ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ කතාවක් දැකීමෙන් පසුව මට ටික කලකට පෙර අසන්නට ලැබුණු ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව කතාවක් මතකයට නැඟුණි.
යම් පාසලක විදුහල්පතිවරයා උදේ දහයට පමණ ක්ම පාසල තුළ පරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඔහු කන්නාඩි දෙකක් ටයි එකක් එහෙම දාගෙන ගාම්භීර ලෙස ඇවිදිමින් සිටින විට පහේ පන්තියේ ළමයෙක් පන්තිය එළියේ කන් දෙක අල්ලාගෙන සිටිනු දුටුවේය.
ඔහු එතනට ගොස් ඒ ළමයාගෙන් "දරුවා ඔබ ඔතන කුමක් කරන්නේද" යනුවෙන් ඇසුවේය.
විදුහල්පතිතුමා දැක බොහෝ කලබලයට පත් වූ දරුවා "ඉංග්‍රීසි පාඩම වෙලාවේ මම ටීචර්ගෙන් කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා ඇහුවා, ටීචර් තරහ ගිහිල්ලා මාව පන්තියෙන් එළියට දැම්මා, මහත්තයා" යනුවෙන් පිළිතුරු දුන්නේය.
ඉංග්‍රීසි ගුරුවරිය ඉස්කෝලේ ඉංග්‍රීසි වලින් කලර්ස් පෙන්නාගෙන සිටින නිසා තරමක් කනස්සල්ලෙන් සිටි විදුහල්පතිවරයා අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතුවේය.
ඔහු තමන්ගේ දෛනික චර්යාව එතනින් නවත්වා තම කාර්යාලයට ගොස්, මළල සේකර ඉංග්‍රීසි ශබ්දකෝෂයෙන් කුල්ලට කියන ඉංග්‍රීසි වචනය winnowing fan බව සොයාගෙන එය
හොඳින් ධාරණය කරගෙන අර පන්තියේ අවසන් වීමට පෙර ඉක්මනින්ම එතනට ගියේය.
ඔහු පන්තිය ඇතුලට ගොස් එළියේ කන් අල්ලාගෙන සිටින ළමයා කුමකට එසේ සිටින්නේදැයි ගුරුවරියගෙන් ඇසීය.
" අනේ සර් එයා පාඩම වෙලාවේ ඕන නැති ප්‍රශ්න අහනව ඒකයි" ගුරුවරිය කීවාය.
" එහෙම ප්‍රශ්න අහනකොට අපි ළමයින්ට එතනදීම හරි පිළිතුරක් දෙන්න ඕනේ, ප්‍රශ්න අසන එක ධෛර්යමත් කරන්න ඕනේ, එතකොට තමයි ළමයි හොඳට ඉගෙන ගන්නේ" විදුහල්පතිතුමා කීවේය.
පන්තියේ අනික් ළමයි ද එතුමාගේ දැනුම සහ ආකල්ප පිළිබඳ බොහෝ සතුටට පත්වූහ .
ඔහු ළමයා ඇතුළට ගෙන්වා ගත්තේය.
"හොඳයි මොකක්ද මේ ළමයා අහපු ප්‍රශ්නේ?"
ඔහු ඇසුවේය.
"සර් මම ඇහුවේ මෝල් ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා" ළමයාට මේ අල්ලපනල්ලේ මුලින් අහපු ප්‍රශ්නය අමතක වී ඇති අතර අසා ඇත්තේ ඒ සන්දර්භයෙන්ම වෙනත් ප්‍රශ්නයකි.
කුල්ලට කියන ඉංග්‍රීසි වචනය පමණක් දැනගෙන සිට විදුහල්පතිතුමාට කරකියා ගත දෙයක් නොමැති විය.
" ඇත්ත තමයි අහන්නෙම වැඩකට නැති ප්‍රශ්න, අද දවසම තමුසෙ පන්තියේ එළියෙන් හිටගෙන ඉන්න ඕනේ" කිව් විදුහල්පති දාඩිය ටිකකුත් දාගෙන එළියට ගියේය.
No comments:
Post a Comment