Wednesday, January 11, 2017

පොතක් ගැන කථාවක්.







Burning of Ann Askew in Smithfield London on 16th July 1546


මම පසුගිය සතියේම අපූරු පොතක් කියෙව්වෙමි. පිටු 736 කින් සමන්විත මේ පොත ලියා ඇත්තේ සී.ජේ. සැන්සම් නම් බ්‍රිතාන්‍ය කතුවරයෙකු විසිනි. ඔහු බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන, නොයෙකුත් රැකියාවන්වල යෙදුනේය. ඉන්පසු නීතිඥවරයෙකු වශයෙන් පුහුණු වී සසෙක්ස්හි කටයුතු කර පසුව පූර්වකාලීනව පොත් ලියන්නට පටන් ගත්තේය. ඔහුගේ ඉතාමත් ජනප්‍රිය වූ winter in Madrid  සහ Dominion පොත් සමග ඔහු විසින් ලියන ලද Lamentation  නැමති මේ පොත ඔහුගේ ෂාඩ්ලේක් ග්‍රන්ථ මාලාවේ හය වන පොතයි.  

මේ ග්‍රන්ථයේ පසුබිම 16 වන ශත වර්ෂයේ මහා බ්‍රිතාන්‍යයේ රජ පවුල, රාජ සභාවේ නොයෙකුත් කුමන්ත්‍රණ සහ ක්‍රිස්තියානි ආගම එකල බෙදී ඇති ආකාරයත්, ඒ බෙදීම් නිසා ජනතාවට සිදුවන කරදර සහ අතිශය කනගාටුදායක පන පිටින් පුලුස්සන අවස්ථාද ඇතුලුව දඬුවම් ලබාදීමය. 

මෙහි වීරයා වන සාජන්ට් මැතිව් ෂාඩ්ලේක් ලන්ඩනයේ ලින්කන් ඉන් නීතිඥ සංකීර්ණයේ නීතිඥයකු වෙයි. (මෙකල ශ්‍රී ලංකාවේ රජ කරන එක් රජෙකු වනුයේ සීතාවක මායාදුන්නේ රජුයි.) සැන්සම්ගේ මෙම ෂාඩ්ලේක් නීතිඥයා ඉයන් ෆෙලෙමින්ගේ ජෙම්ස් ‍බොන්ඩ් කථා මාලාවේ ජෙම්ස් බොන්ඩ් අපට මතක් කරයි. 

එමෙන්ම ෂාඩ්ලේක් ඔහුගේ සේවය ඕනෑම අවස්ථාවක තම ජීවිතයට එන මාරාන්තික අනතුරුද නොතකා එකල එංගලන්තයේ මහ රැජිණ වන Catherin parr ට ලබාදීමට කිසිම පැකලීමක් වන්නේ නැත. කිසිදා සත්‍ය ජීවිතයේ සිදුවිය නොහැක්කක් වුවත්, ඔහු මහ රැජිණට පෙම් කරන බවක් තැනින් තැන ඔහුගේ හැසිරීමෙන් පෙනෙන්ට තිබේ. (මෙය වික්ටර් හියුගෝගේ Hunchback of Notre Dam කථාවේ ක්වාසිමොඩෝ මතක් කරන්නේ කරුණු දෙකක් නිසාය; ලබාගත නොහැකි කෙනෙකුට ආදරය කිරිම සහ ෂාඩ්ලේක්ගේ පිටේ ඇති කුඩා කුදුව)  අට වන හෙන්රි රජුද එකල රෝමයේ පාප් වහන්සේ සමග උරණ වී බලවත් ප්‍රශ්නයකට මැදි වී සිටින අතර, එමෙන්ම ප්‍රංශය අතර දරුණු යුද්ධයකටද පැටලී සිටී. 

රැජිණ සංශෝධනවාදී ආගමට උදව් කරන අතර, හෙන්රි රජු දේශපාලන අවශ්‍යතාවයන් අනුව සංශෝධනවාදී හා මූලධර්මවාදී අතර වැනෙමින් සිටී. ඔහු එක පැත්තකට ගිය විට අනෙක් පැත්තේ ආගම ප්‍රචලිත කරන්නට උත්සාහ කරන පුද්ගලයන් ගෙන් කැපී පෙනෙන කිහිප දෙනෙකු නවතින්නේ පණ පිටින් පිලිස්සීමට ලක්වීය. මෙලෙස රජු මූලධර්ම වාදය ට බරව සිටින වකවානුවක රැජිණ විසින් ඉතා රහසිගතව, මුද්‍රණය කිරීම සදහා ලියන ලද Lamentation of a sinner  නැමති ආගමික පොතක් ඇයගේ පෙට්ටගමේ තිබී නැති වෙයි. සංශෝධනවාදී අදහස් ඇති මේ පොත රජුට අසු වුනොත් රැජිණියත් පනපිටින් පිලිස්සීමට ලක්වීමට ඉඩ තිබේ. 

දැන් ඇතුලු වන්නේ මාස්ටර් ෂාඩ්ලේක්ය. ඔහු තමුන්ගේ හා තමුන්ගේ කාර්යාලයේ ලිපිකරු හා පුහුණු වන නීතිඥයන්ගේ ජීවිතද අනතුරට පාත්‍ර කරමින් පොත හොයයි. 

පොත හොයන අතරෙම ඔහු අමුතුම ආකාරයේ සිවිල් නඩුවක එක් පක්ෂයක නීතිඥයා ලෙසද කටයුතු කරයි. ඒ නඩුව පවතින්නේ සහෝදරයෙකු හා සහෝදරියක අතරය. ඔවුන්ගේ මව මොවුන් දෙදෙනාගෙන් යම් වරදකට පලි ගැනීමට අන්තිම කැමති පත්‍රය ලියන විට ඇයගේ ලන්ඩනයේ පිහිටි විශාල නිවසක් තමන්ගේ පුතාටද, එම නිවසේ බිත්තියක ඇඳ ඇති විශාල චිත්‍රය දියණියටද අයිති වන ලෙස ලියයි. එහෙත් නිවසට අලාභයක් නොවන පරිදි චිත්‍රය ගලවා ගත යුතුය. සහෝදරයා සහ සහෝදරිය අධික මුදලක් වියදම් කරමින් නඩු කියති. චිත්‍ර පිළිබඳ විශේෂඥයෙකු හා සිවිල් ඉංජිනේරුවෙකු සාක්ෂි කියති. 

පොත අවසානයේදී රජු මිය යන අතර, ඒ නිසා රුජිණගේ ලියවිල්ලේ වටිනාකමද නැතිව යයි. එහෙත් ඒ අතරතුර පොත හොරා ගැනීම සම්බන්ධව බොහෝ දේ හෙලිකරගනු ලබයි. 

මේ කථාවේ එක් තැනක සංශෝධනවාදී පුද්ගලයක් තිදෙනෙකු කාන්තාවකද ඇතුලුව ආගමේ ඔවුන් පිලිගන්නා ආකාරයේ පිළිබඳ දේශනා කල නිසා පනපිටින් පුලුස්සා මැරීමට නියම කෙරේ. එම පිලිස්සීම විස්තර කර ඇති පිටුව මම පහතින් පරිවර්තනය කරමි. 


"ගැටලසා තිබූ සිරකරුවන් වටේට වියළි දර ඔවුන්ගේ කලවා උසට එනතෙක් ගොඩ ගසන ලද්දේය. එතනට පැමිණි පොලිස් නිලධාරියා ගිනි පන්දමකින් දර ගොඩවල් එකින් එකට ගිනි තබන ලදි. දර කෝටු බිදෙන හඬ අමාරුවෙන් හුස්ම ගන්නා හඬ ටික වේලාවකින් ගින්දර ඔවුන්ගේ කකුල් වලට ලන්වන විට විශාල විලාපයක් බවට පත්වුනි. “ජේසුස් මා බාර ගන්න.“ යනුවෙන් එක්කෙනෙකු දිගටම කෑගැසුවේය. ඈන් ඇස්කෙව් ශෝකයෙන් විලාප දෙනු ඇසුනු විට මා ඇස් වසා ගත්තෙමි. නරඹන්නන් සියලු දෙන නිශ්ශබ්දව බලා සිටියහ. 

විලාපයන් සහ දරකෝටු පිපිරීමෙහි අවසානයක් නැත්තාසේය. ගිනිදළු ජුලි මාසයේ දීප්තිමත් දවසේ විනිවිද පෙනෙන සැහැල්ලු ආකාරයෙන් ඉහලට නැග්ගේය. පිරිමි තිදෙනාම තාමත් කෑගසමින් ඇඹරෙමින් සිටියේය; ගිනිදළු දැන් ඔවුන්ගේ උරිස් දක්වා ශරීරයන්හි සම පිලිස්සමින් ඉහලට නැග්ගහ. රුධිරය ගිනිගොඩ තුලට ගලා ගියේය. ඈන් ඇස්කෙව් ඇය ගැට ගසා සිටි පුටුවේ පහලට කඩාවැටී සිටියාය. ඇය සිහිසුන්වී ඇත්තාසේය. 

සමහර නරඹන්නන් අනෙක් පැත්ත හැරී ඇති බව මට පෙනුනි. දරශනයෙන් බිය පත්වී ළමයි කිහිප දෙනෙක් අඩන්නට පටන්ගෙන තිබුණි. එක් ඕලන්ද වෙළෙන්දෙකු කුඩා යාඥ්ඥා පොතක් එළියට ගෙන යාඥ්ඥා කරමින් සිටියද අනෙක් බොහෝ දෙන සිනහවෙමින් විහිලු කරමින් සිටියහ. 

ස්මිත්ෆීල්ඩ් අවට දුම් ගඳ පැමිණි සිටි පුද්ගලයන්ගේ ගඳත් අතර මිශු වී දැනුනේ වුවද, එය තුල යම් විශේෂ සුවඳක් දැනුනි, ඒකුස්සියෙන්  මස් බඳින සුවඳයි. මම හිත දැඩි කරගෙන නැවත වරක් කනු දෙස බැලුවෙමි. ගිනිදළු තවත් ඉහලට නැඟ ඇත්තේය. ඔවුන්ගේ ශරීරයේ පහල කොටස සම්පූර්ණයෙන්ම කළු වී සමහර තැන් වලින් අස්ථි පෙනෙන්නට තිබුනි. ශරීරවල ඉහල කොටස්  රුධිරයෙන් රතු පැහැ වී ගිනිදළු වලින් පිලිස්මෙසින් තිබුනි. ඈන් ඇස්කෙව් නැවතත් සිහිය පැමිණ ශරීරය ගිනි ගන්නා අතරතුර කෙදිරිගානු දැක්කෙමි. 

ඇය යමක් හයියෙන් කෑ ගසමින් තැත් කලද එකිනෙහිම ඇයගේ බෙල්ල වටා ඔතා තිබුණු කුඩා වෙඩි බෙහෙත් පටියට ගිනි ඇවිලී ඇයගේ ඔලුව පුපුරා ගියේ රුධිරය ඇටකටු සහ මොළය කෑ ගසමින් ගිනි ගොඩට වැටීමෙනි."         

මෙම  ඓතිහාසික නව කථාවේ ඇති සිදුවීම් සියල්ලම පාහේ සත්‍ය සිදුවීම්ය. එම ප්‍රධාන සිදුවීම් හරහා මේ රහස් පරීක්ෂකවරයා ගෙන යාමෙන් පාඨකයන්ට එම ඉතිහාසය දෙස බැලීමටත් ඒ අතරම නවකථාවක් රස විදීමටත් ඉඩ ලබා දී ඇත. ඉහතින් පරිවර්තනය කල ඈන් ඇස්කෙව් පිලිස්සීම ඇත්තෙන්ම සිදු වූවකි. ඈන් ඇස්කෙව් කිවියක හා කතෘවරියක වූ අතර ඇය සංශෝධන ආගමික අදහස් දැරීම නිසා පනපිටින් පුලුස්සා මරණයට පත් කරන ලදි.  

Tuesday, January 10, 2017

රාජ්‍ය සම්පත් විකිනීම.










මේ දිනවල රාජ්‍ය සම්පත් විකිණීම පිළිබඳ නොයෙක් දෙනා කථා කරති. විශේෂයෙන්ම හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර 15,000 චීනයට දීර්ඝ කාලීනව බදුදීම මේ අතර ප්‍රධාන මාතෘකාවක් වෙයි. 

ඇත්තෙන්ම මේ දේශීය සම්පත් විකිණීමක්ද? රටකින් තවත් රටකට ඉඩමක් විකීණීමක් පිළිබඳව මෑත ඉතිහාසයේ සදහන් වන්නේ 1867 මාර්තු 30 වන දාය. ඒ රුසියානු අධිරාජ්‍යය විසින් ඇලස්කාවේ වර්ග කිලෝ මීටර් මිලියන 1.5 ක් ඇමරිකාවට විකීණීමය. මෙම ප්‍රමාණය ලංකාවේ වර්ග ප්‍රමාණය මෙන් 20 ගුනයකටත් වඩා වැඩිය. ඒ සදහා ඇමරිකානු රජය ගෙව්වේ ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක් පමණි. 

මෙම දේපල විකිණීමෙන් පසු රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ඉඩම් මුදලට විකිණීමක් අපට අහන්නට ලැබෙන්නේ නැත. එහෙත් රාජ්‍යයන් අතර වෙනස් රාජ්‍යයන්ගේ පිහිටි ව්‍යාපාරික ආයතන අතර ඉඩම් දීර්ඝ කාලීනය බදු දීම එහෙමත් නැත්නම් විශාල ඉඩම් කට්ටි එකට එකතු වී කලමනාකරණය කිරීම දැන් සාමාන්‍ය දෙයකි. එසේම වරායවල් වෙනත් රටවල පුද්ගලික ආයතන මගින් කලමනාකරණය කිරීම සුලබ දෙයකි.  සෑම සියලු දෙයක්ම තමන් විසින්ම කර ගැනීම මේ නූතන දියුණු ලෝකයේ කාටවත් කරගන්නට බැරිය. ඒ නොහැකියාව මේ ලබා ඇති දියුණුව වෙනුවෙන් අප ගෙවන්නාවූ මිලකි. 

රජයන් විසින් නොයෙකුත් හේතූන් නිසා තම රටෙහි දේපල වෙනත් රටවල වෙළඳ ආයතන වලට සම්පූර්ණයෙන් බදු දී හෝ එකතු වී කලමනාකරණය කරනු දක්නට ලැබේ. ඇමරිකාවේ වරාය පිටරට කම්පැනි මගින් කලමනාකරණය කිරිම බොහෝ කලක සිට සිදුවේ. 

මෙයට අමතරව තමන්ගේ පාවිච්චියට නොගන්නා හෝ එතරම් කාරයක්ෂමව කලමනාකරණය නොවන්නා වූ දේපල තම රටෙහි ජනතාවට වැඩිපුර ප්‍රතිලාභ ලබා ගැනීමට ලබාදීම අද ජාත්‍යන්තරයේ සාමාන්‍ය දෙයකි. මෙයට බොහෝ උදාහරණ ඇත්තේය.

 එයින් හොඳම උදාහරණය ඕස්ට්‍රෙිලියාව සහ සිංගප්පූරුව අතර ඇති කරගෙන ඇති මෙවැනි ගිවිසුමයි. සිංගප්පූරුවේ ගුවන් හමුදාවට පුහුණු වීමට සහ යුධ ගුවන් යානා තබා ගැනීමට ඒ රටේ භූමිය පාවිච්චි කිරීම කාර්යක්ෂම නොවන්නේ එහි දේපල වලට ලොකු ඉල්ලුමක් ඇති නිසා මිළ අධික වීමය. ඒ අතරම ඕස්ට්‍රෙිලියාවේ අධික විශාලත්වය සහ අඩු ජනගහනය නිසා මෙවැනි දේකට ලොකු දේපලක් යෙදවීම ආර්ථිකව අකාර්යක්ෂම නොවේ. ඒ නිසා සිංගප්පූරු ගුවන් හමුදාවේ පුහුණුවීම් කටයුතු සහ යුධ ගුවන් යානා නවත්වා තැබීමට රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාවේ පියෙස් ගුවන් කඳවුර ස්ථිර වශයෙන් යොදා ගනී. 

එසේම සිංගප්පූරු යුධ හමුදාවට ඕස්ට්‍රෙිලියාව කුවින්ස්ලන්තයේ අති විශාල හමුදා කඳවුරක් තිබේ. දහස් ගණන් සිංගප්පූරු හමුදා භටයෝ එහි කඳවුරුලා පුහුණු කටයුතු කරති. මේ සදහා සිංගප්පූරු රජය කුවින්ස්ලන්තයට ඩොලර් බිලියන 2.25 ක් ගෙවයි. බොහෝ රටවල මිනිසුන් කැහැපොට කවාගෙන බෝට්ටු වල නැඟ යන්නට පොරකන ඕස්ට්‍රෙිලියාවේ මිනිසුන් මේවාට විරුද්ධව පොර කන්නේ නැත්තේ නූතන ලෝකයේ මෙවැනි ගිවිසුමකින් රටවල් ඉඩමක් බදු දුන් පමණින් එම දේපල විකුනන්නේවත් වහල් බවට පත් වන්නේ වත් නැති බව ඔවුන් දන්නා නිසාය. අනෙක් රටවල මිනිසුන් ඉගෙන ගන්නටත්, රැකියා කරන්නටත්, ජීවත් වන්නටත් ඕස්ට්‍රෙිලියාවට යන්නට මෙතරම් දඟලන්නේ මෙවැනි මිනිසුන් ඕස්ට්‍රෙිලියාවේ සිටින නිසා විය යුත්තේය. 

මේ මෙවැනි ගිවිසුම් පිළිබඳ එක් උදාහරණයක් පමණි. තවත් බොහෝ උදාහරණ ඇත්තේය. එමිරේටය පකිස්ථානයෙන්ද, දකුණු කොරියාව සුඩානයෙන්ද, එක්සත් රාජධානිය සුඩානයෙන්ද, චීනය සහ ජර්මනිය ඕස්ට්‍රෙිලියාව, එක්සත් ජනපදය, එමිරේටය, සවුදි අරාබියාව සහ ඉන්දියාව නොයෙකුත් අප්‍රිකානු රටවල් වලින්ද මෙලෙස විශාල ප්‍රමාණ වලින් මෙලෙස දීර්ග කාලීන බදු ගෙන තිබේ. ඇමරිකාවේ ව්‍යාපාර ආයතන පමණක් අප්‍රිකානු මහාද්වීපයේ ගොවිතැන සදහා බදු ගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 4.3 ක් වේ. 

මේ සියල්ලටම වඩා විශාල එමෙන්ම අපූර්ව ඉඩම් දීර්ඝ කාලීන බඳු ගැනීම වෙන්නේ චීනය සහ යුරේපයේ යුක්‍රේනය අතරය. චීනය යුක්‍රේනයෙන් ගොවි බිම් හෙක්ටයාර් මිලියන 3 ක් දීර්ඝ කාලීනව බදු ගැනීමට ගිවිසුම් ගත වී ඇත. මේ ප්‍රමාණය යුක්‍රේනයේ භූමි ප්‍රමාණයෙන් 1/20 ක් වෙයි. මේ ගිවිසුම තුන් පැත්තකින් ජය ලබා දෙයි. අකාර්යක්ෂම සහ අතහැර දමන ලද ගොවි ඉඩම් වඩා කාර්යක්ෂම ලෙස ලෝක ආහාර නිෂ්පාදනයට එකතු වෙයි. යුක්‍රේනයට ඒ ලාභ වලින් සහ රැකියා වලින් කොටසක් ලැබේ. චීනයට තමන්ගේ අති විශාල ජනගහනයට ආහාර ලබාදීම පහසු කරයි.



අපේ හම්බන්තොට ප්‍රශ්නය දෙසත් බැලිය යුත්තේ මෙලෙසය. හම්බන්තොට පැත්තේ ඔය කියන ඉඩම් වලින් දැන් එතරම් නිෂ්පාදනයක් සිදු වන්නේ නැත. එම ඉඩම් යම් අයුරකින් වඩා කාර්යක්ෂම ලෙස යොදා ගැනීමට හැකි වෙනත් රටක ආයතනයක් තිබේ නම් ඔවුන් සමග එකතු වී එය කිරිමෙන් කවදාවත් අපට පාඩුවක් සිදු වන්නේ නැත. අනෙක ඉඩමක් මේ කෝනයෙන් බලන විට නැතිවිය හැකි සම්පතක් නොවේ. අපේ රත්තරන් ආකර තිබෙනවා නම් එය අපි පිට කෙනෙකුට බදු දුන්නොත් ඔවුන් එය සූරා ගෙන ඒ සම්පත ඉවර කරන්නට පුලුවන. නමුත් ඉඩමක් සහ එහි වටිනාකම කර්මාන්ත පුරයකින් සූරා කෑමට ගෙන යාමට නොහැකිය. කොහොමටත් ඉඩමක අයිතිය තිබෙන්නේ රටේ ඉන්න මිනිසුනට බව අප අමතක කල යුත්තේ නොවේ. සන්තකයේ තිබීම ඉඩම්වල අයිතියට ප්‍රධානම සාධකය බව අපි දන්නෙමු. 

තමන්ගේ ජනතාවට හොඳම ඩීල් එක ගිවිසුම් ගත වෙද්දී ලබා ගැනීම සහ කර්මාන්තපුරය ඇති කිරීමෙන් යම් අසාධාරණයන්ට ලක්වන පදිංචි කරුවන්ට ඔවුන්ගේ අලාබයන්ට ගැලපෙන පරිදි වන්දි ලබාදීම රජයේ යුතුකම වන්නේය.     

Sunday, January 8, 2017

ගුරුවරු සහ ගායකයන්; උපකරණ භාවිතයෙන් වෘතිය හඳුනා ගැනීම.









මේ දවස්වල සෑම මාධ්‍යයකින්ම ටියුෂන් පන්ති පිළිබඳ වෙළඳ දැන්වීම් අහන්නට සහ දකින්නට ලැබේ. රූපවාහිනියේ සහ රේඩියෝ එකේ ප්‍රයිම් ටයිම් එකේද මහපාරේ අත්පත්‍රකාවේ සිට බිල්බෝඩ් එක දක්වාද යන එන හැම පාරකම මෙම දැන්වීම් වලින් අඩුවක් නැත්තේය. 

මමද කලකට පෙර මෙලෙස ටියුෂන් ගුරුවරයෙකුව සිටි බව මතක් වූයේ මෙම දැන්විම් බ්ල්ට්ස් ක්රිග් එකට අසුවීම නිසාය. මම අ.පො.ස.උසස් පෙල විභාගය කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියදී මහනුවර වේස් පාර්ක් එක අසල සඝරාජ පන්සලේ තිබූ අ.පො.ස.සාමාන්‍ය පෙල දහවල් පන්තිය සහ එවැනිම අස්ගිරිය විහාරයේ ආදාහන මළුව පන්සලේ විද්‍යා පන්තියේda, ජපුර ව්‍යාහාරික විද්‍යා පීඨයේ සිටියදී ෆෙම්රොක් පුද්ගලික විද්‍යාලයේ අතපො.ස.උසස් පෙල පන්ති වලටද උගන්වා ඇත්තෙමි. 

අ.පො.ස.උසස් පෙල විභාගය අවසන්ව මා ගෙදරට වී සිටිද්දි දෙමව්පියන් රැකියාවට යන නිසා හවස දෙක තුන වන තෙක් මා ගෙදර සිටියේ තනිවමය. මහනුවර ඩී.එස්,සේනානායක පුස්තකාලය, ඩී.එස්.සේනානායක වීදියේ තිබූ බ්‍රිටීෂ් කවුන්සිල් පුස්තකාලය සහ ගෙවල් කිට්ටුව තිබූ යක්ගහපිටිය මහජන පුස්තකාලයෙන් පොත් ගෙනවිත් කියවන්නටත්, අතේ සල්ලි තියෙන විදිහට සිගරට් දෙක තුනක් රැගෙන විත් බීමටත් මම එකල පුරුදුව සිටියෙමි. 

එකල සෑම දිනකම වාගේ මම මහවැලි ගඟට ගොස් ජග ක්‍රීඩා කිරිමටත් පුරුදුව සිටියෙමි. ලේවැල්ල පාලම කිට්ටුව ගඟේ සෙනඟ සිටින නිසා අපි සෙනඟ අඩු පාලමෙන් කිලෝ මීටරයක් පමණ ගඟ පහල මාලිගාතැන්න යැයි ස්ථානයකට යාමට පුරුදුව සිටියෙමු. 








මෙම මාලිගාතැන්නට ඒ නම ලැබී ඇත්තේ අන්තිම සිංහල රජ වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) ජල ක්‍රීඩා කිරීමට පාවිච්ච කල ස්ථානය මෙය නිසාය. මෙම ස්ථානයේ තරමක් විශාල ස්වාභාවික පොකුණක්ද, පොකුණට පැනීමට ඩයිවින් බෝඩ් එකක්ද (පිනුම් ගල) මහන්සි වූ විට විවේක ගැනීමට ඇඳක් මෙන් කපන ලද ගලක්ද (යහන් ඇඳ) තවත් බොහෝ නටඹුන්ද තිබුණි. සාමාන්‍ය දිනවල ඒ අවට ගලන ජලයට විරුද්ධව පිහිනීමටද වැහි දිනවල වතුර වැඩි වූ විට එගොඩ මෙගොඩ පිහිනමින් කාලය ගතකර හවස දෙක වන්නට පෙර මම ගෙදර ආවේ මව පාසැල් ඇරි ගෙදර ඒමට පෙර ගෙදර සිටීමටය. ඇය මා ගඟේ නාන්නට යනවාට තදින් අකමැති වූවාය. 

දවසක් මම මෙලෙස ගඟේ සිටියදී අප විද්‍යාලයේම සිටි අපගේ ජේෂ්ඨයෙකු මා සොයාගෙන අපේ නිවසට පැමිණ මා ගඟෙහි බව දැනගෙන ගඟට පැමිණියේය. ඔහු මා සිටි තැනට පැමිණ ඔහු විසින් පවත්වාගෙන යන පාසැල් වේලාවේ පැවැත්වෙන පන්තියකට ඉගැන්වීමට කැමතිදැයි මගෙන් ඇසීය. අප දෙදෙනාම ගෙදර ගොස් ඒ පිළිබඳව මවගෙනුත් විමසා පසුදින සිට මට එහි යාමට යොදා ගත්තෙමු. 




මෙම පන්තිය පවත්වාගෙන ගියේ පාසැලෙන් දෙවරක් විභාගය කර අසමත් වූ සිසුන් සඳහාය. සඝරාජ පන්සලේ කුලියට ගත් ශාලාවක විද්‍යා, වානිජ සහ කලා පන්ති උදේ 8 සිට 2 දක්වා පැවැත්විණ. විද්‍යා පන්තියේ ළමයින් 50 ක් පමණ සිටි අතර, මමත් මගේ මිතුරාත් විද්‍යා පන්තියේ ඉගැන්වෙමු. මෙහි සිටි ස්සුන් ගෙන් කිහිප දෙනෙකු මගේ වයසේම වාගේ අපේ ගමේ අය වූහ.  අපට කොතරම් වැටුපක් ලැබුනාදැයි මතක නැති නමුත් අපි සතියට දෙතුන් වතාවක් කලමනාකරුගෙන් වැටුප් අත්තිකාරමක් ඉල්ලා ගෙන යු.කේ.ඩී.සිල්වා එකෙන් බියර් බිවූ බව මට මතකය. කලා හා වානිජ පන්තිවල ගුරුවරුද බොහෝ විට අපට එකතුවූහ. 

මෙලෙස වැජුප් අත්තිකාරම් නිතරම ලබාගෙන එක් මසක අවසානයේ අවසාන වැටුප ගණනය කරද්දී කලමනාකරු සහ මගේ මිතුරා අතර රුපියල් 50 ක් ගෙව්වෙමි/නොගත්තෙමි ගැටලුවක් ඇතිවී මගේ මිතුරා අමනාප වී රැකියාවෙන් ඉවත්ව පිටවූයේය. මමත් එතනට හඳුන්වා දුන්නේ ඔහු නිසා පසුදින විදුහල්පතිවරයා හමුවී මමද ඉවත්වන බව ඔහුට දන්වා සිටියෙමි. ඔහු 
“මම හිතාගෙන හිටියේ ඔයා ඉඳියි කියලා, ඔයත් ගියොත් මට මේක කර ගන්නට බැරි වෙනවා“ යැයි කිවූ ඔහු මටකුඩා රහසක්ද හෙලි කලේය. “ඇත්තෙන්ම ඔබ මෙහි ආපු මුල් කාලයේ ළමයි කිහිප දෙනෙකු පුද්ගලිකව මාව හම්බවෙලා ඔබේ ස්ටෑන්ඩර්ඩ් එක මදි කියලා මට කිව්වා, මම ඒ වෙලාවේ ඒක ෂේප් කලා, පස්සේ තමයි ළමයි ඔයාට කැමති වුනේ“ ඔහු කීවේ මා නවතා ගැනීමට උත්ප්‍රේරකයක් ලෙසටය. 

එසේ කියන්නට ඇත්තේ අපේ ගමේ සිසුන් කිහිප දෙනා බව මට ඒ වෙලාවට නිකමට හිතුණි. කෙසේ හෝ මමත් ඉවත්වී ටික දිනක් ආපසු පරණ පුරුදු ජීවිතය නෙ ගියෙමි. දවස් කිහිපයකට පසු මගේ මිතුරා නිවසට පැමිණ විභාගයට ඇත්තේ මාස දෙක තුනක් නිසා එම සිසුන්ට වෙනත් පන්තියකට යාමටද අපහසු නිසා ඔවුනට පන්තියක් පටන් ගන්නා ලෙසට ඔහු ගෙන් ඉල්ලා සිටින බවත්, සුදුසු ශාලාවක් අස්ගිරියේ ආදාහන මළුව පන්සලේ සොයා ගැනීමට හැකිවුනු බවත් පවසා මටද පන්තිය පවත්වාගෙන යාමට ඔහු සමග එක්වන ලෙසට ඉල්ලා සිටියේය. 




අපි ඒ පන්තිය දෙසැම්බර් වනතුරු පවත්වා අවසන් කලෙමු. මම ඉන්පසු ජපුර ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුලු වුනෙමි. මගේ මිත්‍රයා පුහුනුවන වතු අධිකාරිවරයෙකුව පත්වීමක් ලැබ ජනවසමට එකතු විය. 

මා සඝරාජ පාසැලේ වැඩ කරමින් සිටියදී වරෙක මට අපූරු අත්දැකීමක් ලැබුණි. එකල ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ විද්‍යා ආචාර්ය වරයෙකුගේ, මට මතක හැටියට කේ.ආරියසිංහ මහතාගේ මහනුවර පන්තියේ දේශණයක් පැවැත්වීමය. ඔහුට එදින හදිසි වැඩක් නිසා මහනුවරට ඒමට නොහැකි බවත්, ඔහුට නියමිත දේශණය පැවැත්වීමට දේශකයෙකු සොයා දෙන ලෙසට ඉල්ලා ඇති බවට පවසා අප විදුහල්පතිවරයා ඒ දේශණය කල හැකිදැයි මගෙන් අසා සිටියේය. මම කැමති වූයෙමි. 

හවස දෙකට පමණ මම මේ දේශණය සදහා මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවට ගියෙමි. මේ පන්තිය  පාසැල් සිසුන් සදහා පැවැත්වූවක් වූ අතර, මෙහි ළමයි 250/300 ක් පමණ සිටියහ. දේශකයා වේදිකාවක් මත සිට මයික්‍රපෝනයකින් දේශණය පැවැත්වීය. ප්‍රශ්න ඇති වූ විට ශිෂ්‍යයෝ කුඩා චිට් වල ප්‍රශ්න ලියා ගුරුවරයා වෙත එවූහ. මීට කලින් කිසි දිනක මයික්‍රපෝනයක් පාවිච්චි නොකර තිබූ මා  සබකෝලය අමාරුවෙන් මැඩ පවත්වාගෙන දේශණය පටන් ගත්තෙමි. එය පැය දෙකක ඩාවින්ගේ පරිනාමවාදය පිළිබඳ දේශණයක් විය.  පටන් ගත්  ටික වේලාවකින් චිට් ගලා එන්නට පටන් ගත්තේය. 

දෙවැනි චිට් එකේ ලියා තිබුනු දෙයින් මා තරමක ලැජ්ජාවට පත්වුනෙමි. එහි ලියා තිබුනේ

“ඔය විදිහට මයික් එක අල්ලා ගන්නේ ගායකයින්, ගුරුවරු මයික් එක තියා ගන්නේ තව ටිකක් මූනෙන් ඈත්කරලා“           

Saturday, January 7, 2017

3- රාජසිංහ රජුගේ ඉන්දියාවේ මාලිගය සහ ඔහුගේ අවසන් ගමන - තුන්වන සහ අවසාන කොටස.


https://www.blogger.com/blogger.g?blogID=5060024932032172786#editor/target=post;postID=3682391501846417194
















පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය.
ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. 

ඉංග්‍රීසීන් රජුගේ සෞඛ්‍යය වෙනුවෙන් සවුදිය පුරන ලදි. මේ නිසා රජතුමා ඉතා සතුටට පත්ව ඔවුන්ට ස්තූති කර, ඔවුන් ආහාර ගන්නා ආකාරය සතුටින් බලා සිට ඔවුන් ආහාර ගත් පසු තම කාමරය  බලා ගියේය.

ඉන්පසු එක් දිනෙක තමනට ආහාරයට ලැබුනේ එලවළු 05 ක් පමණක්ය කියා රජු කෝපයට පත්ව සිටියේය. පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී එලවළු වර්ග බොහොමයක් කල් ගතව නරක් වී ඇති බවත් පරිභෝජනයට ගත හැකිව තිබුනේ එලවළු වර්ග 05ක් පමණක් බවත් පෙනී ගියේය. කපිතාන්වරයා හා ග්‍රැන්විල් මහතා හොඳින් කරුණු පෙන්වා දුන්නද රජුගේ කෝපයේ අඩුවක් දක්නට නොලැබිණ. 

ඔහු ඉංග්‍රීසීන්ට තදින් බැණ වැදුණි. එහෙත් භාෂා පරිවර්තකයන් ඉංග්‍රීසී නිලධාරීන්ගේ හිත් නරක්වේ යැයි බියෙන් බොහොමයක් දරුණු අපහාසාත්මක වචන පරිවර්තනය නොකරන බැව් පෙණුනි.
පසුව තම කාමරයටද ගොස් බොහෝ වේලාවක් යන තෙක් ඔහු කෝපයෙන් කෑ ගසනු ඇසුණි.

පසු දින එනම් පෙබරවාරි මස 08 වන දින රජතුමාගේ කෝපය අඩු වී තිබූ අතර, ඔහුට නැවේ පසු පසට වී පිරිසිදු වාතයේ රැදී සිටීමට අවශ්‍ය යැයි දන්වන ලදි. නැවේ අවරය ඒ සදහා පිළියෙල කරන ලද අතර, රජතුමා තම පිරිවර සමග බොහෝ වේලාවක් නිශ්ශබ්දව මුහුද දෙස බලා සිටියේය. රජතුමා මෙලෙස නිතරම මුහුද දෙස බලා නිශ්ශබ්දව කල්පනා කිරිමට කැමැත්තක් දැක්වීය.

මෙලෙස මුහුදු ගමන ගෙවා වෙරළට පැමිණි රජතුමා මදුරාසි ආණ්ඩුකාරවරයා වෙනුවෙන් එහි ටවුන් මේජර් වරයා වූ කැප්ටන් මැක්ඩොනල්ඩ් විසින් පිළිගන්නා ලදි.

රජතුමා හා පිරිස ඉංග්‍රීසී ආණ්ඩුවේ නිලධාරීන් විසින් වෙල්ලෝර් ප්‍රදේශයට රැගෙන යන ලදි. එහිදී ඔහුව ඉංග්‍රීසීන් විසින් යටත් කර ගන්නා ලද රාජධානියන්හි රාජ්‍ය උරුමක්කරුවන් සදහා වෙන් කර තිබූ මාළිගා 05 කින් එකක නවත්වන ලදි. රාජසිංහ රජතුමාගේ මාළිගාව (මහනුවර මාළිගාව) යන නමින් හදුන්වනු ලැබීය. අනෙකුත් මාළිගයන් අතර, එම මාළිගාවල වාසය කල සිරකරුවන් ගේ නම් අනුව ‘ගුම්සූර් මාළිගය‘, ‘තිප්පු මාළිගය‘, සහ ‘පිල්කොන්ඩේ මාළිගය‘, යනුවෙන් හදුන්වනු ලැබීය. 


රජතුමා හා රාජකීයයන් ලැගුම් ගත් එම මාළිගාව වෙල්ලෝර්හි බලකොටුවක් ඇතුලත පිහිටා තිබුණි. බලකොටුව ඇතුලත රාජකීය පවුලට නිදහසේ ගත කිරීමට ඉංග්‍රීසීන් විසින් ඉඩ දී තිබූ හෙයින්  රජු වෙනුවෙන් බලකොටුව තුල ඔහුගේ ගමන් බිමන් සදහා දෝලා ඔසවන්නන් දොලොස් දෙනෙකුද සමග දෝලාවක්ද ලබා දෙන ලදි. රාජකීය පවුලේ පිරිස් නිදහසේ පිටතට යාම වැලැක්වීමට ප්‍රධාන බලකොටුවේ තරමක ආරක්ෂාවක් යොදා තිබුණි. 

රජුගේ හා රජ පවුලේ සේවය සදහා 40 ක පමණ සේවක පිරිසක් යොදවන ලදි. ඒ අතර පුද්ගලික වෛද්‍යවරයෙකු හා කරණවෑමියෙකුද විය. එම පුද්ගලික වෛද්‍යවරයාට සහ කරණවෑමියාට මසකට රුපියල් 5.00 ගණනේ වැටුප් ගෙවූ බව සදහන් වේ.

රජුගේ හා රජ පවුලේ වියදම් සදහා ඉන්දියානු ආණ්ඩුවෙන් විශාල මුදලක් වැය කරන ලද අතර, 1816 අගෝස්තු මස රජුට ඔටුන්නක් සාදවා ගැනීමට හා තම බිසවනට ත්‍යාග දීම සදහා රන් ආභරණ මිලදී ගැනීමට මුදල් ඉල්ලා සිටි විට, ඔටුන්න සෑදීමට අවසර නොදුන්නද ආභරණ සෑදීමට පගෝදි 500 ක් ඉංග්‍රීසී රජයෙන් ලබා දෙන ලදි. 

1817 රජු සහ රාජකීය පිරිස වෙල්ලෝර් බලකොටුවෙන් නිදහස් කොට නිදහසේ ජීවත් වීමට ඉඩ හැරිය යුතු යැයි මදුරාසියේ ඉංග්‍රීසී පාලකයන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලකයන් වෙත නිර්දේශ කලත්, එය ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලනයට ප්‍රශ්නයක් විය හැකි යැයි කල්පනා කල එකල ලංකාවේ ඉංග්‍රීසී පාලකයා වූ ජේම්ස් සදර්ලන්ඩ් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.    

1818 දී රජුගේ බිසොවන් ගෙන් එක් බිසෝවක් වූ උපේන්ද්‍ර අම්මා රැජිණ මිය ගියාය. 1822 දී රජුගේ තවත් රැජිණකට දූ කුමරියක් ලැබුණි. 1829 දී තවත් රැජිණක් දූ කුමරියක් බිහි කල අතර, එම දූවරුන් හා රැජිණන් සදහා ආභරණ මිලදී ගැනීමට රජු නැවතත් මුදල් ඉල්ලා සිටියෙන් ඉංග්‍රීසී ආණ්ඩුව විසින් එම මුදල් ලබා දුනි.

වෙල්ලෝර්හි වාසය කරන කාලයේදී රජු ඉංග්‍රීසී රජයත් සමග අමනාප වූ විට, නියමිත ආහාර සහ දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ සිරිතක් විය. මෙලෙස සමහර විට මාස කිහිපයක් දීමනා නොගෙන සිටින විට, වෙනත් පුද්ගලයන් ගෙන් මුදල් ණයට ගැනීමට රජුට සිදුවිය. ඉංග්‍රීසී නිලධාරිවරුන්ට මෙවැනි සිද්ධීන් කිහිප වතාවකදීම නිරවුල් කිරීමට සිදු විය.   

1831 දී රජුගේ මව් රැජිණ මිය ගියෙන් සොල්දාදුවන් 100 ක ආචාර පෙලපාලියක් පවත්වා පලාර් ගං ඉවුරෙහි අවසාන කටයුතු සිදු කරන ලදි.   

1831 වසරේදී පළමු හා එකම පිරිමි දරුවා මොලොව බිහි වන විට, රජුගේ සෞඛ්‍යය තත්වයද අයහපත් තත්වයකට පත් වෙමින් තිබිණ. නිතරම උණ ගැනීම, නින්ද නොයාම, ආහාර අරූචිය, අත් පා ඉඳිමීම, වැනි රෝග ලක්ෂණ වලින් රජු පෙලෙන්නට විය.   

රජුගේ මෙම අසනීප තත්වය නිසා ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉංග්‍රීසී නිලධාරීන් විසින් සැලසුම් කිරීමට පටන් ගත්හ. මහනුවර රජ පවුලේ සොහොන් වල විස්තර මහනුවර අවටින් ලබා ගත හැකි දැයි සොයා බලන ලදි. 

එහෙත් ඒ වනවිට ආදාහන මළුව අසල තිබූ මහනුවර රජුන්ගේ සොහොන් කොත් මහනුවර, මාතලේ, දුම්රිය මාර්ගය තැනීමේදී විනාශ වී තිබූ හෙයින් සොයා ගැනීමට නොහැකි වූ පසුව, පැරණි ලියවිලි වලින් එම සැලසුම් ලබා ගෙන මේ සදහාම ඉන්දියාවේ වෙල්ලෝර්හි මිළදී ගන්නා ලද ඉඩමක සොහොන සෑදීමට කටයුතු සූදානම් කෙරිණ.    

1832 ජනවාරි මස 31 වන දින රජු මිය ගිය අතර, එදිනම ඉර බැස යාමට පෙර රජුගේ ආදාහන කටයුතු හමුදා ආචාර මධ්‍යයේ සිදු කරන ලදි.   
පසුව මේ සදහා මිළදී ගත් ඉඩමේ රජුගේ සොහොන හා මව් බිසවගේ සොහොන පිළිවෙලින් රුපියල් 500.00 හා 150.00 මුදලක් වැය කර සාදන ලදි.  

සිංහලේ අවසාන රජුගේ පිටුවහල් කිරීම සහ පිටුවහලෙකු ලෙස ජීවිතය මෙලෙස අවසන් විය.

 මෑතකදී පලාර් ගඟ අසල ඇති රජතුමාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු මිහිදන් කර ඇති සොහොන 1990 දී එකල තමිල්නාඩුවේ මහ ඇමතිවරයාව සිටි කරුණානිධි ඔහුගේම සැලැස්මකට අනුව මුතු ඇටයක් හැඩයට ඉන්දියානු රුපියල් ලක්ෂ 7 ක් වියදම් කර නැවත අලංකාරවත් කරන ලදුව, එය දැන් මුතු මණ්ඩපම් (මුතු මණ්ඩපය) ලෙස හැදින්වේ.



රජු විසින් පාවිච්චි කරන ලද ඇත් දළ වලින් සාදන ලද ඉත්තන් සහිත චෙස් ලෑල්ල සහ ඔහුගේ බූමරැංගය වෙල්ලෝර්හි කෞතුකාගාරයේ තබා ඇත.   

බොහෝ විට එක් රටක රජ කෙනෙකු වෙනුවෙන් වෙනත් රටක අලංකාරවත් සොහොනක් සෑදිය හැකි මිනිස් ඉතිහාසයේ එකම අවස්ථාව මෙය විය හැක. 

Thursday, January 5, 2017

2- රාජසිංහ රජුගේ ඉන්දියාවේ මාලිගය සහ ඔහුගේ අවසන් ගමන - 2 වෙනි කොටස





..................   කිසි දිනෙක මුහුදේ ගමන් කර නොතිබූ රජු හා පිරිස සැර මුහුදේ ප්‍රථම වරට ගමන් කිරිම ඔවුනට ඉතා අපහසුදායක සහ දුෂ්කර වූවාට කිසිදු සැකයක් නැත.

බෝට්ටු නැව අසලට පැමිණි විට රාජකීය කණ්ඩායම වරකට කෙනෙකු බැගින් නැවට ඔසවනු ලැබීය. ඔහුගේ පවුලේ සියළු දෙනා ඉහලට ඔසවන තෙක් බෝට්ටුවේ රැදී සිටි රජතුමා අවසානයේ තමන්ද නැව මතට එසවීමට අවසර දුන්නේය. රජතුමා නැව මතට පැමිණි අවස්ථාවේ ඔහුට ගෞරව කිරීමට නෞකා තට්ටුව මත තූර්ය වාදක කණ්ඩායමක් සංගීතය වාදනය කල අතර, නැවේ කපිතාන්වරයා වූ ආර්ඕ බ්‍රීක් මහතා ඉමහත් ගෞරවයෙන් රජු පිළිගත්තේය. රජු නැවේ තට්ටුව මතට පැමිණි පසු අවිගත් නැවියන්ගේ ගෞරවාචාර පෙල ගැසීමක් තුලින් රජු හා රාජකීය පිරිස ඔවුන් සදහා වෙන් කර තිබූ විශේෂ කාමර පෙලට කපිතාන්වරයා විසින් රැගෙන ගිය අතර, ඇඳක් මත වූ කොට්ටයක් දුටු රජතුමා වහා ගොස් ඒ මත අසුන් ගත්තේය. රජුගේ මව සහ නැන්දම්මාවරු හා බිසෝවරු එම කාමරයේම එක් කොනකට වී අසුන් ගත්හ. 
රජු හා පිරිවර සදහා විශේෂයෙන් සකස් කර තිබූ කාමර වලට ඔවුන් ගෙන ගිය පසු, රජතුමා ඒ අතරින් දකුණු පස වූ විශාල කාමරය තමන් සදහා තෝරා ගත්තේය. තවත් කාමරයක් තම බිසෝවරු සදහාද, ඊලග කාමරය මව් බිසව හා නැන්දනිය සදහාද තෝරා ගෙන කෙලවර තිබූ කාමරය තම ප්‍රධාන උපදේශකට ලබා දුන්නේය. 

අනෙකුත් කාමර රජුගේ පිරිවර විසින් ඔවුනට අවශ්‍ය පරිදි තෝරා ගත්හ. මුල් දිනයේම මෙම ගමන බාරව කටයුතු කල සිවිල් නිලධාරි ග්‍රැන්විල් මහතා රජු හමු වී රජුගේ භාෂා පරිවර්තක වූ මුදලියාර් ජෝෂප් ද සිල්වා මගින් රජුගේ සුව දුක් විමසුවද, රජු ඔහු එතරම් ගණනකට නොගෙන කාමරය තුලට වී සිටියේය. 

පසුදින උදෑසන රාජකීය ලැගුම්හල තුලින් ආහාර පිසින සුවඳ වහනය වූ අතර, ග්‍රැන්විල් මහතා රජුට යම් අවශ්‍යතාවයක් ඇත්නම් තමාට පැමිණ. රජතුමා හමු විය හැකි බව දැන්වීය. එහිදී රජතුමා ඔහුව හමුවීමට අවශ්‍යතාවයක් නොමැති බවත් එහෙත් බිසෝවරුන් මුහුදු අසනීපයෙන් (Sea Sickness) වලින් පෙලෙන බවත්  ග්‍රැන්විල් මහතාට දන්වා යැවීය
සෑම දිනකම උදයේ මෙලෙස ග්‍රැන්විල් මහතා රජු මුණ ගැසීමට අවසර ඉල්ලා පණිවිඩ යැව්වද රජතුමා දින කිහිපයක් ගත වන තෙක් ඔහු මුණගැසීම ප්‍රතික්ෂේප කලේය. 

දින කිහිපයකට පසු රජතුමා මොහොතකට ඔහු මුණ ගැසීමට අවශ්‍ය යැයි පවසා කාමරයෙන් එළියට පැමිණියේය. එවිට රජතුමා රත්තරන් නූලෙන් වාටි දැමූ මුසලින් රෙද්දක් ඉණ වටා ඔතා කෙලවරක් තම වම් උරහිස උඩින් දමා උස ලී සෙරෙප්පු දෙකක් පැලද සිටියේය. ග්‍රැන්විල් මහතා රජුගේ සුව දුක් හා වෙනත් කරුණු ගැන ඇසූ ප්‍රශ්න වලට කිසි සැකයකින් තොරව උස් හඩින් කෙටි පිලිතුරු දුන් රජතුමා, කිසි විටෙකත් ග්‍රැන්විල් මහතාගේ මුහුණ දෙස කෙලින් නොබැලුවේය. 

ග්‍රැන්විල් මහතාගේ හිසට උඩින් ඈත පිහිටි යමක් දෙස බලන ලෙසින් කෙලින් බලා සිටි රජතුමා බොහෝ විට එසේ කරන්නට ඇත්තේ සාමාන්‍ය මිනිසෙකු දෙස කෙලින් බැලීම රජෙකුට නොගැලපෙන්නේ යැයි සිතූ නිසා විය හැක. 

ජනවාරි මස 29 වන දින රජුගේ කාමරය දෙසින් කෙනෙකුට පහර දෙනවා වැනි ශබ්දයක් ඇසී එය පරීක්ෂා කිරීමට ග්‍රැන්විල් මහතා ගොස් ඒ ගැන රජතුමා ගෙන් විමසූ විට, තමන්ගේ බිසවකට පහර දුන් බව රජතුමා පැවසීය. ‘කොන්වොලිස්‘ නෞකාවේදී කාන්තාවන්ට පහර දීම සම්බන්ධයෙන් රජුට අවවාද කල අතර, මින් පසු එලෙස පහර නොදෙන ලෙසද රජු ගෙන් ඉල්ලීය. 

එයට රජු එකඟ වූ අතර, ඉන් පසු දින 17 ක් ගත වූ මුහුදු ගමනේදී මෙවැනි සිද්ධියක් නැවත ඇති නොවීය. ජකවාරි 30 වන දින, රජතුමා අසනීප ගතියෙන් පසු වුවත් නෞකාවේ වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කලේය. ඔහු බලවත් හිසේ අමාරුවකින් පෙලුනු හෙයින් ඇස් ඇරීමටද පවා අපහසු බව දන්වා සිටියේය. මේ සදහා ග්‍රැන්විල් මහතා, සුවඳ ලුනු (Smelling Salt) ලබා ගැනීමට යෝජනා කල අතර, රජතුමා එයට කැමැත්ත පල කලේය

රජතුමාට ඒවා ලබා දුන් විට කොපමණ ප්‍රමාණයක් පානය කල යුතු දැයි රජතුමා විමසා සිටියේය. ලුනු පානය කිරීමට නොව ආඝ්‍රහණය කිරීමට බව දන්වා සිටින ලදි. පසුව ලුනු ආඝ්‍රහණය කල නමුත් එයින් තමනට කිසිදු සුවයක් නොමැති බවද, තමන්ගේ හිසේ අමාරුවට ඉන් කිසිම පිහිටක් නොවූ බවද දන්වා සිටියේය.   

මේ වන විට දවස් 7 ක් පමණ මුහුදේ ගමන් කර, තවමත් ගොඩබිමක් දක්නට නොලැබුන හෙයින් ඉංග්‍රීසීන් තමන් රවටා එංගලන්තයට ගෙන යන්නේ යැයි සැකයක් රජුට පහල වී, ඒ පිළිබඳව ග්‍රැන්විල් මහතා ගෙන් විමසා සිටියේය. එය එසේ නොවන බවද, රජු ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, ග්‍රැන්විල් මහතා විසින් රජතුමාට සහතික කර සිටියේය.

පෙබරවාරි මස 01 වන දින රජු හොඳ සනීපයෙන් පසු වූයෙන් කපිතාන් ඕබ්‍රික් විසින් තමන්ගේ කාමරයට පැමිණ පිරිසිදු වාතයෙහි තරමක කාලයක් විවේකයක් ගත කරන මෙන් රජතුමා ගෙන් ඉල්ලා සිටියේය. රජු එය පිළිගෙන කපිතාන්ගේ කාමරයට තම බිසෝවරුන් සමග පැමිණ ඔටෝමාන් (තුර්කි) කොට්ටයේ අසුන් ගත් අතර, බිසෝවරු ඔහු අසල සිටගෙන සිටියහ.

ටික වේලාවකට පසු රජතුමාට නෞකාවක් මුහුදේ ගමන් කරන ආකාරය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය විය. කපිතාන් ඕබ්‍රික් පරිවර්තකයෙකු මාර්ගයෙන් නෞකාවේ උපකරණ siyallada wisheshayen

නෞකාව හැසිරවීමට හා එක් මාර්ගයක තබා ගැනිමට උපයෝගී කර ගන්නා රඩර් උපකරණ පිළිබඳව පැහැදිලි කල අතර, රජු ඉතා වුවමනා වෙන් හා විමසිලිමත්ව අසා සිටියේය.
රජතුමා විසින් සියලු කරුණු හොඳින් තේරුම් ගත් බව පෙනෙන්නට තිබුණි. රජතුමා කිසි විටෙක යම් කරුණක් සම්බන්ධව දෙවරක් විස්තර කරන්නට ඉඩ නොදුන් අතර, අවසානයේ මුහුදු ගමන් හා නෞකාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සියලුම කරුණු තමන් හොදින් තේරුම් ගත් බව ප්‍රකාශ කලේය.
ඉන් පසු රජතුමා  ගෙන් ඇහැලේපොල නිළමේ තුමා ගැන විමසින. ඔහු දැනට ලැගුම් ගෙන සිටින ස්ථානය පිළිබඳව විමසා, “ඇහැලේපොලට මම සැලකුවේ, මගේ පුතෙකුට වගේ. නමුත් ඔහු මට කරපු දේ ඔබට පෙනෙනවා නේද? යම් දිනෙක ඉංග්‍රීසීන්ටත් ඔහු මේ ටික කරයි.“ යනුවෙන් පැවසීය.


ඉන්පසු රජතුමා ගෙන් ඇහැලේපොල ඔහුට විරුද්ධ වීමට හේතු විමසන ලදි.
“මම ඔහුට කල උදව් වලට කවදාවත්ම මට ප්‍රති උපකාර කරන්නට බැරි නිසා ඔහු මට විරුද්ධව ආයුධ ගත්තා. මම මුලින්ම තේරුම් ගත යුතුව තිබුනා රජ කෙනෙකු සාමාන්‍ය මිනිසෙකුට රජ කෙනෙකුට හා සමාන බලයක් කිසිම දිනෙක නොදිය යුතු බවට. මම දෙවරක් ඔහුට මරණ දඬුවම දිය යුතුව තිබියදීත් සමාව දුන්නා.“ යැයි පැවසීය.   
ඉන් පසුව මොල්ලිගොඩ නිළමේ තුමා ගැන ඔහු ගෙන් විමසන ලදි.
“ඔහු හොද මිනිහෙක් , නමුත් ඔහු බුද්ධිමත් කෙනෙකු නොවේ. ඔහු ඉංග්‍රිසින්ට උදව් කිරිමට පොරොන්දු වුවා නම් ඔහු එම පොරොන්දුව අනුව කටයුතු කරයි. නමුත් ඔහු එතරම් ප්‍රයෝජනවත් කෙනෙකු නොවෙයි’’ යනුවෙන් පැවසිය.
ඉන්පසු රජතුමා තමන්ගේ කාමරයට යැමට සුදානම් වී ග්‍රැන්විල් මහතා රජු සමග කථාබහ කරන ආකාරයෙන් ඔහු කිසි දිනෙක එංගලන්ත රජ වාසලෙහි රජුත් සමග සේවය කර නැති කෙනෙකු බව පෙනෙන බව පැවසීය.
පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය.
ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසීන් රජුගේ සෞඛ්‍යය වෙනුවෙන් සවුදිය පුරන ලදි. මේ නිසා රජතුමා ඉතා සතුටට පත්ව ඔහුට ස්තූති කර, ඔවුන් ආහාර ගන්නා ආකාරය සතුටින් බලා සිට ඔවුන් ආහාර ගත් පසු තම කාමරය වෙත  ගියේය.

next and final episode

Wednesday, January 4, 2017

රාජසිංහ රජුගේ ඉන්දියාවේ මාලිගය සහ ඔහුගේ අවසන් ගමන.









සිංහලයේ අවසාන රජු ඉංග්‍රීසිනට යටත් වූ පසු ඔහු ඉන්දියාවට ගෙන ගොස් එහි ජීවත්වූ ආකාරය පිළිබඳ මේ ලිපිය කියවීමෙන් අපට එකල සමාජ විස්තර, රජුගේ පුද්ගල ස්වාභාව්‍ය, කෑම ඇඳුම් පැලඳුම් සහ ඉංග්‍රීසීන් යටත් විජිතවල රාජ්‍ය කල ආකාරය පිළිබඳව මනා හැඟීමක් ලබා ගන්නට පුලුවන. 

රජු ඉන්දියාවට රැගෙන යාමේදී ඔහු සමග ගමන් ගත් ඉංග්‍රීසි නිලධාරියාගේ පෞද්ගලික වාර්තාවත් මෙහි අඩංගු නිසා මෙම විස්තරයට විශේෂත්වයක් ලැබේ. 

වාර්තාව තරමක් දිග නිසා එය තුනට කඩා පලකරන්නෙමි. 






ශත වර්ෂ ගණනක් බලවත් අධිරාජ්‍ය කිහිපයක් සමග යුද්ධ කිරීමෙන් පසු, 1815 දී අවසාන ස්වාධීන ශ්‍රී ලාංකික රාජධානිය වූ කන්ද උඩරට කොන්දේසි සහිතව ඉංග්‍රීසීන්ට යටත් වූ අතර, එවකට මහනුවර පාලකයා වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. තමන්ගේ රාජ්‍යයේ අවසාන කාලය තුල ඉතා කෘර පාලනයක් ගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, විශේෂයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා මද්දුම බංඩාර ඇතුලු එම පවුලේ සාමාජිකයන් මරා දැමූ ආකාරය ගැන මුළු කන්ද උඩරටම කම්පාවට පත්ව සිටියහ. 

ඉංග්‍රීසීන් කන්ද උඩරටට ඇතුල් වන විට බොහෝ වැසියන් ඔවුන්ගේ පැමිණීම ගැන සතුටු වූහ. මෙයට අවුරුදු දෙකකට පෙර, (1813 දී) ඉංග්‍රීසීන්ට අයත් මුහුදු ප්‍රදේශයට ගොස් ඔවුනට විරුද්ධව දරුණු සටන් කල උඩරැටියන් පවා ඉංග්‍රීසි හමුදාව 1815 දී මහනුවරට ඇතුලු වන විට කිසිදු විරෝධයක් නොදැක්වූයේ, බොහෝ විට කෘරකම් නිසා රජු බලවත් මහජන අප්‍රසාදයට පත්ව සිටි නිසා විය හැක. 

ඉංග්‍රීසීන් මහනුවරට ලගා වන විට ආරක්ෂක ස්ථානයකට පලා ගිය රජු හා රාජකීය පවුල, මැද මහනුවර කුඩා නිවසක ලැගුම් ගත්හ. මේ බව ආරංචි වූ රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ එක්නැලියගොඩ නිළමේ තම පිරිවර සමග පැමිණ රජු හා රාජකීය පවුල අත්අඩංගුවට ගත්තේය. එකල බලවත් අප්‍රසාදයට පත්ව සිටි නිසා රාජකීය පවුලට සාමාන්‍ය ජනතාව ඉතාම පහත් ලෙස සැලකූහ. 

මේ බව ආරංචි වූ ඉංග්‍රීසි නිලධාරීහු රජු හා රාජකීය පවුලට අවශ්‍ය  ආරක්ෂාව සලසා, රාජකීය පවුලකට ගැලපෙන පරිදි ගෞරව සහිතව එකල ඉංග්‍රීසීන්ගේ පාලන මධ්‍යස්ථානය වූ කොළඹට රැගෙන ගියහ. ඉන්පසු රජු ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රදේශය වෙත පිටුවහල් කිරීමට තීරණය කෙරුණි. මේ සදහා කොන්වේලිස් යන තුවක්කු 74 කින් සමන්විත වූ ඉංග්‍රීසි නෞකාව යොදවා ගත් අතර, ඉංග්‍රීසීන්ගේ සිවිල් සේවා නිලධාරියෙකු වූ විලියම් ග්රැකන්ඩ්විල් මහතා එම ගමනේදී රජුගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කලේය. 

එකල වූ ඉංග්‍රීසි ලිපි ලේඛන අනුව පහත සදහන් පුද්ගලයන් රාජසිංහ රජුගේ ලගම ඥාතීන් බව සලකා රටින් පිටුවහල් කිරීම සදහා ඉංග්‍රීසි පාලකයන් විසින් තීරණය කරන ලදි. 
1.රජුගේ බිසවකගේ පියා වූ ගම්පොල නායක්
2.රජුගේ බිසවකගේ පියා වූ සින්නදීගල නායක්
3.රජුගේ සහෝදරයෙකු වූවෙන්කතසාමි නායක්
4.රජුගේ සහෝදරියකගේ දියණියකගේ ස්වාමියා වූ ජගදේවි ඇලිගරී සාමි
5.රජුගේ ඥාතියෙකු වූ අයිලේ නායක්
6.රජුගේ සහායකයෙකු වූපෙරුමාල් නායක්
7.පෙරුමාල් නායක්ගේ පුත්‍රයා වූ කවුනීර් 
8.රජුගේ නැන්දනිය වූ නවුනම්මා 
9.රජුගේ ඥාති සහෝදරියක වු වෙන්කෙම්මා 
10.අමාතැනී 

මහනුවර සිට කොළඹට එන ගමනේදී, රජු කිහිප වතාවක්ම එකල ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් රොබට් බ්‍රව්‍රන්රිග් මුණ ගැසී තමන් විසින් සඟවා ඇති විශාල ධනය ඔහුට භාරදීමට අවශ්‍ය බව තමන් රැගෙන යමින් සිටි ඉංග්‍රීසි නිලධාරීන්ට දන්වා සිටියේය. නමුත් ආණ්ඩුකාරවරයා රජු මුණ ගැසීමට පැමිණියේ නැත. තම ධනය නොලැබුණද රජුට ඉංග්‍රීසීන් විසින් දක්වන ලද ගෞරව හා උපකාර වල කිසිදු වෙනසක් සිදු නොවන බව රජු වෙත ආණ්ඩුකාරවරයා විසින් දන්වා සිටින ලදි. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා රජු රටෙන් පිටවන තෙක්ම ඔහු මුණ ගැසීමට පැමිණියේ නැත. 

1815 මාර්තු මස 06 වන දින, කොළඹට පැමිණි රාජකීය පිරිස ඔවුන් ඉන්දියාවට පිටුවහල් කරන තෙක් කොළඹ කොටුවේ ගේට්ටුව අසල නිවසක ලැගුම් ගෙන සිටියහ. එහිදී රජුගේ ආහාරය සදහා දිනපතා ලබා දුන් ආහාර වර්ග මෙසේය.

         1. මුතු සම්බා හුන්ඩු     - 8               2.       බටර් කොටස්           -  ½
3.කරවල                    -  1               4.       කුම්බලාව                -  6
5.පොල් ගෙඩි             -  60             6.       එලවළු වර්ග            -  8 
7.බුලත් පුවක්                                  8.      සාදික්කා
9.කරාබු නැටි                                  10.     කිරි බෝතල්           -  3
11.තැඹිලි                   -  5                12.     දොඩම්                   -  8
13.දෙළුම්                   -  5                14.      සීනි                       -  ½
15.සූකිරි                    -1/2               16.       තෝර මාළු           -  1
                           

         මෙය රජුගේ පුද්ගලික අවශ්‍යතා සදහා වන අතර, රාජකීය පිරිවරට වෙනම ආහාර වර්ග සැපයිණ. රජුගේ මෙම ආහාර සදහා දිනකට එකල රුපියල් 900 ක මුදලක් ඉංග්‍රීසි ආණ්ඩුවට වියදම් වූ බව සඳහන් වේ. 

1816 ජනවාරි 24 වන දින ඉන්දියාව බලා යාමට ගමන් ඇරඹිණ.රජුගේ කණ්ඩායම 60 ක් පමණ විය. වැඩිමහල් බිසෝවරු දෙදෙනෙක්, එකල ගම්පොල නායක් යනුවෙන් හැඳින්වූ ගම්පොල ප්‍රාදේශිය නායකයෙකුගේ දියණියන් වූහ. අනෙකුත් බිසෝවරු දෙදෙනා, දීඝල් සාමී නම් වූ රජුගේ නෑයෙකුගේ ඉතා අඩු වයස් කුමාරිකාවන් දෙදෙනෙකු වූ අතර, රජුගේ බිසෝවරුන්ගේ සහෝදරයන් හතර දෙනෙකුද මේ සමග විය. 

මෙදින රජු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ සුදු පැහැති අරාබි අශ්වයන් දෙදෙනෙකු යෙදූ විවෟත අශ්ව කරත්තයේ ගමන් කල අතර, ඔහු රන්වන් පාට නූල් වලින් මසා තිබූ රතු සිල්ක් රෙද්දක් හා දිග සිල්ක් කෙලවර රන් නූලෙන් මසන ලද සිල්ක් උඩ ඇඳුමක් සහ ඉතාමත් අලංකාර වූ හිස් වැසුමක්ද පැළද සිටියේය.  

අනෙකුත් රාජකීයන් දෝලාවන්හි ගමන් කල අතර, විශාල පිරිසක් මෙම රාජකීය කණ්ඩායම පිටුවහල් කිරීම නැරඹීම සදහා පැමිණ සිටියහ.  
රජුගේ මෙම ගමන් කිරීම නැරඹීම සදහා පැමිණි පිරිසෙන් සමහරෙකු ඔහුගේ අශ්ව රථය ගමන් කරන ආකාරය නැරඹීම සදහා මාර්ගය උඩින් වැටී තිබූ ආරුක්කුවක් මත නැගී රජුගේ ගමන් කිරීම නැරඹීම බලාපොරොත්තුවෙන් සිටි අතර, මෙය දුටු රජතුමා තමා ගමන් කල වාහනය නවතා රජෙකු වශයෙන් ජනයාට පහතින් තමන්ට ගමන් කල නොහැකි නිසා එම ආරුක්කුව උඩ සිටින පිරිස ඉවත් කරන ලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.  

ඔවුන් එලෙස ඉවත් කල පසු ආරුක්කුව තුලින් නැවත ගමන් කල රජු හා පිරිස, කුඩා බෝට්ටු වලින් කොන්වේලිස් නෞකාව වෙත ගෙන යන ලදහ. බෝට්ටු ජැටියේ සිට තම බිසෝවරුන් යාත්‍රාවට ගොඩ වූ පසු තමන්ගේ පාවහන් ගලවා රාජසිංහ රජු යාත්‍රාවට ගොඩ වූයේය. ඉන්පසු ටික වේලාවකින් යාත්‍රාවේ බඳ මත සිට ගෙන අහස දෙස බලා කල්පනා කරමින් සිටි රජු මද සිනහවක් පා අවරෙහි පනවා තිබූ අසුනෙහි අසුන් ගෙන තමන් ගමනට සූදානම් බව යාත්‍රා කරුවන්ට දැන්වීය. එකල කොළඹ වරායක් නොතිබුන නිසා රජු හා රාජකීය පවුල රැගෙන ගිය යාත්‍රාව තරමක් ඈතින් නැංගුරම් ලා තිබුන නෞකාව වෙත රළු මුහුදේ ගමන් කිරීමට සිදු වූ නිසා රජු හා පිරිස මහත් විඩාවට පත්වූහ. 

රජු සහ රැජිණියන් ගමන් කල යාත්‍රාවේ රන් පැහැයෙන් එම්බ්‍රොයිඩර් කරන ලද කොළ පැහැති සැටින් වියනක් සවිකර තිබුණි. රාජකීය පිරිස ගමන් කල බෝට්ටුවෙහි අවරය සුදු පැහැති වටිනා බුමුතුරුණු යොදා ආවරණය කර තිබුණි. එම යාත්‍රාව පැදවීමට අලංකාර නිළ ඇඳුමකින් සැරසුණු නාවිකයන් පිරිසක් යොදවා තිබිණි. 

balance episodes.......




2- සිංහලේ අවසන් රජුගේ මුල්ම හා අවසන් මුහුදු ගමන - 2 වෙනි කොටස


3- රාජසිංහ රජුගේ අවසානය සහ මුතු මණ්ඩපය - තුන්වන සහ අවසාන කොටස.

Saturday, December 31, 2016

මිලියන 500 යේ කෞතුකාගාරය; සිංහරාජ වනාන්තරයේ තේක්ක වැවීම.







පසු ගිය සතියේ අපි විනෝද චාරිකාවක් සදහා පොලොන්නරුවට ගියෙමු. ඇත්තෙන්ම පොලොන්නරුවේ පෞරානික ස්ථාන නැරඹීම කොහෙන් පටන් ගෙන කොහෙන් අවසන් කල යුතු දැයි සිතාගන්නටවත් අමාරුය.



අනෙක් අය නිදාගෙන සිටියදී මම FITAPP ඇප්ලිකේෂන් එක ෆෝන් එකේ ක්‍රියාත්මක කරගෙන හෝටලයෙන් පිට වී කිලෝ මීටර් තුනක් දෙවෙනි ඇල මාර්ගයේ ගොස් ආපසු බුෂේ එකේ වේලාවට හෝටලයට පැමිණියෙමි. මේ ඇල මාර්ගවල කඹරගොයින්, කුරුල්ලන්, යනාදී බොහෝ සතුන් ජීවත්වනු දැක මේ වතුර බොන මිනිසුන්ට වකුගඩු රෝග සෑදෙන බව පිළිගන්නට අපහසු නේදැයි කල්පනා කළෙමි.

 ඇල දිගේ ඇලට පහලින් ඇති බොහෝ නිවාසවල පිටරට යැවීම සදහා විසිතුරු මසුන් ඇතිකරන බව පෙනුනි. එදින හවස අපි සෝමාවතිවට ගොස් එනවිට අදුරන නිවසකට ගිය විට ඒ ගෙදරත් මෙවැනි විශාල මාළු ටැංකි පොලවේ හාරා තිබෙනු දැක මෙම ව්‍යාපාරය දැන් පොලොන්නරුවේ ප්‍රධාන කර්මාන්තයක් බවට පත්ව ඇති බව පෙනුනි.

මම උදේ ඇවිදගෙන යන විට පාරේ අයිනේ හිටවා තිබූ විශාල දැන්වීම් පුවරුවක් දැක පුදුමයට පත්වුනෙමි. ඒ එම ස්ථානයේ රුපියල් මිලියන 500 ක වියදමින් කෞතුකාගාරයක් රජයෙන් සාදන බව දැන්වීමට තිබූ පුවරුවයි.

ඉන්පසු උදේ දහයට පමණ අපි නටඹුන් බැලීමට ගියෙමු. නටඹුන් පරිශ්‍රය ඇතුලට යාමට අපගේ වාහනයට රුපියල් 50 ක් ගෙවන්නට සිදු වූ අතර, විදේශිකයෙකුට ඒ අයකිරීම රුපියල් 1500 ක් බව එතැන සිටි නිලධාරියෙකු අපට පැවසීය. විදේශිකයන් බොහොමයක් එතනට පැමිනෙන්නේ පදින බයිසිකල් කුලියට ගෙන හෙයින් බයිසිකල් කුලියට දීමද පොලොන්නරුව නගරයේ ලොකු ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේය. එතැන රාජකාරියේ සිටි නිලධාරියා අප විදේශිකයන් සගවාගෙන යන්නේදැයි විවෘත කල ජනේලයෙන් නොදැනෙන්නට  බලා විදේශිකයන් වාහනයේ සිටින්නේදැයි අපෙන් ඇසීය.

ඇත්තෙන්ම පොලොන්නරුවේ නටඹුන් චමත්කාර ජනකය. ගල් විහාරය සහ ලංකාතිලකය එකල තිබූ තාක්ෂණයෙන්  කෙසේ හැදුවාදැයි  දැනුත් සිතා ගන්නට අමාරුය. අපේ ඉංජිනේරුවන් මෙවැන්නක් දැන් හැදුවත් ඔවුන්ට මේ තරම් සමබරව මෙවැනි ගොඩනැගිලි ගොඩනගන්නට හැකිවේදැයි ශබ්ද නගා මමම ප්‍රශ්න කරගන්නා විට වර්තමානයේ තාක්ෂනයත් සමග එසේ වරදින්නට ඉඩක් නොමැත්තේ යැයි මා සමග සිටි සිවිල් ඉංජිනේරු මිත්‍රයා කීවේ වෘතියේ ගෞරවයත් ආරක්ෂා කරගත යුතු නිසා විය යුතුය.



මෙලෙස අප බොහෝ උනන්දුවෙන් නටඹුන් බලද්දී මෙම අත්දැකීම් දේශිය සහ විදේශීය සංචාරකයන්ට වඩාත් පොහොසත් ලෙස ලබාදීමට කලහැකි කුඩා වෙනස්කම් කිහිපයක් සිතට නැගුණි. 



  • එම පරිශ්‍රයට ඇතුල්වීමට ටිකක් ගන්නා විට එම පරිශ්‍රයේ  තිබෙන, පොලොන්නරුවේ තිබෙන නටඹුන් පිළිබඳව විස්තරාත්මක සිතියමක් ලබාදීම. 
  • පරිශ්‍රයේ තිබෙන සෑම වැදගත් ස්ථානයක් අසලම එම ස්ථානය කුමක් සදහා පාවිච්චි කලේද? ඒ මේ සංකීර්ණයට සම්බන්ධ වන්නේ කෙසේද? මෙහි තිබෙන ඉංජිනේරුමය යනාදියේ වැදගත්කම සහිතව භාෂා තුනෙන්ම විස්තර පුවරු සවි කිරීම. 
  • නටඹුන් වලට අලාභහානි කරමින් වැවෙන ගස් සියල්ල කපා දමා නටඹුන් ආරක්ෂා කර ගැනීම.  
  • පරිශ්‍රයේ තිබෙන තෝරා ගත් ඓතිහාසික සහ ආගමික වැදගත් කමක් ඇති ස්ථාන හැර අනෙකුත් අවශේෂ ස්ථාන ඉක්මනින් ප්‍රකෘති තත්වයට පත් කිරීම. මේ සදහා ජනතාවගේ බඳු මුදල් වියදම් නොකර එක් එක් ස්ථාන විශ්ව විද්‍යාල (පෞද්ගලික හා රජයේ), බැංකු, විශාල වෙළද ආයතන, රජයේ සහ පෞද්ගලික විද්‍යාල, වලට මේවා එකින් එක ප්‍රකෘති තත්වයට පත්කර පවත්වාගෙන යාමෙන් ඔවුනට යම් ප්‍රචාරක අවස්ථාවක් ලබාදී සිසුනට මේවායේ කටයුතු වලට සම්බන්ධ වී වටිනා අත්දැකීම් ලබා ගැනීමට හැකිවීම. 
  • සම්පූර්ණ නටඹුන් පරිශ්‍රයේ භෞතික මොඩලයක් සාදා සංචාරකයන් නරඹන නටඹුන් එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේදැයි යම් අදහසක් ලබා ගැනීමට ඉඩ සැලසීම. 



මෙවැනි ලේසියෙන් කිසිම මුදලක් වියදම් නොකර කරන්නට දෑ තිබියදී ජනතාව ගෙන් එකතු කරන ලද බදු මුදල් වලින් මුදල් වියදම් කර කෞතුකාගාරයක් තැනීම කිසිසේත් තේරුම් ගත නොහැක. කෞතුකාගාරය මිලියන් 500 ක් වියදම් කර ගොඩ නැගුවත් ඉන්පසු එහි නඩත්තු කටයුතු වලට මාසයකට මිලියන් 10 ගණනේ වත් වියදම් කරන්නට සිදුවනු ඇත. ඒවත් ජනතාව ගෙන් උඳුරා ගත් බදු මුදල්ය. 

ඇත්තෙන්ම පොලොන්නරුවේ කෞතුකාගාරයක අවශ්‍යතාවයක් ඇත්නම් කලයුතු වන්නේ එයට රජයෙන් සුදුසු තැනක ඉඩමක් ලබා දී පුද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැඳවා අවශ්‍යතාවයන් සියල්ල සම්පාදනය කර කටුගෙය පුද්ගලික ආයෝජන වලින් ගොඩනංවා ගැනීමයි. දියුණු රටවල මෙවැනි දෑ බොහෝ කලක සිට සිදු වන්නේ එලෙසටය.   

ගංජා වෙළඳාම

 කොණ්ඩයකපන්න ගිය විට සැලුන් හොඳ කතා කාරයෙක් නම් කොණ්ඩය කපන්ට වෙලාව යනවා දැනෙන්නේ නැත. මගේ රෙගියුලර්  මෑන් ඒ ජාතියේ කෙනෙකි.  ඔහුගේ ජීවිතයත් හ...