Wednesday, July 19, 2023

ඉන්දියානු වතු කම්කරුවෝ

 මම මේ දිනවල දහනමවන සියවසේ අග මහනුවර ප්‍රදේශයේ කොකෝවා වත්තක වසරක් පමණ ජීවත් වී, ඒ ජීවිතය පිළිබඳ පොතක් ලියූ කාන්තාවකගේ පොතක් කියවමින් සිටිමි.


එහි ඉතාමත් සිත්ගන්නා කාරණා අඩංගු වී ඇති අතර එකල ඉන්දියාවේ සිට ගෙන එන ලද කම්කරුවන් ගේ ජීවිත පිළිබඳව බොහෝ දේවල් ලියැවී ඇත.


මෙය කියවද්දි එම කම්කරුවන් පිළිබඳව මට දැනුණු කාරණයක් නම් ඔවුන්, විශේෂයෙන්ම ඔවුන්ගේ තරමක් ඉහල කුල වලට අයත් පිරිස්, වතු වල කම්කරුවන් ලෙස කටයුතු කළ ද ඉතාමත් ආඩම්බරයෙන් සිටි පිරිසක් බවයි.


ඔවුහු කොතරම් ආඩම්බරයෙන් සිටියා දෙයක් වතු වල කම්කරුවන් දෙවියන් ලෙස සැලකූ සුදු ජාතික වතු කළමනාකරුවන් ගේ බංගලා වල් වලින් ආහාරයක් ගැනීමට එසේත් නැත්නම් තේකක් හෝ බීම ප්‍රතික්ෂේප කළහ. 


එලෙසම වත්තේ සාමාන්‍ය වැඩ කිරීම හැරෙන්නට සුද්දන්ගේ බංගලා වල් වල ගෘහ සේවාවන් කිරීමටද ඔවුන් පැමිණියේ නැත. ඒ පිළිබඳව සුද්දන්ගේ ද එතරම් තරහක් හෝ අකමැත්තක් තිබුණු බවක්ද පෙනෙන්නට නැත. 

පහත තිබෙන කෙලින්ම පරිවර්තනය කරන ලද එම පොතේ පරිච්ඡේදයකින් මේ පිළිබඳව පැහැදිලියි අදහසක් ලබා දෙයි.


ජනවාරි 20- කම්කරුවන් විසිදෙනකු ඔවුන්ගේ kangani සමග අද වත්තට පැමිණියහ. ඔවුන් ඉන්දියානු වෙරළේ සිට කෙලින්ම පැමිණියවුන් වූ අතර බොහෝ දුරක් ගෙවා පැමිණීම නිසා මහත් මහන්සියටත් විඩාවටත් පත්ව සිටියහ.

විශේෂයෙන්ම එම කණ්ඩායමේ සිටි කාන්තාවන් දෙදෙනා බොහෝ දුර  පයින් ඇවිදීමෙන් විඩාවට පත්ව සිටියත් ඔවුනට යමක් බොන්නට  දෙන්නට අපට නොහැකි බව මම දැන සිටියෙමි. ඒ ඔවුන් ඉහළ කුලයක නිසාය. මම යමක් දෙන්නට හැදුවේ නම් ඔවුන් එය පිළිකුල් කරනු ඇත.

kangani පෙරටුකොට එක පෙළකට ගමන් කළ ඔවුන්ගේ පෝලිම අවසානයේ සිටියේ ඔවුන්ගේ සියළුම බඩු භාණ්ඩ කරේ තබා ගත් හැඩිදැඩි පිරිමින් දෙදෙනෙකි.


සමහර කම්කරුවන් කුඩා දරුවන් ඔවුන්ගේ උරිස මත හෝ ඉනේ තබාගෙන සිටි අතර තවත් සමහරු නොයෙකුත් වර්ගයේ කුකුළන් ඔසවා ගෙන ගියහ. 


නමුත් ලංකාවේ ස්ථාපිත වූ පසු ඉන්දියානු කම්කරුවන් මුලින් සිටියාට වඩා හොඳ ජීවිතයක් ලබා ගනිති.

නිතිපතා වැටුපක්, ජීවත්වීමට හොඳ නිවාසයක් ෞඛ්‍ය පහසුකම් එසේම කොකෝ වතු වල නම්, නොමිලේ දර කොස් ගෙඩි, මිරිස් සහ තුනපහ යනාදිය ඔවුනට ලැබේ.


ඔවුන්ගේ ඉහළ ජීවන තත්ත්වය පිළිබඳ තවත් කතාවක් එම පොතෙහි ම ලේඛිකාව ලියා තිබේ. එම ලේඛිකාව ගේ පුතා වතු අධිකාරිවරයා ලෙස කටයුතු කරන වත්තේ  kangani වරයා තමන්ගේ දියණිය විවාහ කර දීමට ගැලපෙන කෙනෙකු අසල වතු වල නොමැති නිසා ඇයට ගැළපෙන මනාලයකු සොයන්නට ආපසු ඉන්දියාවට යයි. දවස් 10 ක ගමනකින් එසේ දියණිය රැගෙන යන ඔහු, ආපසු පැමිණි විට දියණිය තම පවුලේ අය මතක් කර අඬන නිසා ඇයගේ මව හා සහෝදරයකු නැවත ඉන්දියාවට පිටත් කර යවයි. 

කතාව ලියන ලේඛිකාව වුවද මෙම පවුලේ බැඳීම් පිළිබඳව පුදුමයට පත්වෙයි. එය හරියට ප්‍රංශයට ගිය තමන්ගේ දියණියක් නිවස මතක්වී අඩන නිසා ඇය බැලීමට යන එංගලන්තයෙ අම්මා කෙනෙකු හා සමාන බව ඇය කියයි. එංගලන්තයේ මව්වරුන් නම් එසේ කරන එකක් නැති බව ඇය සිතයි.


No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...