් විස්තරයයි. අපිත් බියක් සැකක් නැතිව රොටී කා බොරු හකුරු වර්ගයක් සමග තේ බිව්වෙමු. ඉන්පසු පිටවන විට නිකමට එම කාන්තාව ගෙන් මීමුරේ පිළිබඳ ඇසූ විට ඒ පැත්තට හැරෙන පාර, ලූල්වත්ත හන්දිය අප පසුකර ගෙන පැමිණ ඇති බවත්, ඒ පාර් නම් මෙවැනි වාහන වලට යාමට නොහැකි බවත් ඇය අපට පැවසුවාය.

ඇය මීමුරේට ගොස් ඇත්දැයි මා ඇයගෙන් විමසූ විට නොමැති බව ඈ කීවෙන් එසේනම් ඒ විස්තර ඇය කෙසේ දන්නේ දැයි සිනහ සෙමින් අපි වාහන ආපසු හරවාගෙන පැමිණ ලූල්වත්ත හන්දියෙන් දකුණට හැරී මීමුරේ නියම ගමන ආරම්භ කලෙමු.

අඳෝමය! අපි කොතරම් මෝඩදැයි අපට තේරුනේ ලූල්වත්ත පාරේ වම් පැත්තේ කෝවිල පසුකල විටය. පාර එතරම්ම වලවල් සහ ගැලවුනු ගල් වලින් පිරී තිබුණි. පටන් ගැන්මේදීම යතුරු පැදියක් හමු වී ඔහුගෙන් නිකමට වාගේ පාර ඇසූ විට ඔහුද කීවේ පාරේ භාගෙට භාගයක් පමණ තැන් තැන් වලින් කාපට් දමා තිබෙන බවත්, අනෙක් කොටස් තරමක් අපහසු තත්වයෙන් බවත්ය. නමුත් තත්වය ඊට වඩා හුගක් වෙනස් බව අපට තේරුනේ ඔහු පසුකර ටිකක් ගිය විටය. 

ඇත්තෙන්ම සාමාන්‍යයෙන් වාහනයක් එලවන්නට පුලුවන් කොටස් ටික එක දිගට එකතු කලහොත් කිලෝ මීටර්  4 ක් 5 ක් ඒ කියන්නේ මුලු දුරෙන් 10% ක් පමණ විය හැක. ඉතිරි කිලෝ මීටර් 30 ක් පමණ ප්‍රමාණය වාහන එලවනවා තබා වාහන රියදුරන්ට රාත්‍රියට පෙන්වා හීනෙන් බය කරන්නට හැකි තරමේ මඟකි. මම මෙතෙක් කල් මගේ ජීවිතයට වාහන එලවා තිබූ වඩාත්ම අබල දුබල තත්වයට පත්ව තිබූ මහා මාර්ගය වසර 2000 දී මා කරෙයිනගර්හි අණදෙන නිලධාරියාව සිටියදී කන්කසන්තුරේ වෙත මුහුද දිගේ යන පාරය. මීමුරේ පාරත් ඒ දවස්වල ඒ පාරට හොද තරඟයක් දෙන බව මට හොදටම විශ්වාසය.

එහි මුලින්ම හමුවුනු වල දැක අපි හැරී එන්නටද කල්පනා කලෙමු. එහෙත් කෙසේ හෝ අපි කිහිප දෙනෙක් බිමට බැස ඉතාමත් අපහසුවෙන් වාහන එතනින් පන්නා ගත් පසු නැවත ධනාත්මකව වූ අපි ගමන කරගෙන ගියෙමු. අතරමඟදී කිහිප දෙනෙකුගෙන් පාර පිළිබඳ ඇසූ විට අපට පිළිතුරු ලැබුනේ කිලෝමීටර් 10 සිට 20 දක්වා නොයෙකුත් ගණන්ය. එම බොහෝ පුද්ගලයන් පුරුද්දට මෙන් ලොකු පිහියක් රැගෙන පාරවල් දිගේ ශෝචනීය ලෙස අතහැර දමා තිබූ ඩියර් පාර්ක් නැමැති තේ වත්තක පාරේ, ඒ කියන්නේ අපි යන පාරේ ගමන් කරමින් සිටියහ. ඔවනට පඩි ගෙවන්නේද, ගෙවන්නේ නම් ඒවාට මුදල් කොහෙන්ද යන ප්‍රශ්න දකින ඕනෑම කෙනෙකුගේ සිතට නගිනවා නොවනුමානය. මේ මුලු කිලෝ මීටර් 35 ටම මීමුරේට යන තෙක්ම එක කඩයක්වත් දක්නට නොලැබීමෙන්ද ප්‍රදේශයේ මිනිසුන් හිටියාට මිලදී ගැනීමේ හැකියාව බොහෝ අඩු බව නොකිවමනාය.

අවසානයේ කුණ්ඩසාලයෙන් පිටවී පැය පහ හමාරකට පසුව අපි ගම්මානයකට ලඟා වූයෙමු. මේ මීමුරේ යැයි බොහෝ සතුටු වූ අප එතන තිබූ කුඩා කඩයකින් අපට මීමුරේදී යාමට නියමිත තැනෙහි අයිතිකරුගේ නම කියා ඇසුවෙමු. ඔහු ඒ මීමුරේ නොවන බවත් කයිකාවල නැමැති මීමුරේට කලින් ගමක් බවත් තවත් කිලෝමීටර් 5ක් තවත් යායුතු බවත් අප බලාපොරොත්තු සුන් කලේය. ඉන්පසු පාරේ එතරම් වෙනසක් නොවුනත්, සාමාන්‍ය සිංහල ගමක පෙනුම දක්නට ලැබිණ. කුඩා ගෙවල්, කුඹුරු, ඇළ මාර්ග, තිබුණු අතර, තැනින් තැන කඩයක් දෙකක්ද දක්නට ලැබිණ.

අවසානයේ අපි වාහන තුන හතරක් එහෙට මෙහෙට  හිර කරවාගෙන සිටි හන්දියකට පැමිණියෙමු. අප එතනට පැමිණිය විගසම ලොකු කැමරා, බැග්පැක්, යනාදියෙන් අංග සම්පූර්ණව සිටි කෙනෙක් පැමිණ අපට කථා කලේය.

“ඕගොල්ලෝ හොයන.... මමයි,“ ඔහු පාරවල් දෙකක් දෙසට අත දිගුකර “ඔබ ප්‍රථමයෙන් කෑම කනවාද? නැතිනම් සංචාරය අරඹනවාද?“ කියා ඇසුවේය.

අපි ඒ වන විටත් හවස 5 පමණ වී තිබුන නිසා ප්‍රථමයෙන් කෑම ගැනීමට සතුට පලකෙරෙමු. ඒ හන්දියේ වාහන නැවැත්වීම වැලැක්වීමට ලයිට් කනු කිහිපයක් දමා හිරකර දමා ඇති සෙයක් පෙනෙන්නට තිබුණි. ඔහු අපිට දකුණට පාරට හරවන්නට කියා ටික දුරක් ගියත් පසුපස අනෙක් පැත්තෙන් පැමිණි වෑන් එකකට ඉඩ දීමට මීටර් 100 ක් පමන රිවස් කරන්නට සිදුවිය. ඉන්පසු ඒ පාරේ ගමන් කරන විට අපිට ඉදිරියෙන් පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියක් පෙරලී ටිකක් වේලා ගතවී අප දහවල් කෑම පිළියෙල කර තිබූ නිවසට ගියෙමු. නිවස තරමක් කඳු ගැටයක තිබුනු අතර මිදුල ඉඩ තිබුනේ එක් වාහනයකට පමණක් බැවින් අනෙක් වාහනය නිවසේ තිබෙන පටු පාරේ නවත්වා ආහාර ගන්නට ගියෙමු.

දහවල් ආහාරයට මඤ්ඤොක්කා කොළ මැල්ලුම්, දෙල්, බටු,සෝයා මීට්, පපඩම් තිබුනු අතර, එම ගම්වල එලවළු පමණක් ආහාර පමණක් ගන්නා බව මාර්ග උපදේශක අපට පැහැදිලි කලේය.

නමුත් කරෝල කෑල්ලක් හෝ බැඳ තිබුනානම් දහවල් කෑම පිරියකින් ගන්නට තිබුනා නොවේදැයි සිතමින් අපි ආහාර ගත්තෙමු.

ආහාර ගත් පසු වේලාවද මඳ හෙයින් ඉක්මනින් සංචාරය ඇරඹුවෙමු. ගෙදර ලගින්ම තිබූ කුඩා පාරේ කිලෝ මීටර් එක හමාරක් පමණ පයින් ගිය අපට වෙලක් අයිනේ කමතක සාදා තිබූ කුඩා කෑම්පින් සයිට් එකක් හැරුණු විට සාමාන්‍ය ගම්මිරිස් වතු මැදින් ගමන් කලෙමු. ගම්මිරිස් ඉතා සරුවට පල දරන බව පෙනුනු අතර, ඒවා සාමාන්‍යයෙන් අක්කර 2/3 ගම්මිරිස් ඉඩම් විය. අතරමග තිබූ කුඩා ලියදි සහිත කුඹුරු ටික කලකින් වැඩකර නොමැති බවක් පෙනෙන්නට තිබුණි. අපි මෙලෙස ගමන් කර ඔයකට පැමිණි අතර, තරුණයන් පිරිසක් එහි මත්පැන් පානය කර සතුටින් දිය නාමින් සිටින බව අපි දැක්කෙමු. මේ යන අතරතුර ලකේ ගල නැමැති අලංකාර කන්දක් ඈතින් පෙනුනි. එම කන්ද මුදුනේ ඇති ඔලුවක් වැනි ගල්කුල අපේ හිටපු ජනාධිපතිවරයෙකු වන  ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුහුණට සමාන කම් තිබෙන්නේදැයි අපි සාකච්ඡා කලෙමු.




ඔයෙන් එගොඩට ගොස් ටික වේලාවක් කථා කරමින් සිට ආපසු අපි මෙගොඩට පැමිණියෙමු. ඉන්පසු අපේ කණ්ඩායමේ කෙනෙකු මීපුරට තව දුරදැයි මාර්ගෝපදේශකගෙන් ඇසුවේ තාමත් විශේෂ කිසිවක් දැක ගන්නට නොලැබුනු නිසාය.

එවිට ඔහු කියා සිටියේ මීමුරේද අප බලා අවසන් බවත් සූරිය අරණ චිත්‍රපටයේ පාවිච්ච් කල වැල් ආදිය සංචාරකයන් පැමිණ පැද කඩා දමා ඇති බවත් ජැක්සන් ඇන්තනී මස් විකුණු ගල් බැම්ම අප දැනටත් පසුකර පැමිණි බවත්ය. 

ඉන්පසු අපි අපේ වාහන නවතා තිබූ තැනට ආවෙමු. අතරමග නවතා තිබූ වාහනය පාරට දමා ගැනීමට ඉතාමත් වෙහෙසක් දරා ගැනීමට සිදුවූයේ පාරවල් දෙකම ඉතා පටු වූ නිසාය මෙයට ගල් ආදිය දමා පාර සකස් කර ගනිද්දී එහි ගැමියන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදීමට අපට හැකි විය. එම සාකච්ඡාවේදී හා ගමන අතරතුර ගම්‍ය වූ කරුණු කිහිපයක් පහත පරිදිය.
  • මෙම ගම දැන් දේශීය සංචාරක පරාදීසයක් බවට පත්ව ඇත. බොහෝ නිවෙස්වල රාත්‍රියකට රුපියල් 1000 ගණනේ නවාතැන් පහසුකම් ලබාගත හැක. 
  • බොහොමයක් නිවෙස්වල නවාතැන් සහ ආහාර සැපයීම ව්‍යාපාරයක් ලෙස සිදුවෙයි.සංචාරක ව්‍යාපාරයෙන් හා ගම්මිරිස් වලින් ආදායම් ලැබෙව නිසා කුඹුරු ගොවිතැන් අතහැර දමා ඇත.තවත් සංචාරකයන් සමග කථා කිරීමේදී දැනුනේ සියලු දෙනාම හරි අවබෝධයන් නොමැතිව මීමුරේට පැමිණෙන බවයි.මීමුරේ ඇත්තෙන්ම තනිවූ ගමක් තත්වයට පත්ව ඇත්තේ විශාල තේ වත්තක් ඒ ගම සහ හුන්නස්ගිරිය අතර ඇතිවීම නිසාය
  • එහි තිබෙන ගෙවල් පැරණි ගමක නිවාස නොව සාමාන්‍ය සිංහල ගමක දැන් කාලේ තිබෙන නිවාසයන්ය.ලකේ ගල හැරෙන්නට විශේෂයෙන් බලන්නට හෝ කරන්නට කිසිවක් එහි නැත. නමුත් ඔවැනි සිත් ගන්නා කඳු හුන්නස්ගිරිය පැත්තේ මහා පාරේ සිට බලන්නට ඕනෑතරම් තිබේ.
  • මහනුවර නැගෙනහිර සිට පැය එකොලහක් යාමට හා ඒමට ගත කර බොහෝ ත්‍රාස ජනක රිය එලවීම් වලින් පසු ඔයක් සහ කන්දක් බලා පැමිණීම එතරම් සිත් ගන්නා සුලු ට්‍රිප් එකක් නම් නොවේ.    
  • අපට හමුවුනු එක් මීමුරේ වැසියෙකු ඉගෙන ගෙන ඇත්තේ මහනුවර නගරයේ පාසැලකය. ඔවුන් අප හිතන තරමේ ග්‍රාමීය ගමක් නොවේ.
  • ගමේ සිට වෑන් එකක් දිනපතා උදේ පහට හුන්නස්ගිරියට යයි. කිලෝ මීටර් 35 ට රුපියල් 500 ක් අය කරයි. පාරේ තත්වය හිතා ගැනීමට මෙය ප්‍රමාණවත්ය.
  • ලූල්වත්ත හන්දියෙන් හැරුණු පසු ටික දුරක් ගිය විට ජංගම දුරකථන වැඩ කරන්නේ නැත. 

  • මෙතරම් වෙහෙසක් විඳ අන්තිමට ගමට ගියපසු එහි බලන්නට තිබුනේ ලකේ ගල නැමැති කන්ද හා ඔය පමණයි. එවැනි ඔයක් බලන්නට අවශ්‍ය නම් එයට වඩා බොහෝ සිත් ගන්නා හුලු ගඟ ඔය දිගන මහා මාර්ගයේ සිටම නැරඹිය හැක.
  •  මෙයට අමතරව අපේ ගම්වල පැරණි මිනිසුන් තේ බිවූ ලොකු බෙලෙක් කෝප්පයකින් බොන කෙනෙකුත් ගම්මිරිස් වතු වලට ඇතුල් වෙන්නට දමා තිබුණු පරණ පෙනුමෙන් යුත් කඩුලුද වත්තකට ගල් වලින් බැඳ තිබූ බැම්මද  අප එහිදී දුටු පරණ දේ යැයි කිවහැකිය.  

අප ඉතාමත් අපහසු ත්‍රාස ජනක රාත්‍රී වාහන පැදවීමකින් පසු බලාපොරොත්තු සුන් වී රාත්‍රී එකට පමණ ආපසු නිවසට පැමිණියෙමු. 


 සංචාරය පිළිබඳ හොඳම දෙය සිදුවුනේ පහුවෙනිදා උදෑසනය. 

සංචාරය යාමට පෙර මේ පාරවල් පිළිබඳව මා ඇසූ මගේ මිතුරෙකු මට දුරකථනයෙන් කථා කලේය. 

“මීමුරේට යන පාර පිළිබඳව මට අරංචියක් ලැබුණා. ඒ අපේ ගෙවල් ලඟ නිවසක් සෑදීමට පැමිණ සිටින මීමුරේ බාසුන්නැහැ කෙනෙක් ගෙන්. ඔහු මට කීවා පාර සම්පූර්ණයෙන්ම කාපට් කර ඇති බව.“ 

මම ඔහුට ස්තූති කලෙමි. මෙය කුමන්ත්‍රණයක්ද එසේත් නැත්නම් කියන්නන් වාලේ කීමක් දැයි මට තෝරා ගත නොහැක.

ට්‍රිප් වර්ග දෙකක් ඇති බව මා අසා තිබේ. 

  1. මුල සිට අග දක්වාම සතුටු විය හැකි 
  2. ට්‍රිප් එක අවසන් වූ පසු එය අවසාන වූවා යැයි සතුටු විය හැකි 


අපේ මීමුරේ ට්‍රිප් එක දෙවැනි වර්ගයේ ඔටුනු පැලැදිය හැකි එකක් බව නම් හොඳටම විශ්වාසය.  



17 comments:

  1. දුවන්නන් වාලේ දිවීමට අපේ මිනිසුන් තරම් සමතුන් ලොවෙත් නැත. අනිත් එකාගේ කනත් ඉරෙන්නට හරිනවා මිස එකෙක් වත් කටු අත්ත කඩා දමන්නේ නැත. තමන් ඇත්තටම කිසිත් නොදැන අනුන්ට තොරතුරු සැපයීමට අපේ මිනිසුන් කෙතරම් රුසියන්දැයි මෙය කියවූවිට මෙය කියවූ මට සිතුනි. ඔබට ස්තුතියි සර්...මීමුරේ නොදැකම නිවන්සැප ලැබීමට මට දැන් හැකිය !

    ReplyDelete
  2. ඉලංගකෝන් මහත්මයා@..මා සහ මගේ මිතුරන් පිරිසක් එක්ව මීමුරේ ගියේ 1994 වසරදීය.එවක අප විසි වයස් වියේ සිටි වුන් විය..හුන්නස්ගිරිය නගරයේ සිට ලුල්වත්තට තනිදොරේ බසයක් ගමන්කළ අතර...එතැන්සිට පහල පෙනෙන ප්‍රපාතය කරා අප නම් ගියේ පා ගමනිනි...ඒ පාරේ එකලත් ට්‍රැක්ටර් රියකට හෝ ජීප් රථයකට යාමේ හැකියාව තිබුණි...එකල මේ ගම සංචාරක ආකර්ෂණයට ලක්වී නොතිබුණු අතර අප නවාතැන් ගත්තේ පාසල් ගොඩනැඟිල්ලේය...එකලද ගමට එක සිල්ලර බදු කඩයක් සහ බේකරියක් තිබුණි...දර බේකරියේ පිලිස්සුණු රසවත් පාන් තිබුණි.අප බත් පිසගත් බවද මතකය..එකලද මීමුරේ එතරම් පිටිසර ගතියක් මා දුටුවේ නැත ගමේ සමහර ගෙවල් වල තිබු සුර්ය පැනල වලින් ක්‍රියාකරන කළුසුදු රුපවාහීනී යන්ත්‍ර දෙක තුනක් ගමේ තිබුණි...එපමණක් නොව ගමේ තිබු ඩෙලිකා වර්ගයේ වෑන් රියක් සතියකට වරක් අර තරම් දුෂ්කර පාරේ ගමන් කර සිල්ලර කඩයට අවශ්‍ය බඩු ගෙන එන ලදී...අප මේ ගමේ රාත්‍රී 2 ක් ගතකර ආපසු හුන්නස්ගිරි නගරයට පැමිණියේ වී පැටවූ ට්‍රැක්ටර් රථයක නැගීය...මාර්ගයේ දුෂ්කර තැන්වලදී රියදුරාට බෙහෙවින් උපකාර කළෙමු....

    ReplyDelete
  3. Very interesting to read that first hand information about the trip and very useful for the future travellers. Thanks Lakshman for recording all those details for the future generations.

    ReplyDelete
  4. කවදාවත් මීමුරේ ගිහින් නැතිවුනත් ඔබේ සටහන කියෙව්වට පස්සේ ගූගල් මැප් ස්ට්‍රීට් වීව් එකෙන් පාරේ තැනින් තැන බැලුවා. ලූල්වත්තත් පහුකරගෙන යනකම් ස්ට්‍රීට් වීව් එක තියනවා.මම බලපු තැන්වල නම් ලොකුම අවුලක් පෙනුනේ නෑ. ඔබ වැරදියි කියනවා නෙමෙයි මම පියවි ඇසින් දැකලා නෑනේ.

    ReplyDelete
  5. its in very bad condition, believe me, the regular van charges 500 Rs per passenger for 35 kms

    ReplyDelete
  6. හය්යෝ ලොකු සර්, ලංකාවේ අපි හදපු පාරවල්වල ආයුකාලය මාස 3යිනේ,ඊටත් මීමුරේදී පාවිචියට ගෙනයන ඒවායේ මූඩි ඇරෙන්නේ නුවරට එන්නත් ඉස්සරින්කොට පාරේ වලවල් තියෙන්නම විදිහක් නෑනේ.

    ReplyDelete
  7. U hav followed a bad companion .. i will direct a person well known and he will surely say you got a wrong point...

    ReplyDelete
    Replies
    1. පාර අබලන් බව ඇත්තය. සුඛෝප භෝගි වාහනවල සැපගන්න යන ගමනක් නොවේ මිමුර සංචාරය යනු. මේ මහත්මාට වැරිදි ඇත්තේද එතැනයි. එහි බලන්නට තැන් බොහොමයක් ඇතත් කරන්නට තාසජනක ක්‍රියා රැසක්ම ඇතත් හොද රසවත් ආහාර පාන සකසන තැන් ඇතත් මේ මහත්මයා ගොස් ඇත්තේ වැරදි උපදෙස් මතයි. මූමුරේසුන්දරත්වය ඇත්තෙ ගම මදැ නොව ගමෙන් පිට වනාන්තරයතුළයි. ඔය බොක්ක දලුක්ගොල්ල දේවාල කඩුල්ල වැනි තැන් ගියානම් මේ බැව් මනාව තහවුරු වේ. මගේ සමකයවටේ අඩවියේ සංචාරක ටැබ් එක කියවන්න. http://samakayawate.blogspot.com/search/label/%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A?max-results=10

      Delete
    2. the vehicles we traveled are not luxury vehicles, and we met two groups who are on the way back from meemure whist we were on the way , we asked them about the distance and learnt they were also disappointed of the destination.
      we had several hours to discuss with villagers while our vehicle is being taken out and not even they gave us this information about additional attractions that are mentioned here.
      I also grew up and still live in a village and probably that reason I couldn't see anything special about Meemure compared to a rural village in Srilanka.
      Many people go to Meemure to see a old srilankan village preserving age old traditions, my observation is, it is far from truth, its just a village where peolple basically grow pepper

      Delete
    3. තමන් විඳින්න යන දේ පිළිබඳ හොඳ අවබෝධයකින් තැන තෝරගත්තානම් ගැටලු අවමයි මහත්මයා. මීමුරේ යනු වෙනම වෙනස්ම වින්දනයක් ගන්න තැනක්. ඔබ චාරිකාව සඳහා තෝරාගන ඇත්තේම වැරදි ලොකේෂන් එකක්.

      Delete
    4. exactly thats my purpose of writing this blog, i made a mistake and if I stay silent many more people will make the same mistake, so I wrote what i saw in order to inform others so that following catogaries of holiday makers like us will think twice before making the decision
      1.families travelling in SUVs
      2. people looking to see and experience a traditional village
      3. people who do not want to drive 35 kms on a bad road
      If I have the opprtunity to read a travel experience like this blog I wold naver have taken my family to Meemure.

      Delete
  8. මී මුරේ කොහොමත් වනාන්තර සහිත පරිසරයක් හා දිය පහරවල් හැරෙන්නෙ.බලන්න විශේෂ තැන් ඇති තැනක් නොවෙයි නේද. කාර්ය්‍යබහුල පරිසරයකින් මිදීමේ හැකියාවක් ඒ තුළ නොමැතිද?

    ReplyDelete
  9. මී මුරේ කොහොමත් වනාන්තර සහිත පරිසරයක් හා දිය පහරවල් හැරෙන්නෙ.බලන්න විශේෂ තැන් ඇති තැනක් නොවෙයි නේද. කාර්ය්‍යබහුල පරිසරයකින් මිදීමේ හැකියාවක් ඒ තුළ නොමැතිද?

    ReplyDelete
  10. ආයේ බොරු මොකටද. අපේ උන් නම් ට්‍රිප් යන්නේ බොන්නයි. නාන්නයි. මේ දෙක නැති ට්‍රිප්වලට කට්ටිය නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ හරි මහත්තයෝ. මී මුරේ විදිය හැකි උපරිමත්වය තමා ජංගම දුරකතන වැඩ නැතිව ඒවා ට නිවාඩු දීලා නිවි සැනසිල්ලේ වනගහනය තුල නිස්කලංකව දිය පාරක කකුල් හොවාගන රිසි සේ නිදහසේ භාහිර ලෝකය සමග සබද තැතුව ගෙවන සැහැල්ලු පැය ගණන. බොන්න කන්න විනෝද වෙන්න තැනක් නෙමේ ඒක. ඒවාට වෙනම තැං තියනවා.

      Delete
    2. I wrote this to guide families who would plan this trip in future , before the trip impression we had was its a traditional village and people can see things that we dont usually see nowadays because of urbanization and development . As I explained I didnt see a traditional sri lankan village at Meemure as we expected.
      for us a trip especially a family trip is time for relaxation and to see things that we usually dont see
      I wrote what I saw and observed

      Delete
  11. මී මුරේ ගමන අපි ගියේ මග කාර් එක තියල ත්‍රී වීල් එකක. 2500 ගත්ත , ඒ උනාට හිතට සැපයි වාහනේ ගැන වැඩ නොවී ගිය නිසා. අපිටත් කලේ ඇතුලේ ගොඩක් ඇවිදින්න කරන්න උනේ නෑ පොඩි ය එක්ක. එක නිසා ඔබ කිව්වා වගේ පවුලේ චාරිකාවකට එතරම්ම ගැලපෙන තැනක් නෙවෙයි වගේ තමයි මටත් හිතුනේ. යනවනම් මෙන්න තව හොද තැනක් ඊට වඩා රස විදින්න පුළුවන්. පාර සාමාන්‍ය මට්ටමෙන් හොදයි. http://www.awidimu.com/nagrak/

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...