Saturday, November 5, 2016

එලිෆන්ට්පාස්. ‘The longest day’ of our own.












එලිෆන්ට්පාස්. ‘The longest day’ of our own.

1991 ජූලි මාසයේ යාපනයේ එලිෆන්ට්පාස් කඳවුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් වට කෙරිණ. මෙම ආක්‍රමණය ප්‍රභාකරන් විසින් එකල, පසු කලෙක සදාම් හුසේන් කීවාක් මෙන් සියලු යුද්ධයන්ගේ අම්මා බව ප්‍රකාශ කෙරිණ. කඳවුරු සංකීර්ණයට දකුණින් සහ නිරිත දිගින් එල්ල වූ ප්‍රහාර වලින් එම සංකීර්ණය බලවත් පීඩනයකට යටත් වී  බාහිර උදව් නොමැතිව ටික දිනකින් බිඳ වැටෙන තත්වයට පත්විය.

මෙම සතුරාගේ ග්‍රහනයෙන් කඳවරු පරිශ්‍රය බේරා ගැනීම සදහා ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මුහුදෙන් ප්‍රදේශයට පිවිසෙන මෙහෙයුමක් සංවිධානය කළේය. මෙහිදී සැලසුම් කෙරුනේ යුධ හමුදා භටයන් 10,000 ක් පමණ මුහුදෙන් එම කඳවුරු පරිශ්‍රයට ඇතුල් කර කඳවුරේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ජූලි මස 15 වන දින මධ්‍යහනෙහි මෙම මෙහෙයුම කරන්නට යුධ හමුදාවද රැගෙන නාවික හමුදාවේ නැව් සමූහයක් ත්‍රීකුණාමලයෙන් පිටත් වූහ. මෙම කණ්ඩායමට මදර් ෂිප් ලෙස එකල හැඳින්වූ වෙළෙඳ නැව් මිලට ගෙන ප්‍රතිප්‍රහාරක යාත්‍රා වලට සැපයුම් සහ පහසුකම් සපයන්නන් ලෙස ක්‍රියා කල වික්‍රම, එඩිතර සහ අභීත නැව් අතරින් එඩිතර සහ වික්‍රම නැව්ද චීනයේ නිපදවන ලද ෂැංහයි වර්ගයට අයත් FGB යාත්‍රාව ක්‍රියාත්මක තත්වයේ තිබූ සියල්ලමද ඩෝරා යාත්‍රා  කිහිපයක්ද තවත් කුඩා යාත්‍රා සමූහයක්ද  අයත් විය.

මම එකල ශ්‍රී ලංකා නාවික නෞකා රක්ෂක නම් FGB යාත්‍රාෙවහි අණදෙන නිලධාරී වරයා වශයෙන් කටයුතු කලෙමි. මේ එකල තිබූ ෂැංහයි පන්තියේ වේග ප්‍රහාරක යාත්‍රාවන් වූ සූර්යා, වීර්යා, රණකාමී, දක්ෂයා සහ බලවතා නම් වූ නෞකා වලින් එකකි. නැව්වල මුල් අකුරු ටික ප්‍රවේශමෙන් ඉංග්‍රීසියෙන් බැලූ විට එම නම් පැමිණියේ කෙසේදැයි පෙනී යනු ඇත. පසුව මෙවැනිම ගැටපද සහිත නම් ඇති නැව් දෙකක්; ජගතා සහ රක්ෂක, මෙම නැව් කණ්ඩායමට පසුව එකතුවිය.

අප උදෑසන දහය පමණ වන විට ක්‍රියාන්විතය කරන්නට සැලසුම් කරගෙන සිටි චලෙයි ප්‍රදේශයට පැමිණියෙමු.

සාමාන්‍යයෙන් මෙවැනි මුහුදේ සිට සතුරාගේ ග්‍රහණය යටතේ තිබෙන වෙරළකට පහර දීමක් සදහා සැලසුම් කරන විට එවැනි සැලසුමක කේන්ද්‍රය වන්නේ සතුරා පුදුම කිරීමයි. සතුරු වෙරළකට යාත්‍රා වලින් ප්‍රහාරයක් සදහා ගොඩ බසින අවස්ථාව හා ඊට පෙර හා පසු දෙපැත්තට පැය තුන බැගින් පමණ එම මුලු ක්‍රියාන්විතයේම ඉතාමත් අනතුරුදායක කාල පරිච්ඡේදයයි. වේගයෙන් වෙඩි තැබිය හැකි තුවක්කුවක් අතැතිව හොඳ ආවරනයක් සහිතව ගොඩ බසින ස්ථානය මැනවින් පෙනෙන එක් පුද්ගලයෙකුට ඔහු මෙන් සිය ගුනයකටත් වඩා බලයක් ඇති ගොඩ බසින හමුදාවක් පහසුවෙන්ම විනාශ කර දමන්නට හෝ ආක්‍රමණිකයන්ගේ අරමුණට ලඟාවීම වැලැක්වීමට හැකියාව තිබේ. මේ නිසා මෙවැනි වෙරළක මෙහෙයුමකදී සතුරා පුදුම කිරිම ඉතා වැදගත් කොට සලකනු ලැබේ.

මෙවැනි සතුරු වෙරළවල සිදුවන මෙහෙයුම් පිළිබඳව සතුරා නොමඟ ඇරීමට හෝ පුදුම කිරීමට  බොහෝ ක්‍රම වේද යෙදවීමේ හොඳම උදාහරණය දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් කල නෝමැන්ඩි ආක්‍රමණයයි. හිට්ලර්ගේ නාසි හමුදා මෙවැනි ආක්‍රමණයක් වන්නට ඉතා ලඟ බව දැන සිටියත් කොතනක සිදුවේදැයි ඔවුන් දැන සිටියේ නැත. එවැනි ආක්‍රමණයකට ඉඩ තිබෙන කිලෝ මීටර් 1500 ක් පමණ විහිදුන වෙරළක ජර්මානු හමුදා එවැනි වෙරළේ සිදුවන ආක්‍රමණයක් වැලැක්වීමට කාල තුවක්කු, කටු කම්බි, බිම් බෝම්බ සහ කුඩා බලකොටු වලින් ශක්තිමත් කලද, හරියටම ගොඩබාන තැනක් දැන ගන්නට පුලුවන් නම් ඔවුනට එම ගිනි බලය එම ස්ථානයට එක්රැස් කර පහසුවෙන්ම ගොඩ බැසීම ව්‍යවර්ථ කරන්නට ඉඩ ප්‍රස්ථා තිබිණ.

විශේෂයෙන්ම මෙවැනි ගොඩ බැසීමක් සිදු නොවන බවද රුසියාව සමග එකතුව එකල ජර්මනිය යටතේ තිබුණු නෝර්වේ රාජ්‍යය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට හෝ ප්‍රංශයේ වැරදිලාවත් ගොඩ බැසීමක් වන්නේ නම් එය සිදු වන්නේ නෝමැන්ඩි වෙරලේ නොව නෝමැන්ඩි වෙරළට කිලෝ මීටර් 150 ක් දුරින් තිබෙන එංගලන්තයට කිට්ටුවෙන් තිබෙන කැලෙයි (Calais) වෙරළේ  බව පෙන්වීමටත් මහා බ්‍රිතාන්‍යයේ M5 නමින් හඳුන්වනරහස් ඔත්තු සේවයෙන් අධික කාර්යභාරයක් සිදු කෙරිණ.

M5 ආයතනය මෙලෙස ජර්මානුවන් රැවටීම සදහා ස්කොට්ලන්තයේ ගොඩ නැගෙන කල්පිත හමුදාවන් ඇතුළු නොයෙකුත් සිදු නොවන ක්‍රියාන්විතයන් පිළිබඳව රැවටුම් සහගත තොරතුරු රබර් යුධ ටැංකි, බොරු රේඩියෝ පණිවිඩ වැරදි ඔත්තු සහ බොරු පුවත් පත් දැන්වීම් යනාදියෙන් ගොඩ නැගූහ. මියගිය නාවික හමුදා නිලධාරියෙකු බොරු රහස් තොරතුරු ලිපි ගොනු සමග මුහුදේ පා කර ජර්මානු හමුදාවට සොයා ගන්නට හැරීමක්ද, ඉතාලියේ මෙවැනි වෙරළේ ගොඩ බෑමකදී ජර්මානු හමුදා රැවටීමට කල බව මා අසා ඇත.

එහෙත් මෙදින අපි එලිෆන්ට්පාස් අතර මුහුදට ලඟා වූයේ සතුරා බලා සිටයදී මහ දවල්ය. සතුරා පුදුම කිරීමට තිබූනු එකම ක්‍රමය මෙලෙස මහ දවාලක කිසිම සැකයක් නැතිව අප මෙවැනි දෙයක් කරන්නට ඉදිරිපත්වේද? යනුවෙන් සතුරා තුල ඇතිවිය හැකිව තිබූ සැකය පමණි. වෙරළ දිගේම ත්‍රස්තවාදීන් .50 තුවක්කු වෙරළ ඇතුලේ වැලි ගොඩවල පිටුපසින් තබාගෙන අප එනතුරු බලා සිටියහ. අප මුහුදේ නාවික සැතපුම් දෙකක් පමණ දුරින් අපේ ෂැංහයි වර්ගයේ FGB නැව් එක් පෙලකට තබාගෙන ගොඩ බසින්නට සැලසුම් කල වෙරළ වෙත ගමන් කරන්නට පටන් ගත්තෙමු. වෙරළට කිට්ටුවන විට මිලි මීටර් 37 ප්‍රධාන අවි වලින් අපි වෙඩි තබන්නට පටන් ගත් අතර, වෙරළේ ආරක්ෂිත ලෙස ආවරන පටුපස සිටි ත්‍රස්තවාදීන්ද අප වෙත වෙඩි තැබූහ. මෙලෙස කිහිප වතාවක් කලද සතුරු වෙඩි බලය එතරම් අඩුවීමක් දක්නට ලැබුනේ නැත.

එලෙස වෙඩි උණ්ඩ දෙපැත්තට හුවමාරු වන අතරතුර ඒ දෙස බලවන විට පෙනුනේ හරියටම උණ්ඩ එකට එකතුකර සෑදූ ලෑල්ලක් අප හා වෙරළ අතර තිබෙනවා මෙනි. මෙලෙස තුන්වෙනි වරට වෙඩි තබමින් ඇතුලට ගොස් ආපසු හරවද්දී නැවේ ඉදිරිපසේ තිබෙන මිල මීටර් 37 අවියෙන් සහ පසු පස තිබෙන 20 අවි දෙකෙන්ම වෙඩි තබන්නට පුලුවන් නිසා, එම අවස්ථාවේ විනාඩි කිහිපයක් නැවේ තිබෙන සම්පූර්ණ වෙඩි බලයම පාවිච්චි කරන්නට අවස්ථාව ලැබුනත් ඒ අවස්ථාවේ සතුරාට නැවේ ලොකුම පැති පෙනුම ලැබෙන බැවින් සතුරාගේ වෙඩි ප්‍රහාරයට නැව ලක්වීමේ අවධානමද ඉතා වැඩි වෙයි.

මෙලෙස මධ්‍යහනෙහි වෙඩි තබමින් යද්දී මගේ නෞකාවට සතුරු ප්‍රධාන අවි දෙකකින් බලවත් ප්‍රහාරයකට ලක්වූ අතර, මගේ 37 අවිය බාරව සිටි නැවියා හෙල්මටයට අඟලක් පමණ පහතින් වෙඩි වැදී මිය ගියේය. තවත් නැවියන් දෙදෙනෙකුට තුවාල සිදුවිය.

නැවේ බඳ දිගටම වෙඩි වැදුණු අතර, හෙමින් ජලයද ඇතුලට එන්නට පටන් ගත්තේය. බොහෝ විට මෙම සටනේදී අපට තුවාල හා මරණ අඩු වූයේ ත්‍රස්තවාදීන් වැල්ලේ සිට ඕනෑවට වඩා තරමක් ඉහලට වෙඩි තැබූ නිසාය. ඔවුන් තව සිරස් අංශක කිහිපයක් අඩුකර වෙඩි තැබුවේ නම් අපට එදින සිදු වූවාට වඩා බලවත් ලෙස අලාභ හානි කරන්නට පුලුවන් කම තිබුණි.

මම මෙලෙස නැවට වෙඩි වැදුණු පසු තුවාල කරුවන් ආරෝග්‍යශාලා නැවට; මට මතක හැටියට වික්‍රමට නෞකාව වෙත ගියෙමි. මම එලෙස තුවාල කරුවන් ලොකු නැවට මාරු කරද්දී එතනට පැමිණි ජෙනරල් කොබ්බෑකඩුව, මගෙන් මා එතන කුමක් කරන්නේදැයි විමසුවේය. මම ඔහුට තුවාල කරුවන් මාරු කිරීමට පැමිණි බව පැවසූ විට,

“හැකි ඉක්මනින් ආපසු යන්න, පරක්කු උනෝතින් තව බොහෝ දෙනෙකුට තුවා සිදුවෙයි.“ යැයි මට පැවසුවේය.

ඇත්තෙන්ම මෙම ඕනෑවට වඩා ඉහලට වෙඩි තැබීම, විශේෂයෙන්ම මධ්‍යම ප්‍රමාණයේ අවි වලින් වෙඩි තබද්දී යුද්ධය පුරාම දැක ගන්නට පුලුවන් විය. යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ ත්‍රස්තවාදීන් යටතේ තිබියදී ත්‍රස්තවාදී බෝට්ටු වලට සහ ඔවන්ගේ ක්‍රියාකාරකම් දුටු විට අපේ නැව් වලින් බොහෝ විට වෙඩි තබා ඇත්තෙමු. එහෙත් පසුව එම ප්‍රදේශ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගත් පසු අපට දක්නට ලැබුනේ එකල යාත්‍රා වලින් තැබූ බොහෝ වෙඩි වැදී ඇත්තේ තල් ගස්වල උඩ හරියට බවය. වෙරළේ යම් ඉලක්කයකට වෙඩි තබන විට වෙඩි වැදී ඇත්තේ තල් ගස්වල මුදුනට නම් අවශ්‍ය වූවාට වඩා සෑහෙන ඉහලකට වෙඩි තබා ඇති බව අපට පෙණිනි.

මධ්‍යහන කාලයම මෙලෙස කිහිප වතාවක් වෙරළේ සිටින ත්‍රස්තවාදීන්ගේ යුධ බලය අඩු කිරිමට වෙඩි තබමින් ඉදිරියට ගියද, හමුදාව ගොඩ බැස්සවීමට තරම් ඔවුන් දුර්වල කිරීමට අප අපොහොසත් වූ හෙයින් මෙම ව්‍යායාමය මඳකට නවත්වා සමහර විට කුමක් කරන්නේදැයි සාකච්ඡා කර ගැනීමට නවතා දැමුණි. අපේ නැවේ මේ අවස්ථාවේ තේ එකක් හදා ගැනීමට බලන විට නැවේ victualling store (ආහාර ගබඩාව) හි යතුර සොයා බලන විට එය සොයා ගැනීමට අපහසු වූයේ, එම ගබඩාව බාරව සිටි නැවියා ඊට පෙර ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්ව තිබීමයි. පසුව යතුර ඔහු මිය ගිය මිලි මීටර් 37 අවියේ වෙඩි නොවදින යකඩ ආවරනයක ඇතුලේ එල්ලා තිබූ හමුවිය.

ඉන්පසු හවස හතරට පමණ නැවත වරක් යුද්ධය පටන් ගැණින. ටික වේලාවක් වෙරලට පහර දෙන විට දැඩි ගුවන් හමුදා ප්‍රහාරද එකතු වූයෙන් වෙරළේ තිබූ එල්.ටී.ටී.ඊ. බලය අඩුවෙන්නට පටන් ගත්තේය. වැලි ගොඩක අනෙක් පැත්තේ සිට අප නැව වෙත  .50 අවියකින් වෙඩි තබමින් සිටි ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ගුවන් ප්‍රහාරයකින් විනාශ වෙනවා අපිට longest day (John Wayne, Henry Fonda, Richard Burton, Sean Connery, Robert Michem) චිත්‍රපටයේ මෙන් දකින්නට ලැබුනා මතකය.  

වෙරළේ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂාව බොහෝ දුර්වල වූ පසු පලමුවෙන්ම කුඩා යාත්‍රා සමූහයකින්ද, ඉන්පසු නොයෙකුත් වෙරළට ගොඩ බැසිය හැකි යාත්‍රා මගින්ද, හමුදාව ඇතුල් කරන්නට පටන් ගැණින.
මෙලෙස හමුදාව එදින ඇතුල් කලද එතැන වෙරළේ සිට සැතපුම් 10 ක් දුරින් තිබූ පරන්තන් හමුදා සංකීර්ණයට දරුණු සටන් මැද දවස් 18 ක් පමණ යුධ හමුදාවට ගත වූ අතර, මෙම ක්‍රියාන්විතය පටන් ගත් අවස්ථාවේ සිට අවසන් වන තුරුම ගරිල්ලා හෝ අසම්මත යුද්ධයකට වඩා සම්ප්‍රදායික යුද්ධයක මුහුණුවර ගත්තේය.  

5 comments:

  1. සර්...ලෝකෙ හදපු ඔක්කොම වෝ ෆිල්ම් බලල තිබුණු නිසා බේරුනා !

    ReplyDelete
  2. ඒකනේ සරත් ශත 60 ක් ගෙවලා කෙල හල හල ඕඩ්යන් එකෙයි රීගල් එකෙයි බලපු පික්චර්

    ReplyDelete
  3. වෝ ෆිල්ම් එකක කෑල්ලක් වෙලා ඒක ඇතුලේ ඉදං බලනකොට කොහොම පෛ්නවා ඇතිද

    ReplyDelete
  4. බලද්දි එහෙම අපිට දැනුනනම් මේ අත්දැකීම් ලබද්දි කොහොම වෙන්න ඇතිද????

    දිගටම ලියුවනම් මරු

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...