Tuesday, November 29, 2016

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පෙලපාලි යාම සදහා තවත් ඉල්ලීම් කිහිපයක්! viva la France










මේ මා කලකට පෙර ලියූ බ්ලොග් එකකි. ඒ සිදුවීමම නැවත නැවතත් සිදුවන හෙයින් නැවත ප්‍රසිද්ධ කිරීමට සිතුණි. 
ඊයේ සුපුරුදු පරිදි පොලීසියත් සමග ජල ක්‍රීඩා කිරීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කැළණියේ සිට පැමිණියහ. ඔවුන් ඊයේ පැමිණියේ ටික කාලයකට පසුවය. එසේ පැමිණ 1789 ප්‍රංශ විප්ලවයේ සිසු අරගලය වීදි නාට්‍යයක් මෙන් රඟපා සතුටින් විසිර ගියහ. ප්‍රංශයේ දේවල් පරණ වුනාට කමක් නැත. ඒවා කල් යන්ට යන්ට වටිනාකමෙන් වැඩිය.

ඊයේ පැමිණි පෙලපාලියට හේතු භූත වූ කාරණා දෙකකි.


  • සයිටම් එක වසා දැමීම.
  • අයවැයට විරුද්ධ වීම. 

.

සයිටම් එක වසා දැමීම මේ පෙලපාලි වලට සදාතනික ඉල්ලීමක් වෙයි. පිටරට විශ්ව විද්‍යාල වල; බංගලාදේශයේ පවා, පුද්ගලික විශ්ව විද්‍යාල වල මෙහෙ ශිෂයයන් ගොස් විදේශ විනිමය කෝටියක් පමණ ගෙවා ඉගෙන ගෙන ආවාට ඔවුනට ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ ලංකාවේ පටන් ගැනීමය. කුමන හේතුවක් නිසාදැයි කිසිසේත්ම තේරුම් ගත නොහැක්කේය. අඩු තරමින් සයිටම් එක not for profit ආයතනයක් කරන ලෙසටවත් ඉල්ලුවේ නම් මෙි සිසුන් මේ කරන්නේ ධනපතියන්ට එරෙහි කොමියුනිස්ට්වාදී romanticism නිසා යැයි කියා අනුමාන කරන්නට පුලුවන.

අනික් පැත්තෙන් අයවැය ගැන විරුද්ධ වීම ගැන මගේත් විරුද්ධත්වයක් නැත. එහි බොහෝ පිරිස් අකමැති කරුණු තිබේ. නමුත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අයවැය ගෝනියක දමා කට වසා මුළු ගෝනියටම විරුද්ධ වීමට වඩා තමන් විරුද්ධ අයවැයේ කුමන කොටස් වලට දැයි පැහැදිලිව දැක්වූයේ නම් අපටත් ඔවුන් සමග හදවතින් හෝ ජල ක්‍රීඩාවට එක්වීමට ඉඩ තිබුණි. ඒ කාලයේ අර ‘හදවතින් අප යුධ බිමේ‘ කියු පිරිස මෙනි. ඔවූහු යුද්ධයට ගියේ නැතත් හදවතින් බිමට ගොස් එය එන්ජෝයි කලහ.

ඇත්තෙන්ම මෙවැනි පෙලපාලියක් රටේ ජනතාවට මෙතරම් අපහසුවක් සිදුකර, එමෙන්ම අන්තර් ජාතික ආයෝජකයන් භීතියට පත්කර ආර්ථිකව අප රටට මෙතරම් විනාශයක් කරන්නට විශේෂ කාරණා තිබිය යුතුය. එසේ පැහැදිලි කාරණා නොමැතිව අගනුවර මැදට පැන ඩෙඟා නැටීම රටට කලහැකි ලොකුම දේශද්‍රෝහී ක්‍රියාවකි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මෙවැනි පෙලපාලියක් පැවැත්වීමට අවශ්‍යමැයි හැඟෙන්නේ නම්; අඩු තරමින් රොමැන්ටික් හැඟීම් තවදුරටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර තිබෙනවා යැයි පෙන්වීමටවත්, මට ඉල්ලීම් කිහිපයක් යෝජනා කිරීමට පුලුවන. ඒවා පහත පරිදි වේ.


  • අ.පො.ස. උසස් පෙල සමත් වී විශ්ව විද්‍යාලයට නොතේරෙන සිසුන් සියලු දෙනාටම භාහිර උපාධි ලබා ගැනීමට ක්‍රමයක් ඇතිකර ඔවුනටද මහපොල ශිෂත්වාධාර ගෙවනු. 
  • ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ඇතුලුන සියලුම ශිෂ්‍යයන්ට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබාගෙන පිටවී යාමට ක්‍රමවේදයක් ඇතිකරනු. 
  • දුෂ්කර පාසැල්වල පන්ති කාරවත් හරියට නොමැති නිසා ජනප්‍රිය පාසැල් වලින් සියලුම පහසුකම් ලබා ගන්නා සිසුන් ගෙන් ගැලපෙන මුදලක් අය කර විනිවිද පෙනෙනා ආකාරයෙන් ඒවා දුෂ්කර පාසැල්වල දියුණුවට යොදවනු. 
  • අන්තර් ජාතික පාසැල් වලත් ඉගෙන ගන්නා ලංකාවේ පුරවැසියන්ගේ ළමයින්ට වවුචර් ක්‍රමයක් මගින් සහනයක් ඇතිකරනු. 
  • දුප්පත් ජනතාවගේ මුදලින් නොමිලේ ඉගෙන ගන්නා අපට රැකියා ලැබුනු පසු ඒ මුදල් අයකර ගන්නා ක්‍රමයක් ඇතිකරනු. 
  • රට තුල අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව; පර්යේෂණ ග්‍රන්ථ යනාදිය විශ්ව විද්‍යාල ප්‍රමිති ක්‍රමවේදයක් ඇතිකර (පුද්ගලික විශ්ව විද්‍යාලද ඇතුලුව) එම ලේඛනයෙහි ලබන දියුණුව මත විශ්ව විද්‍යාල ආචාර්ය මංඩල වලට දිරි දීමනා ගෙවනු.  


පෙලපාලියේ බෝඩ් ඔසවා ගෙන යා හැක්කේ සීමිත සංඛ්‍යාවක් නිසා මා මෙතනින් නවතිමි. තව මෙවැනි සාධාරණ දිනා ගතයුතු ඉල්ලීම් ඕනෑ නම් දුසිම් ගණනක් ලියා දෙන්නට පුලුවන.

සිසු අරගලයට ජයවේවා.
     




13 comments:

  1. A/L පාස් වෙලා Campus යන්නෙ ඉස්සරහ පේලි වල ඉන්න බොරු තරගෙ දුවන උන්නෙ උනට කොහෙද ඕව හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා තමයි අපි වගේ පස්සෙ පේලියෙන් යන්නේ

      Delete
  2. සෙමිස්ටර් එග්සෑම් ලංවෙන කොට බඩ පපුව හෝස් ගාලා පත්තු වෙනවනේ, ඒ ගින්දර නිවා ගන්නයි ජල ක්‍රීඩා සංවිධානය කරන්නේ. අළුත් ඉල්ලීම් බෝඩ් අඳින්න පටන් ගන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න ඕන,

    ReplyDelete
    Replies
    1. ඒක හෝල් එකේ කර ගත්ත නම් පොදු ජනතාවට කරදරයක් නැහැනේ.

      Delete
  3. ඔය කෑගහල වතුර කාලා..අන්තිමේ එලියට එනකොට හොස්ටල් එකෙ බල්බ් එකයි..ප්ලග් පොයින්ට් ඒකයි..ගලවගන්ඩ පුලුවන් හැම ඇණ මුරිච්චියයි ගලවගන්න සහෝදරවරුන්ට ඔව්ව ගේමක් නෑ..

    ReplyDelete
  4. නිදහස් අධ්‍යාපනය මේ තියෙන තරමින් වත් ඉතුරු කරගත්තේ නැත්තං ඔබ ඔය කියන ඒවා කොහොමත් හීන විතරයි. උන් අද පාරට බැහැලා කෑ ගහන එකෙන් තමා අනාගතයේ දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවෙක්ට නිදහස් අධ්‍යාපනයෙන් සහනයක් ලැබෙන්නේ. ඔබෙයි මගෙයි දරුවෝ නං කොහොම හරි අතේ තියෙන සොච්චමක් හරි ගෙවලා පුළුවන් විදිහකට ඉගෙන ගනියි. ඒත් අපිට එහෙම ගෙවලා ඉගෙන ගන්න වුණානං අද අපි කොහෙද??????????? උන් පාරට බැහැලා කියන දේ රටේ උන්ට තේරෙන්නෑ තමයි....... ඒක තේරුම් ගන්නවාට වඩා උන්ට ඉක්මනට ගමනක් යන එක ලොකු ඇති...... ඒත් මේ බෙරිහන් දෙන්නේ දැන් කැම්පස් ඉන්න උන්ගේ දරුවන් වෙනුවෙන් නෙමෙයි රටේ ඉන්න සතපහක් දරුවාගේ අධ්‍යාපනයට වියදම් කරගන්න බැරි උන් වෙනුවෙන් කියලා අපි තේරුම්ගත යුතුයි.

    හැම දේම විකුණගෙන කන්න යන මේ ආණ්ඩුව මාර ජනතාවාදීව අධ්‍යාපනය විකුණනවා කියලා ද ඔබ හිතන්නේ.......... සල්ලි වලින් මැනෙන තත්වයට අධ්‍යාපනය වැටුණ දාට රටේ අනාගතයත් ඉවරයි..... ඇත්ත ඕකයි.......


    මේකට කට්ටිය උඩ පනියි.... ඒත් නිදහස් අධ්‍යාපනය නැත්තං අපි අද කොතෙනද???? මේ තැන්වල ඉන්නේ මොකාද?????? ඌ එතෙන්ට එන්නේ සල්ලි නිසා නෙවෙයිද????? මේවා ටිකක් හිතලා බලන්න....... සමහර විට ඔබලා තෙලෙන් කාලා කිරෙන් අත හෝදපු අයද දන්නෑ....... එහෙනං ඉතින් මේවා කියලා වැඩක් නැහැනේ......

    ReplyDelete
    Replies
    1. මම ධර්මරාජ එකට ඉස්කෝලේ යන කාලේ කුඹුරු හාලත් තියෙනවා; ඇද්දුමේ ඇරෙන්ට අනික් දෙකම. නිදහස් අධ්‍යාපනයේ විශ්ව විද්‍යාලයටත් ගිහිල්ලා තියෙනවා.
      නමුත් ඒවා මේකට අදාල නැහැ, මම යෝජනා කරලා තියෙන එක ඉල්ලීමකට හරි ඔබ විරුද්ධද?
      ජනතාවගේ මුදල් කාබාසීනියා කරන අකර්යක්ෂම ව්‍යාපාර වලට මුදල් යොදවන්නේ නැතිව ඒවා පුද්ගලික අංශයට දෙනවා නම් ඇත්තෙන්ම අපි සියලු දෙනාම කැමති විය යුතුයි නේද?

      Delete
  5. * හැමදාම මොකක්හරි හේතුවක් කියා උද්ඝෝෂණ පෙළපාලි කලත් අන්තිම විභාගයෙන් පන්ති සාමාර්ථයක් සහිතව සමත් කරනු.

    * රැග් එකේදී ඕනෑම දරුණු වද හිංසාවක් දීමේ අයිතිය තහවුරු කරනු.

    * උපකුලපතිගේ සිට සියලුම කාර්‍ය මණ්ඩලයට තමන්ට අවශ්‍ය ආකාරයට අපහාස කිරීමට කාර්යාල තුල සිරකිරීමට අයිතිය ලබාදෙනු.

    * ඕනෑම කුනුහරපයකින් උප කුලපතිගේ සිට පහලට සිටින සියලු කාර්‍ය මණ්ඩලය ඇමතීමට ඉඩදෙනු.

    * විශ්ව විද්‍යාල සිසුන් නොවන අය නේවාසිකාගාරවල නවත්වාගැනීමට ඉඩදෙනු.

    * අනික් සිසුන්ගේ අධ්‍යාපන අයිතියට අකුල් හෙලුවත් අපිව විභාගවලින් සමත් කරනු.

    ReplyDelete
  6. මේවා අපිත් ඒ කාලේ කලා. සමහර දේවල්වල හරයත් තිබුණා. නමුත් ඇත්තම කිව්වොත් හුගක් මේ වගේ දේවල් කලේ කරන්නං වාලේ. මේවට හුඟක් ගියේ පළමු වසර දෙවන වසර ළමයි. තෙවන වසර සිව්වන වසර වෙනකොට මෙතන වෙන්නේ මොකක්ද කියලා තේරෙනවා. හුඟක් ළමයි ගියේ හොස්ටල් ඉන්නවා නම් මේවට යන්න ඕන කියලා නොනිල වශයෙන් සම්මතයක් ඇති කරලා තිබුණ නිසා.

    ReplyDelete
  7. වැදගත්මය ඉල්ලීම අමතක වී ඇත.

    එනම්, රැකියා වෙළඳපොල සලකා උපාධි පාඨමාලා පවත්වාගෙන යාමේ ඉල්ලීම. සැබවින්ම මෙය තිබෙනවානම් මේ "සිසු සටන්" සෑහෙන නැති වේ.

    දැනට ඇති වී ඇති තත්වය නම් අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නැති සිසුන් සෑහෙන පිරිසක් ජාතික වි.වි. තුල සිටීමයි. මගේ මතයේ හැටියට, මසකට 30-60 ලබන රජයේ රැකියාවක්

    ඉහලම බලාපොරොත්තුවනම්, එය ලොකු බලාපොරොත්තුවක් නොවේ.

    මෙය නැති කරන්න නම් සමහර පාඨමාලා නැති කරන්න හෝ බඳවා ගන්නා ගනන අඩු කරන්න සිදු වන අතර අනිත් පාඨමාලා ගනන වැඩි කරන්නත් බඳවා ගන්නා ගනන අඩු කරන්නත් සිදු වේ.

    නිදහස් අධ්‍යාපනය රජයේ අයෝජනයක් නම් මොන මොන උපාධි පාඨමාලා වලින් කොතරම් සිසුන් බිහිවනවාද යන්න රජය තීරනය කල යුතුය. සැබවින්ම අලුත් පීඨ, දෙපාර්තමේන්තු, උපාධි, යනාදී සියල්ලටම යූජීසී අනුමැතිය තිබිය යුතුය. එය නිසි පරිදි කරන ආකාරය රජයට අමතක වී ඇත.

    මෙයට වි.වි. අචාර්යවරුන්ගේ බහුතරයක් ජීවිතයට කැමති නොවේ (සැබවින්ම රටේ අවශ්‍යතාව මෙය යයි තේරුනත් නැතත් ). යූජීසීට මෙය කරන්න උවමනා ඇතැයි නොසිතමි. සැබවින්ම රටේ අවශ්‍යතාව මෙයයයි තේරී නැති වන්නටද පුලුවන්. උසස් අධ්‍යාපනය අමාත්‍යංශය ගැනද කතාව එසේමය.

    ඊට ඉහලින් ආර්ථිකය භාරව සිටින අයටනම් මෙය නොතේරී ඇති බව සෑහෙන පැහැදිලිය. නො එසේ නම් ඉන්දියාවෙන් වෘත්තිකයන් ආනායනය කරන්නට මෙතරම් මහන්සි වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත තමයි. ශිෂ්‍ය සංගම් මෙහෙයවන උන්ට ඕන රැකියා විරහිත උපාධිධාරීන් ටිකක් බිහිකරලා උන්ව ආයෙත් “දියව්, දියව්“ කියලා පාරේ දක්කන්න. ආචාර්යවරුන්ට ඕන බාහිර උපාධි ටියුෂන් ආදායම වැඩිකරගන්න.

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...